මුහුණක් නැති පොත
“මොකොද දන්නෙ නෑ නංගිගෙන් කෝල් එකක් නැත්තේ!”
ප්‍රියා තම සැමියට මෙහෙම කිව්වේ පොඩ්ඩා නිදිකරවලා රෑ කෑමට වාඩිවුන වහාමයි. සරත් දන්නවා පවුලගෙ උපන් දිනේට නංගිගෙන් ටෙලිෆෝන් පනිවිඩයක් නොලැබීම ගැන එයා හොඳටම කනගාටු වෙන බව. සරත්ටත් මේක කනගාටුවට හේතුවක් - පොඩි කාලේ පටන් පෙරේරා සහෝදරියෝ දෙන්නා හොඳින් හඳුනන සරත්ට පෙනෙනවා මාලා නංගී අශාන් බැන්දැන් පස්සේ ටිකක් වෙනස් බව.
“සිකුරාදා නිසා බිසි ඇති දැන්… ගනන් ගන්න එපා - දන්නවානේ අළුත බැඳපු ජෝඩුවක් වුනාම!”
“අළුත? දැන් අවුරුදු දෙකයි! හැබැයි මං ඕවා ගනන් ගන්නෙ නෑ සරත්… අද ඔයා ගෙනාපු පොත් දෙකනම් නියමයි - මම ඒ දෙක ගන්නවද නැද්ද කියලා හිත හිතා හිටියේ… තැන්ක්යූ!”
කෑම කන වෙලාවේ උපන්දිනේවත් මාලා ගැනවත් වචනයක් කියවුනේ නෑ. ලොකුම මාතෘකාව වුනේ චාමර පුතාගෙ දෙවෙනි පංතියේ ගුරුවරියගෙ වාර්තාවයි. නමුත් නිදාගන්න ඉස්සර ඊමේල් බැලූ සරත් නංගිගෙන් පනිවිඩයක් ප්‍රියාට දුන්නා.
“අන්න නංගී අහනවා ෆේස්බුක් උපන්දින සුබපැතු මට උත්තරයක් නැත්තේ ඇයි කියලා?”
“නංගී දන්නවා මම ෆේස්බුක් බලන්නේ ඉඳලා හිටලා කියලා… හෙට බලන්නම්”
ප්‍රියා ඇඳට ආවේ තවම හිතේ අමාරුවෙන් බව සරත්ට තේරුනා.
ප්‍රියයි මාලයි අතර වයස අවුරුදු හතරක් වුනත් දෙන්නා හැදුනේ එක වයසේ යාළුවෝ දෙන්නෙක් වගේ. දුර නෑයෙක් හැටියට සරත් සෙනවිරත්න පෙරේරා අන්කල්ගෙ මොරටුවේ ගෙදර යන්න පටන්ගත්තේ ඉස්කෝලේ යන දවස්වල. ඒ දවස්වල ඒ නංගිලත් එක්ක සෙල්ලම් කරන ආශාවෙන් එහෙ ගියාට විශ්වවිද්යාලේ ඉන්න දවස්වල එහෙ ගියේ ප්‍රියා දැකබලාගැනීමට බව කාටවත් රහසක්වුනේ නෑ. ප්‍රියා විශ්වවිද්යාලයෙන් පිටවී අවුරුදු දෙකකට පස්සේ දෙන්නා විවාහ වුනේ පවුල් දෙකේම කැමැත්තෙන්. මාලා නංගී එයාගෙ පුවත්පත් කන්තෝරුවේ වැඩකරන අශාන් සමග සම්බන්ධයක් ඇතිකරගෙන ඉන්න බව පළමුවෙන් කිව්වේ සරත්ටයි ප්‍රියාටයි. හොඳ පවුලකින් එන හැදිච්චි කොල්ලෙක් හැටියට අශාන් වීරතුංගට කිසි කෙනෙක් අකමැතිවුනේ නෑ. දෙන්නා බැන්ඳේ සරත්-ප්‍රියා කසාදෙට අවුරුදු හතකට පස්සේ; දැනට අවුරුදු දෙකකට ඉස්සර.
