පාඩම

මාර්තු අග වෙනකොට බොහොම පාසැල් ගුරුවරු කඩි රැලක ක්රියාකාරිත්වක් පෙන්වනවා. වාර විභාග මෙන්ම වැදගත් ක්රීඩා තරඟ වැනි දේත් අලුත් අවුරුදු උත්සව වලට සම්බන්ද කටයුතුත් මේ කාලෙටම යෙදීම මේකට මූලික හේතුවයි. සමහරවිට අවුරුදු කාලෙට ගෙවල්වල සිදුවෙන ආගමික සහ සම්ප්රදායිකව උත්සවත් මේ ක්රියාකාරිත්වය උත්සන්න වීමට රුකුල් දෙනවා.

මට කිසි දවසක කෙලින්ම මෙහෙම නොකිව්වත් මාලට මාව හමුවෙන්න වෙලාවක් නැත්තේ මේ හේතු නිසා බව මම හොඳටම දන්නවා. ඒ නිසාමයි අද මා සමග දවල් කෑමට එන්න එකඟවීම මට විශේෂයෙන්ම සතුටට කාරනයක් උනේ.

………………………….

මම අනුරාදපුරේ වැඩට ඇවිත් අවුරුදු දෙකකට පස්සෙයි මට මාලා පලමුවෙන්ම මුන ගැහුනේ. ඒ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පරිසරය ආශ්රිත කටයුතුභාර මගෙ ලොක්කා සමග මධ්ය විද්යාලයේ වසර දොලහේ සිසුන්ට දේශනයක් පැවත්වීමට ගිය අවස්ථාවකදියි. අපිව සිසුන්ට හඳුනාදීම භාරව තිබුනේ ඒ පංතිභාර ගුරුතුමියවූ මාලටයි. මුලු හඳුන්වාදීමේ කතාවෙන්ම මට මතක “….මේ පිලිබඳ මනා පලපුරුද්දක් ඇති බද්ධ…සමාවෙන්න…බුද්ධි තිලකරත්න මහතා….” යන වාක්යත්, ගුරුවරියගෙ රතුවන මුහුනත් සිසුවන්ගේ සිනාවත් පමනයි.

දේශනයෙන් පස්සේ අපිට ලැබුන තේ සංග්රහයෙදිත් මාලා මගෙන් සමාව ඉල්ලුවා, කල වැරැද්දට.

“…මම නම් ලියාගෙන තිබුනේ ඉංග්රීසියෙන් ….අනික …. අපි ශාඛා බද්ධ කිරීම ගැන පාඩමක් දැන් ඉවර උනේ.…ඒකයි බුද්ධි වෙනුවට බද්ධ කියවුනේ….අනේ මට සමාවෙන්න….”

“ගනං ගන්න එපා… වෙන මූනක් බද්ධ කරගන්න තියෙනවනම් මට කොච්චර හොඳද?” කියලා මම හිනා උනා. මාලටත් ඒකට හිනා ගියා.

ඒ හිනාවෙන් මගෙ ලෝකේ වෙනස් උනා. මාලගෙ හිනාවවි තරක් නෙවෙයි කට හඬයි, රූපෙයි, ඇඳුමයි… මේ සේරම තත්වාකාරයෙන් මගෙ හිතේ තිබුන හිස්තැනක් පිරෙව්වා වගේ දැනුනා. වෙන එකක් තියා මාලා ඉන්න තැන විහිදුන සුවඳත් මගෙ නහයට අමුතු සතුටක් ගෙන දුන්නා. මට ඒ වෙලාවෙම හිතුනා මාලා එක්ක දිගටම කතා කර කර ඉන්න පුලුවන්නම් කොයි තරම් හොඳද කියලා. නමුත් මාව ආපසු මේ ලෝකෙට ඇදලා ගන්න මගෙ ලොක්කට පුලුවන් උනා.

“ඔය ඉලංදාරි කයිවාරු පස්සේ පුලුවන්…. දැන් හොඳ තේ කෝප්පෙකට රට ජාතිය උනත් පාවා දෙන්න මම ලෑස්තියි!”

සබාවෙන් පස්සේ අපි විසිර යනකොටයි ලොක්කා ආයෙත් කතාකලේ.

