රජකුමරෙකුගේ සිහින
“රාජ පුරුශයනි….මේ රාජ ද්‍රෝහියා වහාම ගෙනගොස් හිස් ගසා දමනු!”
මොග්ගල්ලන වහාම දනින් වැටී තමාගේ හිස කාශ්‍යපගේ පා ඉදිරිපිට පොලවට කිට්ටු කලා.
“තාගේ හිස ගසාදැමීමට පෙර කියන්න යමක් තිබේද?”
“රජතුමනි මා අතින් වරදක් සිදුවුනානම් මට සමාවෙන්න….මම ඒ සොල්දාදුවන් ඔබතුමාගේ බව නොදැන සිටියෙමි”
“රජ පරපුරේ කෙනෙකුට සිව්රඟ සේනා හඳුනා ගැනීම නොහැකිවීම ලොකු වරදක් බව නුබ නොදන්නේද?”
කස්සපගේ දකුනුපසින් මෙපමන වෙලා නිශ්ශබ්දව සිටි මිගාර තම ඇඟ නමා රජතුමාගේ කනට කෙඳුරුවා.
“මහරජතුමනි. මේ රාජ ද්‍රෝහියා කර ඇති වරදට හිස ගසාදැමීමට වඩා ඔබින දඬුවමක් දිය යුතුයි…මහරජතුමාගේ කැමැත්ත අනුව”
“මිගාර…ඔබේ වචනය නොවැරදියි….සුදුසු දඬුවමක් ලෙසෙ ඔබ දකින්නේ කුමක්ද?”
මිගාරගේ මුහුනේ පොඩි සිනාවක් නැගුනා.
“මහරජතුමනි…මේ කල වරදට…මොග්ගල්ලාන රාජ ද්‍රෝහියාට දැන් සේවකයෝ ගෙනා රසකැවිලි එකක්වත් නොදිය යුතුයි!”
“ආ…..එහෙම බෑ…..” මොග්ගල්ලාන වහාම නැගිට්ටා. “ඊයෙත් ඕක කරා…..අම්මා…”
රජ බිසව වාඩිවීසිටි අසුනෙන් නැගිට්ටා.
“දැන් නාට්‍යය නවත්තලා රසකැවිලි වලට වෙලාව. තුන්දෙනාගෙම භාශාව හොඳයි….රජවාසලට සුදුසුයි. මිගාර….නිතරම විහිලු කරන්න බෑ - පුරුද්දකට ගියොත් භයානකයි. කාශ්‍යප හැම වැරැද්දටම හිස ගසා දාන්න බෑ - වරදේ හැටියට දඬුවම. මොග්ගල්ලාන පුතා දන්නවා නාට්‍යකයි හැබෑ ජීවිතෙයි වෙනස. එකක් ඉවරවෙලා අනික පටන්ගන්නේ කොයි වෙලාවෙද කියලා අමතක කරන්න එපා…”
ළමයි තුන්දෙනා සද්ද නැතුව රජ බිසවගෙ කතාව අහගෙන හිටියේ වැඩිහිටියෙකු මෙන්ම ගුරුවරියක ලෙසටත් ඇයට තිබූ භක්තිය නිසයි.
බිසවගේ අප්පුඩියකින් කැදවූ දාසියකට ඈ අණ දුන්නා.
“සුගලා… මේ රජකුමරුන්ගේ මුහුනු කට සෝදා පිරිසිදු කර කෑමට ගෙනෙන්න…”
ධාතුසේන මහරජතුමාගේ පිරිමි දරුවන් දෙදෙනාත් එතුමාගෙ සහෝදරියගෙ මිගාර පුත්‍ර කුමාරයත් හැදුනේ එකට. දස වසරට කිට්ටුවෙන් හිටි තුන් දෙනා වෙන්කල නොහැකි මිත්‍රයෝ. කාශ්‍යපගෙ මව රජ කුලේ නොවුනත් ඔහු මොග්ගල්ලානට වඩා වැඩිමල් නිසාදෝ මේ නඩයේ ලොක්කා උනා. රජතුමාගෙ ගැහැනු දරුවා මේ නඩයට එක් උනේ නෑ. ශරීර ශක්තියෙන් මිගාර අනික් දෙන්නටම වඩා ඉහලින් හිටියත් ඔහු කිසි වෙලාවක තමාගේ ශක්තිය සහෝදරයන්ට විරුද්දව පාවිච්චි කලේ නෑ. යම් දවසක ඔටුන්න හිමි කුමාරයා හැටියට මොග්ගල්ලාන රජකම අත්කරගන්නා බව තුන්දෙනාම දැනගෙන හිටියා.
