පෙරහැර දෙකක්

පිටිසරයේ කුඩා පාසැලකින් මහනුවර නගරේ ප්රසිද්ද පාසැලකට මාරුවක් ලැබීම තමාගේ මෙන්ම මුලු පවුලේම වාසනාවක් ලෙසයි ජයතිස්ස සැලකුවේ. දැනට ගමේ පාසලේ හතරවෙනි පංතියේ සිටින තම පුතත් නව වසරේ එම පාසැලටම අතුල් කිරීමට හැකිවීම මෙයට ප්රදාන හේතුවයි. යම් දිනයක, තම බිරිඳත් නගරයේ පාසැලකට මාරුවක් ලබාගැනීමත්, නගරයට නුදුරුව කුඩා නිවසක් අටවාගැනීමත් ජයතිස්සගේ අනාගත සිතිවිලි අතර වැදගත් තැනක් ගත්තා. නමුත් මේ දිනවල ඔහුගේ අවධානය යොමු උනේ නව පාසැලේ සංස්කෘතියට ගැලපෙන ලෙස තම ඉගැන්වීමේ ක්රම සහ පංතිකාමර හැසිරීම හැඩගසා ගැනීමයි.

මහනුවර අවට පලාත්වල පාසැල්වල ඇසල පෙරහැර කාලයේදී “ඇසල පෙරහැර” ගැන රචනාවක් ලිවීම බොහෝ සිංහල භාශාව පංතිවල සිදුවූ දෙයක්. ජයතිස්ස මේ මාතෘකාව යටතේ ලියූ රචනා සිය ගනනක් කියවා තිබුනා, පසුගිය අවුරුදු දහය ඇතුලත. මෙවර අලුත් පාසැලට ගැලපෙන ලෙස මාතෘකාව වෙනස්කරන්න ඔහු කොතරම් සිතුවත් මතකයට නැගුන එකක් වත් හිතට ඇල්ලුවේ නෑ. “පෙරහැරේ ඉතිහාසය”, “පෙරහැරෙන් පරසයට වන හානි”, “ඇසල පෙරහැර ආගමික පිලිවෙතක්ද?” වැනි මාතෘකාවලට ලැබෙන රචනාවලින් මනින්නේ ලමයින්ගේ හැබෑ හැකියාවද නැත්නම් තොරතුරු සොයාගැනීමේ හැකියාවද කියා ජයතිස්සට සිතාගන්න බැරිඋනා.

“අනුලා…මේ සැරෙත් පෙරහැර ගැන රචනා ලියන්න දුන්නද?”

“ඔවු…පංති තුනකට….ඇයි?”

“මමත් දෙන්න හිතාගෙන ඉන්නේ හැබැයි හරියන මාතෘකාවක් හම්බුනේ නෑ. නිකම්ම ‘ඇසල පෙරහැර’ කියලා බෑ මේ ඉස්කෝලේ, මං හිතන්නේ”

“මාත් ටිකක් වෙනස් එව්වා දුන්නා මේ සැරේ…එක පංතියකට ‘මම පෙරහැර බැලූ හැටි’ කියලා දුන්නා ළමයි කොපි කරන එක නවත්තන්නත් එක්ක”

“මාත් ඒක දෙනවා එහෙනං…හොඳ අදහස”

ජයතිස්ස ගෙදරවැඩ හැටියට රචනාවේ මාතෘකාව දුන්නේ තව අවවාදත් සමගයි.

“මට පෙන්නන්න එපා ‘මම මේ සැරේ පෙරහැර දැක්කෙ නෑ’ කියලා එක වාක්යකින් ඉවර වෙන රචනා. ‘පෙරහැර ටෙලිවිශන් එකේ දැක්කේ’ කියලා ඊට පස්සේ ටීවී එකේ ජාතියයි මොඩල් එකයි ලියපු රචනත් එපා. මේ අවුරුද්දේ පෙරහැර බැලුවෙ නැත්තම් මීට ඉස්සර අවුරුද්දක බැලූ හැටි ලියුවත් මම පිලිගන්නවා. නමුත් අවුරුදු කීපෙකින් එක එක කෑලි වලින් පැලැස්තර දාපු රචනා මට එපා. අපි මෙතන බලන්නේ ගමනට ලෑස්තිවීමේ පටන් රෑ ආපහු ගෙදර එනකම් සිදුවීම් වලින් කතාවක් ලියන්නයි. මම දැකලා තියෙනවා මෙහෙම කතා මීට ඉස්සර…මතක එක කතාවක්…”

