පුවක්
“මම පොඩිකාලේ නිලමෙගෙ වත්තේ පුවක් කැඩුවා”
බෝ මළුවේ පොඩි සාදු තමාගෙ ගමේම කෙනෙක් නිසා අහගෙන ඉන්න අයට මේ කතාව අපූරු දෙයක් හැටියට පෙනුනෙ නෑ. ‘නිලමෙගෙ’ වත්තේ පුවක් තියෙන බවත් සාදුගෙ පවුලේ අය නිලමෙගෙ වත්තේ වැඩ කරපු බවත් ගැමියෝ දන්නවා.
අද පොඩි සාදුගෙ කතා අහගෙන ඉන්නේ වයස දහයෙන් පහල ගමේ ළමයි. ඉස්කෝල නිවාඩු දවස්වල පොඩි සාදු ගමේ බාල ළමයින්ට පංති පැවැත්තුවා. බෝ මළුවේ මිදුලේ පැවැත්වුන මේ පංති වලදී සාදු වඩාම කැමතිවුනේ පොඩි අයගෙ භාෂාවෙන් ධර්ම සාකච්චා පවත්වන්නයි. මේ සාකච්චා මාතෘකා වලට අදාල අවස්ථාවලදී බුද්ධ චරිතය ගැන සඳහන් වුනත් ගාතා හඬනගා කියවීම් වැනි දේ සිද්ධවුනේ ඉතා කලාතුරකින්. සාදුගෙ බංකුව ලඟ මිදුලේ එළූ පැදුරේ අද ළමයි හතරදෙනයි, එකම පවුලක අය.
“කමලාවතීලගෙ ගෙදර ලඟ පුවක් ගස් තියෙනවද?”
“එහෙයි හාමුදුන්නේ”
“ඒවගෙ ගෙඩි තියෙනවද?”
“එහෙයි හාමුදුන්නේ”
“එහෙනම් දැන් පුවක් ගෙඩියක් විස්තර කරනවද, සේරටම ඇහෙන්ට?”
කමලාවතී වටපිට බැලුවා. නමුත් එතන වැඩිමලා හැටියට නොපැකිළවී කතා කිරීම තමාගේ යුතුකමක් හැටියට ඈ දුටුවා.
“පුවක් ගෙඩි හැදෙන්නේ ගහේ මුදුනේ… ඉත්තක් හැටියට. එක ඉත්තක ගෙඩි සීයක් තියෙන්ට පුළුවන්. පුවක් ගෙඩි පොඩි කාලේ කොළ පාටයි; පැහුනම… අ… ඉදුනම නිකන් කහ පාටයි වගේ… කහපාටයි රතු පාටයි අතරේ”
“එක ගෙඩියක් කොච්චර විතර ලොකුද?”
“… සෙන්ටිමීටර් තුනක් විතර දිගයි… පළල ඊට ටිකක් අඩුයි…”
“හරියටම හරි… කමලාවතී පුවක් ගෙඩි දිහා හොඳට බලලා තියෙනවා… බොහොම හොඳයි! ප්රේමරත්න… ප්රේමරත්න හිතාගන්ට ඉස්කෝලේ මහත්තයා කිව්වා කියලා පුවක් ගෙඩියක් ගැන රචනාවක් ලියන්ට… මොනවද ලියන්නේ?”
“කමලක්කා කියපු දේ…?”
ප්රේමරත්න උත්තර දුන්නේ ගහෙන් ගෙඩියක් වැටෙන්නා වගේ ඉක්මනට.
“ඔව්… කමලාවතී කියපුදේ ලියන්ට වටිනවා. ප්රේමරත්න ටිකක් හිතලා බලන්ට පුවක් ගෙඩියක් ගැන කටින් කියන එකයි ලියන එකයි අතරේ තියෙන වෙනස්… කාටද පුළුවන් කියන්ට මේ වෙනස් මොනවද කියලා?”
“ලියන්ට කඩදාසි, පැන්සල් එහෙම ඕනෑ”
බාලම දරුවා චන්ද්රාවතී එක සැරේම කිව්වා. අබේරත්න ටිකක් හිතලා බලලා කතා කරේ.
“ලියන්ට වෙලා යනවා… හුඟක් වෙලා තිබුනොත් පුවක් ගෙඩි ගැන තවත් දේ ලියන්ට පුළුවන්… තව මතක්වෙන හැටියට… ඒකේ බර, ආයෙ ඉදිලද නැද්ද කියලා…”
“දෙන්නම හරි - බොහොම හොඳයි… කමලාවතී පුවක් ගෙඩියක් ගැන ලිව්වොත් කියපු දේට වැඩිය මොනවද ලියන්නේ?”
