භයානක දත්ත
මගෙ නම කුලසේකර. අජිත් කුලසේකර. මම පලපුරුදු මාද්‍යවේදියෙක්. මම සාමාන්‍යයෙන් ලියන්නේ පත්තර වලට. මගේ පලවෙනියෙන්ම ලිවූ වැදගත් දේ තමා මහාචාර්‍ය වීරසිංහගේ ‘සිත් කන්නාඩි’ ගැන විශේෂාංගය. මම ඒ පත්තරේට තවත් ඉඳ හිට ලිව්වට දැන් මම වැඩිපුරම ලියන්නේ අංතර්ජාලෙට. ඒකට හේතුව, පත්තරේ වගේ නෙවෙයි මට අංතර්ජාලෙට ඔනෑම තැනක ඉඳන්, ඔනෑම වෙලාවක ලියන්න පුලුවන්වීම. අපෙ ගමේ ඇමති කෙනෙක් ගැන ලියලා බොහොම කරදරවලට මුහුන දෙන්න සිදුවූ නිසා අපි දැන් ඉන්නේ පොලොන්නරුවේ; ලියන්නේ ව්‍යාජ නමක් පාවිච්චි කරලා.
මගේ ‘සිත් කන්නාඩි’ වාර්තාවට පස්සේ මහාචාර්‍ය වීරසිංහයි මහාචාර්‍ය ප්‍රනාන්දුයි දෙන්නම රහස් පොලිසියට බැඳුනා. ඊට පස්සේ ඒ අය ගැන කිසිම ආරංචිය නෑ. ඒ නිසා තමා මම සෑහෙන්න පුදුම උනේ මහාචාර්‍ය වීරසිංහගෙන් ටෙලිෆෝන් ඇමතුමක් ලැබීම ගැන.
“මේ මිස්ටර් අජිත් කුලසේකරද?” මට නොපුරුදු ගැහැනු කට හඬක්.
“කවුද මේ කතාකරන්නේ?” මම පොලොන්නරුවේ ඉන්න බව දන්නේ පවුලේ අය ඇරුනාම කිට්ටුම යාළුවෝ දෙතුන්දෙනෙක් විතරයි. ඒක වෙනස් කරන්න මගෙ කිසීම අදහසක් නෑ - ඒක වෙනස් කරන එක භයානක වෙන්නත් ඉඩ තියෙනවා.
“මම ඉන්ද්‍රානී වීරසිංහ. මීට අවුරුදු ගානකට ඉස්සර මගේ දේශනේකට ඇවිත් මගෙන් ප්‍රශ්නෙකුත් අහලා පත්තරේට විශේෂාංගෙකුත් ලියපු අජිත් කුලසේකරද මේ?”
“කොහොමද මේ නොම්බරේ හොයාගත්තේ?” දැන් නම් එයාගෙ කට හඬ මට යාන්තම් මතකයි වගේ. මේ මහාචාර්‍ය වීරසිංහ වෙන්න ඇති. ඒත් කොහෙන්ද නොම්බරේ හොයාගත්තේ? ඒ මොකටද?
“මිස්ටර් කුලසේකර දන්නවා මම රහස් පොලිසියට බැඳුන බව. රහස් පොලිසියට ටෙලිෆෝන් නොම්බරයක් හොයා ගන්න එක ඒතරම් අමාරු වැඩක් නෙවෙයි”
“මම මොකද්ද කරලා තියෙන වැරැද්ද?” මට හිතුනේ පොලොන්නරුවෙමුත් පැනලා වෙන කොහෙවත් යන්න වෙයිද කියලා.
“මිස්ටර් කුලසේකර වැරැද්දක් කරලා තියෙනවානම් සොයාගෙන එන්නේ පොලිසියෙන්. මගෙ රස්සාවට ඒවා අයිති නෑ….මට මිස්ටර් කුලසේකර මුනගැහෙන්න ඕනෑ මාද්‍යවේදියෙක් හැටියට - වැදගත් දෙයක් ගැන කතා කරගන්න. මට බෑ ඔබතුමා මේකට බලෙන් ඇදලා ගන්න - මම එහෙම වැඩ කරන්නෙ නෑ. මට පඩි ගෙවන්නේ රහස් පොලිසියෙන් උනත් මම තවම විද්යාඥයෙක්, පොලිස් කාරියක් නෙවෙයි…මම කරන්නේ ඉල්ලීමක්….”
“මේක ‘හිත් කන්නාඩි’ වලට සම්බංදද?”
“කෙලින්ම… මිස්ටර් කුලසේකර පත්තරේටයි ඉන්ටනෙට් එකටයි ලියපු වෙන දේ ගැන නෙවෙයි” මට එයාගෙ කට හඬේ හිනාවක් ඇහෙනවා.
“මම ලියපු දේ කියවලා තියෙනවද?”
“හුඟක් හරිය…. මංත්‍රී ලාල් ජයතිස්ස කතාව බොහොම වටිනා එකක් - මේවගේ ප්‍රවුර්ති ගැන අලුත් විදිහට හිතන්න හැකි නිසා තමයි මම මිස්ටර් කුලසේකරට කතා කලේ”
මගෙ වැඩ ගැන වර්නනාවෙන් වැඩුන ආඩම්බරේ නිසාද කොහෙද මම මහාචාර්‍ය වීරසිංහ හමුවෙන්න කැමති උනා. එදා පොලොන්නරුව තානායම්ට මම ගියේ පවුලට යන තැනත් තානයමේ ටෙලිෆෝන් නොම්බරෙත් දීලා - මගෙ ජංගම දුරකතනය වගේ නෙවෙයි තානායමේ දුරකතනයෙන් එතන වැඩකරන අයගෙන් අහගන්න පුලුවන් මම ඉන්නවද, කවුරු එක්කද ඉන්නේ වගේ දේවල් කෙලින්ම මට කතා නොකර.
මහාචාර්‍ය වීරසිංහ පරාක්‍රම සමූද්‍රේ දිහා බලාගෙන තේ බොනවා. පොඩි වට මේසේ උඩ තව කෝප්පයක් තිබුනට වෙන කෙනෙක් පේන්න නෑ. එදා දේශනට ඇඳසිටි සාරිය වෙනුවට චාම් විදිහට දිග කලිසමක් කමිසයක් ඇඳගෙන හිටියේ නිවාඩු සුවෙන් ඉන්නවා වගේ.
“වාඩිවෙන්න මිස්ටර් කුලසේකර. තේ එකක්?” දෙවෙනි කෝප්පේ මටයි ගෙනත් තියෙන්නේ. මගෙ කෝප්පෙට තේ දමා එයා එයාගෙ කෝප්පෙටත් තව තේ ටිකක් දා ගත්තා”
“මේ තේ එක බොහොම හොඳයි. අද උදේ කුරුනෑගලින් බිව්ව එක වගේ නෙවෙයි” මම සද්ද නැතුව හිටියා. මට තේරෙනවා මහාචාර්‍ය තුමිය කතාව පටන්ගන්න හොඳ හැටියක් හොයනවා කියලා.
“මොකද්ද මිසිස් වීරසිංහ කියපු වැදගත් වැඩේ?”
“මම හරි මිනිහා තෝරගත්තේ…අනං මනං නෑ, කෙලින්ම වැඩේට….” ටිකක් වෙලා වතුර දිහා බලාගෙන හිටියා. කතාව පටන් ගත්තේ ගැඹුරු හඬකින්.
“මිස්ටර් කුලසේකරට මතක ඇති ‘සිත් කන්නාඩි’ දේශනේ. එතනදී අපි බැලුවේ ඇසෙන් පෙනෙන දේ මොලේ ගබඩා කර ඇති දත්ත මගින් වර්දනය කරන්න. මට මතක හැටියට මම උදාහරනේකට ගත්තේ කුහක කෙනෙක් පාරෙ දැක්කොත් ඔහුගේ කුහකකම සංකේතයක් හැටියට අපේ ඇහට පෙන්වන්න හැකියි මේ කන්නාඩිය හරහා. අපි කුහකයයි සිතන කෙනෙක් අපිට පෙනෙන්නේ සමහරවිට සතේ කාසියක පින්තූරෙයක් ඔලුව උඩින් ඇඳලා. ඔහුගේ දේශපාලන නැඹුරුව දන්නවනම් ඔහුගෙ ඔලුවට උඩින් උචිත ච්න්ද සලකුනක් පෙනෙන්නත් සලස්සන්න පුලුවන්. නමුත් ඒ මිනිසාගේ කුහක කම, දේශපාලන අදහස් අපි ඇදලා ගන්නේ අපෙ මොලේ ගබඩාවෙන්; ඒක ඇත්තද බොරුද වත් නොදැන. අපි අපෙ නෑදෑයෝ, යාලුවෝ, වැඩපොලේ සගයෝ වැනි අය පමනක් නොවෙයි, රටේ පාලකයෝ, ආරක්ශක හමුදා නිලදාරි, ආගමික නායකයෝ වගේම රටේ සාමාන්‍ය ජනතාවත් අපෙ හිතේ තියෙන දත්ත ගබඩාවෙන් ආලේප කරනවා; ඒගැන හිතන්නෙවත් නැතුව.…… දැන් මිස්ට කුලසේකර හිතලා බලන්න, කෙනෙක් ගැන පරිගනක යංත්‍රයක ගබඩා කරඇති දේ අපෙ සිත් කන්නාඩියට සම්බංධ කලොත් මොකද වෙන්නේ කියලා…..”
මෙහෙම කියලා එතුමී මගෙන් ඇස් දෙක අහකට නොගෙන තේ උගුරක් බිව්වා.
“අපෙ උප්පැන්න සහතික, හැඳුනුම්පත්, ගමන් බලපත්‍ර වලින් පටන්ගෙන අපෙ රස්සා, අයබදු, බැංකු ගිනුම්, ඉඩම් ඔප්පු, වෛද්‍ය සටහන් වගේ මෙකී නොකී සියලු දේම කොහෙ හරි ගබඩා වෙලා තියෙනවා. එන්න එන්න මේ ගබඩා අතර සන්නිවේදන වැඩි වෙනවා. විස්වාස කරන්න, මට මිස්ටර් කුලතිලක හොයාගන්න පුලුවන් උනේ මේ ගබඩා හරහා. දැනට ආංඩුවේ ඉතාම සුලු කොටසකට තමා මේ දත්ත එකතු කරන්න හැකියාව තියෙන්නේ.”
තවත් තේ උගුරක් කටට ගත් වීරසිංහ නෝනා වේටරයෙකුට අත වැනුවා, තව තේ පෝච්චියක් ගෙනෙන්න.
“ඊලඟට හිතලා බලන්න, තමාගේ හිතේ ගබඩාවෙලා තිබෙන හරි හෝ වැරදි හෝ දත්ත පාවිච්චි නොකර, ඒ වෙනුවට පරිගනක යංත්‍රයක, ඕන නම් මුලු අංතර්ජාලෙම, තිබෙන සත්ත්‍ය දත්ත කන්නාඩියට ඇද දුන්නොත් මොකද වෙන්නේ? එකක්, කන්නාඩියෙන් මීට පෙර කිසි දාක ගන්න බැරි දත්ත ප්‍රමානයක් කෙලින්ම ඇස් ඉදිරිපිට පෙනෙනවා. අනික, ඒ කන්නාඩියට එක එක පාවිච්චියට ගැලපෙන සම්මත වෙන වෙනම හදන්න ඕන වෙන්නෙත් නෑ, මගෙ පලවෙනි ඇස් කන්නාඩිය වගේ. ඒවා ‘ස්ටෑඬඩයිස්’ කරලා තියෙන්නේ. ඒ කියන්නේ, කන්නාඩිය පදිකවේදිකාවෙන් ගත්තත් මිස්ට කුලසේකර පාරේ යන වෙලාවක, ඒ කන්නාඩිය තියෙන මනුස්සයෙකුට පුලුවන්, අංතර්ජාලෙට සම්බන්ද උනොත්, දැනගන්න මිස්ට කුලසේකර කරන රස්සා, ඉන්න තැන, පවුලේ තොරතුරු, බැංකුවේ ගිනුම් සහ ඇති මුදල්….මේ ලයිස්තුවේ අගක් නෑ. ඉතිහාසේ නලලේ කොටාගෙන යනවා වගේ. පෞද්ගලික නිදහසක් ආයෙ ඉන්පස්සේ නෑ….මේ තත්වෙන් රට බේරගන්නයි මම මිස්ටර් කුලතිලකගෙ උදව්ව ඉල්ලන්නේ”
දැන් එතුමිට තේ බොන්න සිහියකුත් නෑ වගේ වැව දිහා බලාගෙන හිටියේ - හිතේ අදහස් එක පිලිවෙලකට සකස් කරගන්න වගේ.
“මේ කන්නාඩියෙන් මැරයෙකුට පුලුවන් පොලිස් කාරයෙක් දුටු ගමන්ම අඳුනා ගන්න. ඒ වගේම හොර බොරු වංචාවට ඇලවෙන ආංඩුවේ සේවකයෙක්, අමැති කෙනෙක් හෝ විනිසුරුවෙක් අඳුනාගැනීමත් දැනට වඩා පහසු වෙනවා. මේක අනික් අතටත් වැඩ කරනවා. පගා ගන්න ආංඩුවේ සේවකයෙකුට පගා දෙන මුදලාලී කෙනෙක් හොයාගන්න එකත් ලේසි වෙනවා. ඒ හොර මැරකම් අතින්. ඊටත් වඩා භයානක වෙන්නේ, ත්‍රස්තවාදීන්ට එකිනෙකා හඳුනාගන්නත්, නීතිගරුක ආරක්ශක නිලදාරීන් සහ නීති උල්ලංගනයට නැබුරු නිලදාරීන් වෙන්කොට හඳුනා ගන්නත් හැකි වීම…මේවා උදාහරන පමනයි. මීට වඩා භයානක ප්‍රතිපල මිස්ට කුලසේකරටත් හිතාගන්න එක අමාරු නෑ, මං හිතන්නේ”
මෙහෙම කියලා එතුමී පුටුවේ පිටිපස්සට දිගාවෙලා ඇස් වහගත්තා, හරියට ගඟකින් එගොඩට පීනලා ආයෙත් සාමාන්‍ය විදිහට හුස්ම ගන්න පටන්ගත්තා වගේ. මට හිතුනේ මේ වගෙ උගතෝ මොකද මගෙන් උදව් ඉල්ලන්නේ කියලා.
