බුද්ධිමත් කොම්පියුටර්?

තරුණ කොල්ලෝ කෙල්ලෝ කීපදෙනෙක් කැන්ටිමේ කයිවාරුව. පේරාදෙනිය සරසවි කැන්ටිමට හැත්තෑව පැනපු මම එන්නේ උන්ගේ කතා අහගෙන ඉන්න මිස තේ බොන්න නෙවෙයි. මේ කට්ටියට තමා අනාගතේ අපෙ රට හදන්නත් මකන්නත් පුළුවන් වෙන්නේ. අපි වගේ නාකියෝ ඒ දවස්වල කරපු වැරදි හදන්න ඉන්න මේ අයගෙ කතා මම අහගෙන ඉන්නේ සන්තෝසෙන්.

“….. ආයුධයක්? උඹ කියන්නේ කොම්පියුටරෙත් මිටියක් වගේ ආයුධයක් කියලද?”

“යමක් කාර්යක්ශම ලෙස කරන්න උදව් වෙන හැම දෙයක්ම ආයුධයක් නෙවෙයිද? ප්ලග් එකක් ගහලා විදුලියෙන් දිව්වත් නැතත්?”

“සෙනේගෙ කතාව හරි - එලෙක්ට්රික් ඩ්රිල් එක ටූල් එකක් නම් කොම්පියුටරෙත් ටූල් එකක්”

“නෑ නෑ…. කොම්පියුටරේට ගොඩාක් දේ කරන්න පුළුවන්, අපි හරි උපදෙස් දුන්නොත්. ඩ්රිල් එකට පුළුවන් හිල් විදින්න විතරයි”

“වැඩ කීයක් කරන්න පුළුවන්ද කියන එක නෙවෙයි නේ ප්රශ්නේ. කොම්පියුටරේ කරන්නේ අපි උපදෙස් දෙන දේ විතරයි - ඩ්රිල් එක වගේම. අපි ඩ්රිල් එකට කියන්නෙ නෑ ඇන ගහන්න කියලා; කොම්පියුටරේට පොල් සම්බල් හදන්න කියන්නෙ නෑ වගේ. අපි දන්නවා එක එක ආයුධයේ සීමාකරය”

“අනේ අනිල් ……… ඕක දිනන්න බැරි විවාදයක් කියලා ඔයා දන්නවා. ඔයාගෙ කොම්පියුටරේ තනියම හිතලා යමක් කරන කල් ඒක ආයුධයක්! ඔයාට හිතන්න පුළුවන්ද මිනිස්සු නැතුව කොම්පියුටර් කරන්නේ මොනවද කියලා?”

ඒ සැරේ සද්දේ ටිකක් අඩුවුනා - විවාදේ අවසානේ නිසා නෙවෙයි; එක එකා තම තමංගෙ ඊලඟ තර්කය වචනෙට හරවන්න උත්සාහ කරන නිසා. නමුත් ඉස්සරවෙලාම ඉදිරියට ආ වචන බුද්ධියෙන් පෝෂනයවූ බවක් පෙන්වුවේ නෑ.

“මටනං මගෙ කොම්පියුටරේ මාර උදැල්ලක්!”

“උඹට ඕනැම තාක්ශනේකින් වල කපාගන්න පුළුවන් කියලා අපි දන්නවා!”

“නෑ බං. ඒක මට ඕන දේ නෙවෙයි කරන්නේ. මම ටෙලිපෝන් ගැන හොයනකොට මට පෙන්නන්නේ හෙලුවෙන් ඉන්න කෙල්ලෝ”

“චික්!”

“නෑ තිලකා - චමින්දට ඉංග්රීසි අමාරුව තියෙන්නේ; ස්පෙලිං හොඳ මදිකම!”

සේරම පොඩ්ඩක් හිනා වුනා.

“අඩේ මාත් හොයලා බලන්න ඕනෑ චමින්දයගෙ ටෙලිපෝන් ගැන!”

