රේඩියෝ බාස්

ඉස්කෝලේ යන කාලේ මට හිටපු ලොකුම වීරයෙක් තමයි රේඩියෝ බාස්. ඒ කාලේ අපිට වීරයෝ අඩුවක් නෑ - ක්රිකට් ගහන උන්, හයියෙන් බස් එලවන උන්, සරුංගල් අරින්ට දක්ශ උන් වගේ වීරයෝ ගොඩයි. නමුත් රේඩියෝ බාස් වීර ලැයිස්තුවේ උඩටම කිට්ටුව හිටියේ. එයාට එයාගෙම කඩයක් තිබුනා රේඩියෝ, ඇම්ප්ලිෆයර්, ලොකු ස්පීකර් පෙට්ටි එහෙම පුරවපු. ඒවගෙන් වැඩි හරියක් බාගෙට ගලවලා වයර් එල්ලි එල්ලී තිබුනේ, හරියට සතෙක්ගෙ බඩවැල් එල්ලෙනවා වගේ. රේඩියෝ බාස් අපි දකින හුඟක් වෙලාවට හිටියේ අසාද්ය තත්වේ ඉන්න රේඩියෝ එකක සැත්කමක් කරන දොස්තරයෙක් වගේ අත් දෙකම ඒකක් ඇතුලේ දාගෙන. එයා රේඩියෝ බඩවැල් එහෙ මෙහෙ ඇද්දේ පරන සිංදුවක් සියුරුවන්බාන ගමන්; සිංදුව නැවතුනේ එතෙක් නිශ්ශබ්ද රේඩියෝවෙන් සිංදු ඇහෙන්න පටන් ගන්නකොට. අපිට මේවා මැජික්. ඒකයි ඉස්කෝලේ ඇරිලා බස් එකට වෙලාව එනකන් අපි එතන් ගැවැසුනේ.

අපි එයාට රේඩියෝ බාස් කියලා මූනට කිව්වෙ නෑ. එයාගෙ නම ප්රේමරත්න; අපි එයාට කතා කරේ මිස්ට ප්රේමරත්න කියලා. අපි කීපදෙනෙක් නිතරම වගේ එයාගෙ කඩේට යන එක ගැන එයා අකැමැත්තක් පෙන්නුවේ නෑ. ඇත්තටම කියනවානම් අපි ඉන්න වෙලාවේ ඒ කඩේට වෙන කිසි කෙනෙක් එනවා මට මතක නෑ. හදන්නේ කාගෙ රේඩියෝද, කඩේට සල්ලි හම්බවෙන්නේ කොහෙන්ද වගේ ප්රශ්න අපිට ඒකාලේ හිතට ආවෙ නෑ. අපි දන්නේ මිස්ට ප්රේමරත්නට රේඩියෝ එහෙම පුරවපු කඩයක් තියෙන බවයි; එයා ඒවත් එක්ක වැඩකරනකොට අපි බලාගෙන හිටියට එයාට තරහ නොයන බවයි විතරයි.

අපි ඉස්සරවෙලාම රේඩියෝ බාස්ගෙ කඩේට ගියේ අපෙ පංතියේ ජයසේකරගෙ රේඩියෝ එක හදා ගන්න. උදේ ඉස්කෝලේ එන ගමන්ම ඌ රේඩියෝ එක කඩේ තියලා ඇවිත්, ඉස්කෝලෙන් පස්සේ අපි හතරදෙනෙක් ගියා ඒක හදලා ඉවරද බලන්න. ජයසේකර අපිට පෙන්නුවා ඒගොල්ලන්ගෙ ෆිලිප්ස් එක, බාස්ගෙ වැඩකරන මේසේ කොනක.

“මිස්ට ප්රේමරත්න මේක දැන් හරිද?”

