රේඩියෝ බාස්ගෙ කතාව

එදා රෑ මම හෝටලේ මගෙ කාමරේට යනකොට දොලහත් පහුවෙලා. පරන යාලුවොත් එක්ක කයිවාරු ගහ ගහ බීර පොඩ්ඩකුත් කටගානකොට වෙලා යනවා දැනුනෙ නෑ. ඉස්කෝලේ කාලේ හිටපු මේ යාලුවෝ ටික මට මුනගැහුනේ අවුරුදු හතලිහකට පස්සේ, සම්පත් සිල්වා සංවිධානය කල රියූනියන් එකක් නිසා. හවස් වරුවේ අපෙ පරන ඉස්කෝලේදිම තිබුන ගුරු-සිසු හමුවට පස්සේ තමා මේ හෝටලේට ආවේ රෑ කෑම/බීම සඳහා.

ඇත්තටම කියනවානම් හමු උන අයගෙන් කීපදෙනෙක් හැරුනුකොට අනික් අයත් එක්ක කතා කරන්නවත් ඒ තරම් දේ නෑ. පරන මැච් ගැනයි ටීචර්ලා ගැනයි කියන්න තියන දේවල සීමාවක් තියෙනවා. ඒ නිසා මම අංතිම පැයක් එක හමාරක් විතර හිටියේ අපෙ පරන ‘නිලනොවන රේඩියෝ ක්ලබ්’ එකේ අනික් සාමජිකයෝ තුන්දෙනත් එක්ක, කොනේ මේසයක් අල්ලාගෙන - අනික් කොල්ලෝ දහයක් පහලවක් විතර බාර් එකට කිට්ටු මේස වටේ හිටියේ. අපි අපෙ මේසේ ලඟට ආවේ අනික් අයට බීරයි හපන්න දේයි අපේ සල්ලි වලින් අරන් දීලා.

“මොකද මිස්ට දර්මසේන කිව්වේ?”

ජයසේකර මේක ඇහුවේ අපෙ ගුරුතුමා රෑ කෑමෙන් පස්සේ මට තනියම කතා කරපු එක ගැන. මේකට එක සැරේම උත්තර දෙන එක අමාරුයි. මගෙ යාලුවෝ තුන්දෙනා, සම්පත් සිල්වා, ජනක මීපිටිය, නිමල් ජයසේකර එහෙම ඒකාලේ කොච්චර කිට්ටුවෙන් හිටියත් පහුගිය අවුරුදු හතලිහේදී සෑහෙන්න වෙනස්වෙලා. ඒ තම තමාගෙ රස්සා, ජීවිත, පවුල් පන්සල් අනුව බලාපොරොත්තු උන දෙයක්. ඒ වගේම ඒ අයට පරනදේ කොයි තරම් හොඳින් මතකද කියලා මම දන්නෙ නෑ. මට හිතුනා මුල ඉඳන්ම කතාව පටන් ගන්න.

“උඹලට මතකනේ අපෙ රේඩියෝ බාස්, මිස්ට ප්‍රේමරත්න මට හැට තුනේ දවසක් ක්‍රිකට් ස්කෝස් කියපු හැටි? මිනිහා හරියටම හරියට ඊලඟ දවසේ එන ස්කෝස් කිව්වා. අපි හිතුවේ මිනිහා ඔහෙ ඒ වෙලාවේ හිතට එන ස්කෝ එකක් කිව්වේ කියලා, හැබැයි චාන්ස් එකට හරි ගියාට. නමුත් මිස්ට දර්මසේන එහෙම හිතුවෙ නෑ. අද හවස සර් කිව්වා වගේ, මිනිහා ලඟ රේඩියෝ එකක් තිබුනා දැන් වෙලාවට වැඩිය පැය දහ අටක් ඉස්සර වෙලා දුවන. අද දවල් දොලහට ඒ රේඩියෝ එකෙන් කියන්නේ හෙට උදේ හයේ ප්‍රවුර්ති….. මගෙන් අහන්න එපා ඒක වැඩ කලේ කොහොමද කියලා - ඒක මං දන්නෙ නෑ. නමුත් ඒ හැට තුනේ ඔස්ට්රේලියා එංගලන්ත සිඩ්නි මැච් එකේ ‘හෙට’ ස්කෝස් කියලා තමා මිස්ට දර්මසේනත් රේඩියෝ බාස්ගෙ කඩේට ගියේ….මතකද?...අපිත් එතන හිටියා දෙන්නා ඒක ගැන කතා කරනකොට.… පහුවදා කඩෙත්…. නෑ… බාසුත් නෑ - කොහෙ ගියාද දන්නෙත් නෑ ආයෙ සොයා ගන්න විදිහකුත් නෑ…. මේ සේරම උඹලා දන්නවා…”

මම බීර උගුරක් බීලා යාලුවන්ගේ මුහුනු දිහා බැලුවේ ‘දැන් තමා තුරුම්පු ගහන්නේ’ කියනවා වගේ.

“ඒ රේඩියෝ එක දැන් මගෙ කාමරේ…”

“මොනවා!”…”කොහෙන්ද බං?”… “බාසා තවම ඉන්නවද?”… මේවගෙ ප්‍රශ්න ගොඩාක් එක දිගටම ආවා. හදිස්සියේම සද්දේ වැඩිකමට එහා මේසේ අයත් අපි දිහා බැලුවා.

“අන්න අරුං හතරදෙනාට ඇහැරිලා…”..”අඩේ තව බීර ඕනෑ මෙහෙ”…”තොපි ඔතන වෙනම පාටියක්ද?..”

සම්පත් සිල්වයි මමයි බාර් එකට ගිහින් තව බීර කීපයකටත් ගෙවලා, එතන අය එක්කත් ටිකක් කතා කරලා ආපහු අපෙ මේසෙට ආවේ “ඊලඟ රියූනියන් එක ප්ලෑන් කරන්න තියෙනවා” කියලා.

ජයසේකරයි ජනකයි අපි එනවා බලාගෙන හිටියේ වෙන ලෝකෙකින් ආපු එවුන් දිහා බලනවා වගේ.

“සම්පත් උඹ මොනවද මේ ගැන දන්නේ…අපි නොදන්න?”

