රට වෙනුවෙන්

මාධ්‍ය වේදියෙක් වශයෙන් මට අවුරුදු විස්සකට වැඩිය පලපුරුද්ද තියෙනවා. මගේ වෘත්තික ජීවිතේදී මම හැම වර්ගයේම මිනිසුන් ආශ්‍රය කරලා පුරුදුයි. මම විද්යාඥයෝ, ගත්කරුවෝ, නඩුකාරයෝ, හිරකාරයෝ වගේ බොහොම දෙනෙක් එක්ක සම්මුක සාකච්චා පවත්වලා තියෙනවා. මේ සෑම අවස්ථාවෙම මට පුලුවන් උනා ඒ ඒ අයගෙන් මට අවශ්‍ය කාරනා හාරා සොයාගන්න. මේක මගෙ වෘතියට අනිවාර්‍ය නිපුනතාවයක්. මේ නිපුනතාවය කොපමන වැදගත් උනත් සමහරවෙලාවට මට හිතෙනවා එක සම්මුක සාකච්චාවකින් ලබාගෙන ප්‍රසිද්දියේ පළකරන තොරතුරු කොපමන කාලේකට සත්‍යවාදී වෙයිද කියලා. අපි සියලු දෙනාම කාලයත් එක්ක වෙනස් වෙනවා. අපේ අදහස් උදහසුත් කොතරම් වෙනස් වෙයිද? අනික, මම ප්‍රශ්න අහලා සොයා ගන්නා දේත් ප්‍රශ්න කිරීමෙන් තොරව තම කැමැත්තෙන් ප්‍රකාශ කරන දේත් අතර විශාල වෙනසක් ඇතිද?

මේ ගැන තව දුරටත් සොයා බලන්න මම තොරා ගත්තා පසුගිය වසර පහලවකටත් වැඩිය අපේ පලාතේ මන්ත්රී තුමාවන ලාල් ජයතිස්ස මහතා සහ එතුමා අපේ ප්‍රසිද්ද රැස්වීමවල කල කතා මේකට පාවිච්චි කරන්න. මම ජයතිස්ස මහතා කීප වරක් හමුවී තිබුනත් අපි හොඳින් හඳුනන්නෝ නොවෙයි. එනිසා මට පක්ෂග්‍රාහී හැගීම් නෑ. ඒ වගේම මම එකතු කරන දත්ත වලින් කිසිම නිගමනයක් ගනීමට අදහසක් නෑ - නිගමන ගැනීම ඔබටම බාරයි.

…….

[පලමු වරට මංත්‍රී පදවිය ලැබූ අවස්තාවේ පලවෙනි කතාව - නාගරික ක්‍රීඩා පිටියේ]

“ගරුතර සංගරත්නයෙන් අවසරයි…මෑනි වරුනි පිය වරුනි…සහෝදර සහොදරියනි…. මට මේ අවස්ථාවේ කියන්න තියෙන දේ බොහොමයි. නමුත් පලමුවෙන්ම මම මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕන…අ…අ…බොහෝ දෙනෙකුට [හිනා] මගේ බිරිඳ සහ දරුවෝ පලමුවෙන්ම, නමුත් ඊට හුඟක් පස්සෙන් නෙවෙයි ඉන්නේ මට සහය දුන් ඔබ සැම. [අත්පොලසන්] මගේ පක්ශ කාර්යාලේ අය මං හිතන හැටියට දැන් සතියකට වඩා නිදි නෑ….ඒ වගේම චංද වැඩ වලට අව්ව වැස්ස නොබලා ගෙයින් ගෙට ගිය මගෙ සහෝදර සහෝදරියෝ අපෙ පක්ශෙටත්, මේ පලාතටත්, මේ ශ්‍රී ළංකාවටත් කලේ ඉමහත් සේවයක්.”[දිගින් දිග අත්පොලසන් සහ ‘ජයවේවා! නාද]

