රොමාගේ වාසනාව
“සුමනා…?”
රොමානිස් යතුකැටය කොස් ලෑල්ලට ඇල්ලුවේ සියුම් පින්සලක් පාවිච්චිකරන සිත්තරෙක් මෙන් ඉතා සැලකිලිමත්වයි. ඉස්කෝලේ ලොකුමහත්තයා තමාගෙ පුතාගේ අළුත් ගෙදරට දොර ජනෙල් සැදීම රොමානිස්ට බාරකළේ ඔහුගේ නිපුණතාවය නිසා මිස ඉක්මනින් වැඩේ කරගැනීමට නොවෙන බව රොමානිස්ට තේරෙනවා. පරම්පරාවෙන් පැවතෙන වෘතීය ප්රකීර්තියට හානියක් නොවෙන්න කටයුතු කරන්න ඔහු වග බලාගත්තා. රොමානිස් තම පවුලට ඇමතුවේ වැඩෙන් ඇස් ඉවත් නොකරයි.
“සුමනා…සුමනෝ?”
“මොකද ඈ?”
“උයලා ඉවරද බං?”
“හ්ම්… ආයෙ විනෑඩියයි!”
“ඉවරකරලා මෙහාට වරෙන්කෝ… කාරණාවක් කියන්ට”
හතලිස්පස් හැවිරිදි රොමානිස් ගමේ ඉන්න දක්ෂම මෙන්ම වඩාම විශ්වසනීය වඩුබාස්. රොමානිස්ගෙ තාත්තා, රොමියෙල් බාස් උන්නැහෙත් ජීවතුන් අතර ඉන්න කාලේ එහෙමයි. තාත්තගෙ වඩු මඩුවේ වැඩ ඉගෙනගත් රොමානිස් තාත්තා මිය යනතෙක් උන්දැත් එක්ක වැඩ කළා. පිය-පුත් මෙන්ම ගුරු-සිසු සම්බන්ධය නිසා දෙදෙනා අතර තද ආදර ගෞරව බැඳීමක් ඇතිවුනා. පරණ වඩු මඩුව ක්රමයෙන් ප්රකෘතිමත් වුනත් රොමානිස් තවම එහි ඕනම වැඩක යෙදුනේ තාත්තා පරීක්ෂාවෙන් තමා දෙස බලා සිටියි යන සිතිවිල්ලෙන්.
තාත්තා හදපු ගෙදරත් ටිකක් ලොකුකළේ සුමනා කැන්දන් එන්න ඉස්සර. අම්මගෙයි තාත්තගෙයි ඕනෑකම නිසාමයි රොමානිස් වඩු මඩුව බාරගෙන වඩු ගෙදරම පදිංචිවුනේ. ජයනේරිස් මල්ලී ඉස්කෝලෙන් අස්වුන වහාම ලීබඩු සාප්පුවක වැඩට මොරටු පලාතට ගියා. ජයනේරිස් දැන් ගමේ එන්නේ කලාතුරකින්. පානදුර පැත්තෙන් කසාදයක් බැඳගත්ත ජයනේරිස් අංතිමට ගමේ ආවේ අම්මගෙ මල ගෙදරට - දැන් අවුරුදු හයකට ඉස්සර. ඊට අවුරුදු දෙකකට ඉස්සර තිබුන තාත්තගෙ මල ගෙදරට ජයනේරිස්ගෙ පවුල ආවේ පළමුවෙනි සහ අවසාන වරටයි. ජෝඩුවගෙ දරුවෝ දෙන්නා තාත්තගෙ ගමට ඇවිත්ම නෑ.