“මම පුවක් ගෙඩියක පින්තූරෙකුත් අඳිනවා… පාට කරනවා”
“බොහොම හොඳ අදහසක්… පින්තූරයකින් හුඟාක් දේ පෙන්නන්ට පුළුවන්, වචන වලින් කියන්ට බැරි තරමට! ළමයින්ට දැන් තේරෙනවා නේද පුවක් ගෙඩියක් විස්තර කරන හැටි… මගෙ ඊලඟ ප්රශ්නේ අබේරත්නට. දැන් හිතාගන්ට අපි කොලේක පුවක් ගෙඩියක විස්තර ලිව්වා කියලා ඔය කිව්ව විදිහට පින්තූරෙකුත් එක්ක…. දැන් හිතන්ට කවදාවත් පුවක් ගෙඩියක් දැකලා නැති කෙනෙක් අපෙ ගමට ආවා කියලා”
ළමයින්ට හිනා ගියා කවදාවත් පුවක් ගෙඩියක් දැකලා නැති කෙනෙක් ගැන හිතලා.
“මෙන්න අබේරත්නගෙ ප්රශ්නේ… අපි ඒ අමුත්තට අපෙ පුවක් ගෙඩියේ විස්තරේ දුන්නොත් එයාට පුළුවන්වෙයිද ඒකෙන් පුවක් ගෙඩි ගැන හොඳ දැනීමක් ලබා ගන්ට. ඒ කිව්වේ, ඒ විස්තරේ පුවක් ගෙඩි ගැන දැනගන්ට ඕන සේරම දේ ලියවිලා තියෙනවද? ඒක සම්පූර්ණ විස්තරයක්ද?”
“නෑ හාමුදුන්නේ… විස්තරේ හොඳ මදි. ඇත්ත පුවක් ගෙඩියක් දැකලා වත් නැති කෙනෙකුට”
“ස්තුතියි අබේරත්න… දරුවගෙ කතාව හරියටම හරි!”
පොඩිසාදු හිනා මුහුණින් ළමයි හතරදෙනා දිහා බැලුවේ ඉමහත් දයාවකින්.
“මෙතන අහගන්ට වටින පාඩමක් තියෙනවා. කට වචනෙන් ඇහුනත් ලියා තිබූ දෙයක් කියෙව්වත් අපේ දැනුම සම්පූර්ණ නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නේද?”
“එහෙයි හාමුදුන්නේ!
“දැන් හතරදෙනාම හිතලා බලන්ට ඒ දැනුම සම්පූර්ණ කරන්ට අපිට උදව් දෙන්නේ කොහොමද කියලා…”
ළමයි මුහුණෙන් මුහුණ බැලුවේ උත්තර සොයන්න. ඉස්සරවෙලාම උත්තර දුන්නේ බාලම දරුවා.
“එයාට පුවක් ගෙඩියක් දෙනවා!”
පංතියටම තේරුනා චන්ද්රාවතීගෙ උත්තරේ වටිනාකම.
“හරියටම හරි! යමක් තේරුම් ගන්ට ඒ ගැන අහලා හරි කියවලා හරි මදි - තමාගෙ අත්දැකීමෙන් තමා හොඳට යමක් තේරුම් ගන්ට පුළුවන් වෙන්නේ… ඒ වැදගත් අදහස මතක තියාගන්ට - අපි තව ටිකකින් ඒක ගැන ආයෙත් කතා කරනවා. නමුත් දැනට කියන්ට තව මොන උදව්වක්ද අපිට දෙන්ට පුළුවන් අපෙ පුවක් නොදන්නා අමුත්තට?”
ඒ සැරේ උත්තර ලැබෙන්න ටිකක් වෙලා ගියා. කමලාවතී පළමු උත්තරේ දුන්නේ.
“ගිරයක් දෙනවා පුවක් ගෙඩිය කපලා ඇතුළ බලන්ට!”
එයින් පස්සේ අළුත් උත්තර ආවේ කමලාවතීගේ උත්තරෙන් ලැබූ උනන්දුවෙන්.
