පැල්පත

අද වෙනදට වඩා සීතලයි; දවසටම අව්ව බිඳක් වත් මෙහාට වැටුනෙ නෑ. උදේ පටන්ගත්ත වැස්ස තුරල් වුනේම නෑ. ඉස්සරහ මඩුවේ ඇඳට සිරිකඩ වැටෙනවට ප්ලාස්ටික් කෑල්ලක් දාන්න වෙනවා ඒකේ රෑට නිදාගන්න නම්. මේ විදිහට දිගටම වැස්සොත් තේ වත්තේ බාගයක් කඩාගෙන පහලට එයි. සෙල්වයියා අදත් කිව්වේ උඩ වැව හොඳටම පිරිලා කියලා. මම් බන්ඩාරවෙලට ආවේ මගේම කැමැත්තෙන්; ආයෙ මෙහෙන් ගියෙ නැත්තෙත් මගේම ඕන කමට. වැස්ස ගැනයි සීතල ගැනයි අවලාද කියන්න දැන් කල් ගියා වැඩී.

කරුවල වේගන එනකොට කුප්පිය පත්තුකරලා රොටියක් පුච්චාගත්තොත් ආයෙ ලාම්පුවක් ඕන නෑ රෑට. තනියම ඉන්න මට ලාම්පු මොකොටද; කාව දකින්නද?

මම මේ තේ වතුයායේ වැඩට එනකොට වයස විස්සයි - දැනට අවුරුදු පනහකට වැඩියි. ගෙදරින් පැනලා ආවේ මුහුදුබඩ හුංගම පලාතෙනුත් අපෙ පවුලෙනුත් පුළුවන් තරම් ඈත්වෙන්න හිතලා. ඒකයි බන්ඩාරවෙල පැත්තට හිත ගියේ. ආපු දවස්වල කඩේක තේ ගැහුවා, කන්නයි ඉන්නයි තැනක් ඕන නිසා. මම තාමත් ටවුමට ගියොත් තේ එකක් බොන්නේ ඒ කඩෙන්. හැබැයි දැන් ටවුම පැත්තේ යන්නේ කලාතුරකින්. අවුරුද්දක් විතර කඩේ වැඩකරාට පස්සේ තමා තේ පැක්ටරියේ රස්සාව හම්බවුනේ. ඒ රස්සාව ගැන මම දැනගත්තේ කඩේට තේබොන්න ආ කන්කානම මහත්තයගෙන්. එදා ඉඳන් මම ආයෙ පස්ස බැළුවෙ නෑ. පොඩි කාලේ ඉඳන් මාළු බෝට්ටුවල වැඩකරපු මට ඇඟ මහන්සි වෙන එක අමුතු දෙයක් නෙවෙයි. පටන්ගත්ත ඕනම වැඩක් හොඳින් කරන්න පුරුදුවී හිටපු නිසා පැක්ටරියේ අනික් අයගෙන් මට කරදරයක් තිබුනෙ නෑ. ටිකෙන් ටික් දෙමළ බාසාවත් අල්ලගත්ත නිසා යාළු මිත්රයන්ගෙන් අඩුවක් වුනෙත් නෑ.

හරියට ඉන්න තැනක් නැති නිසා මට ලැයින් කාමරයක් ලැබුනට ඒකේ ඉන්න මට ආසාවක් තිබුනෙ නෑ. ඒ වැඩිපුරම එතන නිස්කලංකයක් නැති නිසා. ඒ ලැයින් පේලියේ කාමර වගේ තුන් හතර ගුනයක් මිනිස්සු හිටියා. පොඩි කොල්ලොයි කෙල්ලොයි බල්ලොයි නිසා උදේ ඉඳන් රෑ වෙනකල් කරච්චලේ. වෙන ඉන්න තැනක් හම්බවෙනකල් මම ඉස්සර වැඩකරපු තේ කඩේ පස්සා කාමරේ කුලියට ගත්තා. ඉඳ හිට මුදලාලිගේ ඕනකම් අනුව කඩෙත් වැඩ කරපු නිසා මගෙ කුලිය දරන්න බැරි තරම් වැඩිවුනේ නෑ. නමුත් හදිස්සියකට කියලා සල්ලි ටිකක් ඉතිරි කර ගන්න එකනම් අමාරුවුනා.