රොමානිස් තම මල්ලිගෙ වැරැද්දක් දුටුවෙ නෑ. පොඩි කාලේ පටන් සහෝදරයෝ දෙන්නා පෙන්වා සිටියේ හාත්පසින්ම වෙනස් ගතිගුන. කතාවට ඇති දක්ෂතාවයත් කඩවසම් පෙනුමත් නිසා ජයනේරිස්ට ව්යාපාරික ජීවිතය හොඳින් ගැලපුනා. දක්ෂ වඩු ශිල්පියෙක් මෙන්ම එයට ඔබින සන්සුන් බවත් නිසා පියාගේ ව්යාපරය අනාගතයට ගෙනයෑම රොමානිස්ට ඉතා සුදුසු බව සහෝදරයෝ දෙදෙනාම පිළිගත්තා. කිට්ටුවෙන් ආශ්රය නොකලත් දෙදෙනා අතරේ කිසිම අසම්මතියක් තිබුනෙ නැ.
අල්ලපු ගමේ උපන් සුමනා රොමානිස්ගෙ අම්මගෙ දුර නෑදෑයෙක් නිසා කසාදේ කතාකරගත්තේ නෑදෑකම් මතක්කරලා. රොමානිස් වගේම සන්සුන් චරිතයක් ඇති නිසා දෙන්නා කලබල රහිත විවාහ ජීවිතයක් ගෙව්වා. එකොලොස් හැවිරිදි පුත් සුනිලුත් රොමානිස් අච්චුවේමයි.
සුමනා තේ කෝප්ප දෙකකුත් අරගෙනම එලියට ආවේ ‘කාරණාවක් කියන්ට’ සෑහෙන වෙලාවක් යනබව දැනගෙනයි.
රොමානිස් යතුකැටය නිසි තැන නිසි විදිහට තියලා සීරුවෙන් සුමනා දෙස හැරුනා.
“මේ තේ බීලම කිව්වනං කාරණේ”
රොමානිස් වඩු මඩුවේ කොනේ බංකුවේ වාඩිවෙලා තේ උගුරක් බිව්වා. ඔහු නුපුරුදු දෙයක් කරන්න උත්සාහ කරන්නෙක් වගේ ටිකක් ඇඹරුනා. සුමනට පොඩි බයක් ඇතිවුනේ රොමානිස් ලෙඩක් දුකක් ගැන කියන්න යනවද හිතිලා.
“ඉතින් මොකද්ද ඔය කාරණාව?”
රොමානිස්ගෙ බැල්මේ සුමනා දුටුවේ බැරෑරුම් ගතියක්.
“ඉස්සරවෙලා පොරොන්දුවෙනවද කාටවත් මං කියනදේ නොකියා ඉන්ට? පොඩි එකාටවත්? දිවුරනවද?”
“මොකද්ද අම්මප මේ කතාව? මොන විපත්තියක්ද? පුතාටත් නොකියන?”
“නෑ බං… ඇති විපත්තියක් නෑ! අපේම ආරස්සාවට මං කියන්නේ…මාත් උඹට විතරයි කියන්නේ… උඹට නොකියා කිසි දෙයක් කරන්ට බෑ බං…”
සුමනගෙ හිත ටිකක් මොළොක්වුනා ඒ වචනෙට.
“ඉතින් කියාප්න්කෝ… මං ආයෙ කාටවත් ඕක මතුරන්නෙ නෑ… සුනිල් කොල්ලටවත්”
රොමානිස් සුමනා දිහා විනාඩියක් බලාගෙන හිටියා ඇසිපිය නොගසා.
“මං ලොතරැයිය දිනුවා බං… ලස්ස තිහක්!”
………………………
දවල් කෑමෙන් පස්සේ රොමානිස් වඩු මඩුවේ වැඩකළෙත් සුමනා ගේ පිටුපස සුද්ධ කළෙත් තම තමාගේ පෞද්ගලික සිතිවිලි වල වෙලිලයි. පාසැල් අවසානේ ගෙදර ආ සුනිල් කෑමෙන් පසුව වෙනදා මෙන්ම වඩු මඩුවේ ඉවතදැමූ ලී කෑලි වලින් සෙල්ලම් බඩු නිර්මාණ කළා.
