බස් එකේ කතාවක්

උදේ කොළඹ බස් එකට මම නැග්ගේ නිදි මතේ. ඊයෙ රෑ අල්ලපු ගෙදර පාටියක් නිසා මට නිදාගන්න ලැබුනේ පාන්දර එකත් පහුවෙලා. පාටියට ගියානම්වත් කමක් නෑ - මට සිද්දවුනේ එලියේ කාමරේ ඇඳේ පෙරලි පෙරලී අල්ලපු ගෙදර සිංදු, කතා සද්ද අහගෙන ඉන්නයි. උදේ හයේ කොළඹ බස් එකේ නගින්න මම ආවේ ගෙදරින් පහට පිටත් වෙලා, ගමෙන් එන පලවෙනි බස් එකෙයි. පැය තුන හතරකට වැඩිය නිදා නොගත්ත මම බස් එකේ නිදාගන්න බලාපොරොත්තුවෙනුයි ඒකට නැග්ගේ.

බස් එකේ අනික් අය මං වගේ නිදිමරලා නෑ වගේ - මට ඉස්සරහ ආසනේ හිටපු දෙන්නටනම් කිසිම නිදිමතක් නෑ කතාවේ හැටියට.

“අනේ තව මොනවට බලාගෙන ඉන්නවද මන්දා, පිටත් වෙන්නෙ නැතුව!”

“ඒක නම් ඇත්ත. මේක කොළඹ යනකොට කීය වෙයිද?”

“පැය තුන හමාරක් හතරක් වත් යයි … මේ වෙලාවට පාරේ වාහන වැඩීනේ”

“මට නම් එකොලහට ගියත් ඇති … ඒත් රස්තියාදුව තමයි එපා වෙන්නේ”

“මොනවට කියනවද. මට මහත්තයා දැන් නිතරම කොළඹ යන්න වෙලා - මහ කරදරේ”

“… ම් … ම් …ඒ මොකද?”

“අපෙ පුතා ඉස්පිරිතාලේ … දැන් මාසයක් විතර මම දවසක් ඇර දවසක් යනවා”

“හරියට මහංසි ඇති නේ … මම නම් යන්නේ කාලෙකට සැරයක්. ඒකත් මට හොඳටම ඇති!”

“මොනවට කියනවද?

විනාඩි දෙකක කතාවේ පොඩි විරාමයක්. කතාකල දෙන්නගෙ මුහුනු මට පෙනුනෙ නැතුවට මගෙ හිතේ මැවුනා මේ දෙන්නා කොයි වගේද කියලා. ජනේලේ ලඟ වාඩිවෙලා හිටිය මිනිහගෙ කොටට කපපු කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තිබුනා - ‘ගුරුවරයෙක් වෙන්න ඇති’ කියලා මට හිතුනා. ඇඳගෙන හිටපු සුදු කමිසෙත් ගුරු වෘතියට ඔබිනවා. අනික් මනුස්සයගෙ කොන්ඩේ කලුයි - කොටට කපලා. කමිසේ නිල් පාට කොටු කොටු. සමහරවිට ‘කංතෝරුවක වැඩ කරන කෙනෙක් වෙන්නඇති’ කියලා මට හිතුනා.

“අද මේ බස් එකේ ඩ්රයිවර් දෙමල … හැබැයි හොඳයි වගේ”

‘ගුරුවරයගෙ’ මේ කතාවට මට පොඩ්ඩක් හිනා ගියා, “හැබැයි” කෑල්ල නිසා. නිදන්න බැරිනම් අඩුම ගානේ අහගෙන ඉන්න වටිනා කතාවක්වත් ඇහෙයි කියලා ඒ වෙලාවේ මට හිතුනා. ‘කන්තෝරු කාරයා’ මොනවා කියයිද කියලා මම හොඳින් අහගෙන හිටියා.