“ඇයි මම? ඔබ තුමීට බැරි දේ මම කොහොමද කරන්නේ? එතකොට රංජිත් ප්‍රනාන්දු?”
“රංජිත් ගිය මාසේ මලා - කාර් එකකට හැප්පිලා. තවම හරියට දන්නෙ නෑ ඒක අනතුරක්ද මිනී මැරුමක්ද කියලා. මගෙ ටෙලිෆෝන්, ඊමේල්, ලියුම් වගේ දේ දැන් ආරක්ෂා සහගතයි කියලා හිතන්න බෑ. මට තර්ජන ලියුම් කීපයක් ඇවිත් තියෙනවා - මට තව කොතෙක් කල් ජීවත් වෙන්න ඉඩ තියෙනවද කියලාවත් මම දන්නෙ නෑ….මට කිට්ටු පවුලක්, මගෙම ළමයි එහෙම නැති එක දැන් හිතෙන්නේ හොඳ දෙයක් කියලා” නෝනගෙ ඇහේ කඳුලු තිබුනද නැද්ද මට හරියට කියන්න බෑ.
“පුලුවන්නම් හාරලා බලන්න රංජිත්ගෙ මරනෙ ගැන. එතනින් සමහරවිට උත්තරයක් හම්බුවෙයි ….මම කැමතියි අජිත් මේක ගැන හොයලා බලනවානම්. රංජිත්, මම, වගේ අය නැති උනත් රටට මේ වගේ දෙයක් වෙන්න ඉඩ දෙන්න බෑ….ගෙදර අය; මට සමාවෙන්න, මම අජිත්ගෙ නෝනා ගැනත් හොයලා බැලුවා; ගෙදර අය ඇරුනුකොට මේක ගැන අජිත්ට කතා කරන්න පුලුවන් ළංකාවේ එකම එක්කෙනයි - රවී ලියනාරච්චි, පරිගණක යන්ත්‍ර කන්නාඩියට සම්බන්ධ කරන්න දන්න මිනිහා. වයස තිස් දෙකකට වැඩි නොවුනත් මම දන්න දක්ශම පරිගනක යන්ත්‍ර එලවන්නා. මේ කොලේ ලියලා තියෙනවා එයා මුනගැසෙන හැටි…. එයාගෙ පෙනුමෙන් එයාව මනින්න එපා”
“මට කියන්න තියෙන අංතිම දේ මේකයි. අජිත්ට පුලුවන් ඕනැම වෙලාවක මේ වැඩෙන් අයින් වෙන්න. රවීට කියන්න ආයෙ කරන්න බෑ කියලා; එයා මට කියයි. මොක උනත්, මම දැනටමත් අජිත්ගෙ බැංකුවට අවුරුදු දෙකක පඩි ගෙවලා තියෙනවා. වැඩේ මාසෙකින් ඉවර කරත්, දීපු සල්ලි අජිත්ගෙ……….මේක සල්ලි ගැන නෙවෙයි. අපේ රටත් වහල් ජාතියක් නොවෙන්න නම් අපි මේක කරන්න ඕනෑ….”
………………………
මම පවුලට කතාව කෙටියෙන් කිව්වා. වැඩේ බැරෑරුම්කම වගේම ලැබුන පඩිය ගැනත් අපි කතා උනා. මාද්‍යවේදියෙක් හැටියට ඇත්ත හාරා සොයාගන්න එක මම ඒතරම් අමාරු දෙයක් හැටියට දැක්කෙ නෑ. වැඩේ අවදානම් ගතියක් දුටුවොත් වහාම අයින් වෙන්න පුලුවන්වීම හිතට හයියක්. ඒ වගේම අපෙ ආර්ථිකේට නම් මේක බලාපොරොත්තු නොවුන ත්‍යාගයක් වගේ දැනුනේ.
මගෙ පත්තර හා අංතර්ජාල ලිවීම වලින් වැඩිය ආදායමක් නෑ. අපි ජීවිතේ ගැටගහගත්තේ පවුලගෙ සංගීත පංති වලින් ලබෙන ගානෙමුයි අයියගෙ වී මෝලේ වැඩකරලා ලැබෙන පඩියෙනුයි. ඉන්ද්‍රානී වීරසිංහ පොරොංදු උන ගාන මට අවුරුදු කීපෙකින්වත් අනික් ක්‍රම වලින් උපයාගන්න බෑ. එතුමී මා ගැන හොඳටම විශ්වාසයක් තියෙන්න ඇති මට කතා කරන්නත් ඉස්සර පඩි ගෙවන්න. අනික් අතට, රහස් පොලිසියේ කෙනෙකුට ඒ සල්ලි ආපහු ගන්නත් පුලුවන් ඇති.
අපි මේ දේ ගැන කතා කරලා ඉවර කලේ පහුවදා පාන්දරම රවී ලියනාරච්චි හමුවෙන්න කොළඹ යන්න පිටත් වෙන්න තීරනේ කරලා.
මම වැල්ලවත්තේ ලියනාරච්චිගෙ ගෙදර ලඟට එනකොට උදේ දහයට විතර ඇති. තාප්පෙට පිටිපස්සෙන් පෙනෙන ගෙදර විසාලයි. මම ගේට්ටුව ලඟ තනකොල ගලවමින් හිටිය මිනිහගෙන් ඇහුවා රවි ලියනාරච්චි මහත්තයා ගෙදර ඉන්නවද කියලා.
“පොඩ්ඩක් ඉන්න. කවුද කියලද කියන්නෙ?”
“අජිත් කුලසේකර කියලා කියන්න”
මිනිහා ගේ වටෙන් ඇතුලට ගිහින් විනාඩි දහයක් යනකම් කිසි කෙනෙක් එලියට ආවෙ නෑ. මම ඉස්සරහ සාලෙට ඇතුල්වෙන දොර ලඟ හිටියා.
“ඇවිත් වාඩිවෙන්න මිස්ට කුලසේකර” ගේට්ටුව ලඟ හිටපු මනුස්සයා තේ කෝප්ප දෙකකුත් විස්කෝතු කීපෙකුත් බංදේසියක තියාගෙන් සාලෙට ආවා. බංදේසිය පොඩි කනප්පුවක් උඩ තියලා තේ එකක් මගෙ අතට දීලා එයත් ලඟම පුටුවේ දිග ඇදිලා වාඩිඋනා. බලනකොට ගේට්ටුව ලඟ වැඩකරමින් හිටියේ ලියනාරච්චි!”
“මට සමාවෙන්න මිස්ට ලියනාරච්චි - මම හිතුවේ මේ වැඩට ඉන්න කෙනෙක් කියලා”
එයා හිනා උනා.
“අඳුනන්නේ නැති මිනිස්සු මේ ගෙදරට එනවට මම කැමති නෑ. එහෙම කෙනෙක් ආවොත් මට පුලුවන් ‘මහත්තයා ගෙදර නෑ - ආපහු එන දවසක් කිව්වෙ නෑ’ කියලා මිනිහට කතා නොකර ඉන්න. මිසිස් වීරසිංහ මට කිව්වා පොලොන්නරුවේ කතා කරපු දේ. හැබැයි මිස්ට කුලසේකර අදම එයි කියලා හිතුවෙ නෑ. ඒකයි ලේසියෙන් අඳුනගන්න පිංතූරෙයක් වත් හොයලා බැලුවෙ නැත්තේ තවම….මමයි සමාව ඉල්ලන්න ඕනෑ…”
“මම තවම දන්නෙ නෑ මට මෙතන මොකද කරන්න පුලුවන් කියලා. මට විද්‍යාව තේරෙන්නෙත් නෑ, පරිගනක තේරෙන්නෙත් නෑ. මම පත්තරේට එක එක දේ ලියන මනුස්සයෙක් - යුද්ද කරන කෙනෙක් නෙවෙයි”
“මේකේ විද්‍යාව කරලා ඉවරයි, පරිගනක කෑල්ල මටත් කරන්න පුලුවන්. අපිට තියෙන ලොකුම දේ පරිගනකෙට වැටී නැති දේ සොයාගන්න. ‘රංජිත් ප්‍රනාංදුගෙ යාළුවෝ, තරහ කාරයෝ කවුද? ඇක්සිඩන්ට් දවසේ කීයටද ගෙදරින් පිටත් උනේ?’, ‘ලෙඩක් ඇඟට අමාරුවක් ගැන දන්නවද?’ මෙන්න මේ වගේ දේ මිස්ට කුලසේකරට හොයාගන්න ලේසියි….මට ‘රවී’ කියල කතා කරන්න, මම ‘අජිත්’ කියන්නද ‘මිස්ට කුලසේකර’ කියන්නද?”
“අජිත්….මට ප්‍රනාංදු පවුල ගැන දැනට තියෙන දේ දෙන්න….අද රෑ ඒවා බලලා හෙට වැඩ පටංගන්නවා”
“ඇයි අජිත් මාත් එක්ක මෙහෙ නවතින්නෙ නැත්තේ හෝටල් ගානේ රස්තියාදු නොවී? එතකොට අපෙ වැඩටත් ලේසියි. ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා - ඉන්නේ මං විතරයි”
මම හිතාගෙන හිටියේ නවතින්න පිටකොටුවේ පොඩි හෝටලේක කාමරයක් ගන්න. නමුත් දවස් කීයක් මෙහෙ ඉන්නවෙයිද නොදන්න නිසාත් රවී පෙන්වාදුන් හේතු නිසාත් මම එයාගෙ ආරාදනාව සන්තෝසෙන් පිලිගත්තා.
……………..
මම පලමුවෙන්ම තීරනයක් ගත්තා පොලිසියෙන් ප්‍රශ්න නොඅසා ඉන්න. පොලිසියේ නිලදාරි සමග කරන සාකච්චා, අඩුම ගනනේ සාකච්චාවක් තිබුන බවත් එහි සහභාගිත්වයත් වෙලාවත්, යම්කිසි තැනක ගබඩා වෙනවා. මේ දත්ත අනිවාර්යෙන්ම පරිගනක යන්ත්‍රයක සටහන් වෙනවා, යම් දිනක. එතැනින් පස්සේ ඒක ලොව පුරා යන්න හැකි බව මට තේරෙනවා. ඒ වගේම, ටෙලිෆෝන් පනිවිඩ, ඊමේල් වගේ මාද්‍ය දැනටමත් කෙලින්ම ලබා ගන්න පුලුවන් සුදුසු බලධාරීන්ට. මේවා ඕනෑම කෙනෙකුට අංතර්ජාලය හරහා ලබාගැනීම ඒතරම් අමාරු නෑ, රවී කියන විදිහට.
මේ අනුව පොලිසිය, ඉස්පිරිතාලය වගේ තැන් වලින් යමක් අසාගන්න වෙන්නේ යාලුවෝ මගින්, ඒ අය වැඩ කරන තැනට පිටදී හමුවීමෙන්. මගෙ දැනට තියෙන ටෙලිෆෝන් නොම්බරේ හා ඊමේල් ඇඩ්‍රසේ පාවිච්චිය සම්පූර්නෙන්ම නවත්තන්න මට සිද්ද උනා.
මම රංජිත් ප්‍රනාංදුගෙ නෝනට කතා කලේ එයා උගන්වන ඉස්කෝලේ ගුරුවර කාමරේ ලඟ කුඩා සමිති කාමරේකදියි. රවී දීපු තොරතුරු වලින් මම නීතා ප්‍රනාංදු මැතිනිය ගැන හුඟක් දේ හොයා ගත්තා මේ හමුවීමට ඉස්සර. මට එතුමී හමුවෙන්න හැකි උනේ මුල්ගුරුතුමාට රංජිත් ප්‍රනාංදුගෙ අභාවය ඊයේ ආරංචි වූබවත්, වහාම කොළඹ ආවේ ඒ මැතිනියට ශෝකය ප්‍රකාශ කිරීමටත්, එතුමා ගැන ලියන විශේෂාංගයකට තොරතුරු එක්රැස් කිරීමටත් කියලා කිව්වට පස්සේ.
බොරුවක් වැඩි කාලයක් පවත්වාගෙන යන්න බැරි බව දන්න නිසා මුල්ගුරුතුමාට කිවූ බොරුව මම ප්‍රනාංදු මැතිනියට කිව්වා.
“මිසිස් ප්‍රනාංදු මට සමාවෙන්න බොරු කියලා මේ මීටිම දාගත්තට. මේවගේ හිත්වේදනාවෙන් ඉන්න කෙනෙකුට කරදර කරන්න මම කැමති නෑ ඒක අත්‍යාවශ්‍ය නැතිනම්. මට ලැබෙන ආරංචි අනුව මෙතනදී අපි, ඒ කියන්නේ මමයි තව කීපදෙනෙකුයි, යමක් නොකෙරුවොත් ඒක මුලු රටටම භයානක වෙන්න පුලුවන්…ඒක ගැන මට වැඩිය කියන්න බෑ. නමුත් ඒක මහාචාර්‍ය ප්‍රනාන්දුගෙ රස්සාවට කිට්ටුවෙන්ම සම්බංදයි….”
“ඔය කියන්නේ කන්නාඩියක් ගැනද? මට ඉන්ද්‍රානී කියලා තියෙනවා…මට එයා කිව්වා සමහරවිට කුලතිලක කියලා කෙනෙක් එයි කියලා රංජිත් ගැන අහන්න…?”