කුමාරයෝ තුන්දෙනා එදා දවල් ආහාරෙන් පස්සේ රන්මසු උයන පැත්තට ඇදුනා. මේ ගමනට රාජ පුරුෂයෝ අට දෙනෙකුත් සේවකයෝ තුන් දෙනෙකුත් එකතු උනා. කාශ්‍යප වෙනදා වගේම ඉස්සරහින් ගියේ තම සේවකයා සමග කතා කරමින්.
“සූටියා අපි එදා වගේ මාලුවෙක් අල්ලමුද?”
“අනේ මගෙ දෙයියා… මහරජතුමා දැනගත්තොත් සූටියා ඉවරයි!”
“මං කියනදේ නොකරොතුත් සූටියා ඉවරයි කියලා දන්නවා නේද?”
“බුදු දෙයියෝ …. මට අනුකම්පා කරලා ….. ඒ වෙනුවට අද මං පොකුනේ කිමිදිලා වතුර යට පීනලා යටින් සුදු වැලි ගෙනත් දෙන්නං….”
කාශ්‍යපට සූටියා ලවා රත්තරන් මාලුවෝ අල්ලන්න ඇත්තටම ඕනැ කමක් තිබුනේ නෑ. ඕනැ උනේ ටිකක් සූටියා බයකරන්න විතරයි. හැබැයි පොකුනේ පතුලෙන් සුදු වැලි ටිකක් ලැබෙන එක නොහිතපු වාසියක්.
“මටත් උගන්නනවද වතුර යට පීනන්න?”
“අනේ මගෙ දෙයියෝ….ඒකට මේ සොල්දාදුවන්ගෙන් අවසර ඕනෑ. නැත්තම් මගෙ අනික් කනත් කපා දායි” සූටියගෙ වම් කන කපාදාන්න මහරජතුමා අණ දුන්නේ රාජ අවසර නැතුව කාශ්‍යප කුමාරයාගේ අණ පරිදි කුමාරයා මාලිගා අඩවියෙන් එලියට එක්ක ගිය නිසා. සූටියා මේ දඬුවම පිලිගත්තේ තමා කල වරදට ඒක උචිත දඬුවමක් හැටියට. සූටියා හිතුවේ මහරජතුමාට මේ දඬුවම නොදී බැරි බවයි කරපු වැරැද්දේ හැටියට.
කුමාරයෝ තුන් දෙනා පොකුනේ එහෙ මෙහෙ පිහිනුවේ රන් මාලුන් වගේ - මේ අය ඒ තරම්ම පිහිනීමේ දක්ශයෝ. රාජ පුරුශයෝ පිහිනන්නන්ට පිටුපස හරවා පොකුන වටා සීරුවෙන් සිට අට දිසාව හෝදිස්සියෙන් බලා හිටියේ කුමරුන්ගේ ආරක්ශාව ඔවුන්ට අයත් රාජකාරියක් නිසයි. සේවකයෝ කුමරුන්ගේ ඇඳුම් සහ ආභරන ආරක්ශාවට ඒ ලඟ වාඩිවී හිටියේ ඕනෑ කාර්‍යකට අණක් ලැබුනොත් වහාම එය ඉටුකිරීමට ලෑස්තියෙන්. පොකුනට ඇතුල්වීමට අවසර තිබුනේ කුමරුන්ට පමනක් වුවත් රාජපුරුශයෝ මෙන් නොව සේවකයෝ කුමරුන්ගේ පිහිනුම් දක්ශතා බලා සිටියේ ආඩම්බරෙන් - තමාගේ කුමරු දිනනවා දකින අපේක්ෂාවෙන්. කුමරුන්ගේ පිහිනීම වෙනදාට වඩා වෙනස් බව පලමුවෙන්ම දුටුවේ සූටියා.
