ලෝහ කැඳවන්නා

ලෝහ කැඳවන්නා

අවුරුදු තිහකටත් වැඩිය කරපු රස්සාවෙන් හැට පැනපු ගමන්ම අයින් වෙන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. රස්සාව කරනකොට මගෙ ජීවිතේට තිබුන පිලිවෙලයි අරමුනයි එක දවසකින් සම්පූර්නයෙන්ම නැතිවෙලා ගියා. ඒ අවුරුදු ගනනාවක් තිස්සේ වැඩි දියුණු උන ජීවිත ‘සැලැස්ම’ එක දවසිකින් බිඳ දමන එක නාය යෑමකින් ගමක් විනාශ වෙනවා වගේ ම්ට දැනුනේ. එකම වෙනස මට ආයෙත් ගමක් ගොඩනංවන්න වෙලාවක් නෑ.

විශ්‍රාම ගත්ත පලවෙනි සතිය කිසිම කරදරයක් නැතුව ගෙවිලා ගියා. කල් දම දමා තිබුන ගෙදර වටේ වත්තේ වැඩ ටිකෙන් බාගයක් එක සතියෙන් කර ගන්න පුලුවන් උනා. ගමෙන් බංඩා ගෙන්නාගෙන එලවලු පාත්ති කීපෙකුත් හදාවාගෙන අවට ගස් වල අතු ටිකකුත් කප්පවා ගත්තා පාත්ති වලට ඉර එලිය ටිකක් වැටෙන්න. වත්තේ වැඩ ඇරුනුකොට ගේ වටේ කානු එහෙමත් සුද්ද කරලා අලුත් ටැප් එකකුත් හයි කරා. සතියකින් මේ තරම් වැඩ කෙරුන එක මට පුදුමයි, සන්තෝසයි. සති අන්තයේ අපෙ පුතා එහෙමත් ඇවිල්ල අපි පොඩි පාටියකුත් දැම්මා මගෙ විශ්‍රාමය නිසා.

“දැන් අප්පච්චී මොකොද කරන්න අදහස?” පුතා මේක ඇහුවේ සෙනසුරාදා හවස අපි දෙන්නා ගේ පිටිපස්සේ අඹගහ යට බංකුවේ වාඩි වෙලා ඉන්න වෙලාවේ.

“ගෙදර වටේට තව මාසෙකට වැඩ තියෙනවා… කාලෙකින් මහංසිවෙලා වැඩ නොකරපු නිසා ඒක ඇඟටත් හොඳයි”

“නෑ… මම ඇහුවේ ආයෙ කොන්සල්ටිං වත් කරන්න බලනවද? හැමදාම වත්තේ වැඩම කරන්න බෑ”

මට හිනහ ගියා.

“ඇයි මට රස්සාවක් දෙන්නද බලන්නේ? දැන් වැඩ කරා ඇති…අම්මටයි මටයි ටිකක් නිවිහැනිල්ලේ ඉන්න පුලුවන්, දැන් වත්”

“හැබැයි හිතලා බලන්න වටිනවා….ඇඟට වගේම මොලේටත් ව්‍යායාම ඕනෑ”

“…බලමු තව මාසෙකින් විතර…”

