පත්තර කියවන්නා

රාලහාමී පුරුදු විදිහට ඉස්තෝප්පුවේ හාංසි පුටුවේ ඇලවෙලා පත්තරේ කියවනවා. මෙයා අනික් අය වගේ නිශ්ශබ්දව පත්තර කියවන කෙනෙක් නෙවෙයි. ලියා තියෙන කතාවල ඇත්ත නැත්ත බේරාගන්න වගේ තමාම හූමිටි තියනවා. ඉඳ හිට සමහර කොටස් සද්දෙටත් කියවනවා, හරියට තව අය අහගෙන ඉන්නවා වගේ. කවුරුත් හිටියත් නැතත් හාංසි පුටුවේ ඉඳන් පත්තරේ කියවන එක දිනපතා කෙරෙන දෙයක්. ඒක නැවතුනේ බොහෝම කලාතුරකින් - විෂේශ අවස්තාවකට විතරයි. රාලහාමී කිව්වේ “මගෙ ගෙදර මට ඕනැ වෙලාවක පත්තරේ කියවන්න බැරිනම් මම ඒක කරන්නේ කාගෙ ගෙදර ගිහින්ද?”. එහෙම කියපුවම ඒකේ ඇත්තක් තියෙනවා.

උප්පැන්න සහතිකේ ‘හේරත්ගෙදර උක්කුබංඩා’ හැටියටයි නම සටහන් වෙලා තිබුනට තරුන කාලේ පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියට පත්වීම ලැබුන දවසේ පටන්ම ගමේ අය ‘රාලහාමී’ කියලා තමා උන්දැට කතා කරේ. ලංකාවේ හුඟක් තැන්වල වැඩ කරලා වයස පනහ වෙන්නත් ඉස්සර පොලිසියෙන් අයින් උනත් ‘රාලහාමී’ නම නැති උනේ නෑ. සමහරවිට ඉඩ කඩම් හිමි ගමේ වැදගත් පවුලක කෙනෙක් නිසාත් වෙන්න ඇති මේ නම දිගටම පාවිච්චි උනේ.

රාලහාමිගෙ දින චරියාව දවසෙන් දවසට වෙනස් උනේ නෑ. උදේ වරුවේ කුඹුරෙයි ඉඩමෙයි වැඩ බලලා ඇවිත් දවල්ට කාලා පැය බාගයක් විතර නිදා ගන්නවා. ඇහැරුනාම පැයක් විතර පත්තරයක් නැත්නම් පොතක් කියවනවා, හවස තේ වෙලාව එනකම්. ඊට පස්සේ වත්ත පැත්තෙන් කඩමංඩිය පැත්තටත් ගිහින් රෑ වෙනකොටයි ගෙදර එවෙන්නේ. රාලහාමිගෙ පවුලගේ නීතිය උනේ ‘ඔය වයසට කුඹුරෙයි ඉඩමෙයි වැඩටිකට උදේ වරුව මිඩංගු කරොත් හොඳටම ඇති’ කියන එකයි. අඳේට කුඹුරු වැඩ කරන මිනිහාම වත්තේ පොල් එහෙමත් කඩන්න නිසා රාලහාමිට ඇත්තටම කරන්න වැඩි දෙයක් තිබුනෙ නෑ. දුවයි පුතයි දෙන්නමත් කැමතියි රාලහාමී ඇඟ මහංසි කරන එක ටිකක් අඩුකරනවට; ගිය අවුරුද්දේ හැදුන පපුවේ අමාරුවෙන් පස්සේ. හැබැයි ඒ දෙන්නම දැන් කොලඹ නිසා පවුලගෙ නීතිය විතරයි රාලහාමිට පිලිපදින්න තියෙන්නේ. මේ නීති නිසාමද කොහෙද රාලහාමී පත්තර වල තියෙනදේ දැන් වැඩි උනන්දුවකින් කියවන්නේ.

“මානව හිමිකම් කඩවීම් සම්බන්දයෙන් සක්‍රීය ආකාරයෙන් ක්‍රියා කිරීමට…. [මොකද්ද ‘සක්‍රීය ආකාරයෙන්’ කියන්නේ? ]…. අපි බලාපොරොත්තු වෙනවා. මෙය ඉතා පුළුල් විෂය ක්ශේත්‍රයක්…[…මං හිතුවේ මේක සිංහල පත්තරයක් කියලා….]”මැනිකේ….?”