“බංබුවක්වත් නෑ මචං - මම නැගිටලා ගියේ මේකේ ඕගනයිසර් නිසා; අරුන්ට ගානට වැඩිය බොන්න දෙන්න බෑ. විශේශයෙන්ම වීරෙයට - ඕකා මං දැකලා තියෙනවා වැටෙන්න ගහලා ඉන්නවා. ඒකමයි මම අරක්කු එහෙම දෙන්න බෑ කිව්වෙත්, ජයලත්ට ඌව ටිකක් බලාගන්න කිව්වෙත්”

මම ආයෙත් කතාව පටංගත්තා.

“අපෙ රේඩියෝ බාස්, කඩේ වහලා ගියාට පස්සේ කොහෙ ඉන්නවද තියා මැරිලද නැද්ද කියලාවත් දැනගන්න විදිහක් තිබුනෙ නෑ. මට පුදුමේ ඒක මිස්ට දර්මසේනට මේ තරම්ම තදින් වැදුන එක. අද හවස කිව්වා වගේ මිස්ට දර්මසේන තමා ඉස්සරවෙලාම රේඩියෝ බාස්ගෙ ‘අනාගත’ රේඩියෝ එක ගැන හරි විදිහට හිතුවේ. අපි සේරම හිතුවේ බාස් නිකම්ම හිතට ආව උත්තරයක් දීලා ඒක කොහොමදෝ හරි ගියා කියලා. මිස්ට දර්මසේන හිතුවේ එතන කොඉන්සිඩන්ස් වැඩී කියලා - ටෝටල් එක, ඩික්ලෙයා කරපු ගනං, බැරිංටන්, සිම්සන් එහෙම ගහපු ගනං, අංතිම රිසල්ට් එක - මේ සේරම හරියට කිව්වේ ගෙස් කරලා නෙවෙයි - වෙන ක්‍රමයකින් කියලා හිතුවේ සර් විතරයි. කොයි තරම් හිතන්න අමාරු දෙයක් උනත් වෙන්න පුලුවන් නම් හොයලා බලන්න වටිනවා….මිස්ට දර්මසේන සාමාන්‍ය ටීචර් කෙනෙක් වගේ අපිට ඉස්කෝලේ ඉගැන්නුවට ඇත්තටම හොඳ සයන්ටිස්ට් කෙනෙක්…”

“අපි ඉස්කෝලෙන් ගිහින් කාලෙකට පස්සේ, දැනට අවුරුදු තිහකට විතර ඉස්සර, දවසක් මිස්ට දර්මසේනට පාර්සලයක් ආවලු කොළඹින්. එතකොට එයා තවම ටීච් කරනවා. පාර්සලේ මිස්ට ප්‍රේමරත්නගෙන්….ඒක ඇතුලේ ‘අනාගත රේඩියෝ’ එක. ඒක මට දුන්නා සර් නිදාගන්න ගිය වෙලාවේ”

“අඩේ මාරයිනේ…ස්ටොක් මාකට් වැඩ වලට නියමයි!” ඒ ජයසේකර.

“අමතක කරපන් ඒවා…. පාර්සලේ තිබුනේ රේඩියෝ එක ඇරුනකොට තව පොඩි ලියුම් කෑල්ලක් විතරයි. ‘මේක කැඩිලා…හදාගන්න පුලුවන් ළමයෙක් ඉන්නවානම් දෙන්න. මේක ඒ අයගේ ඉගෙනීමට උදව් වෙනවානම් මට සන්තෝසයි’ ඇඩ්රස් එකක් වත් ටෙලිෆෝන් නොම්බරයක් වත් එවලා නෑ. …ආ…ආයෙ තිබුනලු නොඑන්නම රට යනවා කියලා”

“…උඹට ඒක හදාගන්න පුලුවන්ද?” ඒත් ජයසේකර. එයාට මේකෙන් සල්ලි හොයන විදිහක්මයි හිතෙන්නේ.

“හදන්නා තියා මට මේකේ තියරි වත් තේරෙන්නෙත් නෑ. මම මේක ගැන හුඟාක් හොයලා බැලුවා, යුනිවසිටි එකේදිත් ඊට පස්සෙත්. ඒක කරන්න බැරි දෙයක් කියලා කියනවා ඇරුනුකොට වෙන කිසිම වැදගත් දෙයක් ලියවිලා නෑ මේවගේ දෙයක් ගැන - ඉන්ටනෙට් එකේ තියෙන විදිහට”

“මම ඔය ෆීල්ඩ් එකට ගියෙම නෑ” ඒ සම්පත් සිල්වා - මාත් එක්ක ඉන්ජිනේරුවෙක් වෙන්න ඉගෙන ගත්තේ මිනිහා විතරයි.

“මම ඉලෙක්ට්‍රොනික්ස් කෙරුවත් වැඩක් උනේ නෑ බං. අර මිස්ට දර්මසේන කිව්වා වගේ අපෙ විද්යා දැනුම මදි….”

අපි මේසේ මැද එකතුවෙන වතුර පැල්ලම දිහා බලාගෙන හිටියා. බීර බෝතල් වටේට එකතුවෙන වතුර බුබුලු මේසෙට බැහැලා හෙමින් වටේට විහිදෙනවා. ඒ වතුරේ ඇඟිල්ලෙන් ඉරි ඇඳමින් ජයසේකර අදහසක් ඉස්සරහට ගේනවා.

“අපෙ කොම්පැනියට බැරිවෙන එකක් නෑ සල්ලි ටිකක් සොයාගන්න රිසර්ච් ෆන්ඩ් එකකට…ජනක උඹලටත් පුලුවන් වෙයි නේද …?”

මට ඒකට කොහොමවත් කැමති උනේ නෑ. මෙහෙම සොයාගැනීමක ආදිනව හොදින් නොදැන කිසි කෙනෙක් එක්ක සංධාන පිහිටන එක හොඳ අදහසක් කියලා මට හිතුනෙ නෑ.

“නෑ මචං.…ඒක කොහොමටත් කරන්න බෑ…ඒ උඹලගෙ කොම්පැනිවල වැරැද්දක් නිසා නෙවෙයි…මෙහෙම දෙයක් ක්‍රිකට් ස්කෝ බලන්න පාවිච්චි කරනවා වගේ නෙවෙයි වෙන දේ වලට පාවිච්චි කරන එක… මුලු ලෝකෙම ස්ටොක් මාකට් දවස් දෙකකින් නැති බංගස්තාන් කරන්න පුලුවන්… ත්‍රස්තවාදියන්ට මේක ලැබුනොත් ලෝකේ ආංඩු එහෙම සේරම මාසෙකින් ඉවරයි. මේක කොම්පැනියකට නෙවෙයි ආංඩුවකටවත් දෙන්න මම කැමති නෑ….”