“වෙන වෙන ජාතියේ පුවක් ගෙඩි පෙන්නනවා”
“පුවක් ගහකුයි ඉත්තකුයි පෙන්නනවා”
“කරුංකා ගෙඩියක් ගෙනත් දෙනවා… වේලපු පුවක් ගැන කියලා දෙන්ට”
“පුවක් කන හැටි කියා දෙනවා… අ… පෙන්නනවා”
“පොත්ත හපලා පැනි රසද බලන්ට කියනවා…”
“පුවක් මුදලාලී ගැන කියනවා - සල්ලි දීලා පුවක් ගන්නවා කියලා”
“ගහේ නැගලා පුවක් කඩන හැටි කියලා දෙනවා”
පොඩි සාදුට හිනා ගියා අන්තිම උත්තරේට.
“ඒක මට හොඳටම කියලා දෙන්න පුළුවන්. පොඩි කාලෙනම් කරලා පෙන්නන්නත් පුළුවන්, දැන් බැරිවුනාට!”
ළමයිත් හිනාවුනා සාදු කෙනෙක් ගස් නගින අදහස ගැන. පොඩි සාදු කතාකළේ හෙමින්.
“දැන් අපි පුවක් ගෙඩියක් ගැන කතා කරා. අපි හුඟාක් දේවල් දන්නවා පුවක් ගැන… නේද? ඊටත් වැඩිය වැදගත් දෙයක් - අපි පුවක් ගැන තව හාරලා හොයාගන්න විදිහත් දන්නවා... දරුවෝ හොඳට හිතට ගන්ට අපි අපෙ ආගම දිහා බලන්ට ඕනෑ ඒ විදිහටමයි…”
විනාඩියකට කව්වුරුත් කතා නෑ. පොඩි සාදුට හිතුනා එක සැරේම ආගමට පැන්න විදිහ හදිසි වැඩී කියලා.
“ඔන්න තව උදාහරණයක්… කවුද තල් සූකිරි කාලා තියෙන්නේ?”
ළමයින්ගෙන් උත්තර නෑ.
“මම කොහොමද තල් සූකිරි කාලා නැති කෙනෙකුට ඒකේ රස විස්තර කරලා දෙන්නේ?”
ළමයි තාමත් නිශ්ශබ්දයි.
“ඒක කරන්ට බෑ. තල් සූකිරි කාලම බලන්ට ඕනෑ ඒවගෙ රස දැනගන්ට”
පොඩි සාදුත් ටිකක් වෙලා හිටියා සද්ද නැතුව. ළමයි හතරදෙනා රසවත් කතාවක් අසන්නෝ වගේ සාදු දිහා බලාගෙන හිටියා, ඊලඟ කථාංගය බලාපොරොත්තුවෙන්.
“බුදුහාමුදුරුවෝ ජීවත්වුනේ මීට අවුරුදු දෙදාස් පන්සීයකටත් ඉස්සර, ඉන්දියාවේ උතුරේ, දැන් නේපාලේ කියන රටේ. වයස තිස්පහේ ඉඳන් අසූව වෙනකල් උන්නාන්සේ ගමෙන් ගමටයි රටෙන් රටටයි ඇවිදලා ගිහින් මිනිස් ජීවිත හරි විදිහට හැඩගස්වාගන්න හැටි කියලා දුන්නා. අද අපි බුද්ධ ධර්මය කියන්නේ ඒ කියාදීපු දේ තමා”
“බුදුන්වහන්සෙගෙ වචන පළමු අවුරුදු හාරසීයක් විතර පැතිරුනේ කටින් කටට; පොතක ලියලා නෙවෙයි. ඉස්සරවෙලාම බුද්ධ ධර්මය ලියවුනේ අවුරුදු දෙදාස් පනහකට ඉස්සර; ලංකාවේදී. ලියවුනේ පාලි බාසාවෙන්, පුස්කොලපොත් වල…. ඔය ළමයි කීදෙනෙක් පාලි බාසාවේ වචන දන්නවද?”
සද්දයක් නෑ.
“අහලා තියෙනවා නේද ‘මොන කරුමයක්ද’ කියලා සමහරු කියනවා. කරුමේ කියන වචනේ ආවේ පාලි බාසාවේ කර්ම, නැත්තම් කම්ම කියන වචනෙන්…. නොදැනම වගේ ළමයි පාලි වචන ඉගෙනගන!”
ඒ සැරේ ළමයිත් පොඩි සාදුගෙ හිනාවට එක්වුනා.