මේ සේරම වෙනස්වුනේ ලක්ස්මී හමුවීමෙන් පස්සේ.

ලක්ස්මී එයාගෙ අම්මයි තාත්තයි එක්ක අපේ වත්තට ආවේ හපුතලේ පැත්තෙන්. ඒ අයගෙ වත්තේ සින්නදොරේගෙන් කරදරයි කියලා තුන්දෙනා ඒ කොම්පැනියටම අයිති අපෙ වත්තට ආවේ. අපෙ වත්තේ පෙරියදොරේ මැදිහත්වෙලා මෙහාට ගෙන්නගෙන තියෙන්නේ. අපෙ පී ඩී හරිම හොඳ මහත්තයෙක් කියලා සේරම කියනවා. ඒ මහත්තයයි නෝනයි වැඩ කරන අය හොඳට බලාගන්නවා කියලත් මට ආරංචිවුනා.

අම්මයි තාත්තයි තේවතු වැඩ කරාට හොඳ පෙනුම තියෙන ලක්ස්මිට අපෙ පැක්ටරියට අල්ලලා තියෙන සංචාරකයන්ගෙ අවන්හලේ වැඩ ලැබුනා. එයා දැකපු දවසේ පටන් මට හරිම ආසාවක් හිතුනා ලක්ස්මී එක්ක කතා කරන්න. නමුත් මං හිතන්නේ අවන්හලෙයි, පැක්ටරියෙයි, වත්තෙයි ඉන්න ඔක්කොම පිරිමියෝ එහෙම හිතුවා කියලා. මගෙ හොඳම යාළුවා සෙල්වා කිව්වේ ‘එක සැරේම පැනලා වැඩක් නෑ මල්ලී - අනික් එවුන් ඉස්සරහට පැනලා කොල ඉරාගත්තැන් පස්සේ බලපන්!’. සෙල්වා කසාද බැඳලා ඉන්න කෙනෙක් හැටියට මම ඒ අවවාදේ පිළිපැද්දා. මම තරඟෙන් අයින්වුනා.

ඊටමාස දෙකකට පස්සේ දවසක් මට සෙල්වා රෑ කෑමට ආරාධනා කරා. ඒ ඉස්සරවෙලාමයි කවුරුත් මට ගෙදරකට කෑමට එන්න කිව්වේ. ඒ රෑ කෑමට මා ඇරුනුකොට ඇවිත් හිටියේ ලක්ස්මිගෙ පවුල විතරයි.

…………………………

ලක්ස්මී කිට්ටුවෙන් ආශ්රය කරන එක මට ලේසි වුනේ නෑ, කොයි තරම් ආසාව තිබුනත්. පැක්ටරියෙයි ආපනශාලාවෙයි දවල් කෑම වෙලා වෙනස්; මගේ වැඩ ඉවරවෙන්න ඉස්සර ලක්ස්මී ගෙදර ගිහින්. උදේ වැඩ පටන්ගන්න ඉස්සර විනාඩි කීපෙකුත් දවල් විනාඩි කීපෙකුත් හැර අපිට මුනගැසෙන්න වෙලා තිබුනෙ නෑ. සිංහල වුනත් ලක්ස්මිගෙ දෙමව්පියන්ගෙ මා ගැන අකැමත්තක් නැති බව මට කිව්වේ සෙල්වරාජා. සෙලවයි ලීලමනියි අපිට එක්වෙන්න දිගටම උදව් කළා. අංතිමට ඒ දෙන්නා කන්කානම හරහා පී ඩී මහත්තයටත් කතා කරලා තේ වත්තේ පාවුල පර්චස් දහයක ඉඩම් කෑල්ලකුත් අපිට ඉල්ලලා දුන්නේ ගෙදරක් අටවාගන්න.