…………………….

“දැන් මෙහෙම හිතලා බැළුවොත් - ගානාවේ අගනුවර මොකද්ද කියලා නොදන්න කෙනෙක් ඒක හොයාගන්නේ කොහොමද? දන්න කෙනෙක්ගෙන් අහලා….නේද? ඔවු - ප්රශ්නෙට හරි උත්තරේ දන්න කෙනෙක්ගෙන් අහලා….. දැන් හිතලා බැළුවොත් එහෙම දන්න කෙනෙක් හොයාගන්නේ කොහොමද කියලා….. ඒක ටිකක් අමාරුයි. අපිට පුළුවන් ගොඩක් මිනිස්සු ගැවසෙන තැනකට ගිහින් හැමෝටම ඇහෙන්න ප්රශ්නෙ අහන්න - උත්තරේ දන්න කෙනෙක් ඉන්නවානම් අපෙ වැඩේ හරි. තව ක්රමයක් - අපි පත්තරේ දැන්වීමක් දානවා …..අ … ‘ගානවේ අගනුවර කිව්වොත් රුපියල් සීයක් දෙනවා’ කියලා …. මෙහෙම ක්රම ගොඩාක් අපිට හිතාගන්න පුළුවන්….. නමුත් ඊට වැඩිය ලේසියි, ලාබයි අන්තර්ජාලෙන් බලාගත්තොත්. විනාඩියයි - උත්තරේ අතේ….. එතකොට අපි කියන්නේ අපෙ කොම්පියුටරේට මොලේ තියෙනවා කියලද?”

“සෙනේ…. උඹට ‘මොලේ’ කියන වචනෙ තේරුම් ගන්න මොලේ මදි ………… උඹට මං මේ දැන් කියපු එකත් තේරෙන්නෙ නෑ, මොලේ මදි නිසා….. ඒකත්….. හරි හරී…. මම කියන්නේ දත්ත ගබඩාවකට මොලේ තියෙනවා කිව්වොත් අපෙ පුස්තකාලෙට එහෙනං කොච්චර මොලේ ඇතිද?”

“ගබඩාව විතරක් නෙවෙයි - අහන ප්රශ්නෙට හරි උත්තරේ ගබඩාවෙන් හොයලා දෙන්න පුළුවන්නම්?”

“පුස්තකාලේ වැඩට හුඟක් අය ඉන්නවනම්, ඒ වගේම, වැඩකරන අය තම තමාගෙ වැඩේට හුඟක් දක්ශනම් අපිට පුළුවන් දොර ලඟට ගිහින් ‘ගානවේ අගනුවර මොකද්ද?’ කියලා හයියෙන් අහන්න - එතකොට ඇතුලේ වැඩකරන කෙනෙක් දොර ලඟට ඇවිත් ‘ඇක්රා’ කියලා ආපහු ඇතුලට යයි…. ඉන්ටනෙට් වගේමයි! උත්තරේ දන්න මිනිහෙක් හම්බවුනා වගේමයි… නේද? ….. ඒකෙන් ඔප්පුවෙන එක දෙයක් - අපිට ප්රශ්නයක් නෑ මොන විදිහේ ගබඩාවකින් උත්තරේ එනවද කියලා. ඒකෙන් ඔප්පුවෙන අනික් දේ ඊටත් වඩා වැදගත් …. මම ගානාවෙ අගනුවර මොකද්ද කියලා දන්නවා!”

“හරි හරී…. පුස්තකාලෙට මොලේ නෑ….. උඹට තරම්….. “

“අනිල් මොකද කියන්නේ? ඔයානේ කිව්වේ කොම්පියුටරේ ආයුධයක් නෙවෙයි කියලා…. ඒ කියන්නේ පුශ්තකාලෙත් කොම්පියුටරේ ගණයට වැටෙනවද?”

