මොලෙන් දුවන්නෝ
විශ්‍රාම ගැනීමෙන් පස්සේ මගෙ ඇඟපතත් මොලෙත් වයසට පිරිහීම නවත්තාගන්න මම එක එක පිලියම් සෙව්වා. විටමින් පෙති, බෙහෙත් පෙති ගැනීමට ආසාවක් නැති නිසා මම ඇඟේ සෞක්‍ය සඳහා වැඩිපුරම කරේ ඇවිදීම. කොළඹදී ගාලුමුවදොරයි, මහරගම වැවයි මට හොඳට පුරුදුයි. ඇවිදලා එතනින්ම කොල කැඳ බීලත් පුරුදුයි. ගාල්ලේ කොටුවත්, පේරාදෙනියේ සරසවියත් කොළඹින් පිට ඉන්න දවස්වල ඇවිදින්න ඉතා උචිතයි.
මොලේ නඩත්තුකරන්න මට ලේසිම උනේ ‘සුඩෝකු’ වගේ ගනිත ප්‍රශ්න විසඳීම. මේවා කොම්පියුටරේ පමනක් නෙවෙයි අලුත් ස්මාට් ෆෝන් එකෙත් කරන්න පුලුවන්වීම නිසා තවත් වැඩේ තවත් ලේසි උනා. නමුත් මගෙ මොලේ පිරිහීම නවත්වන්න මා වැඩියම කැමතිඋනේ බුද්ධිමතුන් සමග අදහස් හුවමාරුවලට හවුල් වීමෙන්. හවුල්වීමට නොහැකි තැනකදී එවැනි සාකච්චාවකට නිශ්ශබ්දව සවන්දීමෙනුත් මම විශාල ආශ්වාදයක් ලැබුවා. ඒ නිසාමයි මම පේරාදෙනි සරසවි ඇවිදීමේදී එහි ආපනශාලාවක වාඩිවී තේ බොමින් අනික් අයගෙ කතා වලට කන්දුන්නේ.
මේ සාකච්චාව මට ඇහුනේ සතියේ දවසක හවස හතරට විතර. මෙතන හිටියේ දෙවෙනි වසරේ කලා, ඉන්ජිනේරු හා විද්යා හදාරන යාළුවෝ කීප දෙනෙක් බව කතාවෙන් පැහැදිලි වෙනවා. මේ අයට ඕන තරම් තේ බොන්නයි කයිවාරු ගහන්නයි වෙලා තියෙනවා. තේ එක පැයක් දෙකක් තොලගාන්න මේ අය දක්ශයෝ. වඩේ කන්න සල්ලි තිබුනොත් එදාට සැනකෙලි.
“මචං නොරොච්චෝලේ ආයෙත් වහලලු”
“මේ සැරේ මොකොද - ගල් අඟුරුවල ගුල්ලෝ ඉඳලද?”
“කියන්නේ මේන්ටෙනන්ස් කියලා, මොන මොනවා වෙලාද දන්නෙ නෑ”
“හැබෑට ඒකට කියන්න තිබුනේ ‘ලක්විජය’ නෙවෙයි ‘නෝලක්විජය’ කියලා”
“’ලක් කුවේනි’ත් නරක නෑ”
“ඕක පටන්ගත්තෙම නැත්තම් මීට වඩා හොඳයි….අඩු ගානේ අහසට කලු දුම් යන එකවත් නැතිවෙයි”
“එතකොට ලයිට් නැතුව උඹ පොල්තෙල් පහනකින් පාඩම් කරන්න කැමතිද?”
“පිස්සුද බං….එහෙම උනොත් මේ යකා පාඩම් කරනවා වෙනුවට පෙලපාලියක් යයි….කාට හරි විරුද්දව”
“අඩේ ලංකාවේ ගල් අඟුරු නෑ නේද?”
“පිටරටින් එන නැව් වල තමා තියෙන්නේ”
“…නැවෙන් ගෙනත් තියයි කටේ…මේවා වෙන අතරතුරේ, සංවර්දන…”
“ඒ ඇති … දැන් ඕක නවත්තගනිං…ආයෙත් චංදයක් තියෙන කාලෙක කියපන්”
“ඇත්තටම පිටින් ගල් අඟුරු ගෙනත් පුච්චන එක ලාබද ජලවිදුලියට වඩා?”
