පේරාදෙනියේ ක්රිකට් නැරඹීම
අපි කීපදෙනෙක් එකතුවෙලා ටෙලිවිශන් එකේ ටෙස්ට් මැච් එකක් බලනවා කැන්ටිමේ. ලංකා පිලේ තත්වය ඒ තරම්ම හොඳ නැති පාටයි. අපි අපි අතරේ විතරක් නෙව්යි සමහරු ටෙලිවිශන් එකටත් කතා කරනවා.
“ඔහොම බෝල් කරලා හරියන්නෙ නැ ඩෝ!”
“බලපං අරකා ගහපු හැටි”
“මුං දෙන්නා කඩා ගත්තොත් හැබැයි දිනන්න බැරිවෙන එකක් නෑ”
“මොන පිස්සුද? මේ මැච් එකට කෙලවෙලා ඉවරයි. ඔන්න මුරලිදරන් වත් හිටියනං අද වැඩක් දෙන්න තිබුනා. කොහෙද මුං එකෙකුටවත් බෑනේ හරියට බෝල් කරන්න”
“ඉතින් යකෝ අපිටත් බෑනේ”
“ඒකනේ අපි ටීම් එකේ නැත්තේ”
“මචං මම එදා දැක්කා මුරලි ටවුමේ. මාත් එක්ක හිනහ උනත් එක්ක”
“උඹ දැකපුවම හිනහ යන එක පුදුමයක් නෙවෙයි”
“නෑ බං මමයි ඉස්සරවෙලා හිනහ උනේ. අපිට ලෝක වාර්තා තියන මිනිස්සු නිතරම හම්බුවෙන්නෙ නෑනේ”
“මේ දැන් බෝල් කරන එකාට නම් විකට් අටසීයක් නෙවෙයි අසූවක් වත් ගන්ට බැරිවෙයි අවුරුදු විස්සක් ගැහුවත්!”
“දැන් මුරලි මොනවද කරන්නේ?”
“කොහෙ හරි කෝච් කරනවා ඇති. නැතත් හොයපු සල්ලි හොඳට ඉන්වෙස්ට් කරලා ඇති”
“උන්ට හරියන එක වටිනව බං - ඔලුව ඉදිමිලා නෑ කොච්චර වාර්තා තිබුනත්. හොඳට සිංහලත් කතා කරනවා”
“උගෙ ගම නුවර නේ - සිංහල දන්න එක පුදුමයක් යෑ”
“ඌ යාපනේ නොවෙන බව තේරෙනවා දැකපු ගමන්ම”
කොනක හිටපු මට මෙතනින් හොඳ ඉඩ ප්රස්තාවක් ලැබුනා ඒක කියපු එක්කෙනාට පොඩ්ඩක් අනින්ට.
“ඒ කොහොමද මචං? මට නම් නෑ ඒ වගේ වෙනසක් පෙනෙන්නේ”
“උඹට බම්බුවක් වත් පේන්නෙ නෑනේ ගෙනත් මූනේ ගැහුවත්”
“මොකද්ද ඉතින් වෙනස? උන් අපිට වඩා කලුද?”
“ටිකක් අහගන හිටපං උන් කතා කරන හැටි. හිනහ යනවා උන්ගෙ ඉන්ග්රීසි වලටයි සිංහල වලටයි දෙකටම…උන්ට බයන්න නෑ නේ - ඒකයි බාල්දියට වාල්දිය කියන්නේ”
“හරියට සිංහලට ඉසෙඩ් අකුර නෑ වගේ වෙන්ට ඇති. මගෙ කලිසමේ සිප් එක කැඩුනා එදා සූ එකට ගිහින් එන ගමන් - මගෙ බැච් එකේ ඉන්න දෙමල මිනිස්සුන්ගෙ සිංහල මගෙ දෙමලට වැඩිය හුඟක් හොඳයි”
“ආන්න අරකා තව හතරක් ගැහුවා”
“හැබැයි ඒකනම් පොල් අඩියක්. බෝලේ දිහා බලාගනත් නෙවෙයි ගැහුවේ”
“පොල් උනත් කොස් උනත් ලකුනු හතරයිනේ”
“මේක ලංකාව - දකුනු ඉන්දියාව නෙවෙයි. මෙහෙ බහුතරයක් සිංහලයෝ. මේක සිංහල කතා කරන සිංහල රටක් කියලා උඹට තේරෙන්න්නෙ නැද්ද?”
