මැටි රූප තුනක්

“කොහෙන්ද අනේ ඔය කළු මැටි?”

“අප්පච්චී ගෙනාවේ - කොහෙන්ද දන්නෙ නෑ. කඩේකින් වෙන්න ඇති - මාරයි නේද?”

“ඔවු චම්පා! …. ටෝනි ඔය කිරි මැටි ඔයාමද හාරලා ගත්තේ?”

“මට තාත්තා පෙන්නුවා තියෙන තැන - මම ගිහින් හාරගත්තා”

“මොකෙන්ද හෑරුවේ - හුඟාක් යටට හාරන්න වුනාද?”

“අපෝ නෑ. උදැල්ලෙන් පාර කීපයයි - අර වෙල අයිනේ. හැබැයි සරෝජිනීගෙ රතු හුඹස් පස් වගේ පොලොව උඩ නෙවෙයි”

චම්පයි ටෝනියි සරෝජිනියි එක ගමේ, එකම ඉස්කෝලේ හතරේ පංතියේ. යාළුවෝ තුන්දෙනා මැටි රූප හදන්න තීරණේ කරගත්තේ ඉහල පංතියක ළමයෙක් හදා තුබුන මැටි අලියෝ රංචුව දැක්කට පස්සේ. ඉස්කෝලේ නැති නිසා දෙමව්පියොත් ඒකට අනුබල දුන්නා. දෙමව්පියන්ගෙ යටි හිතේ තියෙන්න ඇති බෝවෙන රෝග පැතිරෙන මේ කාලේ ළමයි ගෙදර පිටිපස්සේ මඩුවේ සෙල්ලම් කරන එක හොඳයි කියලා එහෙ මෙහෙ දුවනවට වැඩිය. පොළොවෙන් එන වතුරයි මැටියි එක්ක කල් ගෙවීම රෝග බෝවීමෙන් වැලකීම වගේම ඉස්කෝලේ වැසීමෙන් ඇතිවූ හිඩස පිරවීමටත් හැකිවෙයි කියලා වැඩිහිටියෝ හිතුවා. සෙල්ලමෙන් කලාත්මක යමක් බිහිවුනොත් එය බෝනසයක්.

චම්පගෙ ගෙදර පිටිපස තියෙන ඉඩ පහසුව ඇති මඩුව තමංගෙ ගෙවල් වලට කිට්ටු නිසා මේ වැඩේට ඉතා සුදුසු බව යාළුවෝ පිළිගත්තා. ලිඳට කිට්ටුවීමත් කොට මේසයක් එහි තිබීමත් තවත් කරුණු වුනා. චම්පගෙ අම්මා මල් පැල පෝච්චිවලට දැමීමට පාවිච්චිවූ ඒ මේසයට වතුර සහ මැටි අමුත්තෝ නෙවෙයි.

“අපිත් අලියොද හදන්නේ, අර සනත් අයියා ඉස්කෝලේ හදලා තිබුනා වගේ?

“මං හිතුවේ බලු පැටියෙක් හදන්න - අර අත්තම්මගෙ බල්ලා වගේ. හොඳට ආවොත් අත්තම්මට දෙනවා”

“එතකොට මම?”

“ඔයා බල්ලෙක්ම හදන්න ඕන නෑ - ඇයි පූසෙකුගෙ රූපයක් හදන්නෙ නැත්තේ?”

“නෑ…. මම හරකෙක් හදනවා. රතු මැටි ඒකට හොඳයි”

“එතකොට මගෙ කළු මැටි වලින් ඕන නම් පුල්ලි දාන්න පුළුවන් අර ආරොන්ගෙ එළදෙන වගේ”

“ඇත්තමයි!”

“ටෝනි මොකෝ කරන්නේ?”

“මම ඩොල්ෆින් මාළුවෙක් හදනවා… අපෙ ගෙදර තියෙනවා අක්කගෙ වීදුරු ඩොල්ෆින් එකෙක් - ඒ වගේ හදනවා”

“උන් මොන පාටද? මං අහන්නේ ඔයාගෙ අක්කගෙ වීදුරු එකා නෙවෙයි, ඇත්ත එවුන්”

“අළු පාට වගේ කියලා තමයි පොත් වල තියෙන්නේ… සුදු මැටි වලින් හදලා පස්සේ පාට කරනවා”

“අප්පච්චී කිව්වා අපෙ ගෙදර තියෙන පාට ටිටුබ් පාවිච්චි කළාට කමක් නෑ කියලා”

තුන් දෙනාම ටිකක් කල්පනා කරා. ඉස්සරවෙලාම යමක් කිව්වේ ටෝනි.