සෙනසුරාදා උදේ ගෙදර ඔක්කොම නැගිට්ටේ ටිකක් වෙලාගිහින්. උදේ තේ බොන වෙලාවේ සරත් එයාගෙ උදේ වරුවේ වැඩසටහන ප්‍රියාට ඉදිරිපත්කළා.
“මම හිතුවේ අද චාමර ගල්කිස්සේ බීච් එකට එක්ක යන්න… මට කීප දවසක් කිව්වා එයාගෙ පංතියේ ළමයි බීච් යනවා කියලා. පීනන්ට ඕන නැතිලු - චිප්ස් කන්න යන්නේ! මං දන්නවා ඔයයි මුහුදයි වැඩිය ඇයි හොඳයි නෑ කියලා - ඇයි අද උදේ නිස්කලංකව පොත් කියවන්නෙ නැත්තේ උපන්දිනේ වෙනුවෙන්? මම එන ගමන් දවල්ට කන්නත් මොනවත් ගේන්නම්… අමතක කරන්න එපා ෆේස්බුක් බලන්න හොඳද?”
“කීයට විතරද යන්න හිතුවේ?”
“මෙහෙන් දහයට ගියොත් අපිට ඇති”
“එහෙනම් මම දැන්මම බලන්නම් නංගිගෙ මෙසේජ් එක - හිතුනොත් කෝල් එකකුත් දෙනවා…”
ෆේස්බුක් උත්තර වලිනුත් ඉන් පසු ටෙලිෆෝන් සාකච්චාවෙනුත් ප්‍රියාට ආරාධනයක් ලැබුනා මාලාගෙන් - උපන්දින කේක් කෑමට කොටුවේ පැගෝඩා ආපනශාලාවේ. සරතුත් චාමරත් නොඑන නිසා මාලා තනියම එන්න පොරොන්දුවුනා.
ප්‍රියාගේ මුහුන ඔපකළ සතුටු සිනාව දුටු වහාම සරත් චාමර ලෑස්ති කරගන්න පටන්ගත්තා - මාලා සමග භුක්තිවිඳින උපන්දින කේක් එකෙන් ප්‍රියා ඉමහත් සතුටක් ලබන බව සරත්ට සහතිකයි.
……………………………..
ප්‍රියා පැගෝඩාව ඇවිත් විනාඩි දහයකට පස්සේ මාලා ආවේ.
“හරි වැඩේ! මට කේක් දෙනවා කියපු බඩුව ඇවිල්ලත් නෑ!”
“හැපි බර්ත්ඩේ! අනේ සොරි අක්කා වෙලා ගියා ටිකක්! මං මෙසේජ් එකක් එව්වා විනාඩි පහලවකට ඉස්සර…”
“මං මෙසේජ් චෙක් කරේ නෑ. නමුත් ඒකේ ප්රශ්නයක් නෑ - කොහොමද පොඩී ඉතින් මේ දවස්වල? කාලෙකින් දැක්කේ?”
“බිසී අක්කා - හොඳටම බිසී. දැනුත් ඔෆිස් එකෙන් කෝල් එකක් ඇවිත් අශාන් ඔෆිස් ගියා, මාවත් ඩ්රොප් කරලා”
“මේ සෙනසුරාදත්?”
“ජොබ් එකේ හැටි අක්කා… කොහොමද මගෙ බෑනගෙ ඉස්කෝල ගමන? සරත් අයියා කොහොමද?”
“ඔන්න දෙන්නා ගල්කිස්සේ ගියා… සරත් මගෙ බර්ත්ඩේ එකට මාර පොත් දෙකක් ගෙනත් දුන්නා ඊයේ”
“ශඃ! … ආ…. මෙන්න අපේ කේක්!”
වේටර් ඉටිපන්දම් ගහපු කේක් එකක් මේසෙට ගෙනාවේ ’හැපි බර්ත්ඩේ මැඩම්! කියාගෙනයි.