සද්දයක් නෑ ගේ ඇතුලෙන්.

“මැනිකේ….මේ ඇහුනද…?”

“මේ තේ වක්කරනවා…ඇයි මොකොද?”

“අද පුතා එනවද?”

“එනවා කියලා තමා හිතාගෙන ඉන්නේ….”

“එහෙනං අග්ගලාවත් හදනවද?”

ගේ ඇතුලෙන් පොඩි හිනහවක් ඇහෙනවා.

“ආයෙ කොහෙද ඉතින්…පොඩි එකෙක් වගේ….”

“එකක් කාලා බලමුද තේත් එක්ක …අර…අර… සක්‍රීය ආකාරයෙන්?”

“….ඇයි මේ අග්ගලා කෑම…. ‘පුළුල් විෂය ක්ශේත්‍රයක්’ද?”

“මං හිතුවා අහගෙන හිටියා කියලා….මේවා ලියන එවුන්ට ශබ්දකෝෂ ගිලිලා….ලතා එහෙම එන්නෙ නැතිවෙයි නේද?”

“පුතා එදා කිව්වේ දුව එහෙම මේ දවස්වල වෙන ගෙදරක් හොය හොයා ඉන්නවා කීයලා”

“හ්ම්ම්….”

…..

ගාමිනී බංඩාර බස් එකෙන් බැහැලා එනකොට රාලහාමී එයාගෙ මස්සිනා, ඒ කියන්නේ ගාමිනීගෙ ‘පුංචි මාමා’, එක්ක කතා කර කර හිටියේ මාමගෙ ගේ ඉස්සරහ. ගාමිනී මල්ල බිම තියලා අප්පච්චිටයි මාමටයි වැන්දා මිදුලෙදීම.

“පුතා එන්ට තේ එකක්වත් බොන්ට…බස් එකේ ඇවිල්ලා මහංසිත් ඇතිනේ” ඒ පුංචි මාමා.

“නෑ මාමා, මම කෙලින්ම ගෙදර යන්නං නාන්ටත් එක්ක”

“එහෙනං මලයා මාත් යනවා කොල්ලත් එක්ක”

රාලහාමී ගාමිනිත් එක්ක කතා කරේ පුංචි මාමගෙ ගෙදරින් ටිකක් ඈත් උනාට පස්සේ.

“මොකොදෑ පොඩි එකී එහෙම අලුත් ගෙදරක් හොයනවා කිව්වේ”

“…කවුද අප්පච්චිට කිව්වේ?...”

“අම්මා අද තමා කිව්වේ….ඇයි මට කියන්ට බැරි ප්‍රශ්නයක්ද?”

ගාමිනී පාර මැද නැවතුනා. රාලහාමිත් ගාමිනී දිහා බලාගෙන නැවතුනා.

“….අම්මට මම එහෙම කිව්වේ ලඟදී මෙහෙ ආවෙ නැත්තේ ඇයි කියලා ඇහුවම…ඇත්තම ප්‍රශ්නය අප්පච්චිත් එක්ක කතා නොකර අම්මට කියන්ට බැරි නිසා….ජයන්ත විරුද්දව කවුදෝ පෙත්සමක් ගහලා. මේ දවස්වල බලෙන් නිවාඩු ඇරලා ඉන්නේ, හරියට වැඩ නවත්තලා වගේ…”

රාලහාමී කිසි දෙයක් නොකියා කුඹුර දිහා බලාගෙන හිටියා, විනාඩියක් විතර. ඊලඟ ප්‍රශ්නේ අහනකොට කට හඬේ කිසි වෙනසක් නෑ, මේ අදහාගන්ට අමාරු ප්‍රවුර්තිය නොඇසුනා වගේ.

“මේක හුනුගල්පොත්තාවල ඉංධන විකිනීමකට සම්බන්දද?”

“….අප්පච්චිට කොහෙන්ද මේක ආරංචි උනේ….මං හිතුවේ කිසි කෙනෙක් දන්නෙ නැතුව ඇති කියලා…අම්මත් දන්නවද?”

