මට මතකයි
මට ඒ ළමයා මුනගැහුනේ අපෙ ඉස්කෝලේ පැවැත්වුන අවුරුදු උත්සව දවසේ. මෑතදී විශ්රාම ගිය ගුරුවරයෙක් හැටියටයි මට උත්සවයට ආරාධනා ලැබුනේ. මම දිගටම ප්රාථමික පාසැල් ගුරුවරයෙක් හැටියට සේවය කළ නිසා පොඩි ළමයින්ගේ කෑකෝ ගැසීම හොඳට පුරුදුයි. ඒ වුනත් මම පිට්ටෙනියේ කොනේ සෙවන දෙන අඹගහ යට බංකුවක වාඩිවුනේ උත්සවය පිටස්තරයෙක් හැටියට විවේකීව නරඹන්නයි. නමුත් ඒ බලාපොරොත්තුව බිඳ දැම්මේ කුඩා ළමයෙක් සමග මා වෙත ආ ජ්‍යෙෂ්ඨ ගුරුතුමියකුයි.
“ආ මහත්තයා කොනකට වෙලා! ඇයි අර ගුරුදෙගුරු කූඩාරමට එන්නෙ නැත්තේ?”
“නෑ නෝනමහත්තයා - මට මේ අඹගස් සෙවන හොඳයි! කවුද මේ - මුළාවුන ළමයෙක්ද නැතිනම් නෑදෑයෙක්ද?”
“මෙයාද? මේ අර ගුනතිලක මහත්තයගෙ පුතා, මිලින්ද. ගුනතිලක මහත්තයට අර සමිතියේ සභාපති එක්ක එන්න යන්න සිද්ධවුනා. මං බැළුවේ මෙයා කොහෙ නවත්තනද කියලා මගෙ වැඩකටයුතු ටික කරගන්නකල්... මං හිතුවේ ගුරු දෙගුරු කූඩාරමේ තියන්න හැබැයි එතන කලබල වැඩියි”
“ඉතින් ගුනතිලක මහත්තයා එන්න කොච්චර වෙලා යයිද?”
“තව පැය බාගයක්වත්… මොකට එක්ක ආවද මංදා…”
ගුරුවරීට පැවරුන ළමයි බලාගැනීමයි තමංගෙ රාජකාරි ඉටුකිරීමයි දෙකම කරන්න බෑ. මට හිතුනා මේ වගකීම මෙයාට ලැබුනේ එයා ගැහැනියක් නිසා බව කවුරුත් පිරිමියෙකුට කියන්නෙ නෑ ළමයෙක් බලාගන්න කියලා - අපි තවම ඒ තත්වෙට ඇවිත් නෑ.
“වැඩිය එහෙ මෙහෙ දුවන්නෙ නැත්තං මාත් එක්ක මේ බංකුවේ වාඩිවෙලා ඉන්න පුළුවන්. මට පුරුදුයි මුනුබුරොත් එක්ක කතා කරලා!”
“අනේ මහත්තයා… පුළුවන් නම්… මං පුළුවන් තරම් ඉක්මනට එන්න බලනවා… මිලින්ද මේ සීයත් එක්ක ඉන්නවද මං එනකන්?”
පොඩි එකා මා දිහා බලලා හිනාවෙලා බංකුවේ වාඩිවුනේ ‘දැන් මොකද කරන්නේ?’ කියනවා වගේ.
“මිලින්ද ඉස්කෝලේ යනවද?”
“ඔවු”
“කොයි පංතියෙද?”
“එක”
“තව කාලයක් ඉස්කෝලේ යන්න තියෙනවා නේද?”
“ඇයි?”
“අපෝ - ළමයි අවුරුදු දහයකට වැඩිය ඉස්කෝලේ යනවා!”
“සීයා කොච්චර කල් ඉස්කෝලේ ගියාද?”