“හ්ම්…ආ…ඒක තව බැරි උනා. මේක ඉවර උනාම ඒක පටන්ගන්නේ….” එයා ආයෙත් හෙමින් සියුරුවන් බාන පටන් ගත්තා. එයාගෙ අත් දෙක හරියට සර්පයෝ දෙන්නෙක් වගේ එහාට මෙහාට පනිනවා. පාට පාට වයර් ගොඩකින් එකක් තෝරාගෙන ඒක තව එකක් එක්ක කරකවනවා. හිටපු ගමන් කතුරකින් එක වයර් කෑලක් කපලා දානවා. ඊලඟට ඇස් දෙක හොඳටම ලංකරලා බලනවා වෑල්ව් පත්තුවෙනවද කියලා. මේ සේරම නොනවත්වා උනත් සිංදුව නැවතුනේ නෑ. අපි හතරදෙනා ඉටි රූප වගේ එයා වැඩ කරනවා බලාගෙන් හිටියා.

“…ගුවන්විදුලි සේවයයි. දැන් වේලාව” රේඩියෝ බාස් සිංදුව නවත්තලා රේඩියෝ එකත් නිවලා කොන්ද කෙලින් කරලා හිට ගත්තා වහාම. කිසි දෙයක් නොකියා එයා හදාපු රේඩියෝ එක රාකියෙන් තියලා ජයසේකරගෙ රේඩියෝ එක ලඟට ගත්තා.

මගෙ බස් එකට වෙලාව හරි නිසා මම පිටත් උනා ඒ රේඩියෝ එක් හදනකම් නොඉඳ. පහුවදා උදේම මම ඇහුවා ජයසේකරගෙන් තත්වේ.

“ඊයේ බැරි වුනා මචං හදලා ඉවර කරන්න. අද බලනවා. ඊයෙ රෑ තාත්තට හොඳටම නැගලා ප්රවුර්ති අහන්න නැතුව”

“ගෙවන්න සල්ලි තියෙනවද?”

“තාත්තා බාස් අඳුරනවා. පස්සේ හම්බුවෙලා ගෙවනවා කිව්වා”

එදා ඉස්කෝලේ ඇරිලා යනකොට ජයසේකරගෙ රේඩියෝ එක හදලා ඉවරයි. බාස් ඒක අපිට වැඩ කරවලා පෙන්නුවා. වැඩේ ඉවර උනත් අපි කඩෙන් එලියට ආවෙ නෑ.

“මිස්ට ප්රේමරත්න වැඩකරනවා බලාගෙන හිටියට කමක් නැද්ද?”

“කතා කරන්න බෑ. මගෙ වැඩ මේසේ කලුවර කරන්න බෑ. ගලවල තියෙන දේවල් අල්ලන්න බෑ. බලා හිටියට කමක් නෑ…”

ඒදා පටන් අපි සතියකට වරක් වත් රේඩියෝ බාස්ගෙ කඩේට ගියා. එයාගෙ නීති වලට ගරු කරලා අපි සද්ද නැතුව රේඩියෝ වැඩ කරන හැටි තේරුම් ගන්න බැලුවා. සිල්වට ඒ ගැන පොඩි පොතක් හම්බුවෙලා අපි හතර දෙනාම ඒක කියෙව්වා. ඉදලා හිටලා රේඩියෝ බාසුත් අපිට එක එක දේ කියා දුන්නා. අපෙ දැනුම ටික ටික දියුනු උනේ ගුවන්විදුලිය ගැන විතරක් නෙවෙයි, ධවනිය, විද්යුතය වගේ දේවල් ගැනත් අපිට සෑහෙන තරම් ඉගෙනගන්න හැකි උනා. නමුත් රේඩියෝ බාස් ගැනවත් එයාගෙ කඩේ ගැනවත් පලවෙනි දවසේ දැනගත්තට වැඩිය කිසි දෙයක් හොයාගන්න බැරි උනා. අපෙ රේඩියෝ බාස්ගෙ කඩේ අනික් කඩ වගේ නෙවෙයි කියලා මට හිතුනේ එක සිද්දියක් නිසා.

