බැටළු ගීත
රෑ හත හමාරට පමන කීත් ජොන්ස්ටන්ගෙ ජීප් රථයෙන් ගොවිපොලට කිට්ටු වෙනකොට හිර බැසයන්න කිට්ටුයි. පාරේ ගැස්සි ගැස්සී යන වාහනයක පැය දහයක් පමන මම ආ පලමු වතාව මේකයි. ‘ඩීප් ගලී’ නැමැති මේ හරක් සහ බැටළු ගොවිපොල අයිතිකාර කීත් වැඩිය කතාවක් නෑ. මගදී මිචල් නැමති නගරයකින් දවල් කෑමකන වෙලාවේවත් මිනිහා වැඩිය මොකුත් කිව්වෙ නෑ - “මෙතන සැන්ඩ්විච් හොඳයි” ඇරුනුකොට. මම දෙන්නගෙම බිල ගෙවනකොට කීත් මා දිහා බලලා “ඊලඟ එක මගෙන්” කිව්වා මිස වැඩි කතාවකට කැමැත්තක් පෙන්නුවේ නෑ.
මට මගෙ ගුරුතුමා, ජෙරී මේසන්, කියා තිබුනේ කීත් දක්ශ ගොවියෙක් බවත් බැටළුවන්ගේ ලොම් වල සියුම් බාවයත් නිපැයුමත් වැඩි කිරීමට ජාන දියුනුකිරීමේ පර්යේශන කරන බවත්ය. ජෙරී කියූ ලෙසට ගොවිපොලේ එදිනෙදා වැඩ කළමනාකරුවෙක් වගබලාගන්න නිසා පර්යේශන වලට කාලය යොමු කිරීමට ඔහුට හැකි බවත්ය.
“රංජිත්ට කළමනාකාරයා යටතේ තමා කරන දෙයක් කරන්න වෙන්නේ” කියල ඔහු කී දේ මට පැමිනි දින රෑම ඔප්පු උනා.
ජීප් රතය ගොවි නිවසේ මිදුලේ නවත්තලා අපි බහින්නත් ඉස්සර ලොකු බල්ලෝ කීපදෙනෙක් උඩ පැන පැන වාහනේ වටේ දුවන්න පටන්ගත්තා, ස්වාමියා ගෙදර ආ සන්තෝසෙට. අපි පොඩිකාලේ අපෙ ගෙදර හිටි බල්ලොත් හැසිරුනේ මේ විදිහටමයි කියලා මට හිනා ගියා.
“උංට සන්තෝසයි - සමහරවිට හිතුවද දන්නෙ නෑ ඉස්සරහ සීට් එකේ තියාගෙන ආවේ රෑ කෑම කියලා! බයවෙන්න එපා උං රංජිත්ව කන්නෙ නෑ … හා මේ එන්නේ මයිකල්…”
කීත් මෙහෙම කිව්වේ වාහනේ පැත්තට එන කෙට්ටු උස මිනිහෙක් පෙන්නලයි.
“මේ මයිකල් - මෙහෙ මැනේජර්. මයිකල් මේ රංජිත්… අපි වැඩ කරනහැටි බලාගන්න ලංකාවේ ඉඳන් ආපු කෙනෙක්! එක්ක ගිහින් ඉන්න තැන පෙන්නලා කන්න දෙනවද?”
“හ්ම්”
මයිකලුත් වැඩිය කතා කරන මනුස්සයෙක් නෙවෙයි වගේ. මම කීත්ට ස්තුති කරලා මල්ලත් උස්සාගෙන මයිකල් පස්සේ ගියා.
…………………..
මම ශිෂ්යත්වයකින් ඔස්ට්රේලියාවට ඇවිත් දැන් අවුරුද්දක් ගෙවිලා ගිහින්. අවුරුදු දෙකකට ආ මට ඉගෙනීමට සිද්ධවුනේ ක්වීන්ස්ලංත ප්රාන්තයේ ඩොල්බි නැමැති නගරය කිට්ටුව පිහිටි කෘෂිකර්ම විද්යාලයකයි. මීට ඉස්සර ලංකාවෙන් පිට ගොස් නොතිබුන නිසා මේ නගරය තබා ප්රාන්තය ගැනවත් කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ. නමුත් අවුරුදු කීපයක් මේ ක්ෂේත්රයේ සේවය අත්දැකීම් තිබුන නිසා මට ඉගෙනීම අතින් කරදරයක් ඇතිවෙයි කියලා මම ඒ දවස්වලවත් හිතුවෙ නෑ. ඒ වගේම ඉංග්රීසි භාශාව හොඳින් හැසිරවීමට හැකිවීමත් පංතියේ අනික් සිසුන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් වීමත් විශාල වාසි හැටියටයි මම දැක්කේ. මේ වාසි වලට එරෙහිව ක්රියාකල එකමදේ රටවල් දෙක අතර ඇති සංස්කෘතික වෙනස්කමුයි.