මාසයක් යන්නත් ඉස්සර වත්තෙන් ලැබුන සතුට අඩුවෙන බවක් මට දැනුනා. උදේට නැගිට්ටම තේ එකක් හදාගෙන බොනවා ඇරුනුකොට වෙලාවට කරන්න කියලා කිසිම දෙයක් දකින්න නෑ. වත්තේ ගස් වැල් වැවෙන්නේ බොහොම හෙමින් - දවසෙන් දවසට වෙනසක් පෙනෙන්න නෑ. පත්තර, රේඩියෝ, ටෙලිවිශන් වගේ මාද්‍ය වල මගෙ උනන්දුවක් ඇලුමක් ඇතිකරන දේ තියෙන්නේ බොහෝම ටිකයි. මගෙ රස්සාව වගේ නෙවෙයි මේ මාද්‍ය රටේ ජීවත්වෙන සේරටම හරියන විදිහට ප්‍රචාරය කරන්නේ. අනික, මට වගේ නෙවෙයි මගෙ පවුලට ඕන තරම් වැඩ තියෙනවා වෙනදා වගේම; මගෙන් වෙන්නේ ඒ වැඩට බාදාවක් මිසක් උදව්වක් නෙවෙයි. මම වෙලාව ගෙව්වේ එහෙ මෙහෙ ඇවිදීමෙන්, අන්තර්ජාලෙන් මගෙ පරන වෘත්තීයේ තොරතුරු බැලීමෙන්, ඉඳල හිටලා ටවුමට යෑමෙන් ඇරුනුකොට කිසිම හිත පිරවෙන කාර්‍යයක් කරලා නෙවෙයි. කාටවත් නොකිව්වට මට දැනුනේ මම හරියට තනියම කූඩුවක හිරකරපු බල්ලෙක් වගේ.

ඒ දවස්වලම ආනන්දගෙන් ලියුම ආවෙ නැත්තම් තව කොච්චර කාලෙකින් පිස්සු හැදෙයිද කියලා හිතනකොටත් මට බය හිතෙනවා.

ආනන්ද අපිත් එක්ක ඉස්කෝලේ ඉඳලා අපිට ඉස්සර විශ්වවිද්‍යාලේ ගිහින් රසායන විද්යාව කරා. වෙන දේ කරනකොට පිස්සා උනත් එයා විද්‍යාවට නම් බොහොම දක්ශයි. මම මගෙ පලවෙනි රස්සාවට යනකොටත් මිනිහා රට ගිහින් අයි එෆ් එස් එකේ වැඩ කර කර ඉඳලා. අපි ආයෙ මුන ගැහුනේ අවුරුදු විස්සකට විතර පස්සේ, දැනට අවුරුදු දහයකට විතර ඉස්සර, කොළඹදී.

මම එතකොට අපෙ දෙපාර්තමේන්තුවේ ටිකක් උසස් රස්සාවක හිටියේ. දවසක් හවස හතරට විතර අපෙ පියන් මට කිව්වා මාව හම්බුවෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. බලනකොට රවුලයි කොන්ඩෙයි දිගට වවාගෙන පරන ජීන්ස් එක්ක ටී ශර්ට් එකකුත් ඇඳගෙන කාමරේට ආවේ ආනන්ද. එයා මගෙ ටයි එක දිහා ටිකක් බලාගෙන හිටියා.

“ඈ බං … උඹ දැන් ලොක්කෙක්ද?”

අපි දෙන්නටම හිනා ගියා. එදා හවස අපි දෙන්නා අපෙ ගෙදර ඇවිත් රෑ මැදක් වෙනකම් කතා කර කර හිටියා. ආනා ආචාර්ය උපාදියට කල දේයි, ආංඩුවේ දෙපාර්තමේන්තු එපා උන හැටිත්, එයා එයාගෙම කොම්පැනියකුත් හදාගෙන පර්යේශන වගෙයක් කරගෙන යන හැටිත් කිව්වා. මිනිහා කියපු සමහර විද්‍යා සිද්ධාන්ත මම හොඳින් දැනගෙන හිටියෙ නෑ.

“ආනා දන්නවනේ මම ඔය ෆීල්ඩ් එකේ නෙවෙයි. මට තේරෙන්නේ ඉන්ජිනේරු වැඩ විතරයි - ඒකත් දැන් අඩුවෙන් කෙරෙන්නේ ඇඩ්මිනිස්ට්රේශන් ගොංපාට් නිසා”

“මචං උඹලා වගේ උමුත් මේවා ගැන හිතලා බලන්න ඕනෑ … අපෙ පරිසරය බේරාගන්න එක අපි සේරමගෙ යුතුකමක්”

“දැන් උඹෙ කොම්පැනිය ආංඩුවේ වැඩ කරනවද?”