ඒ දවස්වල එංගලන්තෙයි ඔස්ට්රේලියාවයි අතර ටෙස්ට් තරඟයක් තිබුනා. ගැහුවේ ඔස්ට්රේලියාවේ. මේ ලංකාව ටෙස්ට් ගහන්න පටංගන්න බොහොම ඉස්සර. මම කියන මැච් එක 1963 පෙබරවාරි මාසේ, සිඩ්නි නගරේ ගැහුවේ. අපි ඒ දවස්වල රේඩියෝ එකෙන් මැච් අහනවා. සමහරවිට අපෙ ගුරුවරුත් ලකුනු තත්වේ අපිට කියනවා. එදා පෙබරවාරි 19 වෙනිදා මැච් එකේ හතරවෙනි දවස - කවුරු දිනයිද කියලා හිතන්න අමාරුයි. පැති දෙක එක මැච් එක බැගින් දිනලා හිටියේ. මම සිල්වත් එක්ක ඔට්ටුවකුත් අල්ලලා හිටපු නිසා මට මේක වැදගත්.

බස් එකට ඉන්න ගමන් මම රේඩියෝ බාස්ගෙ කඩේට ගියා ලකුනු තත්වේ බලා ගන්න. රේඩියෝ එකේ මැච් එක ඇහුනට ඒතරම් පැහැදිලි නෑ. අනික, ඒකේ ඉංග්රීසිත් තේරුම් ගන්න එක ලේසි නෑ. බාස්ට මගෙ අමාරුව තේරිලාද කොහෙද මට ලකුනු තත්වේ සිංහලෙන් කිව්වා.

“එංගලන්තේ විකට් අටකට දෙසිය හැට අටක් ගහලා ඩික්ලෙයා කරා; බැරිංටන් 94යි. ඔස්ට්රේලියාවට දිනන්ට 241ක් ඕනෑ හැබැයි පලවෙනි විකට් එක බිංදුවට වැටුනා”

එහෙම කියලා බාස් රේඩියෝ එකත් නිවලා ආයෙත් වැඩට බැස්සා. මමත් ගෙදර යන්න පිටත් උනේ එංගලන්තේ දිනන එක නිසැකයි කියලා හිතාගෙන. එහෙම උනොත් සිල්වගෙන් ඔට්ටුව දිනලා හෙට මට ඉස්කෝලේ ලඟ කඩෙන් ජම්බෝල කන්ට පුලුවන්. ගෙදර යනකොට මැච් එක එදාට ඉවරයි; ඉතුරු ටික හෙට ඉස්කෝලෙදි තමයි බලන්න වෙන්නේ.

මම පහුවදා සිල්වට උදේම කිව්වා “එහෙනං සල්ලි ලෑස්ති කරගනින් - ඔස්ට්රේලියාවට වැදිලා ඉවරයි”

සිල්වා හිනා උනා “බලමු කොහොමද කියලා. ලීඩ් එක 137යි විකට් තුනක් හිහින් - උඹ කියන්නේ එක දවසකින් හොඳ ලීඩ් එකකුත් අරගෙන ඔස්ට්රේලියාව අවුට් කරගනී කියලද?”

“උඹට පිස්සුද? එංගලන්තේ ඩික්ලෙයා කෙරුවා 268කට; බැරිංටන්ට යන්තමින් දෙවැනි සීය මිස් උනේ. ඔස්ට්රේලියාවේ දැනටම එකෙක් අවුට්”

“උඹ හීන දැකලා. පත්තරේ බලපං ඊයේ ස්කෝ එක”

අංතිමට අපි දර්මසේන සර්ගෙන් ස්කෝ එක අහගත්තා. මට රේඩියෝ බාස් අමු බොරුවක් කියලා තියෙන්නේ. මම හොඳටම මෝඩවෙලා හිතා ගත්තා රේඩියෝ බාස්ගෙන් අහන්න ඕනෑ මේක කියලා.

දවල් වරුවේ දර්මසේන සර්ගෙ ගනිතය පංතියේ ලමයින්ට වැඩක් දීලා මා ලඟ ඇවිත් හිට ගත්තා.

“එංගලන්තේ කීයක් ගහලද ඩික්ලෙයා කරේ කියලා අද උදේ කිව්වේ?”