මම නැවතිලා හිටියේ විද්යාලෙම නේවාසිකාගාරයක නිසා නවාතැනක් සොයන්නවත් පංති වලට යෑම ඒමටවත් කෑම බීම සදාගැනීමවත් කරදරයක් වුනේ නෑ. මෙහෙ කෑම මට පුරුදු නැතිවුනත් කෑම බීමෙන් අඩුපාඩුවක් නම් තිබුනෙ නෑ. අනික් අතට එදිනෙදා ජීවිතේ ස්වදේශිකයන් සමග ආශ්රය පුරුදුවෙන්න මට මාස ගනනක් ගියා. මට පලවෙනියටම දැනුනේ මෙහෙ ගුරු-සිසු චාරිත්ර වල වෙනසයි. ලංකාවේ වගේ නොවෙයි මෙහෙ ගුරු-සිසු ආශ්රය - ආමන්ත්රනය මුල්නම් වලින් පමනයි; පංති කාමරයෙන් පිටදී මිත්රයෝ වගෙයි; කතාවෙනුත් හැසිරීමෙනුත් ගැහැනු පිරිමි අතර වෙනස්කම් ඉතා අඩුයි. ඒ වගේම බොරු, පුරාජේරු කතා දුර්ලබයි. ලාංකිකයොත් ඔස්ට්රේලියානුවොත් සම්පූර්නෙන්ම එකඟවෙන එකම දෙයයි මම දැක්කේ - දෙගොල්ලම ජීවත් වෙන්නේ “ලෝකේ හොඳම රටේ” වීම.
………………
මයිකල් නෝටන් වයස තිහක් විතරවූ පලපුරුදුකාර තරුන ගොවියෙක්. තම පවුලේ ගොවි පොලෙන් ඈත්වී “ඩීප් ගලී” ගොවිපොලේ වැඩට ඇවිත් දැනට අවුරුදු දහයක් විතර ඇතිලු. යම් දවසක පවුලේ ගොවිපොල කලමනාව බාරගෙන “ගමේ” යන්න ඉස්සර වැඩ පුරුදු වෙන්න හිතලයි “ඩීප් ගලී” ඇවිත් තියෙන්නේ. මේ ගොවිපොලේ කම්කරුවෙක් හැටියට වැඩ පටන්ගෙන ගොවිපොලට අවශ්ය නිපුණතා සියල්ලම එකතුකරගන්න අවුරුදු පහකටත් වැඩිය ගියාලු. දැන් කලමණාකරු හැටියට තමා යටතේ කම්කරුවෝ තුන්දෙනෙක් හිටියත් තවමත් ඉස්සර වගේම කම්කරු වැඩ කලේ කලමණාකරනය තමාට ලැබුනු අතිරේක ක්රියාවක් මිස සම්පූර්න රක්ශාවක් ලෙස නොසිතායි. පලවෙනි සතියේ මේ දේවල් එහෙන් මෙහෙන් සොයාගත්තේ මයිකල් ලංකාවේ කලමණාකාරයන්ට වැඩිය කොච්චර වෙනස්ද කියලා සිතමිනුයි.
“මයිකල් මෙහෙ හරක්, බැටළු එහෙම රංචු එකතු කරන්න අශ්වයෝද පාවිච්චි කරන්නේ?”
අපි උදේ තේ බොන වෙලාවේ මම මෙහෙම ඇහුවේ ගොවිපොලේ අශ්වයෝ හිටියට උන් කිසිම වැඩකට යෙදෙනවා දැකලා නැති නිසයි.
“මෝටබයිසිකල් ඊට වඩා ලේසියි… ලාබයි”
“එහෙනම් අශ්වයෝ ඉන්නේ?”
මයිකල් ටිකක් හිතුවා.
“වැස්ස කාලෙට උන් හොඳයි… අර කඳු වැටිය පැත්තට බයිසිකල් යන්නෙ නෑ… අනික… ගොවිපොලක් උනාම අශ්වයෝ ඕන…?”
මයිකල් මා දිහා බැලුවේ මගෙ යටි හිතේ යමක් ඇති කියලා හිතලා වෙන්න ඇති.
“ඇයි එකෙක් උඩ නැගලා යන්න ඕනැද?”
“අපෝ එපා… මම අශ්වයෙක් පිට නගිනවා තියා ලඟට යන්නවත් බයයි - පයින් ගැහුවොත් කියලා!”