“කවුරු උනත් එලවන්න පුළුවන්නම් එච්චරයි - කකුල් කඩාගන්නෙ නැතුව කොළඹ යන්ඩ පුළුවන් උනොත් මට ඇති”

[අපරාදේ…. ඒකට වැඩිය හොඳ මාර උත්තරයක් දෙන්න තිබුනා!]

“ඇත්ත තමයි”

[ඉස්කෝලෙයටවත් මීට වැඩිය යමක් කියන්න බැරිද?]

මෙහෙම කියලා ‘ඉස්කෝලයා’ පත්තරේ දිගහැරියා. මිනිහටත් මේ කතාවට දිගටම ගෙනියන්න ඕන නෑ වගේ. ඊලඟ කිලෝමීටර් කීපේ සද්ද නැතුව ගියා. මට යාන්තං නින්ද යාගෙන එනකොට ආයෙත් කතාව පටන්ගත්තා.

“මහත්තයා කොළඹ යන්නේ වැඩටද?”

“…ම්… නෑ … අර මීටිමක් තියෙනවා …”

[ගුරුවරයෙක් නෙවෙයිද දන්නෙ නෑ…. වෙන ආංඩුවේ සේවකයෙක්? වෘතීය සමිතියක කෙනෙක්?]

ආයෙත් කතාවේ ඇනහිටීමක්. ‘යූනියන් කාරය’ පත්තරේ කියවනවා, අනික් මිනිහා වටපිට බලනවා.

‘මැද පෙරදිග අවිනිශ්චිතභාවය’ සිරස්තලය අනුංගෙ පත්තරේ පැත්තක ඉඳන් බලන ‘කංතෝරු කාරයට’ කතාව පටන්ගන්න ඇති.

“අරාබි රටවල්වල දිගටම කරදර නේද?”

‘යූනියන් කාරයා’ පලවෙනි සැරේට හැරිලා ලඟ සිටින්නා දිහා කෙලින්ම බැලුවා.

“මේ මහත්තයා ඒ පැත්ත ගැන දන්නවද?”

“මං මහත්තයා සාජා වල අවුරුදු අටයි, ඕමාන් වල අවුරුදු පහයි පිඟන් කර්මාන්තේ රසායනාගාර වල. ඒ පැත්තේ ඒ දවස්වල හුඟක් ඇවිදලා බැලුවා. මහත්තයත් ඒ පැත්තේ ගිහින් තියෙනවද?”

[මෙයා කංතෝරු කාරයෙක් නෙවෙයි… එක්කෝ රසඥයෙක්, නැත්නම් රසායනාගාර සහකාරයෙක්, නැත්නම් මැනේජරයෙක්”]

“අපෙ නංගී ඩුබායි ඉන්නකොට ගිහින් ආවා විතරයි. සුමානයයි, මට ඇති උනා!”

[නංගී ඩුබායිවල මොනවා කරනවද දන්නෙ නෑ. ගෘහ සේවිකාවක්? ගුරුවරියක්? ඉන්ජිනේරුවෙක්? නංගී හම්බුවෙන්න ඩුබායි ගිහින් ආවනම් නංගී ගෘහ සේවිකාවක් වෙන්න බෑ]

“රස්නේ?”

“ඔව්… ගහක් කොලක් වත් නැති රටවල් අපිට පුරුදු නෑ! මොක කිව්වත් ලංකාව වගේ රටක් ආයෙ කොහෙද?”

[වැඩි කාලයක් පිටරට ඉඳලා නෑ - ගුරුවරයෙක් වෙන්න පුලුවන්. එහෙනම් නංගිත් ගුරුවරියක් වෙන්නත් පුලුවන්]

“හ්ම්… මටනම් ටිකක් පුරුදු උනා. වෙන මොනවා කරන්නද රස්සාව එහෙ උනාම?”

“ඒක නම් හැබෑ තමයි ඉතින්!”