“268” මම බිම බලාගෙන ලැජ්ජාවෙන් කිව්වා.

“බැරිංටන් කීයක් ගැහුවද?”

“94යි. සර් මම හදපු එකක් නෙවෙයි කවුදෝ කියපු එකක් මම කිව්වේ”

“ඒ කවුද?”

“අර රේඩියෝ කඩේ මිස්ට ප්රේමරත්න”

“හ්ම්…කොයි වෙලාවෙද කිව්වේ?”

“ඊයේ. ඉස්කෝලේ ඇරිලා යනකොට”

සිල්වා එහෙමත් මං දිහා බලනවා මේ කතාව යන්තම් ඇහිලා වගේ.

පංතියෙන් පස්සේ සිල්වයි ජයසේකරයි ඇවිත් මා ලඟ හිටගත්තා.

“බොරු ගොතනවා කියලා ගෝරිද?”

“නෑ. මගෙන් ඇහුවා කවුද, කොයි වෙලාවෙද ස්කෝ එක කීවේ කියලා”

“උඹ අපිටවත් කිව්වෙ නෑනෙ”

“මට කිව්වෙ රේඩියෝ බාස් ඊයේ ඉස්කෝලෙට පස්සේ”

වෙන කෙනෙක් නම් අපි මේක විහිලුවකට හරවනවා “ඒ ගොනා දන්න බංබුව” කියලා. නමුත් රේඩියෝ බාස් අපෙ වීරයෙක් - එයා ඕනෑවට එපාවට කතා කරන කෙනෙක් නෙවෙයි.

එදා ඉස්කෝලේ ඇරිලා අපි තුන් දෙනා රේඩියෝ බාස්ගෙ කඩේ ලඟට යනකොට දර්මසේන සර් කඩේ හිටියා, බාස් එක්ක කතා කර කර. අපි දැකපු ගමන් අපිට ඇතුලට කතා කරා.

“මෙන්න මෙයා තමයි මට අද උදේ කිව්වේ” සර් මාව පෙන්නලා කිව්වා.

මම කැමති උනේ නෑ රේඩියෝ බාස් කරදරේ වැටෙනවට.

“සර් මට මිස්ට ප්රේමරත්න ස්කෝ එක කිව්වා විතරයි. ඒක වැරදි වෙන එක ලොකු දෙයක් නෙවෙයි. ඒක කියන්න තමා අපි ආවේ”

“ස්කෝ එක වැරදි නෑ නේද මිස්ට ප්රේමරත්න…හ්ම්…?”

“මට වැරදිලා ඇහෙන්න ඇති මහත්තයා….”

“හරියටම ඩික්ලෙයා කරපු ස්කෝ එක? බැරිංටන්ගෙ 94? සිම්සන්ගෙ බිංදුව? ..හ්ම්..? මේ ලමයින්ට මම කියන්නේ, මිස්ට ප්රේමරත්න ඊයේ දුන්නේ අද උදේ නමයේ ස්කෝ එක හරියටම හරියට….”

රේඩියෝ බාස් ඒවෙලාවේ මට පෙනුනේ හුලං බැහැපු බෝනික්කෙක් වගේ. වෙනදා කඩේ ලොක්කා අනික් අයට නීති දාන; අද ප්රින්සිපල් ඉස්සරහට ගිය පහේ පංතියේ කොල්ලෙක් වගේ. මට පව් කියලා හිතුනා. අහම්බෙන් හරි ලකුනු හරියට කියපු එක දක්ශ කමක් මිස හොරයක් හැටියට මම දැක්කෙ නෑ.

“මැච් එකට මොකද වෙන්නේ?” ඒක එතෙන්ට ඔබින ප්රශ්නයක් නොවුනත් මට ඒක නවත්තාගන්න බැරි උනා.

“ඩ්රෝ…” රේඩියෝ බාස් ඒක කියපු ගමන් අතින් කට වහගන වහාම පුටුවේ වාඩි උනා.