පොඩි පැලක් අටවාගෙන් අඹු සැමි හැටියට අපි පදිංචියට ආවේ අවුරුදු හතලිහකට ඉස්සර. අපි එකට හිටපු පළවෙනි අවුරුද්ද මට තාමත් මතක මගෙ ජීවිතේ රසවත්ම කාලේ හැටියට. දරුවෝ ඉපදුනාට පස්සේ ලක්ස්මී ආයෙ වැඩට ගියේ නෑ. ඒ වෙනකොට පැක්ටරියේ රෝල කොටස සිද්ධවුනේ මා යටතේ. සෙල්වරාජාගෙ දෙවෙනියා හැටියට මට තව වගකීම් තිබුනාවගේම පඩියත් අපිට ජීවත්වෙන්න සෑහුනා. ලක්ස්මී එළවලු වගාවට දක්ෂ වීම අපේ වියදම අඩුවීමට වගේම අදායම වැඩිවීමටත් හේතුවුනා.

ලොකු පුතා මනෝ වත්තේ ඉස්කෝලේ යන්න පටන්ගන්න කාලේ ලලනී දුවට වයස අවුරුදු දෙකයි. මම බයිසිකලයක් ගත්තේ පුතා ඉස්කෝලේ දාලා වැඩට යන්න ලේසි වෙන්නත් හවසට ගෙදරට ඕන බඩු ගේන්නත් ලේසි නිසා. සතියකට වරක් ලක්ස්මිගෙ එළවලු ටවුමට අරගෙන ගියෙත් බයිසිකලේ.

ඒ කාලේ අපේ පවුල ලංකාවේ ජීවත්වෙන ඕනම පවුලක් වගේ කියලා මට තවම හිතෙන්නේ. එදිනෙදා කරදර, දරුවන්ගෙ ලෙඩදුක් වගේ දේ ඇත්තේ අපිට විතරක් නෙවෙයි. ඒ වගේම පුතා පහේ පංතියේ ශිෂ්‍යත්වය සමර්ත වීම, දුව තුනේ පංතියේ මීටර් විසිපහේ තරඟය දිනීම වැනි දේ වලින් අපි ඉමහත් සතුටක් ලැබුවා. මට ඇති එකම කනගාටුව මේ සිද්ධි සියල්ලම කොහෙවත් සටහන් නොවීමයි. අවුරුදු වශයෙන් බැලුවොත් මට කියන්න බෑ කොයි අවුරුද්දේ පුතා සාමාන්ය පෙල පාස්වුනාද, දුව ශිෂ්‍යත්වය පාස්වුනාද කියලා. නමුත් ඒවාගෙන් ලක්සිමියි මමයි ලැබූ සතුට හොඳට මතකයි.

අනික් අතට ලක්ස්මිගෙ දෙමව්පියන්ගේ අභාවත් මේ කාලපරිච්ඡේදයට අයිති වෙනවා. එළිමහනේ දවසක් පාසා වැස්සේ තෙමීගෙන හෝ අව්වේ කරවීගෙන වැඩ කරන කෙනෙකුට උන හෙම්බිරිස්සාවක්වත් උසුලන්න අමාරු බවයි වත්තේ ඉස්පිරිතාලේ දොස්තර කිව්වේ. සුළු හෙම්බිරිසාවක් නිසා වැඩට නොගොස් නැවතුන වේලුපිල්ලේ මහත්තයා සති දෙකකින් ඉස්පිරිතාලෙටත් තව සතියකින් පරලොවත් ගියේ අපි පුදුම කරමින්. අපි කොයිතරම් කතා කරත් ලක්ස්මිගෙ අම්මා අපෙ ගෙදර නවතින්න කැමතිවුනේ නෑ. උන්දෑ ජීවත්වුනේ තව මාස තුනයි. අවුරුද්දක් ඇතුලත ඒ ජෝඩුවම අපි අතරින් වෙන්වුනා. අපිට තිබුන එකම සහනය මගෙ නැන්දයි මාමයි පුතා සාමාන්ය පෙල සමර්තවෙනවා දකින්න ජීවත්වුන එක. තම මුනුබුරයි මිනිබිරියි ගැන ඉතා ආඩම්බරෙන් සිටි ජෝඩුව පුතාට ජංගම දුරකතනේකට මුදල් දුන්නේ සෑහෙන වියදමක් දරලා.

