පසුපස රැකවල

මට ඒ ඩීවීඩී තැටිය ලැබුනේ ගෙදර ඉස්සරහ තැපැල් පෙට්ටියෙන්. අපි ඉන්නේ මගෙ අයියට අයිති, අයියගෙ ගෙදරටම අල්ලපු ගෙදර නිසා ගේට්ටුව ලඟ තියෙන තැපැල් පෙට්ටිය ගෙවල් දෙකම පාවිච්චි කරා. ගිය සිකුරාදා එකේ තිබුනේ කාඩ්බෝඩ් කවරෙකින් සුරක්ෂිත ලෙස එතූ ඩීවීඩී තැටියක්. ‘අජිත් කුලසේකර මහතාට’ යන වචන ඇර වෙන කිසි දෙයක් කවරේ ලියලා තිබුනෙ නෑ. මගේ ලිපිනයවත් එවූ කෙනෙකුගේ නමක් වත් නෑ. මුද්දර ගසා තැපෑලෙන් එවනවා වෙනුවට මේක කවුරුහරි මට නොකියා ඇවිත් තැපැල් පෙට්ටියට දාලා ගිහින් තියෙන්නේ. මම තැටිය ගේ ඇතුලට ගෙනාවේ ගැහෙන හදවතකින්.

මම පලපුරුදු මාද්‍යවේදියෙක්. මහාචාර්‍ය ඉන්ද්‍රානී වීරසිංහගේ ‘සිත් කන්නාඩි’ ගැන විශේෂාංගයක් ලිවීමෙන් පළමුව කරළියට ඇවිත් බොහොම කාලයක් පත්තර වලට ලිව්වා. නමුත් අපෙ ගමේ ඇමති කෙනෙක් ගැන ලියලා ඒකෙන් කරදරවලට මුහුන දෙන්න සිදුවූ නිසා අපි දැන් ඉන්නේ පොලොන්නරුවේ; ලියන්නේ ව්‍යාජ නමක් පාවිච්චි කරලා - වැඩිපුරම අංතර්ජාලෙට. මගේ ලිපිනයත් දුරකතන අංකත් දන්නේ පවුලෙන් පිට කීප දෙනයි. ඕන වෙලාවක නොදන්න තැනකින් ලියුම් හෝ විද්යුත් මාද්‍ය පනිවිඩ ලැබුනොත් මම තවමත් එවා දිහා බලන්නේ සැකයෙන් වගේම සෑහෙන භයකින්. දැන් ලංකා රහස් පොලිසියට සම්බන්ධ මහාචාර්‍ය ඉන්ද්‍රානී වීරසිංහගේ ආරාධනයෙන් මම රටට අන්ත්‍රාදායක පරිගනක ප්‍රෝඩාවක් වළක්වන්න උදව් කළා. කිහිප දෙනෙක් මරනයට පත්කළ ඒ සිදුවීමෙන් පසුව ඒ මැතිනිය මට ඉතා පරෙස්සමෙන් ජීවිතේ ගෙවන ලෙස අවවාද කළා. ඉතා භයානක අවස්ථාවක පමනක් ඇයට පනිවිඩයක් යවන ක්‍රමත් මට කියා දුන්නේ එතකොටයි.

පවුලත් දරුවොත් නිදාගත්තැන් පස්සේ මම කන්තෝරු කාමරේ දොරත් වහගෙනයි ඩීවීඩී තැටිය කොම්පියුටරේඩ් ඇතුල්කළේ. මම ඉයර්ෆෝන් කනට දාගත්තා ගෙදර අයට නොඇසී තැටියේ තියෙන දේ අහගන්න. මේ තරම් පරෙස්සමෙන් වගේම නොඉවසිල්ලෙනුත් මේක බලන්නේ කෙලින්ම මාවෙත නිර්නාමිකව එවන තැටියේ පරන බයිස්කෝප් නැති බව තදින්ම විශ්වාස කළ නිසයි.

……………………………….

පළමු විනාඩි කිහිපයේ මම දුටුවේ දිනයක් සහ වෙලාවක් වීතරයි - පසුබිම සම්පූර්නෙන්ම කළුයි; ශබ්දපඨය නිහඬයි. එහි පෙන්වුන දිනය අදට දවස් දහයකට පෙරයි; වෙලාව තිබුනේ හවස තුනටයි - වෙලාව නොවෙනස්වී තිබුන නිසා මම හිතුවේ තැටියේ පෙන්වන්න යන්නේ හවස තුනට පටන්ගත් සිද්ධියක්/දේශනාවක්/නාට්‍යක්වැනි දෙයක් වියහැකි බවයි.