“තැන්ක්යු! මාලා කොයි වෙලාවෙද මේක ඕගනයිස්කළේ?”
“අද උදේ! මේ අයගෙ ඔන්ලයින් ඔර්ඩරින් සිස්ටම් එකක් තියෙනවා - නියමයි! ඔර්ඩර්කරලා ගෙවලා ඉවරයි විනාඩියෙන්!”
“නියමයි! තැන්ක්යූ. මං හිතුනේ මාලාට මගෙ බර්ත්ඩේ අමතකවෙලා කියලා!”
“පිස්සුද? මං ෆේස්බුක් එකේ පෝස්ට් කළා ඔයාගෙ ග්රීටිං එක!”
“මං ඉඳලා හිටලා ෆේස්බුක් බලන්නේ”
“මට නම් ඒක නැතුවම බෑ. ඕන කෙනෙකුගෙ උපන්දිනේ දැනගන්නේ ඒකෙන්! ලෝකේ හැමතැනම වෙන දේ - මං ඉන්ටරස්ටඩ් දේ - බලාගන්නේ ෆේස්බුක් එකේ!”
“දැන් රේඩියෝ අහන්නේ ටීවී බලන්නේ එහෙමත් නැද්ද?”
“මොකටද අක්කා? ඉන්ටනෙට් එකේ විනාඩියෙන් විනාඩියට අප්ඩේට් වෙනකොට පත්තර, රේඩියෝ, ටීවී වලට බෑ කිට්ටුවෙන්න!”
“ඒකනම් ඇත්ත. පත්තරේ නිව්ස් පරණයි තමා… හැබැයි ටිකක් හිතලා මතලා, ඇත්ත නැත්ත හොයලා බලලා ලියන ආටිකල් කියවන්න මම තවම කැමතියි - ඔය ඒ වෙලාවේ හිතට එන ඕනෑම දෙයක් ලියන අයගෙ වචන වලට වැඩිය”
“ඔවු ඉතින් වෙලා තියෙනවානම් ඕවා කියවන්න… මට ඕන ටක් ගාලා ඕන දේ බලාගන්න - ලොකු හෑල්ලක් කියවන්න නෙවෙයි… එක්ස්කියුස් මී”
මාලා ෆෝන් එක දිහා බලාගෙන හිටියා විනාඩියක්. ඊට පස්සේ ටක ටක සද්දෙන් මොනවදෝ ඒකේ ලිව්වා - ලියපු වේගෙට ප්‍රියා පුදුමවුනා. ෆෝන් එක ප්‍රියා පැත්තට හරවලා මාලා හිනාවුනා.
“මේක මාරයි! මේ”
“මොකද්ද?”
“බලන්නකෝ ඔය විඩියෝ කෑල්ල!”
ඒකේ පෙන්නුවේ බලුපැටියෙක් ඇවිත් පොඩි ළමයෙක් තුරුල් කරගෙන නින්දට යන හැටියි.
“ඉතින්?”
“ලස්සනයි නේද?”
“කවුද මේ ළමයා? කාගෙද බල්ලා?”
“මං දන්නෙ නෑ… හැබැයි ස්වීට් නේද? අශාන්ට හම්බවෙලා මට එව්වේ… මම ඒක ශෙයා කරා මගෙ යාළුවොත් එක්ක…”
“ඇයි?”
“හ්ම්… හොඳ ලස්සන දෙයක් දැක්කම ඒක බෙදා හදා ගන්න නියමයි ෆේස්බුක්!”
ප්‍රියාට හිතුනා මේක ලැබෙන කීදෙනෙක් ඒක ආයෙත් ‘බෙදා හදා ගනියිද’ කියලා. අංතිමට දාස් ගනන් මිනිස්සු දකින මේ විඩියෝ කෑල්ලේ කිසි වටිනාකමක් ප්‍රියා දැක්කෙ නෑ - දකින මිනිසුන්ගෙ ජීවිතවලට මේකෙන් මොන යහපතක් සිද්ධ වෙනවද කියලා හිතාගන්න බෑ - කාලේ නාස්තිවීම හැර. ලඟදී අන්තර්ජාලේ කියවපු දෙයක් ප්‍රියාට මතක්වුනා; ෆේස්බුක් ගමේ ලිඳට සමාන කරලා.