මම ළමයා දිහා සැලකිල්ලෙන් බැලුවා. ඒ ප්රශ්නේ එක වසරට අයිති එකක් නෙවෙයි. මිලින්දගෙ මුහුනෙන් පෙනුනේ ඇත්තම උත්තරයක් බලාපොරොත්තුවෙන් ප්රශ්නය අහපු බවකුයි.
“මං කියන්නද - අපි දෙන්නා එක එක්කෙනාගෙ ප්රශ්න වලට තේරෙන භාශාවෙන් කෙලින්ම උත්තර දෙමු. මට ඒකට තියෙන්නේ එක කොන්දේසියයි. මට සීයා නොකියා අන්කල් කිව්වොත් මම ඔයාට මිලින්ද කියලා කතා කරනවා - ළමයා, පුතා එහෙම නොකියා. ඔට්ටුද?”
“ඔට්ටුයි!”
……………………….
“ඉතින් උත්තරේ මොකද්ද?”
මිලින්ද මෙහෙම කියනකොට මට ආයෙත් ප්රශ්නේ මතක් කරගන්න සිද්ධවුනා.
“ඉස්කෝලේ අවුරුදු දොලහයි. ඊට පස්සේ ගුරුවරයෙක් වෙන්න තව අවුරුදු දෙකක් ඉගෙන ගත්තා ගුරු විද්යාලය කියලා තැනක”
“ඉස්කෝලේ යන්න ඉස්සර?”
“මම ගෙදර තමා හිටියේ. අම්මයි අප්පච්චියි අයියයි එක්ක”
“ඒ දවස්වල මොනවද ඉගෙනගත්තේ?”
“ඉස්කෝලේ යන්න ඉස්සර ඉගෙනගත්තේ? හ්ම්… දත් මදින්න… නාන්න… හරියට කෑම කන්න. ආයෙ අම්මටයි අප්පච්චිටයි වඳින්න… හුඟාක් දේ… නෑදෑයෝ හඳුනගන්න… ඇයි මිලින්ද ඒ ප්රශ්නේ ඇහුවේ?”
“මට හිතුනා දැන ගත්තොත් හොඳයි කියලා … මං ඉගෙන ගත්ත ජාතිමද අන්කල් පොඩිකාලේ ඉගෙනගත්තේ කියලා බලන්න”
ඒ සැරේ මම මිලින්ද දිහා බැලුවේ සෑහෙන ගෞරවයකින්; මේ වයසේ කෙනෙක් මෙතරම් සැලකිල්ලෙන් යමක් ගැන සිතා බලනවා මට මීට ඉස්සර හමුවෙලා නෑ.
“ඒකට අපි දෙන්නම ඉස්කෝලේ යන්න ඉස්සර ඉගෙනගත්ත දේ දැනගන්න ඕනෑ… එහෙම කරන්න මං හිතන්නේ එක එක මාතෘකා වෙන වෙනම බලන්න ඕනෑ… අපි ඉස්සරවෙලාම කෑම ගැන බලමුද?”
“ඒක හොඳයි”
“හ්ම්…. කෑම… කටේ කෑම තියෙනකොට කතා කරන්න බෑ… ආයෙ ඇඟිලි පුරුක් දෙකකට උඩින් ඉඳුල් ගෑවෙන්න බෑ… කෑම කටට අරගෙන කට වහගෙනයි කන්නේ… මිලින්දට?”