දෙමව්පියන්ගෙ අභාවයෙන් අවුරුද්දක් යනතුරුත් ලක්ස්මී හිටියේ ජීවිතෙන් අඩක් පාළුවී ගිය කෙනෙක් වගේ. ඈ නැවත සාමාන්ය තත්වෙට පත්වුනේ දුව සාමාන්ය පෙල සමර්තවීමෙන් පසුවයි. ඒ වෙනකල පුතා කොළඹ රස්සාවක් කරන්න පටන්ගෙන.

පුතාගෙන් කවදාවත් නැති කරදර අපිට දුවගෙන් විඳින්න සිද්ධවුනා. එකම දුව හැටියට අපි ලලනී සුරතල් කළා වැඩී කියලා මට සමහරවිට හිතෙනවා. මනෝ අයියත් නිතරම එයාගෙ පැත්ත ගත්ත නිසා කිසිම විවාදෙකදී ලලනී පැරදුනේ නෑ. පොඩිකාලේ මේ ගැන හිනාවුනත් කල් යනකොට කරදරයක් වියහැකි බව අපිට දැනුනා. ඉස්කෝලේ සමහර ළමයි “වතු දෙමළී” කියලා ලලනිට කියන බව මට ආරංචිවුනේ සෙල්වරාජගෙ දුවගෙන්. සිංහල නමක් තියෙන සිංහල පමණක් කතා කරන ලලනී තමාගෙ දෙමළ උරුමය අමතක කරන්න තැත් කරන බව මට තේරුනා. ලක්ස්මී සමග මේවා බෙදාහදා නොගන්න මම තීරණේ කළා. මම ඉස්කෝලේ ගුරුවරු සමගත් කතා කෙරුවට දුවගෙ කරදරවත්, දුවගෙන් අපිට ලැබෙන කරදරවත් ගැන ඔවුන්ට කිසිම දෙයක් කරන්න හැකිවුනේ නෑ.

ලලනී ගෙදරින් අතුරුදහන් වුනේ වයස විස්ස ලැබූ වහාමයි. යාළුවෝ සමග නුවර එළිය ගිය ගමනෙන් දෙවෙනි දවසේ තවම ගෙදර නොආ නිසා මම පොලිසි යන්න ලෑස්ති වෙන වෙලාවෙයි පුතා ගෙදර ආවේ.

“නංගී කොල්ලෙක් එක්ක පැනලා ගිහින් - යනවා කියලා මට ඊයේ ලියුම ආවේ… ආයෙ හොයන්න එපා කිව්වා…”

අපිට කියන්න වචන නෑ. එදා මුළු රෑම අප් ගෙදර වචනයක්වත් කියවුනාද මට මතක නෑ. රෑට මොනවත් කෑවද මතකත් නෑ. පුතාට මොනවත් කන්න තිබුනද මතකත් නෑ. මතක එකම දේ පුතා දවස් පහක් ගෙදර හිටියා, කොළඹ යන්න ඉස්සර.

ලලනී අපෙන් ඈත්වුනේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර. අපිට කෙල්ලගෙන් ලියුමක්වත් ආයෙ ලැබුනෙ නෑ. පුතා කසාද බැන්දේ ඊට අවුරුද්දකට විතර පස්සේ. කොළඹ කෙල්ලෙක් බඳිනවා කිව්වම අපි දෙන්නම හිතුවෙ ආයෙ කොල්ලත් අපේ ගෙදර එන්නෙ නැතිවෙයි කියලා. නමුත් මනෝ අපෙ ගෙදරට සාරදා එක්ක ආවේ බැඳලා මාසෙකින්. අපි හිතුව විදිහට ටවුමේ නොනැවතී දෙන්නා අපේ ගෙදරම නැවතුනා. පත්තර කන්තෝරුවක වැඩකරන සාරදා අපෙ ජීවිත කතා අහගෙන හිටියේ පොඩි ළමයෙක් සුරංගනා කතා අහනවා වගේ. දවල්ට ජෝඩුව තේ වතු මැදයි, පැක්ටරියෙයි හැම තැනම ඇවිද්දා. හවසට ගෙදර ඇවිත් පරණ කතා අහගෙන හිටියා.