වැඩිහිටියෝ අළුත ලැබූ ධනය නැවතත් මාතෘකාවක් කරගත්තේ නිදාගන්න ලයිට් නිමුවට පස්සෙයි.
“මොකද්ද දන්නවද බං මට දැන් මතක්වෙන්නේ? ඉස්කෝලේ ගියකාලේ කියවපු පොතක්… ‘රොමාගේ වාසනාව’…!”
සුමනට හිනා ගියා.
“ඒක මං අහලා නෑ… ඒකත් බාස් උන්නැහේ කෙනෙක් ගැනද?”
රොමානිසුත් අඳුරේ හිනාවුනා.
සාමාන්යෙන් විහිළු වලට නුපුරුදු දෙන්නා සද්ද නැතුව එකිනෙකා හුස්ම ගන්න සද්දේ අහගන හිටියා.
“ඈ බං? පංසලේ ලොකුහාමුදුරුවට හරි ඉස්කෝලේ ලොකුමහත්තයට හරි කතා කරොත් නරකද මේක ගැන ටිකක් දැනගන්ට?”
රොමානිස්ට තේරෙනවා අළුත ලැබුන වාසනාවෙන් හරි ප්ර්යෝජන ගන්න තමා නොදන්න බව. හදිසියේ අතට විශාල මුදල් සම්බාරයක් ලබා ජීවිත වනසාගත් පවුල් ගැන ඔහු පත්තරේ කියවා තිබුනා. නමුත් මේ වගේ අවස්ථාවක උදව් ඉල්ලන්නේ කාගෙන්ද කියලා හිතාගන්න බෑ…
“අනේ හාමුදුරුවෝ ලඟට යනවට මං කැමති නෑ… අර ගියසැරේ ඝණ්ටාර අරමුදල මතකනේ කාර් ගන්ට වියදම්වුන හැටි… හැබැයි බස්නායක ලොකුමහත්තයට කතාකරොත් හොඳයි තමා - එයා පිටගං කාරයෙකුත් නේ”
“හ්ම්… මං හිතලා බලන්නං - හදිස්සියක් යෑ?”
………………
ඇත්තටම හදිස්සියක් තියෙනවා කියලා හිතුනේ දවස් තුන හතරකට පස්සේ. එදා හවස හන්දියේ කඩෙන් ගෙදරට අවශ්ය බඩුමුට්ටු කීපයක් අරගෙන පාරට බැහැපු වෙලාවේ ත්රී වීල් නවත්තන තැන ඒකක් එලවන ‘කොට ජෝන්’ රොමානිස්ට කතාකරා.
“බාසුන්නැහේ පයින්? යං වීල් එකේ”
රොමානිස් නැවතිලා කොට ජෝන් දිහා බැලුවා; කියපුදේ පැහැදිළිව ඇහුනෙ නෑ වගේ.
“මොකද්ද දරුවා?”
“නෑ… මං කිව්වේ… දැන් ඉතින් පයින් යන්නේ මොකටද නේද?”
රොමානිස්ට තවම කොට ජෝන්ගෙ කතාව වැටහුනේ නෑ. ඒ ව්යාකූලතාවෙන් ගැලවුනේ අනික් රියදුරෙක්ගෙ මැදිහත්වීමෙන්.
“මේ කොටාට පිස්සු බාසුන්නැහේ… ගනං ගන්ඩ එපා… උඹ කතා කරන්ඩ ඕන වෙලාවයි කතාකරන්ඩ ඕනැ නැති වෙලාව තේරුම් ගනින් කොට ජෝන්!”
රොමානිස් බිම බලාගෙන ගෙදර පැත්තට ගියේ අවුල් හිතෙන්. අවුල නිරවුල්කළේ සුමනා.
“හොඳටම විශ්වාසද කවුරුත් දන්නෙ නෑ කියලා ලොතරැයි කතාව?”