“ඔන්න අපි අපෙ අපෙ සත්තු හැදුවට මේක තරඟයක් නෙවෙයි ඈ? කෝකද වැඩිය ලස්සන කියලා බලන්න බෑ හොඳද?”

චම්පයි සරෝජිනියි ඒකට වහාම එකඟවුනේ තම තමාගේ හිතෙත් එහෙම අදහස් තිබුන නිසා.

ඊලඟ පැයක් විතර මඩුවෙන් ඇහුනේ ඉඳ හිට ආ සිනා හඬත් හෙමින් කියන සිංදු හඬත් විතරයි. හදන සත්තු ගැන කිසිම දෙයක් කියවුනේ නෑ - ටෝනිගෙ නීතිය හිතේ තිබුන නිසා වෙන්න ඇති.

යාළුවෝ තුන්දෙනා අතපය සෝදගෙන තමාගේ ප්රතිමා දිහා බැළුවේ සතුටත් ලජ්ජාවත් මිශ්ර සිතුවිලි සමගයි - තමා හදපු සතාගෙ වැරදි හොඳට පෙනුනට අනික් අයගෙ සත්තුන්ගෙ වැරදි පෙනුනෙ නෑ වගේ.

ච්ම්පගෙ බල්ලටයි ටෝනිගෙ ඩොල්ෆින් මාළුවටයි නැති ප්රශ්නයක් සරෝජිනීගෙ එළදෙනට තිබුනා - හිටගෙන ඉන්න කකුල් හයිය මදි කම. ටෝනිගෙ උපදෙස් අනුව පොල් ඉරට පාවිච්චියෙන් ඒ ප්රශ්නේ විසඳා ගත්තේ. ටෝනිත් එළදෙන දිහා බලලා ඩොල්ෆින් මාළුවාටමැටි වලින් වැසූ ඉරටකූරු වලින් ආධාරකයක් හැදුවා, ඔළුව උස්සගෙන මුහුඳේ පිහිනනවා වගේ පෙනෙන්න. චම්පගෙ බලු පැටියට එහෙම කිසි දෙයක් ඕනැවුනේ නෑ - ඌ බිම වැතිරී ඔළුව විතරක් උස්සගෙන ඉන්න නිසා.

“නරක නෑ නේද?”

“ඔවු අනේ… හරි ලස්සනයි - තුන්දෙනාම”

තව ටිකක් වෙලා යාළුවෝ එකිනෙකාගෙ නිර්මාණ වර්ණනා කළා. ඊලඟ වැදගත් ප්රශ්නේ ආවේ සරෝජිනීගෙන්.

“මෙව්වා පාට කරන්නේ කොහොමද?”

“අප්පච්චී කිව්වේ හොඳට වෙළෙන්න ඕන කියලා පාට ගාන්න ඉස්සර”

“කොහොමද වේළන්නේ? කොච්චර කල් යයිද?”

ටෝනි ඒකට උත්තරේ දන්නවා.

“අව්වේ වේළන්න පුළුවන් - දවසක් විතර යයි. මං හිතුවේ මගෙ ඩොල්ෆින් එකා ගෙදර ගෙනියලා හෙට පාට කරන්න ගේන්න කියලා. මම මේක අක්කට පෙන්නන්න ඕනෑ”

“මම එළදෙනත් ගෙදර අරගෙන යනවා - අම්මා දැනුත් බලාගෙන ඇති මොකද මං තවම නැත්තේ කියලා”

“එහෙනං හෙට? ආයෙත් මේ වෙලාවටම?”