“ඉස්සරවෙලාම මම ඇහුවේ රටකට බාසාවක් තියෙනවා කියලා. මං හිතාගෙන හිටියේ මිනිස්සුයි සමහර සත්තුයි විතරයි බාසාවක් කියලා එකක් යන්තම් වත් අඳුනාගෙන තියෙන්නේ කියලා. උඹ කියන විදිහට ගස් ගල් වලටත් බාසාවක් තියෙනවා! ලියන්ට ඕනෑ ගිනස් බුක් ඔෆ් රෙකෝඩ්ස් වලට -ඉස්සරවෙලාම කතා කරන්ට ඉගෙනගත් රට කියලා”
“තොපි වගේ සයන්ස් කරන උන්ට මෙව්වා තේරෙන්නෙ නෑ. රටක් කියන්නේ ඉඩමක් නෙවෙයි - ඒක මනින්නේ අක්කර වලින් නෙවෙයි. රටකට තමාගේම කියල ආංඩුවක් තියෙනවා, ඒ රටේ වාසීන්ම තමයි ආංඩුව කරන්නේ. ඒ රටේ ජනතාවයි ආංඩුවයි එකතුවෙලා තමා රටක් හැදෙන්නේ”
“බෝලින්…! දාන්න මල්ලී තව ඒවගේ එකක් ඕකගෙ බෙල්ල ගැලවිලා යන්න”
“බෝලේ වෙනුවට අත් බෝම්බයක් ගත්තොත්…”
“උඹ කියන විදිහට අපෙ ගෙදර වත්ත මගෙ රට කියලා හිතන්ට බැරිද? අපිම තමා ඒක බලා ගන්නෙයි, භුක්ති විදින්නෙයි - වෙන කිසි කෙනෙකුට ඒක ගැන වචනෙයක් කතා කරන්ට බෑ”
“ඇත්තටම උඹෙ ගම තුම්පනේද? තොපෙ ඔය ගෙදර වත්තේ ඔප්පු ලියල තියෙන්නෙයි, ඒකේ කල හැකි නොහැකි දේයි එන්නේ ලංකාවේ නීතියෙන්. නැත්තම් තොපෙ මහ උන්ගෙන් නෙවෙයි”
“ලංකාවේ හැම ඉඩමම ඒවගේද?”
“ආංඩුවේ වගේ විෂේශ ඒවා ඇරුනුකොට”
“උඹ කියන්නේ කොළඹයි යාපනෙයි තියෙන්නේ එකම නීතිද?”
“මං දන්නවා උඹ ඔය යන පැත්ත….උඹ තේරුම් ගන්න ඕනෑ යුදපිටියකයි ක්රීඩාපිටියකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා”
“දැන් මට තේරෙනවා. ඇයි ඕක ඉස්සරවෙලාම කිව්වෙ නැත්තෙ? උඹ නැත්තං හැබෑට අපි කොහෙන් මෙව්වා ඉගෙනගන්නද? යාපනෙයි කෙත්තාරාමෙයි නීති වෙනස්. කෙත්තාරාමේ මුරලි හොඳයි යාපනේ මුරලි අවිස්වාසයි; එකෙක් අපෙ, අනිකා අපෙ නෙවෙයි”
“අනේ කටවහගෙන හිටපං - උඹ මෙතන ඉඳන් විහිළු කරනවා; අරහේ මිනිස්සු මැරෙනවා”
“ඔන්න අපි දෙන්නා අන්තිමට එක පැත්තට ආවා…. මචං මට කීයක්හරි දීපන් තේ එකක් බොන්න”
“මෙන්න…. මටත් එකක් ගෙනෙන්”
“ඇයි උඹෙ වැඩ කාරයා එක්ක එන්න අමතක උනාද?”
කොච්චර අව්ව සැර උනත් සීනි දාපු උනු ප්ලේන්ටී රසයි. වඩේත් තියෙනවානම් වඩාත් රසයි නමුත් වඩේ නැතුවත් නරක නෑ.
“උඹලා කවුරුත් සිරී පාදේ යනවද මේ සැරේ?”
කතාව එතැනින් එක එක පැත්තට ගියා. සමහරු ක්රිකට් ගැනත්, සමහරු ගමන් ගැනත්, අනිකෝ විභාග ගැනත් කතා උනා. කැන්ටිමට පහල පාරේ ගෝශාවක් ඇහිලා අපි කීපදෙනෙක් ජනලේ ලඟට ගියා.
“මොකද්ද අද පෙලපාලිය?”