“ඒ වගේමයි, හැබැයි ඇඟිලි පුරුක් කතාවක් මතක නෑ. මට හරියට කෑම වෙලාවට එන්න ඕන මොන සෙල්ලම කරකර හිටියත්. බල්ලගෙ පිඟානෙන් කන්න බෑ - බල්ලට මගෙ පිඟානෙන් දෙන්නත් බෑ… තාත්තා කියනකං මේසෙන් නැගිටින්න බෑ…”
“මේසෙන් නැගිටින ප්රශ්නේ මට තිබුනෙ නෑ. මම පොඩි කාලේ කුස්සියේ බංකුවක වාඩිවෙලා අපි කෑවේ. අප්පච්චී විතරක් සාලේ මේසේ ඉඳගෙන කෑවා. කාලා පිඟාන සෝදලා තමා එලියට ආවේ”
“අපෙ පිඟාන් සෝදන්නේ කුස්සිඅම්මා… එයා නැති දවසට අම්මා…”
“මිලින්දට වගේ නෙවෙයි අපිට කුස්සිඅම්මා කෙනෙක් හිටියෙ නෑ. අම්මා තමා ඉව්වේ; අයියයි මමයි ටිකක් උදව් කරා - පලා සුද්ද කරන්න, පොල් ගාන්න වගේ. අයියා තමා ගස් වලින් කරපිංචා, රම්පේ එහෙම කඩාගෙන ආවේ…”
මිලින්ද මා දිහා බැළුවේ ඇස් දල්වාගන.
“අන්කල්ගෙ අයියට ගස් නගින්න පුළුවන්? අන්කල්ටත් පුළුවන්ද?”
“රම්පෙ කරපිංචා කඩන්න ගස් නගින්න ඕන නෑ… මට තවමත් බෑ ගස් නගින්න!”
අපි දෙන්නටම හිනා ගියා.
මටම පුදුමයි ඉස්සර කාලේ සිද්ධවුන දේ තවම මතක තිබීම. මට මතකයි අයියා යන ඕන තැනක මමත් ගියා. අයියා හැම දේටම දක්ශයි - මගෙ වීරයා ඒ දවස්වල. මගෙ ඇස්වලට කඳුළු ආවා පසුගිය අවුරුද්දේ නැසීගිය අයියා මතක්වෙනකොට.
…………………………..
“කෑම ගැන ඇති - මිලින්ද සෙල්ලම්කළේ කවුරු එක්කද?”
“හුඟක් වෙලාවට තනියම. ආයෙ බල්ලත් එක්ක. ඉස්සර එහා ගෙදර සුනිල් ආවා සෙල්ලම් කරන්න - දැන් නෑ”
“මම නම් වැඩියම සෙල්ලම්කළේ අයියත් එක්ක. අපි කැටිපෝල් ගැහුවා, මාළු ඇල්ලුවා, කරත්ත හැදුවා, උනබම්බු කපලා වෙඩි හැදුවා… මේවා තමා මතක. ආයෙ මිදුලේ බැඩ්මින්ටන් එහෙමත් ගැහුවා. තව නෑදෑයෝ එහෙම ඇවිත් හිටියානම් ක්රිකට් එහෙමත් ගැහුවා…”
“මම ඒ වගේ දේ ගොඩක් නොකෙරුවට මගෙ කොම්පියුටර් එකේ හුඟාක් ගේම් තියෙනවා. සමහර ඒවා අමාරුයි!”
“අපෙ කාලේ කොම්පියුටර් නෑ!”
“පොත් තිබුනද?”
“ඔවු පොත් එහෙම තිබුනා.හැබැයි හරි ගනන් නිසා වැඩිය නෑ. අයියා ඉස්කෝලෙන් පොත් ගෙනාවා..”
“ටීවී?”
“අපි පොඩිකාලේ ඒවා නෑ. රේඩියෝ එකක් තිබුනා”
“මගේ තාත්තයි අම්මයි ටීවී බලනවා. සමහරවිට කුස්සිඅම්මත් ඇවිත් බලාගෙන ඉන්නවා”
“මිලින්දට වැඩිය ටීවී බලන්න හොඳනෑ කිව්වෙ නැද්ද?”
“හුඟාක් එව්වා මට බලන්න දෙන්නෙ නෑ දැනටත් … සමහරවිට… හවස බැළුවා”
“තේරෙනෙවද ඇයි එව්වා බලන්න දුන්නෙ නැත්තේ කියලා?”