…………………………………

“අත්තම්මා … මේ ටෝනි, මේ සරෝජිනී. අපි තුන්දෙනා මේ සත්තු හැදුවේ ඊයේ - අද පාට කරනවා… මේ මගෙ අත්තම්මා, අප්පච්චිගෙ අම්මා”

අත්තම්මා නාකියි. බැඳලා තියෙන කොන්ඩේ සුදුයි. මල් මල් ඔසරියක් ඇඳගෙන හැරමිටියකුත් අතින් අරගෙන මඩුවට ආවේ පොඩ්ඩෝ මොනවද කරන්නේ බලන්නයි. අත්තම්මා හිනාවුනා ළමයි දිහා බලලා.

“හලෝ… “

ටෝනියි සරෝජිනියි බිම බලාගෙන ලජ්ජාවෙන් “හලෝ” කිව්වා. චම්පා කතා කළේ අත්තම්මගෙ අයිතිකාරයා වගේ.

“බයවෙන්න එපා - අත්තම්මත් පොඩිකාලේ මෙහෙම මැටි සත්තු හැදුවා…”

“ඒක ඇත්ත! … හැබැයි දුව … මේ අයටත් කතා කරන්ට පොඩ්ඩක් ඉඩ දුන්නොත් හොඳයි නේද?...මේ තුන් දෙනාම එක පංතියෙද?”

චම්පා කතාකරන්න ඉස්සර ටෝනි “ඔවු” කිව්වා. සරෝජිනිත් “ඔවු” කිව්වා. චම්පා “ඔවු” නොකියා හිනාවුනා. ඊලඟට අත්තම්මා කතාකළේ ටෝනිට.

“පුතා … අර පිටිපස්සෙ ඉස්තෝප්පුවේ තියෙන පොඩි පුටුව මට ගෙනත් දෙනවද?... සරෝජිනී හැදුවේ කොයි සතාද?”

වැඩි වෙලාවක් යන්න ඉස්සර හතර දෙනාම එක පංතියේ අය වගේ හදලා තියෙන සත්තු ගැන කතා කරන්න පටන්ගත්තා. වැඩියම කතාකළේ චම්පා.

“හා අත්තම්මා ටිකක් අපිට කියලා දෙනවද මේ සත්තුන්ගෙ රූප ගැන? … එක එක සතා ගැන වෙන වෙනම?”

අත්තම්මට හිනා ගියා.

“ඒක හරි වැඩක්නේ! මම නෙවෙයි මේවා හැදුවේ - හදපු අය දන්නවා මට වැඩිය ඇයි ඒ සත්තු හැදුවේ කියලා. ඔය තුන්දෙනා කියනවද මට ඇයි තමංගෙ සතා තෝරගත්තේ කියලා… සරෝජිනී දුව පටන්ගන්නවද? මට ඔයත් අත්තම්මා කියලා කතාකරාට කමක් නෑ”

සරෝජිනී ටිකක් ඇඹරුනා. චම්පා යමක් කියන්න වගේ අර අදිනකොට අත්තම්මා ඔළුව හොලවලා එපා කිව් නිසා කට වහගත්තා. අත්තම්මා සරෝජිනී දිහා බලලා හිනාවකින් කතාවට අනුබල දුන්නා.

“අ… මේ සතා එළදෙනක්… මැටිවල පාටෙන් ටිකක් අර ගමේ ආරොන්ගෙ එළදෙන වගේ… හැබැයි ඒක හරියටම ඒ වගේ නෑ… කකුල් මහත වැඩියි, ඉරට කූරු නිසා, ඇත්ත හරකගෙ වගේ හම සිනිදු ගතියක් නෑ වගේ… වලිගේ එල්ලෙන්න හදන්න බෑ… මයිල් හදන්නත් බෑ…”

අත්තම්මා හොඳින් අහගෙන ඉඳලා තව ප්රශ්නයක් ඇහුවේ මුහුනේ හිනාව අඩු නොකර.

“මට නම් ඒක හරිම ලස්සනයි! ඇයි සරෝජිනී එළදෙනක් හදන්ට හිතුවේ?”

“අ… චම්පා කිව්වේ පූසෙක් හදන්න කියලා. හැබැයි මැටිවල පාට නිසා මම ආරොන්ගෙ එළදෙන වගේ එකක් හැදුවේ…”

“හැබැයි තවත් හේතු තියෙනවා නේද?”