“අපි ගෙදරින් පිටත් උනේ කෙසෙල් ගෙඩි කාලා තේ එහෙම බීලා. හයට විතර කාරෙකේ නැග්ගේ ----යි, ----යි,…. (නම් වැදගත් නෑ)..පෙරාදෙනියට එනකොට ටයර් එකක හුලං ගියා. ඒකත් හදාගෙන…නෑ…නෑ… මට අමතක උනා…අපි කෙහෙල්ගෙඩි කෑවෙ නෑ…අර කවුදෝ ගෙනාපු අලුවා වගයක් තිබුනා…ඉතින් ටයර් එක මාරුකරගෙන…”

“මේ වගේ කතා මට එපා. ළමයිම තෝරාගන්න වැදගත් සිදුවීම් මොනවද කියලා. වෙන හැමදෙයක්ම ලියන්න ගියොත්….වචන තුන්සිය පනහක් තිබුනොත් ඇති…”

ළමයින්ගේ හිනා වලින් ජයතිස්සට දැනුනා තමා බලාපොරොත්තු වෙන්න මොකක්ද කියලා ඒ අයට වැටහුනා කියලා. නමුත් මේ කතාවෙන් පස්සේ තමාට ‘පැලැස්තරයා’ කියලා නම වටෙයිද කියලත් හිතුනා. ඒක ගමේ ඉස්කෝලේ ළමයි දීලා තිබුන නම තරම් නරක නැති බවයි ජයතිස්සට හිතුනේ.

….

“රචනා ලියන්න දෙනවා වගේ නෙවෙයි ලකුනු කරන්න ගියාම”

අනුලයි ජයතිස්සයි දෙන්නම ගෙදර කෑම මේසේ උඩ තියාගෙන රචනා කියවනවා. සෙනසුරාදා උදේ තේ එකත් එක්ක පටංගත්ත ලකුනු කිරීම දවල් කෑම වෙලාව එනකොට ඉවර කරන්න පුලුවන්වෙයි කියලා දෙන්නම හිතුවේ.

“පුතත් එකක් ලිව්වද?”

“ඔවු අනුරගෙ එක නරක නෑ. ලියලා තියෙන්නේ ඇත්තම නෙවෙයි හැබැයි රචනය හොඳයි” අනුලා ඒක කිව්වේ ආඩම්බරෙන්.

“හයියෙන් කියන්න එපා…ඇහුනොත් හිතයි අම්ම නිසා හොඳ ලකුනු ලැබුනා කියලා”

කාමරේ ඇදේ වැටී පොතක් කියවන අනුරට හිනා ගියා මේක ඇහිලා.

“මේ අපෙ එකෙක්ගෙ රචනේ…අනික් අයගෙ එව්වත් මේ වගේම තමා…”

මම පෙරහැර බැලූ හැටි

අපි මේ අවුරුද්දේ රන්දෝලි පෙරහැරක් බලන්න ලෑස්ති උනේ සති කීපයකට ඉස්සරයි. කොළඹ ඉන්න අපෙ නැන්ද කෙනෙක් මේ සැරේ එනවා කියලා තිබුනා අපේ ගෙදර නැවතිලා අපිත් සමග පෙරහැර බලන්න. නැන්ද එන දවස හරියටම දැනගත් දවසේ පටන් අපි ලෑස්ති උනා. මේවගෙන් වැඩියම වැඩ තිබුනේ තාත්තට.

තාත්තා පෙරහැර බලන්න අපිට ආසන වෙන්කරවා ගත්තේ හෝටලේක උඩුමහලේ සඳලුතලේ. බොහොම රෑවෙන නිසාත්, සෙනග තදබදය නිසාත් අපි වේලාසනින් හෝටලයට ගියා. කාරෙක නැවැත්තුවේ තාත්තගෙ යාලුවෙක්ගෙ කන්තෝරුවේ. ඒ හෝටලෙන්ම අපිට කෑමත් ලෑස්ති කරලා තිබුනා. නැන්දගෙ පුතා අජිතුයි මමයි ඉක්මනට කෑම කාලා සඳලුතලේට ආවේ පාරේ සෙනග දිහා බලාගෙන ඉන්නයි. අම්මයි තාත්තයි නැන්දයි එතෙන්ට ආවේ පෙරහැර මාලිගාවෙන් පිටත් උනාටත් පස්සේ.