මයිකලුත් කම්කරුවොත් ඒ වෙලාවේ හයියෙන් හිනා වුනාට එයින් දෙන්නෙක් වෙන වෙනම මට අශ්වයෝ පිට යන්න උගන්නන්න කැමතියි කියලා කිව්වා, මට ඕන නම්. නමුත් මට ඕන උනේ අශවයෝ පිටේ යන්න නොවෙයි - මුලු ගොවිපොලේම බැටළුවෝ ඉන්න තැන් දැක බලාගන්නයි මගේ ආශාව වුනේ. හරක් ඇතිකිරීම ගැන කුඩා ප්රමාණයෙන්හරි මම යමක් දැනගෙන හිටියත් බැටළුවෝ ඉස්සරවෙලාම දැක්කෙත් ඔස්ට්රේලියාවට ආවට පස්සෙයි. එනිසාමද කොහෙද මට බැටළුවන් ගැනයි වැඩි ආශාවක් හිතුනේ. බැටළුවෝ මම දැනගෙන හිටිය එකමදේ මගෙ අයියගෙ දුව පොඩිකාලේ කියපු සිංදුවයි - “කලුබැටළුවො බා බා, ලොන්ටි බේබි දැන්!”
ඊලඟ සති දෙකේ මම උදේ හයට පටන්ගෙන “ඩීප් ගලී” අස්සක් මුල්ලක් නෑර ගියා. උදේට මොනවත් කාලා, දවල් කෑමටත් බීමටත් මොනවත් බැඳගෙන බයිසිකලේ නැග්ගම ආයෙ ගෙදර ආවේ හතර පහ වෙලා. පලවෙනි දවස් දෙකේ ටිම් කියලා අත්වැඩකාරයෙක් මට මග පෙන්වන්න ආවේ මයිකල්ගේ අන නිසා වෙන්න ඇති. තනියම ගමන් පටන්ගැනීමට ඉස්සර මයිකල් මට තරයේ අවවාද කලේ නොදන්නා කෙනෙකුට “ඩීප් ගලී” භයානක් තැනක් වියහැකියි කියලයි.
අක්කර විසිදාහක් විතර මේ ගොවිපොලේ මිනිස්සු හිටියේ කීත්ලා මයිකල්ලා ඉන්න අක්කරය දහයක් විතර “ගෙදර ඉඩමේ” විතරයි. ජංගම දුරකතන තියා රේඩියෝ සංඥාවත් නැති මේ පලාතේ තමාට හෝ වාහනයට අනතුරක් සිද්ද වුනොත් ජීවිතේ බේරාගන්න කලහැකි දේ ඉතා අඩුයි. තමා බේරාගන්න කෙනෙක් එනතුරු ඉවසිල්ලෙන් අනතුර සිදුවූ තැන හෝ ඒ කිට්ටුව නැවතී ඉඳීම කලහැකි හොඳම දෙයයි. අව්ව වෙලාවට ඉන්න හෙවන තැනක් සොයාගැනීමත් වැදගත්. තමාව සොයන්නන්ට ලකුනක් හැටියට පොඩි දුම්දාන ගිනිගොඩක් මෙලවීමත් සමහරවිට වටිනවා. සෑමදාම ගොවිපොලෙන් පිටත් වෙන්න කලින් නොවරදවාම කලයුතුදේ ලයිස්තුවක් මට මයිකල් දුන්නා. යෑමට බලාපොරොත්තු වෙන පලාතත්, හමුවෙන අතුරු/අඩි පාරවල්, ඇල දොල, කඳු වැනිදේ සිතියමක ලකුනුකරන්නත්, බයිසිකල් එන්ජිම, ටයර්, ඉන්දන වැනි දේත් පාවිච්චියට ගෙන යන වතුර බෝතල්, කෑම වෙනිදේ හොඳින් පරීක්ෂාකර බැලීමත් මේ ලයිස්තුවට අඩංගු උනා.
බැටළුවන් ජීවත්වන බිම් පෙදෙස දැක ගැනීමට අශා වීමට මගෙ හේතුවක් තිබුනා. ඒ කීත්ගේ බැටළු ලොම් වල සියුම් බාවයත් නිපැයුමත් වැඩි කිරීමට කල ජාන දියුනුකිරීමේ පර්යේශනවලට පාවිච්චිකල පරිසරය දැක ගැනීමයි. මේ කන්නේ ලොම් කැපීම් අවසන්කර තිබුන නිසා කපා විකිනූ ලොම් ගැන සියලු ප්රතිපල කීත් ලඟ ඇති කියලයි මම හිතුවේ. ඒ ප්රතිපල තේරුම්ගන්න බැටළුවන්ගේ පරිසරය ගැන යමක් පලමුවෙන් දැනගැනීම වැදගත් කියලා මට හිතුනා. ඒකත් හොඳින්ම දන්නේ කීත් ජොන්ස්ටනුයි. කීත්ගෙන් මේවා අහගන්න ක්රමය මයිකල් මට කියලා දුන්නා.
“කීත් එක්ක කතා කරන්න හොඳම වෙලාව හවස හතට විතර. මේ දවස්වල ජෙනී, ඒ කියන්නේ කීත්ගෙ පවුල, ඒ ගොල්ලන්ගෙ පුතාගෙ ගෙදර ගිහින් නිසා කීත් තනියම ඉන්නේ - නමුත් හය හමාරෙන් පස්සේ තමා වැඩ නවත්තන්නේ”
“වැඩ?.... මම තවම දැක්කෙ නෑ කීත් ගෙදරින් එලියට එනවා!... මං හිතුවේ එක්කෝ පොත් කියවනවා ඇති නැතම් පොත් ලියනවා ඇති කියලා!”