අයෙත් නිහඬ තාවයක්. දෙන්නා මොකකට හරි එකඟ වුනාම කතාව එතනින් ඉවරවෙනවා වගේ. ඊලඟ සැරේ කතාව පටන්ගත්තේ ජනලේ ලඟ මිනිහයි.

“ඒ වැඩ කරපු තැන්වල වැඩියම හිටියේ අරාබි කාරයොද?”

“මොන පිස්සුද මහත්තයා. වැඩි හරියක් ඉන් දියාවේ,පකිස්තානේ, ලංකාවේ… සුද්දෝ කීපදෙනෙකුත් හිටියා”

“එහෙ හැබැයි මුස්ලිම් කට්ටිය නේ වැඩි …. මහත්තයත් මුස්ලිම්ද?”

“නෑ මම බුද්දාගමේ. අනේ ඒ අතින් කරදරයක් මට තිබුනෙ නෑ”

“මාත් බුද්දාගමේ තමා. මට පෙනෙන විදිහට මෙහෙ මුස්ලිම් කට්ටියත් එන්න එන්න බලගතු වෙනවා. දැන් බලන්ඩ මහත්තයා මේ දිගටම කඩ ටික තම්බින්ගෙනේ”

“ඔවු ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සිවෙලා වැඩකරනකොට එහෙම තමා. අරාබි රටවල්වල මුස්ලිම් අය මේ තරම් වැඩකරන පාටක් නෑ හැබැයි”

“ඔවු ඉතින් තෙල් තියෙන රටවල් නේ. වැඩට පිටින් අය ගෙනාවට රටේ අයිතිය ඒ අය ලඟනේ”

“හ්ම්… ඇත්ත තමයි. මට එහෙ ගෙදරක් එහෙම ගන්න බෑ - පිට රට මනුස්සයෙක් නිසා. හැබැයි පඩි එහෙම හොඳ නිසයි කුලී ගෙවල් ලාබ නිසයි ඒක මට වැඩි ප්රශ්නයක් වුනේ නෑ”

“ඒ උනාට ඒක හරිද ….? පිටින් රටට ආපු අයට වෙනස්කම් කරන නීති දාන එක?”

ඒකට උත්තරේ ආවේ වැඩි දිග කතාවට අකැමැත්තෙන් වගේ, පොඩි නිශ්ශබ්දයකට පස්සේ රහසක් කියනවා වගේ.

“ඔවු ඉතින්…. ඒක හරියට මහත්තයට ජනෙලේ ලඟ ආසනේ ලැබුනා වගේ, ඉස්සරවෙලා බස් එකට නැග්ග නිසා!”

“මහත්තයා දන්නවා බස් තියෙන්නේ සේරටම යන්න, මොන සීට් එකේ ගියත් ගමන එකමයි”

මේකට උත්තරයක් ලැබුනෙ නෑ. සමහරවිට මේ තර්කය කඩාකප්පල් කරන එක ලේසි වැඩි නිසා වෙන්න ඇති. මට දැනුනේ කතාවේ අවසානයක් දකින්න මිනිහා කැමැතියි වගේ. නමුත් ජනෙලේ ලඟ මිනිහට තව කතා කරන්න ඕන. මිනිහා පත්තරේ අකුලලා කතාව පටන්ගත්තා.

“එහෙ බෞද්ධ විහාර එහෙම තියෙනවද?”

“නෑ… මං දැකලම නෑ. මං හිතන්නේ ඒවට ඉඩ දෙන්නෙ නෑ එහෙ”

“ඒකට අපෙ රටේ! මුස්ලිම් පල්ලි හැම තැනම!”

“… හ්ම්…”

ජනලේ ලඟ මිනිහා හවත් කතාව උනුසුම් කරනවා.

“අංතිමට අපෙ ජාතියේ උන්ට තමයි තැනක් නැතිවෙන්නේ!”

අනික් මිනිහට මේක හිතට ඇල්ලුවෙ නෑ වගේ. ටිකක් ආසනේ හැරිලා ඊලඟ ප්රශ්නේ ඇහුවේ බොහෝම ශාන්තව.