“අර මම කියපු රිපෝට් කොපි ටික මම මේ තිලකරත්න අතේ මිස් කුරුප්පුට එවන්නම් අද හෙටම. සමහරවිට මේ පංතිවල ඇති පරිසරය ගැන කැක්කුමක් තියෙන ලමයි…. ඒ අයට අපි පුලුවන් තරම් උදව් කරන්න ඕනෑ…”

…………………..

“සර් මම අද ලන්ච් එකට ටිකක් වෙලා ගියාට කමක් නැද්ද?”

මම මගෙ ලොක්කගෙන් ඇහුවේ දවල් එකත් පහුවෙලා.

“මොකොද සිකුරාදා නිසා ගුරුතුමියක් වත් හම්බුවෙන්නද?”

“ඔවු සර් …. ඒ අය මේ දවස්වල හරිම බිසි… බොහොම අමාරුවෙන් තමයි අද එන්න පුලුවන් උනේ”

ලොක්කා පොඩ්ඩක් හිනාවෙලා පුටුව පස්සට ඇලකරලා ඇස්දෙක වහගෙන සිංදුවක් කියන්න පටන් ගත්තා”

“මාත් එහෙම ගිය හැටි මතකයි…. මට හොඳ හැටි මතකයි….කබාය ඉරිලා…..මොකද්ද බං උඹ කබායක්වත් අඳින්නෙ නෑනේ සිංදුවට හරියන්න….”

“සර් මං එහෙනං යනවා…. තුන වෙනකොට එනවා….”

“අර රිපෝට් එක අද කොහොමහරි ඉවරකරන්න ඕනෑ හොඳද?,,,,ඉවර කරලා මගෙ මේසේ උඩ තිබ්බොත් හෙට සෙනසුරාදා නිසා නිස්කලංකව ඒක ෆයිනලයිස් කරලා ප්රින්ට් කරලා දාන්න පුලුවන් මටම. මතකනේ සඳුදා ඇමතියා එහෙම එන බව?”

කොයි තරම් විහිලු කලත් මගෙ ලොක්කට කරන වැඩේ හරියට වෙන්න ඕනෑ.. මම ඉස්සරවෙලාම මේ ලොක්කා හම්බවුනේ එප්පාවල වැවක් ලඟදී. එයාව හඳුනාගන්න ඉස්සර අපි එයාව හැඳින්නුවේ “වැවේ කවියා” කියලයි. නමුත් මිනිහා අපෙ දෙපාර්තමේන්තුවේ කාලයක් වැඩ කරලා, ලංකාවේ වැව් ගැන චිත්රපටි හදලා නමක් ගත්ත කෙනෙක් කියලා දැනගත්තේ ඊට පස්සෙයි. දැන් එයා මගෙ ලොක්කා හැටියට ඉන්න එක මම සැලකුවේ මගේ පරන පිනක් හැටියටයි.

……………………..

“හරිම මහන්සියෙන් වගේ අද… මොකවත් කරදරයක්ද?’

මාලගෙ මුහුන මැලවිලා තිබුනේ අව්ව නිසාම නොවෙයි කියලා මට දැනුනා. වෙනදා නැති දුක්බර ගතියකුත් මුහුනේ ඇඳිලා තිබුනා.

“ඉස්කෝලෙන් එලියට ආවට පස්සේ කරදර අඩුයි…. බුද්ධිත් ඉන්න නිසා”

“ඇයි කෙල්ල මොකද්ද කරදරේ? … හැබැයි අපි ඉස්සරවෙලා කන්නේ කොහෙද කියලා බලමුද? හොඳට වාඩිවෙලා ඊට පස්සේ කතා කරමු. මාල මොනවද කන්න කැමති?”

“කෑම කෙසේවෙතත් මට ඕනෑ කොහෙ හරි වාඩි වෙලා වැවක් දිහා බලාගෙන ඉන්න…”

හොඳ වෙලාවට මම බයිසිකලේ ආවේ, ඕන තැනකට යන්න ලෑස්තියෙන්.