“නෑ….නෑ….මං පත්තරේ දැක්කා ‘විද්යාඥයෙකුගේ හොර තෙල් වැඩ’ කියලා. ජයන්තගෙ නමවත් දෙපාර්තමේන්තුවේ නමවත් තිබුනෙ නෑ. නමුත් ඊට දවස් පහකට විතර ඉස්සර පත්තරේ තිබුනා අපෙ ගමේ තියෙන සිමෙන්ති හදන්ට ගන්න හුනුගල් නිදියක් ගැන - ලියලා තිබුනේ අනික් කතාව ලියපු මිනිහාමයි. ඊට සති හතරකට විතර ඉස්සර උඹලගෙ ඇමතියගෙ කංතෝරුවේ මිනිහෙක් කියලා තිබුනා හොර බොරු වංචා වලට විරුද්දව සටනක් දියත් කරනවා කියලා. මේ ටිකයි ජයන්තලා දැන් සුමාන තුනකින් ආපු නැති නිසායි මම හිතුවේ මේ වගේ කරදරයක් ඇති කියලා….දෙන්නට සල්ලි වලින් කරදරද?”

“නෑ අප්පච්චී…පඩි නවත්තලා නෑ පෙත්සම ගැන හොයලා බලනකම්…වැඩියම හිතේ අමාරුව තමා…ජයන්ත කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ….අප්පච්චී ඇහුවෙවත් නෑනේ මටත් කරදරද කියලා”

“උඹට කරදරයක් තියෙනවනම් මම අහන්ට ඕනැ නෑනේ කියන්ට…”

“මම පෙත්සමට ගාවලා නෑ….ඒකෙන්ම පෙනෙන්නේ මේක ජයන්තටම වින කරන්ට කරපු දෙයක්”

“එහෙම නැත්තම් අපෙ ගමේ එකෙක් කරපු දෙයක් වෙන්ට බැරිද, අපි මගෑරලා?”

ගාමිනී පෙත්සම ගහපු මිනිහා ගැන වැඩිය හිතලා තිබුනෙ නෑ. අප්පච්චී මේක ගැන තමාට වැඩිය හිතලා තියෙන බව ගාමිනීට දැනුනා.

“වෙන්ට පුලුවන්….මං හරියටම දන්නෙ නෑ අප්පච්චී…කවුරුත් මට මොකවත් කියලත් නෑ…නමුත් මට පෙනුන එක දෙයක් තමා නංගියි ජයන්තයි ඉස්සර තරම්ම සංතෝසෙන් නෙවෙයි වගේ ඉන්නේ”

“හ්ම්ම්….අම්මට මෙව්වා නොකිව්වට කමක් නෑ….උඹෙ රස්සාව කොහොමද?”

ගෙදර ලඟටම එනකම් ගාමිනී එයාගෙ රස්සාව ගැන කතා කරා.

…………….

එදා හවසවත් රෑවත් ජයන්තගෙ කරදර ගැන අප්පච්චිත් එක්ක කතා කරන්න අවස්තාවක් ගාමිනීට ලැබුනෙ නෑ, නිතරම අම්මත් ලඟ හිටිය නිසා. අප්පච්චී සාමන්‍යයෙන් මේවගේ දේ ගැන හිතලා බලලා තමා කෙරෙන්න ඕනැ දේ ගැන තීරනයක් ගන්නේ. අම්මා එහෙම නෙවෙයි - ඊලඟ බස් එකේ කොලඹ ගිහින් ලතාගෙයි ජයන්තගෙයි කරදර වලට වහාම පිලියමක් කරන්න උත්සාහ කරනවා. ඒ නිසාමයි ගාමිනී අම්මට මේ ගැන කිසි දෙයක් දැනට නොකියන්න තීරනේ කරේ.

“ජයන්තට කොහොමද මේක නිලවශයෙන් දැනුම් දුන්නේ?”

රාලහාමී ගාමිනිත් එක්ක සෙනසුරාදා උදේ කුඹුර පැත්තේ යන ගමන් මෙහෙම ඇහුවේ.