“… ඔවු… අ… අම්මා කැමතිවෙයි කියලා හිතුවා එළදෙනක් හදන එක, ආගමෙත් තියෙන නිසා… “

“හරියටම හරි දුව… හින්දු ආගමේ එළදෙනට විශේෂ තැනක් තියෙනවා, මිනිස් ජීවිත පෝෂ්ය කරන නිසා… දෙවි වරුන්ගෙත් අම්මා කෙනෙක් වගේ සලකන්නේ… බොහොම හොඳයි!”

සරෝජිනී සන්තෝසෙන් බිම බලාගෙන හිනාවුනා.

“දැන් චම්පා දුවගෙ වාරය! කියන්ට දුව ඔය සතා ගැන”

“… ටෝනිට පස්සේ… මම කියන්නද?”

“නෑ දුව. සරෝජිනීට පුළුවන් නම් ඔයාටත් වාරේ ආහම කතාකරන්ට පුළුවන්… එක ගෙදර ඉන්නවා කියලා අමුතු වරප්රසාද නෑ!”

හතර දෙනාම හිනාවුනා. චම්පා කතාව පටන්ගත්තේ හදපු බල්ලා දිහා බලාගෙන.

“මේ බලුපැටියෙක්… අත්තම්මගෙ එකා වගේ කළුපාටයි… බිම වාඩිවෙලා ඔළුව උස්සලා බලාගෙන ඉන්නේ අත්තම්මා කන්න මොනවත් දෙයිද කියලා බලාපොරොත්තුවෙන් වගේ! මූන ඇත්ත බල්ලා වගේ නොවුනට හැඩේ ටිකක් හරි වගේ… මං හිතුවේ හොඳට ආවොත් අත්තම්මට දෙන්න කියලා … කැමති වුනොත්…”

“මේකා මගෙ බට්ටා වගේම තමා! තෑන්ක්යූ දුව. මේකේ වැඩ ඉවරවුන වහාම මගේ කාමරේ මේසේ උඩටයි යන්නේ!”

චම්පා වැලඳගත් අත්තම්මා ටෝනි දිහා බැලුවා.

“දැන් පුතාගෙ”

“මම හැදුවේ ඩොල්ෆින් මාළුවෙක්. මම ඇත්තටම එහෙම මාළුවෙක් දැකලා නැතිවුනාට අපෙ අක්කා ලඟ තියෙනවා පොඩි වීදුරු ඩොල්ෆින් එකෙක්. ඒකේ හැඩේට තමා මං මේක හැදුවේ. තාත්තාවත් දැකලා නැල්ලු, කොච්චර මුහුඳු ගියත්. මං අහලා හියෙනවා උංට ලොකු මොලේකුත් තියනවා කියලා….”

“බොහොම හොඳයි! කවදාවත් දැකලාවත් නැති සතෙක් හදන එක ලොකු දක්ෂකමක්… තුන්දෙනාම දක්ෂයෝ… අපි ගේ ඇතුලෙන් බොන්ට මොකවත් ගෙනල්ලා ඊට පස්සේ මෙව්වා ගැන කතා කරමුද?.... චම්පා ගිහින් බලනවද අම්මා හදනවා කියපු බීම ලෑස්තිද කියලා?

……………………………….

“තුන්දෙනා හදපු සත්තු රූප වලට ඊලඟට මොකද කරන්ට අදහස?”

චම්පා ආයෙත් ඉස්සරහට ආවා.

“පාට කරනවා….අප්පච්චී කිව්වා අර මෙහෙ තියෙන ටියුබ් පාට ගත්තට කමක් නෑ කියලා”

“හැබැයි දැනටමත් පාට තියෙනවා නේද? කළු බල්ලෙක්, රතු එලදෙනක්, සුදු පාටට කිට්ටු ඩොල්ෆින් මාළුවෙක්… හරියට ඉපදෙනකොටම පාට තියෙනවා වගේ!”

ටෝනි ටිකක් හිතලා බලලා කතාකළේ.

“අ… ඩොල්ෆින් මාළුවෝ අළු පාටයි කියලා පොතේ තියෙන්නේ - ටිකක් සුදු වගේ හැබැයි සුදුම නෙවෙයි…”

“ඇත්ත තමයි… අනික් අතට, සම්පූර්නෙන්ම සුදු, ඒ කියන්නේ මේ කඩදාසියක් වගේ සුදු, ඩොල්ෆින් මාළුවෝ නැතුව ඇති නේද?”