නිහඬ තිරය චිත්රපටියක මෙන් ක්රමයෙන් අදුරුවී ගියා. ඊලඟ දර්ශනය තිරයට ආවේ නිරපේක්ෂිත ලෙස පසුබිමේ විවාදයක හඬත් සමගයි. දර්ශනයෙන් පෙන්වූයේ මේසයක් වටා වාඩිවී සාකච්චාවක යෙදී සිටින දස දෙනෙකුගෙන් සමන්විත සභාවකුයි. නිසි පාලනයක් නොමැතිව සිදුවන විවාදයේ බොහෝ දෙනෙක් එකවිට තම අදහස් ඉදිරිපත් කිරීමෙන් ඇතිවූ අවුල අඩුවූයේ මේසේ කොනේ ඉන්නෙක් මේසයට සැරෙන් තඩිබෑමෙනි.

“සයිලන්ස්!”

සද්දය ක්රමයෙන් අඩුවූ විට මම මේසේ වටා ඉන්න අය හඳුනාගන්න උත්සාහ කළා. මේසයට ගසා සභාව නිශ්ශබ්ද කිරීමට සමත්වූයේ රටේ ප්රසිද්ධ ව්යාපරිකයෙක් මෙන්ම ධනවතෙක් වූ භානුක ‘භරනගණිත’ විජේසේකරයි. කුඩාකළ පටන් ගණිතයට දක්ෂවූ නිසා ‘භරනගණිත’ නම පටබැඳි ඔහු තම දක්ෂතාවයෙන් කෝටිපතියෙක් වූයේ වයස තිස් පහේදියි. ඔහුගේ දකුණුපසින් වාඩිවී යමක් පොතක සටහන් කරමින් හිටියේ විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා මහාචාර්යවරයෙක්ව සිට පසුව දේශපාලණේට පිවිසි ශාන්ත ප්රනාන්දුයි. භානුක විජේසේකරගෙ වම් පසින් සිටියේ සුදු කොන්ඩයක් ඇති වයසක නෝනා මම මීට පෙරෙ නොදුටු කෙනෙක්. සභයේ සහභාගි වන්නන් සටහන් කරගැනීම මට නවත්වන්න සිදුවූයේ විජේසේකර මහතා නැවතත් කතා කිරීමට පටන්ගත් නිසයි.

“සයිලන්ස් ප්ලීස්! අපි මෙතන තනි තනියෙන් කෑගැහුවට කිසිම වැඩක් වෙන්නෙ නෑ. අපි එකතුවෙලා… මොලේ පාවිච්චි කරලා මේ ඇවිත් තියෙන ප්රශ්නෙට උත්තර සොයාගන්න ඕන… මං දන්නවා මෙතන කීප දෙනෙක් ඉන්නවා මේ සභාවට මීට ඉස්සර ඇවිත් නැතත් අද, අපෙ විධායක කමිටුවේ ආරාධනයෙන්, ඇවිත් ඉන්නවා. ඒ අය හඳුන්වාදෙන්න මම අදහස් කරන්නෙ නෑ…. දැනට. නමුත් ඒ අයගේ දැනුමටත්, අනික් අයට මතක් කිරීමක් වශයෙනුත් මම දැන් ආරාධනා කරනවා ආචාර්ය රෝහිනී වයිද්යනාදන්ට”

නම කියනකොටයි මට මතක්වුනේ ලංකාවේ විශාල වෙලඳ ආයතන කිහිපයක අධ්යක්ෂක තනතුරු දැරූ රෝහිනී වයිද්යනාදන් පසුගිය අවුරුදු දහයේ සිංගප්පූරුවේ සහ එංගලන්තේ ජීවත් වන බව. එතුමීගේ කතාව පටන්ගන්න ඉස්සර මම කාමරේ වටා බැළුවා. එතන සිටියන් අතර ලංකාවේ වැදගත් ව්යාපාර බොහොමයක් නියෝජනය කළා - ඉංධන, ප්රවාහන, ආහාර නිශ්පාදනය (ධීවර, කිරි, සහල්, පිටි, තෙල්…) වැනි. නමුත් ලොකුම නියෝජනය හිබුනේ තොග සහ සිල්ලර වෙළඳාමයි.

“තෑන්ක්යූ භානු… ස්තුතියි මට ආරාධනා කළාට. මගේ අත්දැකීම අනුව මේ දැන් සිදුවෙලා තියෙන කරදරේට වහාම පිළියමක් - සම්පූර්ණ පිළියමක් - නොකලොත් දැන් ඔබතුමාලට තියෙන වාණිජ ආධිපත්ය සදහටම නැතිවෙන්න පුළුවන්!”

මේසය වටා වහාම ඇතිවූ දෙඩවීම නවතන්න වයිද්යනාදන් අත ඉස්සුවා.