“ඒ දෙකමත් කරනවා. …. නමුත් මම වැඩ කිව්වේ ගෙදර පිටිපස්සේ ඇති විද්යාගාරයේ කරන වැඩ”
“මොන විද්යාගාරෙද? අර ජාන පර්යේශන කෙරුවේ මේ ගෙදරමද?” මට පුදුමයි විද්යාත්මක ප්ර්යේශන ඒකලා ගොවි ගෙදරක සිදුවෙයි කියන එක.
“ඒක කීත්ගෙන්ම අහගන්න…. මං හිතන්නේ මේ අලුත් පර්යේශන වගයක්….”
……………….
ලංකාවෙන් ගෙනා තේ කුඩු පැකට් දෙකකුත් එල්ලගෙන මම කීත්ගේ ගෙදර කිට්ටුවට එනකොට මාව පලමුවෙන්ම පිලිගත්තේ වලිගේ වනන බල්ලෝ දෙන්නෙකුයි. කීත්ගෙ ගෙදර විශාලයි, ලස්සනයි. සුදුපාට ලෑලි වලින් සෑදූ බිත්ති, ඔපදැමූ ලෑලි බිම, රතු ටකරන් වහල “පරන ක්වීන්ස්ලැන්ඩර්” මෝස්තරයේ බව මම දැනගෙන හිටියා. ගේ වටේටම තිබුන ඉස්තෝප්පුවේ සැපපහසු හාන්සි පුටුත් මල් පෝච්චිත් වලින් සැරසී තිබුනා. මම ඉස්තෝපුවට කිට්ටු වෙනකොට හාන්සි පුටුවක දිගාවී හිටි කීත් මට ඇතුලට එන්න ආරාධනාකලේ තනි වචනයකින්.
“බීර?”
අපි හාන්සි පුටු දෙකක වාඩි වෙලා බීර තොලගෑවේ වැඩි කතාවක් නැතුවයි. අංතිමට කීත්ම කතාව පටන්ගත්තා.
“ඩීප් ගලී වැඩ කරන හැටි බලා ගත්තද?”
මට හිනහ ගියා.
“මෙතන වැඩ කරනහැටි ඉගෙනගන්න අවුරුදු ගානක් යයි…. මයිකල් වගේ බොහෝම උපකාරී අය හිටියත්. නමුත් මම ගිය මාසේ බොහෝම දේ ඉගෙන ගත්තා, කීත්ලට පින් සිද්ධ වෙන්න. මෙහෙ ලංකාවට වැඩිය බොහොම වෙනස්….”
“ඒක ඇත්ත… අපෙ දේශගුණය ලංකාවට වැඩිය බොහොම වෙනස්. ගස් කොලන්, පස වගේ දේත් වෙනස්…. මං හිතන්නේ අපි දෙගොල්ල ගොවිකම් ගැන හිතන විදිහත් වෙනස් ඇති…”
“ඒක සම්පූර්නෙන්ම ඇත්ත! ලංකාවේ ගොවියෝ හුඟක් හිතන්නේ තමාගෙ අවශ්යතාව සපුරන්නයි ඊට පොඩ්ඩක් වැඩියෙන් උපයන්නයි…. මං හිතන්නේ අපෙ ගොවි පොලවල් … ඒ කියන්නේ වැඩිපුරම පවුලේ ඉඩම්… වපසරියෙන් මෙහෙට වඩා බොහොම අඩු නිසා වෙන්න ඇති”
“ඒක ඇත්ත… රංජිත් දන්නෙ නැතුව ඇති මම ලංකාවට ගිහින් තියෙනවා … විශ්වවිද්යාලේ හිටපු කාලේ. නෑ….නෑ…. වැඩි කාලෙකට නෙවෙයි,මාස කීපේකට විතරයි. හරියට රංජිත් ඩීප් ගලී ආවා වගේ…. ලංකාවේ දේශගුණෙයි පසයි ඉඩම් අයිතියයි බලනකොට එහෙ වෙන වගාව මං හිතන්නේ හරියටම හරි. මෙහෙ වගේ අක්කර දාස් ගනන් හරකුන්ට දෙන්න බෑ ලංකාවේ”
මට පුදුමයි කීත්ගෙ කතාව. මං හිතුවේ ලංකාව ගැන දන්නවානම් මිනිහා ලංකාවේ වගා ක්රනවල වැරදි ගොඩක් පෙන්නලා දෙයි කියලා.
“නමුත් කීත් අපේ අය මෙහෙ මිනිස්සු තරම් මහන්සිවෙලා වැඩ කරන්නෙ නෑ!”