අපි එකිනෙකාගේ මූනු නොබලා විනාඩි කීපයක් හිටියා, අපෙ අපෙ සිතුවිලිවල ගිලිලා.

“මම උඹලගෙන් එක දෙයක් ඉල්ලන්නවා…කවදාවත් මේ රේඩියෝ එක ගැන කිසිම කෙනෙකුට, ඒ කියන්නේ පවුලේ අයටවත්, කියන්න බෑ. කිව්වොත් සමහරවිට මගෙ ජීවිතෙත් අපායට අයිස් වැටුනා වගේ තමා…”

අපි අපේ දිවුරුම් දුන්නේ පරන ඉස්කෝලේ පාවිච්චි කල සැරම දිවුරුමකින්…ඒක කවදාවත් කැඩෙන්නෙ නෑ කියලා මට විස්වාසයි.

මම මගෙ පැත්තෙන් අනික් අයට පොරොන්දු උනේ එකම දෙයකටයි. මේ රේඩියෝවේ රහස කොහොම හරි, කවදා හරි සොයාගත්තොත් මම ඉස්සරවෙලාම ඒක දැනුම් දෙන්නේ මේ තුන්දෙනාටයි. ලෝකෙට මේ රහස එලිකරන්න හෝ එලි නොකරන්න තීරනයක් ගන්නේ ඒ වෙලාවේ අපි හතර දෙනාම එකතුවෙලා කියලත් අපි පොරොන්දු උනා.

අපි හතරදෙනා මේසෙන් නැගිට්ටේ හිනාවක් නැතුව බැරෑරුම් මුහුනින් අතට අත දීලයි. අපි අනික් මේසෙට ගියේ ඇස්වල තවමත් කඳුලු ඇති බව දැනගෙන. අපි අංතිම සමුගැනීම් ඉවර කලේ එකිනෙකාගේ මුහුන නොබලා. මම කාමරේට ගියේ ආයෙ මේ යාලුවෝ හමුවෙයිද නැද්ද කියලා හිත හිතා.

……

මම ආපහු සිංගප්පූරුවට ආවේ වැඩ පටන්ගන්න දවස් කීපෙකට ඉස්සර. දැනට අවුරුදු දහයකටත් වැඩිය සිංගප්පූරුවේ වැඩ කරන මට ඒ පැය තුනහමාරේ ගුවන් ගමන් හොඳටම පුරුදුයි. නමුත් වෙනදා වගේ නෙවෙයි මේ සැරේ මගෙ අතේ ගෙනා මල්ල ටිකක් ලොකුයි - ඒකේ ‘අනාගත රේඩියෝ’ එකත් තිබුන නිසා.

මෙච්චර කල් මම අනාගත රේඩියෝ එක ගැන හිතුවේ සිද්ධාන්ත හරහා. රේඩියෝ තරංග අනාගතෙන් වර්තමානයට පනින හැටිත්, සාමාන්‍ය ගුවන්විදුලි යන්ත්‍රයකින් ඒවා ග්‍රහනය කරන හැටිත් තමා මගේ ප්‍රශ්න උනේ. දැන් මා අතේ මේ සංයුක්තයේ එක කොනක් තියෙන නිසා මගේ ප්‍රශ්නය ටිකක් හරි ලේසි උනා කියලා මට හිතුනේ.

නමුත් අනික් අතින් බලනකොට අලුත් ප්‍රශ්න කීපයකුත් ඉස්සරහට ආවා. ඒ ප්‍රශ්න මතුවුනේ මම මේ රේඩියෝ එක ගැන වැඩිදෙයක් නොදන්න නිසයි. උදාහරනයක් වශයෙන් - මේකේ හැම තරංග මාලාවෙන්ම විකාශනය වන වැඩසටහන් අනාගතෙන් ආවද?; අනාගතෙන් ආ හැම වැඩසටහනම හරියට පැය දහඅටකින්ද ඔර්ලෝසුවේ වෙලාවට ඉස්සර උනේ?; මේ අනාගත වැඩසටහන් ප්‍රකාශය හැමදාම තිබුනද නැත්තම් එක කාලෙකට විතරද? මේ කිසිම දෙයක් මම දන්නෙ නෑ.

මේ ප්‍රශ්න වලට උත්තර මොක උනත් රේඩියෝ එක ඇතුලේ යම් කිසි අමුතුම, සාමන්‍ය තාක්ශනයෙන් තේරුම්කල නොහැකි වෙනසක් තිබිය යුතුමයි කියලා මට හිතුනා. එක වරක් අනාගත වැඩසටහනක් ඇහුනත්, දහස් වරක් ඇහුනත් මේ අලුත් තාක්ශනය අවශ්‍යයි. රේඩියෝ සිද්ධාන්ත කොපමන හොඳින් දැන හිටියත් මේ වර්ගයේ රේඩියෝවල ඇතුලේ ඇති කෑලි බෑලි මම කවදාවත් අතපතගාලා නෑ. ඒ නිසා මේවා ගැන මට වඩා හොඳින් දන්න කෙනෙක් සොයාගන්න එක අවශ්‍ය බව දැනුනා.

මේ අනුව මගෙ පලවෙනි වැඩේ උනේ සෙරන්ගුන් පාරේ පරන රේඩියෝ තියෙන ඉන්දියන් කඩවලින් හොයලා බලන එකයි. මගෙ අදහස උනේ, මේ අච්චුවේම තව රේඩියෝ එකක් හම්බ උනොත් දෙක සංසංදනය කරලා බලලා වෙනස්කම් සොයාගන්නයි. අඩුගානේ මම හිතුවේ එහෙමයි. නමුත් දවස් දෙකක් එහෙමෙහෙ ගිහින් මිනිස්සු ගානකගෙන් ඇහුවත් මගෙ රේඩියෝ එක ගැන ඒ අය කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. මට එතකොට හිතුනා අන්තර්ජාලේ තමා මගෙ අංතිම බලාපොරොත්තුව කියලා.

මා ලඟ තියෙන රේඩියෝ එකට කිට්ටුම දැකපු ෆිලිප්ස් මොඩල් එක “කැපෙලා 663 BD663A”. අන්තර්ජාලේ මේ මොඩෙල් රේඩියෝ වල පින්තූර, විද්යුත් පරිපථ, ඒ පිලිබඳ සම්පූර්න විස්තර වැනිදේ තිබුනත් හැබෑ විදුලි අංගෝපාංග හඳුනාගතහැකි තරමේ පින්තූර තිබුනේ නෑ. නමුත් මේ වෙබ් අඩවිවලින් කෙලින්ම මට ඕනෑදේ ලබාගන්න බැරි උනත්, එක ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක් හරහා මට පුලුවන් උනා මගේ අවශ්යතාවයන් සටහන් දැන්වීමක් පලකරන්න.