කාශ්‍යප කුමාරයා කිහිප වරක් පොකුනේ පතුලට කිමිදුනේ අනික් කුමරුන් දෙදෙනා තැති ගන්වමින්. මොග්ගල්ලාන කුමරු කිහිප වරක් තම සහෝදරයාට එසේ නොකිමිදෙන ලෙස ඉල්ලා සිටියත් ඒ අලුත් ක්‍රීඩාව ලේසියෙන් නැවතුනේ නෑ. නමුත් අන්තිම කිමිදීමෙන් පසු කාශ්‍යප කුමාරයා වතුර මතුපිටට ආවේ බොහෝම හෙමින්. පොකුනෙන් එලියට ආ කාශ්‍යප සූටියා ඇඳුම් අන්දවනකම් කිසි දෙයක් නොකියා හිටියා. සහෝදරයෝ දෙදෙනා ඇසූ ප්‍රශ්න එකකටවත් පිලිතුරු නොදී බිම දිගාවුනේ “සූටියෝ මගෙ ඔලුවේ ලේ තියෙනවද බලපන්” කියලයි.
සූටියා හොඳටම බය උනා.
“මොකොද බුදු දෙයියෝ උනේ?”
“කිමිදුන වේගේ වැඩී - ඔලුව පතුලේ ගලක වැදුනා…මලයලාට කියන්නෙ එහෙම නෑ!”
“අයියෝ නෑ… ලේ එහෙම නෑ … හිසේ කැක්කුමක් තියෙනවද?”
“ටිකක් කැරකෙනවා….”
මොග්ගල්ලානයි මිගාරයි ඇවිත් ලොකු සහෝදරයා ලඟ වාඩිවෙලා විහිළු කලා.
“පතුලෙන් වැලි ගිලිලා….”
“වැලි නෙවෙයි ලොකු ගල්කැට…ඒකනේ නැගිටින්නවත් පන නැත්තේ!”
“කට වහගෙන ගිහින් පීනපල්ලා….මට කනක් ඇහිලා ඉන්න දිලා!”
“අප්පේ සැර… අපි යං මිගාර මෙයාට අව්ව තපින්න දීලා”
කාශ්‍යප ඔලුව ඇතුලේ මහා කලබලයක් වගේ සද්දේ. ඇස් දෙක වහගෙන ඉන්න කාශ්‍යපට එක එක කටහඬ ඇහෙනවා, නමුත් එකක්වත් තමා දන්න මිනිස් කටහඬ වගේ නෑ - හරියට පොතක ලියා තියෙනදෙයක් ශබ්දනගා හිතෙන් කියවනවා වගේ.
- “අඩේ කරුංකා… අද මොනවද ෆේස් බුක් එකේ පෝස්ට් කරේ උඹ?”
“මගෙ රිසර්ච් ප්‍රොජෙක්ට් එක වැඩ තමා කාශ් - ලියන්නේ උඹලගෙ ඉතිහාසේ. උඹලා ගැන මං ලියපු දේ මටම විස්වාස කරන්න බෑ - උඹෙ නංගී මිගාරයා කසාද බැඳගෙන! හැබැයි නැංදයි ලේලියි වැඩිය හොඳ නැතිලු”
“පුදුමයක් නෙවෙයි - අපෙ නංගිත් එක්ක ඉන්න කාටද පුලුවන් බං! මට පව් හිතෙන්නේ මිගාරයා ගැන”
“ඊටත් වැඩිය….”
මිගාර ඉසූ වතුර පහරකින් කාශ්‍යප ඇහැරුනා. ලැග හිටපු සිහින ලෝකේ දියවෙලා ගියාට ඒකේ මතක කාශ්‍යපගේ හිතේ හොල්මන් කරනවා. “කවුද ‘කරුංකා’ කියන්නේ. මම එයත් එක්ක කතා කරන්නේ කොහොමද? ‘ෆේස් බුක්’ ‘පෝස්ට්’ කියන්නේ මොනවද. එක දෙයක් හැබැයි - කරුංකා මට අනාගතේ ගැන කියලා දෙනවා, ඒකේ ඇත්ත බොරු වෙන්කරගන්න විදිහක් මට නැති උනත්”. මේ වගේ අදහස් වලින් මොලේ අවුල් කරගෙන කාශ්‍යප අනික් අයත් එක්ක මාලිගාව දිහාට එන්න හැරුනේ.