“මතකද නංගිට අර ‘ලීලයි කමලයි, චම්පයි රේඛයි, භානුමතියි නයනයි සඳලේඛයි… කියන කවිය? මම ලඟදී කියෙව්වා ආටිකල් එකක් ඉන්ටනෙට් ඒකේ - කවියේ ඉන්න ගෑනු ලිඳ ලඟ ඕපදූප කියවන එක හරියට දැන් ෆේස්බුක් එකේ වෙන දේ වගේමයි කියලා”
“ඒක ඇත්ත… හැබැයි බාගෙට! දැන් ලීලා විතරක් නෙවෙයි අක්ක - සරත්, ෆ්රෑන්ක්, ඔල්ගා, ෆරූක්, මිං… හැම ජාතියෙම ගෑනුයි පිරිමියි එතන! මාර ලිඳ! අනික ගුරුවරු, විද්‍යාඥයෝ, මිනී මරුවෝ, දොස්තරලා, ඉස්කෝල ළමයි, හොරු, කුඩු ජාවාරම් කාරයෝ, පූජකවරු - මෙකී නොකී සේරම අය ඔය ලිඳ වටේ!”
“ඒ කියන්නේ අපෙ ලිඳ දැන් සියළු භේද වලින් තොර ජාත්යාන්තර එකක්!”
“අක්කා කියන්නේ… එක්සත් ජාතීන්ගේ සංගමේට වැඩිය බලේ තියෙනවා අපෙ ලිඳේ! සාමාන්ය මිනිස්සුන්ගෙ හිත්වලට එක එක් අදහස් පොවන්න මීට වඩා හොඳ හැන්දක් ලෝකේ ආයෙ නෑ!”
“ඔය හැන්ද අල්ලගෙන ඉන්නේ කවුදයි හැන්දේ තියෙන්නේ මොනවදයි ගැන හිතලා බලන්න වටිනවා කියලා මාලාට හිතෙන්නෙ නැද්ද?”
“අපි සේරම ගොං නෙවෙයි අක්කා - අපෙ මොලේ සම්පූර්නෙන්ම දිරලා නෑ! තවම හැන්දෙන් බෙදන දේවල හොඳ නරක, ඇත්ත නැත්ත හඳුනගන්න අපිට පුළුවන්!”
“ඔයාට පුළුවන් කියලා මම දන්නවා! නමුත් ෆේස්බුක් එකේ ලියන කියවන සේරම අයට ඒක පුළුවන්ද?”
“… අක්කා කියන්නේ ඉන්ටනෙට් සමීක්ෂකයෝ - සෙන්සර්ස් - පත්කරන්න කියලද? ‘ඉන්ටනෙට් මුඛවාඩම් පනත!’ – හරියන වැඩක් නෙවෙයි. ඉන්ටනෙට් එකේ ලොකුම ශක්තිය, වටිනාකම, තියෙන්නේ ඒක ආන්ඩුවකටවත් වෙන කට්ටියකටවත් පාලනය කරන්න බැරිකම. එහෙම වුනොත් ඉතින් ඉන්ටනෙට් එකත් දැන් සමහර පත්තර වගේ තියෙයි!...”
ප්‍රියාට තේරුනා නංගිට මේ මාතෘකාව බොහොම වැදගත් කියලා. ඇත්තටම මාලාගෙ කතාව හරි.