“මම මැච් එක ඉවර උනාම එනවා ආපහු…කීයක් ගහනවද?”

“එකසිය පනස් දෙකයි, විකට් හතරකට” රේඩියෝ බාස්ගෙ ඇඟ ආයෙත් කෙලින්. කිසි කෙනෙකුට මම බය නෑ කියනවා වගේ මේ අංතිම වාක්ය කිව්වේ.

දර්මසේන සර් ගියාට පස්සේ අපිත් යන්ට ලෑස්ති උනා. අපි දිහා බලාගෙන ඉඳලා බාස් බිම බලාගන කතා කරන්න පටන් ගත්තා.

“ළමයි විද්යුතෙයි රේඩියෝ තරංගයි ගැන ඉගෙන ගන්න බොහොම දේ තියෙනවා. පුලුවන් තරම් බලන්න අලුතෙන් එන තාක්ශන ගැන. ඒවා ඉගෙන ගත්තොත් වරදින්නෙ නෑ. ඔය දර්මසේන සර්ලා හොඳ ගුරුවරු. ගනිතය අමතක කරන්න එපා - සෑම දේටම වැදගත් වෙනවා…දැන් මට වැඩ තියෙනවා. ගෙදර ගිහින් මැච් එකේ ඉතුරු ටික අහගන්න”

ඒක හරියට සමුගන්න කතාවක් වගේ. අපි කඩෙන් පිට උනේ ගෙදර ගිහින් මැච් අහන්න හිතාගෙන.

“තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වෙනවිට ඔස්ට්රේලියාව ලබාගෙන සිටියේ ලකුනු එකසිය පනස් දෙකයි, විකට් හතරකට….මේ අනුව…” මේක ගුවන් විදුලියෙන් ඇහෙනකොට මට සන්තෝස හිතුනා රේඩියෝ බාස් ආයෙත් හරියට ස්කෝ එක කිව්වා කියලා.

ඉස්කෝලෙට ඇතුල් වෙනකොටම සිල්වා එතන. මම රේඩියෝ බාස්ගෙ දක්ශකම් කියන්න පටංගන්නත් ඉස්සර එයා කතා කරා.

“කඩේ නෑ!”

“ඇයි වහලද? වෙලා ගිහින් අරී”

“නෑ, කඩේ ඉස්සරහ ලෑලිත් නෑ. ඇතුල සම්පූර්නෙම්ම හිස්. රාක්කියක් වත් නෑ. මම අල්ලපු කඩෙන් ඇහුවා. උන් කිව්වා රෑ මැද ගලවාගෙන යන්න ඇති කියලා - කියලාවත් නෙවෙයිලු ගියේ…”

අපි ඒ කඩේ ආයෙ කවදාවත් දැක්කෙ නෑ. අපෙ රේඩියෝ යාලුවෝ ටිකට ඒක හරි පාඩුවක්. දර්මසේන සර් උනත් කඩේ ගැන කතා කරේ දුකින් - හරියට වටිනා දෙයක් අත ලඟ තිබිලා නැති උනා වගේ.



මේ සිද්දි උනේ දැන් අවුරුදු හතලිහකට ඉස්සර. අපි ටික ඉස්ස්කෝලෙන් කාර්මික විද්යාලෙට හරි විශ්වවිද්යාලෙට හරි ගිහින් විදුලි ඉංජිනේරු වැඩ ඉගෙන ගත්තා. ඒ ඉස්කෝලේ කාලේ ක්ෂේත්රයට ඇති උන ඇල්ම නැති උනේම නෑ. දැන් සිල්වා කථිකාචාර්ය වරයෙක්, ජයසේකරයි ජනකයි පෞද්ගලික ආයතනවල ලොක්කෝ. මම සිංගප්පූරුවේ කාර්මික විද්යාලයක උගන්වනවා. පරන කතා ටික ආයෙත් මට මතක් උනේ සිල්වගෙන් ලැබුන ටෙලිෆෝන් කෝල් එකක් නිසා.

“මචං උඹ ලඟදී ළංකාවට එන්නෙ නැද්ද?”