“නෑ”
“සමහර දේ තියෙනවා පොඩි ළමයින්ට බලන්න හොඳ නැති… “
“කවුද එහෙම කියන්නේ?”
“අ… ඒවා දන්න අය… මං හරියටම දන්නෙ නෑ මිලින්ද. සමහරවිට ඒවා පොත්පත් වල ලියලා ඇති… නැත්නම් හාමුදුරුවෝ හරි ආන්ඩුවේ අය හරි කියනවා ඇති… ගුරුවරු… ඒ අයත් හොඳ නරක දන්නවා ඇති… මිලින්ද මොකද කියන්නේ?”
“මමත් දන්නෙ නෑ… මට හිතෙන්නේ සමහර ඒවා නම් අම්මයි තාත්තයි හදපුවා… සුනිල් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා පොතක නැතුව ඇති…”
මිලින්ද ළමයට මගෙ තියෙන ගෞරවය විනාඩියෙන් විනාඩියට වැඩිවෙනවා.
“ඇයි සුනිල් දඟකාරයෙක්ද?”
“නෑ”
“හයියෙන් කෑ ගහනවා… නැත්නම් අඬනවා?”
“නෑ”
“තාත්තයි අම්මයි සුනිල් එක්ක සෙල්ලම් කරන්න එපා කිව්වේ ඇයි කියලා දන්නවද?”
“සුනිල් අපේ කෙනෙක් නෙවෙයි”
“කවුද අපේ කෙනෙක් කියන්නේ?”
“දන්නෙ නෑ”
“ඉතින් සෙල්ලම් කරන එක නැවැත්තුවද?”
“ඔවු”
“ඇයි?”
“එයා අපෙ කෙනෙක් නෙවෙයි නේ”
මිලින්දගෙ හිතේ මෙතන අරගලයක් නෑ. අම්මයි තාත්තයි කිව්වා ‘සුනිල් අපේ කෙනෙක් නෙවෙයි’ කියලා; ඒකේ අගමුල සොයන්න ඕන නෑ. එදා ඉඳන් මිලින්දට සුනිල් පෙනෙන්නේ වෙනස්, අපේ කෙනෙක් නොවෙන, ළමයෙක් හැටියට. එහෙම අයත් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.
මම ප්රාථමික ගුරුවරයෙක් වෙන්න ඉස්සර මිලින්ද හමුවුනානම් කොයි තරම් හොඳද කියලා මට හිතුනා. මෙයාගෙන් මට බොහෝම දේවල් ඉගෙනගන්න තිබුනා. පොඩි ළමයින්ට පොතපතෙන් ඉගෙනගන්න බෑ. සමහරවිට ටීවී වගේ අනික් මාධ්යවලිමුත් දෙමව්පියෝ අටවන මුරපොල වලින් අවසර ලැබුන අදහස් විතරයි ළමයි වෙත එන්නේ. සමහරවිට සහෝදර සහෝදරියොත් අනික් නෑයොත් මේ වගේ මුරපොලවල් අටවනවා, නැතිනම් වෙන අය අටවපු මුරපොලවල සේවය කරනවා. මට මතකයි අයියා මට සැර කරනවා එයාගෙ පොතක් උඩ වාඩිවුනා කියලා. මට කිසි තේරුමක් නෑ ඒකේ වැරැද්ද නමුත් ආයෙත් මම අයියගෙ පොතක් උඩ් වාඩිවුනේ නෑ (අයියා ඉදිරිපිට).