“මම එහෙම කිව්වේ විහිළුවට නෙවෙයි - ඔබතුමාලට විශාල තර්ජනයක් මෙතන තියෙන්නේ - එක එකාට පගා දීලා බේරෙන්න බැරි තරජනයක්!”

දෙඩවීම නැවතත් පටන්ගත්තා, මේ සැරේ වැඩි සද්දෙන්.

“මම කවදාවත් පගා දෙන්න්නෙ නෑ!”

“දාඩිය මහංසියෙන් හදාගත්ත බිස්නස් එක!”

“ඔහොම බොරු කියලා අපෙ කොම්පැනි වහන්න බෑ!”

මේ සැරේ විජෙසේකර හයියෙන් මේසෙට ගැහුවා. සද්ද අඩුවුනාට පස්සේ කතකළේ බොහොම හෙමින්.

“මම ආයෙත් කියන්නෙ නෑ… වයිද්යනාදන් නෝනා කියනදේ සාවදානෙන් අහන්න බැරිනම් දැන් එලියට ගියාට කමක්නෑ - එතුමිටත් මටත් නින්දා නොකර… මම කාගෙවත් නම් කියන්නෙ නෑ…. නමුත් ‘පගා දෙන්නෙ නෑ’ කියලා ඇයි ඇමතිතුමාට වාහන අරගෙන දුන්නේ? ‘දාඩිය මහංසියෙන්’ද ආංඩුවේ ඉඩම් හොරට ගත්තේ නෑදෑ මංත්රී මාර්ගෙන්? අපිට බොරු කියන්න කිසිම අවශ්යතාවයක් නෑ - මෙතන ඉන්න සේරම අය ගැන ඇත්ත දන්න නිසා!... දැන් අපි සද්ද නැතුව අහගෙන ඉමුද?”

“තෑක්යූ… මං මුලින්ම පටන් ගන්නම්… අද හමුවීමේට මූලික හේතුව අපේ පසුගිය මීටිමක සම්පූර්ණ රහස් වාර්තාවක් මාධ්යවේදියකුගේ අතට පත්වීමයි. එළිදරවු නොකළ යුතු රහස් වාර්තාවක් මේ විදිහට පතළ කිරීම කාගෙ මෝඩ වැඩක්ද, කවුරු කාට වාර්තාව දුන්නද, ඇයි එහෙම දුන්නේ… මේ වගේ ප්රශ්න …. මට අදාල නෑ. නමුත් ඒ වාර්තාවට ඇතුල්වුන, සමහර වගංති, අපේ සභාවේ ඉන්නන්ගෙම වචන, කීපයක් මම දැන් කියවනවා…”

දැන් මිනිස්සුන්ට ඕන තරම් සල්ලි තියෙනවා - බඩු ගනං වැඩිකරාට අලෙවිය අඩුවෙන්නෙ නෑ!

ගනං වැඩි තරමට තමා බඩුවේ වටිනාකම. රුපියල් තුන්සීයේ පදිකවේදිකා කමිසම එක්දාස් දෙසීයකට දෙන්න පුළුවන් ලේබලේ විතරක් වෙනස් කරලා - අපෙ මනුස්සයෙක් ඉන්නවා මාර ලේබල් හදන! අපෙ අය කැමතියි වටිනා ඇඳුම් අඳින්න.

පිට රටින් බඩු ගෙන්වන එක වටිනවා - ලංකාවේ හදන්න පුළුවන් බඩු වලත්… අනික හදන රටේ හැටියටත්…. ඉන්දියාවේ බඩු හොඳ මදි කියලා මිනිස්සු දැනටමත් දන්නවා… හැබැයි චීනේ බඩුත් නරකයි කියලා මිනිස්සුන්ට ඒත්තුගන්නන්න ඕන - ඒක තවම වෙලා නෑ.

පුංචි කඩවල බලේ දැනටමත් අඩුයි… මං කියන්නේ උන් කෙසෙල්ගෙඩි විකුනපුවයි - ඒකෙන් අපිට පාඩු නෑ. නමුත් අපෙ සුපර්මාකට් එළවලු පළතුරුත් අත්කරගත්තම උන්ට කෙසෙල්ගෙඩිත් නෑ!

ගමේ කඩවල් වලින් අපිට පාඩු නෑ… නමුත් ගම්වල මිනිස්සුත් ඉගෙන ගන්න ඕනෑ චීස් කන්න - ගමේ කඩත් අපෙන් තමා අංතිමට බඩු ගන්නේ. සමූපකාරේ, සී ඩබ්ලියු ඊ - මේවා පරාදිතයන්ගෙ කඩ.