“මාලට මං කිව්ව දේ හරියට තේරුනේ නෑ…. කොම්පියුටර් වලට පුළුවන් බොහොම දේ කරන්න - දැනට වුනත්. නමුත් දැනට කරන්න පුළුවන් දේ වලට වැඩිය හුඟාක් දේ අනාගතේට කරන්න පුළුවන් වෙනවා මට සැකයක් නෑ. පුස්තකාල වලටත් උදලු, මිටි වගේ ආයුධ වලටත් එහෙම බෑ - දැන් ඒවා හැකියාවේ සීමාවට ඇවිත් තියෙන්නේ”

“කොම්පියුටර් ඒවගෙ සීමාවට එන්නෙ නැද්ද? කවදාහරි?”

“අන්න නියම ප්රශ්නේ! අහලා තියෙනවද ‘මූඅර්ස් ලෝ’ කියලා එකක්? 1975 ගෝඩන් මූඅර් කියලා මිනිහෙක්, කොම්පියුටර් පොරක්, කිව්වා අවුරුද්දෙන් අවුරුද්දට කොම්පියුටර් බලය දෙගුන වෙනවා, මිල සීයට පනහකින් අඩු වෙනවා කියලා. 2015 වෙනකොට එහෙම වෙනස් එන්න අවුරුදු දෙක හමාරක් යනවලු. මොක වුනත් කොම්පියුටර් පටන්ගත්ත දවසේ ඉඳන් අද දක්වා වෙලා තියෙන වෙනස විශ්වාස කරන්න අමාරුයි. හැට ගනන්වල එයාකන්ඩිශන් කාමර දෙකක් පුරවලා තිබුන කෝටි ගනං වටිනා මහා මැශින් වලට වැඩිය බලය තියෙනවා මගෙ මේ ෆෝන් එකේ! බලය වැඩිවෙන්න වෙන්න ඒවගෙන් කළහැකි දේත් වෙනස්වුනා…. වෙනස් වෙමින් පතිනවා. ඒ වගේම ලෝකේ කොම්පියුටර්වල ගබඩා කරලා තියෙන දත්ත අංතර්ජාලෙන් සම්බන්ද වෙලා - හරියට මහා ‘ලෝක කොම්පියුටරයක්’ තියෙනවා වගේ….. එහෙම මැසිමක බලය කියලා නිම කරන්න බෑ!”

“උඹ කියන්නේ ‘ලෝක ආයුධයක්’ නේද?”

“ටිකක් ඉවසපන්! ලෝක මැසිමට - උඹ කැමතිනං ලෝක ආයුධයට - පුළුවන් වෙන වෙන තැන් වලින් දත්ත එකතුකරලා, එක එක දත්තයේ වටිනාකම තක්සේරු කරලා, අදාල දත්ත විතරක් එකතු කරලා, කලවම් කරලා, මිරිකලා, අඹරලා අළුත් දේ අපේ දැණුමට එක් කරන්න. ඒ කියන්නේ එහෙම ප්රෝසෙස් නොකර සොයාගන්න බැරි දේ දැන් සොයාගන්න පුළුවන්”

“ඔවු ඉතින් කවුරුහරි ඔයා ප්රෝසෙස් කරන විදිහ ආයුධයට කියලා දුන්නොත් - අඹරන්නේ මිරිකන්නේ කොහොමද, මොනවද කියලා මනුස්සයෙක් කිව්වොත් විතරයි ඔය සම්බලේ හැදෙන්නේ!”