මිලින්දගෙ කතාව කෙලින්ම මේ මුරපොලවල් වලට සම්බන්ධයි. එයාගෙ දෙමව්පියෝ හරියට හැසිරීම ගැන නීති රීති පනවලා ඒවා පිළිපදින ලෙස මිලින්දට උපදෙස් දෙනවා. සෑම දෙමව්පියෙක්ම මේක කරන්නේ ළමයාගේ ශුභසිද්ධිය සලකලා. ‘පුතා ලිපට අත දාන්න එපා’ නැත්නම් ‘වාහන යන පාරට පනින්න එපා’ වැනි කීම වල වටිනාකම පැහැදිලියි. නමුත් ‘සුනිල් එක්ක සෙල්ලම් කරන්න එපා - එයා අපෙ කෙනෙක් නෙවෙයි’ වැනි උපදෙස්වල වටිනාකම තක්සේරු කිරීම ලේසි නෑ. බොහෝවිට මේ වගේ උපදෙසක යුක්තිය/වලංගුබව දෙමව්පියෝ වුනත් දන්නෙ නෑ. සමහරවිට ඒවා පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන දේ වෙන්න පුළුවන්. මට මතකයි අපෙ ගමේ ජීවත්වුන නෑදෑයෙක් ‘කැපුවොත් මගෙ ලේත් කොලපාටයි!’ කියලා එයා කැමති දේශපාලන පක්ෂයකට පක්ෂපාත බව පෙන්වූ හැටි. ඒ පක්ෂයේ පරතිපත්තිවත් හැකියාවන්වත් තක්සේරු නොකර ඔහුගේ දරුවොත් ඒ පක්ෂයටම ඒකාන්තික සහයෝගය දුන්නා.
නමුත් මට පෙනෙන විදිහට පිටින් එන අදහස් විමසීමක් නැතුව පිළිගන්න තරමට මිලින්දගේ මොලේ ‘ගල්වෙලා’ නෑ - තවම.
“අන්කල් පොඩිකාලේ සුනිල් වගේ අය එක්ක සෙල්ලම් කළාද?”
“අනේ මිලින්ද මට හරියටම මතක නෑ සෙල්ලම් කරපු යාළුවෝ ගැන… හැබැයි ‘අපේ කෙනෙක් නෙවෙයි’ කියන එක සෙල්ලම් වලට විතරක් සීමා වෙලා නෑ…. මට මතකයි ගෙදර වැඩකරන කට්ටියට කෑම කන්න වෙනම පිඟන් තිබුන බව. ආයෙ නිතරම අපේ ගෙදර එන ගමේ සමහරුන්ටත් වෙනම පිඟන් තිබුනා - හරියට ඒ අයට බෝවෙන ලෙඩ තිබුනා වගේ! මෝඩ නීති නේද මිලින්ද?”
“එහෙනං අන්කල් ඒ අයගෙ පිඟන්වල කෑවද? අන්කල්ගෙ පිඟාන ඒ අයට දුන්නද?”
“නෑ…. ඒ දවස්වල ඒකේ වැරැද්දක් මම දැක්කෙ නෑ - හරියට මිලින්ද සුනිල් එක්ක සෙල්ලමට යන්නෙ නෑ වගේ. ඔයාගෙ තාත්තට ඇති හොඳ හේතු ඔය නීතියට. මට දැන් හොඳටම විස්වාසයි අපෙ ඒ පිඟන් නීතිය නම් සම්පූර්නෙන්ම වැරදියි කියලා”
“ඇයි ඒක වැරදියි කියන්නේ?”
මට ටිකක් හිතලා බලන්න සිද්ධවුනා උත්තර දෙන්න ඉස්සර.
“හ්ම්… ඒ අයට බෝවෙන ලෙඩක් තිබුනෙ නෑ… ඒ අය අපිට වඩා අපිරිසිදු නෑ… ඒ අයගෙ එකම වෙනස එක්කෝ අපිට වැඩියි ටිකක් දුප්පත්වීම, නැත්තං වෙන වෙනසක් - ජාතිය, ආගම, කුලේ වගේ. මේ එකක්වත් ඒ අය කරපු වැරදි නෙවෙයි. අපෙ නීති වලින් අපි වැරදි නොකරපු අයට දඬුවම් කළා! ආන් ඒකයි ඒකේ වැරැද්ද - මට පෙනෙන විදිහට”
“වෙන පිඟානක් දෙන එක දඬුවමක්ද?”