අපේ සාප්පුවල ආචාරශ්‍රීලී, ශිෂ්ට සම්පන්න වාතාවරනයක් තියෙන්නේ - ගමේ පොරවල්, සල්ලි නැති අය - කෙලින්ම හිඟන්නෝ - අපිට එපා. ඒ අය එන එක අඩු කරන්න ඕන. ඒක පිටතට නොපෙනෙන්න සියුම් විදිහට කරන්න පුළුවන්, ඉංග්රීසි වචන පාවිච්චි කරලා, නැත්නම් ඕනෑවටත් වැඩිය පොලයිට් වෙලා - ක්රම බොහොමයි. තමාගෙම වාහන වලින් එන අය තමා වඩාම අපිට ඔබින්නේ….


වයිද්යනාදන් වට පිට බැළුවා ආයෙත් කතා කරන්න ඉස්සර. අනික් සභිකයන්ගෙන් කිසිම සද්දයක් නෑ.

“මේ වාර්තාව ලැබූ මාධ්යවේදියා ඒක තවම ප්රසිද්ධ කරලා නෑ. ඒ මාධ්යවේදියා කවුද කියලා මම දන්නෙත් නෑ, දැගන්න ඕනත් නෑ. එයා ලඟ වාර්තාව තියෙන බව අපි දන්නේ කොහොමද? ඒකේ කොපියක් එයා මේ විජේසේකර මහත්තයට එවලා තිබුනා - ට්රේස් කරන්න බැරි විදිහකට. එකෙන් පිටපත් කරපු කොටස් තමා එයා මට දුන්නේ විභාග කරන්න. විජේසේකර මහත්තයා තමාට ලැබුනේ හරි කොපියක් බව සහතික කරනවා”

භානුක විජේසේකර තම හිස නමා මෙහි සත්යතාවය සනාත කළා. රෝහිනී වයිද්යනාදන් නැවතත් කත කරන්න පටන් ගත්තා.

“අපිට තියෙන වැදගත්ම කර්තව්ය… එකම කර්තව්ය… මේ වාර්තාව ප්රසිද්ධ වුනොත් එයින් වෙන හානිය සම්පූර්නෙන්ම වළකන්න බැරිනම් අඩුම් ගානේ හානිය අවම කරගැනීමයි. ඒකට පිළියම් වට්ටෝරුවක් මම ලෑස්ති කරලා තියෙනවා. මම ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ මේකයි - ඊලඟ පැය බාගයේ භානුක දෙන මේ පිටු දෙකේ වට්ටෝරුව කියවලා තේරුම් ගන්න. අපි නැවතත් මේක සාකච්චා කරමු පැය බාගෙකින්… භානුක මෙතන් තේ කෝපි ලෑස්ති කරලා තියෙනවා, ඕනනම්. නමුත් කරුණාකරලා මේක තනියම කියවලා හේරුම් ගන්න බලන්න - අනික් අයත් එක්ක සාකච්චා නොකර. සාකච්චාව පැය බාගෙකින්”

“ඔය මාධ්යවේදියා හරි ඌට වාර්තාව දුන්න එකා අල්ලගත්තොත් මං දන්නවා කරන වැඩේ!”

සභාවේ එකෙකුගේ මේ වචනයට සභාපතිගෙන් තියුණු උත්තරයක් ලැබුනා.

“අපි සේරම කට පරිස්සම් කරගත්තොත් හොඳයි - බැරිනම් දැන්මම මෙතනින් අයින් වෙන්න කාලේ… දැන් අපේ හිත් යොදවන්න තියෙන්නේ වයිද්යනාදන් නෝනා කියපු වැඩේට විතරයි - වෙන මෝඩ කතා වලට නෙවෙයි!”

……………………….

තිරය අඳුරු වීගන එනකොට මම චිත්රපටිය නැවැත්තුවේ තේ කෝප්පයක් හදා ගන්නයි. චිත්රපටියේ දෙවනි කොටස කොයි තරම් කාලයක් පවතීද කියලා දැනගන්න ක්රමයක් නෑ. තේ වලට වතුර උනුවෙනතුරු මම දැනට දැකපු සිද්ධීන් ගැන් හිතා බැළුවා.

වාණිජ කමිටුවක රහස් වාර්තාවක් මාධ්යවේදියෙකුගේ අතට ලැබීමක් ගැන මම අසා තිබුනේ නෑ. ඒක පුදුමයක් නෙවෙයි - මේ කාලේ මම ලෝකෙට පෙනෙන විදිහට ප්රසිද්ධියේ නොලියන කෙනෙක් නිසා. නමුත් ඒ වාර්තාවෙන් සිදුවියහැකි හානි මර්දනය කිරීමට පැවතුන සාකච්චාවක් ඇතුලත් චිත්රපටියක් මා ලඟ. මා අතට එය දුන්නේ කවුද, මක් නිසාද, ඒ ගැන මා කලයුත්තේ කුමක්ද කියන ප්රශ්න එකකටවත් පිළිතුරු මා ලඟ නෑ.