“මෙහෙම හිතලා බලන්න මාලා - නුවර ඉඳන් කොළඹ යන්න දුර අපි දන්නවා. බස් එකක් යන වේගේ දන්නවනම් ලේසියෙන් ගමනට යන වෙලාව හදාගන්න පුළුවන්. ඉස්කෝලේ කරපු ගනිතය ඒකට ඇති…. නමුත් අපි දන්නවා හදාගත්ත වෙලාව වැරදෙන්න තව කොච්චර හේතු තියෙනවද කියලා - යන්නේ රෑ ද දවල් ද?, වාහනෙයි ඩ්රයිවරුයි කොච්චර හොඳද? අතරමග වාහන තදබදය, රිය අනතුරු, වැස්ස, පාර අලුත්වැඩියා වැඩ…. හේතු සීයයි. ඒවා සේරම නොදැන අපිට ගමනට යන වෙලාව හරියටම කියන්න බෑ. නමුත් දැන් ඉන්ටනෙට් ගිහින් ගූගල් මැප්ස් වලින් ඇහුවොත් කියනවා උත්තරේ ටක් ගාලා - හැබැයි උන් බලන්නේ දුරයි, වාහන තදබදයයි විතරයි, මං දන්න තරමින්. අනික් වේරියබල්සුත් සොයාගන්න පුළුවන් කොම්පියුටරේකට නිවැරදි උත්තරයක් දෙන්න අමාරු නෑ…. ඒක මැජික් වගේ - මිනිහෙකුට කරන්න හොඳටම අමාරු දෙයක් තප්පර කීපෙකින් කරලා දෙනවා…. ඒකටවත් උඹ ‘මොලේ’ කියලා කියනවද?”

“මචං මිනිහෙක් දීපු නීති පිලිපදින මැසිමකට තියෙන්නේ මහා මෝඩ මොලයක්, අපෙ කාලගුණ වාර්තා වගේ දත්ත විශ්වාස කරනවානම්!”

“ඇත්ත …. හැබැයි අනිල්ගෙ මැසිම ගැන ටිකක් හිතලා බලන්න වටිනවා නේද? ඊට ඉස්සර අපි දැනගන්න ඕන තව දෙයක් තියෙනවා - අපි ‘මොලය’ කියන වචනේ තේරුම් කරගන්න ඕනෑ. මොලේ කියන්නේ සතෙකුගේ ඔළුකට්ට ඇතුලේ තියෙන …. කැඳහැළියද, නැතිනම් ක්රියාකාරිත්වයෙන් මායිම් නියම කරන වස්තුවක්ද? මේක පැහැදිලි නැත්නම් විවාද වලින් වැඩක් නෑ!”

“මනෝ හරි! මං හිතන්නේ ඒකට අනිල් උත්තර දෙන්න ඕන. අනිල්නේ කියන්නේ කොම්පියුටරයක් ආයුධයක් නෙවෙයි කියලා!

සේරම අනිල් කියන කොල්ලා දිහා බැලුවේ පූසෙක් ගහක් උඩට කොටුකරගත් බලු රැලක් වගේ. නමුත් මේ පූසා වටපිට බැලුවේ තමාගේ ස්ථාවරය ගැන සම්පූර්න විශ්වාසය ඇත්තෙකු ලෙසයි.

“අඩු ගානේ තේ එකක් වත් අරගෙන දීපල්ලකෝ උඹලව දැනුවත් කරනවට!”

අනිල් කතාකරේ අභියෝගය ඉදිරිපත් කළ මාලා දිහා කෙලින්ම බලා ගෙනයි.

“1950 ඇලන් ටියුරිං කියලා මිනිහෙක් ඔය ප්රශ්නෙට උත්තරයක් දුන්නා. හිතාගන්න ඔයා ලැප්ටොප් කීබෝඩ් එකක් පාවිච්චි කරලා අදහස් හුවමාරු කරගන්නවා තමාට නොපෙනෙන තව කෙනෙක් එක්ක කියලා…….. ඔයාට ඕනම ප්රශ්නයක් අහන්න පුළුවන් - හැම ප්රශ්නෙටම උත්තර ලැබෙනවා ………… උත්තර හරිද වැරදිද කියන එක වැදගත් නෑ මෙතෙන්ට - වැදගත් වෙන්නේ, ඒ උත්තර සපයන්නේ තවත් මනුස්සයෙක්ද නැතිනම් මැසිමක්ද කියලා ඔයාට හඳුනාගන්න පුළුවන්ද කියන එකයි. ස්ථිරව වෙනස් කරලා හඳුනාගන්න බැරි විදිහට උත්තර දෙන මැසිමකට යම්කිසි ‘බුද්ධිමත්’ ගතියක් තියෙනවා කියලා පිලිගන්න වෙනවා නේද?”