“අපි ගාතා කියන්නේ පාලි බාසාවෙන්. අපි අහන පිරිත් කියවෙන්නේ පාලි බාසාවෙන්. එතකොට ඒවා තේරුම් ගන්නේ කොහොමද? ඒවත් හරියට අර අපි ලියපු පුවක් ගෙඩි විස්තරේ වගේද?”
කමලාවතී වහාම මේකට විරුද්ධ වුනා.
“පුවක් ගෙඩි ගැන ලිව්වේ අපි, අපිට හිතුන දේ. බුදුහාමුදුරුවෝ නෙවෙයි!”
“ඒක ඇත්ත. නමුත් තරහ ගන්න ඕන නෑ, කතාව ඇත්ත වුනත් කමලාවතී… දැන් කියන්ට ඇයි අපි පුවක් ගෙඩි ගැන ලිව්වේ කියලා”
“අර… පුවක් ගැන නොදන්න අමුත්තට කියලා දෙන්ට…?”
“හරි. ඒ නිසා තමා අපි ඒ විස්තරේ ලිව්වේ… හොඳ වෙලාවට සිංහලෙන් ලිව්වේ! පාලියෙන් ලිව්වනම් අමුත්තට කියවන්ටත් බැරිවෙයි!”
වැඩිමල්ම ළමයා හැටියට කමලාවතීට සාදුගෙ අදහස තේරුනාට පොඩි අබේරත්නයි චන්ද්රාවතීයි මුහුණු ව්යාකූල බවක් පෙන්නුවා.
“කියවලා තේරුම් ගන්න බැරි සටහන් කිසි කෙනෙකුට ප්රයෝජනයක් නෑ. නොතේරෙන බාසාවකින් කියවෙන කතාවකුත් එහෙමයි… දැන් අපෙ පුවක් අමුත්තට ලැබුනේ පාලියෙන් ලියපු සටහනක් නම් කොහොමද එයා පුවක් ගැන ඉගෙනගන්නේ?”
ප්රේමරත්නට මේක ලේසියි.
“පාලි දන්න කෙනෙකුට පෙන්නලා අහගන්නවා… නැත්තම් සිංහලෙන් ලියපු එකක් ඉල්ලනවා!”
“සම්පූර්නෙන්ම හරි! බොහොම හොඳයි. එතකොට අපි බුදුබණ පාලියෙන් ලියලා තියෙනකොට?”
“සිංහලෙන් ලියපු එකක් කියවනවා… සිංහලෙන් බණ කියනවා අහගෙන ඉන්නවා… ඒ ගැන සිංහල වැඩසටහන් රේඩියෝ නැත්තම් ටීවී එකේ අහනවා/බලනවා”
කමලාවතීට මෙතන ප්රශ්නයක් තියෙනවා.
“එතකොට අපෙ සාදු… පූජේමි බුද්ධං ගාතාව කියලා මල් පූජා කරන එක වැරදිද? පිරිත් අහන එක වැරදිද, පාලි බාසාවෙන් නිසා?”
“කමලාවතීගේ ප්රශ්න හොඳයි. බොහොම හොඳයි. ඔය දෙකේම කිසි වැරැද්දක් නෑ. මම කියන්නේ ඒවගෙ වටිනාකම තවත් වැඩියි අහෙන්නේ කියන්නේ මොනවද කියලා හොඳින් තේරුම් ගත්තහම”
සාදු බෝ ගහ දිහා බලාගෙන හිටියා විනාඩියක් කතා නොකර.
“මම දන්නවා හුඟක් බෞද්ධයෝ හරිම කැමතියි උදේට රේඩියෝ එකේ සෙත් පිරිත් අහන්ට. ඒ පිරිත් කියවෙන විදිහට හිතට සන්සුන් බවක් දැනෙනවා, සතුටක් ඇති වෙනවා. ඒක මිනිස් ගතියක් - යමක් ‘හොඳයි’ කියලා දන්නවානම් අපි ඒකේ හොඳක් දකිනවා, අපිට දැනෙනවා. එතන අපි බාසාවක් ගැන හිතලා නෙවෙයි කටයුතු කරන්නේ…. නමුත් හිතලා බලන්ට ඒ රස විඳීමට අමතරව තව ගැඹුරු දෙයක් ඉගෙනගත්තොත් කොච්චර හොඳද කියලා…”
“… අපි අපේ පුවක් ගෙඩිය ගැන කියවනවා විතරයි. තවම පුවක් ගෙඩියක පොත්තේ සිනිදු ගතිය අතින් අල්ලලා බලලා නෑ. ගෙඩිය කපලා ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තවම දන්නෙ නෑ!”