චිත්රපටියෙන් පෙනෙන විදිහට නැතිවූ වාර්තාවේ සටහන්වී ඇති දේ මහජනයා අතට ලැබුනොත් එයින් විශාල වාණිජ ආයතන වලට ඉමහත් හානි සිදුවිය හැකියි. අනික් අතට, කිසිම වාර්තාවක සභා සාමාජිකයන්ගේ කිවූදේ වචනයක් පාසා ලියවෙන්නෙ නැතිබව මට විශ්වාසයි. පදික වේදිකාවෙන් ගන්න කමිසවල ලේබල වෙනස්කොට වැඩි ගනන් වලට විකිනීම වැනි අදහස් කොයි තරම් කියවුනත් ඒවා වාර්තාවකට එකතු වෙන්නෙ නෑ. වැදගත් සමිතියක් ලේකම් ධූරය දරන කෙනෙක් එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ.

රහස් වාර්තාවත් චිත්රපටියක් නම් ඒ පරශ්නය එතනින් හමාරයි. සමහරවිට මට ලැබුන තැටියත් රහස් වාර්තාවත් පටිගත වෙන්න ඇත්තේ එකම උපකරණ පද්දතියකින්. මගෙ තැටියත් රහස් වාර්තාවත් එක් පුද්ගලයෙක් (හෝ එක කණ්ඩායමක්) විසින් පටිගතකොට බෙදා හැරි බව මට විශ්වාසයි. ඒ අනුව… මමත් ඉන්නේ ඒ මාධ්යවේදියා ඉන්න භයානක තැනක බවයි මට හිතුනේ. නමුත් එක අතකින් ඒක පොඩි සැනසිල්ලක් - මම තනියම නෙවෙයි මේ සටන ගෙනියන්නේ - සටනක් ගෙනියන්න මම තීරණය කළොත්.

මම තේ කෝප්පෙකුත් අරගෙන කන්තෝරු කාමරේට ගියේ තැටියේ ඉතුරු ටික බලලා අනාගත ක්රියාමාර්ග ගැන තීරණයක් ගන්න බලාපොරොත්තුවෙනුයි.

……………………

“මගේ අදහස් සාකච්චා කරන්න වෙලාව දැන්. මම අඩියෙන් අඩියට අපේ ප්රශ්නෙට විසඳුම විස්තර කරනවා. ඕනෑම වෙලාවක පැහැදිළි කිරීමක් අවශ්යනම් මාව නවත්තන්න…”

“… මේ වාර්තාවේ පෙන්නුම් කරන්නේ සාමාන්ය වාණිජ කමිටුවක හමුවක් නොවෙයි. ඒක වාණිජ ආයතනයකින් පිහිටවූ උපකමිටුවක් පැවැත්වූ පර්යේෂණයක කොටසක් පමණයි. ඒ පර්යේෂණයේ මූලකාරණය, අරමුණ, ක්රම වේදය නොදැන වාර්තාව ගැන නිගමනයක් ගැනීම අන්ධ මිනිස්සු අලියා හඳුනාගැනීමට තැත්කිරීමට සමානයි… අපේ ස්ථාවරය මේකයි - වාර්තාවේ තියෙන්නේ පර්යේෂණයක් සඳහා එකතුකල දත්ත වලින් සියයට දහයකට අඩු කොටසක්”

සභාවේ සිටින්නන් අතර කසුකුසුවක් වගේම සිනා රැලිත් දැකගන්න හැකිවුනා. එක ප්රශ්නයකුත් ඉදිරිපත්වුනා.

“පරීක්ෂණය කරන්නේ කවුද? උපකමිටුව පත්කලේ මොන ආයතනයෙන්ද? පරීක්ෂණයේ අනික් සියයට අනූවේ දත්ත කොහෙද? මේ වගේ ප්රශ්න වලට උත්තර ඕනවෙනවා…”

මේකට පිළිතුරු දුන්නේ භානුක විජේසේකර මහතායි.

“හොඳ ප්රශ්න... මේ ප්රශ්න සියල්ලටම උත්තර දීමට අවශ්ය කටයුතු දැනටමත් සලසලා තියෙන්නේ - ඒ නෝනමහත්තයගෙ කළමනාකරනයෙන්. පර්යේෂණ කන්ඩායමත් දැනට එකතුවී ඇති දත්තත් අවශ්ය දින යටතේ උචිත කොම්පියුටර් වල දැනටමත් ගබඩාවී තියෙනවා”

“ස්තුතියි”

වයිද්යනාදන් මහත්මිය නැවතත් කතා කරන්න පටන්ගත්තා.