“මම කිසි කෙනෙකුට කිව්වෙ නැතිවුනාට පත්තරේ වැටෙනවා… කවුරුහරි දකින්ට ඇති”
“අප්පා ඉතින් පත්තරේ වැටෙනවානං අපි කිව්වත් නැතත් වෙනසක් වෙන්නෙ නෑ නේද… ඉස්කෝලේ මහත්තයා හම්බවුනොත් නරකද?”
“හැබෑට ඒ කන්තෝරුවේ එවුන් පින්තූරෙකුත් ගත්තා තමා… කොල්ලටත් ආරංචි ඇති එහෙනං… කෝ සුනිල්?”
“ආං වඩු මඩුවේ - වෙන කොහෙද? අපි දෙන්නම ගිහින් කියමුද?”
“හ්ම්…”
සුනිල්ට ආරංචිය කියන එක අමාරුවුනේ නෑ. ඒ පුතා කතාව දැනටම දන්න නිසා.
“මට නිශාන් කිව්වා තාත්තා ලොතරැයි දිනුවා කියලා… ආයෙ වඩුබාස් වැඩ කරන්නෙ නැතිවෙයි කිව්වා…”
“මොන පිස්සු කතාද! වඩුවැඩ නොකර ඉන්ට? යකෝ මම තාත්තගෙන් වඩුවැඩ ඉගෙනගත්තේ වෙන දේ කරන්ට නෙවෙයි - මම මැරිලා යනකං මේ වඩුමඩුවේ තමා වැඩ…”
සුනිල් ගිහින් තාත්තා ලඟින් හිටගත්තා.
“මාත් එහෙමයි!”
සුමනා කඳුලු පිහදාගෙන රොමානිස්ට කතා කළා.
“රැවෙන්ට ඉස්සර ඉස්කෝලේ මහත්තයා හම්බවුනොත් හොඳයි නේද?”
…………………..
“ලොතරැයියක් දිනුවොත් අපිට ඒක රහසිගතව තියාගන්න බෑ. මිනිස්සු පත්තර කියවනවා, ටීවී බලනවා - කිසි දෙයක් හංගන්න බෑ. මම මේ කියන්නේ ඒකේ හරි වැරදි ගැන නෙවෙයි - ඔය වැඩ වෙන්නේ ඒ විදිහට; අපි මොනවා හිතුවත්, කිව්වත්”
රොමානිස් ඉස්කෝලේ මහත්තයගෙ ගෙදර කන්තෝරු කාමරේ වාඩිවෙලා ලොකු මහත්තයගෙ කතාව අහගෙන හිටියේ ගුරුකාමරේට කැඳවූ සිසුවෙක් වගේ.
“රොමානිස් බාස් උන්නැහේ ඉස්සරවෙලාම පිළිගන්න ඕනෑ තමා දැන් සෑහෙන වත්කමක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම හිතට කාවද්දගන්න ඕනෑ වත්කම තියෙනවා කියලා ජීවිතේ වෙනස් කරන්න ඕන නෑ කියලා… තේරුනාද?... මේවා හිතන තරම් ලේසි නෑ සමහරුන්ට - නමුත් රොමානිස්ට ඒක අමාරු වෙන එකක් නෑ - වඩුකර්මාන්තයේ උඩින්ම ඉඳලත් හමදාම චාම් විදිහට ජීවත්වුන නිසා”
“ඊලඟට මතක තියාගන්න වත්කම අයිති රොමානිස්ට - ලංකාවේ නීතියෙන්. වෙන කාටවත් ඒකට අයිතියක් කියන්න බෑ… රොමානිස් කිසි කෙනෙකුට ගැතිකමක් නෑ… තේරෙනවා නේද මම කියනදේ? … ඕනෑම කෙනෙකුගේ උදව් ඉල්ලීමක්, ආයාචනයක් ප්රතික්ෂේප කරන්න රොමානිස්ට පුළුවන්… එහෙම ප්රතික්ෂේප කරන්න ඉගෙනගන්න වෙයි!”