මම ලිව්වේ 1956-7 ජර්මනියේ නිශ්පාදනයවූ ෆිලිප්ස් 663 BD663A වර්ගයේ හෝ ඊට ඉතා කිට්ටු මොඩල් රේඩියෝවක් මිලදී ගැනීමට හෝ ඒගැන හොඳින් දන්නා කෙනෙක් සමග කතා කිරීමට මම ඉතා ආශාවෙන් ඉන්න බවයි. මගේ නම, ඊමේල්, ටෙලිෆෝන් වැනි විස්තරත් දැන්වීමට එකතු කලා. නමුත් මේ වගේ දැන්වීමකට පිලිතුරු කවදා එයිදැයි නිස්චිතව කියන්න කිසිකෙනෙකුට බැරිබව මම දන්නවා. ඒ නිසා මම පිලිතුරු එනතුරු අංතර්ජාලෙන් මගේ වර්ගයේ රේඩියෝ ගැන දැනීම තවත් වැඩිකරගන්න උත්සාහ කලා.

මගේ පුදුමයට වගේ පලවෙනි දවස් දෙක ඇතුලත දැන්වීමට පිලිතුරු විස්සක් විතර ලැබුනා. නමුත් ඒවාගෙන් වැඩිය යමක් දැනගන්න බැරි බව පෙනුනා. ඒවා ලියන්නෝ මගෙ ප්‍රශ්නය ගැන කතාකලා මිස කිසි කෙනෙක් ඒකට නියම උත්තරයක් දුන්නෙ නෑ. ඒ අය ලඟ ඊට වැඩිය අලුත් හෝ පරන මොඩල් ඇති බවත්, ඒවා මා ඉල්ලා ඇති මොඩල් එකට වඩා තාක්ශනයෙන් හොඳ බවත් ලියා තිබුනා. සමහරු මගේ ඉල්ලීම මෝඩ කමක් හැටියට සලකා විහිලුත් කලා. මගෙ දැන්වීමෙන් මීට වැඩිය යමක් බලාපොරොත්තු නොවූ නිසා මට මේක ලොකු භාදකයක් හැටියට දුටුවෙ නෑ. මීට වඩා පලදායී පිලිතුරු අනාගතේ ලැබේයයි බලාපොරොත්තුවෙන් මම හිටියේ.

ඊලඟ සති දෙක ඇතුලත තව පිලිතුරු කීපයක් මා වෙත ආවා. සමහරවිට මේවා ලියා ඇත්තේ ටිකක් හිතලා බලලා උත්තර ලියන්නෝ නැත්තම් නිතරම අංතර්ජාලය නොබලන්නෝ විය හැකියි කියලා මට හිතුනා. මේවායෙන් ලියුම් දෙකක් මගෙ හිතට ඇල්ලුවා. පලවෙනි එක මැලේසියාවේ කෙනෙක් ගෙන් - එයා ලඟ මගේ ආකෘතියේ රේඩියෝවක් තියෙන බවත්, එය විකිනීමට අකැමැති වුවත් මගෙ රේඩියෝ එක දැකීමට ආශා බවත් එයාගෙ ඊමේල් පනිවිඩේ සඳහන් වෙලා තිබුනා. මම වහාම එයාට උත්තරයක් යැව්වා මම මැලේසියාවට ඇවිත් එයා හමුවෙන්න කැමති බව කියා.

දෙවෙනි පනිවිඩේ ලැබුනේ මිස්ට ප්‍රේමරත්නගෙන්.

“ඔබතුමා 1963 මිස්ට දර්මසේනගෙ පංතියේ සිටියානම්, ඒ අවුරුද්දේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක ලකුනු තත්වය පිලිබඳ යම්කිසි අබිරහසක් ගැන මතකනම්, මේ ඊමේල් පනිවිඩේට උත්තරයක් එවන්න. එසේ නැතිනම් මට සමාවෙන්න - ප්‍රේමරත්න (රේඩියෝ බාස්).”

……………………

මීලඟ දවස් කීපයේදී මම මිස්ට ප්‍රේමරත්න සමග සෑහෙන්න දිග ඉමේල් දහයකට වැඩිය හුවමාරු කරගත්තා. දැන් පදිංචිය ඉතාලියේ බවත් රෝම නගරේ ලංකා ආපනශාලාවක අයිතිකාරයා හැටියට අවුරුදු පහලවකින් නිවාඩුවක් නොගත් බවත් ලංකාවට යන්න ආසාවක් ඇති බවත් කීවෙත් ඒ ඊමේල් එකකයි. නිවාඩුවකට සිංගප්පූරු එන්න මම එයා කැමති කරගත්තේ මැලේසියාවේ තියෙන “අපෙ” වගේ අනික් රේඩියෝ එක ගැන කියලා. ඊට සතියකට පස්සේ මිස්ට ප්‍රේමරත්න මට ඊමේල් එකක් එව්වේ සිංගප්පූරුවේ හෝටලේක ඉඳන්.

මම හවස ඒ හෝටලේට ගියේ අවුල් හිතකින්. එක අතකට මිස්ට ප්‍රේමරත්නට පුලුවන් අනාගත රේඩියෝ එක ගැන බොහොම දේ මට පැහැදිලි කරලා දෙන්න. ඒකෙන් මගෙ වැඩේ සමහරවිට ලේසි වෙයි. නමුත් අනික් අතට මට පැවරිලා තිබුන කටයුත්ත ටිකක්වත් ඉදිරියට ගෙනයන්න මට පුලුවන් වෙලා නෑ. මිස්ට ප්‍රේමරත්න රේඩියෝඑක ආපහු ඉල්ලයිද කියලා පොඩි බයකුත් මගෙ යටි හිතේ ඇති උනා. අවුරුදු ගානකට පස්සේ දෙන්නට දෙන්නා හඳුනාගන්න එකත් අමාරුවෙයි කියලා මට හිතුනේ. දැන් අවුරුදු හතලිහකට ඉස්සර අපි අංතිමට මුනගැහෙනකොට මගෙ වයස 14යි - සෑහෙන වෙනසක්! මිස්ට ප්‍රේමරත්නටත් දැන් වයස හැත්තෑවක් වත් ඇති.