සමාජ මාධ්යවල තොරතුරු එකතුකර බෙදා හදා ගන්නෙත්, ඒවා බලලා සතුටුවෙන්නෙත්, ඒ මාධ්යට ඇබ්බැහි වෙන්නෙත් එකම ජන කන්ඩායමක්. මාලා ඒ කාන්ඩයට අයිති බව ප්‍රියාට පැහැදිලියි. ඇත්තටම බැලුවොත් කවදාවත් පොතක හරි පත්තරේක තමංගෙ අදහස් පළ කරන්න බැරි කෙනෙකුට ෆේස්බුක් එක නියමයි - ඕන දෙයක් ලියලා, ඕන නම් පින්තූරත් එක්ක, ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙකුට කියවන්න හැකි විදිහට ප්රසිද්ධ කරන්න පුළුවන් ගෙදර ඉඳන්! පොකුණකට ගල් කැටයක් දැම්මා වගේ එක තැනකින් ලියවුන දේ රැල්ලක් වගේ ලෝකේ අස්සක් මුල්ලක් නෑර පැතිරෙන්න ඉඩ තියෙනවා. මුල් ලියවිල්ල කොයි විදිහේ අදහස් පළකලත් (හොඳ/නරක, අපවාද/උපවාද, පැසසුම්/නින්දා, සුන්දර/අසුන්දර… ) ඒක අදහස පැතිරයෑමට අවහිරයක් නොවෙයි - ඕනම වර්ගයේ අදහසක් පතුරුවා හරින්න කැමති අය ලෝකේ ඉන්න බව ප්‍රියා දන්නවා.
මේක සෑහෙන්න ප්රබල මාධ්යයක්. පත්තර වගේ අනික් මාධ්ය වලට කිට්ටු වෙන්න වත් බෑ - මාලා කිව්ව වගේ.
ප්‍රියා කල්පනාවෙන් තේ තොලගාන අතරේ දැක්කෙ ප්රියා මෝබයිල් එකට තට්ටු කරමින් සිටින බවයි.
“ආයෙත් මෙසේජ්?”
“අශාන්ට කිව්වා අක්කගෙ කේක් එක නියමයි කියලා! පින්තූරෙකුත් ඇරියා”
“නංගිගෙ ජීවිතේ වැඩි හරියක් ෆෝන් එකේ නේද?”
ප්‍රියා මෙහෙම ඇහුවේ හිනා මුහුනින්.
“ඇත්තටම කිව්වොත්… මම දන්න හඳුනන අය එක්ක සම්බන්ධ වෙන්නේ ෆේස්බුක් එකෙන් තමා”
“ඔයා හඳුනන්නෙ නැති අයත් සම්බන්ධ වෙන්න පුළුවන් නේද යාළුවන්ගෙ යාළුවන් හරහා?”
“අපොයි ඔවු - මාර විඩියෝ ක්ලිප්ස් එහෙම එනවා එක එක තැන් වලින්. ජෝක්ස් එහෙම පිරිලා!”
“හොඳ නරක බේදයක් නැතුව!”
“හරියටම හරි. 1933 හිට්ලර්ට මේ තාක්ෂණය තිබුනානම් යුදෙව්වෝ විතරක් නෙවෙයි වැනසෙන්නේ - දැන් එහෙනං අපිත් නෑ - ජර්මානු ආර්යයෝ විතරයි මුලු ලෝකෙම ඉතුරු වෙන්නේ!
“එහෙම තාක්ෂනයක් එක්ක සෙල්ලම් කරන්න බය නැද්ද?”
“අර… මුළු ලංකාවෙම ඇවිදලා බැලුවට මම සෙල්ලම් කරන්නේ මම තෝරාගත්ත පිට්ටෙනියේ විතරයි… මගේම යාළුවොත් එක්ක විතරයි!”
“එතකොට ෆේස්බුක් එකෙ පිටත ලියවෙන දේ? – ඔයාගෙ පිට්ටෙනියට පිටින් වෙන දේ?”
“අර කතාවක් තියෙනවානේ, ‘ෆේස්බුක් එකේ නොතිබුනොත් ඒක සිද්ධවුනේ නෑ’ කියලා!”
මාතෘකාව මාරු කරන්න ප්‍රියා පෙළඹුනා.