“නමුත් අපි අද මෙතන රැස්වෙලා ඉන්නේ ජයපානය කරන්න නොවෙයි…අපේ අලුත් අගමැති තුමා [‘ජයවේවා’] යටතේ අපි පිහිටවන රජයට වැඩ ගොඩක් තියෙනවා. ඒ සියල්ලටම මම මේ පලාතේ ජනයා වෙනුවෙන් මට හැකි හැම අංදමින්ම සහයෝගේ දෙනවා. ඒවගේම, මේ පලාතේ දියුනුව මගේ පලමු කාර්‍යය. අපි ගොවි සමාජයක්. මගේ තාත්තා ගොවියෙක්. අපි පොඩිකාලේ පටන් හැදුනේ ගොවි ගෙදරක. කුඹුරක වැඩ, හේනක වැඩ මට අමුත් නෑ. මම ගමෙත් නගරෙත් දෙකේම ජීවත්වෙලා තියෙනවා, ඉගෙනගන්නත් රස්සාවටත්. මට ගමත් නගරයත් එකයි. ඒ වගේම, ගොවියත්, ගුරුවරයත්, කම්කරුවත්, හෙදියත්, මේ වාගේ කී නොකී සියලු දෙනාටම එක වගේ ප්‍රශ්න තමා බලපාන්නේ…මට දොස්තරත් කොන්දොස්තරත් එකයි.” [හිනා]

“අද පටන් මට දේශපාලන පක්ශයක් නෑ. මට චංදේ දුන්නත් නැතත් මම ඔබෙ නියෝජිතයා. ඔබ සියලුදෙනාගෙම ඕනෑ එපාකම් සොයාබලන එක මගෙ යුතුකම, මගෙ රස්සාව….ඒනිසා…මම…අවසාන වශයෙන් කියන්නේ මේකයි…අපි එකට වැඩ කරමු, එකට දියුනු වෙමු, එකට රට හදමු….ශ්‍රී ළංකාව නැවතත් පෙරදිග මුතු ඇටය බවට පත්කරමු!…ඔබ සැමට සුබ අනාගතයක්!”

[‘ජයවේවා! අපේ වීරයට - ජයවේවා! ශ්‍රී ළංකාවට ජයවේවා!’ මේ කතාවෙන් පස්සෙ එතුමා සිය පවුලේ අයත් එක්ක අත් උස්සා සභාවට වැඳ ජය පතන්නන්ගේ අතරෙන් තම වාහනය දිහාට ගමන් කලා]

…..

[වසර තුනකට පසු පලාතේ ගොවි සමුලුව ඉදිරිපිට - මහවිද්‍යාල ශාලාවේ]

“ගරුතර සංගරත්නයෙන් අවසරයි…සභාපති ඇතුලු මුලු සභාවට මම ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. මම දන්නවා ඔබ සියලුදෙනා තම තමාගෙ වැදගත් එදිනෙදා වැඩ නවත්තලා මෙතෙන්ට ආවේ කෑම දිරවන්න නෙවෙයි - යමක් දැන අසාගන්න. ඒනිසා…මම පලමුවෙන්ම අපෙ ආංඩුවේ වැඩ කෘශිකාර්මික පිලිවෙලත්, එය අපේ පලාතට අදාල වන හැටිත් ගැන වචන කිහිපයක් කීයන්න.”

“ඔබ සමහරවිට දන්නවා ඇති ශ්‍රී ළංකාවේ ජනතාවෙන් සියයට තිහක් කෘශිකාර්මික වැඩවල නිරත වෙනවා. දල වශයෙන් කියනවානම්, අපේ රටේ අයගෙන් තුනෙන් එකක් පමන ගොවියෝ. ඒ ජන කොටස ශ්‍රී ළංකාවේ දල ජාතික නිෂ්පාදනයෙන් සියයට දහ අටක් සොයා දෙනවා. ඒ වගේම ජනතාවෙන් සියයට හැත්තෑවක්, ඒ කියන්නේ තුනෙන් දෙකකට වැඩිය ඉන්නේ ගම්බද පලාත්වල. ඒ වගේම රටේ දුප්පත් ජනතාවගෙන් සියයට අනූවක් ඉන්නේ ගම්බදව….[සභාව දිහා කතා නොකර බලාගෙන හිටියා] …අපේ චංද කොට්ටාසේ සියයට අනූවක් පිටිසර. කෘශිකර්ම අමාත්යාශයට අනුව ඒකෙන් පෙන්වන්නේ අපේ චංද කොට්ටශයෙන් බොහෝම සුලු කොටසක් තමා දුප්පතුන් නොවන්නේ….”