“මේ පර්යේෂණයේදී පැවැත්වූ සාකච්චාවලදී සමහර සසභාගිවුන අයට අපි කිව්වෙ නෑ මේක පර්යේෂණයක් කියලා. ඒ වගේම අපි ඒ අයගෙන් ඉල්ලා හිටියා ආයතනය දියුණුවට ඕනෑම ක්රමයක් යෝජනා කරන්න කියලා - කොයි තරම් ඒ අයගෙ හෘද සාක්ෂියට විරුද්ධ වුනත්… ඒ විදිහටයි අපි සාමාජිකයන්ගෙ සමහර වචන පැහැදිළි කරන්නේ…”

“උදාහරණයක්… ‘බස් වල එන අය නෙවෙයි අපේ සාප්පු වලට ඕන…’ උඩින් බලනකොට මේකෙන් කියවෙන්නේ අපි බස් වල එන - ඒ කියන්නේ දුප්පත් - පාරිභෝගිකයෝ එපා කියලා. නමුත් ඒකේ ඇත්තම තේරුම - අපේ පර්යේෂණ ක්රමවේදය අනුව - ඒක පාරිභෝගික ඛණ්ඩනය කොයි තරම් වැදගත්ද, අදාලද කියලා සනාථ කිරීමේ උපකරණයක් මිස ආයතනයේ කැමැත්තක් අකමැත්තක් මැනීමේ උපකරණයක් නෙවෙයි”

“දෙවෙනි උදාහරණේ… ‘අපිට වැදගත්ම අනුග්රාහකයෝ ආයතනයේ කොටස්කරුවෝ’ … හරියට අපි අපේ පාරිභෝගිකයෝ අමතක කරනවා වගේ. ඒක ලේසි එකක්. නිදහස් විවෘත වාණිජයේ මූලධර්මය… විවෘත වාණිජය වැඩ කරන්නේ එහෙමයි. පාරිභෝගිකයෝ අමතක කළොත් වාණිජයක් නෑ!”

“තව උදාහරණයක්… ‘සාප්පු වලට හිඟන්නෝ / හිඟන්නෝ වගේ අයට එන්න දෙන්න හොඳ නෑ. අපිට ඕන පිටරැටියන් ගෙන්නගන්න’… මෙතනදී ‘හිඟන්නො/හිඟන්නෝ වගේ අය’ වගේම ‘පිටරැටියෝ’ සඳහන්වෙන්නේ පිරිසිදු කමට සංකේතයක් වශයෙන්. මෙයින් කියවෙන්නේ අපේ ආයතන පිරිසිදු, සැපපහසු ඇති තැන් මිස පදික වේදිකා නොවෙයි කියලා… සමහරවිට මේක ගැන තව ටිකක් සිතා බලන්න වෙයි…”

“මගෙ අංතිම උදාහරණය… ‘අපි නාගරික සභිකයෝ, මංත්රීවරු වැනි අයට සහයෝගය දෙන්න ඕන… ආන්ඩුවේ නැති විරුද්ධ පක්ෂේ අයටත් - මිලියන් ගනනක්’. සමහරු හිතයි මේක පගා දීමක් කියලා. එහෙම අදහසක් කිට්ටුවටවත් අපි යන්නෙ නෑ. ප්රජාතන්ත්ර රටක ආන්ඩුවට වගේම අනාගත ආන්ඩුවක් වියහැකි විරුද්ධ පක්ෂයට අපි සහයෝගය දෙනවා. ඒක ඡන්දය පාවිච්චි කරන ඕනෑම කෙනෙකුගෙ යුතුකම… සමහරු හිතන්න පුළුවන් ඔය මිලියන් කියනකොට ඒ මුදලක් කියලා. ඒක විහිළුවක්. මෙතන මිලියන් කියන්නේ මිලියන් ගනනක ජනතාවක් නියෝජනය කරන දේශපාලකයෝ ගැන. ඔවුන්ට උදවු කිරීම ඡන්ද දායකයන් මිලියනකට උදව් කරනවාට සමානයි”

සභාවේ සහභාගී අයගේ මුහුනුවල විස්මය මෙන්ම සතුටු සිනා වැලක් ඇඳී ගියා. ඔවුන්ගේ හැම ඉරියව්වකින්ම හිස් උඩ තිබූ මහා බරක් ඉවත්වී නැතිව ගිය අනාගතයක් නැවතත් දකින්නන් ලෙස පෙනුනා. මගේ මතකයට නැගුනේ මුහුදේ ගිලී මියයන්න ඔන්න මෙන්න කියා නාවික හමුදාවෙන් ගලවාගත් ධීවරය පවුලක මුහුනුයි. වයිද්යනාදන් මහත්මියගෙ විසඳුමත් නාවික හමුදාව මෙන් ප්රබලයි, සැකකළ නොහැකියි. සුනාමියක් වගේ කාමරේ වටා අත්පොලසන් රැල්ලක් නැගී ගියා.