“අපිට පුලුවන් අඹ අඹ තැනට යන්න. මං එතන මෑන් අඳුනනවා. එතැනින් මොනවත් කූල් ඩ්රින්ක් එකක් බීලා, කෑමත් ඕඩර් කරලා තිසා වැව පැත්තේ ගිහින් එමු”

“බුද්ධිට කැමැත්තක් … මට තුනට විතර ආයෙ ඉස්කෝලේ යන්න ඕනෑ මීටිමකට…”

“මටත් ඒ වෙලාවට තමා කංතෝරුවට යන්න තියෙන්නේ…. මේ හෙල්මට් එක දාගන්නකෝ”

අපි ආපන සාලාවෙන් පිපාසේ නිවාගෙන කෑම ඉල්ලුවා තව පැයකින්. අපි තව බීම දෙකකුත් අරගෙන ඉසුරුමුනිය ලඟින් තිස්ස වැවට ගියේ එතන හෙවනේ වාඩිවෙන්න පරන මාරා කඳන් තියෙන බව මම දන්න නිසයි.

“ඉතින් මොකද්ද මාලා කරදරේ?” මම මෙහෙම ඇහුවේ මාලගෙ වම් අත අල්ලගෙනයි.

“අනේ බඩී … මේ වාරේ අංතිමේ සාමාන්ය වැඩ ගොඩට තව මාර ගෝරියක් එකතුවෙලා, අපෙ පංතියේ ලමයෙකුත් ගෑවිලා”

“මොකද්ද ගෝරිය? ඇයි ඒකෙන් ඔයාට කරදර?”

“ඒ කොල්ලා වැඩට දක්ශයි… මේ අවුරුද්දේ වැඩ හොඳට කරොත් සමහරවිට යුනිවසිටි යන්නත් බැරිවෙන එකක් නෑ… ඒ අස්සේ ඌ අපෙ ක්රිකට් ටීම් එකේ ඉන්න හොඳම බෝලර්…. ඒ කියන්නේ ඉස්කෝලේ ළමයි අතරේ හරිම ජනප්රියයි”

“වැඩටයි ක්රීඩාවටයි හොඳ එක නෙවෙයි නේද ප්රශ්නේ?”

“නෑ නෑ…. එයා ක්රිකට් පුහුනු කරුවෝ දෙන්නෙකුට විරුද්ධව ප්රින්සිපල්ට ලියුමක් ලියලා… කංඩායම් තෝරන්නේ නෑකම් අනුව කියලා!”

මෙතන ලොකු ප්රශ්නයක් මම දැක්කෙ නෑ. වැරැදි වැඩක් දැකලා ඒක විදුහල්පතිට කියන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි.

“ඕකට ඔය තරම් ලේ පුච්චගන්න ඕන නෑ නේ. …. ප්රින්සිපල්ට ඇත්ත නැත්ත හොයලා වැරැද්ද හරිගස්සා ගන්න පුලුවන් නේද?”

මාලා මා දිහා බැලුවේ කනගාටුවෙන්.

“එතැනින් කතාව ඉවරනම් කමක් නෑ…. ප්රිසිපල්ගෙන් උත්තරයක් එනකම් ඒ කංඩායමට සෙල්ලම් නොකර ඉන්න කොල්ලා තීරනේ කරලා. කංඩායමේ තව සීනියර් කොල්ලෝ පස් දෙනෙක් ඌට එකතුවෙලා අයින් උනා. කතාව තියෙන්නේ අපෙ ලොකුම මැච් එකට හොඳ කංඩායමක් දාගන්න බැරිවෙනවා…. අපෙ ප්රිසිපලයගෙ උත්තරේ මොකද්ද දන්නවද? කොල්ලව අස්කරන්න යනවා…. ඒකයි අද මීටිම”

මට මාලා ගැන හොඳටම දුක හිතුනා. ඒ වැඩිපුරම එයාගෙ ප්රශ්න ගැන මට කිසි උදව්වක් දෙන්න බැරිකම නිසයි.

“කොල්ලගෙ තාත්තට එහෙමත් එන්න කියලා මේ මීටිමට… හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක් අපරාදේ අතරමං වෙනවා”

“මිනිහා සාමාන්යෙන් ගෝරි දාගන්න කොල්ලෙක්ද? මං කියන්නේ, එක එකත් එක්ක ගුටි ගහගෙන, හරි පුටුමේස කඩලා හරි ඉස්කෝලේ වැඩට බාධා කරන කෙනෙක්ද?”