එදා හවස් වරුවේ සැර හිසේ කැක්කුමක් තියෙනවා කියලා කාශ්‍යප පාඩම් වලට නොයා ඉන්න අවසර ගත්තා. ඇඳේ වැතිරිලා එතන බිම වාඩිවෙලා හිටි සූටියා එක්ක කතා කර කර ටික වෙලාවක් හිටියා.
“සූටියා දන්නවද යකා වැහෙනවා කියන එක?”
“අපෙ දෙයියෝ අපෙ මාමා කෙනෙකුට එහෙම වෙලා ගමෙන් එලවාගත්තා”
“කොහොමද දැනගත්තේ යකා වැහිලා කියලා?”
“අමුතු දේ කියන්ට පටන්ගත්තලු…. කිසි කෙනෙකුට නොතේරෙන දේ….නැති මහරජවරු ගැන….කතාකරන යන්තර ගැන….නිකං පිස්සු කතා….”
කාශ්‍යප ඇස් වහගෙන ටික වෙලාවක් හිටියා. තමාටත් යකෙක් වැහිලද අර ‘කරුංකා’ වචන ඇහුනේ කියලා සැකයක් හිතුනා.
“මනුස්සයට යකා ගැහුවේ කොහොමද කියලා දන්නවද?”
“උන්දෑ මද්දහනේ පොල් කඩන්ට හිහින් ගහෙන් වැටුනා නොවෑ…මද්දහනේ ගස් නගින්ට එපා කියලා නැන්දම්මා කොච්චර කිව්වත් ඇහුවෙ නෑ. මාමා ඒ කාලෙත් ගොනා….”
“…පංති ඉවර උනහම මිගාර කුමාරයට මෙ එන්න කියාපන්…”
“මට අවසර අපෙ දෙයියෝ එහෙනං….”
කුමාරයා ආයෙත් ඇස් වහගත්තා, හිසේ කැක්කුම වැඩිවේගන එන බව දැනිලා.
- “තොපෙ මහ එකා මාර කෙලියක්නේ කරල තියෙන්නේ!”
“අපෙ පියරජතුමාට ඔහොම කතා කරන එක හරිනෑ නේද, උඹ මගෙ හීනේ ඉන්න කෙනෙක් උනත්?”
“ඇයි උඹ මට මොනවා කරන්නද? …. අනික, මම අපහාසෙට නෙවෙයි එහෙම කිව්වේ….”
“මොකද පියරජතුමා කරලා තියෙන්නේ….අ….කරන්න යන්නේ?”
“මතකද මම කිව්වා මිගාර උඹෙ නංගී බැන්දා කියලා? නැංදයි ලේලියි වැඩිය හොඳ නෑ කියලා කිව්වේ?”
“ඔවු….ඒ උන් දෙන්නා කසාද බැන්දොත් නේ….”
“උන් බැන්දා! තොපෙ රජ්ජුරුවෝ එයාගෙ දුවට, ඒ කියන්නේ උඹෙ නංගිට, වෙනස්කම් කරනවා කියලා නැංදට මරන දඬුවම දෙන්න තීරනේ කරලා!”
“මොනවා….!....”
කාශ්‍යප ඇඳෙන් නැගිට්ටේ ලඟ තිබුන කනප්පුත් පෙරලාගෙන. පපුව ගිඩි ගිඩි ගාලා වදිනවා, කකුල් වෙවුලනවා. ඔලුවේ කවුදෝ ගංටාර ගහනවා වගේ. ඇස් දෙකේ දැලක් බැන්දා වගේ කාමරේ අඳුරුයි, නොපැහිදිලියි. මේ මොන ජාතියක හීනද මට පෙනෙන්නේ කියලා කාශ්‍යපට බය හිතුනා - යකා ගහලා නිසා සූටියගෙ මාමා වගේ අනුරාදපුරෙන් එලවයි කියලත් හිතුනා. මිගාර කාමරේට එනකොට කාශ්‍යප තවම වෙවුලනවා. මිගාරට බය හිතුනා.
“මොකද අයියංඩී…තවම හිසේ අමාරුව නේද? වෙදා ගේන්නද?”
කාශ්‍යප මිගාරගෙ අත අල්ලා ගත්තා. ටිකින් ටික හුස්ම ගැනීමයි නාඩි වැටීමයි සාමාන්‍ය තත්වයට එන්න පටන් ගත්තා.