…………………………

මහාචාර්‍ය ඉන්ද්‍රානී වීරසිංහට මම කතාකළේ පුතා ඉස්කෝලේ දාලා ආපහු එන ගමනුයි. තනියම වැව ලඟ ගලක් උඩ වාඩිවෙලා වීරසිංහ නෝනා දීපු මෝබයිල් එකෙන් ඒකේ ගබඩාව තිබුන එකම නොම්බරේට කතා කිරීම ආරක්ෂා ඇති කියලා මට හිතුනා.

“මේ දිමුත් පරනවිතාන - මහාචාර්‍ය ඉන්ද්‍රානී වීරසිංහ ඉන්නවද?”

මම මේ නම පාවිච්චි කරන්නත් සාකච්චාවේ මාතෘකාව පොලොන්නරුවේ ඉඩමක් ගැන වීමටත් අපි එකඟවෙලා හිටියේ.

“හා දිමුත්? මොකද හදිස්සියේම?”

“නෑ නෝනමහත්තයා. අළුත් ඉඩමක් විකුනන්න දාලා තියෙනමං හිතන්නේ බලන්න වටිනවා. ගාන ටිකක් සැරයි හැබැයි ඊට වැඩිය වටිනවා, මං හිතන්නේ”

“හදිස්සියක් තියෙනවද?”

“ටිකක්… කොයි වෙලාවේ යයිද කියන්න අමාරුයි”

“හ්ම්… මම හෙට අනිද්දා එන්නයි හිටියේ. අයියලාගෙ ගෙදරදී හම්බවෙන්න බලමු දවල් කෑමට, අනිද්දා”

ඒ කියන්නේ හෙට උදේ දහයට තානායමේ හමුවෙන්නයි එයාගෙ ආරාධනය.

“හරි… මම අවශ්ය කඩදාසි ලෑස්තිකරගෙන ඉන්නවා”

………………………

මම බයිසිකලේට ඉන්ධන දාගෙන උදේ දහයට තානායමට ඇතුල්වුනා. මහාචාර්‍ය ඉන්ද්‍රානී වීරසිංහ කොනක මේසයක් ලඟ වාඩිවෙලා තේ බොනවා. මං එනවා දැකලා මටත් තේ එකක් වත්කරා.

“කොහොමද අජිත්? බයිස්කෝප් බැලුවද?”

එතකොටයි මට හිතුනේ මට ඩීවීඩී තැටිය ලැබෙන්න සලස්සලා තියෙන්නේ වීරසිංහ නෝනා කියලා. මට උත්තරයක් දෙන්න ටිකක් වෙලා ගියා.

“මගෙන් මොනවද මිසිස් වීරසිංහ බලාපොරොත්තුවෙන්නේ?”

ඒකට උත්තරේ ආවේ තේ උගුරු දෙකකට පස්සේ.

“මං හරියටම දන්නෙ නෑ අජිත් ... අර අපි අංතිමට මුනගැහුන පරිගනක හුටපටේ - රවී ලියනාරචිචි එහෙම සම්බන්ධ - ඒකෙදි තමා මට හිතුනේ අජිත්ගෙ දත්ත වලින් නිගමන ලබාගන්නා හැකියාව බොහොම් දියුනුයි කියලා… දැන් මට කියනවද ඩීවීඩී එක දැකලා මොනවද ගත්ත නිගමන කියලා?”

මම ටිකක් කල්පනා කළා.

“වැඩිය මොකුත් නෑ… මට හොඳටම විශ්වාසයි ඔය ‘භයානකයි’ කියන වාර්තාවත් බයිස්කෝප් එකක් - සටහන් වලින් ලියවුන වාර්තාවක් නෙවෙයි. ඒකට හේතුව - ලේකම් කෙනෙක් කවදාවක් ඒ වගේ අදහස් වත් භාශාව වත් සටහන් කරන්නෙ නෑ. ඒ ගැන තව ටිකක් හිතුවොත්… සභාවේ ඩීවීඩී එකක් මට ලැබුනානම්, පලවෙනි වාර්තාවත් ඒ විදිහටම තැටිගත කරන්න ඇති… ඒක තර්කානුකූලයි. ඔය වගේ ප්රබල සභාවක් විශේෂ ආරක්ෂා සලසන්නෙ නැතුව මුනගැහෙන්නෙ නෑ. එහෙම එකක් තැටිගත කරන එක ලේසි නෑ. එකම ස්ථානයක සභා දෙකම තිබුනා කියලා අපිට හිතාගන්න පුළුවන් - හොරෙන් විඩියෝ කරන්න පුළුවන් කාමර ලේසියෙන් සොයාගන්න බැරි නිසා… ඒ ටික හරිද?”