“පුච්චන දේවල මිල විතරක් නෙවෙයි….බලාගාර හදන්න, දුවන්න එහෙම යන වියදමත් බලන්න ඕනෑ. ඒ ඔක්කම බලලා වෙන්න ඇති නොරොච්චෝලෙයි සාම්පූර් හදන්න පටන්ගන්න ඇත්තේ”
“අමතක කරන්න බෑ පගාවට යන වියදමත්”
එක එක්කෙනාගේ දේශපාලන ඇලවීම් මොක උනත් මේ වගේ සාකච්චා වලදී කියවෙන කිසි දේකට කවුරුත් තරහ ගත්තෙ නෑ. ඒකේ මුල්ම හේතුව උනේ බලන්නා අනුව දකින දේ වෙනස් වෙන බව සියල්ලෝම දැන සිටීමයි. වැඩිපුරම පක්ශයකට දක්වන කැමැත්ත/අකමැත්ත බොහෝවිට තම මව්පියන්ගෙන් ලැබුන දෙයක් මිස තමන්ම හිතා මතා සොයගත්ත දෙයක් නොවෙයි - මේකත් සේරම දන්නවා. අනික හැම දේශපාලන පක්ශයකම ඉන්නේ මිනිස්සු - හොඳ/නරක, උස/කොට, කලු/සුදු කියලා වෙනසක් නැතුව.
“මචං මමත් රස්සාවක් හොයාගන්න ඕනෑ සෑහෙන්න පගා ගහන්න පුලුවන් තැනකින්”
“චංදේ ඉල්ලපං”
“බෑ….එතකොට සල්ලි හොයන්න පුලුවන් දිනුවොත් විතරයි. ආංඩුවේ රස්සා එහෙම නෙවෙයි - මගෙන් වැඩක් කරගන්න එන ඕන කෙනෙකුට මගෙ සුභ සාදක අරමුදලට දායක වෙන්න පුලුවන්”
“අඩේ තොපි වගේ උන් තමයි මේ රට කන්නේ….රටේ වියදමෙන් ඉගෙනගන රටට වින කරන තොපි මරලා දැම්මනම් මීට වඩා රට දියුනුවෙයි”
“ඒකත් හරියට ලංකාව බෞද්ධ රටක් කරන්න අනික් ආගමිකයෝ මරනවා වගේ ගොං වැඩක්. මූ පගා ගන්න ඕනෑ කියන්නේ ඒක රටේ සංස්කෘතිය නිසා - නැත්නම් ලෝබ කමක් නිසා නෙවෙයි….එහෙම නේද මචං?”
“අන්න වැඩේ තේරෙන මිනිහෙක් - අහගනිල්ලා මූ කියන දේ!”
“උඹට සපෝට් කරපු නිසා එහෙනං මට තේ එකක් ගන්න සල්ලි දීපන්”
ආයෙත් කතාව විදුලිබල නිශ්පාදනයට බහින්න විනාඩි විස්සක් විතර ගියා. මේසයක් උඩ තිබුන පරන පත්තර කෑල්ලක් කියවූ එකෙක් තමාගේ දැනීම පෙන්නන්න උත්සාහ කරා.
“හා උඹලගෙන් එකෙක් වත් දන්නවද මේ අවුරුද්දේ නිපදවපු විදුලිබලයෙන් ගල් අඟුරු පාවිච්චි කරලා නිපැදුවේ සියයට කීයක්ද කියලා?”
“විස්සකට පොඩ්ඩක් අඩුයි. ජලවිදුලිය සියයට හැත්තෑවයි, තෙල් වලින් දහයයි….මමත් ඔය පත්තරේ කියෙව්වා!”