රොමානිස් කතාකළේ හෙමින්, බිම බලාගෙන.
“අනේ ලොකුමහත්තයා මගෙන් උදව් ඉල්ලපු අයට මම ඉස්සර ඉඳන් පුළුවන් තරමට උදව් කරන්ට බැලුවා… පංසලට මේස පුටු හදලා දුන්නා… ගමේ දුප්පත් අයට මිනීපෙට්ටිත් හදලා දුන්නා මගෙ වියදමෙන්… දැන් ඒවත් බැරිද?”
“අපෝ නෑ… ජීවිතේ වෙනස් කරන්නෙ නෑ කියන්නේ ඒ වගේ දේ දිගටම කරගෙන යන එකට… නමුත් හදිසියේ දසදහස් ගනන් ඉල්ලන අයට ‘බෑ’ කියන්න වෙනවා…”
රොමානිස්ගෙ මුහුනේ පෙන්වූයේ හදිසි වාසනාවකින් අසරණ වූයෙක්. පෙරදී පැහැදිළිව පෙනුන අනාගතය දැන් සම්පූර්ණෙන්ම මග සලකුණු රහිතයි. ඉස්කෝලේ මහත්තයට තේරුනා රොමානිස්ගෙ දෙගිඩියාව.
“ලොතරැයි මංඩලේ කට්ටිය බැංකු ගිනුම් ගැන එහෙම කිව්වද? ඒ අය දැන් දිනන්නන්ට හොඳ උපදෙස් දෙනවා කියලා ආරංචියි”
“ඔවු ලොකු මහත්තයා… ස්ථාවර තැන්පත් තමා බැලුවේ…”
“පුතා දහ අට වෙනතුරු මුල් මුදලට අතගහන්නෙ නැතුව ජීවත් වෙන්න පුළුවන් - ඕනනම් පොලිය විතරක් පාවිච්චියට අරගෙන… මම පුතාගෙ වයස දහ අට කිව්වේ ඒ වෙනකොට එයා වැඩිදුර ඉගෙනගන්නවද, රොමානිස්ගෙ වඩු මඩුවෙම වැඩකරනවද, ඒත් නැත්නම් කොහෙ හරි වෙන රස්සාවකට යනවද කියන ප්රශ්න වලට උත්තරයක් සොයාගෙන තියෙයි. ඒ වයසෙන් පස්සේ වුනත් පවුලේ තුන්දෙනාම එකතුවෙලා තමා ලොකු තීරණ ගන්න වෙන්නේ…”
ලොකු මහත්තයා රොමානිස් දිහා කරුණාවෙන් බලාගෙන හිටියා.
“ඒ ලොකු තීරණ… ඊට ඉස්සර රොමානිස්ලට පොඩි තීරණ හුඟාක් ගන්න වෙනවා - ඒකට දැන්මම ලෑස්තිවෙන්න වටිනවා!”
“මොනවගේ පොඩි තීරණද ලොකු මහත්තයා?”
“ආධාර ඉල්ලලා එන ලියුම්, ටෙලිෆෝන් පනිවිඩ, අච්චු ගහපු ආධාර පත්ර වගේ දේ කොහොමද පාලනය කරන්නේ? නිකම්ම කුණුගොඩට දාන්න බෑ… ඊටත් ඉස්සර හිතාගන්න ඕනෑ පාරේ හමුවෙන නැත්නම් ගෙදරටම ඇවිත් උදව් ඉල්ලන අයට මොනවද කියන්නේ කියලා? මේවා රොමානිස්ලාම හිතාගන්න ඕනෑ… මිනිස්සු තරහකරගන්න අවශ්ය නෑ, නමුත් ඒ අය කියන විදිහට කටයුතු කරන්නත් අවශ්ය නෑ!”