“ඒ මොන ජාතියද මහත්තයා?”

“සිංහල ජාතිය! මහත්තයත් සිංහල නේද?”

“මගෙ බාශාව සිංහල. …. කතාකරන්නේ සිංහල උනාට මට තේරෙන විදිහට ඒක ජාතියක් නෙවෙයි”

දැන් මගෙ නිදිමත හොඳටම ගිහින්. දෙන්නගෙ කතාවට මම ඔනෑකමින් කන් දුන්නේ ගෙනාපු පොත දිහා බොරුවට බලාගෙනයි.

“මහත්තයා කියන්නේ ඔබතුමාගෙ ජාතිය මොකක් කියලද?”

“අනේ මංදා මහත්තයා …. මම උපන්නේ ලංකාවේ … මම ලාංකිකයෙක් - ඒක වෙන්න ඇති මගෙ ජාතිය!”

මෙතන හොඳ විවාදේක පෙර නිමිති පෙනෙන නිසා මම පොත මල්ලට දාලා දෙන්නගෙ කතාව අහගෙන හිටියා.

“නමුත් මහත්තයා දන්නවා ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා! විජයගෙන් පැවතගෙන අපි ඔය පස්සේ ආපු දෙමල, මුස්ලිම්, කිර්ස්තියානි මිනිස්සු නිසා කොන් වෙනවා අපි වහාම යමක් නොකලොත්!””

“මට පෙනෙන විදිහට දෙමල කියන්නෙත් බාශාවක්, සිංහල වගේ. ඒ කියන්නේ ජාතියක් නෙවෙයි. මුස්ලිම්, ක්රිස්තියානි වගේ දේ ආගම් - ඒවත් ජාති නෙවෙයි….”

“ඒක මහත්තයා කොටින්ටයි ඇල් කයීඩා කාරයන්ටයි කියලා බලන්න! උන් රටවල් බෙදාගන්නේ උන්ගෙ ජාති ගොඩනගන්න - අපේ ජාතියේ දේපල හොරකම් කරලා”

“ඒක ටිකක් සැරයි නේද මහත්තයා? ත්රස්තවාදී මිනිස්සු අතලොස්සක් කරනදේවලට මුලු ජනකොට්ටාශයක් වගකියන එක හරිද?”

“මහත්තයා කියන ඔය ‘ජන කොට්ටාශ’ වලට තිබුනෙ නැද්ද තමංගෙ තරස්තවාදී මිනිස්සු පාලනේ කරන්න? මිනී මරාගෙන බෝම්බ ගහගෙන සාමාන්ය මිනිස්සු යටකරගන්න ඉස්සර?”

“… ඇත්ත … හැබැයි අර සිංහලයට ජනතා විමුක්ති පෙරමුන පාලනේ කරන්න බැරි උනා වගේමයි!”

දෙන්නම හිනා මුහුනින් හිටියට යටි හිතේ එක එක විදිහේ අදහස් වර්ධනය වෙන බව හිතාගන්න පුළුවන්. තම තමාගේ අලුත් තර්ක දියුණු කරගන්න වෙන්න ඇති ඊලඟ කිලෝමීටර් ගනන නිශ්බ්දව පසුවුනේ.

මම හිතුවා වගේම “පාලනය” වචනේ අල්ලලයි ඊලඟ කතාව පටන්ගත්තේ.

“මේ රට පාලනේ කරන අය දැනගන්න ඕනෑ මේවා හරියට කරන්න… උං චංදේ දිනුවැයින් පස්සේ බලන්නේ තමං දියුනුවෙන එක මිසක් රට දියුනු කරන එක නෙවෙයි! මොන පක්සෙත් එකයි ඒ අතින් බලනකොට!”