“පුදුමයි…මම හිතුවේ ජලවිදුලිය ඊට වඩා අඩු ඇති කියලා…මොකද්ද ඔය පත්තරේ”
“උඹට තේරෙන්නෙ නෑ…මේක ‘කවටමුත්තා’ නෙවෙයි - ඉංගිරිසි එකක්”
“පත්තරේ ඕනැ නෑ…බලපන් ඉන්ටනෙට් ගිහින් - විදුලි බල මංඩලේ සයිට් එකේ නියම ඩේටා තියෙනවා. මාර විකිපීඩියා ආර්ටිකලුත් තියෙනවා. මං ලඟදී කියෙව්ව හැටියට හුලඟෙන් වැඩකරන බලාගාර පහලවක් දැනටම ලංකාවේ දුවනවා. ඒ එක්කම හිරු එලියෙන් වැඩ කරන සෝලා බලාගාර දෙකක් තියෙනවා. මේවගෙන් එන බලය දැනට බොහොම සුලුයි නමුත් අනාගතේට හොඳ කෙලි කරන්න පුලුවන් වෙයි”
කීප දෙනෙක් මේ කතාව ඇහුවේ පුදුමෙන්.
“මං හිතුවේ අපි වින්ඩ්, සෝලා වගේ දේ ගැන තවම කතා කරනවා විතරයි කියලා - දැනගෙන හිටියෙ නෑ දැනටමත් ඒවා වැඩකරනවා කියලා”
යාළුවෝ සේරම මේ අලුත් ප්‍රවුර්තිය ගැන එක විදිහට මත දැරුවෙ නෑ.
“ඉර එලියෙන් ලයිට් ගන්න එක නියමයි…හැබැයි උඹලට අමතක වෙන්න ඇති අපිට ලයිට් ඕනෑ වැඩියම ඉර නැති වෙලාවට කියලා”
“ඕක මහ පරන තර්කයක් - ගල් අඟුරු පතල් අයිතිකාරයෝ තමා වැඩියම ඔහොම කියන්නේ”
“ඒත් උත්තරයක් දෙන්න වටිනවා නේද?”
“එකක්, හුලඟ රෑට නවතින්නෙ නෑ. ඉර එලියෙන් එන බලය අපිට ගබඩා කරන්න පුලුවන් රෑට පාවිච්චි කරන්න. අනික - හිතන්න එපා රෑට විතරයි විදුලිබලේ ඕනැ කියලා. සෑම කංතෝරුවක්, ෆැක්ටරියක්, හෝටලයක් වගේ තැන් බොහොම විදුලිය පාවිච්චි කරනවා දවල්ට. ෆ්රිජ් එකක් තියෙන ගෙදරකුත් එහෙමයි”
“විදුලිය ගබඩා කරන්නේ විශාල අටුවකද? ඔන්න විදුලිය වැලි වගේ තිබුනානම් ගේ පිටිපස්සේ ගොඩගහගන්න තිබුනා. ‘පුතා ඔය විදුලි ගොඩේ නගින්න එපා, ශොක් වදී. රෑට පාවිච්චියට ඕනෑ’ කියලා අම්මලා කෑගහනවා හිතාගන්න පුලුවන්”
“උඹෙ ගමට තව ඇවිත් නැතුව ඇති බැට්රි කියලා ජාතියක්”
ටිකින් ටික කතාව විහිළු වලින් අයින් වෙලා බැරෑරුම් වෙන්න පටන් ගත්තා.
“අපි සෝලා පැනල් ගැන හිතලා බැලුවොත්, ලංකාවේ විදුලි ඕනෑ එපාකම් සපුරන්න වර්ග කිලෝමීටර් කීයක් වහන්න වෙයිද සෝලා පැනල් වලින්?”
“ඒ ගාන මම හදලා නෑ, නමුත් හදන එක අමාරු වෙන්නෙත් නෑ”
“ඒ ගාන හදනකොට අපි බලන්න ඕනෑ දැන් විදුලිබලේ තියෙන තැන් විතරක් නෙවෙයි මුලු රටේ හැම ගෙදරක, කංතෝරුවක, ෆැක්ටරියක අවශ්‍යතාව හිතලා බලලා”
“ඔවු….අදට විතරක් නෙවෙයි අනාගතේටත්…”
“අපි මෙහෙම හිතමුද….සෝලා පැනල් ස්ථාපනේ කරන්න ඉඩම් ඕනෑ. ඒ වගේම හැම ගොඩනැගිල්ලක්ම සම්බන්ද කරන්නත් ඕනෑ….දැනට හිතමු සෝලා පැනල් වර්ග කිලෝමීටර සීයක් ඕනෑ කියලා. මේ වපසරිය එකටම තියෙන්න ඕනැද? පොඩි කෑලි වලට බෙදලා කරන්න බැරිද?”
