පියාපත්
වෙද ගෙදර අද උදේ වෙනදා වගේ නෙවෙයි, වැඩිය සද්ද බද්ද මොකුත් නෑ. ගෙදර ඉන්නේ විජේරත්න වෙද නිලමෙයි වැඩට ඉන්න ගාමිනියි විතරයි. වෙනදා නම් මේ වෙලාව වෙනකොට වෙද නිලමෙගෙ පවුල, එපිටවත්තේ මැනිකේ, ගාමිනීට කෑ ගහ ගහ උදේට තේ හදනවා. ගෙදර ඉන්න ‘ගංටාරේ’, මැනිකෙගෙ නංගිගෙ දුව, දේවී මේ වෙලාවට සද්දෙට රේඩියෝ එක දාගෙන අහනවා, නැත්තම් සිංදු කියනවා. ඒ මදිවට නිතරම වාගේ ගමේ ගෑනු එක්කෙනෙක් දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නවා, ඕපා දූප කිය කිය වී කොටන්න, පැදුරු වියන්න වගේ දේ කරන්න. වෙද නිලමේ නිතරම ඉන්න එලියේ සාලේ පැත්තේ ටිකක් වත් සද්ද අඩු උනත්, මේ ගෙදර පොතක් පත්තරයක් කියවන එකත් සෑහෙන්න අමාරු කර්තව්යක්.
අද එහෙම කිසි සද්දයක් නෑ. මැනිකෙයි ලේලියි ඊයේ මැනිකෙගෙ ලොකු නංගිගෙ ගෙදර ගියේ එහෙ තව දවස් දෙකකින් සිදුවෙන මගුල් ගෙදරට උදව් කරන්න කියලයි. වෙද නිලමෙත් මගුල් දවසේ උදේ එහෙ ගිහින් හවසට මැනිකෙත් එකතුකරගෙනම ආපහු එන්නයි හිතාගෙන ඉන්නේ. වෙද මහත්තයට මතක හැටියට ලේලී තව සතියක් එහෙ නවතිනවලු. දැන් වෙද මහත්තයා හාන්සි පුටුවේ දිග ඇදිලා පත්තරේ කියවන්නේ හිත බොහෝම සැහැල්ලුවෙන්. පවුලයි ලේලියි ඉන්න එක කරදරයක් හැටියට නොහිතුවත් ඉස්සරකාලෙ වගේ මෙහෙම තනියම ඉන්න එක කලාතුරකින් ලැබෙන නිදහසක්.
වෙද මහත්තයට මතකයි ඒ දවස්වල තිබුනන් නිදහස. තමංට ඕනෑ විදිහට, ඕනැ වෙලාවක වත්ත පැත්තේ ඇවිදලා ඇවිත් නාලා, කැමති දෙයක් කාලා, බීලා, පත්තරයක් පොතක් කියවන එක අතීතේ උන දේ හැටියට මිස දැන් සාමාන්ය දිනචරියාවට අයිති දේවල් හැටියට නෙවෙයි පෙනෙන්නේ. ඒ දවස් වල නම් යාලුවොත් එක්ක ඉඳලා හිටලා හවසට රා අඩියත් එහෙමත් ගැහුවා. දැන් බීමක් නෑ - යාලුවෝ කියන්න කෙනෙකුත් නෑ. ඒ දවස්වල ඉඳන් බෙහෙත් අවුසද සොයන්න උදව් කරපු ආරොන් ගොයියා විතරයි දැන් ගෙදර පැත්තේවත් එන්නේ. අදත් ආරොන් එන බලාපොරොත්තුවෙනුයි වෙද නිලමේ හාන්සි පුටුවේ ඉඳන් මිදුල දිහා ඇස් යොමු කරගෙන ඉන්නේ.
“ගාමිනී….ගාමිනී…..”
ගාමිනී මිදුල වටෙන් දුවගෙන ආවේ උදැල්ලකුත් උස්සගෙන.
“නිලමේ?”
“මොනවද උඹ කරන්නේ?”