“මොකක් හරි මාර වාමාංසික එකක් - අර අපෙ ජයදේව එහෙම ඉස්සරහින්ම යන්නේ කෑ ගහගෙන”
“ඌ ඉස්සරහින් යන්නේ කෙල්ලංට පෙනෙන්න. ඕකට දේශපාලනයක් නෑ”
“මං හිතුවේ ඌ ට්රොට්ස්කි පිලේ ලොක්කෙක් කියලා. නිතරම කතාකරන්නේ හතරවෙනි ජාත්යාන්තරේ ගැන”
“මං කිව්වේ ඌට දේශපාලනයක් නෑ කියලා, මොලයක් නෑ කියලා නෙවෙයි. ඌ දන්නවා එහෙන් මෙහෙන් කෑගහලා, මිනිස්සු ගොඩක් අඳුනාගත්තම අනාගතේට හොඳයි. මං හිතන්නේ දැන්මම ඌට රස්සාවක් පොරොන්දුවෙලා තියෙනවලු”
“අඩේ අපිත් යමුද? මේ මැච් එක ඉක්මනට ඉවර වෙන්නෙ නෑ. ටිකක් දුර පෙලපාලි කරලා එමු”
“මුංට බැරිනම් අපි දෙන්නා යමු”
“පෙරදිග රතුයි කියලා සිංදු කියන්න නැත්තන් යමු”
පෙලපාලියේ කොල්ලො කෙල්ලො සීයකට වැඩිය නෑ. අපි දෙන්නා ඒකේ අග කොනට එකතු උනා. අපි වගේම නිකමට පෙලපාලියට සම්බංද උන තවත් දහදෙනෙක් විතර එතන හිටියා.
“උඹලා කොහෙද යන්නේ?”
“ටවුමට යනවා. පෙලපාලිය දැක්කම හිතුනා ඒ එක්කම ගියොත් එක එකාට හූ කියකිය යන්න පුළුවන් කියලා - තනියම යනවට වැඩිය ඒක ජොලි…තව විකට් කීයක් ඉතුරුවෙලා තියෙනවද?”
“අපි එනකොට තව ගහන්ට තිබුනේ එකසිය තිස් දෙකයි - විකට් ගිහින් තිබුනේ තුනයි”
“අප්පෙ එහෙනං බලලා වැඩක් නෑ. කොහොම උනත් ටවුමට ගිහින් ටිකක් බලනවා - ජයවෙවා!”
“පෙරදිග අපි - රතු පාටයි; මුලු ලෝකෙම රතු පාටයි”
“පීඩිත අපි - නැගී සිටිමු; මුලු ලෝකෙම - එකක් කරමු”
“මචං මුංට බම්බු ගහගන්න කියලා ගැටඹේ ගිහින් එමුද?”
“ටවුමට ගිහින් බස් එකේ යං”
ගැටඹේ පන්සලේ හරියට සෙනග, එදා පෝය නොවුනත්. විභාග කිට්ටු වෙනකොට එහෙම තමයි. වෙන දවස්වල ඇති නැති ආගම විභාග කිට්ටු වෙනකොට බොහොම වැදගත් වෙනවා.
“මචං අර විජෙත් එක්ක එන්නේ පෙරුමාල් නේද? උන් දෙන්නට පස්සෙන් සෑමා. මේක හරියට පොදු ආගමික මංඩලයක් වගේ. බෞද්ධයෝ, හින්දු එවුන්, කතෝලිකයෝ - මුං එන්නේ වඳින්නද කෙල්ලෝ බලන්නද?”
“ආගම මොක උනත් විභාගේ එකමනේ. උදව්ව කොහෙන් ආවත් කමක් නෑ විභාගේ හොඳට කරගත්තොත්”
“උඹ කියන්නේ තමා මොක විස්වාස කෙරුවත් පංසලකට ගියොත් ඒකෙන් යහපතක් වෙනවා කියලද?”
“මම කියනදේ නෙවෙයි වැදගත්, උන් හිතනදේ තමා මෙතෙන්ට අදාල වෙන්නේ. අනික, පෙරුවා ඉන්නේ මෙතන කිට්ටුව. විජේ එහෙම උගෙ ගෙදර ඇවිල්ලා වෙන්න පුලුවන්”
“ඒයි සෑම්…උඹලා මොකොද පංසල පැත්තේ?”
“පෙරුවත් එක්ක මැච් එක බලලා නිකං පාර පැත්තේ ආවා”
“පෙරූ … උඹත් පංසල් එනවද දැන් විභාගෙ ගැන මතක්වෙලා”
“මචං අපෙ උන්ට බෝලේ කොන්ට්රෝල් කරන්ට බෑ - හොඳටම අරුන් ගහනවා. ආයෙ අනූ පහයි ගහන්න තියෙන්නේ විකට් හයක් තියෙනවා. විජේ මට උදැල්ල දාන්න ආවා - මං හිතුවා පාඩං කරනවටයි ක්රිකට් බලනවටයි දෙකටම වැඩිය උඹලගෙ පංසලට එන එකත් හොඳයි කියලා”
“කෙත්තාරාමෙට වැස්සවත් නැද්ද?”