“ඇයි උඹ ආයෙත් කසාදයක්වත් බැඳගන්නද?”

“නෑ බං අපෙ ක්ලාස් රියූනියන් එකක් තියෙනවා මාර්තු අගට. මෙහෙ ඉන්න උන් ඔක්කොම එනවා - මිස්ට දර්මසේනත් එනවා. මිනිහට දැන් වයස හැත්තෑවක් විතර ඇති…”

“කොහෙද තියෙන්නේ?”

“ඉස්කෝලෙමයි. හවසට හෝටලයක් බුක් කරලා තියෙන්නේ, කන්න, බොන්න, ඉන්නත් එක්ක ඕනැනම්”

“මං හිතාගෙන හිටියේ අවුරුද්දට කොහොමටත් එන්න - සතියක් දෙකක් ඉස්සර එන එක ප්රශ්නයක් නෙවෙයි”

අපේ සුහද හමුව දවසේ ඉස්කෝලෙට ඇතුල් වෙනකොට මට පුදුම කාංසියක් දැනුනා. අපෙ වයසට එහෙ මෙහෙ දුවන්නත් බෑ - කෑ ගහලා හිනා වෙන්න හේතුවකුත් නෑ. දැන් අපි මෙතෙන්ට අයිති නෑ කියලයි හිතුනේ. විශේශයෙන්ම මගෙ යාලුවෝ කොපමන වයසට ගිහිංද කියල මට පුදුම හිතුනා. සමහරු මගෙ වගේ කොන්ඩේ හොඳටම සුදුයි. කීප දෙනෙක් තට්ටේ පෑදිලා, තව සමහරු තට්ටේ ගාලා. ඉස්සර දක්ශ ක්රිකට් ගහපු උන් දැන් විශාල බඩක් උස්සාගෙන ගාටනවා.

දර්මසේන සර් මං දැකපු ගමන් කිව්වේ “මිස්ට ප්රේමරත්නගෙ රේඩියෝ එක වැඩ කරේ කොහොමද කියලා හොයා ගත්තද?” කියලා.

“නෑ සර්. හැබැයි ඒක ගැන හුඟාක් හිතුවා. ටයිම් ඩයලේශන් ගැන එහෙමත් ඉගෙනගත්තා හැබැයි ඒ වගේ එකක් හදන්න තියා ඩිසයින් කරන්නවත් තවම දන්නෙ නෑ”

“මට හිතුනා සරත් ඒ අතට හිතයි කියලා. මගෙ සයන්ස් දැනුම මදි උනා ඒක පැහැදිලි කර ගන්න. නමුත් මම හිතුවේ ඒ පංතියේ කාට හරි පුලුවන් වෙයි කියලා”

“ඇත්තටම එතන මොකද්ද උනේ සර්?” ඒ ජයසේකර. එයා දියුනු උනේ විද්යාවෙන් නෙවෙයි, දක්ශ කළමනා කාරයෙක් හැටියට.

“මට පෙනෙන විදිහට මිස්ට ප්රේමරත්නට රේඩියෝ එකක් තිබුනා අපි ඉන්න ලෝකෙට පැය දහ අටක් විතර ඉස්සරවෙලා යන එකක්. උදාහරනයක් වශයෙන්, අද හවස හයට දාපුවම ඒකෙන් ඇහෙන්නේ හෙට දවල් දොලහට වෙන දේ…” උදාහරන නැතුව තවමත් බෑ දර්මසේන සර්ට කතා කරන්න.

“ඒ කොහොමද? එහෙම වෙන්න බෑ නේ” ජයසේකරට පුදුමයි මේ කතාවට.

“ඒ කොහොමද කියලා මම දන්නවනම් දැන් මම දන කුවේරයෙක්! .... සරත් මොකද්ද හැබෑට ‘කුවේරයෙක්’ කියන්නේ? ඒක කිකන් කුවේනියක් ගෙයි මාරයෙක් ගෙයි දරුවෙක් වගේ!’ එතනින් කතාව වෙන අතකට හැරුනා.