“තාත්තා… මේ සාරදා කවදාවත් කොළඹින් පිට ඉඳලා නෑ… මේක එයාට අමුතුයි!”

ලක්ස්මී පලවෙනි සැරේට අපි දෙන්නම හිතාගෙන තිබුන අදහසක් එළියට දැම්මා.

“දුව… අපි ටිකක් සාංකාවෙන් හිටියේ … දුව අපෙ මේ පැල ගැන මොනවා කියද කියලා; අපෙ කෑම ගැන මොනවා කියයිද කියලා; මම දෙමළ බව දුව දන්නවද කියලා, මනෝගෙ නංගී පැනලා ගියා කියලා… මේවා හංගගෙන ඉඳලා අපිට පුරුදු නෑ දුව… මේ අපි ඉන්න හැටි…”

සාරදා ගිහින් අම්මා ලඟ බංකුවේ වාඩිවුනා.

“අම්මා…මම බැඳේ මනෝ… වෙන දේ මට වැදගත් නෑ… මට වැදගත් එක දෙයක්… මාමයි නැන්දයි මාව ගෙදරට වද්ද ගත්තේ මා ගැන කිසිම දෙයක් අහන්නෙ නැතුව… ඒ මට ඇති”

මං හිතන්නේ පුතයි ලේලියි ආපහු කොළඹ ගිහින් සතියක් යනතුරුත් අපෙ පපුවේ උනුසුම අඩුවුනේ නෑ. තව අවුරුදු පහක් අපි සතුටෙන් ජීවත්වුනා. ලලනී ගැන ඉඳහිට හිතුවත් මනෝ, සාරදා, මැනික් බබා ගැන හිතලා අපි සතුටුවුනා. උන හෙම්බිරිස්සාවකින් මගෙ ලක්ස්මිත් එයාගෙ දෙමව්පියෝ ගියපාරෙ යනකල්.

……………………………

වැස්ස තවම ඒ වගේම සැරයි. මම පුච්චාගත්ත රොටියත් දවල් පොල් සමබලෙත් අරගෙන ඉස්සරහ මඩුවේ ඇඳට ආවා. අපේ පුරුද්ද තිබුනේ හැමදාම රෑට මඩුවේ වාඩිවෙලා කන්න. වැස්සත් නැතත් මෙහෙ රෑ අඳුර මුළු ලෝකෙම වසා දමන්න සමර්තයි. කුප්පි ලාම්පුවෙන් වැටෙන් එළිය මිදුලේ බාගයක් දුරටවත් පැතිරෙන්නෙ නෑ. ගස් වදල නිසා කිසි රෑක තරුවක් දකින්න බෑ ගේ පිටිපස්සට නොගිහින්.

රොටිය කන වෙලාවේ මට හිතුනේ ලක්ස්මීගෙ සම්බලේ තරම් රසට සම්බලයක් හදන්න මට කවදාවක් බැරිවෙයි කීයලා. එක අතකින් ඒකත් හොඳයි - මම කැමතියි ලක්ස්මී මට වඩා දක්ෂ කෙනෙක් හැටියට හිතන්න.

කඳුරේ වතුර පාරේ සැර බව දැනෙන්නේ සද්දෙන් විතරයි. මේ අඳුරේ කොහෙවත් යන්න අවශ්ය නැතිවීම කොයි තරම් හොඳද? නමුත් වඩාත් හොඳවෙන්නේ මෙතන ලක්ස්මී හිටියානම් කතා නැතුවවුනත් මුහුණ බලාගෙන ඉන්න…

ලක්ස්මී මඩුවට ගොඩවෙලා ඇඳේ වාඩිවුනේ මා සමග හිනාවෙමින්. ඈ අත දික්කරලා මාව අතින් අල්ලගන්න වෙලාවේ කඳුරේ වතුර මිදුල පහුකරගෙන මඩුව දිහාට එන්න පටන්ගෙන.