“අප්පෝ නෑ… ලහිරු…. කොල්ලගෙ නම ලහිරු…. කවදාවත් දඬුවමක් ලබලා නෑ, මං දන්න විදිහට…. හරිම හෙල්ප්ෆුල්, හැදිච්ච කොල්ලෙක්”

මට මේ ප්රශ්න වලට පිලිතුරු හොයනවා තියා මොන අතකින් හරි උදව් කරන්න උනත් බැරි බව මට පෙනුනා.

“අපි යං මාලා. ගිහින් දවල්ට කාලා මම ඔයා ඉස්කෝලෙට ගිහින් දාන්නම්. මට ටිකක් වෙලාගියාට කමක් නෑ”

……………………

මම මාලට ටෙලිෆෝන්කලේ මගෙ රිපෝට් ලිවීම ඉවර වෙලා; හවස හය හමාරට විතර.

“කොහොමද මීටිම? වැඩේ ඉවරයක් කෙරුනද?”

“අනේ බඩී ඒක තවම ඉවර නෑ. ආයෙ හෙට උදේ තව මීටිමක්, ප්රින්සිපලුයි, ක්රීඩා භාර ගුරුවරයයි, අර වැරැදි කියලා චෝදනා ලබපු සීනියර් පුහුනු කරුවයි, මමයි…. ලහිරුගෙ තාත්තට එන්න කියලා තියෙනවලු දහය හමාරට තීරනේ අහගන්න. මෙතන මට පැත්තක් ගන්න බෑ. ප්රින්සිපල්ට විරුද්ද වෙන්නත් බෑ නමුත් ළමයා අස්කරනවට මම කොහෙත්ම කැමතිත් නෑ. ක්රීඩා ගුරුවරයා නරක කෙනෙක් නෙවෙයි නමුත් පුහුනු කාරයට දේශපාලන සම්බංදයක් තියෙනවලු…මම අර ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ!”

“මාලා දන්නවනෙ මගෙන් උදව්වක් ඔනැනම් ඕනැ වෙලාවක කියන එක විතරයි තතියෙන්නේ කියලා….මං දැන් ඔය පැත්තේ එන්නද?”

“…. නෑ. තැන්ක්යූ බඩී …. අම්මලා පංසල් යන්න කතා කරා, මං එන්නං කිව්වා. හැබැයි හෙට උදේ මීටිම නමයට…. මීටිමට ඉස්සර තේ එකක් බොන්නනම් වෙලා තියෙනවා….”

“එහෙනං පුරුදු තේ කඩේ…. අටට?”

“හරි…. තැන්ක්යූ … ගුඩ් නයිට්”

“ගුඩ් නයිට් මාලා”

…………………..

මාලා ඉස්කෝලෙට ගියාට පස්සේ මම තව තේ එකක් බිබී පත්තරේ කියෙව්වා. මගෙ ලඟම මේසෙක වාඩිවෙලා හිටපු මිනිහෙක් මා දිහා බලාගෙන ඉන්න බවක් දැනිලා මම ඒ පැත්ත බැලුවා.

“මේ කෝන්ගහගෙදර කිරිබංඩා ලොකු උන්නැහේ නේද?”

“මං බැලුවේ මහත්තයට මතක තියෙයිද කියලා. දැන් අවුරුදු දෙකක් විතර ඇති නේද?”

“මොකොද මතක නැතුව… ලොකු උන්නැහේ කියපු දේ අපිට බොහොම උදව් උනා එප්පාවල වාර්තාව ලියන්න…. මොකද අනුරාදපුරේ බඩු ගන්න ආපු ගමන්ද?”

“නෑ මහත්තයා මේ අපෙ ලොකු කොල්ලට පොඩි කරදරයක් වෙලා….”

“මොකද, ලෙඩක් එහෙමද?” ඉස්පිරිතාලේ ඒ තරම් ඈත නොවෙන නිසයි මම එහෙම ඇහුවේ.

“නෑ මේ ඉස්කෝලේ….”

මට ඒ වෙලාවෙයි හිතුනේ කිරිබංඩගෙ පුතෙක් සමහරවිට දොලොස්වෙනි වසරට හරියන වයසේ වෙන්න පුලුවන් කියලා. නමුත් මාලගෙ පංතියේ ඉන්නේ කිරිබංඩගෙ පුතාද කියලා අහන්නේ කොහොමද කියලා මට හිතාගන්න අමාරු උනා.