“මගෙ නම අජිත් කුලසේකර…කවද්ද වීරසිංහ නෝනා කතා කලේ?”
“අද උදේ…” නෝනට පොඩි හිනහවක් ආවා. “මට කිව්වා අජිත් කරන දේ ගැන…රංජිත්ට මොකද උනේ කියලා සොයාගන්න උදව්වෙයි කියලා හිතන ඕනෑම දෙයක් අහන්න…”
“මුල්ගුරුතුමා ඇහුවොත් මං ගැන?”
“මට පුලුවන් අපි සාකච්චාවට පස්සේ එකඟඋනා කියලා අවුරුද්දක් යනකම් කිසි දෙයක් නොලියා ඉන්න කියලා”
…….
එදා හවස මම දැනට ඉගෙන ගත්ත දේ පිලිවෙලකට සටහන් කරන්න හිතුවා.
“රවී මට පුලුවන්ද මේ කොම්පියුටරයක් පාවිච්චි කරන්න? මම දැනට එකතුකරලා තියෙන අදහසුත් පස්සේ සොයාගන්න ඒවත් කොම්පියුටරේට දාගත්තොත් මට ලේසියි”
“ඒවගෙන් මෙහෙ අඩුවක් නෑ…`අර ඩෙස්ක්ටොප් එක ප්‍රින්ටර් එකටත් හයි කරලා තියෙන්නේ. ඒක මම පාවිච්චි කරන්නෙම නෑ”
මම මගේ අදහස් ලයිස්තුවක් හැටියට සටහන් කරන්න පටන්ගත්තා.
රංජිත් එයාගෙ වැඩගැන ගෙදරදී කතා කලේ නෑ. රහස් පොලිසියට බැඳෙන්න ඉස්සරත් එහෙමයි. රස්සාවෙන් හොඳ තෘප්තියක් ලබනවා - කරදර නැති පාටයි. ගෙදර ආවාම ගේ පිටිපස එලවලු පාත්තියේ වැඩ කලා මිසක් රස්සාවේ වැඩ කෙරුවෙ නෑ.
ගෙදර අංතර්ජාල සම්භන්දයක් හෝ පරිගනක යන්ත්‍රයක් නෑ. ටීවී වලට වැඩිය රේඩියෝ එකෙන් තොරතුරු ලබා ගත්තේ.
අනතුර දවසේ එයාගෙ හැසිරීම (කතාව, මල්ලේ දැමූ දේ, පිටත්වූ වෙලාව….) අනික් දවස් වගේමයි.
දරුවෝ දෙන්නම පිට රට; අව්වුරුදු දෙකකට ළංකාවට ඇවිත් නෑ. දෙමව්පියෝ අවුරුද්දකට සැරයක් දරුවෝ බලන්න යනවා. තව ටික කාලෙකින් නීතත් ස්තිර පදිංචියට රට යන්නයි ඉන්නේ.
රංජිත් කන්නාඩි දැම්මට ලඟදී අලුත් කන්නාඩි කුට්ටමක් ගත්තෙ නෑ (ගනකම ඇති හෝ නැති රාමු සමග)
රංජිත්-නීතා ජෝඩුව සංතෝසෙන් හිටි බවයි පෙනෙන්නේ. ඉඳ හිට චිත්‍රපටියක්, නාට්‍යක් නැරඹීම ඇරුනුකොට සම වයසේ තව මිත්‍ර ජෝඩු දෙකක් සමග තම තමාගේ ගෙවල්වල රෑ කෑම ගැනීම තමා සමාන්‍ය සිරිත් වශයෙන් කෙරුනේ.
පසුගිය මාස කීපේදී රංජිත් කීප වරක් රෑකෑමට යාලුවෝ සමග රිවර්සයිඩ් හෝටලේට ගිහින් තියෙනවා නීතා නැතුව. මේක සාමාන්යෙන් සිදුවුන දෙයක් නොවෙයි…..යාලුවෝ කවුද, කීදෙනෙක්ද වගේ දේ නීතා දන්නෙ නෑ. නමුත් මේක අඟහරුවාදා දවස්වල තමා බොහෝවිට උනේ. නීතා ඒක ගැන ඇහුවෙත් නෑ; රංජිත් මොකවත් කිව්වෙත් නෑ.
නීතා නොඅඳුනන කිසි කෙනෙක් මරනෙන් පස්සේ නීතට හමුවෙලා (හෝ ටෙලිෆෝනයෙන්) කතා කරලා නෑ.
මේ වට්ටෝරුවේ හත් වෙනි එක අනික් ඒවට වැඩිය වෙනස්; සමාන්‍ය දින චරියාවේ වෙනසක් පෙන්නුවේ ඒක විතරයි. මම වහාම ඒක යටින් ඉරක් ඇන්දා. මට හිතුන විදිහට, වඩාම වැදගත් වෙන්නේ රිවර්සයිඩ් හෝටලේ වෙන්න ඇත්තේ මොකද්ද කියලා සොයාගන්න එක. මම රවිත් එක්ක අඟහරුවාදා රෑ ඒ හෝටලේට ගියේ ප්‍රශ්නට උත්තර නැති උනත් අඩුගානේ හොඳ කෑම වේලක්වත් හම්බුවෙයි නේද කියලා.
…….
“රවී මේ හෝටලේ සම්මන්ත්‍රන කාමර එහෙම තියෙනවද?”
“මං හිතන්නෑ දෙකක් තුනක් තියෙනවා, පොඩි ඒවා. ඕනෑනම් වේටර් ගෙන් අහගන්න පුලුවන්”
“දැම්ම එපා….ඉස්සරවෙලා හිතලා බලමු අපිට මොනවද සොයාගන්න ඕනෑ කියලා…මට දැනගන්න ඕනෑ රංජිත් කවුද මෙතෙන්දී හමු උනේ කියලා…”
“ඊට ඉස්සර අපි දැනගන්න ඕනෑ ඇත්තටම මිනිහා මෙහෙ ආවද කියලා…ගෑනිට බොරු කිව්වද කවුද දන්නේ?”
“…හරි…රංජිත් මෙහෙ ආවද…හම්බුනේ කවුද…තව මොනවත් තියෙනවද? සමහරවිට රංජිත් මලාට ඉස්සරයි පස්සෙයි මීටිම වෙනස් උනාද කියලා….?”
“ඒක හොදයි…තවම ඒ මීටිම තියෙනවද කියලත් දැනගන්න ඕනෑ. තියෙනවානම් අපි හොයලා බලන්න ඕනෑ එන මිනිස්සු ගැන…”
කෑම රසට තිබුනත් අපි දෙන්නටම කෑමට ඒතරම් පිරියක් නෑ වගේ. ඒ නිසාද කොහෙද අපි බීර අතෑරලා අරක්කු බොන්න පටන්ගත්ත්තේ. රවී වේටර්ට කතා කරලා තවා බීම වීදුරු දෙකක් ගෙන්නා ගත්තා.
“අද වසීර් මහත්තයා වැඩද?” රවී බීම ගෙනා වේටර්ගෙන් ඇහුවා.
“දැන් කන්තෝරුවේ හිටියා සර්”
“අජිත් පොඩ්ඩක් ඉන්නවද මම වසීර් ටිකක් හම්බුවෙලා එනවා ටක් ගාලා….මිනිහා මගෙ පරන යාලුවෙක්”
රවී බාර් එක පිටිපස්සේ දොරකින් ඇතුලට ගියා. මම කොත්තුරොටී කෑලක් හප හපා කල්පනා කලා රංජිත් නීතට කිව්වේ බොරුනම් මේ හෝටල් ගමන කාලේ නාස්තියක් නේද කියලා. රංජිත් ඇත්ත කියලා නීතා මට බොරුනම් කිව්වේ? එතන තව ප්‍රශ්න. කවුරුත් කියන කිසිම දෙයක් විස්වාස කරන්න බැරිනම් මට මෙතන කිසි දෙයක් කරන්න බෑ. අංතිමට බලනකොට මම මෙතන කරන්නේ රස්සාවක් - පඩියට. ඒනිසා මම මේවා ගැන තීරණ ගන්න ඕනෑ. මට බාර වැඩේ ඉදිරියට ගෙනියන්න බැරිනම් ආපහු පොලොන්නරුවේ යන එක තමා හරි තීරණේ. නමුත් ඒකත් යම්කිසි පාවාදීමක් කියලත් හිතෙනවා.
රවී ආපහු ආවේ කඩදාසි කොල මිටියක් ගොනුකරගෙන ඩියුටි ෆ්රී ප්ලාස්ටික් මල්ලක දාගෙන.
“අජිත් යං ගෙදර…අපිට වැඩ ගොඩක් තියෙනවා”
“කෑවා බීවා ඇතිද? තව බිල ගෙව්වෙත් නෑ…”
“ඒවා ඔක්කම හරි…අපි යන ගමන් කතා කරමු”
අපි වේටර්ට සංතෝසම් සල්ලි ටිකක් දීලා පිටත් උනේ බොහොම හදිස්සියෙන්. හෝටලෙන් එලියට ආපු ගමන්ම ත්‍රීවීල් එකක නැගලා “බම්බලපිටිය” කිව්වා. මෙතන රහස මොකද්ද නොදන්න නිසා මම වැල්ලවත්තේ ඉන්න රවී බම්බලපිටියේ යන්නේ ඇයි කියලා ඇහුවෙ නෑ. ගාලුපාරෙන් මුහුද පැත්තට හරස් පාරක විසාල ගෙදරක් ඉස්සරහ නවත්තලා අපි ත්‍රීවීල්කාරයට ගෙවලා ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියා. ඩ්‍රයිවර් පිටත්වෙලා ගිය ගමන් අපි ගේට්ටුවෙන් එලියට ඇවිත් මුහුඳුබඩ පාරෙන් තව ත්‍රීවීල් එකකින් වැල්ලවත්තට ආවා. රවීගේ ගෙදර පහු කරලා ටිකක් දුර ගිහින් බැහලා, ත්‍රීවීල් කාරයා ගියාට පස්සේ අපි පයින් රවීලගෙ ගෙදරට ගොඩ උනා.
මෙච්චර වෙලා කට වහගෙන හිටි මම ඉවසීමේ අගටම ගිහින්.
“දැන්වත් කියනවද මොකද්ද ඒ නාඩගමේ තේරුම කියලා…හ්ම්?”
රවී මාව කංතෝරු කාමරේට එක්ක ගියා. මට වාඩි වෙන්න සලසලා කෝපි කෝපෙකුත් අතට දීලා තමයි වාඩි උනේ. මිනිහගෙ මුහුනේ බොහොම බැරෑරුම් ගතියක් පෙනෙන්න තිබුනා. මම ඉවසාගෙන හිටියා එයාම කතාව පටන්ගන්නකම්.
“වසීර් මගෙ හොඳම යාලුවෙක්…දැන් හෝටල් මැනේජර් උනාට මාත් එක්ක ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම රහස් පොලිසියට බැඳෙන්නමයි හිතාගෙන හිටියේ. ඒ අසාව පටන්ගත්තේ මිටි ගනන් රහස් පරීක්ෂක පොත් කියවලා උනත් තවමත් ඒක තියෙනවා වගේ - මොකද නිතරම අවට වෙනදේ ගැන බොහොම පරීක්ශාවෙන් ඉන්නේ. ඒ නිසාම තමා එයා බාල වයසෙන්ම මැනේජර් කෙනෙක් උනේ. ඒ හෝටලේ කිසි කෙනෙකුට හොරයක් කරන්න බෑ - යමක් වෙන්න ඉස්සර වසීර් දන්නවා මොකොද වෙන්න යන්නේ කියලා…. ඒ ගතිගුනේ නිසා තමා අපිට මේ කඩදාසි ටික ලැබුනේ.”
රවී හෝටලෙන් ගත්ත අඟල් දෙක තුනක් ගනකම කඩදාසි මිටිය මේසේ උඩට දැම්මා.
“මේවා බලන්න ඉස්සර අජිත් තීරණයක් ගන්න ඕනෑ මේ වැඩේ ගැන. අපි කෙලින්ම ගෙදර ආවෙ නැත්තේ කෑම දිරවන්න නෙවෙයි…..රංජිත් ගිය ගමන අපිටත් යන්න වෙයිද කියලා මට සැකයක් හිතුනා වසීර්ට කතා කලාට පස්සේ…..”
මේක හිතුවට වඩා බරපතල කාරියක් වගේ දැන් පෙනෙන්නේ. මම හිතාගෙන හිටියේ රංජිත්ගෙ මරනේ ගැන හොයලා බලලා ඒකේ තොරතුරු රවීට දීලා ආපහු යන්න. නමුත් දැන් හිතලා බලන්න වෙනවා මගෙ විතරක් නෙවෙයි මගෙ පවුලෙත් ආරක්ශාව ගැන.
“රවී මට එකක් කියනවද….මේ කඩදාසි මිටියෙන් අපෙ ගැටලුවට උත්තරයක් ලැබෙයිද?”
“ඒක හරියටම කියන්න බෑ අජිත්. මෙතන තියෙනවා වටිනා තොරතුරු ටිකක් - නමුත් ඒවා බැලුවැයින් පස්සේ ලේසියට අයින් වෙන්න ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව අජිත් දන්නවා මේවගෙ සඳහන්වෙන නම් කීපයක්ම, සමහරවිට අඳුනන්නෝ වෙන්නත් පුලුවන්”
“දැනට ඒ අය දන්නවද මං ගැන? ඒ කියන්නේ මම පාරේ යනකොට කවුරුවත් මාවත් වාහනේකට යටකරයිද?”