“බොහොම හොඳයි මිලින්දගෙ ප්රශ්නේ!”
මම මෙහෙම කියලා හිනාවුනේ දෙන්න උත්තරයක් හිතට නොආ නිසයි. හැබැයි මිලින්දගෙන් බේරෙන්න ඒ තරම් ලේසි නෑ.
“ඒකට උත්තරේ?”
“වෙන පිඟානක් දෙන එක කෙලින්ම දඬුවමක් නෙවෙයි. නමුත් වෙන පිඟානක් දෙන්නේ ඇයි කියලා බලනකොට වැරැද්ද පේනවා. අපි පිඟන් වෙන්කරන්නේ ‘අපි ඒ අයට වඩා ඉහලින් ඉන්නේ’; එහෙම නැත්තං ‘අපි ඒ අයට වඩා හොඳයි/වැදගත්’ කියලා පෙන්වන්න. අපි වැදගත් කියලා කියන්නේ අපිමයි - ඒක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. දැන් හිතලා බලන්න මිලින්ද පංතියට ගිහින් කිව්වොත් ‘මම මෙතන ලොක්කා’ කියලා, මොකද වෙන්නේ?”
“ළමයි හිනාවෙයි… ටීචර් සැරකරයි… පස්සේ ළමයි මට එක එක දේ කියයි. සමහරවිට නම්වානමකුත් හදයි!”
“එතකොට ටීචර් කිව්වනම් ‘මිලින්ද මෙතන ලොක්කා’ කියලා?”
“… දන්නෙ නෑ… ළමයි අප්පුඩි ගහයි…”
“ඒ වෙනස මිලින්දට තේරෙනවද?”
“එකක් ටීචර් කියන්නේ … අනික මම… අ…අපි වෙනස්…?”
ලෝකය දුවන හැටි මිලින්ද දන්නවා නමුත් තේරුම් ගන්න බෑ.
මගෙ හොඳ වෙලාවට මිලින්ද මට භාරදුන්න ගුරුතුමී මේ වෙලාවේ අපි දිහාට ආවා.
“ළමයා කරදර කරාද?”
“අපෝ නෑ. මෙතන හොඳ සාකච්චාවක් ගියා. ගුනතිලක මහත්තයා ආවද?”
“ඔවු… මම මෙයා එක්ක යන්නම් කූඩාරමට. මිලින්ද මේ සීයට තැන්ක්යූ කියන්න”
“තැන්ක්යූ”
“මමයි තැන්ක්යූ කියන්න ඕන. මිලින්ද - කවදාවත් ප්රශ්න අහන එක නවත්තන්න එපා. මිලින්දට තේරෙන්නෙ නැති ඕනම දෙයකට කවුරුහරි ලඟ උත්තරේ තියෙනවා කියලා මතක තියාගන්න”
“හරි අන්කල්”
………………………………
මට හිතෙන හැටියට ලෝකේ ජනගහනෙන් සියයට අනූ නමයකට වැඩි කොටසක් මිලින්ද වගේ ලෝකේ දුවන හැටි දන්නවා - නමුත් තේරුම ගන්නෙ නෑ. තමංගෙ ඉතා කුඩා ලෝකය තමාට ඕන විදිහට දුවනවානම් ආයෙ ප්රශ්න අවශ්ය නෑ.
එක අතකට මිලින්ද ඊට වඩා ටිකක් හොඳයි - අඩුම ගානේ එයා තවම තේරුම් ගන්න උත්සාහ කරනවා, අදාල ප්රශ්න අහලා. තව අවුරුදු කීපයකින් ඒක නැතිවෙලා යනවා නියතයි, ගුරුවරු ඔවුන්ගේ වැඩ පටන් ගත්තම.