………………………………
“අශාන් දැකපු කාලයක් මතක නෑ!”
“වැඩ තමයි අක්කා… සමහර දවස්වල අපි දෙන්නා එකට ඉඳන් කතා කරන්නේ නිදාගන්නකොට විතරයි!”
“ඇයි උදේ?”
“අපි වැඩ පටන්ගන්නේ එක වෙලාවට නෙවෙයි. අශාන් හය හමාර වෙනකොට පිටත්වෙලා… මම උදේ පැය දෙකක් රස්සාව ගෙදර ඉඳන් කරනවා කොම්පියුටරේ. ඊට පස්සේ ඔෆිස් යන්නේ?”
“ඔෆිස් එකේ අශාන් හම්බවෙන්නෙ නෑ?”
“ඒ පිස්සන් කොටුවේ? හඃ! අනේ අක්කා නිකමටවත් හිතන්න එපා අපි දෙන්නා ඈත්වෙලා කියලා. ඒකේ අනික් පැත්ත! දැන් පැය බාගෙන් බාගෙට මෙසේජ් කරනවා! එහෙමයි රෑට කන්නේ මොනවද? කොහෙන්ද? කියලා තීරණ ගන්නේ!”
ප්‍රියාට හිතාගන්න අමාරුයි සරත් එක්ක කතා නොකරන ජීවිතයක්. ෆේස්බුක් එකෙනුයි ටෙක්ස්ට් මෙසේජ් වලිනුයි මිනිහට කතා කරන ගෑනී ලෝකේ අනික් අයත් එක්ක කතාබස් කරන්නේ කොහොමද? මේක අහන්න ක්රමයක් සොයාගන්න ටිකක් වෙලා ගියා, තේ තොලගාන අවසරයෙන්.
“මාලා අර ‘සූවිසි විවරණ’ බැලුවද? ජයලත් මනෝරත්නගෙ?”
“අක්කා මම දැන් ෆිල්ම් එකක් බලන්න ගිය කාලයක් මතකත් නෑ!”
“ඉස්සර අපි කොච්චර ෆිල්ම් - අ… බයිස්කෝප් - බැලුවද? මතකද සරත් එක්ක බලපු ශෝ?”
“අමතක වෙන්නේ කොහොමද අක්කා! දැන් යැවෙන්නෙම නෑ - යූ ටියුබ් එකෙන් බැලුවොත් විතරයි… සිංහල ශෝ නැතිවුනාට දැන් ඕන තරම් ෆිල්ම් බලන්න පුළුවන් ඉන්ටෙර්නෙට් එකේ… තමංට ඕන වෙලාවට… නොමිලේ!”
“මට නම් තනියම බයිස්කෝප් බලන්න බෑ - කිසි ගතියක් නෑ!”
“ඒ පුරුද්ද. දැන් හුඟක් අය පනිවිඩ හුවමාරුවටත්, විනෝදෙටත්, ආරංචි තොරතුරු සොයාගැනීමටත් පාවිච්චි කරන්නේ ඉන්ටනෙට්. ඉස්සර පත්තර, ලියුම්, ටෙලිග්රෑම් (ඒවා දැකපු කාලයක් මතකත් නෑ!), රේඩියෝ, ටෙලිවිශන්… මේ සේරම දැන් මගෙ ෆෝන් එකේ තියෙනවා. සිංදු, විඩියෝ, පොත්… සේරම මේකේ!”
“එතකොට ගෙදරින් එලියට යන්නවත් කිසි කෙනෙක් මුනගැහෙන්නවත් අවශ්යතාවයක් නෑ!”
“ඔවු! මට ඕනම නම් තමයි කෙනෙක් මූනට මූන හම්බවෙන්නේ - දැන් අක්කා හම්බවුනා වගේ! නැත්තම් මට ඕන සේරම වගේ වෙන්නේ ඉන්ටනෙට් හරහා! හරිම ලේසියි, ලාබයි!”