“මං හිතන්නෙ නෑ එහෙම මොනවත් වෙයි කියලා. නමුත් ආයෙත් ඒ හෝටලේ පැත්තේ නොගියොත් හොඳයි”
එදා රෑ වසීර්ගෙ කඩදාසි මිටිය කියවන්න මම තීරන කලා. ආපු වැඩේ ඉවරකරලම ගෙදර යන්නයි හිතුවේ. වසීර්ගේ කඩදාසි මිටියේ තිබුන මට වැදගත් වගේ පෙනුන කොල මම වෙනින් ගොඩකට එකතු කලා. අනික් කඩදාසිවල තිබුනේ හෝටලේ පැවැත්වූ සම්මේලන, සම්භාශන වැනි දේ - දින, වෙලා, කාමර ඉල්ලාසිටියන්ගෙ නම් සහ ලිපින, ගෙවූ මුදල් ආදිය සහිතව. නමුත් මම වෙන්කරගත්ත කඩදාසිවල තිබුනේ කුඩා කාමරවල තිබූ හමුවීම් ගැන. මේවායේ කාමර ඉල්ලූ කෙනෙක් හෝ ගෙවූ මුදල් ගනං ලියවිලා තිබුනේ නෑ. තෝරාගත්ත කඩදාසි මිටියෙන් මම අවුරුද්දකට වඩා පරන ඒවා වෙන්කර අනවශයයි හිතූ ගොඩට එකතු කලා. මෙයින් පසුව මට ඉතුරු උනේ කොල විසි පහක් පමන විතරයි. මම මේවා එකින් එක හදාරන්න දින පිලිවෙලට ගොනු කරලා අනික් කොල මේසේ කොනට තල්ලු කරා. රවී නිදාගන්න යනකොට මම තවම බලන්න ලෑස්තිකරගත්ත කොල මිටිය පටන්ගත්තා විතරයි.
මේ හමුවීම් වලට ඇවිත් සිටි අයගෙ සෑහෙන්න සමානකම් තිබුනා. හැම හමුවීමේදීම අඩුම ගානෙ මා දන්නා දෙන්නෙක්වත් හිටියා. එතනින් කීපදෙනෙක් කැපී පෙනුනා. ඇමතිතුමාලා දෙන්නෙකුගෙ අනුශාශකයොත් මංත්‍රී ආධාරකාරයොත් අතර විශ්වවිද්‍යාල කතිකාචාර්‍යවරු කීපදෙනෙක්ද ප්‍රවීන ව්‍යාපාරිකයෝද අයිති උනා. රංජිත් ප්‍රනාන්දුගේ නම සඳහන් උනේ අන්තිම මාස කීපයේදී පමනයි. රංජිත්ගේ මරනයෙන් පසුවත් අනික් සහබාගීන්ගේ වෙනස්කමක් සොයාගන්න මට අමාරු උනා. මේ ගැන මම කතාවක් ලියන්න පටන් ගත්තා.
බොහොම බලසම්පන්න මිනිස්සු කට්ටියක් ක්‍රමවත් හමුවීම් කරගෙන ගියා. මේ අය දේශපාලන (පක්ශ බේදයක් නැතුව), අධ්‍යාපන, වාණිජ අංශ වලීන් සමන්විතයි. එයින් කිසි කෙනෙක් එකදිගට හමුවීම් දෙකක නොඇවිත් හිටියෙ නෑ. නමුත් එක්කෙනෙක්වත් හැම හමුවීමට සහභාගීඋනෙත් නෑ. (මේ අයගේ සම්බන්ධය මොකද්ද? ඒ අය සමතත්වෙන්ද හමු උනේ - තනි නායකයෙක් නැතුව)
රංජිත් ප්‍රනාන්දු මේ අයට පසුව සම්බන්ධ උනේ කොහොමද (සමහරවිට ආරාධනයකින්)
රංජිත්ගේ අභාවයෙන් පස්සේ හමුවීම් ඒ තරම්ම වෙනස් උනේ නෑ (ඇයි රංජිත් ගෙන්වා ගත්තේ? රංජිත් වැදගත් නැද්ද හමුවීම් වෙනස්වෙන තරම්? එයාගෙ වැදගත්කම හදිස්සියේ අවසානඋනාද?)
මේ අයට මිනී මැරුමක් උනත් කරන්න පුලුවන්ද? එහෙම කරවන්න අනදෙන්න අය ඉන්නවද?
මේක රටේ ආරක්ශාවට සම්බන්ධනම් ඇයි මෙතන ත්‍රිවිද හමුදා හෝ පොලිසියේ අය නැත්තේ?
මේ හමුවීම් සහ ඒවාට සහබාගීවන්නොත්, සිත් කන්නාඩිත් අතරේ සම්බන්ධයක් තියෙනවානම් ඒ මොකක්ද? ඉන්ද්‍රානී වීරසිංහ මේකට ගෑවෙන්නේ කොහොමද?
මම කුස්සියට ගිහින් තව කෝපි කෝප්පයක් හදා ගත්තා.
මට මේ මුලු ප්‍රශ්න මාලවම ගෙනාවේ ඉන්ද්‍රානී වීරසිංහ; මම විද්යාවෙත් රට ආරක්ශාවෙත් දේශපාලනෙත් පලපුරුද්දක් නැතිබව දැනගෙන. එතුමී මෝඩ නෑ. ඒ කියන්නේ මගේ තියෙන හැකියාවන්ගෙන් මේකට උත්තරයක් සොයාගන්න පුලුවන් කියලා වෙන්න ඕනෑ. මේක මාද්‍යවේදියෙකුට ඔබින වැඩක් විය හැකියි. මාද්‍යවේදියෙකුටයි පරිගනක පාවිච්චියේ දක්ශයෙකුටයි එකතුව කල හැකි වැඩක්. එතකොට රවී කොහොමද සම්බන්ධවෙන්නේ? ඉන්ද්‍රානී කන්නාඩිය හැදුවා, රවී ඒකට පරිගනක යන්ත්‍රවල ඇති දත්ත එකතු කලා….
මේවගේ කාරනා දහසක් හිතේ එහෙමෙහෙ දිව්වා. හාන්සි පුටුවක දිග ඇදිලා අඳුරු මිදුල දිහා බලාගෙන මම කල්පනාවට වැටුනා. අගක් මුලක් නැති අදහස් කෑලි කෑලි මගේ ඔලුවේ නැටුවා. කැඩුන ඔර්ලෝසුවක් හදනවා වගේ මම හිතෙන් මේ කෑලි එකතැන් කරන්න බැලුවා. මම පැය කීපයක් මෙහෙම හිටියද මතක නෑ. අංතිමට මට මේකෙන් ඉතුරුවෙන්නේ හිසේ අමාරුවක් විතරයි කියලා හිතුනා.
“පුටුවෙම නින්ද ගියාද?” රවී තේ කෝප්පෙකුත් අතේ අරගෙන කන්තෝරු කාමරේට ඇවිත්. එලිය වැටිලා, උදේ හත අට වෙලා වගේ දැනුනේ.
“රවිත් මෙතන නිදාගෙන ඇතිනේ? නැත්තම් මොකද මේ තරම් හොඳ හාන්සි පුටුවක් කන්තෝරු කාමරේ?” මම හිනා උනා.
“ඇත්ත තමයි. ලොකු ප්‍රොජෙක්ට් එකක රිසල්ට්ස් එනකම් සමහරවිට මම මුලු රෑම පුටුවේ. අපි එලියට ගිහින් මොකවත් උදේට කලා එමුද?”
“මට පැය බාගයක් දෙනවද නෝට්ස් ටිකක් ලියන්න?”
“හා. බාත්රූම් එකේ තුවායක් එහෙම තියෙනවා”
මම මේසේ ලඟට ගිහින් ආයෙත් මට වැටහෙන විදිහට කරුනු ගොනුකරන්න බැලුවා.
හෝටලේදී හමුවෙන මිනිස්සුත් (ඒකට ‘සමාගම’ කියලා නම දාමු) සිත් කන්නඩියත් අතර සම්බන්ධය රන්ජිත් පමනක්ද නැත්නම් තවත් අය ඉන්නවද? සමහරවිට සම්බන්ධයක් ඇත්තෙම නැද්ද? (රන්ජිත් වෙන මොනවත් පර්යේශන කලාද සමාගමට වැදගත්?)
සමාගම රන්ජිත් මැරුවද? සමාගම නීතියේ වැරැදි පැත්තේ ඉන්නේ කියන්න මට සාදක තියෙනවද? ඒ අයත් ඉන්ද්‍රානී, රවී වගේම ලෝකෙට වෙන්න යන නරක දෙයක් නවත්තන්න වැඩ කරන අය වෙන්න බැරිද?
වසීර් ඇයි මේ තරම් සවිස්තරව සටහන් ලිව්වේ? එයත් වෙන කෙනෙක් වෙනුවෙන් වැඩ කරනවද?
මට උත්තර වලට වැඩිය තියෙන්නේ ප්‍රශ්න. මම රවිත් එක්ක ලඟ කඩේකට උදේට කන්න ගියේ මේවා ගැන හිත හිතා.
අපි දෙවැනි තේ කෝප්පේ බොනකොට රවීගෙ මෝබයිල් එක සද්ද උනා. “එක්ස්කියුස් මී” කියලා ටෙලිෆෝන් එක කනට ලංකලා. මම වහාම දුටුවා මේ වැදගත් පනිවිඩයක් එන්නේ කියලා එයා අහපු ප්‍රශ්න වලින්.
“කොයි වෙලාවෙද….?”
“කොහොමද….?”
තව ටිකක් අහගෙන ඉඳලා රවී “තෑන්ක්යූ” කියලා මා දිහා බැලුවා. එයාගෙ අතේ තිබුන තේ කෝප්පේ වෙවුලනවා - පීරිසේ උඩ තියනකොට සීනුවක් වගේ “ටන නන” ගාලා වැදුනා.
“වසීර් මරලා… ඊයෙ රෑ… හෝටලේදිම වස දීලා කියලලු දොස්තර කිව්වේ…ඒ මගෙ යාලුවෙක් කතා කලේ…එයා ඒ හෝටලේම ක්ලාක් කෙනෙක්…එයාලු පොලිසියට කතා කලේ…අපි යමු ගෙදර”
මට දැනෙනවා රවීට මේක කාවදින්න වැදිලා. මම බිල ගෙවලා එලියට එනකොට රවී එලියේ බිත්තියට හේත්තුවෙලා බිම බලාගෙන මොනවාදෝ මතුර මතුරා ඉන්නවා. මම මිනිහා අතින් අල්ලාගෙන ගෙදර එක්ක ආවා.
ටිකක් වෙලා රවී කතා නොකර බිත්තිය දිහා බලාගෙන හිටියා.
“අජිත් මෙහෙ ඉන්න එක වැඩිය හොඳනෑ. මමත් දවස් කීපෙකට වෙන කොහාට හරි යනවා. අජිත්ට වෙන කොහෙවත් ඉන්න පුලුවන්ද? රෙජිස්ටර් වෙන්නෙ නැති හෝටලයක් නම් වඩාම හොඳයි…”
“මට මිසිස් වීරසිංහට කතා කරන්න පුලුවන්ද?”
“ඒ මොකද?”
“සමහර ප්‍රශ්න වලට එයා ලඟ විතරයි උත්තර තියෙන්නේ…අනික මට රවීට කතා කරන්න ඕනැනම් ඒක කොහොමද කරන්නේ?”
“මම එයාගෙ නොම්බරේ දෙන්නම්. හැබැයි එයාගෙ ඇසිස්ටන්ට්ට කියන්න කතා කරන්නේ ‘දිමුත් පරනවිතාන’ කියලා. නැත්තම් එයා කතා කරන්නේ නෑ…එයා කැමතිනම් මගෙ නොම්බරේ දෙයි. මම මේක දෙන්නේ හිතුවට වැඩිය ඉක්මනට මොනවදෝ වෙන්න යන බව දැනෙන නිසා, එයාට තේරෙයි මේකේ වැදගත්කම….මං හිතන්නේ…”
මට නොම්බරයක් ලියලා දීලා රවී තවත් උපදෙස් දුන්නා.
“වසීර්ගෙ කඩදාසි එකක්වත් අරගෙන යන්න එපා. කවුරුත් මං ගැන ඇහුවොත් කියන්න ගිය අවුරුද්දේ නුවර පෙරහැර බලන්න ඇවිත් හම්බුවෙලා ඒ යාලුකමට දවසක් දෙකක් රෑ ඉන්න ආවා කියලා. මොකොද පොලිසිය දැනටමත් දන්නවා අපි හෝටලේට ගිය බවත්, මම වසීර් මුනගැහුනු බවත්…ඒවා ගැන බොරු කියලා ගැලවෙන්න බෑ…”
මම මගෙ සටහන් ටික පමනක් සාක්කුවේ දාගෙන පිටත් වෙනකොට රවී මගෙ අතින් අල්ලා ගත්තා.
“පරෙස්සම් වෙන්න අජිත් - ආයෙත් දවසක හම්බු උනොත් අපි ඇත්තටම නුවර ගිහින් පෙරහැර බලමු”
වැල්ලවත්තෙන් පිටත්වෙලා මම බස් එකේ දෙහිවල ගිහින් පරන බඩු සාප්පුවකින් මල්ලක් ගත්තා, අලුත් මල්ලක් ගැන මිනිස්සු සැක හිතන්න ඉඩ තියෙන නිසා. වෙන කඩ කීපෙකින් පරන හෝටලේ තිබූ ඇඳුම් වෙනුවට අත්‍යාවශ්‍ය ඇඳුම් සහ අනිත් බඩුත් ඇරගෙන මල්ලේ දාගත්තා. මගෙ අදහස තිබුනේ කලුබෝවිල ඉස්පිරිතාල පාරේ හිටපු යාලුවෙක්ගෙ ගෙදර රෑ නවතින්න. මගෙ කොළඹ යාලුවන්ගෙන් විජේ තෝරගත්තේ එයා තවම එයාගෙ අම්මයි තාත්තයි එක්ක පොඩි ගෙදරක ඉන්න නිසාත් අමුත්තන් නිතරම ගැවසෙන ඉස්පිරිතාල අසල මම කැපී නොපෙනන නිසාත්. මම ඒ ගෙදර මීට ඉස්සරත් බොහොම දවස් ඉඳලා තියෙනවා - ඉඩ නැතිනම් හදලා දෙන්න උනත් විජේසේකරලා ලෑස්තියෙන් ඉන්නේ. ඒ වගේම ඒ දවස්වල මම දැනගත්ත දෙයක් තමා විජේ කවි කතා ලියන්නෙක් නිසා ඔහුට පොලිසියේ හෝ දේශපාලනේ තියා අවට ගෙවල්වල මිනිස්සු සමගත් වැඩි සම්බන්ධයක් නැති බව.