අජිත් කවදාවත් නුවර පෙරහැර දැකලා නෑ. එයා මේ වගේ සෙනගකුත් මීට ඉස්සර දැකලා නැතිලු, ක්රිකට් මැච් එකකදීවත්. අනික පාර දෙපැත්තේ පදික වේදිකාවේ මිනිස්සු, ගෑනු, කොල්ලෝ, කෙල්ලෝ වාඩිවෙලා පැය ගනන් ඉන්නවා, හෙල්ලෙන්නවත් ඉඩ නැතුව. ඒ අතරේ බැලුම්, බුලත්, නලා, වගේ එක එක දේවල් විකුනන වෙලෙන්දෝ ඒ අතරෛන් එහාට මෙහාට යනවා තමා විකුනනදේ ගැන කෑ ගහ ගහ. පෙරහැර පටංගන්න කලින් නම් පාර මැදත් මිනිස්සු පවුල් පිටින් ඉහලට පහලට යනවා, නවතින්න හොඳ තැන් සොයාගෙනද කොහෙද. පොලිසියෙන් සහ යුද හමුදාවේ අයත් සෑහෙන ගනනක් එහෙ මෙහෙ ඇවිදිනවා. අපි හිටපු උඩුමහලට පාර පෙනෙන්නේ මිනිස් ගංගාවක් වගේ.

අජිත් මගෙන් අහපු ප්රශ්න අතරෙන් සමහරක් මම මීට ඉස්සර හිතලාවත් තිබුනෙ නෑ. “මේ සෙනග ආවේ කොහෙ ඉඳලද?, කොහොමද ආවේ?, ආපහු ගෙදර යන්නේ කොහොමද?, පදිකවේදිකාවේ ඉඳගෙන රෑට කන්නේ බොන්නේ කොහොමද? මොනවද? වැසිකිලි යන්න ඕනැ උනොත් මොකද කරන්නේ? අපිත් පාරේ හිටියනම් බැලුම් එහෙම ගන්න තිබුන නේද? අර පාරේ ඉන්න පොඩි අය දෙමව්පියන්ගෙන් වෙන්වෙන්නෙ නැද්ද? හදිස්සියේ කලංතයක් හැදුනොත් මොකද කරන්නේ?”

ඈතින් කස සද්දේ ඇහෙනකොට අපි දැනගත්තා පෙරහැර එනවා කියලා. පොලිසියෙන් පාරෙන් ඇවිදින්නෝ එලියටදාලා දැන් මිනිස් බැමි දාපු කානුවක් වගේ පෙන්නුනා.

තාත්තා එහෙමත් ඇවිත් වාඩි උනා පෙරහැර බලන්න. ඒ අය ගෙනා අයිස්ක්රීම් කමින් අපි පෙරහැර බැලුවා. කස කාරයෝ, පංදම් කාරයෝ, නැට්ටුවෝ, බෙර කාරයෝ, වගේම ලස්සනට සැරසූ අලියෝ සහ නිලමෙලා අපි දැක්ක. පංදම්වල රස්නෙත් අපිට දැනුනා. ඒවාගෙන් වැටෙන් ගිනි අඟුරු වලට පාර දෙපැත්තේ ඉන්න අයට කරදරයක් වෙයිද කියලා අපිට හිතුනා. ඊටත් වැඩිය අලියෝ එහෙ මෙහෙ දුවන්න පටංගත්තොත් (කුලප්පු උනොත්) විශාල විනාශයක් වෙන්න ඉඩ ඇති කියලා අපිට හිතුනා.

පෙරහැර ඉවරවෙලා සෙනග ටිකක් අඩුවෙනකම් අපි හෝටලේදී තව තේ එකක් බිව්වා. ගෙදර ගිහින් නිදාගන්න වෙලාවේ අජිතුයිමායි හිතා ගත්තේ කවදාහරි අපි දෙන්නා පදිකවේදිකාවේ ඉඳන් පෙරහැර බලනවා කියලා.

[වචන 360]

අනුලා ටිකක් හිතලා බැලුවා රචනාව ගැන.