“වෙන වෙනම තියෙනවානම් ඒවා සම්බන්ද කරන්න කම්බි අදින්න ඕනෑ. හරියට මකුලුදැලක් වගේ තියෙයි”
“නමුත් අපි කොහොමටත් කම්බි අදින්න ඕනෑ හැම ගොඩනැගිල්ල්ටම විදුලිය දෙනවානම්”
“උඹ කියන්නේ ගේ පිටිපස්සේ එලවලු වවනවා වගේ විදුලියත් එකතු කරන්නද?”
“….පිටිපස්සේ නෙවෙයි….වහලේ”
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක් තිබුනා.
“හැම වහලෙම සෝලා පැනල් හයි කරන්න?”
“ඔවු”
“උලු, ඇස්බෙස්ටොස්, ටකරන්, පිදුරු, පොල් අතු….උඩින් සෝලා පැනල්?”
ආයෙත් හිතන්න වෙලාවක්.
“සෝලා පැනල් විදුලිය එකතුකරන්නේ ඒවගෙ වර්ගඵලයට අනුපාතව නේද?”
“ඔවු”
“එහෙනම් ඇයි මුලු වහලෙම පැනල් හයි කරන්නෙ නැත්තේ?”
“ඊටත් වැඩිය හොඳ නැද්ද වහලේ වෙනුවට සෝලා පැනල් දැම්මොත්?”
“දැනට වඩා හයියට තියෙන්න ඕනෑ….අනික ඉඩ ඉතුරු කරන්න ඕනෑ වහලේ උඩ නැගලා ඇවිදින්න - පැනල් සෝදන්නයි කැඩුන පැනල් වලට අලුත් ඒවා හයි කරන්නයි”
“දැනට ඒවා හයි කරන එක ලේසි නෑ. වයර් හරියට යාවෙන්නයි, ඉරේ ගමනේ හැටියට හරි කෝනෙට අටවන්නයි…”
“මචං මම කැමැතියි සොලා පැනල් වහලක් නිර්මාණය කරන්න….මාපාංකිත විදිහට. මූලික කෑලි සුලු ගනනකින් ඕනෑම ව්හලක හැඩය, දිග පලල, පෙර-අපර පැතිවල ප්රමානය වැනි දේ බලලා ඒ අනුව ව්හලක් ඉදි කරන්න, හරියට ප්ලාස්ටික් ‘ලෙගෝ’ කෑලි වලින් සත්තු හදනවා වගේ. ඒ විදිහට, කෑලි එකට හයිකරනකොට විදුලි පරිපථයත් නිමම්ම හයිවෙලා. අර කිව්වා වගේ පැනල් අතරේ ඇවිදින්න එහෙම ඉඩ ඕනැනම් එකත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මේ ක්‍රමයට”
“දැනට වහලේ හදලා තියෙන්නේ මොනවගෙන්ද කියලා ප්‍රශ්නයක් වෙයිද?”
“කොහොමටත් විදුලිය අංතිමට එලියට එන්නේ පරාලයකට හරි දැවයකට හරි හයි කරපු කනෙක්ශන් එකකින් නේ. පැනල් වහලත් පරාල වලට හයි කරනවා ඇන්කර් බොල්ට් දාලා”
“දැනට වහලක් නැති අලුත් ගෙදරකට?”
“තවත් ලේසියි…එක සැරේම වහලෙයි පැනල් ටිකයි හයි කරනවා…”
කීප දෙනෙක් මේක ගැන හිතනවා, ආයෙත් සද්ද නැතුව.