“උන් ටිකක් සුදු වගේ කිව්වට කඩදාසි වගේ සුදු නෑ!”

“ඔවු ඉතින් මිනිස්සුත් එහෙමනේ! කඩදාසි වගේ සුදු මිනිස්සු නෑ ලෝකේ, සමහරුන්ට ‘සුද්දෝ’ කියලා අපි කිව්වට!”

ටෝනිට හිනා ගියා.

“අපිට වැඩිය සුදු නිසා වෙන්න ඇති අපි ඒ අයට ‘සුද්දෝ’ කියන්නේ!”

“ඇත්ත… හැබැයි ඒක නෙවෙයි අපිට තියෙන ප්රශ්නේ… මේවා පාට කරන්ට ලෑස්තිද? මම ඇහුවේ ඔය තුන්දෙනා ලෑස්තිද කියලා නෙවෙයි - හදපු සත්තු ලෑස්තිද?”

සරෝජිනී ටිකක් වෙලා එයාගෙ එළදෙන දිහා බලාගෙන හිටියා, ඌව අතට අරගෙන.

“මුගෙ බඩ හුඟක් මහත නිසා ඇතුල වේළිලා නැද්ද දන්නෙ නෑ!”

“දුව දන්නවද හොඳට වේළිලා නැතුව තියෙන එකක් පාට කරොත් මොකද වෙන්නේ කියලා?”

ඒකට උත්තරේ දන්නේ ටෝනි විතරයි.

“ඉරි තැලෙනවා… පැළෙනවා…”

“හරියට හරි! ඒ කියන්නේ ඇතුල හරියට වේළෙන්න ඉස්සර පාට කරන එක හරි නෑ නේද?”

චම්පා මේකට කැමතිවුනේ නෑ.

“අනේ… අපි හිතාගෙන හිටියේ අද පාට කරන්න ….. අපරාදේ … මං කැමතියි අදම ඉවර කරන්න….”

සරෝජිනී චම්පා දිහා බැලුවේ කල්පනා සහගත මුහුනකින්.

“ම්… මම කැමතියි මගෙ එක තව වේළෙන්න තියන්න… පස්සේ පැළුනොත් තමා අපරාදේ”

“මගෙ මාළුවත් තව දවසක් වේළුනාට මට කමක් නෑ… ඇයි අපි අද තව සතෙක් හදන්නෙ නැත්තේ මේ සත්තු වේළෙන්න තියලා?”

……………………….

චම්පා නිදාගන්න ගියාට පස්සේ චම්පගෙ දෙමව්පියොයි අත්තම්මයි ඉස්තෝප්පුවේ වාඩිවෙලා තේ එකක් බොනවා නිදන්න ඉස්සර.

“අම්මා මොනවද අද පොඩ්ඩන්ට කියලා දෙන්ට බැලුවේ?”

“හ්ම්?”

“මං දන්නවානේ අම්මා! පරණ ගුරුවරියෝ කඩේ ගියොත් මුදලාලිටත් මොනවත් උගන්නලා එන්ටම නේ බලන්නේ!”

චම්පගෙ අම්මට හිනා ගියා.

“නැන්දා ඇත්තටම මොනවද පොඩි අයට කිව්වේ?”

“මොනවද දුව ඉතින්… ලෝකේ හැටි තමා! දරුවෝ ඉපදෙනකොටම හමේ පාට අනුවයි, ආගමේ හැටියටයි, ගෙදර චාරත්ර වාරිත්ර අනුවයි අනාගතේ තීරණය වෙලා ඉවරයි”

“ඒ කියන්නේ?”