“කොයි ඉස්කෝලෙද?”

“මධ්ය විද්යාලේ. ශිෂ්යත්වෙන් මෙහාට දාගත්තේ මහත්තයා. …. පුලුවන් කමකට නෙවෙයි…”

මම දන්න දේ කිරිබංඩගෙන් සඟවන්න මට හිතක් නෑ.

“ලොකු උන්නැහේ… මං ඔය කතාව දන්නවා… පුතාගෙ නම ලහිරු නේද?”

“ඔවු…. මහත්තයා කොහොමද දන්නේ?”

“දරුවගෙ පංති ගුරුවරී මගෙ හොඳම යාලුවෙක්. එයා කිව්වේ ලොකු උන්නැහේට එන්න කියලා තියෙන්නේ දහය හමාරට කියලා. තව හුඟක් වෙලා තියෙන නිසා දැන් අපි අපෙ කංතෝරුවට යමු - මම ගෙනත් දාන්නම් වෙලාවට ඉස්කෝලෙට?

“කංතෝරුවට? සෙනසුරාදා?”

“පොඩි වැඩ වගයක් තියෙනවා. මගෙ ලොක්කත් ඇවිත් ඇති. ලොකු උන්නැහේ එයා දන්නවා - අර එප්පාවල ඉස්කෝලේ මහත්තයාලගෙ ගෙදර නිතරම එන කවි කාරයා”

අපි කංතෝරුවට එනකොට ලොක්කා තනියම හෙමින් සිංදුවක් කියාගෙන වැඩ. ලොක්කා සිංදු කියන්නේ එයාට ඕනෑ විදිහට. මේ සතියේ අමරදේව සිංදු විතරයි.

“එපා එපා මී විත මගෙ දෙතොලට; කෙලින්ම දාපන් එය මගෙ උගුරට; වැනි වැනි මගෙ කුටියට යනවා….හා හා හා …. තිලකරත්න මොකද අද?”

“නෑ සර්… මේ එප්පාවල කෙනෙක්, කෝන්ගහගෙදර කිරිබංඩා. අපිට බොහොම උදව් කෙරුවා එහෙදී….”

“ඔවු මට මතකයි…. කිරිබංඩෝ… ලඟදී වැව් බැම්මක් එහෙම කැඩුවෙ නැද්ද?”

කිරිබංඩා මීට අවුරුදු කීපෙකට ඉස්සර ගොවියොයි ආංඩුවේ සේවකයොයි අතර කෝන් වැව පිලිබඳ තිබුන අරගලේ ගොවීන්ගෙ පැත්තේ නායකයෙක් බව මට හොඳටම විශ්වාසයි.

“නෑ මහත්තයා එහෙම දෙයක් වෙලා නෑ… කෝන් වැවෙන් පස්සේ.”

“මොකද මේ පැත්තේ?”

කිරිබංඩා යමක් කියන්න ඈලි මෑලි කරනබව මට තේරුනා.

“සර්, මෙයාගෙ පුතා මාලගෙ පංතියේ ඉන්න හොඳම ශිෂ්යයෙක්. ඒ වගේම දක්ශ ක්රිකට් ක්රීඩකයෙක්. මාලා කියන විදිහට හොඳ අනාගතයක් තියෙනවා…. නමුත් එයා ක්රීඩා පුහුනු කරුවෝ දෙන්නෙකුට විරුද්ධව ලියුමක් ප්රින්සිපල්ට ලියලා, කංඩායම් තෝරගන්නේ නෑකම් අනුව කියලා. එහෙම කරලා එයා ටීම් එකෙන් අයින්වෙලා… දැන් ළමයා ඉස්කෝලෙන් අස්කරන තත්වෙට ඇවිල්ලලු”

“ඇයි?”

“ලහිරු ජනප්රිය නිසා තව පස්දෙනෙක් කංඩායමෙන් අස්වෙලා. බිග් මැච් එකට හොඳ ක්රීඩකයෝ නෑ….. ප්රින්සිපල්ට පෙන්වන්න ඕනෑ මේ වගේ ක්රියා වලට ඉස්කෝලේ තැනක් නෑ කියලා. සමහරවිට දේශපාලන බලපෑම් පොඩ්ඩකුත් ඇති”

“කිරිබංඩා මොකද කියන්නේ?”