මම හෝටලේ විමසුම් කෞන්ටරෙන් මිස්ට ප්‍රේමරත්න ගැන ඇහුවේ මම එයාගෙ කාමරේට යනවද නැත්තම් ‘ගමේ මනුස්සයා’ හැටියට එයාව රෑ කෑමට එක්ක යනවද හිත හිතා. කෞන්ටරේ ගෑනී සිරියාවන්ත හිනා මූනකින් “මිස්ට ප්‍රේමරත්න” කියලා මට පෙන්නුවා හෝටලේ ආපන ශාලාවේ වාඩිවෙලා පත්තරයක් කියවමින් හිටපු කෙනෙක්.

මට මතක කාලේ පොඩි උන සුදු කමිසෙයි දුඹුරුපාට කලිසමයි සෙරෙප්පු දෙකයි වෙනුවට ඒ මනුස්සයා හිටියේ සිංගප්පූරුවට ඔබින ලා පාට කලිසම් කෝට් කට්ටලයක් ඇදගෙනයි. ඉතාලියේ හෝටල් කාරයෙක් කියන එක හොඳටම විස්වාස කරන්න පුලුවන් ඉන්න ඉරියව්වෙන්ම.

“මිස්ට ප්‍රේමරත්න?”

හැරිලා මා දිහා බැලූ මිනිහා දැකපු ගමන් මට මතක් උනේ අපේ පරන ප්‍රින්සිපල් මිස රේඩියෝ බාස් නෙවෙයි - හිනාමුසු ඇස්දෙක පිටිපස තේජසක්, ආත්ම ශක්තියක් පෙන්නුම් කරා.

“වාඩිවෙන්න සරත්….සරත් කිව්වට කමක් නැද්ද…නැත්තම් ඩොක්ට වීරසිංහ කියන්නද? මොනවද බොන්නේ?”

“සරත්….තේ එකක්?” මම වාඩිවෙන ගමන්ම කිව්වා.

……………………

ලාංකිකයෝ උනාට අපි දෙන්නා අතරේ ආගිය කතා එදා නෑ. පලවෙනි ප්රශ්නේ මිස්ට ප්රේමරත්නගෙන්:

“කවද්ද දර්මසේන සර් මුනගැහුනේ?”

“ගිය සතියේ…ක්ලාස් රියූනියන් එකක් තිබුනා”

මිස්ට ප්රේමරත්නගෙ මුහුනට පොඩි හිනාවක් නැගුනා.

“බොහොම හොඳයි…වැඩිය කාලයක් ගත්තෙ නෑ රේඩියෝ ප්රශ්නේ ගැන හිතන්න…මට බයක් තිබුනා සමහරවිට කවුරුවත් මේක ගැන හාරලා හොයලා බලන්නේ නැතිවෙයි කියලා…”

“මම හිතුවේ…මේ රේඩියෝ එකෙයි ඒ මොඩල් එකේ වෙන රේඩියෝ එකකයි තාක්ශනයේ වෙනසක් සොයාගත්තොත්… “

“…මමත් එහෙම හිතුවා කාලයක්…බොහොම කාලයක්….ඇතුලේ තාක්ශනයේ කිසි වෙනසක් මටනම් සොයාගන්න බැරිඋනා….”

මම මගෙ ප්රශ්න සේරම මිස්ට ප්රේමරත්නට ඉදිරිපත්කරා.

“- මේකේ හැම තරංග මාලාවෙන්ම විකාශනය වන වැඩසටහන් අනාගතෙන් ආවද?; අනාගතෙන් ආ හැම වැඩසටහනම හරියට පැය දහඅටකින්ද ඔර්ලෝසුවේ වෙලාවට ඉස්සර උනේ? රේඩියෝඑකේ ක්රියාකාරිත්වය රටෙන් රටට වෙනස් වෙනවද?; මේ වගේ රේඩියෝ තව ලෝකේ තියෙනවද?; මේ අනාගත වැඩසටහන් ප්‍රකාශය කොච්චර කාලයක් තිබුනද, රේඩියෝඑක කැඩෙන්න ඉස්සර?; කැඩුනේ කොහොමද?; ‘කැඩුනා’ කියලා මොකද ඒකට උනේ? ආයේ....”

“ඇති…..ඇති….ඒ ප්රශ්න හොඳටම ඇති …අපි මේකේ ඉතිහාසෙන් පටන් ගමු…ඊට ඉස්සර හපන්න මොනවත් ගෙන්නා ගමු”

………………….

මම හැදුනේ වැඩුනේ තිරිකුනාමලේ - යුද්ද කාලේ (මිස්ට ප්‍රේමරත්න කතාව පටන්ගත්තේ මා දිහා කෙලින්ම බලාගෙනයි). අපෙ තාත්තා මුහුදු මාලු අල්ලලා තමා ජීවත්වුනේ. නමුත් ඒ දවස්වල තිරිකුනාමලේ තිබුන වැදගත්ම දේ තමයි නාවික හමුදා කඳවුරු. එහෙ තිබුනේ බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරු නිසා අපි නිතරම සුද්දෝ දකිනවා. අපි හිටපු ගෙදරට ඒතරම්ම ඈතින් නෙවෙයි සුද්දන්ගෙ නිවාස තිබුනේ. අපි ඒ අයට මාලු එහෙමත් වික්කා. මගෙ පලවෙනි රස්සාවත් ලංකා නාවික හමුදාවේ - සුලු සේවකයෙක් හැටියට. එතනින් පටංගෙන තමයි රේඩියෝ වැඩ එහෙම ඉගෙනගත්තේ, හමුදාවෙන්ම. මට ආසාව තිබුනේ නාවික හමුදාවේ රේඩියෝ නිලදාරියෙක් වෙන්න, කවදාහරි.