මම මම ප්‍රසිද්ද ටෙලිෆෝන් එකකින් රවී දීපු නොම්බරේට කතා කලා.
“ආයුබෝවන්…මේ මහාචාර්ය වීරසිංහගෙ කන්තෝරුව…කවුද කතාකරන්නේ?”. ඒ සහකාර ගෑනී වෙන්න ඇති.
“මේ දිමුත් පරනවිතාන…මිසිස් වීරසිංහ ඉන්නවද?”
“ඉන්න බලන්නම් ප්‍රොෆෙසර් ෆ්රීද කියලා…”
විනාඩියකට විතර පස්සේ මට ඇහුනා මිසිස් වීරසිංහගෙ කටහඬ.
“හා දිමුත්…ඉඩමේ ප්ලෑන් හම්බු උනාද?”
මට උත්තර දෙන්න ඉස්සර තප්පර කීපයක් හිතන්න උනා.
“…මම...අර පොලොන්නරුවෙදී කතා කරපු ඉඩම ගැන…ප්ලෑන් තවම සම්පූර්න නෑ නමුත් ඒක ගැන කතා කලොත් හොඳයි කියලා හිතුනා තව ඉඩම ගැන හොයලා බලන්න ඉස්සර…”
ඒ සැරේ එයා තප්පර කීපයක් ගත්තා උත්තර දෙන්න.
“මට තව පැය තුනකට මෙතන මීටිමක් නෑ…නමුත් කොටුවට යන්න තියෙනවා…දැන් ඉන්න තැන කිව්වොත් මම ඇවිත් පික් කරන්නම්. අපිට පුලුවන් තේ එකක් බීලා මේක කතා කරගන්න. මම කැමතියි ඉක්මනට වැඩේ ඉවර කරලා දාන්න”
මිසිස් වීරසිංහ ආවේ කාර් එකක නෙවෙයි ත්‍රීවීල් එකක. මාව ඒකෙම දාගෙන ඩ්‍රයිවර්ට කිව්වා පොඩි හෝටලේක නමක්. අපි හෝටලේට ගිහින් ඇතුලේ වාඩි වෙලා වඩෙයි ප්ලේන්ටියි ගේන්න කියනකම් අපි කතා කලේ නෑ.
“මොකද අජිත්?”
“කොතනින්ද පටන්ගන්නේ?...මිසිස් වීරසිංහයි රවීයි ඇරුනුකොට ආයෙ කවුද දන්නේ සිත් කන්නාඩියට පරිගනක එකතු කරන එක ගැන?”
“…ම්ම්…රංජිත් ටිකක් දන්නවා…දැනගෙන හිටියා….මගෙ ලොක්කට මම අන්ඔෆිශලි කියලා තියෙනවා නමුත් ඩීටේල්ස් නැතුව…සමහරවිට විශ්වවිද්යාලේ අය මේවගේ රිසර්ච් කරනවා ඇති නමුත් මට පෙනෙන්නේ ඒ තරම්ම දුර ගිහින් නෑ…”
මම මගෙ සටහන් වලින් විශ්වවිද්යාල වලින් ආ අයගේ නම් පෙන්නලා ඇහුවා ඒ අයත් ඒ වගේ පර්යේශන කරනවද කියලා.
“මේ තුන්දෙනාගෙන් දෙන්නෙක් මම හොඳට දන්නවා. එක්කෙනෙක් මේ ෆීල්ඩ් එකේ, අනික් එක්කෙනා ඉකොනොමික්ස් කලේ. තුන්වෙනියා මං හිතන්නේ වානිජ අංශයේ හැබැයි මට හරියටම කියන්න බෑ”
“මේ දේශපාලනේ කරන මිනිස්සු ලැයිස්තුවේ සමහරු මම නමින් දන්නවා. ඒ අය අතරේ පොදුවන සම්බන්ධකමක් හෙම මොනවත් දන්නවද?”
“…හ්ම්ම්…පක්ශ බේද නෑ…එකම පලාතකින් නෙවෙයි…මම දන්න තරමින් කිසි පොලිස් පරීක්ශනයකට මේ අය ගෙනත් නෑ…හැබැයි එකක් කියන්න පුලුවන් - මේ අය අපෙ යන්තම් අට පාස් කට්ටිය නෙවෙයි, හොඳින් ඉගෙනගත්ත අය”
මම මගෙ ලැයිස්තුවේ අනික් අයගේ නම් නොපෙන්නා ඉන්න හිතුවා, අඩුගානේ දැනට. මම දැනගෙන හිටියා එයින් එක්කෙනෙක් පරිගනක දත්ත ගබඩාවක තාක්ෂන කලමනාකාරයෙක් කියලා.
“ඊයෙ රෑ වසීර් කියලා රවීගෙ යාලුවෙක් මලා කියලා දන්නවද? එයා තමා රංජිත් ගිය මීටිං ගැන සටහන් ලියාගත්තේ. අපි ඒවා එතැනින් ගත්තෙත් ඊයෙ රෑ - අපි ගියාට පස්සේ වස දීලලු, හැබැයි එයාම වස බිව්වද නැද්ද දන්නෙ නෑ”
“බොරූ!….රවීනම් මට මොනවත් කිව්වෙ නෑ…. රවීට කතාකරලා බැලුවොත් හොඳයි….”
“රවී ගෙදර නෑ. කොහෙද යන්නේ කියලා මට කිව්වෙ නෑ. මටත් යන්න කියලා එයත් යනවා කිව්වා…මට රවීගෙ නොම්බරේ දෙනවද?”
“…ඒක කරන්න මම දැනට ලෑස්ති නෑ …ඔය දෙන්නගෙම ආරක්ශාව ගැන හිතලා…පස්සේ වෙලාවක බලමු…තව මොනවත් දැනගන්න ඕනැද?
“මම මේ ලයිස්තුවේ ඉන්න එකෙක් දෙන්නෙක් හම්බු උනාට කමක් නැද්ද?”
“…ඒක ටිකක් ඩේන්ජරස් වෙන්න පුලුවන්…. නමුත් මාධ්‍ය වේදියෙක් හැටියට, හොඳ හේතුවක් තියෙනවනම්…”
“මම හිතල බලන්නම්”
“මම ආපහු යන්න ඕනෑ…අජිත් කොහෙද ඉන්නේ?”
“යාලුවෙකුගෙ ගෙදර. රවී කිව්වා එහෙ එන්න එපා කියලා”
“මේ හෝටලේ උඩ තට්ටුවේ කාමර තියෙනවා…”
“නෑ…මම යාලුවගෙ ගෙදර ඉන්නවා”
“ලිෆ්ට් එකක්?”
“නෑ මට තව බඩු ටිකක් ගන්න තියෙනවා” මම මිසිස් වීරසිංහටවත් ඉන්න තැන කියන්න කැමති උනේ නෑ.
මම ඉන්ටනෙට් කැෆේ එකකින් මගෙ ලයිස්තුවේ හිටි එක කතිකාචාර්ය වරයෙකුගෙ වගතුග සොයාගෙන, එතැනින්ම එයාට ටෙලිෆෝන් කරලා හවස තුනට කටුබැද්දේ හමුවෙන්න සලසා ගත්තා. මම එයා තෝරාගත්තේ එයාගෙ පරිගනක දැනීමත් මනෝදෘශ්ටි කන්නාඩි ගැන කර ඇති පර්යේශන සම්බන්දයත් නිසා.
මම විජේලගෙ ගෙදර ගියේ මිසිස් විජේසේකරට මල් පොකුරකුත් මිස්ට විජේසේකරට ‘ස්ලිම් පැනටෙලා’ සුරුට්ටු පෙට්ටියකුත් විජේට අරක්කු බෝතලේකුත් අරගෙනයි. මම මීට ඉස්සරත් ඒ ගෙදර විටින් විට ඉඳලා තිබෙන නිසා මම දන්නවා ඒ අය කැමති මොනවටද කියලා.
සරම ඇදලා කමිසයක් නැතුව හිටි විජේ මා දුටු ගමන් “ආයෙත් සිදාදියේ කරක් ගහනවද? වරෙන් කාමරේට. අම්මයි තාත්තයි ඉස්පිරිතාලේ ගියා කවුදෝ බලන්න..ඔය මල්ල කාමරේ තියලා වීදුරු දෙකක් අරගෙන වරෙන් කුස්සියෙන්”
“මේ මහ දවල් බොන්න බෑ විජේ … මීටිමක් තියෙනවා තුනට”
“උඹට බැරිඋනාට මට පුලුවන්…එහෙනන් එක වීදුරුවක් ගෙනෙන්. කුස්සියේ බෝතලේ තේ ඇති, ඕනැනම් දාගෙන බීපන්”
…..
ආචාර්ය ඩි මෙල් කෙලින්ම මාව කැන්ටිමට එක්ක ගියා.
“ස්ටාෆ් රූම් එකේ කතා කරන්න අමාරුයි - මං කියනදේ අහලා උන්ට එපාවෙලා!”
“බොහොම ස්තුතියි ඩොක්ට ඩි මෙල් මාව මුනගැහෙන්න කැමති උනාට හදිසියේම”
“ආනන්ද, ප්ලීස්?”
“තෑන්ක්යූ ආනන්ද…. මම මීට අවුරුදු කීපෙකට ඉස්සර ප්රොෆ් වීරසිංහගෙ දේශනයක් ඇහුවා මනෝදෘශ්ටි සංගමයේ හමුවීමකදී. නමුත් එයින් පස්සේ ඒ ක්ෂේත්‍රයේ මොනවා වෙනවද කියලා සොයා ගන්න අමාරුයි. ආනන්දට මේකේ අලුත් ව්‍යාප්ති ගැන යමක් කියන්න පුලුවන්ද?”
හතර හමාර වෙනකම් අපි මේවා ගැන කතා කලා. මගේ සටහන් පොතේ පිටූ විශාල ගානක ලියවුනා, මට වැදගත්යයි හිතුන දේ. විද්‍යාව ගැන පමනක් නෙවෙයි මම මිනිහා ගැනත් සටහන් ලියා ගත්තා. අපෙ කතාව ඉවර වෙනකොට මට සෑහෙන්න මහන්සියි. මම ආනන්ද ඩි මෙල් ගෙන් සමු ගත්තේ හවසට විග්‍රහ කර තෝරා බේරා ගන්න බොහෝ අදහස් එකතු කරගෙන.
කටුබැද්දේ හන්දිය කිට්ටුවදී පොලිස් කාරෙකක් මා ලඟ නැවැත්තුවා.
“සර් කරුනා කරලා කාරෙකට නගින්න”
මම වචනයක් වත් කියන්න ඉඩ නොතියා මාව දාගෙන කාරෙක කොළඹ පාරට හැරෙව්වා.
……………….
මගෙන් ප්‍රශ්න අසන්නට හිටියේ නිල ඇදුමෙන් සැරසී නැති වයසක පිරිමි දෙන්නෙක් විතරයි. බොරැල්ලේ පොලිස් මද්‍යස්තානයක උඩ මහලක පොඩි කාමරයකයි මගෙන් ප්‍රශ්න අසන්න පටන් ගත්තේ. නම ගම වාස දේස වලින් පස්සේ අහපු පලවෙනි ප්‍රශ්නය ඉන්ද්‍රානී වීරසිංහ ගැන උනා.
“මිස්ට කුලසේකර මහාචාර්‍ය වීරසිංහ අඳුරනවද?”
“මම එයා දන්නවා”
“මහාචාර්‍ය වීරසිංහ එක්ක අංතිමට කතා කලේ කවද්ද?”
“අද….දවල්….මමයි කතා කරලා මීටිම හදාගත්තේ” මම කැමති නේ නෑ බොරුවට ඒ නෝනට කරදර වෙන විදිහට යමක් කියන්න.
“ඊට ඉස්සර?”
“දැන් දවස් කීපෙකට ඉස්සර පොලොන්නරුවේ තානායමේදී”
“මිස්ට කුලසේකර රවි ලියනාරච්චි කියලා කෙනෙක් දන්නවාද?”
මට හිතුනා මෙතෙන්දී බොරු කියලා ගැලවෙන්න බැරියි කියලා.
“ඔව්…මම එයාගෙ වැල්ලවත්තේ ගෙදර තමා ඊයේ රෑ හිටියේ….”
නිලධාරියෝ දෙන්නා විනාඩියක් විතර එකිනෙකාගේ මුහුන දිහා බලාගෙන හිටියා. අංතිමට එක නිලධාරියෙක් මට පිටිපසින් තිබුන වීදුරු ජනේලයට අත වැනුවා. ඒ වහාම කාමරේ දොර ඇරිලා වීරසිංහ මැතිනිය ඇතුලට ආවා.
“මාව මෙහාට ගෙනාවේ මොන වැරැද්දක් කරාටද?” මම මේක ඇහුවේ තුන්දෙනාගෙන්ම - වීරසිංහ නෝනගෙන් විතරක් නෙවෙයි.