“ජයන්ත කියපු විදිහට එයාගෙ අධ්‍යක්ෂක කාමරේට කතා කරලා කිව්වලු පෙත්සම ගැන. එයාගෙ වචනෙට තමා ජයන්ත නිවාඩු ඉල්ලුවේ - නිවාඩු ගත්තෙ නැත්තං වැඩ නවත්තන්ට වෙනවා කිව්වලු”

“ඒක වැරදියි නේ! පෙත්සමක් ආපු තරමින් වැඩ නවත්තන එක දැන් රටේ නීතිය නම් ඒකයි කරන්ට ඕනැ. එක අතකින් නීතිය එහෙමයි කියලා මට හිතන්ට බෑ. මටත් පුලුවන් පෙත්සමක් යවන්ට ගාමිනී බංඩාර දෙපාර්තමේන්තුවෙන් පෑන් පැන්සල් හොරකං කරා කියලා. ඒකට වැඩ තහනම් කරන්නේ කොහොමද ඒකේ ඇත්ත බොරු නොබලා? අනික, නීතිය අනුව වැඩ තහනම් කරන්ට තියෙද්දී ඇයි අධ්‍යක්ෂක කෙනෙක් නිලදාරියෙකුට එහෙම නොකරන්නේ? මෙතන පෙත්සමට යටින් තව වැදගත් දේ තියෙනවා”

“අප්පච්චී … අධ්‍යක්ෂක එහෙම කරේ ජයන්ත ගැන විශ්වාසෙට… වැරැද්ද නොකරපු කෙනෙකුට දඬුවම් දෙනවා වෙනුවට නිවාඩු ගන්ට කියපු එක මට තේරුම් ගන්ට පුලුවන්”

“තේරුම් ගන්ට පුලුවන් …. නමුත් වැඩේ වැරැදියි….කෙනෙක් වැරැදි වැඩක් කරන්නේ යම්කිසි පුද්ගලික හේතුවක් ඇතුව මිසක් දක්ශ නිලදාරියෙක් හරි යාලුවෙක් හරි බේරාගන්ටම විතරක් නෙවෙයි. අර කතාවක් තියෙනවානේ, ‘ලාබ ලබන්නා සොයාගත්තොත් වැරදිකාරයත් ඒ කිට්ටුවම ඇති’ කියලා”

“තරහකට වැඩේ කෙරුවානම් ලාබ ලබන්නෙක් නෑ නේ!”

“ලාබේ කියන්නේ සල්ලි, ඉඩකඩම් එහෙම විතරක් නෙවෙයි…සමහරු මානසික ලාබ ලබනවා. තරහකාරයෙකුගෙ වාහනේකට ගල් ගහන්නේ අන්න එහෙම ලාබයක් ලබන්න. ඔය වගේ ලාබ වලට හොඳ නමක් එහෙමත් දාලා ඇති සමාජ විද්‍යාව වගේ දේ කරන එවුන්, මම දන්නෙ නැති උනාට”

“අප්පච්චී කියන්නේ ජයන්තට හානියක් වෙන එකෙන් යම් විදිහේ ලාබයක් ලබන කෙනෙක් තමා මේක කරලා තියෙන්නේ කියලද?”

“එහෙම කෙනෙක් හරි එයාට කිට්ටුවම ඉන්න කෙනෙක් හරි කියලා තමා මං හිතන්නේ”

ගාමිනී පෙත්සමේ ලියා තිබුනේ මොනවද, ලිව්වේ කවුද වගේ දේ ගැන ටිකක් හිතුවත් ඒක ලියන්නට හේතුවක් ගැන මීට ඉස්සර හිතලා තිබුනේ නෑ. රාලහාමී කී දේ ගැන හිත හිතයි ගාමිනී දවල් කෑමට ගෙදර ආවේ.

එදා හවස ගාමිනී අම්මත් එක්ක පන්සල් ගියා කාලෙකට පස්සේ. රාලහාමී ආවෙ නෑ - පත්තර මිටියකට යටවෙලා. සමහරවිට ගාමිනී අම්මට පන්සල් යන්න කතා කලේ ජයන්තලා ගැන නොකීම වැරැදියි හිතපු නිසා වෙන්න ඇති. කොහොමටත් පැයක් දෙකක් අම්මත් එක්ක ඉඳීම ගාමිනීගෙ හිතට සැනසීමක්.