1957 තිරිකුනාමලේ තිබුන බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරු ලංකා ආංඩුවට බාරවුනා. එතකොට මට වයස විසිපහක් විතර ඇති. මේ කඳවුරුවල හිටි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ ඔවුන්ගේ පවුල් ගනන අංතිම මාස දහ අට ඇතුලත ටිකින් ටික අඩුවේගන ගියා. එතනින් නැව් නගින බොහොම සුද්දෝ ඒ අය දන්නා හඳුනන්ට පොඩි තෑගි එහෙමත් දුන්නා. මට මතකයි මේ රේඩියෝ එක මට ලැබුන හැටි…

මම යාලුවෙලා හිටියා සුද්දෙක්ගෙ පුත්තු දෙන්නෙක් එක්ක, ජිමි වෙස්ට් අයියා, ටිමති වෙස්ට් මල්ලී. අපි ඒ දවස්වල මාලු අල්ලන්න යනවා එකට. වයස දොලහේ විතර ජිමීට සිංහලත් ටිකක් පුලුවන්. අනික් සුද්දෝ වගේ නෙවෙයි ඒ දෙන්නා අපෙ ගෙදරත් එනවා, ඒ දවස්වල. එයාගෙ දෙමව්පියොත් මා දැක්කේ ජිමීලගෙ ලොකු අයියෙක් හැටියට. ලොකු තත්වේ හිටපු සිංහලයෝ නම් ඊට වඩා බොහෝම වෙනස් - අපිට කතා කරෙත් නෑ. වෙස්ට් පවුල එංගලන්තේ යන්න පිටත්වෙන දවසේ තමා මේ රේඩියෝ එක මට ලැබුනේ. මම කැස්බෑ ලෙලිවලින් හැදූ පොඩි තසිං දෙකක් ලමයි දෙන්නට දෙනකොට ජිමීගෙ ඇස්වලටත් කඳුලු ආවා. එයා ටිකක් හිතලා බලලා මිස්ට වෙස්ට්ගෙන් මොනවද ඇහුවා ඉංග්රීසියෙන් - මට තේරෙන්නෙ නැති ඉංග්රීසියෙන්. ඊට පස්සේ වෙස්ට් පවුලේ හතර දෙනාම ටිකක්වෙලා විවාද කලා මොකද්දෝ ගැන. අංතිමට ජිමී ගේ ඇතුලට ගිහින් ගෙනාවා අලූත් රේඩියෝ එකක් - මම කවදාවත් දැකලා නැති වර්ගයක එකක්. ඒක මට දීලා ජිමී මෙහෙම කිව්වා සිංහලෙන්, එයාගෙ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නකොට:

‘මේ රේඩියෝඑක මම සල්ලි දීලා ගත්ත එකක් නෙවෙයි. ගිලුන ජර්මන් නැවක තිබුන එකක් මගෙ තාත්තා ගෙනත් දුන්නේ. වැඩකරන්නේ බැටරි වලින්. ශෝට් වේව්, මීඩියම් වේව් වැඩකරනවා….. හැබැයි මොකද්ද වැරැද්දක් තියෙනවා - ඉඳලා හිටලා අමුතු දේ කියනවා, මට තේරුම් ගන්න බැරි දේ. ඒ ඇරුනුකොට මේක මට තියෙන අලුත්ම, වටිනාම දේ. මම කැමතියි ඔයා මේක බාර ගන්නවානම් අපෙ පවුලෙන් සුලු තෑග්ගක් හැටියට. ආයෙ අපි හම්බුවෙයිද දන්නෙ නෑ. හැබැයි මමනම් කොහොමහරි පස්සේ කාලෙක එන්න බලනවා’

මේ වගේ රේඩියෝ ගන්න අපිට සල්ලි තිබුනෙ නෑ. ඉඳලා හිටලා අමුතුදේ කිව්වත් මේක මට මුලු ජීවිතේම ලැබුන ලොකුම තෑග්ග. ඒක නිසාමයි මම රේඩියෝ ගැන හොඳට ඉගෙනගන්න හිතා ගත්තේ.

මම නාවික හමුදාවෙන් අස්වෙලා සරත්ලා දන්න රෙඩියෝ රිපෙයාර් සාප්පුව පටන්ගත්ත දවස්වල මට තිබුන වටිනාම වස්තුව ඒ ‘අනාගත’ රේඩියෝ එක තමයි………රේඩියෝ එකයි ඒකත් එක්ක ආපු හොල්මනයි……..!

[මිස්ට ප්රේමරත්න එයාගෙ තේ කෝප්පේ ඉවරවෙන්න බිව්වා ඊ ලඟට මොනවත් කියන්න ඉස්සර]

……………………………….

මට ටිකක් තරහ ගිය බව මිස්ට ප්රේමරත්නට පෙන්නෙනත් ඇති.

“හොල්මනක් හා? කොන්ඩෙ බැඳපු චීනෙක් නෙවෙයිද? මිස්ට ප්රේමරත්න මේක විහිලුවක් විදිහට හිතනවා ඇති…ඒක මිස්ට ප්රේමරත්නගෙ කැමැත්තක්… ඒකට මට කරන්න දෙයක් නැ….නමුත් මම මේක බොහොම සීරියස් දෙයක් හැටියටයි හිතුවේ….ඔබ තුමාට විහිලුවක් උනාට…”

මිස්ට ප්රේමරත්නගෙ මුහුනේ විහිලු කරන මිනිහෙක් ලඟ තියෙන හිනාවක් පෙනෙන්න නෑ. මා දිහා බැලුවේ නැවතත් මුල්ගුරුවරයෙක් වැරැද්දක් කල ළමයෙක් දිහා බලනවා වගේ.

“නෑ….නෑ….මම කියන්නේ සාමන්ය ගමේ මිනිස්සු දකින හොල්මන් නෙවෙයි…ඒ රේඩියෝ එක ලැබුන දවසේ පටන් …අමුත්තෙක්….ඔවු එහෙම කියමු…අමුත්තෙක් මාව හමුවෙන්න එන්න පටන්ගත්තා…. මගෙ සාප්පුවටත් ඇවිත් කතාවක් නැතුව මං කරනදේ බලාගන ඉන්න කෙනෙක්… අ…. මිනිහෙක්… .අ… කෙනෙක්… එයා ඇවිදිනකොට කිසිම සද්දයක් නෑ…හරියට බිමට ටිකක් උඩින් පාවෙනවා වගේ…”

“ඒකද හොල්මනක් කිව්වේ?”