“එහෙ ඉපදුනානම් මමත් එහෙමයි රංජිත්! දවල්ට රෑට කන්න ලැබෙනවනම්, ඉන්න තැනක් තියෙනවානම්, අවට අයගෙන් කරදරයක් නැත්නම්…. හ්ම්?.... අනික, මං දැකපු විදිහට ලංකාවේ ගම්වල මිනිස්සු නිතරම ලඟ නෑදෑයෝ වගේ ජීවත් වෙන්නේ. ලෝකේ මොක උනත් තමංගෙ පාඩුවේ ඉන්න පුරුදුයි… ඕක අපිට බෑ නේ”
අපි ඊලඟ විනාඩි කීපය කතා නැතුවා බීර බිව්වා. කීත් නැගිටලා ගිහින් තව බීර දෙකක් ගෙනාවේ මගෙන් අහන්නෙත් නැතුවයි.
“ඩීප් ගලී ගැන මොකද රංජිත් හිතන්නේ? අලුතෙන් යමක් ඉගෙනගන්න මොනවත් දැක්කද?”
“අපෝ…මේ සේරම මට අලුත්!”
“මොනවත් විශේෂ දෙයක් දැකගන්නද ඩීප් ගලී තෝරගත්තේ, වෙන ගොවි පොලක් නැතුව?”
“මට මගෙ ගුරුතුමා, ජෙරී මේසන්, කිව්වා කීත් බොහොම පර්යේශන කරලා තියෙනවා කියලා බැටළු ලොම්වල ස්වභාවය දියුනු කරන්න… ඒ නිසා තමයි බැටළු කොටු පැත්තේ ගිය සති කීපේ දිව්වේ. කපපු ලොම්වලින් ලැබුන ප්රතිපල ගැන ඔබෙන් අහන්න ඉස්සර මම හිතුවා උන් හැදෙන පරිසරය තේරුම් ගන්න….”
“හා! ජෙරී කතා කරනවා වැඩී!”
“ඇයි? එහෙම පර්යේශන කෙරුවෙ නැද්ද?”
“ඒවා කලේ දැන් අවුරුදු කීපෙකට ඉස්සර….”
“දැන්? මයිකල් එහෙම කියන්නේ කීත් නිතරම වැඩ කියලා”
කීත් මා දිහා බලාගෙන හිටියා හරියට යමක් කියන්නද, නොකියන්නද කියලා හිතනවා වගේ. තව බීර උගුරකුත් බීලයි ආයෙත් කතාකලේ.
“රංජිත් කියන්න මගෙ බැටළුවෝ කොටු කරලා තියෙන හැටි”
මේක මට ලේසියි - මම ඊයේ මේක සිතියමක ලකුනුකල නිසා.
“කොටු හතරයි… මීටර් දාහක විතර දිග පලල….ඒ කියන්නේ වර්ග කිලෝමීටරයක් විතර ඇති එක කොටුවක්. කොටු වටේ කම්බි ගහලා. ආයෙ කොටු අතර මීටර් විසි පහක විතර හිස් තීරුවක් තියෙනවා…. මේ කම්බි ගහපු වැටවල්ගැන එකක් … ඒවගෙන් බැටළුවන්ට ලේසියෙන් රිංගලා යන්න පුලුවන්….”
“ශා… නියමයි! රංජිත් මෙවා හොඳටම පරීක්ශා කරලා තියෙනවා වගේ…. එක ප්රශ්නයක්… කම්බි අතරින් රිංගලා යන්න පුලුවන් බව ඇත්ත… රංජිත් බැටළුවෝ කීයක් දැක්කද ඒ හිස් තීරුවේ?”
“එකෙක්වත් නෑ. උන් වැටෙන් එලියට දුවන්නෙ නැත්තේ ඇයි කියලා මං දන්නෙ නෑ”
කීත් තව බීර උගුරක් බිව්වා.
“ඒක තමයි මගෙ අලුත් පර්යේශනය!”
කීත් මට කෑමට නවතින්න ආරාධනා කරා. මේ අලුත් පර්යේශන ගැන දැනගන්න ඇති ආශාව නිසාම මම ආරධනාව පිලිගත්තා, කීත්ගෙ කෑම මොක උනත්.
………………….
“ඔය කොටු හතරේ දැන් ඉන්න බැටළුවෝ පරම්පරා ගනනක් හිටියේ ඒ ඒ කොටුවලමයි. ඒ කියන්නේ, මම උංගෙ කොටු මාරුකරේම නෑ”
අපි දෙන්නා කෑමෙන් පස්සේ පොඩි කෝපි කෝප්ප දෙකකුත් අරගන නැවතත් ඉස්තෝප්පුවේ හාංසිපුටු වල දිග ඇදිලා ඉන්න වෙලාවෙයි කීත් මෙහෙම කිව්වේ.