“අනේ මං දන්නෙ නෑ මහත්තයා…”
“රොමානිස් මේ ගමේ ඉන්න වැදගත් කෙනෙක් - වඩුවැඩට දක්ෂ වගේම අවංක, නිහතමානී කෙනෙක් හැටියට ගැමියෝ ගරු කරනවා. රොමානිස් යමක් කිව්වොත් ගැමියෝ විවාද කරන්න එන එකක් නෑ”
………………………..
ඉස්කෝලේ ලොකු මහත්තයගෙ අවවාදේ ඇත්තත් නැත්තත් දවස් කීපයකින් පැහැදිළිව ඔප්පුවුනා. ‘පොඩි තීරණ’ කතාව සම්පූර්ණෙන්ම ඇත්ත බව දැක්වුනේ ලැබුන ආයාචන ගොන්නෙන් - ලියුම් මිටියකුත්, ලියාගත් ටෙලිෆෝන් පනිවිඩ ගොන්නකුත්, ගෙදර පැමිණි ගැමියෝ සංඛ්යාවත්, වෙනදට වඩා මිත්රලෙස කතා බහට එකතුවූ අයත් මෙයට සාධකවුනා. නමුත් ලොකු මහත්තයගෙ වචනේ සම්පූර්ණෙන්ම වැරදි වුනේ ආධාර ඉල්ලන්නෝ තමාගේ ‘තීරණ ගැන විවාද නොකරයි’ යන කියමනයි.
ලියුම් සහ ටෙලිෆෝන් පනිවිඩ වර්ග කිරීම සුනිල් බාරගත්තා. මේවායෙන් වැඩිම ප්රමාණයක් පවුල නොහඳුනන මෙන්ම කිසි දිනක අසා නැති පුද්ගලයන්/සංවිධාන කොටසට අයිතිවූවා. ඉතිරි ඒවායෙන් වැඩි කොටසක් ආධාර ඉල්ලා හිටියේ ලෙඩදුක්, රැකියා හා අධ්යාපන ක්ෂේත්ර වලට සම්බන්ධ ආර්ථික ප්රෂ්න විසඳීමටයි. මේ සියල්ලට උත්තර නොදී සිටීමට පවුල තීරණය කළා. හොඳින් දන්නා හඳුනන අයගේ ඉල්ලීම් ප්රතික්ෂේප කළේ ආචාරසම්පන්න මෙන්ම පැහැදිලි වචනෙන්. පුද්ගලිකව හමුවී උදව් ඉල්ලන්නන්ට රොමානිස් තනිවම තමාගේ තීරණ පැහැදිලි කළා.
“මට තේරෙනවා දහම් පාසැලට පරිගනක යන්ත්ර ඕනෑ කියලා… නමුත් මගෙ ජීවිත රටාව ඊයෙත්, අදත්, හෙටත් එකයි… තමුන්නාන්සෙගෙ අවශ්යතාවය මේ සතියේ සිද්ධවුන දෙයක් නෙවෙයි…”
“මහත්තයා දන්නවානේ මම දේශපාලනේට ගෑවෙන්න කැමති නෑ කියලා… මොන පක්ෂේ දිනුවත් මම හැමදාම හිටපු විදිහට තමා ඉන්නේ…”
“මුදලාලී ඔය මොනවා කිව්වත් ඔය කියන ඉඩම් කෑල්ල මට ගන්න ඕනකමක් නෑ… අපි ඉන්න විදිහට මේ තියෙන කෑල්ල අපිට ඇති…”
“අවුරුදු උත්සවේට වෙනසැරේ වගේම වේදිකාව හදලා දෙනවා - ආයෙ ඒවා වෙනස් කරන්ට ඕනැ නෑ නේද?...”