විනාඩියක නිශ්ෂබ්ද තාවයක්. කොල්ලෝ කෙල්ලො හිතනවා වගේ මේ විභාගය ගැන.

“මට ඒ ටෙස්ට් එක අල්ලන්නෙ නෑ - මං හිතන්නේ ඒක ඩිසයින් කරලා තියෙන්නේ කොම්පියුටර් වලට ඉන්ටෙලිජන්ස් තියෙනවා කියලා ඔප්පුකරන්න මිස ඇත්තටම තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න නෙවෙයි”

“ඒක මං පිලිගනවා - සෑහෙන තරමකට. නමුත් මේක 1950 වැඩක් - ඒ කාලේ කොම්පියුටර් කිව්වේ මොනවටද? ඒවා ගැන මොනවද මිනිස්සු දැනගෙන හිටියේ? එහෙම තත්වෙක ඉඳලත් ඒ විදිහට හිතන්න පුළුවන් මිනිහෙකුගෙ අදහස් නිකම්ම අමතක කරන්න බෑ…. ඔය ටියුරිං ටෙස්ට් එකේ හොඳ/නරක ගැන හුඟක් ලියවිලා තියෙනවා. නමුත් මම තාමත් හිතන්නේ, අපිට කියන්න බැරිනම් අපි කොමියුනිකේට් කරන්නේ මැසිමක් එක්ක කියලා, ඒ මැසිම සෑහෙන්න හපන් මැසිමක්!”

“හපන් වුනත් ජපන් වුනත්, මාලත් එක්ක කයිවාරු ගැහුවත් මැසිම මැසිමමයි - කවදාවත් පොල් සම්බල් හදන්න බෑ!”

“මොකද්ද උඹෙ ඔය පොල් සම්බල් ටෙස්ට් එක? මෙතනම කී දෙනෙක් ෆේල් වෙයිද ඒ ටෙස්ට් එකෙන්? ඒ කියන්නේ අපිට මොලේ නැද්ද?...හෝව්….හෝව්! ඒකට උත්තර දෙන්න එපා!.... මැසිමකට පුළුවන් නම් අතීතේ කරපු වැරදි වලින් ඉගෙන ගෙන අනාගතේ ඒ වැරදි නොකරන්න….. (ඒක මිනිස්සුන්ටත් අමාරු දෙයක්!)…. ආයෙ අවශ්ය දත්ත එකතුකරගන ප්රශ්න වලට උචිත විසඳුම් සොයාගන්න…. ඊට වැඩිය මොනවද කරන්න ඕන ‘බුද්ධිමත්’ ලේබලේ ගහගන්න? හ්ම්? ඒක අපිටත් අමාරුයි නේද?”

“උඹ කියපන් එහෙනං 1950 ඉඳන් වැඩ කරලා තවම මොලේ තියෙන මැසින් හදලා තියෙනවද කියලා!”

“මාර ප්රශ්නේ! …. උඹ හිතන විදිහට නෙවෙයි මාර - මම ඒකට උත්තරේ දන්න නිසා මාර! …. උඹ දන්නවද දැන් චෙස් ක්රීඩාවේ ලෝක සූරයන්ටවත් බෑ චෙස් කොම්පියුටර් පරද්දන්න? ඩ්රයිවර්ලා නැති කාර් පාරේ යන්න දැනටත් ටෙස්ට් කරලා තියෙන්නේ, ලොකු නගර වල ගමනාගමනය පාලනය වෙන්නේ මැසින් වලින් - මිනිස්සුන්ට බෑ, ලෝකේ බඩු පරිවාහනයත් එහෙමයි, රෝබොට්ලා ඉන්නේ බයිස්කෝප් වල විතරක් නෙවෙයි, ආංඩු, බැංකු, ලොකු කොම්පැනි එහෙම මුදල් පාලනය කරන්නෙත් මැසින් වලින්…. තව ඕනද? … හැඳුනුම්පත්, ගමන් බලපත්ර, සෞඛ්යය වාර්තා වගේ දේ කාර්යක්ෂම විදිහට වැඩ කරන්නේ කොම්පියුටර් වලින් මිස අනික් ආයුධ වලින් නෙවෙයි!”