“එතකොට අඩුවක් දැනෙන්නෙම නැද්ද? මං කියන්නේ, කිට්ටුවන්ත කෙනෙක්ගෙ මූන බලලා හිනහවෙලා කතා කරන්න? තදින් බදාගෙන පොඩ්ඩෙකුගෙ ඇඟක සුවඳ බලන්න? වයසක නෑයෙකුගෙ අත අල්ලාගෙන ඇවිදින්න?... මාලා දන්නවානේ මං කියන දේ?”
“ඔවු අක්කා මට තේරෙනවා… සමහර දේ තනියම කරන්න බෑ…. හැබැයි ඒ වගේම හැම දෙයක්ම කරන්න අනික් අය ලඟ ඉන්න ඕන නෑ”
“ඒක නම් ඇත්ත මාලා… සරත් මගෙ ගෙදර වැඩට උදව් කරන එකට මම හරි කැමතියි - ඒකෙන් වැඩේට යන වෙලාව දෙගුනයක් වුනාට!”
සහෝදරියෝ දෙන්නම හිනාවුනා ඒකට. “බරපතළ කතා” වාතාවරණය ටිකක් සැහැල්ලුවීම අපි දෙන්නටම සතුටක්. නමුත් තේ පෝච්චිය ඉවරවෙන්න ඉස්සර ප්‍රියාට තව එක දෙයක් කියන්න ඕන වුනා.
“දැනට ෆේස්බුක් පාවිච්චිකරන අය කීදෙනාද දන්නවානේ? – බිලියන දෙක හමාරයි (2,500,000,000). මේ අය ප්රකාශකරන වචන, පිංතූර, විඩියෝ… ඕනම දෙයක නීත්යානුකූල අයිතිය ෆේස්බුක් සතුයි. අපි බබෙක්ගෙ පිංතූරයක් ෆේස්බුක් එකේ දැම්මම යම් දවසක ඒ පිංතූරේ වෙළඳ දැන්වීමක, නැත්නම් ඊටත් වඩා නරක විදිහට, පාවිච්චිවුනොත් අපිට ඒගැන කිසිම දෙයක් කරන්න බෑ! හිතලා බලන්න වටිනවා යමක් ‘බෙදා හදා ගන්න’ කලින්… නේද?”
“මං කියවලා තියෙනවා ඒ ගැන… අපි ප්රවේසම් වෙනවා මොනවත් ලියන්න ඉස්සර”
“ඒක හොඳයි… අපෙ කේක් එක ගැන කවුරුත් ගානක් ගන්නෙ නැතිවෙයි!”
“අශාන් හැර!”
සහෝදරියෝ දෙන්නා ආයෙත් හිනාවුනා.
“… අපි අපෙ නම, උපන් දිනේ, පදිංචිය වගේ විස්තර කෙලින්ම දෙනවා ෆේස්බුක් එකට. මං දන්නවා අපි ඇත්ත විස්තරම දෙන්න ඕන නෑ කියලා නමුත් ෆේස්බුක්ම කියන්නේ සියයට පහක් විතර බොරු ගිණුම් කියලා - නිතරම ඒවා අස්කරන්න ෆේස්බුක් ක්රියා කරනවා. කෙසේවෙතත් බිලියන ගානක් මිනිස්සු තමමුත්, තම පවුලේ අයත්, මිත්රයොත් ගැන තොරතුරු ෆේස්බුක් ‘දත්ත සාගරේට’ එකතු කරනවා… හිතලා බලන්න… මේ එකතුවෙන්… මේ මහා සාගරෙන් කරන්න පුළුවන් දේ!”
“… මං බලන විඩියෝ අනුව, නැත්නම් මම යන ෆේස්බුක් පිටු අනුව මට පෙන්වන පිටු, නැත්නම් ප්රවුර්ති, නැත්නම් වෙළඳ දැන්වීම් මගේ ඔනෑ එපාකම් අනුව වෙනස් වෙනවානම් ඒක හොඳයි නේ! අනවශ්ය දේ නොපෙන්නා මම බලන්න කැමතිදේ ඒ අයම තෝරලා දෙනවානම් මටනේ ලේසි!”