“මේකේ අදහස් ක්රමාණුකූලව එකතු කරලා තියෙනවා…ව්යාකරන ටිකක් ළිහිල් නමුත් වැරදිම නෑ…මගෙ හිතට එන පලමුවෙනි දේ තමා මේ ළමයා පෙරහැරට වැඩිය බලන්න ආපු සෙනග ගැනයි ලියලා තියෙන්නේ…දහස් ගනන් පාරේ ඉඳන් බලනකොට එයා හෝටලේක උඩ තට්ටුවක ඉන්න එක එයාට අමුතු දෙයක් හැටියට පෙනෙන්නෙ නෑ…”

“ඒක ළමයගෙ හැටියට නේ…මම කිව්වෙ නෑ ‘සාමන්ය ලාංකිකයෙක් නුවර පෙරහැර අත්දකින හැටි’ ලියන්න කියලා…ග්රැමර් ඇරුනකොට මං කැමතී කොල්ලගෙ ස්ටයිල් එකට”

“එහෙනං කියවලා බලන්න මගෙ ඉස්කෝලේ අයගෙ ස්ටයිල්!”

මම පෙරහැර බැලූ හැටි

මේ අවුරුද්දේ මම නුවර පෙරහැර බලන්න ගියේ අපෙ අම්මගෙ මල්ලී වන විජේ මාමා සමගයි. අම්මයි තාත්තයි පෙරහැර බලන්න නොයන නිසාත් අපෙ අයියා මේ දවස්වල ගමේ නැති නිසාත් අම්මා විජේ මාමට කියා තිබුනා මාව එක්ක යන ලෙස. අපි රන්දෝලි පෙරහැරේ දෙවන දවසේ හවස හතරේ බස් එකේ නුවර බලා පිටත් උනේ අම්මා බැඳදුන් බත්මුල් දෙකකුත් අරගෙනයි..

විජේ මාමා නුවර හොඳින් දන්නා නිසා අපි කරදරයක් නැතුව දලදා වීදිය දිගේ වැව පැත්තට ඇවිද්දා. අපෙ අදහස තිබුනේ වැව ලඟ වාඩිවෙන්න හොඳ තැනක්සොයා ගන්නයි. වැවයි මාලිගාවයි ලයිට් වැල් වලින් ඉතා හැඩට සරසා තිබුනා. පාරේ තවම මිනිස්සු එහෙ මෙහෙ ඇවිදිමින් හිටියත් අපිනම් වාඩි උන තැනින් හෙල්ලුනේ නෑ. මේ තරම්ම හොඳ තැනක් අපිට ලැබුනේ වේලාසනින් ආපු නිසාත් විජේ මාමාගේ මග පෙන්වීමත් නිසායි.

“අපි කරුවල වෙන්න ඉස්සර කමු…එතකොට තදබදේ අඩුයි. අනික, මේ බත්මුල් උස්සාගෙන ඉන්නවට වැඩිය හොදයි කාලා ඉන්න එක” විජේ මාමා මෙය කිව්වේ සිනාසෙමින්.

මාලිගාවේ වෙඩිල්ල ඇහෙනකොට අපි දෙන්නා බිම වාඩිවෙලා, සාර විටකුත් කාලයි හිටියේ. විජේ මාමා ගත්ත සරුවත් වීදුරුව ගිය අවුරුද්දේ බීපු එකටත් වැඩිය රසයි කියලා මට හිතුනා. පොලිසියෙන් පාර මිනිසුන්ගෙන් හිස් කරනවිට මට හිතුනේ පෙරහැර හොඳටම කිට්ටුව ඇති කියලයි. නමුත් තව පැයකට වැඩිය කල් ඇති බව අපි ලඟ හිටපු වයසක මිනිහෙක් කිව්වා.

ඒ මනුස්සයා අපෙ ගමේ නෙවුනට අපෙ ගම ගැනත් දන්න බවක් පෙන්නුවා. මිනිහා හැම අවුරුද්දෙම පෙරහැර එකක් දෙකක් බලන්න පටංගෙන දැන් අවුරුදු පනහකටත් වැඩිලු. දැන් එයාගෙ වයස හැත්තෑවකටත් කිට්ටුයිලු. අද ඇවිත් හිටියේ දුවකුයි මුනුබුරෝ දෙන්නෙකුත් එක්කයි. මුනුබුරෝ මම්මපප්ප පිඹිමින් සද්ද කලමුත් දරුවන්ගෙ අම්මා වැඩිය කතා නොකර මාලිගාව දිහා බලාගෙන ගාතාවක් මතුරමින් හිටියා. විජේ මාමා වයසක් මිනිහට ගෙදරින් ගෙනා බුලත් විටකුත් දීලා කුඹුරුවැඩ ගැන කතා කරමින් කාලය ගේව්වා.