ඒ සැරේ සිනා මුහුණින් ඉන්නේ පොඩිසාදු විතරයි. ළමයි හතරදෙනා ලොකු අදහසක් හිත ඇතුලට ගන්න උත්සාහ කරන බව මුහුණුවලින් පෙන්වනවා. ආයෙත් ඉස්ස්සරවෙලාම කතාකළේ කමලාවතී.
“අපෙ සාදු…අපි ගාතා වල තේරුම, පිරිත් වල තේරුම එහෙම හොයාගන්ට ඕනෑ… කොහොමද ඒක කරන්නේ?”
“දැන් බුද්ධ ධර්මය ලෝකේ හැම බාසාවකටම වගේ පරිවර්තන කරලා තියෙනවා. බොහොම ලස්සනට ලියපු සිංහල පොත් තියෙනවා, අපෙ ඉස්කෝලේ පුස්තකාලෙත්. කමලාවතීට පුළුවන් ඒවා කියවලා තේරුම් ගන්ට. ඊට පස්සේ මල්ලිලා නංගිලාට තේරුම් කරලා දෙන්ටත් පුළුවන්”
“බුද්ධාගම පහසුවෙන් තේරුම් ගන්ට පුළුවන් අදහස් ගොඩාක් තියෙනවා. හුඟක් ඒවා ලියවිලා තියෙන්නේ ලස්සන කතාන්දර වාගේ, කියවන්ට ආසා හිතෙනවා. බුදුහාමුදුරුවන්ගෙ ජීවිතේ ගැන කියවලා පටන්ගත්තොත් වඩාම හොඳයි. ඒකට හොඳ පොත් ඉස්කෝලේ තියෙනවා”
“ඉස්කෝලේ පොත් කිව්වොත් ඇතිද? අපි කඩෙන් පොත් ගන්ටත් ඕනද?”
කමලාවතී දන්නවා පොත් ගන්න සල්ලි වියදම් කරන එක අමාරුයි කියලා.
“දැනට ඕන පොත් සේරම ඉස්කෝලේ තියෙනවා… අර අපි පුවක් ගෙඩි ගැන තව දුර දිගට හොයාගන්න විදිහවල් බැලුවා වගේ දැනට ඉස්කෝලේ පොත් කියවලා පස්සේ බලමු දුර දිගට කියවන්ට පොත්…. බුද්ධාගමේ හරි ගැඹුරු, තේරුම් ගන්ට අමාරු, අදහස් ගොඩක් තියෙනවා. නමුත් අපි ලේසි පොත් වලින් පටන්ගෙන, ඒවා හොඳට තේරුම් ගත්තොත් ටිකෙන් ටික අවබෝධය දියුණු වෙනවා… අපි මේක බලන්නේ පඩි පෙලක් නගිනවා වගේ; කෙලින්ම උඩ පඩියට පනින්ට බෑ!”
ආයෙත් පොඩි නිශ්ශබ්දයක්.
“මතකද මං කිව්වා තල් සූකිරි වල රස හරියටම දැනගන්ට පුළුවන් කාලා විතරයි කියලා? අපි ආගම ගැනත් හිතන්ට ඕන එහෙමයි. අවබෝධය දියුණු කරගෙන යනවත් එක්කම ඒ විදිහට ජීවත් වෙන්ට පුරුදු වෙන්ට ඕන… තල් සූකිරි හදන හැටි දැනගෙන මදි, කාල රස විඳින්නත් ඕනෑ ඒකේ වටිනාකම වටහාගන්ට”
“අපි හදන්නේ තල් සූකිරිවල රස විඳින්ට මිස තල් සූකිරි කඩයක් දාන්ට නෙවෙයි!”
ළමයින්ගේ හිනාව මැද්දේ පොඩි සාදු බංකුවෙන් නැගිට්ටා. සාදු කෙලින්ම කතා කරේ කමලාවතීට.
“කමලාවතීට මං කියපුදේ තේරුනා, මට පෙනුන විදිහට. දැන් ගෙදර යන ගමන් මල්ලිලාටයි නංගිටයි ඒ අයට තේරෙන බාසාවෙන් මේවා කියාදුන්නොත් ඒක ලොකු පිනක්… පරෙස්සමෙන් යන්ට එහෙනම්”