“සෑහෙන වියදමක් යනවා එක ගෙදරක්වත් ඔය විදිහට පැනල් දාන්න ගියොත්”
“මම ඩිසයින් කරා - උඹලට පුලුවන් ඒකේ ඉකොනොමික්ස් බලන්න….හැබැයි අමතක කරන්න එපා ලංකාවේ ගෙවල් කෝටියකට කිට්ටු ගනනකට බඩු ගන්නකොට සෑහෙන ඩිස්කෞන්ට් එකක් ලැබෙයි!”
ඊලඟ විනාඩි විස්සක් විතර ගියේ සෝලා පැනල් ලංකාවේ හදනවද, චීනෙන් හරි ජර්මනියෙන් හරි ගේනවද කියලා.
“අපි හිතමු දැන් ලංකාවේ හැම ගෙදරකම විදුලිය එකතු කරනවා කියලා…අර කවුද කිව්ව වගේ දවාලේ. එතකොට දවාලේ ලයිට් දානයි කොම්පියුටර් දුවන්නයි වගේ වැඩට ඒ ඇතිද?”
“ඇති විතරක් නෙවෙයි හොඳටම වැඩියි. ඒකයි ගබඩාවක් ඕනෑ”
“මමනම් කියන්නේ ඔය ටෙස්ලා කොම්පැනිය වගේ කට්ටිය මොනවා කිව්වත් තවම බැටරි වලින් ගෙදරක්වත් දුවන්න බැටරි තාක්ශනේ හොඳ මදි - මම කියන්නේ දැන් තත්වෙත් එක්ක සංසංදනය කරනකොට”
“ඒක ඇත්ත…එක්කෝ බැටරයි තාක්ශනේ හොඳටම දියුනුවෙන්න ඕනෑ නැත්තම් වෙන ගබඩා ක්‍රමයක් සොයාගන්න ඕනෑ”
“ටිකක්වත් මොලේ පාවිච්චි කරානම් නරකද? ඇයි අපි කියන්නේ බැටරි ගෙදර තියාගෙන විදුලිය එකතුකරන්න ඕනෑ කියලා? හැම ගොඩනැගිල්ලක්ම ස්වයම්පෝෂිත කරන එක නෙවෙයි අපෙ පරමාර්තේ. අපිට ඕනෑ ලංකාවේ හැම කෙනෙකුටම අවශ්‍ය තරම් විදුලි බලය දෙන එක මිසක් ලංකා විදුලිබල මංඩලයෙන් අයින් වෙන එක නෙවෙයි”
“ඒ කියන්නේ?”
“හැම ගොඩනැගිල්ලම මංඩලයේ ජාලයට සම්බන්ද කරලා ඕනෑවට වැඩිය එකතුවෙන විදුලිබලය උන්ට විකුනනවා. මදිනම් සල්ලි දීලා ගන්නවා, වැඩිනම් විකුනනවා”
“මං හිතන්නේ මේක අලුත් අදහසක් නෙවෙයි - වෙන රටවල්වල දැනටමත් කරනවා”
“ඒක ඇත්ත. නමුත් මෙතන තියෙන වෙනස, අපි රටේ විදුලිබල නිපැයුම දසගුනේකින් වැඩි කරනවා. මම දහය කිව්වේ ගනන් නොබලා නමුත් ඊටත් හුඟක් වැඩිවෙයි කියලා මම හිතන්නේ. ඒ කියන්නේ විදුලිය ලාබ වෙනවා, අපෙ බඩු ගනං අඩු වෙනවා, පිටරටවලට ලාබෙට බඩු විකිනනකොට ඒ වෙලඳපොලෙන් සෑහෙන කොටසක් අල්ලාගන්න පුලුවන් වෙනවා, විදේශ විනිම ….මේවා ගැන මං දන්නෙ නෑ නමුත් රටේ දියුනුවට සෑහෙන රුකුලක් ලැබෙනවා….”
“පොඩ්ඩක් හිමින් දුවපන්…රට අල්ලන්න ඉස්සර තව කරන්න දේ තියෙනවා…රටේ නීති වෙනස් කරන්න ඕනෑ….මහා විශාල ප්‍රොජෙක්ට් වලින් යටිතල පහසුකම් සපයන්න ඕනෑ…මේවා කරන්න සල්ලි ඕනෑ…දක්ශ මිනිස්සු ඕනෑ….”