අර ගේ පිටිපස්සේ පාත්තිය සුද්ද කරනවා…නිලමේ අර ඊයේ කිව්වේ…”
“ඔවු…උදැල්ල අතේ තියාගෙනම ආවෙ නැත්තම් මං කොහොමද දැනගන්නේ උඹ වැඩක් පටන්ගන කියලා…හොඳයි හොඳයි… උඹට පුලුවන්ද දෙල් ගෙඩි දෙකක් කඩා ගන්ට? අද රෑට දෙල් තම්බලා දෙහි දාපු පොල් සම්බලයක් හදා ගමු. උඹට පුලුවන්ද?”
ගාමිනී ටිකක් ඇඹරුනා.
“පුලුවෙනි…නිලමේ….අ…මැනිකේ කිව්වේ බත් උයලා පරිප්පුයි කරෝලයි හදන්ට කියලා…එලවලු එහෙමත්…”
“කෝ මැනිකේ දැන්?”
“…ඇයි නිලමේ…අද උදේ ගෙලිඔය ගියේ…අ…අ…නිලමෙත් ඉන්න කොට…”
“කොල්ලෝ…මං කියන්නේ දැන් මෙතන ඉන්නේ මම - මැනිකේ නෙවෙයි - එංගලන්තේ මහ රැජිනත් නෙවෙයි. ඒ නිසා…උඹට තව ප්රශ්න මොකවත් නැත්තම්…හ්ම්…? ගිහින් කඩාගෙන වර දෙල් ගෙඩි දෙකක්…පල!”
ගාමිනී උදැල්ලත් ඇදගෙන දිව්වේ හිනහ වෙවී.
වෙද මහත්තයත් පොඩි හිනහවකින් මුහුන සරසලා ආයෙත් කියවපු පත්තරේ අතට ගත්තා.
“නිලමේ පත්තරේ කියවනවා වගේ…”
ආරොන්ගෙ කට හඬ ඇහුනාම කෝරලේ නිලමේ පත්තරේ බිම දාලා කන්නාඩිය ගලවලා ආරොන් දිහා බැලුවා.
“ආරොන් ගොයියෝ…උඹ අද රෑ ගෙදර යන්ට ඕනැද?”
“එහෙම එකක් නෑ නිලමේ…කොහෙවත් යන්ට තියෙනවද?”
“තවම දන්නෙ නෑ හරියට…කඩමංඩිය පැත්තේ ගිහින් එන්න හිතෙනවා ඉර මුදුන් වෙන්න ඉස්සර”
“ඇයි නිලමේ ගාමිනී දරුවා නැද්ද කඩේ යන්න? මට උනත් ගිහින් ගේන්න පුලුවන්…”
“මං කියපු එක ඇහුනද? මට ගිහින් එන්නයි ඕනෑ…බඩු ගන්න නෙවෙයි!”
ආරොන්ගෙ මුහුනේ පොඩි හිනාවක් මතු උනා.
“එහෙනම් මැනිකේ එහෙම කොහෙවත් ගිහින්ද?”
වෙදාටත් හිනා ගියා.
“පූසෝ නැති ගෙදර මීයෝ…උන් මොනවා කරාද මට මතක නෑ. මැනිකේ බයයි මං ගිහින් හංදියෙන් රා අරක්කු බොයි කියලා…”
“…අ…නිලමේ එහෙම…අ…කරන්නද හිතුවේ?...මං මේ නිකමට ඇහුවේ…”
“නැතුව! උඹ හිතුවේ මම කහට බොන්න යනවා කියලද?”
“අනේ මංදා…නිලමෙට හොඳද දන්නෑ…මේ මද්දහනේ”
“යකෝ මමනේ වෙදා! උඹ වෙදකං කරන කාලෙක මම උඹ කියනදේ අහන්නම්…එතකන්?”
වෙදා සද්ද නැතුව මිදුල දිහා බලාගෙන හිටියා. ආරොන් හිතා ගත්තා වෙද නිලමේ මොනවත් කියනකම් කට වහගෙන ඉන්න.
“…ආරොන් අර කොල්ලා ඇවිත්ද කියලා බලලා තේ එකක් ඉල්ලා ගෙන වරෙන්කෝ…මම ඒකා දෙල් කඩන්න යැව්වා…ගහෙන්වත් වැටුනද දන්නෙ නෑ.”