පෙරහැර විස්තර කිරීම ඉතා අමාරු කාර්යකි. කස කාරයෝ බැලුවයින් පසු, අනික් කාංඩ මම හිතුවට වඩා ඉක්මනින් අපි පසුකර ගියා. මගේ හිතට කාවැදුනු හේවිසි කංඩායම පස්සේ ඇස් දුවනවිට පස්සෙන් එන අලියෝ හරි නිලමෙලා හරි බලන්න වෙලාව අඩු එනවා. එක වෙලාවක මම දැක්කා අපෙ ගමේ සිට්ටියා වගේ කෙනෙක් තම්මැට්ටම ගහනවා නමුත් විජේ මාමා කිව්වේ ඒ සිට්ටියා නොවෙන බවයි. බෙර කාරයෝ, නැට්ටුවෝ, නිලමෙලා එහෙම බලන මට අලි ගනංකිරීම අමතක වෙලා ගියා. නමුත් විජේ මාමා කිව්වේ ‘හරියට අලි හැට දෙකක් හිටියා’ කිව්වොත් ඕනැ කෙනෙක් විස්වාස කරනවා කියලයි.

පෙරහැර අවසානේ දෝලාවත් ගිය පසුව අපි සෙනග අතරේ බස්ගාල පැත්තට ආවා. විජේ මාමා මගෙ අත අල්ලාගෙන සිටි නිසා මම කොලෑ උනේ නෑ. නංගිට මම්මපප්ප එකකුත් බැලුම් බෝල දෙකකුත් අම්මා දීපු සල්ලි වලින් අරගෙනයි අපි සෙනග පිරුන ඒ බස් එකේ එල්ලුනේ. කෙසේ වෙතත් අපිට පාන්දර දෙක වෙනකොට ගෙදර එන්න හැකි උනා.

[වචන 387]

“ඒකත් බොහොම හොඳයි හැබැයි අනික් කතාවට වඩා ටිකක් වෙනස් නේද?” ජයතිස්ස පලවෙනි අදහස දැක්වුවා.

“ව්යාකරන ගැන ඕනෑවට වැඩිය හිතපු නිසාද කොහෙද ඉඳල හිටල ටිකක් කරදර වෙලා තියෙනවා වගේ. නමුත් උත්සාහය හොඳයි. තිසා දැක්කද මේ ළමයා පාරේ ඉඳන් පෙරහැර බලපු අය ගැන වැඩිය හිතුවෙ නෑ - ඒ අයත් අපි වගේමයි කියනවා ඇරුනුකොට”

“අනික් ළමයා වගේමයි….ලෝකේ දකින්නේ තමංගෙ ඇස් දෙකෙන්, තමංගෙ ලෝකයේ ඉඳන්.

…..

කාමරේ ඇඳේ දිගාවී සිටි අනුර දුටුවේ මීට වඩා වෙනස් දෙයක්.

ළමයි දෙන්නම ලියලා තියෙන්නේ තමාගේ ගුරුවරයා අසන්න කැමතියයි හිතන දෙයක්. ටවුමේ කොල්ලා හෝටලේ ගැනයි අයිස්ක්රීම් ගැනයි කතාකලේ ඒක උගෙ සාමන්ය ජීවිතේ කොටසක් නිසා. පාරේ ඉන්න මිනිස්සු ගැන ලිව්වේ ගුරුවරයට කියවන්න. ගමේ කොල්ලා යන එන ගමනයි පදිකවේදිකාවේ ඉන්න එකයි එයාගෙ සාමන්ය ජීවිතේ කෑල්ලක්. පෙරහැරේ හැමදේම දැකගන්න අමාරු බව, අල්ලපු ගමෙන් ආ නාකිය, නංගිට බැලුම් - මේවා ලිව්වේ ගුරුවරයට කියවන්න.

කවදාවත් ගුරුවරයෙක් නොවෙන්න අනුර තීරනේ කලේ එදයි.