“ඒවා විද්‍යාත්මක ප්‍රශ්න නෙවෙයි…උඹලා ඒ ටිකවත් කරපල්ලා. මම මගෙ වැඩේ කරා”
“තවම ලංකා විදුලිබල මංඩලේ වැඩි විදුලිය ගබඩා කරන විදිහ අපිට කියලා දුන්නෙ නෑනේ?”
“සිම්පල්…අපි ජලවිදුලි නිපදවන තැන් වලින් වැඩි බලය පාවිච්චි කරලා වතුර ආපහු ජලාෂයට පොම්ප කරනවා. ජලවිදුලි බලාගාරයක වෙන්නේ උඩ ඉඳන් පහලට එන වතුරේ බලය විදුලියට හරවන එකයි - මං හිතුවේ උඹලා අඩුම ගානේ ඒක වත් දන්නවා ඇති කියලා”
සේරම ආයෙත් කල්පනාවේ යෙදුනා. කැන්ටිමේ වැඩකරන කොල්ලා ඇවිත් කෝප්ප එකතුකරගෙන යනවාවත් මේ අය දැක්කෙ නෑ වගේ.
“උඹලා කියන්නේ….හැම ගෙදරකම සෝලා පැනල් හයි කරලා ඒවා විදුලිබල මංඩලයේ ජාලයට සම්බන්ද කරනවා. එකතුවෙන විදුලිබලය ගෙදර පාවිච්චියට අරගෙන වැඩි වෙන ටික මංඩලයට විකුනනවා. මුලු රටම බලපුවම විදුලිබල නිපැදුම කීප ගුනයකින් වැඩි එනවා. ඒ විතරක් නෙවෙයි රටේ එක පලාතක හොඳටම ඉර පායලා තියෙනවානම් ඒක රටටම ඇති - දවල්ටයි රෑටයි දෙකටම. මේ අස්සේ විදුලිබල මංඩලේ ජල සංරක්ශනයේ යෙදෙනවා, දන්නෙම නැතුව….”
“මේක ගැන අපෙ ඊලඟ පියවර මොකද්ද?”
ආයෙත් පොඩි නිශ්ශබ්ද තාවයක්.
“මම නං අක්කලෑ ගෙදර යනවා රෑට කන්න - ඉඳි ආප්ප හදනවලු”
“අපිට අද ගෝදම්බා රොටී…ගිය බදාදා හම්බුන ඒවා වගේනම් ඊට වඩා හොඳයි ෆයිල් කවරයක් කන එක”
“මට තව නූඩ්ල් පැකට් දෙකයි ඉතුරු… බලන්න ඕනෑ ටියුශන් පාරක්වත් දීලා ගානක් හොයාගන්න ”
“අප්පෝ උඹලා දුප්පත් නේද…අපෙනම් ඩැඩී පෝසත් නිසා කරදරක් නෑ”
“එහෙනං ඩැඩිත් එක්ක වරෙන් අපෙ ගෙදර ගජේ ගහන්න”
යාළුවෝ හෙමින් හෙමින් කැන්ටිමෙන් එලියට ගියේ යන්න තැනක් නැති අහිකුංටිකයෝ රැලක් වගේ. කැන්ටිමේ ඔවුන් වෙන කිසි කෙනෙක් දිහා බැලුවේවත් වෙන කෙනෙක් එක්ක කතා කරේවත් නෑ. මට හිතුනේ, රටේ තැන් තැන් වල ඉඳන් පේරාදෙනියට ඇවිත්, වෙන වෙන විශයන් හදාරන මේ අහිකුංටිකයෝ රැලට හැකියාව තියෙනවා සාමූහිකව යමක් ගැන හිතලා ඒක වචන වලට හරවන්න. මේ අයට රට බාරදීලා අපි අයින්වෙන එක බොහොම හොඳ දෙයක් හැටියටයි මට ඒ වෙලාවේ හිතුනේ.