“ඒ මොකද? මං හිතුවේ පර්යේශනවලට එහෙම කරන්න ඕනවෙයි කියලා”
“ඉස්සර ලොම් දියුනුකරන පර්යේශන වලදී මම වෙන වෙන පිරිමි බැටළුවෝ පාවිච්චි කලා, ඔය කියන විදිහට. නමුත් මෙතන මම කලේ පිරිමි බැටළු සම්මාදම ස්ථාවරව තියලා බැටළු දෙනුන්ගේ සමාජය හදාරන එකයි…. සමහරවිට රංජිත්ට මේක මෝඩ දෙයක් කියලා හිතෙනවා ඇති!”
“බැටළු සමාජ ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ. නමුත් ඔය කියන විදිහට වැඩ කරන්න හේතුවක් තියෙන්න ඇති නේ….”
“බැටළු ගීත!”
කීත් මෙහෙම කිව්වේ අඳුරු අශ්වගාල් දිහා බලාගෙනයි. මට ඒ කතාව තේරුනේ නෑ - සමහරවිට මීට ඉස්සර අහලා නැති ඔස්ට්රේලියනු කථා විලාශයක් වෙන්න ඇති.
“ඒක මට තේරෙන්නෙ නෑ…. මම අහලා නැති කියමනක්”
කීත්ට මා කීදේ ඇහුන බවක් පෙනුනෙ නෑ. තවම අඳුර දිහා බලා ගෙනයි ආයෙත් කතාකලේ.
“අපි පොඩිකාලේ අපෙ අම්මා අපිට නැලවිලි කවි කියනවා මට තවත් මතකයි…. අපි හිටියේ මීටත් වඩා දුර පලාතක…. අපෙ පවුලේ අයයි ගොවිපොලේ වැඩ කරපු ඉනිංගායි ගෝත්රයේ පවුල් දෙකකුයි විතරයි ඒ හරියේ හිටියේ…. අපෙ අම්මයි, වයසක ඉනිංගායි ගෑනුයි සේරම අපිට නැලවිලි කවි කිව්වා…. රංජිත් පොඩිකාලේ රංජිත්ගෙ අම්මලා නැලවිලි කවි කියන්න ඇති නේද?”
“අප්පේ ඔවු…. අම්මා විතරක් නෙවෙයි, ආච්චියි, නැන්දලා එහෙමත් කිව්වා…. ඉනිංගායි කිව්වේ කවුද?”
“..හ්ම්ම්? අපි හිටපු පලාතේ අබොරිජිනල් ගෝත්රේ… ඇත්තටම ඒ පලාතේ හරි අයිතිකාරයෝ…”
ආයෙත් පොඩි නිහඬ විරාමයක්.
“මම නැලවිලි ගී ගැන ඇහුවේ ඒක මගෙ පර්යේශන වලට සම්බංද නිසා…. දැන් මම බැටළුවන්ගෙ නැලවිලි ගීත හදාරනවා….
මට මේක අදහාගන්න බැරි තරම්. දක්ශ ගොවියෙක්, විද්යාඥයෙක්, සෑහෙන පොහොසතෙක්…. ඒත් එක්කම ඔලුව නරක්වුන කෙනෙක්? වචනෙන් මම මගෙ සිතුවිලි පිටට නොදමන්න පරිස්සම්වුනා.
“බැටළුවන්ගෙ ‘නැලවිලි ගීත’ වෙන්කරගන්න පුලුවන්ද අනික් සද්ද වලින්? මම කියන්නේ බඩගින්නට, පිපාසෙට, වේදනාවට, මරන බයට වගේ දේ වලට කරන සද්ද වලින්?”
කීත් මා දිහා බැලුවේ මුහුන පොඩි හිනාවකින් සරසාගෙනයි.
“මගෙ පර්යේශනවලට හයියෙන් හිනා නොවුනට ස්තුතියි! … මේ වැඩ ගැන මම කාටවත් නොකියන්නේ ඒ අය රංජිත් වගේ මොලේ තියෙන ප්රශ්න අහන්නෙ නැති නිසා…. මම බැටළු හඬ පටිගත කරන්න පටන්ගෙන අවුරුදු ගනනාවක්. ඒ කියන්නේ බැටළු පරම්පරා කීපයක්. මගේ කංතෝරු කාමරේ මේ පටිගතකිරීම් පැය පන්දාහකට වැඩිය තියෙනවා. ඒවා කොටස් කරලා, ඩේටාබේස් හදලා කොම්පියුටරේට දාලා තියෙන්නේ. ඒවා එක එක පැතිවලින් අධ්යයන කරලා තමා මම මේ තීරන වලට බැස්සේ”
“බැටළු සද්ද වර්ගීකරනය ලේසි නෑ. හරියට නොදන්නා භාශාවක ශිලා ලිපි පරිවර්තනය කරනවා වගේ. ඇහෙන සද්ද මොන සමාජ පිහිටීමකදී සිදුවුනාද නොදැන ඒවා තේරුම් ගැනීම අමාරුයි …. මට අබ්යන්තරයේ ස්ථාවර වචන මාලාවක් හදා ගන්න අවුරුදු දෙකක් ගියා!”