තුන්දෙනා එක එක්කෙනාගෙ මුහුනු දිහා බැලුවා. අංතිමට වීරසිංහ නෝනා කතා කරන්න පටංගත්තා.
“අපි පොලොන්නරුවෙදි සාකච්චා කල දේ දැන් අලුත් අදියරකට ඇවිත් තියෙන්නේ….ඉතාම භයානක තත්වයක්…මම එදා කිව්වේ රවි ලියනාරච්චි විතරයි පරිගනක දත්ත කෙලින්ම සිත් කන්නාඩිය සම්බංද කරන්න දන්නේ කියලා….දැන් අපිට පෙනෙන විදිහට අඩුමගානේ තව එක්කෙනෙක් හරි මේක කරන්න ඉගෙනගෙන තියෙනවා….රංජිත්ගේ මරනයත්, ඊයේ වසීර්ගෙ ඝාතනයත් මේකට සම්බංධයි කියලා අපි හිතන්නේ. මේ අයගෙන් වඩාම තර්ජනය ලැබෙන්නේ රවීට - මොකද රවී නැත්ත්නම් මුලු තාක්ශනයම ඒ අය අතේ….අපි රවී වහාම සොයාගත්තෙ නැතොත්…එයාටයි, මුලු රටටමයි ආයෙ ගැලවීමක් නෑ…ආංඩුවට, පොලිසියට, හමුදාවලට කිසි දෙයක් කරන්න බැරි විදිහට ත්‍රස්තවාදීන්ට, පාතාල කල්ලි වලට සම්පූර්නයෙන්ම රට යටපත් කරගන්න පුලුවන් වෙනවා….”
මේසේ අනික් පැත්තේ ඉන්න තුන්දෙනාගෙම මුහුනු වලින් මේකේ බැරෑරුම් කම හොඳටම පෙන්වනවා.
“අපිට රවී වහාම සොයාගන්න උදව්වක් ඕනෑකම නිසා මිසක් කරපු වැරැද්දක් නිසා නෙවෙයි මිස්ට කුලසේකර මෙහාට එක්ක ආවේ….”
“ඇයි රවීට ටෙලිෆෝන් කරලා බැලුවෙ නැද්ද. එයාගෙ නොම්බරේ මෙහෙ තියෙනවා කියලා මට කිව්වේ”
“අපි ලඟ එයාගෙ අලුත් නොම්බරේ නෑ. ලඟදී එයා වෙන සිම් කාඩ් එකක් දාගන්න ඇති”
“ජී පී එස් ට්‍රැකිං?”
මිසිස් වීරසිංහ අනික් දෙන්නා දිහා බැලුවා, වචන නැතුව ප්‍රශ්නයක් අහනවා වගේ. ඒ දෙන්නම ප්‍රශ්නෙට උත්තර දෙන්න එකඟ උනා ඔලුව නවලා.
“ඊයෙ රෑ හපුතලේ තානායමේ හිටි බව අපි දන්නවා…නමුත් අපිට කතා කරන්න බැරි උනා - එයා ඇවිදින්න ගියා කියලා මැනේජර් කිව්වා….අද උදේ බලනකොට රවී පාන්දරම ආපු කාරෙකක නැගලා ගියාලු බිල එහෙමත් ගෙවලා….ඊට පස්සේ….ජී පී එස් වලින් වත් වෙන විදිහකටවත් සොයාගන්න බැ….”
“හපුතලේ පැත්තේ යාලුවෝ එහෙම ඇතිනේ - සමහරවිට ඒ අයත් එක්ක ඉන්නවා ඇති…වසීර්ගෙ මරනේ ආරංචි උන වෙලාවේ පටන් මිනිහා බොහොම බයෙන් හිටිබව මට දැනුනේ. සමහරවිට වැල්ලවත්තේ එයාගෙ ගෙදරට ගියොත් මොනවාහරි ඔත්තුවක් සොයාගන්න පුලුවන්වෙයි නේද? එතනනේ එයාගෙ පරිගනක යන්ත්‍ර වැඩි හරියක් තියෙන්නේ”
“දැනටත් අපෙ කංඩායමේ ජ්යේෂ්ඨ නිලදාරි දෙන්නෙක් ඒක කරනවා…අපි හිතුවේ අජිත්ටත් පුලුවන් ඒ අයට උදව් වෙන්න, ඒ ගෙදර හිටි කෙනෙක් හැටියට…”
මම වැල්ලවත්තට ගියේ පොලිස් වාහනේක. යන්න ඉස්සර මම විජේට කතා කරලා කිව්වා සමහරවිට අද රෑ එහෙ එන්න බැරිවෙයි, හැබැයි ආවත් හොඳටම රෑවෙයි කියලා. විජේට මේවා ගානක් නෑ - “එනවානම් ඕනැ වෙලාවක ඇවිත් ඉස්සරහ ජනෙලෙන් මට කතා කරපන්”.
රවීගෙ ගෙදර පරීක්ශා කරන සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලදාරි දෙන්නාට කියා තිබුනේ මම රවීගෙ යාලුවෙක් කියලා බව මට ඒ අයගෙ කතාවෙන් තේරුනා.
“ඔබතුමා මේ ගැන දන්නවද? මෙතන එහා කාමරෙන් බාගයක් කොම්පියුටර්! මොකද කරන්නේ කියලා අපි හිතුවේ”
“මහාචාර්ය වීරසිංහ කිව්වෙ නැද්ද?”
“දැන් ටිකකට ඉස්සරවෙලා ඒ නෝනා කතාකරලා කිව්වේ මිස්ට කුලසේකර දන්නවා මොකක් කරන්න ඕනැද කියලා”
මේක ගැන මට ඒතරම් හිතන්න ඕනැ උනේ නෑ.
“කොම්පියුටර් එහෙමම තියන්න කිසිදෙයක් නොකර. රවී ආපහු ආවම ඒවා අපෙ වැඩට යොදාගන්න පුලුවන්. නමුත් දැනට අපිට ඕනෑ රවීව සොයාගන්න - අන්න ඒකට අදාල ලියකියවිලි කිසිදෙයක් සොයාගන්න එකයි දැන් වැදගත්….මට එක දෙයක් කියනවද….ඔය දෙන්නා කොහොමද රවීගෙ ගෙදරට ඇතුල් උනේ?”
“මිස්ට කුලසේකර බයවෙන්න එපා අපි යාලුවගෙ ගෙදර දොරවල් කඩාගෙන ආවා කියලා. එහෙම කරන්න උනත් අපි ලඟ ලියකියවිලි තිබුනට ඒවා පාවිච්චිවුනේ නෑ. හොඳවෙලාවට වැඩට ඉන්න කොල්ලා හිටියා අපි එනකොට”
“කොල්ලා?… කෝ දැන් එයා?”
“අපි කඩේට ඇරියා කන්න මොනවත් ගේන්න - මෙතන කොච්චර වෙලායයිද කියලා කියන්න බෑ…” පොලිස් නිලදාරියගෙ මූනේ පොඩි හිනහවකුත් තියෙනවා, හරියට හොරෙන් සීනිබෝල කාපු පොඩි එකෙකුගෙ වගේ. මට හිතාගන්න පුලුවන් කවුද මේ වැඩකාරයා කියලා. මටත් එතකොට හිනා ගියා.
“ඉක්මනට මිනිහා එයි කියලා හිතමු - මටත් එක්ක කන්න මොනවත් ගෙනාවොත්නම් හොඳයි”
මට හොඳටම විස්වාසයි මේ වැඩකාරයා රවී කියලා. එහෙමනම් මේ නිලදාරි දෙන්නා එයාව අඳුනාගත්තේ නැත්තේ ඇයි? එයාගෙ පින්තූරයක්වත් මේ අය දැකලා නෑ කියන එක මට විස්වාස කරන්න අමාරුයි. අනික් අතට, රවී යම්කිසි විදිහකින් වෙස්වලාගෙන ඉන්නවානම් ඒක එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් රවී කොළඹනම් එයාගෙ ටෙලිෆෝන් එක හපුතලේට ගෙනගියේ කවුද? සමහරවිට ඊයේ රෑ හපුතලේ ඉඳලා අද උදේ කොළඹ ආවද? මේ වගේ දේ හිත හිතා ඉන්නකොට රවී ආවා බනිස් මල්ලකුත් කෙසෙල් ඇවරියකුත් අරගෙන.
මම ‘රවී’ කිව්වට එතෙනට ආපු මිනිහා රවීට වඩා වයසයි, කොන්ඩේ සුදුයි. ඒ තරම් පිරිසිදු නැති කොට කලිසමයි අත් නැති සුදු බැනියමයි ඇරුනුකොට බුලත් විටෙන් රතුවූ කටෙනුයි මඩ ගෑවුන සෙරෙප්පු දෙකෙමුයි කියවුනේ ‘වත්ත සුද්දකරන මිනිහා’ කියලා. මිනිහා මං ලඟටම ඇවිත් බුලතෙන් විරූපවුන දත් පෙන්නලා හිනාවුනා.
“මට අපේ මහත්තයා කිව්වා මේ මහත්තයා එයි කියලා. මට කිව්වා ‘රාජූ….අර එදා මෙහෙ ආපු මහත්තයා අවොත් අද රෑ ඉන්නවා කියනවා’ – මං තේ හදනවා දැන් ..ඔවු”
මට තේරුනා පොලිස් නිලදාරීන්ට රවීව අඳුනාගන්න බැරිවුන හේතුව. පෙනුමෙන් විතරක් නෙවෙයි එයා කතාවෙනුත් වෙනස්. ඊටත් වැඩිය, එයා පාවිච්චිකරන නමත් මට කියලා ගේ ඇතුලට ගියේ. මට එතකොට හිතුනා පොලිස් කාරයෝ ගියාම මට රවීගෙන් දැනගන්න පුලුවන්වෙයි කියලා පසුගිය දවස් දෙකේ සිද්දවූ දේ ගැන.
…………
එදා රෑ අපි ගෙදර ලයිට් වැඩිය දැම්මෙ නෑ. කඩෙන් කෑම ගෙනත් කුස්සියේදිම කාලා, කලුවරේ කන්තෝරු කාමරේ පුටු දෙකක දිගා උනා. රවී කතාකරන්න පටන්ගතේ කොම්පියුටරුත් නිමලා.
“පසුබිම ඉස්සරවෙලාම….මම ගොඩනගලා වැඩිදියුණු කරපු මෘදුකාංග - කොහොමද ‘සොෆ්ට්වෙයා’ වල සිංහල නම? – සේරටම කරන්න බෑ. මම පුරාජේරුවට කියනදෙයක්ම නෙවෙයි මේක - සම්පූර්න ඇත්ත. ඔය කටුබැද්දේ ආනන්ද ඩි මෙල්, පේරාදෙනියේ රත්කඩුව එහෙම කොච්චර මහංසි උනත් මම ඊට සෑහෙන දුරක් ඉස්සරැහින් ඉන්නේ. මේකට හේතු දෙකක් තියෙනවා - එකක් මම වැඩේට දක්ශයි (පොඩි හිනාවක්), අනික මට අවශ්‍ය සියලුම උපකරන, නීතිමය බලතල සියල්ලම මට ආංඩුවෙන් ලැබෙනවා…..මේක තේරුම් නොගත්තොත් මීට පස්සේ මං කියනදේවල වටිනාකම සමහරවිට අල්ලාගන්න බැරිවෙයි”
“ප්රොෆ් වීරසිංහගෙ කන්නාඩිය පුදුමාකාර තාක්ශනයක්, ඉතාම දක්ශ මොලේකට විතරයි එහෙම දේගැන හිතන්නවත් පුලුවන් වෙන්නේ. හිතනවා පමනක් නෙවෙයි ඒක ප්‍රායෝගික උපකරනයක් ලෙස නිපදවීම ඊටත් වඩා අමාරුයි - නමුත් එයා ඒක කරා. මේ ප්‍රොජෙක්ට් එකට පැත්තකින් හරි ගෑවෙන්න ලැබුන එක මගෙ වාසනාවක්. මගේ දායකත්වය බොහොම සුලුයි, ඇත්තටම කියනවානම්. මොලෙන් දත්ත ගන්නවට වඩා බොහොම ලෙසියි කොම්පියුටරේකින් දත්ත ගන්න එක. කොම්පියුටරේට සම්බංද කරපු කන්නාඩිය තාකශනයෙන් වැඩි දියුනුවක් පෙන්වන්නේ නෑ....නමුත් ඒක මොලෙන් දත්ත ගත් කන්නාඩියට වඩා දහස් ගුනයක් භයානකයි”
“කවුරුහරි කෙනෙක් මේ තාක්ශනය සොයාගෙන, දැනට කීප සැරයක් පාවිච්චි කරලා තියෙන බවට මට සාක්ෂි තියෙනවා!”
එන්න එන්න කට හඬ සද්ද අඩුවී, මොලොක්වී රහසින් වගේ මෙහෙම කියලා රවී අත් දෙකෙන් මූන වහගත්තා, ඉවසන්න බැරි දුකකින් පෙලෙන කෙනෙක් වගේ. මිනිහා අඬනවද නැද්ද කියලා හිතාගන්න අමාරුයි. මට හිතුනේ පරමානු බෝම්බ නිර්මානකයෝ හිරොශීමා වලින් පස්සේ මෙහෙම ඉන්න ඇති කියලා. කොයිතරම් දුකක් හිතුනත් මම සද්ද නැතුව හිටියා එයාම නැවත කතාව පටන්ගන්නකම්.
“කෝටිපති කුඩු මුදලාලිලා දෙන්නෙක් දැන් මැති ඇමැති කීපදෙනෙකුත් රේගුවේ කීපදෙනෙකුත් ‘අයිති කරගෙන’ කියලා මට කෙලින්ම කියන්න පුලුවන්. පාතාල කල්ලි දැනටමත් කොළඹ පැති කීපයක ‘රජවෙලා’ කියන එකත් ඇත්ත….”