“මේ අනුව අපෙ ආංඩුවට කරන්න වැඩකටයුතු හුඟක් තියෙනවා. ඒ වැඩකටයුතු අපි දැනටම පටන්ගෙන තියෙන්නේ. මේවාගෙන් සමහර දේ ගිය ආංඩුවට කරන්න තිබුනා…නමුත් කරේ නෑ. ඒ හේතුවෙන් මේ ආංඩුවට අයිතිවෙලා තියෙන වැඩ කොටස විශාල පමනක් නෙවෙයි වියදම සෑහෙන්න ඉහල ගිහින් තියෙන්නේ”

[වතුර උගුරක් බීලා නැවත කතාව පටන් ගත්තා]

“අපි ගිය අවුරුදු තුන ඇතුලත මේ පලාතේ සම්පූර්න පස සහ ජල සම්පත් සමීක්ශනයක් පැවැත්වුවා. රුපියල් කෝටි ගනන් වියදම් මේ වැඩ මාලාවේ ප්‍රතිපලයක් වශයෙන් දැන් අපි එක එක බෝග වගාවට සුදුසු පැති පලාත් ලකුනු කරලා තියෙනවා. මෙතෙන්දී අපිට සුභ සහ අසුභ තොරතුරු පෙන්නුම් කෙරුවා…ඔවු…අපි අසුභදේ හංගන ආංඩුවක් නෙවෙයි. සුභ ලකුනු හැටියට පෙන්වන්නේ විශාල ඉඩම් ප්‍රමානයක් වී, එලවලු, තේ වැනි වගා වලට ඉතා සුදුසුයි කියන්න පුලුවන්. මේ ඉඩම් වල ගැලපෙන භෝග වගාවෙන් අපේ නිෂ්පාදනය සියයට විසි පහකින් පමන වැඩි කරන්න හැකිවෙයි කියලා විද්යාඥයෝ කියන්නේ. මේක අපිට ලොකු ජයග්‍රහනයක්. [සුලුවෙන් අත්පොලසන්] ඒ පමනක් නොවෙයි…අපි ඒ ගොවියන්හට පහසු නය මුදල් ලබා දෙන්න කටයුතු දැනටමත් කෙරීගෙන යනවා. [අත්පොලසන්]…අපේ අදිශ්ටානය අනාගතේ මේ පලාත හැකි පමනින් දුප්පත් කමෙන් ගලවා ගැනීම. අමතක කරන්න එපා, ගොවියෝ දුප්පත් කමෙන් ගොඩ නගිනකොට, අවට වෙලඳ, සංස්කෘතික අංශත් ගොඩ නගිනවා.” [අත්පොලසන්]

“මම ඉස්සරවෙලා කිව්වා මේ කතාවේ අසුභ කොටසක් ගැන…සමහර ඉඩම් වගාවට සුදුසු නෑ. එක්කෝ පස සරු නෑ, නැත්තම් වතුර මදි, නැතම් වතුරේ ලුනුගතිය වැඩී….මෙවැනි හේතු අනුව ඉඩමක් වගාවට සුදුසු නැතිවෙන එක ඒ ගොවියන්ගේ වැරැද්දක් නෙවෙයි - ඒ පොලවේ හැටි……. නමුත් අපිට ඒ ජන කොට්ටාශය අමතක කරන්න බෑ. [අත්පොලසන්]…ආංඩුව එකඟවෙලා තියෙනවා මගේ යෝජනාවකට…ආංඩුව ඒ ඉඩම් අයිති අයට වෙන පලාතකින් ඉඩම් ලබා දෙනවා….ඒ වගේම…දැනට ඇති ඉඩම් ආංඩුවෙන් වන්දි ගෙවා ගන්නවා! මේ අනුව, අපි බලන්නේ සෑම කෙනෙකුටම ආංඩුවේ උදව්වෙන් ගොවි නිශ්පාදනය වැඩි කිරීමට අවස්තාව ලබා දෙන්න. අපේ රටට - ඔබේ නිශ්පාදනය අවශ්‍යයි - ඔබේ ශ්‍රමය අවශ්‍යයි - ඔබ අවශ්‍යයි!