“මහත්තයට කිව්වට මොකද කොල්ලා මේ ඉස්කෝලෙට ආ එක අපිට අමාරුයි. මං කියන්නේ වියදම වගේම හේනෙ කුඹුරෙ උදව්වට කෙනෙකුත් නෑ. ඔය සෙල්ලම් කරන්ට කියලා ඇඳුම් එහෙම ගන්න යල් කන්නෙන් කාලක් ගියා…”

කිරිබංඩට එන්න එන්න තරහ වැඩි වෙනවා. කට සද්දෙත් ඉහලට යනවා.

“…ඌට දැන් එව්වා ගානක් නෑ… ඒකා ඉස්කෝලෙන් අස්කෙරුවොත් මොකද වෙන්නේ…. බැල්ලිගෙ පුතා එව්වා හිතලා බලලා නෙවෙයි ලොකු මහත්තයාලට ලියුම් ලියන්නේ!”

ලොක්කගෙ ඊලඟට කීදේ එලියට ආවේ බොහෝම හිමින්.

“කිරිබංඩා දන්නවද ඇයි දරුවා ලියුමක් ලිව්වේ කියලා?”

“මං දන්නේ එකයි… අනික් උන්ගෙ වැඩවලට ඇඟිලි ගහන්ට ගිහින් තමා මෙව්වා සේරම වෙන්නේ…. ආයෙ ඉස්කෝලේ අවුරුද්දයි… ඕකට තිබුනෙ නැද්ද අම්මලා අප්පච්චිලා ගැනවත් හිතලා සද්ද නැතුව අංතිම අවුරුද්ද ඉන්ට?”

“එතකොට අර වැරදි කරපු පුහුනුකාරයෝ?”

“අපෙ එකා මොක කෙරුවත් උන් කරනදේ කරයි. අපෙ ගොනාට මෙව්වා තේරෙන්නෙ නෑ….”

ලොක්කා ඒ සැරේ ටිකක් හිනාවෙලා මා දිහා බලලා “තේ බොමුද?” කිව්වා. ඒ කියන්නේ විනාඩියකට මම කාමරෙන් එලියට යවන්නයි. නමුත් ලොක්කයි මමයි දෙන්නම දන්නවා කංතෝරුවේ තේ හදන කාමරේට කියන ඕන දෙයක් ඇහෙනවා කියලා. මම කේතලේ තියන්නත් ඉස්සර ලොක්කගෙ කටහඬ පැහැදිලිවම ඇහුනා.

“කිරිබංඩා පුතාට බැල්ලිගෙ පුතා කියලා කිව්වා නේද?”

“මහත්තයෝ ඕකට එහෙම කියලා මදි, අපිට දෙන වද වලට”

“ඒක ,ඇත්ත,,, බැල්ලිගෙ පුතා වෙනුවට කිරිබංඩගෙ පුතා කිව්වොත් වැඩියම හරි…. නෑ නෑ මං කියන දේ අහගන්න - මම කිරිබංඩා කිව්ව දේ ඇහුවා, දැන් මම කියන දේ අහන්න…. අපෙ ගොනාට මෙව්වා තේරෙන්නෙ නෑ කියලා කිරිබංඩා කිව්වේ කිරිබංඩගෙ අප්පච්චී කියපු වචන මතක් කරලා වෙන්න ඇති. කිරිබංඩා වැව් කංඩි කඩන්න යනකොට තමාගෙ අප්පච්චිත් එහෙම කියන්න ඇති”

කිරිබංඩගෙන් සද්දයක්වත් නෑ. ආයෙත් ලොක්කා කතාව පටන් ගත්තා.