“රවී මොකද කියන්නේ රංජිත්, වසීර් වගේ අයගෙ මරන ගැන - ඒවත් මේකට සම්බන්ධද?”
“රිවර්සයිඩ් හෝටලේ හමුවූ අය, ඒ කියන්නේ ‘සමාගම’, මේ තාකශනයේ එක්කෝ වටිනාකම, එහෙම නැත්තම් භයානක බවක් වටහාගෙන තියෙන්න ඇති. මේ තාකශනය නරක අතට පාවිච්චි කරන්න හිතුව කෙනෙකුට ඒක බොහොම වටිනා දෙයක්. ඒ වගේම, තාක්ශනය හොඳ අතට පාවිච්චි කරන්න හිතන අයටත් ඒක වටිනා දෙයක්. නමුත් බොහොම බුද්ධිමත් අය පමනයි තාක්ශනයේ භයානකත්වය දකින්නේ….මං හිතන්නේ ‘සමාගමේ’ හිටි අය වැටෙන්නේ මේ අංතිම කාංඩෙට - තාක්ශනයේ භයානකත්වය හොඳටම වටහා ගත්ත අය. හිතලා බලන්න, තාක්ශනයේ වටිනාකම උපයෝගීකරගෙන දියුනුවෙන්න උත්සාහ කරන පුද්ගලයෙකුට මාස ගනන් මීටිං තියන්නවත් අනික් අය සම්බන්ධ කරගන්නවත් අවශ්‍ය නෑ. අනික් අතට භයානක දෙයක් මෙල්ලකරන්න නම් උගතුන් සමූහයක් අවශ්‍යයි”
“මේ කංඩායමේ ආනන්ද ඩි මෙල් හිටපු එකෙන් පෙනෙනවා ඒ අය තාක්ශනය මෙතැනින් නවත්වලා නෙවෙයි ඒක මෙල්ලකරන්න තැත් කලේ කියලා. ඩි මෙල් තවම මේගැන පරීක්ශන පවත්වනවා. සමහරවිට රංජිත් ගෙන්වාගන්න ඇත්තේ රහස් පොලිසියෙන් මේ ගැන දන්නේ, කරන්නේ මොකක්ද කියලා දැනගන්න වෙන්න ඇති”
“නමුත් මගෙ හාරා සොයාබැලීම් වලින් ආවරන වෙන්නේ රංජිත් මේගැන වැඩිය නොදන්න බවයි. එයාගෙ පවුලයි, ඉන්ද්‍රානී දෙන්නම කිව්වේ ඒකයි” මෙහෙම මම කිව්වේ රවීගෙ කතාව හොඳින් තේරුම් ගන්න ඕනෑ නිසයි. නමුත් රවී ඒ අදහස අතාරින්න කැමති උනේ නෑ.
“ඒ අපි දන්න තරමින්. රංජිත් මොන මොනවා හාරලා බැලුවද කියලා අපි කොහොමද දන්නේ? එයාටත් වීරසිංහ නෝනට වගේම සිකියුරිටි ක්ලියරන්ස් තිබුනා. ඒ කියන්නේ, යමක් සොයාගන්න ඕනනම් ඒක කරන්න බැරි නෑ….ඒ මොක උනත් සමාගමට රංජිත්ව මරන්න කිසිම හේතුවක් නෑ. එයාගෙන් අවශ්‍ය තොරතුරු නොලැබුනොත් එයාගෙ සහබාගිත්වය නවත්වන්න තිබුනා….මං හිතන්නේ රංජිත් ඇත්තටම අනතුරකින් මියගියේ කියලා…මේ කන්නාඩි කතාවට සම්බන්ධයක් නැතුව”
“එතකොට වසීර්?”
“වසීර්ගෙ කතාව වෙනස්. එයා ‘සමාගමේ’ මීටිං වලට ගියෙ නැතත් ඒවා ගැන බොහෝම දේ දන්නවා. සහභාගිත්වය විතරක් නෙවෙයි දින, වෙලා, ගෙව්වේ කවුද, ගෙව්වේ කීයද වගේ බොහෝම දේ සටහන් කලා. ඒක ‘සමාගමට’ තර්ජනයක් වෙන්න ඉඩ තිබුනා. අනික් අතට බලනකොට, ‘සමාගම’ රටේ හොඳට වැඩකරන එකක් හැටියට අපි පිලිගත්තොත් වසීර් මරන එක ඒ අයගෙ වැඩක් නෙවෙයි කියලත් පිලිගන්න ඕනෑ”
“නෑ රවී….ඒක එහෙමම වෙන්න ඕනැ නෑ. රටට හොඳ දෙයක් නම් ඒක රැකගන්න වටිනවා. ඒකට වසීර්ගෙන් තර්ජනයක් තිබුනානම් වසීර්ගෙ තර්ජනය ඉවත් කරන එකත් රටට සේවයක් හැටියට හිතන්න පුලුවන්”
“අජිත් දැක්කා ‘සමාගමේ’ සාමාජිකයෝ - එතන එක්කෙනෙක් හිටියද කවුරුවත් අමු අමුවේ මරාදමන්න හැකි?”
“රවී දන්නවා සල්ලි දීලා මිනිස්සු මරන එක අලුත් දෙයක් නෙවෙයි”
“මම සමාගමේ හිටියනම් කරන්නේ වසීර් නොමරා එයා මේ සටහන් කාටද දෙන්නේ කියලා හොයන එකයි”
“එහෙම නොකරා කියලා රවී දන්නවද?”
රවී ඇස්දෙක ලොකු කරලා මං දිහා බැලුවා.
“අජිත් කියන්නේ උන් මා පස්සේ එයි කියලද?”
“ඒවා කියන්න බෑ රවී - කෝකටත් පරෙස්සම්ව් එන එක හොඳයි”
අපි කතා නොකර ටිකක් වෙලා අඳුරු ජනේලේ දිහා බලාගෙන හිටියා.
“රවී හිතන්නේ මේ තාක්ශනය හොඳටම තේරුම් අරගෙන, රවී කල දේ කරන්න තව කෙනෙක් හිටියොත් කොහොමද අපි එයා සොයාගන්නේ?”
“පත්තරේට දැන්වීම් දාලා බෑ….සල්ලි වලටත් බෑ, මොකොද කුඩු මුදලාලිලා ඒ වගේ දහ ගුනයක් ගෙවයි….කොම්පියුටර් මාර්ගෙන්ම තමා සොයන්න වෙන්නේ”
“ඒ කියන්නේ ඒකටත් රවී වගේ කෙනෙක් ඕනෑ…..රවී වගේ කෙනෙක් සොයන්න රවී වගේ කෙනෙක් ඕනෑ….තව විදිහකට කියනවානම් ඒක කරන්න බෑ?”
“නෑ….දැනට බැරි උනාට හැමදාම බැරිවෙන එකක් නෑ”
“රවීට වගේ කොම්පියුටර් ගොන්නක්ම ඕනැද ඔය වැඩේ කරන්න?”
“නෑ නෑ…සොෆ්ට්වෙයා ලියන්න පොඩි ලැප්ටොප් එකකුත් ඇති…රට වටෙන් දත්ත ගෙන්නගෙන ගොනු කරන්න තමා මේ තරම් මැශින් ඕන වෙන්නේ”
“පිට කෙනෙකුට රවීගෙ කොම්පියුටර් වලින් දත්ත හොරකම් කරන්න බැරිද?”
“මගෙ සිකියුරිටි ලේසියෙන් බිඳින්න බෑ. එහෙම කෙනෙක් කලත් මම දැනගන්නවා”
අපි දෙන්නම තව ටික වෙලාවක් සද්ද නැතුව හිටියා. මට දැනෙන්නේ මුලු රටම විනාශ වෙන්න ඔන්න මෙන්න කිය කියා හිටියත්, වීරසිංහ නෝනලා මා ගැන පුදුම විස්වාසෙකින් මට දීපු වැඩේ කරන්න මට හැකියාවක් නෑ. මට ඒ වෙලාවේ දැනුනේ මාද්‍යවේදී ප්‍රශ්න කොච්චර ඇහුවත් මම කිසි දෙයක් විසඳනවා තියා මූලික අදහස්වත් හරියට තේරුම් ගන්න මගෙ මොලේ දියුනු මදි කියලා. මහාචාර්ය වරුයි පරිගනක උගතොයි එක්ක පොලොන්නරුවේ වීමෝලක වැඩකරන පරන පත්තර කාරයෙක් කොහොම එකට වැඩ කරන්නද? මගෙ ඇස්වලට කඳුලු ආවා.
“රවී…මට මේක කරන්න බෑ… හිතෙනවා සේරම අතෑරලා ගෙදර යන්න…මගෙ දැනීම මදි මෙතෙන්ට කිසිම උදව්වක් වෙන්න…මට සමාවෙන්න රවී…වීරසිංහ නෝනටත් කියන්න…”
මම වෙන කිසිදෙයක් නොකියා දිගාවෙලා හිටපු හාන්සිපුටුවේ පැත්තකට හැරිලා ඇස් වහගත්තා. රවී මගෙ ඇඟ උඩින් බ්ලැන්කට් එකක් දානවා දැනුනත් මම ආයෙ කට ඇරියෙ නෑ.
…..
පහුවදා උදේම මම පිටත් උනා දෙහිවල ගිහින් විජේලා හමුවෙලා ඊට පස්සේ පොලොන්නරු යන්න. අපි අවසාන වරට කඩෙන් උදේට තේ බොන වෙලාවේ රවී මට බොහෝම බල කරා තව දවස් කීපයක් නැවතිලා යන්න හරි, අඩුම ගානේ වීරසිංහ නෝනා හමුවෙලාවත් යන්න හරි කියලා, මම ඒවට එකඟඋනේ නෑ. රවී අංතිමට හිනාවෙලා කිව්වා “එහෙනම් පෙරහැරටවත් ආයෙ හම්බුවෙමු” කියලා.
මම බස් එකෙන් දෙහිවල බැහැලා ටෙලිෆෝන් තියෙන කඩේකට ගියා. ඉස්සරවෙලාම විජේට කතා කරලා කිව්වා මට හදිස්සියේ පොලොන්නරුවේ යන්න වෙලා අදම යන බවත් මගේ මල්ල දවල් ඇවිත් ගන්න බවත්. ඊලඟ නොබරේ කරකවලා උත්තරේ ලැබෙනකම් හිටියා.
“මේ දිමුත් පරනවිතාන…මිසිස් වීරසිංහ ඉන්නවද?”
මම “තව පැය බාගයක් වඩේ කාලා තේ බොනවා” කියලා වීරසිංහ නෝනට කියලා ටෙලිෆෝනේ තියලා එදා ගිය කඩේට ගියා.
විනාඩි විස්සකින් වීරසිංහ නෝනා ආවා, තවත් කෙනෙක් එක්ක. නිල ඇදුම් නැතත් එයා උසස් පොලිස් නිලදාරියෙක් බව මුහුනෙන් කියන්න පුලුවන්.
“මගෙ වාර්තාව දැන් පිලිගන්න කැමතිද?”
“ඔවු”
“මට මහාචාර්‍ය වීරසිංහ කිව්වේ මහාචාර්‍ය රංජිත් ප්‍රනාන්දුගේ මරනය ගැන සොයා බලන්නයි. එතුමාගේ මරනයට සම්බන්ධ තව කාරනා කීපයක් තියෙනවා. පලවෙනි එක - ඔබතුමීගේ කන්නාඩි තාක්ශනය පාවිච්චිකලහැකි තරමට හොඳින් කීදෙනෙක් දැනට ඒගැන දන්නවද? දෙවෙනියට - ඒ තාක්ශනය දන්න අයට රංජිත් ප්‍රනාන්දුගෙන් තර්ජනයක් තිබුනද? තුන්වෙනියට - තර්ජනයක් තිබුනානම් ඒක මිනී මැරුමකින් කෙලවර කරන්න තරම් සහාසික අය මේ අතර හිටියද? අංතිමට - වසීර්ගේ මරනය මේවට සම්බන්ධ වෙන්නේ කොහොමද?”
මෙහෙම කියලා මම රහස් පොලිසියේ දෙන්නා දිහා කෙලින් බැලුවා.
“මේවට උත්තර සොයන්න ඉස්සර මට එකක් කියනවද? මම ඒක ප්‍රසිද්දියේ එලිදරව් නොකරන්න පොරෝන්දු වෙනවා…වසීර් රහස් පොලිසිය වෙනුවෙන්ද මීටිං ගැන සටහන් ගොනුකලේ?”
ඒ දෙන්නා මූනෙන් මූන බැලුවා. අංතිමට වීරසිංහ නෝනයි කතා කලේ.
“අහපු ප්‍රශ්නෙට උත්තරය ‘ඔවු’ – නමුත් කියනවද මේක අජිත් කොහොමද දැනගත්තේ කියලා?”