ඉරිදා දවල්ට කාලා කොලඹ යන්න පිටත් උන ගාමිනී බස් එකට දාන්න කවදාවත් නැතුව රාලහාමිත් ආවා.

“මලයගෙන් අහගන්ට ඕනෑ පංසලේ ශ්‍රමදානේ කවද්ද කියලා” අම්මා මේක විස්වාස නොකරත් රාලහාමී බස් එක ලඟට යනවට අකමැති නෑ.

“උඹ ජයන්තට මං අද උදේ කියාපු ටික කියාපන්. ඒ විදිහට වැඩේ කෙරුවොත් බලන්ට පුලුවන් මෙතන මොකක් වෙනවද කියලා…ඕනැනම් ඇලෙක්ස් මහත්තයටත් කිව්වට කමක් නෑ. නමුත් ලයනල්ගෙන් අහන්ට එපා….උඹට තේරෙනවා නේද?”

“ඔවු අප්පච්චී. මං අද රෑම නංගිලෑ ගෙදර යන්නං”

…………..

ජයන්ත සිකුරාදා වැඩට ආවා, හරියට නිවාඩුවකට පස්සේ ආයෙත් වැඩට එනවා වගේ. පෙත්සම ගැන කංතෝරුවේ බොහොම අය නොදැන සිටි නිසා ‘නිවාඩුව’ ගැන මිසක් වෙන කිසි දෙයක් ගැන ප්‍රශ්න මතු උනේ නෑ.

“මං හිතුවේ ඊලඟ ෆීල්ඩ් සීසන් එකට ඉස්සර ගෙදර එකතුවෙලා තිබුන වැඩ ගොඩක් ඉවරයක් කරලා දාන්න” ජයන්ත කිව්වේ මෙච්චරයි.

එදා වැඩ ඉවර වෙන්නට කිට්ටුව ජයන්ත ගාමිනී ලඟට ආවා.

“ගමා අද හවසට මොකවත් වැඩක් දාගෙන තියෙනවද?”

“එහෙමට මොනවත් නෑ”

“යමුද අපෙ ගෙදර…ලතත් බලාගෙන ඉන්නවා…”

“මං එන්නං හය හමාරට විතර. වෙලා ගියොත් මට එහෙ නිදාගන්ටත් පුලුවන්ද?”

සති තුනක් නොදුටු හිනාවක් ජයන්තගෙ මූනේ ඇඳුනා.

“මං බොන්න මොනවත් ඇරගෙන යනවා….කිසි දෙයක් ගේන්න එපා….”

……………

“මම රාලහාමී කියපු විදිහට සඳුදා ගියා ඩිරෙක්ටර් වීරසේකර හම්බුවෙන්න. එදා උදේ එයාගෙ සෙක්රටරි ගැනිට කතා කරලා එකොලහට ඇපොයින්මන්ට් එකකුත් දාගෙනයි ගියේ….”

ජයන්ත ලතයි ගාමිනියි එක්ක ඉස්සරහ සාලේ වාඩිවෙලා පොඩි බීර එකක් බොන ගමන් තමා කතාව පටංගත්තේ. ගාමිනීට මේ සතියේ සිදුවුන දේ වල විස්තර දැනගන්න කොයි තරම් ආසාවක් තිබුනත් ජයන්තම කතාව පටංගන්නකම් කිසි ප්‍රශ්නයක් ඇහුවෙ නෑ.

“වීරසේකර මං දැකපු ගමන් හිනාවෙලා, වාඩිවෙන්න කියලා මගෙන් ඇහුවා ‘මොකද හදිස්සියේ’?’ කියලා”. මම කිව්වා මට මගෙ නිවාඩු කැන්සල් කරන්න ඕනෑ කියලා….මිනිහගෙ මූනේ හිනාව මැකිලා ගියා…රාලහාමී කිව්වා වගේ මම එතකොට පොලයිට් පිට උගෙන් ඉල්ලුවා එවාපු පෙත්සමේ කොපියකුයි, ඇමතිතුමා හමුවෙන්න අවසරයි!”