ආරොන්ට වෙද ගෙදර හොඳට පුරුදුයි. මැනිකේ ගෙදර නැතිඋනත් ගේ මැදින් නොයා මිදුලට බැස්සේ ගේ වටෙන් කුස්සිය පැත්තට යන්නයි. ගාමිනී දෙල් ගෙඩි දෙකකුත් එල්ලගෙන පල්ලෙහා පාරෙන් එනවා දැකලා ආරොන් කොල්ලා එනකම් ගේ පිටිපස්සේ මිදුලේ නැවතිලා හිටියා.
“ආරොන් මාමා දැන්ද ආවේ?”
“දෙල් කැඩුවා?”
“ඔවු මාමා…නිලමෙට රෑට දෙල් තම්බලා ඕනැලු, පොල් සම්බලුත් එක්ක”
“නිල්මෙට දැන් තේ ඕනැලු!”
ගාමිනී කුස්සිය පැත්තට දිව්වේ “අප්පේ හරියට වෙලා ගිහින්…මට බැන්නද?” කියලා අහගෙනයි.
“තවම නෑ!” ආරොන්ට හිනහ ගියා ගාමිනීගෙ හදිස්ස්සියට. “ඔය කෝප්ප බිම අතෑරලා කඩාගන්න එහෙම එපා හදිස්සියට”
නිලමේ හාන්සි පුටුවෙන් නැගිටලා ගේ ඉස්සරහ මිදුල අයිනේ බංකුවේ වාඩිවෙලා ලොකු කල්පනාවක්.
“හා…ආරොන්…අපි මේකයි දැන් කරන්නේ…තේ බීලා, අර බුරුම මල්ලට නාන්ට ඕන ආම්පන්නයි, හිස් බෝතලේකුයි දාගෙන හංදියට යනවා. එතනින් රෝස් පාන් කීපෙකුයි බොන්ට මොනවාහරියි අරගෙන ආඳා වලට යනවා නාන්න. ගිය සුමානේ වැස්ස හින්දා ඒකේ හොඳටම වතුර පිරිලා ඇති. දැන් ඒ පැත්තේ ගිය කාලයක්වත් මතක නෑ ආරොන්…ගාමිනීට කියලා ගියොත් දවල් එක විතර වෙනකොට බත්මුල් දෙකක් බැඳගෙන ඇලේ ලොකු කුඹුක් ගහ ලඟට ගේන්න කියලා…අපිට පුලුවන් ඒක කාලා….”
“නිලමේ නරකද දවල්ට ගෙදර ඇවිත් කෑවොත්? ඕනනම් හෙට බැරියෑ ඇලේ ගල් උඩ ඉඳගෙන කන්න”
“උඹට පුලුවන්ද හෙටත් නවතින්ට?”
“ගාමිනී කොලුවා අතේ පනිවිඩයක් යවන්න වෙනවා කොහොමටත් අද…මම රෑට එන්නෙ නෑ කියලා…එතකොට කියන්න පුලුවන් වෙද ගෙදර වැඩ වගෙයක් තියෙනවා කියලා”
“තියෙනවා නේන්නම්! හැබැයි කොල්ලා කියයි අපෙ වැඩ ගැන!”
“නෑ නිලමේ…ඌ නිලමෙට හොඳටම බයයි…ටිකක් සැරට කිව්වොත් කට අරින එකක් නෑ”
වෙදා තවත් ටිකක් කල්පනා කලා.
“හැබෑට දවල් කෑමට ගෙදර එන එක හොඳයි තමා, කාලා ටිකක් නිදාගන්නත් එක්ක…අන්න හරි…අද රෑ අර බූරු ඇඳන් එලියේ මඩුවේ දාගමු නිදාගන්න! ශඃ! අංතිමට එලියේ හුලං වැදි වැදී නිදාගත්ත දවසක් මතකවත් නෑ…රෑ වෙනකන් රේඩියෝ අහන්නත් පුලුවන්…හ්ම්…නෑ ….කයිවාරු ගහන එක ඊට වැඩිය හොඳයි…”
වෙද නිලමේ සෙල්ලම්බඩු සාප්පුවකට ගිය පොඩිඑකෙක් වගේ කියලා ආරොන්ට හිතුනා. මේ නිලමේ කරන්න ලෑස්තිවෙන දේ ඒ දවස්වල කොයිතරම් රසවත් වෙලා තවම හිතට ඇල්ලුවට දැන් ඇඟටත් අල්ලයිද කියලා ආරොන්ට සැකයක් ඇති උනා.