“කිරිබංඩා වැවක් කඩනවා කියන්නේ ලංකාවේ ආන්ඩුවට විරුද්දව, ආන්ඩුවට අයිති දෙයක් විනාශ කිරන එකයි. ආන්ඩුව පැත්තට දෙපාර්තමේන්තු සේවකයෝ, ඉන්ජිනේරුවෝ, විද්යාඥයෝ වගේ අය ඇරුනුකොට පොලිසිය, හමුදා වගේ අයත් ඉන්නවා. කිරිබංඩගෙ පැත්තේ හිටියේ ගොවියෝ…. කී දෙනාද? විස්සක්? තිහක්?... එහෙම තියෙද්දිත් කිරිබංඩා හිතුවා යමක් කරන එක වටිනවා කියලා…. පුතාකලේ මොකද්ද? වැරදි වැඩක් පෙන්නලා දුන්නා ඒක නවත්වන්න පුලුවන් බලතල තියෙන කෙනෙකුට. ඒ වැරදි තියෙන තුරු ඒ කංඩායමට එකතු නොවෙන්නත් තීරනේ කලා…. කිරිබංඩා වගේ ක්රීඩා පිටිය විනාශ කරන්න හිතුවෙ නෑ. කිරිබංඩා පිටිපස්සේ ගොවියෝ වැව කඩන්න ආවා ඒ ක්රියාව සාධාරනයි කියලා හිතාගෙන… ලහිරුට සහය දුන්න අය යමක් නොකිරීමෙනුයි සහය පෙන්නුවේ”

තේ කෝප්ප දෙකක් අරගෙන කාමරේට එනකොට කිරිබංඩා තවම බිම බලාගෙන.

“කිරිබංඩා පුතා ගැන ආඩම්බර වෙන්න ඕනෑ. එකක් වැරැද්දක් වෙනකොට සද්ද නැතුව නොඉඳ ඒක ගැන යමක් කරන එක, තමාට පාඩුවක් උනත්. අනික කරන දෙයින් කිසි විනාශයක් වෙන්නෙ නැති බවට වග බලාගැනීම”

කිරිබංඩගෙ ඇහේ කඳුලු දිලිසුනාට ලේන්සුව මුහුන ලඟට ගන්න ඔහුට සිහියක් නෑ.

“මේකට සීනි දාලා… තිලකරත්නට මම කී සැරයක් කිව්වද?” ලොක්කා තේ කෝප්පෙත් ඇරගෙන මාව ඇදගෙන පස්සා කාමරේට ගියා.

“මිනිහට කඳුලු වේලගන්න වෙලාව දීලා ඉස්කෝලෙට එක්ක යන්න…. මම ප්රින්සිපල්ට කෝල් එකක් දෙන්නම්”

…………………..

කිරිබංඩා පුතත් එක්ක එප්පාවෙල බස් එකට දාලා මම දවල් කෑම කෑවේ මාලත් එක්ක.

“මොක උනාද මන්දා හිටපු ගමන් ප්රින්සිපල් ලහිරුගෙ හොඳ කියන්න පටන් ගත්තා එයාගෙ තාත්තා ඉස්සරහ…. අංතිමට ඉස්කෝලෙන් අස්කරන කතාවක් ආවෙම නෑ. ඔයාලා මොනවත් කරාද? මං දැක්කා බඩී, ඔයා ලහිරුගෙ තාත්තා බයිසිකලේ ගෙනත් දැම්මා…”

“මම ඔය කෝන්ගහගෙදර කිරිබංඩා හොඳටම දන්නවා. අපෙ ලොක්කත් මිනිහා අඳුරනවා. පුතා යන්නේ අප්පච්චිගෙ ආරෙට - හැබැයි ඊට වඩා හිතල බලලා…. ලහිරුගෙන් ආයෙ කරදරයක් එන්නෙ නෑ”

මාලා ටිකක් වෙලා කතා නොකර හිටියා. අංතිමට එයාගෙ පුරුදු හිනාවත් එක්ක මා දිහා බැලුවා.

“බුද්ධි තිලකරත්න වගේ කෙනෙක් කරදර එන වෙලාවට ලඟින් තියාගන්න නරක නෑ…මට හිතෙන්නේ….”

“මටත් එහෙම හිතිලා ටිකක් කල් දැන්…. කරදර නැති වෙලාවෙත් මම ඒ තරම් නරක නෑ… අපි දෙමව්පියන්ටත් කතා කරලා බලමුද?”

මාලා මගෙ අත අල්ල ගත්තා.

“හෙට අපෙ ගෙදර එන්න පුලුවන්ද? අම්මා මගෙන් ඇහුවා දැන් කීප සැරයක්…අයියා එහෙමත් එනවා කියලා තියෙනවා”

මගෙ හිතේ කාලයක් තිබුන හිස් තැනක් ලඟදී පිරෙන්න යන බවක් මට දැනෙනවා.