“නෑ මිගාර… වෙදා ඕනැ නෑ…වෙන වැඩක් නැත්තං මෙහෙ ටිකක් වෙලා ඉන්න පුලුවන්ද?”
“අද ආයෙ පංති නෑ. මගෙ අලුත් බෙල්ලෝ ගේන්නද, බෙල්ලෝ දාන්න?”
“නෑ….අපි නිකං කතා කර කර ඉමු….”
මිගාරට පුදුමයි කාශ්‍යපගෙ වෙනස. වෙනදා ඕන ක්‍රීඩාවකට තනි පයින් කැමැතිවෙන මනුස්සයට අද ඇඳේ වැතිරිලා සතුටු සාමීචියේ යෙදෙන්න ඕනලු! රන්මසු උයනේ ගමනෙන් පස්සේ තමා මේ වෙනස.
“අයියට ඇඟට අමාරුවක් තියෙනවනම්….”
“මට අමාරුව තියෙන්නේ ඔලුවේ…හිත එහෙ මෙහෙ දුවනවා…අමුතු අදහස් හිතට එනවා…අ…අ …මිගාර දන්නවද කරුංකා?”
“… වියලි පුවක්?....ඕනැද?”
“නෑ නෑ….මම කියන්නේ, දන්නවද කරුංකා කියලා මිනිහෙක්? ආයෙ ෆේස්බුක් කියලා….ශිලා ලිපියක්…පුස්කොල පොතක්….මොකද්ද මන්දා…”
“එහෙම කෙනෙක්වත් ඔය පොතවත් මම දන්නෙ නෑ….අයියට හොදටම විස්වාසද මේවා පිරිවෙනේ ලොකුහාමුදුරුවන්ට හරි කියන්න ඕනැ නෑ කියලා….?”
“එපා…මට දවසකින් දෙකකින් හොඳවෙයි…හීනෙන් පෙනෙනදේ ගැන මොකොටද කාටවත් කියන්නේ”
“හීනෙන් මොනවද දකින්නේ?”
“………..හරියට අනාගතේ වෙනදේ ගැන කියනවා වගේ….හැබැයි කරුංකා ඒ සිද්ධි දිහා බලන්නේ එයාගෙ අතීතේ උන දේ හැටියට….”
“අනාගතේ අපි ගැනත් කියනවද?” මිගාර බොහොම හයියෙන් හිනා උනා. නමුත් කාශ්‍යපගෙ මුහුනේ හිනාවක් වෙනුවට පෙන්වූයේ බැරෑරුම් ප්‍රශ්නයක් මෙනෙහි කරන්නෙකුගේ මුහුනක්. මේක දැකලා මිගාර වහාම හිනාව නැවත්තුවා.
“මං ඇහුවේ විහිලුවට…අපි අමතක කරලා දාමු ඔය හීන”
දෙන්නම සද්ද නැතුව ටික වෙලාවක් ජනෙලෙන් එලිය බලාගෙන හිටියා. එලියේ උද්‍යානයක සෙල්ලම් කරන රජ දරුවෝ කිහිප දෙනෙක් කාශ්‍යප හඳුනා ගත්තා.
“අර මොග්ගල්ලාන මලයා නේද සෙල්ලම් කරන්නේ?”
“ඔවු….මහරජතුමාගේ ඇරයුමකින් මලයා රජවාසලට ගියා. සමහරවිට රජසබාවට තවම ඇතුලට කතා කරලා නැතුව ඇති”
“මොකොද එයා රජසබාව පැත්තේ…?”
“ඇයි අයියේ ඔටුන්න හිමි කුමාරයා හැටියට දැම්ම ඉඳම්ම ඔය වැඩ ඉගෙනගන්න එපැයි”
“අර නංගිත් එතන ඉන්නේ?”
“මව් බිසවට කනක් ඇහෙන්න නංගිත් යවන්න ඇති රජවාසලට!” මිගාර හිනා උනා.
මේ සැරේ නම් කාශ්‍යපටත් හිනා ගියා.
“ඔහොම කියන්නෙ නෑ මිගාර අපෙ නංගී කසාද බැඳගත්තැන් පස්සේ!”
“බුදු අම්මේ….මං මොන පාපයක් කරලද? අයියංඩිටනම් ඇත්තටම යකා ගහලා!”