මට හිතුනේ කතාව දේශපාලනේට හැරුනට එක පැත්තක් අල්ලගෙන විවාදෙකට බහින්න “ජනෙලේ” මගියට හිත නෑ. ඒකට “මැද” මගියත් එකඟවුනා එක පයින්ම.

“ඒක නම් ඇත්තටම ඇත්ත - මේ අයට රට ගැන මතක් වෙන්නේ ආයෙත් ඊලඟ චංදේ කාලෙට විතරයි!”

දෙන්නම එක වගේ අදහස් ඉදිරිපත් කල නිසා විවාදයක් වෙනුවට සාකච්චාවක් පටන් ගනියි කියලා මට හිතුනා. “ජනෙලෙට” මේක හිතට ඇල්ලුවා.

දේශපාලන කරන අයගෙ වැරදි ගැන කතාව පැය බාගෙකට වැඩිය ගියා. මට පුදුමයි මේ දෙන්නා අහලා තිබුන කතා ගැන. මේ කතා අතරේ සල්ලි වලට රස්සා සොයා දෙන එක වගේ වැඩ ඉතාම සුළු දේ හැටියටයි මේ දෙන්නා දැක්කේ. මිනී මරුවෝ, කුඩු කාරයෝ, පාතාල ලෝකේ හොරු වගේ මිනිස්සු සමහර දේශපාලකයන්ගෙ කිට්ටු වන්තයෝ! ඒ වගේම, මැති ඇමති පමනක් නෙවෙයි ඔවුන්ගෙ නෑදෑ හිතවතුනුත් මං වගේ රස්සාවකින් ජීවත්වෙන කෙනෙකුට හිතන්නවත් බැරි තරමට සල්ලි හොයනවා. මේ දෙන්නා කතාකලේ තමා හොඳින් දන්න, විශ්වාස කරන අයගෙ වචන මතක්කරලයි. මගෙ නැදෑයෝ, යාළුවෝ මේ වගේ දේ නොදන්නේ මම වයසින් අඩු නිසාද කියලත් මට හිතුනා.

“හැබැයි මහත්තයා අපිත් මේවට ටිකක් වග කියන්න ඕනෑ නේද?”

“මැද” මගියා ආයෙත් විවාදයකට වෙන්න ඇති අර අදින්නේ.

“ඒ කොහොමද? අපි මොනවා කරලද?”

“ඇයි අපිනේ උං සේරටම චංදේ දුන්නේ?”

“මගෙ එක චංදෙන් කොහොමද මහත්තයා ප්රතිපල වෙනස් කරන්නේ? මං චංදේ දුන්න එකාට චංද දාහක් වත් නෑ!”

“මැද” මගියා යන්තම් හිනාඋනා. “මම මේසැරේ එක්කුටවත් දුන්නෙ නෑ!”

“එහෙනං මහත්තයා මටත් වැඩිය වග කියන්න ඕනැනේ!”

දෙන්නටම හිනා ගියා. අහගෙන හිටපු මටත් කට කොනකින් හිනා ආවා.

……………………..

“මහත්තයා තේ එකක් බොනවද?”

මට ටිකක් නින්ද යන්න ඇති - ඇහැරෙනකොට බස් එක කඩයක් ලඟ නවත්තලා මගියන්ට තේ බොන්න. උදේ කිසි දෙයක් නොකා ආපු නිසා මමත් බස් එකෙන් බැස්සේ මාළුපාන් එකක්වත් කාලා තේ එකක් බොන්නයි. මට ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා සිටි දෙන්නා එකට බස් එකෙන් බැස්සත් එකට තේ බොන්න වාඩිවුනේ නෑ. කොපමන හිනා මුහුනෙන් කතා කරත්, ‘මහත්තයා’ කියලා එකිනෙකා ඇමතුවත් මෙතන කෙටිකාලීන මිත්රකමක් ඇතිවෙලා නැතිබවයි මට හිතුනේ.