“….එයා ටිකක් අමුතුයි….සාමාන්ය මේ පලාතේ කෙනෙක් වගේ නෙවෙයි…මගෙ කඩේට ආවේ වෙන කවුරුත් නැති වෙලාවට විතරයි….මාසයකට සැරයක් විතර ආවත් එක වරකට විනාඩි පහකට වැඩිය එයා සාප්පුවේ හිටියෙ නෑ.….ඉස් ඉස්සරවෙලා එයා හැසුරුනේ හරියට මට එයා නොපෙනෙනවා වගෙයි…අර පොඩි ලමයි ඇස්දෙක වහගෙන ‘හැංගුනා!’ කියන්නේ? අන්න ඒ වගේ…මගෙ පැත්ත බලලා හිනා උනත් මම කියපු වචනේකටවත් සඤාවකටවත් උත්තර දුන්නෙ නෑ….පස්සේ පස්සේ ඒක ටිකක් වෙනස් උනත් අපි දෙන්නා කවදාවත් හරියට කතා බහක් කරලා නෑ…වැඩියම කරේ එන යන වෙලාවට හිනාවෙලා අත වනන එක විතරයි…”

“මොන වගේ කෙනෙක්ද? නාවික හමුදාවේ හරි පොලිසියේ හරි කෙනෙක් වෙන්න බැරිද….සමහරවිට පරන කරපු වැරැද්දක් ගැන!” මට හිනා ගියා හොල්මන් පොලිස් කාරයෙක් ගැන හිතනකොට.

“….නෑ සරත්….එයා මේ ලෝකේ කෙනෙක් නෙවෙයි….හැඩෙන් ඇඳුමෙන් ටිකක් ජිමී වෙස්ට් වගේ උනාට සෑහෙන වයස ගතියක් ඇස්දෙකේ තිබුනා…මට මිනිහා ජිමී වගේ පෙනුනේ මං හොඳටම දන්න එකම සුද්දා ජිමී නිසා වෙන්න ඇති…”

“මිනිහගෙයි රේඩියෝ එකෙයි සම්බන්දේ මොකද්ද? කොහෙදෝ යන පිස්සෙක් වෙන්න බැරිද?”

“මිනිහා එන්න පටන්ගත්තේ රේඩියෝ එක මට ලැබුන දවසේමයි…එදා ඉඳන් මම ලංකාවේ කොහෙ හිටියත් මිනිහා ආවා….ඒක කැඩුන දවසේ….දැන් අවුරුදු තිහකට විතර ඉස්සර…තමා අංතිමට දැක්කේ….”

මගෙ ඔලුවට රේඩියෝ එකෙන් ලැබුනු අවුල් ජාලාවට තවත් එකතු කරන්න මම කැමති උනේ නෑ. දැනට හොල්මන පොඩ්ඩකට අයින් කරලා රේඩියෝ කතාවවත් හොඳින් තේරුම්ගන්න බලන්නයි මට හිතුනේ. පස්සේ පුලුවන් හොල්මන් කතා එකතු කරන්න.

“අපි මේ අභිරහස් දෙක වෙන්කරගමුද? රේඩියෝ එක ගැන ඉස්සරවෙලා බලලා හොල්මන ගැන පස්සේ බලමුද?.....මිස්ට ප්රේමරත්න කිව්වා මේ රේඩියෝ එක ලැබුනේ 1957 විතර කියලා. මේ මොඩෙල් එක හදලා තියෙන්නෙත් ’56-’57 කාලේ. නමුත් මේ කාලේ යුද්ද නෑ - ජර්මන් නැව් ගිලුනෙත් නෑ. ඒ කාලෙට අලුත්ම මොඩල් එක ගිලුනු නැවකින් ආවා කියලා යාලුවා කිව්වේ බොරුවක්ද? මිනිහා ඒක ඒ දවස්වලත් ‘අමුතු දේ කියනවා’ කිව්වේ මොනවා ගැනද? ඉස්සරවෙලාම අමුතු දේ ඇහුනේ කවද්ද?...”

මිස්ට ප්රේමරත්න විනාඩියක් කල්පනා කලා.

“….ජිමී කිව්වේ බොරුවක් නෙවෙයි කියලා මට හොඳටම විශ්වාසයි…එයා දන්න තරමින් කියපු කතාව ඇත්ත…එහෙමනම්…හතලිස් එකේ දෙකේ ගිලුනු නැවක 1957 රේඩියෝ එකක් තිබුනේ කොහොමද කියලා අපි හිතන්න වටිනවා නේද?”

“ඇත්ත…නමුත් ඒක ඇත්ත වෙන්නේ මා ලඟ දැනට තියෙන 1957 හදපු රේඩියෝ එක ඇත්තටම ජිමී කියන කොල්ලා මිස්ට ප්රේමරත්නට දීපු එකම නම් විතරයි…අපි පිලිගත්තොත් ජිමීගෙ කතාව….”

අපේ මුනගැස්මෙන් පස්සේ පලමු වරට මිස්ට ප්රේමරත්න කට පුරා හිනා උනා. පුටුව ලඟ බිම තිබුන මල්ලෙන් කඩදාසි ගොන්නක් එලියට අරගෙන මා ලඟ තියෙන රේඩියෝ එකේ පින්තූර මෙන්ම මොඩෙල් විස්තර ගොන්නක් මට පෙන්වුවා.

“මම අපෙ රේඩියෝ එක මිස්ට දර්මසේනට යවන්න ඉස්සර ඒකේ විස්තර සේරම ලියාගත්තා. ඒ වගේම සිර්කිට් ඩියග්රෑම්, පාට් නොම්බර එහෙම ලියාගත්තා වගේම පින්තූරත් ගත්තා. අමතක කරන්න එපා මමත් මේක ගැන සෑහෙන්න සොයලා බැලුවා කියලා…යුරෝපයේ එකම රටකවත් මට ‘අනාගත රේඩියෝ’ එකක් සොයාගන්න බැරි උනා. අපෙ මොඩෙල් එකේ, හොදින් වැඩ කරන රේඩියෝ කීපයක් පරීක්ශා කරලා බැලුවට ඒ එකකවත් හෙට ප්රවුර්ති දෙන්න හැකියාවක් තිබුනෙ නෑ….මම ඒවගෙ අයිතිකාරයන් සමග කතා කලා විතරක් නෙවෙයි අඩුම ගනනේ පැය විසි හතරකටවත් ඒ සෑම රේඩියෝවටම කන්දුන්නා…මේකට ලෝක ඔර්ලෝසුව හරියට උදව් උනා…දන්නවා නේ….’ඇට් ද තර්ඩ් ස්ට්රෝක්, ඉට් විල් බී නයින් ට්වෙන්ටි එයිට් ඇන්ඩ් ට්වෙන්ටි ෆයිව් සෙකන්ඩ්ස් ප්රිසයිස්ලි…බීප්…බීප්….බීප්….’ ඒක වටිනවා රේඩියෝ වෙලාව බලාගන්න…..”