[‘ජයවේවා!’ ජයතිස්ස මහතාත් ඔහු සමග ආ නිලදාරිත්, අදාර කරුවොත් නැගිට සභාවට ආචාර කර ඒ අයගේ වාහන වලට ගියා. ඒ අය පිටව ගිය ඉක්මන නිසා ගොවියන්ගේ ප්‍රශ්න වලට වෙලාවක් ලැබුනෙ නෑ. ගොවියෝ ලයිට් නිවන්න ටිකකට කලින් නිශබ්දව ශලාවෙන් පිටතට ආවා]

….

[දෙවෙනි වරට චංදය දිනූ ලාල් ජයතිස්ස මහතා පලමුවෙනි ඇමති දූරය බාරගත් දවසේ කොළඹදී]

“ගරුතර සංගරත්නයෙන් අවසරයි. සංචාරක ඇමති දූරය මම බාරගත්තේ ශ්‍රී ළංකාවේ ලස්සන ලාබෙට සල්ලි තියෙන ඕනෑම කෙනෙකුට විකුනන්න හෝ… අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය ලොවට පාවා දෙන්න හෝ.. නොවෙයි. අපේ මුතුන්මිත්තන්ගේ… හා වර්තමාන අපේ… දක්ශතා ලොවට විදහා දක්වා, ඒ අනුව අපි පිටරැටියන් සමග එක පෙලට සිටිමින්, සහෝදරයන් ලෙස ළංකාව පිලිබඳ සැබෑ වැටහීමක් ලබා දීලා අපි ලෝකේ අපිට උචිත තැන පෙන්වා දීමයි මගේ පරමාර්තය.”

“ළංකාව පෙරදිග මුතුඇටය බව අපි දන්නවා. අපිට මතකයි අපිට ඉස්සර ආංඩුව කරපු අය ළංකාවට සැලකූ හැටි. ඔබට මතක ඇති ඕනෑම කෙනෙකුට අපේ රටට ඇවිත් ඕනෑම දෙයක් කරන්න ඒ අය ඉඩ දුන්නා. දැනට පවතින කුඩු ජාවාරමත් ඒඩ්ස් වසංගතෙත් ඒවාගේ ආදිනව. අපි අපේ සංකෘතිය මඩ තැවරුන ඩොලරයකට පාවාදෙන්නෙ නෑ!”

“අපි පිලිගන්නවා පිටරැටියන් මෙරටට ගෙන්වා ගන්න අවශ්‍ය යටිතල පහසුකම් තිබිය යුතු බව. අපිට හෝටල් කාමර අවශ්‍යයි, පුහුනු ලැබූ සේවක සේවිකාවෝ අවශ්‍යයි, නියම පහසුකම් අවශ්‍යයි. මට මතකයි ගිය අවුරුද්දේ මම මේවා හදාරන්න ඇමෙරිකාවේ ගිය වෙලාවේ මට පෙනුන දේ. මට එහෙ ඉන්නකොට පොල් සම්බල් කන්න ආසා හිතුනා. [හිනා] නමුත් එහෙ පොල් සම්බල් නෑ. දැන් ඒකම හිතන්න අනික් අතට. ජර්මනියේ කෙනෙක් අපෙන් සවර්ක්රව්ට් ඉල්ලුවොත් අපි මොකද කරන්නේ? අපි දැනගන්න ඕනෑ ඒ අය ඉල්ලන්නේ මොකද්ද කියලා. අපිට ඒක සදලා දෙන්න බැරි එක වෙනම දෙයක් - නමුත් අපිට තේරෙන්න ඕනෑ ඉල්ලන්නේ මොකක්ද කියලා”