………………
මිගාර තම සහෝදරයගෙ නිඳන කාමරෙන් පිටව ගියපසුත් කාශ්‍යප ඇඳේම හාන්සිවී හිටියේ තමාගේ පවුල ගැන හිතමින්. ධාතුසේන මහරජතුමා තම දරුවන්ට ඉමහත් ආදරයක් පෙන්නුවා. ඔවුන්ගේ අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම සැලකුවා. ඒ අනුව යුද පුහුනු මෙන්ම කලාව ආගම සංස්කෘතිය වැනි දේ ගැන දැනීම සහ නිපුනත්වය දියුනු කිරීමට දක්ශ ගුරුවරුන් පත් කලා. මහරජතුමා කනගාටුවට පත්කල එකම දේ තම දරුවන් රටේ ජලය පාලනය ගැන ඇල්මක් නොපෙන්වීමයි. ජලාශ හෝ ජලමාර්ග ශාස්ත්‍රය ඔවුන් මුලුමනින්ම නොසලකා හැරියා. රජතුමා මේ කෂේත්‍රයේ විශාල වැඩ කොටසක් ඉටු කල නමුත් දරුවන්ගේ උපහාර එයට නොලැබීම ගැන එතුමා දුක් උනා.
මොග්ගල්ලාන ඔටුන්න හිමි කුමාරයා හැටියට රජ පවුලේ සියල්ලෝම දන්නවා. ඔටුන්න හිමිකාරයෙක් හැටියට කාශ්‍යප දෙවැනි උනේ මොග්ගල්ලානට පමනයි. මොග්ගල්ලානට රජ විය නොහැකි වූවොත් කාශ්‍යප රජ කිරුල අයිතිවන බවත් සියල්ලෝ දැන හිටියා.
කාශ්‍යප ඇස් පියවා කරුංකා ගැන හිත යොමු කලා.
- “ඇත්තටම අපෙ පිය රජතුමා තමාගෙ සහෝදරී, මිගාරගෙ අම්මා, තම දුවගේ නැන්දා, මරා දමනවද?”
“මං හිතන්නේ ඒක රජවරුන්ගෙ හැටියක්!”
“නමුත් අපේම පවුලේ අය….?”
“….මේක කොහොමද මං කියන්නේ….රජවරු විතරක් නෙවෙයි කුමාරයොත් එහෙමයි…”
“මොකද්ද ඔය කරුංකා කියන්න හදන්නේ?”
“මං කිව්වත් නැතත් වෙනදේ වෙනවා….ඒවා වෙනකන් ඉන්න එක හොඳයි කියලා මට හිතෙන්නේ…”
“මම මිගාර එක්ක රංඩු වෙනවද?”
“අපෝ නෑ….මිගාර තමාගෙ හොඳම මිත්‍රයෙක්.…”
“මම මොග්ගල්ලාන එක්ක ගහගන්නවද?”
“ඔවු… කීප සැරයක්”
“මම මොග්ගල්ලාන මරනවද?”
“නෑ….ඒක වෙන්නෙ නෑ”
“මට බය හිතුනා මම එහෙම දෙයක් කරයි කියල, කුමාරයොත් එහෙම කරනවා කිව්වම! මට කිසි කෙනෙක් එක්ක තරහ යන්න හේතුවක් නෑ - හැබැයි පිය රජතුමානම් කැමැතියි මම වැව් හදනවානම් - මට ඒකට කිසි ආසාවක් නෑ”
“මං එකක් කියන්නම්. කශ් වැව් හදන්නෙ නැති උනාට බොහෝම කල් පවතින ඉතාම චමත්කාර නගරයක් හදනවා….ඒ දැනගත්තම ඇති. මට තව වැඩ තියෙනවා. එහෙනම් ජයවේවා!”
“ජයවේවා කරුංකා යාලුවා…යම් දවසක මම උඹ කවුද කියලා හොයාගන්නවා”
කාශ්‍යප පොරවනය ඇඟට උඩින් ඇද ගත්තේ සෑහෙන සැහැල්ලු හිතකින්. අනික් පවුලේ අය කෙසේ වෙතත් හෙට පටන් මිගාර සමග හොඳම මිත්‍රත්වයක් පවත්වාගන්න තීරණය කර පසු කාශ්‍යපට සිහින වලින් තොර නිසල නින්දක සුව විඳින්න හැකි උනා.