“නිලමේ එලියේ සීතලයි නේද?”
“ඇඳේ සාලු එලියට ගේනවා…අද හඳ තියෙනවද?”
“නමය දහය වෙනකොට තියෙයි…පසලොස්වක පහුවෙලා එච්චර දවස් ගානක් නෑ”
“මට බලන්න ඕනෑ පොල් අතු අතරෙන් හඳ එලිය මිදුලට වැටෙනවා…ඉස්සර වගේ…”
ආරොන් වටපිට බැලුවේ මේ අතීතේ ගමන කොතැනින් කෙලවරවෙයිද හිතනවා වගේ.
“නිලමේ දැන් අපි තේ එක බීලා පිටත් උනොත් නරකද?”
………………
කඩමංඩිය කිට්ටුවෙනකොට ආරොන් මල්ලත් එල්ලගෙන ඉස්සරවෙලා ගියා ‘වයින් ස්ටෝස්’ එක පැත්තට. වෙද මහත්තයා හැරමිටියත් වන වනා සියාතුගෙ සිල්ලර කඩෙන් රතුළූනුයි උම්බලකඩ සොච්චමකුත් ගත්තා රෝස්පාන් එක්ක.
“වෙදමහත්තයා සම්බලයක් හදන්න වගේ” සියාතු මුදලාලිට කාරනා තේරෙනවා. .
“උඹැලෑ ගෙදර පොල් දාන්නෙ නැතුව ඇති සම්බලේට”
මුදලාලී දන්නවා වෙද මහත්තයා කැමති කට ගැස්ම ගැන. නමුත් ගාමිනී කොල්ලා නොඑවා වෙද මහත්තයම කඩේ ආ හේතුව මුදලාලිට හිතාගන්න පුලුවන්. වචනෙන් කිසිදෙයක් හුවමාරු නොවුනත් මේ කටගැස්ම ගෙදරදී පාවිච්චි නොවන බව මුදලාලිට පැහැදිලියි.
“මම මේ ආඳා වල පැත්තෙන් ටිකක් නාගෙන එන්න කියලා, ආරොන් ගොයියත් එක්ක” වෙද මහත්තයා මුදලාලිටත් ආරධනාකලේ මේ විදිහටයි.
“මාත් කුඹුර පැත්තේ ගිහින් එන්නත් හිතාගෙන ඉන්නේ” මුදලාලී ආරාධනේ පිලිගත්තා.
………….
“ආරොන් ඔය මල්ලෙන් ඕක ගනින්කෝ”
“නිලමේ මං සෝඩා බෝතලේකුත් ගත්තා…දාලා දෙන්නද?”
“හ්ම්…උඹට මතකද අර කතාව…’සෝඩා එපා!’ කියන එක? මටනම් දැන් බෑ බං අමුවෙන් ඕක බොන්න…සෝඩා ටිකක් වැඩියෙන් දාපන් මගෙ එකට”
වෙද නිලමේ ඉන්නේ බොහෝම සන්තෝසෙන් බව ආරොන්ට දැනුනා. බීම වීදුරුව තොලගෑවා මිස වැඩි බීමක් උනේ නෑ. ගල් තලාවේ වාඩිවෙලා තව ගල් ගෙඩියකට හේත්තුවෙලා වතුර දිහා බලාගෙන ඉන්න නිලමේ ආරොන්ට පෙනුනේ පුරාන පිලිමයක් වගෙයි. නිලමෙගෙ හිතත් ඒ වගේම අතීතේ ගිලිලා ඇතියි හිතලා ආරොන් කතා නොකර තනියම බිව්වා. සියාතු මුදලාලී එනකොට වෙද මහත්තයයි ආරොනුයි තවම ගස් සෙවනේ ගල උඩ.