“ළමයා ඉගෙන ගන්න දක්ෂ එක කොයි තරම් හොඳද! ටවුමේ ඉස්කෝලෙකට දාන එකට වීරසිංහ අයියට හොඳ වියදමක් යයි නේද? සුනිල් කොල්ලා ගමේ ඉස්කෝලෙන් එලියට ගන්ට මගෙනම් අදහසක් නෑ - බස්නායක ලොකු මහත්තයා හරිම හොඳයි ගමට”
“පිංකම වෙන අවුරුදු වලට වඩා වෙනසක් නෑ - තාත්තයි අම්මයි වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ නෑ…”
“ළමයට කොරියාවට යන්ට වියදම්… අරනොලිස් අයියා ඕකට මට සම්මාදම් වෙන්නට කියලා අපේ ඇයි හොඳයි කම් නැතිකරගන්ට මං කැමති නෑ…”
මේ එක් කෙනෙක්වත් රොමානිස්ගේ වචනය පිළිගෙන විවාද නොකර අයින්වුනේ නෑ. නමුත් පළමු වාක්යයට පස්සේ රොමානිස් පසුබැස්සෙත් නෑ.
…………………………….
සිකුරාදා හවස් වෙනකොට රොමානිස්ට හොඳටම මහන්සි - මුළු ගෙදරකට ඇතිවෙන්න දොර ජනෙල් එක දවසෙන් හැදුවා වගේ. සුමනා ඉඳ හිට කඳුළු හෙළුවේ රොමානිස්ගේ අසහනයටත් වඩා සුනිල්ට ඉස්කෝලේදී ‘කුණා’ යන විකට නම වැටීම නිසයි. තුන්දෙනාම ගෙදර ඉස්තෝපුවේ වාඩිවෙලා සතියේ සිද්ධවූ දේ ගැන කතාකළේ සතුරන් වටකරගත් කූඩාරමක ඉන්න සොල්දාදුවෝ තිදෙනෙක් වගේ.
“’රොමාගේ වාසනාව’ කියන්නේ මේක නම් රොමාගෙ අවාසනාව කොහොම ඇද්ද?”
ඒ පොත ගැන සුනිල්ට කියලා දෙන්න වුනේ සුමනට. රොමානිස්ගෙ කටින් පොඩි විහිළුවක් හරි ඇහෙන එක සුමනට සැනසුමක්.
“හැබැට මේ කරදරේ තව කොච්චර කල් තියෙයිද?”
“හොහොම කියන්ටද බං… ඇති යන්තම් රෑටවත් මෙ හිරිහැරේ නැති එක … රෑටත් ටෙලිෆෝන් එක වදින්ට පටන්ගත්තම තමා මට හොඳටම පිස්සු හැදෙන්නේ!”
ඒ වෙලාවෙම ටෙලිෆෝන් එක නාදවුනා, හරියට රොමානිස්ගෙ වචනේ ඇහුනා වගේ.
“මං යන්නං”
සුනිල් ඉක්මනට ටෙලිෆෝන් එක ලඟට ගියේ ඒ සීනුවේ සද්දෙත් තාත්තට හිරිහැරයක් බව දන්න නිසයි. නමුත් සුනිල් ආපහු ආවේ බොහොම හෙමින්.
“කවුද මේ රෑ?”
“… බාප්පා…”
රොමානිස්ගෙ මුහුන හොඳටම අඳුරුවුනා, තරහ යටපත්කරගන්න අමාරු තරමට.
“ඒකටත් මගෙ ඔළුගෙඩියවත් ඕනෑ ඇති…” මුමුනා ටෙලිෆෝනය වෙත ගියේ ලොකු කලකිරීමකින් පීඩා ලබන්නෙකු වගෙ.
“හ්ම්… මොකද මේ රෑ?”
“අයියා තරහෙන් වගේ!”
“නැ මං බැලුවේ උඹ මොකද කාලෙකින් කතාකරේ කියලා… උදව්වක් ඕනනම් පෝලිමේ වරෙන්!”
ජයනේරිස් හඬනගා හිනාවුනා.
“අයියා හිතුවේ මං හිඟමනේ ආවා කියලද? … හැබැයි එහෙම හුඟක් අය එන්න ඇති නේද?”