“උඹ පංසලට ගියා කියලා උඹෙ කෝවිලෙන් කචල් දාන්නෙ නැද්ද?”
“කෝවිලෙන් නෙවෙයි අපෙ තාත්තගෙන් තමයි බේරෙන්න බැරි”
“සෑම් උඹට?”
“මට කෝවිලකින් කචල් නෑ. අපෙ පල්ලිය දැනගත්තොත් මගෙන් හුඟක් ප්රශ්න අහයි”
“පල්ලිය දැනගත්තෙ නැති උනාට දෙයියෝ දන්නවා නේද? එයා සේරම දන්නවනේ”
“කැමතිනං උන්නාන්සෙම මට දඩුවමක් දෙයි - පල්ලියට වැඩක් නෑ මෙතන; ඒක මගෙයි මගෙ දෙයියන්ගෙයි අතර රහසක්!”
“මටත් කෝවිලෙන් කරදර නෑ - ඇහුවොත් කියන්න පුලුවන් මෙත දේවාලෙකුත් තියෙනවා කියලා”
“උඹෙ තාත්තලා මෙහෙ ආපුවම මම කියනවා මෙහෙ රස්තියාදු ගහන හැටි. කියනවා සිංහල කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා කියලත් කියනවා”
“මචං මගෙ තාත්තා කවදාවත් යාපනෙන් පිට ගිහින් නෑ. අපෙ ගෙවල් පොයින්ට් පෙඩ්රෝ. තාත්තා හිතන්නේ යාපනෙත් පිට රටක් කියලා! උඹ කියනවානම් සිංහල කෙල්ලෙක් මට යාළු කියලා, ඉස්සරවෙලා මට එකෙක් හොයල දීලා පස්සේ කියපං”
“විජේ උඹ අමුතු යක්කුනේ ආශ්රේ කරන්නේ”
“තොපි වගේම තමයි. වරෙල්ලා අපෙ කාමරේට ගිහින් කන්ට මොකවත් තියෙනවද බලමු”
“උඹට ටෙලිවිශන් තියෙනවද?”
“උඹ හිතන්නේ ඒක හෝටලයක් කියලද”
“අපි අතන පෙට්ටි කඩෙන් මොකවත් අරන් පෙරුවගෙ ගෙදර යං”
පෙරුමාල්ගෙ ටෙලිවිශන් එක පොඩියි - පින්තූරේ වෙනුවට වැඩිය පෙනෙන්නේ හිම වැටෙනවා වගේ. ඒකෙයි, වාඩි වෙන්න තිබූ ඇඳෙයි වැරදි කියලා ඉවර වෙනකොට තේ එකකුත් හම්බු උනා.
එතකොට තමා මට මතක් උනේ මම ඉක්මනට ගෙදර එනවා කියලා ගිය බව. මම නැවතිලා හිටියේ වයසක ජෝඩුවකගෙ ගෙදර. ඒ අංකල් ඉස්සර මෙහෙ ලෙක්චරර් කෙනෙක්; නිතරම පරන කාලේ විශ්වවිද්යාලේ ගැන කතා කරනවා.
“මචං මට යන්ට ඕනෑ - ගෙදර වැඩ වගෙයක් තියෙනවා”
“ඔවු ඉතින් දැන් තේ එහෙමත් බීලා ඉවරයි නේ”
මම මගෙ බෝඩිමට එනකොට අංකල් සාලේ හාන්සිවෙලා පත්තරේ කියවනවා.
“කොහොමද අද හොඳට වැඩ ටිකක් කරගත්තද? දැන් විභාගෙත් කිට්ටුයි නේ”
“ඔවු අංකල්. ලයිබ්රරරි එකේ. එතන තමා වැඩි වෙලාවක් හිටියේ. හැබැයි අමාරුයි වගේ දැනුනහම කැන්ටිමේ ගිහින් මැච් එකත් ටිකක් බැලුවා”
යමක් කියනකොට මුලුමනින්ම බොරු කියන එක මෝඩ කමක් බව මම දැනගෙන හිටියා. ඇත්ත කලං දෙකක් විතරත් එකතු කරපුවම ඕනැ එකකින් ශේප් වෙන්න පුලුවන්.