“ඒකගැන කතා කරන්න ඉස්සර අපි බලමු ළංකාවට තිබෙන තර්ජනය ගැන. අපි දැනට හිතාගෙන ඉන්නේ රවී ඇරුනුකොට අඩුමගානේ තව එක්කෙනෙක් හරි මේ තාක්ශනය දන්නවා කියලා. රවී මට කිව්වා පාතාල කල්ලි රජවෙලා ඉන්න හැටිත් කුඩු මුදලාලිලා වැදගත් මිනිස්සු අල්ලාගෙන ඉන්න විදිහත්. පත්තරේ දකින දේ වලින්ම කියන්න පුලුවන් නීති විරෝදී වැඩ ඉතා විශාල ගනනක් මෑතදී සිදුවුන බව. කන්නාඩි තාක්ශනයේ දියුනුව සමග පෙලට අත්වැල් බැඳගෙන යන නිසා මේ නීති විරෝදී වැඩ තාක්ශනයට යම් කිසි සම්බන්ධයක් තියෙන බව පැහැදිලියි….නමුත් තාක්ශනය නිසාම ඒක වෙනවද කියලා නිස්චිතවම කියන්න බෑ…. ළමයා අපිට තව තේ ගේන්න…”
“රංජිත් ප්‍රනාන්දු අඟහරුවාදා රෑ රිවර්සයිඩ් හෝටලේට යන්න පටන් ගත්තේ මේ නීති විරෝදී වැඩ ඉහල යන්න පටන් ගත්ත දවස්වලමයි. මම මේක සොයාගත්තේ පත්තර වාර්තා වසීර්ගෙ සටහන් සමග සංසංදනය කරලා. ඒකෙන් ගන්න පුලුවන් එක නිගමනයක් - රිවර්සයිඩ් හෝටලේ කංඩායම රංජිත් ප්‍රනාන්දුට ආරාදනා කල බව, පාතාල කල්ලි සහ කුඩු ජාවාරම් ගැන රහස් පොලිසිය දන්නේ මොනවද කියලා සොයාගන්න. රංජිත්ගැන මම සොයාගත්ත එක දෙයක් තමා එයා එයාගෙ රාජකාරි ගැන කංතෝරුවෙන් පිටදී කතා කලේ නෑ….එහෙම කෙනෙක් හෝටලේ කංඩායමට යමක් කියයිද, දැනගත්තත්? මං හිතන්නෙ නෑ”
“අපි බලන්න ඕනෑ මේ හෝටලේ කංඩායම ගැනත්. මම ඒඅයට නම දැම්මේ ‘සමාගම’ කියලා. අපි ඒ නමම පාවිච්චි කරමු ලේසියට. ඒ වගේම මෙතෙන්දී නීති විරෝදී දේ කරන සේරම අය එකතුවට අපි ‘කල්ලිය’ කියලා කියමු”
“සමාගමේ සාමාජිකයෝ සේරම වෘතිකයෝ, එක එක ක්ෂේත්‍ර වලින්. පාතාල කල්ලි, කුඩු ජාවරම් වැනි දේවලට සම්බන්ධයි කියලා හිතන්න අමාරුයි. නමුත් මෙහෙම කංඩායමක් එකතුවෙන්න හේතුවක් ඕනෑ….මට හොඳටම විශ්වාසයි ඒ අය ‘කල්ලි’ තර්ජනයෙන් රට බේරාගන්න වැඩ කල අය කියලා. ඒක තහවුරු කරන්න තව දෙයක් තමා ඒ අයගේ ඉගෙනීම, වෘති ක්ෂේත්‍ර වගේම ජාති, ආගම් වල වයිවාරනත්වය. මෙතනදී මට කැපී පෙනුන එක දෙයක් තමා සමාගමේ පොලිසියෙන් හෝ හමුදා වලින් නියෝජිතයෝ නැති එක. රංජිත් ප්‍රනාන්දු විශ්වවිද්‍යාල පැත්තෙන් ආව නිසා එයා ගනන් ගන්න බෑ. සමාගම හමුදා සහ පොලිසිය එක්කෝ විශ්වාස කලේ නෑ, එහෙම නැත්තම් ඒ අයට මේ තාකශනය ගැන අදහස් දීමත් භයානක දෙයක් ලෙස හිතුවා. කොහොම උනත් සමාගම හුඟක් මේ ගැන හිතලා බලලා වැඩ කරලා තියෙන්නේ”
“අපි දන්න තරමට සමාගමේ කිසි කෙනෙකුට රංජිත්ට වගේ කරදරයක් වෙලා නෑ. ඒ අය කල්ලිය පැත්තේ නම් මේක තේරුම් ගන්න පුලුවන්. නමුත් ඒ අය කල්ලියට විරුද්ද පැත්තේනම් එක තීරනයයි ගන්න පුලුවන් - ‘කල්ලියට හානිය කරන්න තරම් බලයක් සමාගමට නෑ’. මං හිතන්නේ මේක තමා ඇත්ත. කල්ලිය ගනන් ගත්තෙ නෑ සමාගම ලොකු තර්ජනයක් හැටියට”
“රංජිත් මියගියේ සාමන්‍ය අනතුරකින් නොවෙයිනම්, ඇයි කවුරුහරි කෙනෙක් රංජිත්ව මැරුවේ? මට හිතෙන්නේ එයා මරන්න තීරනේ ගත්තේ රංජිත් කල්ලිය ගැන අලාභහානී තොරතුරු සමාගමට සපයා ඇතියි කියන වැරදි අදහසින්. ඒකෙන් පෙන්වන්නේ රංජිත්ට කල හැකි නොහැකි දේ ගැන ඒ අය නොදන්නා බවයි”
“දැන් අපිට මේ ප්‍රශ්නෙට සම්බංද කොටස් හතරක් ඉන්නවා - සමාගම, කල්ලිය, රහස් පොලිසිය, පරිගනක මිනිස්සු. ‘රහස් පොලිසිය’ කියන එකෙන් මම හඳුන්වන්නේ උනේ මහාචාර්‍ය වීරසිංහගේ කංඩායම විතරයි - මුලු රහස් පොලිසියම නෙවෙයි. ඒ වගේම, ‘පරිගනක මිනිස්සු’ කිව්වේ මේ කන්නාඩි තාක්ශනයට පරිගනක දත්ත සම්බන්ධ කලහැකි රවී වගේ දක්ශයෝ විතරයි. රංජිත්ගේ ඝාතනයට සැක කාරයෝ හැටියට අපිට පුලුවන් සමාගමයි රහස් පොලිසියයි අමතක කරන්න. අනික් දෙගොල්ලම දැනට සැක කාරයෝ හැටියට තියාගමු”
“ඊලඟට වසීර්ගේ ඝාතනය. එයා පෞද්ගලික හේතු නිසා මලා කියන එක විශ්වාස කරන්න අමාරුයි. එයාගෙ මීටිං සටහන් ගැන දන්නේ රහස් පොලිසිය විතරයි; නිල වශයෙන්. සමාගමයි කල්ලියයි ඒ ගැන දැන හිටියා කියලා වැඩි වෙනසක් නෑ. සමාගම ඒ අයගේ සභා පැවැත්තුවේ හොරෙන් නොවෙයි - කවුරු ඒවා ගැන දැනගත්තත් සමාගමට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තේරෙන විදිහට කල්ලිය සමාගම ගනන් ගත්තෙ නෑ - ඒ නිසා ඒ අයගෙ මීටිං කල්ලියටත් ප්‍රශ්න නෙවෙයි. රහස් පොලිසිය වසීර්ව මැරුවනම් ඒ ගැන දන්න දෙන්නෙක් මා ඉස්සරහ දැන් ඉන්නවා”
කතා නොකර විනාඩියක් ඉඳලා මම ආයෙත් පටන් ගත්තා.
“වසීර් ලවා සමාගමේ මීටිං ගැන සටහන් එකතුකරලා හිටපු ගමන්ම වසීර් මරා දමන්ට තරම් රහස් පොලිසිය මෝඩ නෑ. ඒ අයට වෙන පියවර ගන්න පුලුවන් වසීර්ගෙ වැඩ නවත්වන්න හරි වෙනස් කරන්න හරි. එයා මරා දාන එක තර්කානුකූල නෑ…..අපිට සැක කරන්න ඉතුරු පරිගනක දක්ශයෝ විතරයි”
“මේ වෙලාවේ අපි බලන්න ඕනෑ පරිගන අංශයෙන් සැක කරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. අපෙ රවිත් ඒ ගොඩට දාමු…අපි දැනට දන්නේ එයා විතරක් නිසා. තව මේ වගේ පරිගනක දක්ශයෝ ඉන්න බව අපි දන්නේ කොහොමද? ඉක්මනින් වැඩිවෙන ප්‍රචංඩ ක්‍රියා නිසා. විශ්වවිද්යාලවල මේ තාක්ශනය ඒ තරම් දියුනු නෑ. ආනන්ද ඩි මෙල් එක්ක කතාවෙනුත් රවීගෙ වචනෙනුත් දැනුනේ මේකයි. අපි හිතන්න ඕනෑ වෙන කවුරුත් මේ තාක්ශනය අලුතෙන් දියුනු කරන එක ඇත්තටම අවශ්යද කියලා. රවීගෙ කොම්පියුටර් වලින් හොරකම් කල හැකිනම් ඒ තරම් මහන්සිවෙන්න ඕනැත් නෑ, ඒ වගේම හරියට වැඩකරන සොෆ්ට්වෙයා පද්දතියක් කෙලින්ම ලබාගන්න පුලුවන්”
දැන් වීරසිංහ නෝනයි යාලුවයි දෙන්නම ඇස් දල්වාගෙන අහගෙන ඉන්නවා මම කියන දේ.
“නමුත් රවීගෙ සිකියුරිටි බොහොම හොඳයි. ලේසියෙන් එහෙම එයාගෙ සොෆ්ට්වෙයා හොරකම් කරන්න බෑ….මෙතෙන්දී මම කියන්න ඕනෑ ඊයේ රෑ වූ දෙයක් ගැන. රවීටයි මටයි දෙන්නටම බොහොම මහන්සියි - ඊයෙ රෑ බොහොම වෙලාවක් කතා කරකර හිටපු නිසා. රවී අඬන්නත් කිට්ටුවෙන් හිටියේ එයාගෙ පරිගනක වැඩවලින් ළංකාවට විනයක් වෙන එක ගැන….එයා මට කිව්වා ඔය සමාගම වසීර් මරන එක විශ්වාස කරන්න අමාරුයි කියලා….මම ඒ අදහස් පිලිගත්තා…නමුත් එයා ‘සමාගම’ කියන වචනේ පාවිච්චි කලේ කොහොමද? මම ඒ වචනේ එයාට කියලා තිබුනෙ නෑ. ඒක මම මගේ ලේසියට මගේ සටහන්වල ලියපු දෙයක්…කතාවෙදි මම කිසිම වෙලාවක ඒක පාවිච්චිකලේ නෑ….ඒ කියන්නේ රවී මා ලියපුදේ මට හොරෙන් කියවලා තියෙනවා…මම පාවිච්චි කරපු කොම්පියුටරෙන් නෙවෙයි වෙන එකක් හරහා…ඒ අදහස එක්ක දිගටම ගියොත්….රවීට පුලුවන්නම් මා ලියූදේ වෙන කොහෙ හරි ඉඳන් කියවන්න, එයාට එයාගෙම සොෆ්ට්වෙයා වෙන තැනක ඉඳන් පාවිච්චි කරන එකත් ලේසියි. එහෙම කරන්න වෙන කෙනෙකුට දෙන එකත් ලේසියි….”
මා ඉස්සරහ තිබුනේ ඉටි රූප දෙකක්.
“අමතක කරන්න එපා වසීර් මැරුනදා රෑ රවී වසීර්ව එයාගෙ කංතෝරු කාමරේදීම මුනගැහිලා මීටිං සටහන් ගෙනාවේ. රවී කාමරෙන් එලියට ආවට පස්සේ කවුරුත් වසීර් පනපිටින් දැක්කද? ඒ වගේම, රවී මට කිව්වා රංජිත්ට වීරසිංහ නෝනට තියෙන සිකියුරිටි ක්ලියරන්ස්ම තියෙනවා කියලා. රවීගෙ හොර වැඩ නවත්තන්න පුලුවන් රහස් පොලිසියට විතරයි - එයා හිතුවේ රංජිත් ඒක කරයි කියලා. කල්ලි සමග සම්බන්ධ කෙනෙකුට කල්ලි ලවා මිනිහෙක් කාර් එකකට හප්පවන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි….හපුතලේ ගමන මට විශ්වාස නෑ - රවී එහෙ ගියාද නැත්තම් කවුරුහරි අතේ ටෙලිෆෝන් එක යැව්වද? රහස් පොලිසියෙන් කතාකලේ තානායමේ මැනේජර්ට - රවීට නෙවෙයි….හපුතලේ ගියානම් ඒ ඇයි කියලා මම දන්නෙ නෑ….ඒක අපේ ප්‍රශ්න වලට අදාලද නැද්ද කියලා පස්සේ අනාවරනය වෙයි…ඇයි රවී වෙස්වලාගන්නෙ? නීතියට විරෝදී නැතිවුනත් ඒකත් මට සැක සහිතයි…..”
“මම ඔබලාගෙන් ඉල්ලන්නේ එකම දෙයයි…මින් පස්සේ මට මේ වගේ වැඩ බාරදෙන්න එපා…රවී හොඳ කොල්ලෙක්, නරක වැඩ කරාට. මම කැමතියි මගෙ ගෙදර අයත් එක්ක කලබල නැති නිස්කලංක ජීවිතයක් ගෙවන්න. මට කරුනාකරලා ඒකට ඉඩ දෙන්න….”
…..
පවුල ලෑස්තිකර තිබුනු පොල් සම්බල් එක්ක රොටියක් කෑවේ මම කඩේ ගිහින් පත්තරේ එහෙම ගෙනත්. ඉරිදා පත්තරේ වැඩිපුර කියවන්න දෙයක් නොතිබුනත් පොඩි එකාට විහිලු පිටුත් පවුලට වෙද හෙද පිටුත් බෙදාගෙන කියවන එක බොහොම විවේකයි. තේ කෝප්පේ කට ලඟට කිට්ටුකරමින් මම වැල්ලවත්තේ ගින්නෙන් විනාශවූ ගෙදර ගැන කියෙව්වා. එහි අයිතිකාර තරුනයාගේ මියගොස් ඇත්තේ ගින්නට හේතුවූ පරිගනක වල ඇතිවූ විදුලි ගින්නක් නිමාදැමීමට තැත්කල විට බව එහි සඳහන්වී තිබුනා. මේ ප්‍රවුර්තිය මම බලාපොරොත්තුවුනේ මීට දවස් කීපෙකට පෙරදීයි.