හෝටලේ රෑ කෑමෙන් පස්සේ කීප දෙනෙක් ඉක්මනටම ගෙදර යන්න පිටත් උනා. මම ඒ හෝටලේම රෑ නවතින නිසා මට කිසි හදිස්සියක් තිබුනෙ නෑ. දර්මසේන සර් “මේ නාකි අපිට ඉස්සර වගේ කෙලි සෙල්ලම් බෑ” කියලා නැගිට්ටා.

“සරත් මම ඉන්නේ 304 කාමරේ. හෙට උදේම යනවා. නිදාගන්න ඉස්සර පොඩ්ඩකට එහාට ආවොත් හොඳයි”

“මම දැන් එන්නම්. මේ අය තව පැය දෙකකට යන්නෙ නෑ”

දර්මසේනගෙ කාමරේට ගිය ගමන් එයා සූට්කේස් එක ඇරලා ප්ලාස්ටික් මල්ලක දාපු පොඩි පෙට්ටියක් එලියට ගත්තා.

“සරත්ට දෙන්න දෙයක් තියෙනවා මං ලඟ. මේක දැන් මං ලඟ අවුරුදු තිහකට වැඩී. මම මේසැරේ ආවෙත් මෙදා මේක දුන්නෙ නැත්තම් ආයෙ අපිට කවදාවත් මුන ගැහෙන්න අවස්තාවක් ලැබෙන එකක් නෑ කියලා හිතලා”

“මොකද්ද සර්?”

“රේඩියෝ එකක්. රේඩියෝ බාස්ගෙ ‘අනාගත රේඩියෝඑක’. මට මේක තැපෑලෙන් ආවේ සරත් ඉංජිනියරින් ෆැකල්ට්යි එකට තේරුනාට පස්සේ. මිස්ට ප්රේමරත්න ලියලා තිබුනා ‘මේක කැඩිලා, හැබැයි හදා ගන්න පුලුවන් ළමයෙක් ඉන්නවානම් දෙන්න’ කියලා. එයා රට ගියා ආයෙ නොඑන්නම - ඒනිසා ‘මේක කාගෙ හරි ඉගෙනීමට උදව්වක් වෙනවානම් එයාට සන්තෝසයි’ කියලා ලියලා තිබුනා. ආපහු ලියන්න ලිපිනයක්වත් ටෙලිෆෝන් නොම්බරයක්වත් තිබුනෙ නෑ. පාර්සලේ තැපැල් කරලා තිබුනේ කොටුවෙන්. මං හිතන්නේ රට යන්න කිට්ටුව කරපු දෙයක්”

මම රේඩියෝ එක ගන්නකොට මගෙ අත වෙවුලුවා. මේක ලෝකේ ලොකුම විද්යා දියුණුවක්ද නැත්තම් මහා ප්රෝඩාවක්ද කියලා මට හිතා ගන්න බැරි උනා.

“සරත් මම ඕක ඇරලා බැලුවෙත් නෑ. දැන් බලන්න ඕනැත් නෑ. මගේ එකම බලාපොරොත්තුව සරත්ට මේකේ අගමුල සොයාගන්න පුලුවන් වෙයි කියන එක…. මම මගෙ කොන්ටැක්ට් ඩීටේල්ස් ලියලා තියෙනවා මේ කොලේ. මට මේක හදාරලා ප්රතිපල තිබුනොත් ලියලා එව්වොත් බොහොම සන්තෝසයි …වෙන කිසි දෙයක් කියන්න ඕන නෑ දැන්…මට නිදි මතයි…ඕක පරෙස්සමෙන් කාමරේ තියලා ගිහින් යාලුවොත් එක්ක කරන දෙයක් කරන්න…”

මම පෙට්ටිය මගේ කාමරේ තියලා යාලුවොත් එක්ක අංතිම බීර වීදුරුව බිව්වේ මීට පස්සේ මගෙ ජීවිතෙයි රස්සාවයි අද සිදු උන දේ වලින් කොහොම වෙනස්වෙයිද කියලා හිතමින්.