“ඔය පාඩමම නෙවෙයි විශවිද්යාල ජීවිතේ කියන්නේ. පුලුවන් හැම දෙයක්ම ටික ටික හරි කරලා බලන්න ඕනෑ”
“අංකල් විභාගේ කිට්ටුයි නේ”
“අපේ කාලෙනං දේශපාලනෙයි විවාදයි පෙලපාලියි තමා අපිට හුඟක් දේ ඉගැන්නුවේ. පොත පත වලින් ලැබුනේ සීයට විස්සක් විතර”
මම පොඩ්ඩක් හිනහවෙලා මගෙ කාමරේට ගියා, තව පැය බාගයක් ඉතිහාසේ හදාරන්න ආසාවක් නැති නිසා. ගෙදර පොඩි එකා කාමරේට ඔලුව දාලා හිනා උනා.
“අර අංතිම විකට් දෙක නියමයි නේද?”
“කීවෙනි විකට්ද?”
“අයියා බැලුවා කිව්වේ”
ඌ හිනහවෙලා ගේ ඇතුලට දිව්වා. මට හරි ආසයි දැනගන්න මැච් එක ඉවර උනේ කොහොමද කියලා දැනගන්න. හැබැයි අහන්නත් බෑ, මම ඒක බැලුවා කිව්ව නිසා. සමහරවිට දිනුවද දන්නෙත් නෑ. කාගෙන්වත් අහන්නත් බෑ. මම මොනවා කරන්නද කියලා හිත හිතා ඉන්නකොට තමයි අංකල් දොරට ගහලා කාමරේ ඇතුලට ආවේ.
“පෙලපාලිය හොඳද?”
“පෙලපාලිය?”
“මං දැක්ක පුතා පෙලපාලියේ යනවා. මට හරි සතුටක් ඇති උනා පුතාට වමාංශික ඇලවීමක් තියෙන එක ගැන. අපි ඒකාලේ සරසවිය සසල කලේ මේ වගේ අදහස් වලින් තමයි. හැබැයි තමාගේ අදහස් බොරු කියලා හංගා ගන්න එක ඒතරම් හොඳ දෙයක් නෙවෙයි. කැන්ටිමේ හිටි බව ඇත්ත වෙන්න පුලුවන් - නමුත් පෙලපාලි ගිය බව හංගන එක බාල වැඩක්. අපි ආඩම්බර වෙන්න ඕනෑ අපි පීඩිත ජනතාව වෙනුවෙන් යමක් කරන එක ගැන. පුතා මේවා හිතට ගන්න ඕනෑ”
මම වැඩිය සද්ද නැතුව හිටියා.
“පුතාට ඕනැනම් මම දෙන්නම් මගේ පොත්වගෙයක් හතරවෙනි ජාත්යාන්තරේ ගැන. එකේ බොහොම වැදගත් පාඩම් තියෙනවා. හිතලා බලන්න”
අංකල් කාමරෙන් එලියට යන ගමං ආයෙත් හැරිලා බැලුවා.
“කවුරුත් ඇහුවොත් - ඔන්න ලංකාව ලකුනු විසි දෙකකින් දිනුවා. අංතිම විකට් පහ ලකුනු පනස් එකකට වැටුනා. ඩීටේල්ස් හයට ටීවී එකෙන් බලාගන්න”
මේ අංකල් හරි පුදුම කෙනෙක්. මම හිතාගෙන හිටියේ මිනිහා පරන කාලේ මාර කෙලි කරපු කෙනෙක් හැටියට. කරා කියන දේවල ප්රතිපල මොකවත් දැන් පෙනෙන්න නෑ. දේශපාලනේ ගැන කරන එකම දේ පුටුවේ වාඩිවෙලා හැමෝටම බනින එක විතරයි. අඩුම ගානේ පත්තරේට ලිපියක් වත් ලියන්නෙ නෑ.
මට අංකල් ගැන පව් කියලා හිතුනා. මැදි වයසේ ඉන්න එයාගෙ සතුටුදායක මතකයන් සියල්ල වැලලිලා තියෙන්නේ අතීතේ. අනුංගෙ අනාගතේ ගැන කතාකරන්නේ තමංට අනාගතයක් නෑ වගේ. දැන් එයා නිතරම පරන කතා කියන්නේ සමහරවිට තමාට කරන්න බැරි උන දේ අනිකුන් හරහා භුක්ති විදින්නද කොහෙද.
මම හෙටම පෙරුවගෙන් අහන්න ඕනෑ එහෙ තව කෙනෙකුට ඉඩ තියෙනවද කියලා. මට මගෙ අනාගතේ වටිනවා විභාගෙට වැඩිය.