“මුලු සංචාරක ක්ෂේත්‍රයම වැඩ කරන්නේ මේ විදිහට. පිටරැටියෝ කියන දේ ගැන අපි දන්නවා. ඒවගේම අපි අපේ දේ ගැනත් දන්නවා. උදාහරනයක් වශයෙන් ගත්තොත් මගේ චංද කොට්ටාශය - අපි වගාවට නොසුදුසු ඉඩම් යොදලා විශාල සංචාරක නිකේතනයක් ගොඩ නැන්ගුවා. එතන සේවය කරන්නන්ට සම්පූර්න පුහුනුවක් ලබා දුන්නා. දැන් ඒ පලාතෙන්ම තරුන තුරිනියෝ දෙසීයකට වැඩිය එතන වැඩ කරනවා. ඒ වගේම, එතන ගොඩනැගිලි සැදීමේදී කම්කරුවන් සියලු දෙනාම තෝරා ගත්තේ ඒ පලාතෙ මයි….අපි මතකතියාගන්න ඕනෑ සංචාරක සේවය කියන්නේ පිටරැටියෙකුට කන්න දෙන එක විතරක් නෙවෙයි - ගොඩනැගිලි කම්කරුවන්ගේ සිට හෝටල් කළමනාකරුවන් සහ ඉන්ජිනේරුවොත් දක්වා මේ ක්ෂේත්‍රයෙන් ලාභ ලබනවා.”

“මම කැමතියි අපේ ළංකාද්වීපය මගෙ පොඩි චංද කොට්ටාශය උදාහරනයක් වශයෙන් ගෙන අපේ සංචාරක ඉපයීම් දෙගුන තෙගුන කරගන්නවා දකින්න. අපි හිතාගන්න ඕනෑ, දුටුගැමුනු මහරජතුමා වගේ, ‘අපිට මේක කරන්න පුලුවන්’ කියලා”

[මේ කතාවෙන් පස්සේ ජයතිස්ස ඇමති තුමා මහ හෝටලේ අයිතිකරුත් සමග දවල් ආහාරයට එතුමාගේ රත පෙලහරින් ගියා. එතුමාගේ ආරක්ශක නිලදාරි නිසා කිසි කෙනෙකුට එතුමාට කතා කරන්න ලැබුනෙ නෑ. එදින හවස සිංගප්පූරුව බලා යන්න තිබුන නිසා එතුමාගේ සහෝදර අජිත් ජයතිස්ස මහතා ඊලඟ සති දෙකට ඇමති කාර්යාලේ ඉන්න බව පමනක් යන්න පෙර දැනුම් දුන්නා.]

…..

[අමාත්‍ය ලාල් ජයතිස්ස මැති තුමා මැතිවරනයට පෙර නාගරික ක්‍රීඩා පිටියේ. එතුමාගේ ආරක්ශාවට අරනෝලිස් මහතා ඇතුලු ආරක්ශක නිලදාරියෝ කීප දෙනෙක් හිටියා. (අරනෝලිස් මහතා බොරු කුඩු ජාවාරම් නඩුවකින් ඇමතිතුමා විසින් නිදහස්කරගත්තට පස්සේ එයා ඇමතිගෙ ආරක්ශාව තමුන්ගෙ ජීවිතේට වැඩිය වටිනා හැටියට සලකනවා කියලා තමයි කතාව. ඇමතිතුම්මගෙ හෝටලේ හදන්න වගාවට නොසුදුසු ඉඩම් ලබාදෙන්නත් අරනෝලිස් බොහොම උදව් උනාලු. පස් සහ ජල සමීක්ශන දිනවල අරනෝලිස් ඒ කඳවුරු අසල නිතරම හිටි බවත් ආරංචියි.)]

“ගරුතර සංගරත්නයෙන් අවසරයි…මෑනි වරුනි පිය වරුනි…සහෝදර සහොදරියනි….මම ඔබ අතරට නැවත වරක් එන්නේ ඔබෙත් මගෙත් තියෙන සමීප සම්බන්දය නිසාමයි. අපි මීට පෙර චංද දෙක දිනුවා….අපි මේකත් දිනනවා…..[සහකාරයන්ගේ ඔල්වර හඬ]. මේ තරම් ජනකායක් මෙතන ඉන්න හේතුවක් තියෙනවා - තමුන්නාන්සෙලා ඒ මොකද්ද කියලා දන්නවා…එන සතියේ ඔබ තුමාලට ලැබෙන්නේ මංත්‍රී කෙනෙක් විතරක් නෙවෙයි - කැබිනට් ඇමති කෙනෙක්! අපේ විරුද්ද පක්ශෙට පුලුවන්ද මේක කියන්න …..?[අපෙ ඇමති තුමාට …..ජයවේවා!].