“වැල නොකැඩී! මගෙ ලොතරැයියට ඉස්සර මුං කොහොම ජීවත්වුනාද මංදා! උඹටත් ආරංචියි එහෙනං?”
“මාත් පත්තරේ කියවනවා අයියා… මං මේ කතාකරේ අයියා කොහෙන් හරි මුදල් උපදෙස් ගන්නවද කියලා බලන්න… අඩුම ගානේ බස්නායක ඉස්කෝලයටවත් කතාකළොත් හොඳයි…”
“මං ලොකු මහත්තයට කතාකරා… එයා තමා කිව්වේ එක එකාට ඕන විදිහට වියදම් කරන්ට එපා - බැංකුවේ ස්ථාවර තැන්පත් එහෙම… ජීවිතේ වෙනස් කරන්ට එපා… එහෙම දේවල් ගැන කතාවුනා…”
“ඒක හොඳයි අයියා… වටේටම මිනිස්සු කැරකෙයි කාක්කෝ වගේ පුළුවන් තරම් ඩැහැ ගන්න… මට හම්බවෙලා තියෙනවා අනන්ත ඒවගේ මිනිස්සු මගෙ රස්සාවේ. අහුවෙන්න එපා - හුඟක් එවුන් හොරු!”
රොමානිස් ටිකක් හිතුවා.
“කවද්ද දැක්කේ මගෙ නම් පත්තරේ?”
“දැන් පැයකට විතර ඉස්සරවෙලා. මං දිනපතා පත්තර බලන්නෙ නෑ. අද පවුලයි පොඩිඋනුයි පවුලගෙ ගෙදර ගියා - ඒකයි මේ පරණ පත්තරේ බැළුවේ… මම ගැස්සිලා ගියා අයියගෙ නම දැකලා - ඒකයි කෝල් කරේ”
“හිතුවද මම දිනපු ඒවා පංසලට පූජා කරා කියලා?”
ජයනේරිස් ආයෙත් හිනාවුනා.
“අයියා හොඳ සන්සුන් මනුස්සයෙක් - මං වගේ තැලිලා පෙලිලත් නෑ, මං වගේ කට්ටත් නෑ. දැන් අපි පානදුරේ කිසි කරදරයක් නැතුව ඉන්නේ අයියට පිංසිද්ධ වෙන්න කියලා අයියා දන්නෙ නෑ”
ජයනේරිස්ගෙ කටහඬේ දැන් ඇහෙන්නේ හිනාවක් නෙවෙයි - කනගාටුවක්.
“අයියා තාත්තගෙ වඩු මඩුව බාර අරගෙන මාව මුදාදාපු නිසා තමා අපි මේ මෙහාට වෙලා හොඳින් ඉන්නේ…. මට වඩු වැඩ බෑ - වඩු වැඩ කරන්න ආසාවකුත් නෑ. ගමේ හිටියානම් මම තාත්තගෙ හොඳ නමත් කැත කරලා අයියත් එක්කත් රන්ඩුවෙලා… තව මොනවා මොනවා කරගන්න ඉඩ තිබුනද? අපි දෙන්නම අපිට හරියටම හරියන පැත්තට යොමුවුනා… එච්චරයි මට කියන්න තියෙන්නේ… ඕන උදව්වක් මගෙන් ඕනනම් අයියට අහන්න විතරයි තියෙන්නේ”
රොමානිස් කල්පනාවෙන් ඉස්තෝප්පුවට ආවේ සුමනටයි සුනිල්ටයි පොඩි සිනාවක් පෙන්වලා.
“… හැබෑට ලෝකේ ඉන්න සේරම කාක්කෝ නෙවෙයි… මල්ලී ඒක මට පෙන්නලා දුන්නා… සහෝදරයෙක් කියන කෙනෙකුගෙ වටිනාකම මට දැන් තමා දැනෙන්නේ - ඒකයි රොමාගේ වාසනාව!”