මේ දෙන්නගෙ සාකච්චා අලලා කතාවක් ලියන්න මගෙ හිතේ තිබුනත් කතාවකට අවශ්ය සතුටුදායක අවසානයක් ලැබෙයි කියලා මගෙ විශ්වාසයක් තිබුනෙ නෑ. දෙන්නා සාමාන්ය මිනිස්සු - පාඨකයෙක් පොළඹවන තරම් දෙයක් කියන කරන අය නෙවෙයි. එක්කෙනෙක් ඉස්පිරිතාලේ ගිහින් පුතා බලලා හවස ආපහු තමංගෙ ගෙදර යයි - ගිහින් පවුලටයි ගෙදර අනික් අයටයි පුතාගෙ තොරතුරු කියයි. අනික් මිනිහා නිශ්ප්රයෝජන මීටිමක මෝඩ කතා අහගෙන ඉඳලා, තව කීපදෙනෙක් එක්ක දවල්ට කාලා, තවත් එක එකාගෙ පුරසාරම් අහලා හවස්වෙලා ගෙදර යයි - ගෙදර අයට ‘මීටිම හොඳට ගියා’ කියයි. මම අයෙත් පොත කියවන්න පටන්ගත්තේ බස් එක පිටත්වෙන්නත් ඉස්සර - ඉස්සරහ ආසනේ සාකච්චාවෙන් මට ලාබයක් නොවෙන බව දැනගෙනයි.

මම කියවන පොත ආපහු මල්ලට දැම්මේ කැළණි පාලම පහුවෙලයි. මගෙ ඉස්සරහ ආසනේ දෙන්නා ආයෙත් කතාව.

“දොස්තරලා මොකද කියන්නේ?”

“වකුගඩු, බඩදිව ටික ටික හොඳවේගන එනවලු - මටනම් වෙනසක් පෙනෙන්නෙ නෑ”

“කොහොමද ඔයතරම් අනතුරක් වුනේ? වාහනයකින්ද?”

ටිකක් සද්ද නැති වෙලාවක්. ‘මැද’ මිනිහා කතාකලේ හෙමින්.

“අර කඩේකට බෝම්බයක් ගහපු වෙලාවේ පුතා කඩේ ඇතුලේ - ගෙදරට තුනපහ ගන්න ගිහින්”

“තම්බියොද?”

“අ… ඒක මුස්ලිම් කඩයක්… මම මේක ගැන වැඩිය කතා කරන්නෙ නෑ මහත්තයා”

“ඇහුවට සමාවෙන්න…”

දෙන්නම ඉස්සරහ බලා ගත්තා. ආයෙ වචනයක්වත් හුවමාරු කරගත්තෙ නෑ බස් එක පිටකොටුවේ නැවැත්තුවට පස්සේවත්. ඉස්පිරිතාලේ යන මනුස්සයා නැගිටලා ගියේ වටපිට නොබලා.

මීටිමට යන මනුස්සයා හෙමින් නැගිටලා උඩ රාක්කයේ තිබුන පාර්සලයක් පරෙස්සමෙන් ආසනේ උඩ තියලා තවක් මල්ලක් ගත්තා. පාර්සලේ දවටාතිබු කොලේ ඉරිලා - ඇතුලෙන් මට පෙනුනේ “අපි සිංහල - මේ අපෙ රට” කියලා අච්චු ගහපු කොල මිටියක්. ඒ වෙලාවේ මට හිතුනා මොන ජාතියේ මීටිමකටද මෙයා යන්නේ කියලා. මිනිහා කොල මිටියත් කිහිල්ලේ ගහගෙන බස් එකෙන් බැහැලා ගියේ හරියට ලකුනු කිරීමට ශිෂ්යන්ගේ අභ්යාසපොත් ගෙදර ගෙනයන ගුරුවරයෙක් වගෙයි.

මම මගෙ පත්තර කංතෝරුවට ඇතුල්වුනේ “මචං මාර කතාවක් තියෙනවා ලියන්න” කියාගෙනයි.