මෙතෙන්දී ජයන්ත හයියෙන් හිනා උනා.

“ගමා…මං කවදාවත් දැකලා තිබුනෙ නෑ වීරසේකරයා ගොළු වෙනවා….ඌට ඕනෑ වෙලාවක කියන්න යමක් තියෙනවා. අඩුමගානේ විහිලුවක් හරි….එදා රේඩියෝ එක නිවුවා වගේ”

ජයන්ත තව බීර උගුරක් බිව්වා. දැන් මූනේ හිනහවක් නෑ - බැරෑරුම් ගතියක් පෙන්නුවේ.

“වීරසේකරයා ඊලඟට කිව්වේ එයා මං වෙනුවෙන් කරපුදේ දැන් එයාටම වින කරනවා කියලා…’මම ජයසිංහගෙ හොඳටයි නිවාඩු ගන්න කිව්වේ - වැඩ තහනම් වෙනවට වඩා ඒක හොඳ නිසා….දැන් අනික් අතට හිතෙනවා වගේ…මම මිනිස්ට්‍රි එකෙන් අවසර අරගෙනයි නිවාඩු ගන්න උපදෙස් දුන්නේ….දැන් කියන්නේ ආපහු ඒ අයට කියන්නද ජයසිංහගෙ වැඩ තහනම් කරන්න කියලා?’ “

“එතකොට තමා මං රාලහාමිගෙ ඊලඟ ප්‍රහාරේ දුන්නේ. ‘සර් දන්නවා මං වැරදි වැඩක් කරලා නැතිබව. නැත්තම් වගකියයුතු අද්‍යක්ශක කෙනෙක් හැටියට සර් මට නිවාඩු ගන්න අවස්තාවක් දෙන්නෙ නෑ. ඒක මම දන්නවා. නමුත් මිනිස්ට්‍රි එකේ අයගෙ වැඩ වලින් සර්ට කරදරයක් වෙනවට මම කැමති නෑ. ඒ අය ඒ අයගෙ යටිකූට්ටු රේස් දුවපුවැයි - මම කැමතියි මේ පෙත්සම නීති මාර්ගෙන් හරි ඉවරක් කරන්න’ මෙහෙම කියලා මම පුටුවෙන් නැගිටින්න වගේ ලෑස්ති උනා”

“මෙතන මිනිස්ට්‍රි එකේ සම්බන්දයක් ගැන මම දන්නවා කියලා පෙන්නන්න තමා ඒක කිව්වේ. එතකොට මිනිහටත් ගැලවෙන්න පුලුවන් මිනිස්ට්‍රි එකට බැනලා. මේක මිනිහටත් තේරුම් ගියාට පස්සේ අපි තව පැය බාගයක් විතර කතා කර කර හිටියා. හුනුගල්පොත්තාවල ප්‍රොජෙක්ට් එක ගැනත් ඇහුවා, ඒකේ අයිතිය වීරවර්දනගෙ ඩිරෙක්ටරේට් එකේ උනත්. මට තේ එකකුත් ගෙනත් දීලා අන්තිමට කාමරෙන් එලියට එන්න ඉස්සර කිව්වා මිනිස්ට්‍රි එකට කතා කරලා බලන්නම් කියලා….පෙරේදා මට කෝල් එක ආවේ පෙත්සම ගහපු මිනිහා ඒක ඉල්ලා අස්කරගත්තා කියලා….මම කිසි ප්‍රශ්නයක් ඇහුවෙ නෑ….”

“මොකද ජයන්ත ඇත්තටම සිදු වෙන්න ඇත්තේ?” ගාමිනීට මේක තවම තෝරාගන්න බැරි ගැටලුවක්. “කවුද මේක කරන්න ඇත්තේ?”