මේ දේශනාවට පස්සේ විනාඩියක විරාමයක්. කෝප්ප පීරිස සද්දෙයි කඩදාසි එහෙ මෙහෙ කරන සද්දෙයි විතරයි.

“උඹ අද ආවේ මේ විවාදේ දිනනවාමයි කියලා හොඳට ලෑස්ති වෙලා නේද?”

“ඔවු බං…. හෙට මට සෙමිනා එකක් තියෙනවා!”

ආයෙත් පොඩි විරාමයක්. මේ සැරේ මොල වැඩකරන සද්දෙත් ඇහෙනවා කියලා මට හිතුනා.

“….. කොම්පියුටර් ඔය තරම් දේ පාලනය කරනවනම් …… මොලෙත් තියෙනවනම් …. මොකද උන්ට හිතුනොත් මිනිස් ජාතිය මහ තුවාලයක් …. සහමුලින්ම වනසලා දාමු කියලා? ……………… කොම්පියුටර් වලට එහෙම කරන්න පුළුවන් වෙයිද?”

“බැරිවෙන්න හේතුවක් නෑ. න්යෂ්ටික අවි පාලනය කරන්නෙත් උන්, කොමියුනිකේශන් කරන්නෙත් උන්, ජලය, විදුලිය, ඉන්ධන සැපයුම…. හැම බම්බුවක්ම කොම්පියුටර් තමා කරන්නේ!”

“අපිට තියෙන්නේ ප්ලග් එක ගලවන්න විතරයි හැබැයි!”

“කියන තරම් ලේසි නෑ, ඒක - එක කොම්පියුටර් එකක් නෙවෙයි නේ. අනික්, මොලේ තියෙන සිස්ටම් එකක් ඒවා කවර් කරලා ඇති දැනටමත්. ඒ කියන්නේ, ප්රමාණාධිකතාව හරහා හැම දේම කොපි කරලා ඇති සිස්ටම් ගනනාවකට - එකක් දෙකක් ප්ලග් ගලවලා විනාශ කරන්න බැරිවෙන්න! තව එකක් - සමහරවිට ප්ලග් ගැලෙව්වට නොනවතින්න වෙන විදුලිබල මාර්ග උන්ම හදාගෙන ඇති!”

ටිකක් දිග නිශබ්ද්තාවයක්.

“උඹ කියන්නේ අපිට කෙලවෙලා ඉවරද? …. ලඟදී ඇහෙයිද හැම රේඩියෝ එකෙයි, ටීවී එකෙයි, ඉන්ටනෙට් එකෙයි ‘හඃ! හඃ! හා! මිනිස් ජාතිය -වහාම දන ගහපියව්!’ කියලා?”

අනිල් මේකට උත්තර දුන්නේ ඉතාම සන්සුන් ලෙසින්.

“මං හිතන්නේ ඒ තරම් බලය තියෙන කෙනෙක් එම් ජී ආර් බයිස්කෝප්වල කෑගැහුවා වගේ කතා කරන එකක් නෑ….. මං හිතන්නේ සද්ද නැතුව කොම්පියුටර් විද්යාවට දක්ශ අය එකතුකරලා, හොඳට පඩි ගෙවලා, ඒ අය ලවා කොම්පියුටර් වලට ඕන දේ සේරම කරවා ගනියි…. සමහරවිට කැලිෆෝනියාවේ සිලිකන් වැලී වගේ තැනක වැඩ පටන් ගනී”