“ඒ කියන්නේ දැන් බැටළුවෝ කියනදේ තේරෙනවද?” මම මෙහෙම ඇහුවේ කෙලින් උත්තරයක් බලාපොරොත්තුවෙන්ද විහිලුවක් වශයෙන්ද කියලා මටම හිතාගන්න බෑ.
“මගෙ පර්යේශන වලට ඇතිවෙන්න තරම් තේරෙනවා”
“මං හිතුවේ වචන තේරුම් ගන්න එකයි පර්යේශනය කියලා”
“පටන්ගත්තේ එහෙමයි… දැන් දිගටම බලන්නේ බැටළුවෝ තම තමාගෙ සමාජය හැඩගස්වන හැටි…. නැලවිලි ගී වලින් පටන්ගෙන… මට නම් දැන් බ්රැන්ඩි ටිකක් ඕන - රංජිත්ටත්?”
බ්රැන්ඩි උගුරක් දෙකක් ගත්තට පස්සේ කීත්ම කතාව පටන්ගත්තා.
“ගිය අවුරුද්දේ මුලදී තමා මම සොයාගත්තේ අපේ බැටළු කොටු හතරේ නැලවිලි ගී ටික ටික වෙනස් බව. සද්දවල වෙන්සකම් ඒතරම් විශාල නොවුනත් කොටු හතර වෙනස්ව හඳුනාගන්න තරමට වෙනස්. ඒ අරුනුකොට, පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්කම් තවත් වැඩි වෙනවා. කොයි තරම් වෙනස්ද කිව්වොත් අල්ලපු කොටුවේ නැලවිලි ගීවලට මේ කොටුවේ බැටළු පැටව් කිසිම ප්රතිචාරයක් පෙන්වුවේ නෑ. හරියට ඇහුනෙම නෑ වගේ. මුල කාලේ එහෙම නෑ - ඕනැම නැලවිල්ලක් ඕනැම පැටියෙකුට හරි….”
“කීත් කියන්නේ ලඟ ලඟ හිටියත් අම්මලාගෙ නැලවිලි ගී නිසා වෙනම ‘ගෝත්ර’ හැදෙනවා කියලද?” මටම විශ්වාස කරන්න බෑ මම බැටළු ගී වල වැදගත්කම හිතට අරගෙන ඒ ගැන ප්රශ්නත් අහනවා කියලා.
“පටන්ගන්නේ නැලවිලි ගීයෙන්. නමුත් එතැනින් පස්සේ මුලු භාශාවම ටික ටික වෙනස් වෙනවා. භාශාව විතරක් නෙවෙයි, මුලු සමාජෙම! රංජිත් ගෙ වචනේ හරි - අපි මේ ගොවිපොලේ බැටළු ගෝත්ර හතරක් ඇතිකරලා තියෙන්නේ!”
“මට සමාවෙන්න, නමුත් මට ඒක විශ්වාස කරන්න අමාරුයි. බැටළුවෝ කරන සද්ද ටික ටික වෙනස් උනත් උන් තවමත් බැටළුවෝ. උන්ගෙ ඕනෑ එපාකම් වෙනස් වෙලා නෑ. පරිසරය වෙනස්වෙලත් නෑ. මට හොඳට විශ්වාසයි අද උනත් අර බැටළු පැටව් අල්ලගෙන යන ඩිංගෝ බල්ලෙක් ආවොත් උන් සේරම කෑ ගහන්නේ එක විදිහට කියලා”
කීත් ආයෙත් පොඩි හිනාවක් පෙන්නුවා.
“මමත් හිතුවේ එහෙම තමයි …. මාස තුනකට විතර ඉස්සර දවසක් උදේ, උතුරු කොටුවේ තරුන බැටළුවෝ කීපදෙනෙක් කොටු අතර හිස් තීරුවට ඇවිත් දකුනු කොටුවේ වැට තල්ලු කරන්න පටන් ගත්තා. දකුනු කොටුවේ බැටළුවෝ කෑ ගහගෙන ඇවිත් වැට ආරක්ශාවට ආපසු තල්ලු කරන්න පටන්ගත්තා. මයිකල්ලා අපි ඔක්කොම ‘යුද්දේ’ බලාගෙන හිනා වුනා. අංතිමට මයිකල් උන් වෙන් කරලා හරි කූඩු වලට එලෙව්වා…. අපි සේරටම හොඳටම හිනා. එක එක විහිලු හැදුනා - ‘මැද පෙරදිග ගමට ඇවිත්’, ‘කවුද ඔට්ටු අල්ලන්නේ දකුනෝ දිනනවා කියලා?’ වගේ. මං හිතන්නේ මයිකල් ඔය කතාව මෙහෙ පත්තරේටත් ලිව්වා!... හැබැයි…. අ….මම … මම ඔය සිද්දිය ගැන කාටවත් නොකියපු දෙයක් තියෙනවා….”
මම කිසිම සද්දයක් නැතුව හිටියා කීත්ම කතාව පටන්ගන්නකම්.