“ඔය කියන්නේ….අපි දන්න තරමින් අපෙ රේඩියෝ එක විතරයි අනාගත ප්රවුර්ති කියන්නේ… සමහරවිට ලංකාවේ විතරද දන්නෙ නෑ එහෙම වෙන්නේ…උනේ”

“මං හිතන්නේ එහෙම තමා….ඒ අනුව…මං හිතන්න්නෙ නෑ මැලේසියාවට ගිහින් එහෙ තියෙනවා කියන මේ මොඩල් එකේ රේඩියෝ එක බලලා කිසි වැඩක්වෙයි කියලා….සොරි!”

“ඒකෙයි මේකෙයි කිසිම තාක්ශනේ වෙනසක් නැතිවෙයි කියලද කියන්නේ?”

“ඔවු…අපිට තේරෙන තාක්ශන…අපිට හඳුනාගන්න පුලුවන් තාක්ශන…”

“මැලේසියාවේ ‘අනාගත නොවෙන’ රේඩියෝ එකෙයි අපෙ එකෙයි තාක්ශන සන්සන්දන කරලා බැලුවොත්….හරියට ‘රූපෙට රූපේ’ තියනවා වගේ…වෙනස නොපෙනෙයිද?’

“මමත් එහෙම තමා බොහෝම කාලයක් හිතුවේ සරත්…මං හිතන්නේ මම දන්නවා රේඩියෝ එකක් ඇතුලේ තාක්ශනය සරත්ට වැඩිය හොඳට - ඒකේ සිද්ධාන්ත සම්පූර්නෙන් නොතේරුනත්. මම බැලුවේ ටෙක්නිශන් ඇහෙන්…කිසිම පාට් නොම්බරයක් වෙනස් නෑ අනික් මේ මොඩල් එකේ රේඩියෝ වලින්…ඒ පාරේ ආයෙ ගිහින් වැඩක් නෑ….මං හිතන්නේ…”

මම හිතුවේ ඊට ටිකක් වෙනස් විදිහකට. පාට් නොම්බරයි ඒවා කනෙක්ට් කරලා තියෙන විදිහයි එකම නම් එක්කෝ ඒ මොඩල් රේඩියෝ සේරම අනාගත රේඩියෝ - නැත්නම් එකක්වත් අනාගත රේඩියෝ නෙවෙයි. වෙනස ඇත්තේ රෙසිස්ටරයක් වගේ කැල්ලක් ඇතුලෙයි. ඒ කියන්නේ, රේඩියෝ එක වෙනස් කරලා තියෙන්නේ කොටස් එකක් හෝ කීපයක් යම් ක්රමයකට විකෘත කරලයි. එහෙම කරලා තියෙන්නේ මා ලඟ දැන් තියෙන, මිස්ට ප්රේමරත්නට අයිති, රේඩියෝවට විතරයි. ඒකයි වෙන රේඩියෝවලින් අනාගතේ අහන්න බැරිවෙන්නෙත් පාට් නොම්බර වෙනස් නොවෙන්නෙත්… මට දැනුනා මේක අපෙ ප්රශ්නේ විසඳුමට කිට්ටු ඇති බව.

මගෙ මුහුනේ පොඩි හිනහවක් දැකලා වෙන්න ඇති මිස්ට ප්රේමරත්න මට කතාකලේ.

“මොකද සරත්? අදහසක් ඇවිල්ලා වගේ”

මට විනාඩි දහයක් ගියා මගෙ අදහස සම්පූර්නෙන්ම පැහැදිලි කරන්න. කල්පනාවෙන් මගේ කතාව අහගන හිටි මිස්ට ප්රේමරත්න මහා හුස්මක් පිට කරලා කසුකුසු සද්දෙන් කිව්වේ එකම දෙයයි.

“ජිමී ටූ”

“මොකද්ද?”

“…සොරි….මම මගෙ හොල්මනට කිව්වේ ජිමී ටූ කියලා - දෙවෙනි ජිමී වෙස්ට්. මගෙ හිතට එන්නේ ජිමී ටූ තමා මේ රේඩියෝ එකට කරපු වෙනස්කම් ගැන දන්නේ කියලා …ඒක මට හොදටම විශ්වාසයි”

“ඔය කියන විදිහට ජිමී ටූ එක්කෝ මාර සයන්ටිස්ට් කෙනෙක්… නැත්තම් එහෙම් කෙනෙක් එක්ක හරි එහෙම ආයතනයක වැඩ කරන කෙනෙක්… වැඩේ තියෙන්නේ මේ වගේ දේ කරන්න බොහොම අය උත්සාහ කරාට තවම බෑ. මේ ලෝකේ කොහෙවත් විද්යාවවත් තාක්ශනයවත් ඒ තරම් දියුනු නෑ“

“දැනට…”

මිස්ට ප්රේමරත්නගෙ වචනේ ගල්ගෙඩියක් වගේ මගෙ මොලේට වැදුනේ. අනාගතේ මේ වගේ තාක්ශන බිහිඋනොත් ඒකේ ප්රතිපල දැනුත් දැකගන්න පුලුවන්. අතීතෙටත් අනාගතේටත් යන්න හැකිනම් මීට අවුරුදු පන්සීයකට පස්සේ බිහිවෙන තාකශනය අදත් ප්රයෝජනේට ගන්න පුලුවන්.

“ඒ වගේ රේඩියෝ වලට කරන්න පුලුවන් කෙනෙකුට 1957 රේඩියෝ එකක් 1942 ජර්මන් නැවකට දාන එක ප්රශ්නයක් නෙවෙයි”

තව විනාඩි කීපයක් අපි දෙන්නා හිටියා අපේම සිතුවිලි වලට යටවෙලා.

හදිස්සියේ මිස්ට ප්රේමරත්න පුටුවෙන් නැගිට්ටා.

“මේක ජිමී ටූගෙන්ම අහගන්න ඕනෑ…වෙන ක්රමයක් නෑ. අපි හෙට පුලුවන් නම් ආයෙත් හම්බුවෙමු…මට තව වැදගත් වැඩ තියෙනවා අද.”

“කොහොමද ජිමීගෙන් අහන්නේ…දැන් මිනිහා ගිහින් අවුරුදු තිහකටත් වැඩී නේද?”

“අතීතෙටයි අනාගතේටයි යන අයට ඒක ප්රශ්නයක් වෙන්න බෑ… අනික…දැන් විනාඩියකට ඉස්සර මිනිහා බාර් එක පැත්තට යනවා මම දැක්කා!”