ප්‍රියා නංගී දිහා බැලුවේ ටිකක් කනගාටුවෙන්.
“ඔයා කියන්නේ වෙන කවුරුවත් තෝරලා බේරලා දෙනදේ ඔයාට ඇති කියලද? හෝටලෙන් කන්නේ වේටර්ට ඕන කෑමද? බස් එකට නගින්නේ කොන්දොස්තර කියන තැනට යන්නද?”
මාලා හිනාවුනා.
“අක්කට අමතකයි මටත් මොලයක් තියෙනවා කියලා!”
ප්‍රියා හිනාවුනේ නෑ.
“මට ෆේස්බුක් එක ගැනම නෙවෙයි ප්රශ්නයක් තියෙන්නේ… ඇත්තටම ෆේස්ලස්බුක් එක ගැන මට බොහොම සැකයි - මුහුණක් නැති මුහුණු පොත’ නැත්නම් ‘මුහුණු නැති පොත’!”
“ඒ මොකද්ද?”
“… වේටර්ගෙන් අහලා කෑම ඕඩර් කරන අය ඉන්නවා, ඔයා එහෙම නොකරට. ඒ වගේ සුලු වැඩ වලට වැඩිය ප්රබල වගේම භයානක දේ දත්ත සාගරෙන් කරන්න පුළුවන්… ඔය දත්ත - ෆේස්බුක් එකේ තියෙන ඕනම දෙයක් - සාගරයක්ම තමා. ඒක ඒ තරම් ලොකුයි!”
නංගී යමක් කියන්න ඉස්සර ප්‍රියා ආයෙත් කතාව පටන්ගත්තා.
“හිතලා බලන්න… කෙනෙකුට පුළුවන්නම් අළුතෙන් ත්රස්තවාදීන් විසිදාහක් සොයාගන්න; ආගමකට විරුද්ධව කටයුතු කරන්න කැමැති ලක්ෂයකගෙ නම ගම් සහ ඒ අය සමග සම්බන්ධ වෙන හැටි හඳුනගන්න; මහජනයා තෝරාගත් රජයක් කුමන්ත්රණයෙන් අඩපණ කරන්න කැමැති ලක්ෂයක් ඒ රටින්ම සොයාගන්න; ඕනම සිද්ධියක් අලලා බොරු ප්රචාර බෙදා හරින්න කැමැත්තෝ පනස්දහසකට මුදල් යවන්න; අනුන්ගේ දැන්වීම් ඇත්ත නැත්ත නොබලා බෙදා හරින අයගේ මානසිකය අනුව ඔවුන් වර්ග කරන්න - අනාගත පාවිච්චියට; බලවත් ජන කොටස්, සමාගම් හා රටවල් වලට; ඒ කියන්නේ මුහුණු නැත්තන්ට; පුළුවන් බිලියන දෙක හමාරක්, ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් තුනෙන් එකක්, කොටස් වලට බෙදලා ඒ අය තමාගේ ඕනෑ එපාකම් අනුව ‘පාවිච්චි කරන්න’…. ඔයාමනේ කිව්වේ අදහස් පොවන්න හොඳම හැන්ද ෆේස්බුක් කියලා”
“… මාලා… නංගී… අපි කවුරුවත් ඔය මුහුණු නැත්තන්ගෙ ඕනකම් සපුරන්න අතකොළු වෙනවට මං කැමති නෑ”
ප්‍රියා දිග හුස්මක් ඇරියා. මාලා ටික වේලාවක් අක්කා දිහා බලාගෙන හිටියේ කුඩා පංතියක සිවුවියක් ඉස්කෝලේ ප්‍රින්සිපල් දිහා බලන තරම් මහත් භක්තියෙන්.
“අක්කා කොහෙන්ද මේවා සොයාගත්තේ?”
“වෙන කොහෙන්ද? ෆේස්බුක් එකෙන් තමා!”