“මම ඒ ‘යුද්දේ’ ටේප් එකට කන්දුන්නා එදා රෑ….” තවත් බ්රැන්ඩි උගුරක්. “… මට තේරුම් ගන්න පුලුවන් උන වචන අපිට තේරෙන භාශාවට හැරෙව්වොත් එතන ඇහුනේ හිස් බැටළු ‘බා බා’ නෙවෙයි. ඒ වෙනුවට ‘මෝඩයෝ’, ‘ම්ලේච්චයෝ’, ‘භාශාව හසුරුවන්න බැරි උන්’, ‘ලොම් කොටා’, ‘පිට උන්’ වගේ අපහාස ගොඩක්. එතකොටයි මට හිතුනේ එදා ඇතිවෙන්න ගියේ ඇත්තම යුද්දයක් කියලා”
විද්යාවට නැබුරු මගෙ මොලේට මේ කතාව ලේසියෙන් පිලිගන්න බෑ. කීත්ගෙ නිගමනය වැරදි වියයුතු බවත් බැටළු වචන පරිවර්තන්යේ විශාල අඩු පාඩු ඇති නිසා මෙසේවූ බවත් මගේ හිතට නැගුනේ තර්කානුකූලවයි. නමුත් කීත් ඒගැන කල්පනා කර ඇතිබව ඔහුගෙ ඊලඟ වචනයෙන් තේරුනා.
“මම හිතුවේ මගෙ වචන පරිවර්තනය එක්කෝ සම්පූර්නෙන්ම වැරදියි, නැත්නම් එදා සිදුවුන යුද්දේ මගෙ හිතේ හැඟවී තිබුන අදහස් වලින් මැවුන එකක් බවයි. ඒ නිසාම මම ලෝකප්රසිද්ධ දක්ශ වාග්වේදියෝ තුන්දෙනෙකුගෙන් නිදහස් අදහස් විමසීම් කලා…. තුන්දෙනාම මගේ නිගමනේ සම්පූර්නෙන්ම තහවුරු කරා…. දැන් මට තියෙන්නේ ඊ ලඟට කරන්නේ මොකද්ද කියලා තීරනේ කරන්නයි”
“මගෙ ඔලුව කැරකෙනවා කීත්…. මම කවදාවත් අහලා තියා හිතලාවත් නැති දේ තමා අද ඇහුනේ…”
“මටත් එහෙම තමා හිතුනේ ඉස් ඉස්සර වෙලා බැටළු වචන කීපයක් තේරෙනකොට… සන්තෝසේ වගේම බයක්! දැන් නම් මම හිත හදාගෙන ඉන්නේ මේ ගොවිපොලේ බැටළුවෝ කොටස් හතරකට උන්ම බෙදාගෙන ඉන්නවා කියලා”
“ගෝත්ර අතරේ මීට වඩා වෙනස්කම් ඇතිනේ…. මෙතන තියෙන්නේ භාශාවේ පොඩි වෙනස්කම් විතරයි”
“ඒක ඇත්ත. ඒ නිසා තමා මම මේ කොටස් හතර ගෝත්ර හැටියට නම්කරේ නැත්තේ. ඒ වෙනුවට මම වෙනස්කම් ආගම් හැටියට සැලකුවේ. ඒ කියන්නේ, ලැබෙන්නේ උපතින්, පොඩිකාලේ පටන් දෙමව්පියොත් කිට්ටුවන්තයොත් පොඩ්ඩන්ගෙ ආගමට ඇති සම්බංදේ තහවුරු කරනවා, ඒකේ කොටසක් හැටියට තමංගෙ ආගම අනික් ඒවට වැඩිය හොඳයි කියලා ඉගෙනගන්නවා, අංතිමට ඒ ආගම වෙනුවෙන් යුද්ද කරන්නත් කැමති වෙනවා! මේක හැම ආගමෙන්ම කරනවා!”
“ආගම් වලට නමුත් දුන්නද?” මම ඇහුවේ විහිලුවට වගේ.
“අලුත් නම් මොකටද? උතුර හින්දු, නැගෙනහිර මුස්ලිම්, දකුන බෞද්ධ, බටහිර ක්රිස්තියානි…. ටිකක් ලංකාව වගේ නේද?”
…………………………
මම කීත්ටත් නොකියා පහුවදා උදේ පිටත් උනා ආපහු ඩොල්බි එන්න. මයිකල් මාව ලෝන්ග්රීච් වලට ගෙනත් දැම්මේ කිසිම ප්රශ්නයක් නොඅසා. බස් එකේ ඩොල්බි ආ ගමන ගැන කිසි මතකයක් මට නෑ.ඩීප් ගලී අත් දැකීම් ගැන මම කිසි කෙනෙකුට කිව්වෙ නෑ. මේ කතාවත් ලිව්වේ කීත් ගොවිපොලේ අනතුරකින් මියගොස් අවුරුදු දෙකකට පසුවයි.