“….හරියටම කියන්න බෑ….නමුත් මං හිතන්නේ රාලහාමී හිතපු විදිහ හරි….අර හුනුගල්පොත්තාවල ගැන පත්තරේට ලියපු පොර ඇමතිගෙ මාද්‍ය වේදියෝ එක්ක කිට්ටුවෙන් ඉන්න එක හිතන්න අමාරු නෑ. එහෙම කෙනෙකුට පෙත්සමක් ලියන්න මිනිහෙක් සොයාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මං හිතන්නෙ නෑ පෙත්සම විභාග කරන තරම් දුර ගෙනියන්න කවුරුත් බලාපොරොත්තු උනා කියලා. ඕනැ උනේ ඇමතියගෙ ‘දූෂණ මර්ධනය’ වැඩකරනවා කියලා පෙන්වන්න. ඒක නිසා මම ගෙදර යැව්වා. කරපු උදව්වට ඕන ඔට්ටුවක් අපෙ රිපෝටර් කාරයට ඇමතියගෙ කංතෝරුවේ කතා කෙලින්ම එයි මීට පස්සේ. සමහරවිට අපෙ වීරසේකරයටත් පිටරට ට්‍රිප් එකක් වත් ලැබෙයි, ප්‍රොමෝශන් එකක් නතිනම්….”

කතාව ඉවරයි වගේ ජයන්ත පුටුවේ ඇන්දට හේත්තු උනා බර වැඩකින් මහංසි වෙලා වගේ. ලතා නංගී නැගිටලා පුටුව පිටිපස්සේ හිටගෙන ජයන්තගෙ උරිස් දෙක පිරි මදින ගමන් ගාමිනීට කතා කරේ බොහොම හෙමින්.

“මේ දවස් කීපේ බොහොම අමාරු උනා අයියා අපි දෙන්නටම… එක අතකින් ජයන්තගෙ රස්සාව…ඊටත් වැඩිය හිතේ අමාරුව නොකරපු වැරැද්දකට දඩ ගෙවන එක ගැන…හරි හැටි නින්දකුත් නෑ…..”

“ඔවු ගමා…රාලහාමී නැත්තම් මම විතරක් නෙවෙයි අපි දෙන්නම කොහෙ කොහෙ යැවෙයිද කියලා හිතන්නත් අමාරුයි. ඇත්තටම උඹලගෙ අප්පච්චී වෙන මිනිස්සු වගේ පත්තරේ කියවන්නෙ නැතුව ඒවගෙ තියෙන ප්‍රවුර්ති තේරුම් අරගෙන, ක්‍රොස් රෙෆරන්ස් කරලා රහස් පරීක්ශක වැඩ කෙරුවෙ නැත්තම්…. ” ජයන්ත ඇඟ නොහරවා ලතාගෙ අත තදින් අල්ලා ගත්තා.

“උඹලා නැත්තම් මම මොන ගොන්පාට් එකක් කරගනීද කියලා කවුද දන්නේ?”

ගාමිනී බලාගෙන හිටියේ මේ අවස්තාව එනකම්.

“ඇයි දෙන්නා හෙට ගිහින් අප්පච්චියි අම්මයි බලලා එන්නෙ නැත්තේ? ඇලෙක්ස් කිව්වා ඕන නම් එයාගෙ කාරෙක අරගෙන ගියහැකි කියලා”

“ගමාගෙ ඔලුව ආයෙත් මගෙ ඔලුවට ඉස්සර වෙලා දුවනවා නේද? කොයි වෙලාවෙද ඇලෙක්ස්ට කතා කරේ?”

“මෙහෙ එන්ට ටිකකට ඉස්සරවෙලා....ජයන්තලා සමහරවිට හුනුගල්පොත්තාවල යයි කිව්වා මිසක් මං වෙන මොනවත් කිව්වෙ නෑ”

ජයන්ත ලතා දිහා බැලුවේ පරන විදිහට - ගිය දවස්වල තිබුන කරදර දියවෙලා ගිහින් වගේ.

“අපි යමුද කෙල්ලේ? අප්පච්චිට විස්කි බෝතලයක් හෙට ගනිමු…ම්ම්..දෙකක්… විස්කි ලොරියක්…අම්මට?….ලතා හිතලා බලන්න මොනවද ගන්නේ කියලා….උදේම පිටත් උනොත්…මගින් උදේට කන්නත් පුලුවන්…දෙල් ඇතිද දන්නෙ නෑ මේ කාලෙට….මොකොද උඹලා හිනැහෙන්නේ?”

ගාමිනී හිතුවා අද රෑ මෙහෙ නොනැවතී නවාතැනට ගියොත් හොඳයි කියලා.