“අජිත් කතා කරලා ඉවරවුනාම කියන්නම්…”

“රයිට්… මේ ඩීවීඩී හැදලා තියෙන්නේ එක්කෝ සභාව සංවිධානය කරන කෙනෙකුගේ සහාය ඇතුව… එහෙම නැත්නම් බලවත් පිටස්තර ආයතනකින් (රහස් පොලිසිය වගේ)… සමහරවිට පිටස්තර ආයතනයකුයි සභා සංවිධායෙකුයි සහයෝගෙන්… ඒ සභා සංවිධායකයා සභාව මුනගැසෙන තැන ගැන තීරණ වලට සබන්ධයි… ආයෙ මොනවත් නෑ…”

“අජිත් ඩීවීඩී එකෙන් දුටු සභාව තිබුනේ මිස්ට භානුක විජේසේකරගෙ සමුළු කාමරේක”

දැන් මට පේනවා ඉත්තෝ ටික පෙලට ඉන්නවා.

“හරි… භානුක විජේසේකර සමිතියේ සභාපති හැටියට කටයුතුකළේ. එයාට තමාගේ කොන්ෆරන්ස් රූම් එකක් තැටිගත කරන්න පුළුවන් ලේසියෙන්. ඒ වගේම වයිද්යනාදන් මැතිනියට ආරාධනා කරන්නත් එයාට පුළුවන්… ඇතිවී තියෙන ප්රශ්නයකට පිළිතුරක් සොයන්න… ඇත්තටම ප්රශ්නේ මොකද්ද? එහෙම ප්රශ්නයක් ඇත්තටම තිබුනද? භානුක විතරයි ඔය කියන වාර්තාව දැකලා තියෙන්නේ. මිනිහා වයිද්යනාදන්ට දුන්නේ පිටපත් කරපු කොටස්… මිනිහගෙ වචනේ විතරයි තියෙන්නේ එහෙම වාර්තාවක් තිබුනද නැද්ද කියලාවත්… නමුත් ඇයි? මොකද්ද මෙතන තියෙන ලොකු යුද්ධේ, රහස් පොලිසිය ගෙන්න ගන්න? මට කියන්න තියෙන්නේ එච්චරයි!”

වීරසිංහ නෝනා විනාඩියක් කල්පනාවෙන් වැව දිහා බලාගෙන හිටියා.

“ස්තුතියි අජිත්. අජිත්ගෙ ප්රශ්න සේරටම උත්තර දෙන්න ආරක්ෂා අනුමැතිය නෑ. නමුත් සමහර දේ කියන්න පුළුවන්… භානුක විජේසේකර රහස් පොලිසියට සහය දුන්බව ඇත්ත. ‘භයානක’ පළමු වාර්තාවක් තිබුනෙ නෑ - වයිද්යනාදන් මැතිනියට දීපු වාර්තා පිටපත් කොටස් කියපු ලියවිලි සකස්කළේ අපියි… මේ මුළු කටයුත්ත සමාජ විරෝධී කුහක ව්යපාරිකයෝ කීප දෙනෙක් අල්ලන හදපු උගුලක් නෙවෙයි… අජිත් ඒ තරම් දැනගත්තොත් ඇති… මම අජිත්ගෙ උපදේශක ගාස්තුව බැංකුවේ තියෙයි තව විනාඩි දහයකින්… අජිත්… මම කුරුනෑගල පැත්තෙන්ද නුවර පැත්තෙන්ද ගියොත් හොඳ? අද හවස මීටිමකුත් තියෙනවා”

…………………………

මේ හමුවීමට සතියකට පස්සේ මම අංතර්ජාලෙන් පහත සඳහන් ඡේදය කියෙව්වා.

“කාලයක් තිස්සේ ක්රියාකාරීව තිබූ විශ්වවිද්යාල දෙකක ගවේෂණ මද්යස්ථාන හතරක් වහාම වසා දමා ඒවායේ ප්රධානීන් දෙදෙනෙක් අත්ඩංගුවට ගැනීම පොලිසිය කටයුතුකොට ඇත. මේ වනවිට ප්රධානීන් හැරුනුකොට ගවේෂණ කටයුතුවල නිරතවීසිටි ගවේෂකයෝ දොලොස් දෙනෙක් ප්රශ්න කිරීමට රහස් පොලිසිය සමත්වී ඇත. තවමත් සවිස්තර තොරතුරු හිඟ වුවත් මෙහි සිදුවූ සමහර ගවේෂණ රටේ සාමයත් ප්රගතියත් කඩාකප්පල් කිරීමට සැකසූ ව්යාජ ව්යාපාර බව අපේ වාර්තාකරු පවසයි”