“අපි ඉස්සරවෙලා බලමු මෙතන ඔබතුමාලගෙ චංදේ ඉල්ලන විරුද්ද පක්ශේ අපේක්ශකයා දිහා. මම හොඳටම දන්නවා එතුමා හොඳ හැදිච්චි මහත්තයෙක්…..එයා කවදාවත් පාරේ යන බල්ලන්ට පයින් ගහන්නෙ එහෙම නෑ! [හිනා]. ඒකෙන් පෙනෙනවා එයා හොඳ කෙනෙක් කියලා……නමුත් ඒ ගතිගුනේ ඇතිද ඔබේ නියෝජිතයා වෙන්න? මං හිතන්නේ අපි ඊට වැඩිය බලාපොරොත්තු වෙනවා අපේ නියෝජිතයන්ගෙන්….අපි පාරේ යන බල්ලෝ නොවෙයිනම්…”[මහ හඬින් හිනා]

“විරුද්ද පක්ශේ අමතක කරලා බලමු මගේ වාර්තාව. අපි ගමේ ඉඩම්වල නිපයුම වැඩිකරන්න රුකුල් දුන්නේ මගේ පලමුවෙනි අවුරුදු දෙකේ. මේ පලාතේ ගොවි මහතුන් තුන්සීයකට වැඩිය එයින් ආදාර ලැබුවා. ඒ විතරක් නොවෙයි; ගොවිතැනට නොසුදුසු ඉඩම් වලට වන්දි ගෙවලා ඒ අයට නව ඉඩම් ලබා දුන්නා. ඊ ලඟට මම වගාවට නොසුදුසු ඉඩම් වල සංචාරක හෝටල් ගොඩ නැංවුවා. මෙයින් අපේ පලාතට පමනක් නොවෙයි මුලු රටටම විශාල සේවයක් උනා.”

“මේ ක්රියා වලින් මගේ බලාපොරොත්තුව අපේ පලාතෙත් විතරක් නොවෙයි අපෙ ළංකාවෙත් දුගී බාවය නැතිකිරීමයි. මේ පිලිවෙතට විරුද්ද කෙනෙක් ඉන්නවානම්, මට ඒ අයගේ චංදය එපා. රට දියුනු කරන්න අකමැතිනම් කරුනාකරලා මට චංදේ දෙන්න එපා. මම චංදේ ඉල්ලන්නේ ළංකාවට ආදරේ ඇති, ළංකාවේ දියුනුව පතන අයගෙන් පමනයි. අනික් අය විරුද්ද පක්ශෙට චංදේ දෙන්න - ඒක නිසා මට නින්ද යන්න්නෙ නැතිවෙන්නෙ නෑ”

“ඔබ සියලුදෙනාට තෙරුවන් සරනයි”

……

[සියයක් පමන ඇමති තුමාගේ සහකාරයෝ ‘ජයවේවා’ වැනි පාඨ බොහෝ වෙලාවක් පවත්වාගෙන ගියා. ආරක්ශකයෝ ඇමතිතුමා වටකරගෙන වාහනේට එක්ක ගියා]

….

[මම ලාල් ජයතිස්සගේ මේ ප්‍රසිද්ද කතා මෙන්ම ඔහුගේ හැසිරීමේ පරිනාමය එකතු කර දිග කතාවක් අංතර්ජාලේ පල කිරීමට ලෑස්ති උනා. පල කිරීමට දින දෙකකට ඉස්සර අරනෝලිස් මහතා මාව මුනගැසෙන්න අපේ ගෙදර ආවා. මගේ පවුලටත් කතා කරලා පොඩි පුතාගෙ ඔලුවත් අතගාල, මට කිව්වා “මහත්තයා ඔය කතා ප්‍රසිද්ද කරන එක ටිකක් භයානකයි නේද?’ කියලා. ඒක කිව්වේ පුතා දිහා බලාගෙන.

මම දැන් ඉන්නේ පොලොන්නරුවේ. මගෙ අයියා එහෙ වී මෝලක් දුවනවා - මටත් ඒකේ රස්සවක් දුන්නා. පවුලයි පුතයි තවම පවුලගෙ ගමේ. චංදෙන් පස්සේ අපි ආයෙත් පොලොන්නරුවෙදි හරි වෙන කොහෙදෝ හරි හමුවෙන්නයි අදහස - දිනන්නේ කවුද බලලා.]