“මං හිතුවේ නිලමේ එහෙම මේ වෙනකොට නාලත් ඇති කියලා…”
“අපිට එහෙම හදිස්සියක් නෑ - මොන කෝච්චි අල්ලන්නද අපි? හ්ම්…මෙන්න මේ මල්ලේ…”
ආඳා වලේ නෑම අංතිමට “කරනවා කිව්ව නිසා කරනවා” තත්වෙට වැටුනා. වෙද නිලමේ වතුරට බැහැලා විනාඩි දෙකක් වත් ගියෙ නෑ “හීතලයි බං” කියලා ආපහු ගොඩ ඇවිත් අව්ව තියෙන ගලක් උඩ වාඩිවෙන්න. සියාතු මුදලාලී වතුරට බැස්සෙම නෑ. ආරොන් විතරක් වතුරේ විනාඩි දහ පහලවක් හිටියා, ගත්ත බීමේ සැර අරින්නත් එක්ක. වතුරෙන් ගොඩවූ ආරොන් ඇඟ වේලෙනකම් තව රෝස්පාන් කෑල්ලක් හැපුවා. තුන්දෙනා පාවිච්චිකල බීම ප්රමානය අඩු උනත් කට ගැස්ම නම් හොදින් අලෙවි වෙලා ගියා.
ආරොන් වෙද නිලමෙගෙ භාරකාරයා වගේ දියට ඇඳපු සරං තුවා වගේම බාගෙට හිස් බෝතලත් ඉතිරි කෑමත් මල්ලේ ඇහුරුවට ආපහු යෑමක් මතක් කලේ නෑ. මෙතන වැදගත්ම පුද්ගලයා වෙද නිලමේ නිසා ආපහු ගෙදර යෑම වගේ වැදගත් තීරන නිලමෙට භාර දේ බව ආරොන් දන්නවා.
“ආරොන් මේ හරියේ තියෙනවානම් දියනිල්ල ටිකක් කඩා ගමුද? කාලෙකින් කෑවෙ නැති දෙයක්!”
“ඒවා ඇඟට සීතල හංදා වෙන්න ඇති මැනිකේ එව්වා ලෑස්ති නොකරන්නේ…”
“මං කිව්වා නේද උඹ වෙදෙක් උන දවසක එහෙම නීති හදපං…එතකොට උඹටත් පුලුවන් මට වගේ ඔනෑ ගොං කතාවක් කියන්න ලෙඩ්ඩුන්ට - උන් සේරම විස්වාස කරනවා පොඩ්ඩක් වත් හිතලා බලන්නෙ නැතුව!”
යාලුවෝ තුන්දෙනා ගල් තලාවෙන් නැගිට්ටේ හොඳටම හිනා වෙවී. ඇල වේල්ල ලඟදී සියාතු මුදලාලී කුඹුර පැත්තටත් වෙද නිලමෙයි ආරොනුයි වෙද ගෙදර පැත්තයි එන්න හැරුනා.
“අද නං කාලා ටිකක් ඇලවෙන්න ඕනෑ ආරොන්”
“ඒක හොඳයි නිලමේ…මමත් ගෙදර ගිහින් හවස් වෙලා එනවා…එනකොට මොකවත් ගේන්න තියෙනවද නිලමේ?”
“දැන් මොකවත් කාලම ගියානං…එනකොට ගේන්න දෙයක්නම් හිතන්න අමාරුයි…කෑම බීම තියෙනවා රෑටයි උදේටයි…ම්…අන්න හරි…කඩෙන් අහස්කූරු දහ පහලොහක් ගේනවද?...නෑ පෙට්ටියක්ම!”
වෙද නිලමෙගෙ හිතේ ඇඳුනේ සඳ එලියෙන් නෑවුන මිදුලේ, බීම වීදුරුවක් ලඟින් තබාගෙන, ආරොන් ගොයියා සමග පොල් සම්බල් එක්ක තැම්බූ දෙල් කමින් ගාමිනී අහස්කූරු දල්වනවා බලා සිටින දර්ශනයකි. කිසි බයක් නැතුව පස්සා පැත්තෙන් සද්දෙට වාතය පිටකර “බගවංතලාවට අකුනු ගහනවා වගේ” කීමට තමාට අවස්තාවක් ලැබුනොත් කොතරම් හොඳදැයි නිලමෙට සිතුනි.