“අපෙ දුව කළු මැටි වලින් බල්ලෙක් හැදුවේ ගෙදර ඉන්න බල්ලා කළු නිසා මිස ලෝකේ සේරම බල්ලෝ කළු නිසාවත් කළු මැටි වලින් වෙන කිසි දෙයක් හදන්න බැරි නිසාවත් නෙවෙයි! ඒක අපිට තේරුම් ගන්න පුළුවන් - අපිට හුරු පුරුදු, දකින දේ, ඇහෙන දේ, කියවන දේ වලින් තමා අපි ජීවිතේ ගොඩනගන්නේ …. ඒක සාමාන්ය ළමා මනස වැඩීමේ කොටසක්”

“ළමයි ජීවිත අත්දැකීම වලින් මනස දියුණු කරගන්න හැටි තේරුම් ගන්ට අමාරු නෑ. හිතලා බලන්ට ළමයා පාරේ වඩින හාමුදුරු කෙනෙක් දැක්කා කියලා. ඒකේ චායාවක් ළමයගෙ හිතේ ඇඳෙනවා; සටහනක් ලියවෙනවා - සිවුර, පාත්තරේ, බූගෑ හිස…. ඒ ඇඳෙන චායාවට, ලියවෙන සටහනට, තේරුමක් දෙන්නේ ඒ ගැන පිටතින් ඇහෙන හෝ කියවන විස්තර වලින් මිස ඉබේ සිද්ධවෙන මොලයේ නිෂ්පාදනයකින් නෙවෙයි. පාරේ දකින හාමුදුරු කෙනෙක් ආගමකට සම්බන්ධ බව වුනත් දැනගන්නේ ඇහෙන හෝ කියවන වචනෙන්…. ගෙදර බලුපැටියා වුනත්, පාරේ යන හිඟන්නෙක් වුනත් තෙරුම් ගන්නා ක්රමය එකමයි”

අත්තම්මා තේ උගුරක් බිව්වා.

“අපි සේරම දන්නවා පුංචි ළමයින්ට ඇහෙන ඕනෑම දෙයක් කෙලින්ම ඒ අයගෙ හිතට වැටෙන බව. පුතාට මතක ඇති නේද අර මම උගන්නපු ඉස්කෝලේ ලොකු මහතයගෙන් අහනවා “කරත්තේ කෝ?” කියලා? දවසක් අප්පච්චී කියලා “ඔය ඉස්කෝලේ මහත්තයා මාව කරත්තේ තියාගෙන තල්ලු කරා පොඩි කාලේ” කියලා…. මට පොලව පලාගෙන යන තරමට ලැජ්ජා හිතුනා!”

තුන්දෙනාම හයියෙන් හිනාවුනා. අත්තම්මා ආයෙත් කතාව පටන් ගත්තේ බැරෑරුම් මුහුනෙන්.

“නමුත් හිතලා බලන්ට දුව, හතරේ පංතියේ ළමයෙක් දේශපාලන පක්ෂයක හොඳ/නරක කියන්නෙත්, ආගමක හරි/වැරදි කියන්නෙත් ඒ වාගේ සංකීර්ණ අදහස් වටහාගෙන නෙවෙයි… නේද? … ඒකට වගකියන්ට ඕන වැඩිහිටි අපි. ළමයගෙ පවුලේ අය, නෑදෑ හිතවතුන්, ගුරුවරු…. මේ සියළුදෙනාම තමාගේ ඇදහීම්, සිතුවිලි, ගති අගති, ලෝකෙට ප්රචාරය කරන්නේ හිතා මතා නොවෙයි. ළමයි මේ ප්රචාරයන්ගේ ශ්රාවකයෝ වෙන්නෙත් හිතා මතා නෙවෙයි - ඉබේමයි. හරියට ඕනම වැස්සකට මිදුලේ තියෙන භාජනයක වතුර රැදෙනවා වගේ ළමයිනුත් අවට පාවෙන ඕනම අදහසක් අල්ලගන්න දක්ෂයි. ඒ අදහස්, හොඳ/නරක, ඇත්ත/නැත්ත නොබලා පාවිච්චි කරනටත් දක්ෂයි …”

“පිළිගන්ට ලෑස්තිද නැද්ද නොබලා අපි අපේ අදහස් ළමයින්ට නොහිතම පොවනවා - හරියට හොඳින් වේළිලා නැති මැටි රූපෙක පෙර තීන්දු කරගත් පාටක් ගානවා වගේ”

අත්තම්මා එළියේ අඳුර දිහා විනාඩියක් බලාගෙන හිටියා.

“මට බය තියෙන්නේ මේකයි…. අපේ ළමයි කීදෙනෙක් ඉරිතලලා පැළිලා යයිද සූදානම් නැති ළමා හිත් වලට වැඩිහිටියන්ගෙ අදහස් අතුල් කරපුවාම?”