………………..
“දේවී….කෙල්ලේ අපි කෝපි එකක් බොමුද?”
එපිටවත්තේ මැනිකේ ලොකුනංගිගෙ ගෙදර සාලේ වාඩිවෙලා නංගිත් එක්ක මගුල් ගෙදර වෙනුවෙන් හෙටට කරන්න තියෙන දේ සාකච්චා කරනවා. රෑ දහයත් පහුවෙලා නිසා තවම නොනිදා හිටියේ මේ සහොදරියෝ දෙන්නයි දේවියි පොඩි කෙල්ලො කොල්ලෝ කීපදෙනෙකුයි විතරයි.
“අනේ දුව ඔය කමලාවතීට කිව්වනම් හදලා දෙයි”
“කන්න මොකවකුත් ඕනැද නැන්දා?”
“නෑ….හැබැයි අර ලීලා නංගිගෙ උඳුවැල් තියෙනවානං….”
කෝපි කෝප්පත් අරගෙන දේවියි නැන්දලා දෙන්නයි වාඩිඋනේ නිදාගන්න ඉස්සර දවසේ අංතිම රාජකාරි ටිකත් ඉවරකරලා දානයි. දේවිට වෙද මාමා මතක් උනේ මේ වෙලාවෙයි.
“අපි මේ උඳුවැල් කනවා. හැබැයි වෙදමාමා අද රෑට මොනවා කෑවද මංදා” දේවී කිව්වේ වෙද නිලමෙට ඇත්තටම ඇති ආදරේ නිසයි.
“ඇයි අර ගාමිනී කොල්ලට පුලුවන් නේද මොකවත් තම්බාගන්න?” ගෙලිඔයේ නැන්දට අනික් අයගෙ කරදරගැන හිතන්න වෙලාවක් නෑ.
“මාමා ගැන උඹ බයවෙන්න එපා. ඉඳල හිටල තනියම ඉන්න එයාගෙත් අකමැත්තක් නෑ”
“ඇයි මොනවා කරන්නද?”
“මොනවද ඉතින්…ටිකක් බොයි…ඇඟට අල්ලන්නෙ නැති කෑම කයි…මද්දහනේ නායි… සමහරවිට එලියේ මඩුවේ නිදා ගනියි….”
“නැන්දා ඔය ඇත්තටමද කියන්නේ? අනේ…මං හිතුවේ ගාමිනී දෙන දෙයක් කාලා පත්තරේ කියවයි කියලා!”
“උඹට පිරිමිංගෙ හැටි තවම තේරෙන්නෙ නෑ කෙල්ලේ… ඉස්සර කාලේ කරපුදේ තමා ඒ අයගෙ හිතේ කෙටිලා තියෙන්නේ. වයසට ගියාට හිතේ තියෙන්නේ ඉස්සර කරපු දේ, හොඳ නරක ගැනවත් අනික් අය මොනවා කියයිද හිතයිද කියලා ගානක් නෑ…පොඩි කොල්ලෝ වගෙ!”
“ඒකනම් ඇත්ත තමයි අප්පා!” ගෙලිඔයේ මැනිකෙත් හවුල් වෙනවා.
“ඉතින් නැන්දට බැරිද මොකවත් කරන්න? මාමත් එක්ක කතා කරලා බලන්න ඔය වගේ වයසට නුසුදුසු වැඩ නවත්තන්ට කියලා?”
නැන්දලා දෙන්නම දේවී දිහා බැලුවේ “උඹටත් තව ඉගෙන ගන්න බොහෝම දේ තියෙනවා” කියනවා වගෙයි.
“තටු තියෙන සත්තුන්ට ඉඳලා හිටලා වත් පියාඹන්ට නොදෙන එක පාපයක් දුව…එහෙම කරන්නේ තිරිසනෙක් මිස මනුස්සයෙක් නෙවෙයි”