“ආංඩුවේ නෙවෙයි පෞද්ගලික කට්ටිය එක්කත් නෑ…මේක මගේම වැඩක්. අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරලා කරන්නේ …. හරි ගියොත්….නරකක් වෙන්නෙ නෑ….”

පහුවදා උදේම ආනා පිටත් උනා මිනිංදෝරු දෙපාර්තමේන්තුවට ගිහින්, ඊට පස්සේ හම්බංතොට යනවා කියලා බස් එකේ. එදා උදේ දැක්කට පස්සේ ආයෙ ආනන්ද දැක්කෙත් නැ, එයාගෙන් කෝල් එකක්, ලියුමක් ලැබුනේ වත් නෑ, පෙරේදා ලැබුන ලියුම ඇරුනකොට.

…..

‘උඹ රිටයර් උනා කියලා ආරංචියි. වැඩිය වැඩක් නැත්තම් වරෙන් මාසෙකට විතර මෙහෙ. ප්‍රොජෙක්ට් එක හොඳට දුවනවා; රිසල්ට්ස් මේ මාසේ බලන්න පුලුවන්. බුත්තල දුටුගැමුනු මහා විද්‍යාලේට අල්ලපු ගෙදරට ඇවිත් මිස්ට ජයනෙත්තිට කතා කරොත් මාව හම්බුවෙන්න සලස්සයි. අරක්කු අරගෙන වරෙන් - ආනා’

ඉස්සරත් ආනන්ද අනවශ්‍ය දේ ලියන්නෙ නෑ - වචන අඩුම ගානෙන් වැඩේ කරගන්නටයි බලන්නේ, හරියට ටෙලිග්‍රෑම් ලියනවා වගේ. ගමනට පවුල කැමති කරගන්න එක මට අමාරු උනේ නෑ. මම කොහෙ හරි යන එක එයාටත් හොඳ ඇති - සමහරවිට පුතා එක්කත් කතාකරලා ඇති. මම පහුවදාම බස් එකේ බුත්තල ගියා.

මම මීට ඉස්සර බුත්තල ඇවිත් නැතත් ඉස්කෝලේවත් මිස්ට ජයනෙත්තිවත් සොයා ගන්න එක මට අමාරු උනේ නෑ.

“ආ…ඩොක්ට රත්නායක හවස් වෙනකොට එයි. මට කිව්වා මිස්ට මීගොඩ අද හෙට එයි කියලා. දැන් ගෙදර ගිහින් මොනවත් කාලා බීලා එයා එනකම් ඉමු”

මිස්ට ජයනෙත්ති මේ පලාතෙම ඉපදිලා, ඉගෙනීමෙන් පස්සේ මෙහෙම ගුරු පත්වීමක් අරගෙන ආපු කෙනෙක්. පස්සේ විදුහල්පති කමක් ලැබිලා වෙන පලාත්වල වැඩ කරාට විශ්‍රාමෙන් පස්සේ ආයෙත් ගමට ඇවිත්. මේ පලාත ගැනත් පලාතේ මිනිස්සු ගැනත් දැන අහගන්න මීට වඩා හොඳ කෙනෙක් නෑ. ඊටත් වැඩිය එයා පලාතේ දියුනුව ගැනත් පරිසරය ගැනත් පුදුම කැක්කුමක් ඇති කෙනෙක්. ආනන්දට ජයනෙත්ති ඉස්සරවෙලාම හමුවෙලා තියෙන්නේ සබරගමුව විශ්වවිද්යාලේදී, ආනන්ද පරිසරයත් ආර්තිකයත් අලලා දීපු දේශනයකදී. පුදුමෙයක් නෙවෙයි ආනා මෙයත් එක්ක ඇතිකරගෙන තියෙන සම්බංදේ. කොහොමටත් ආනන්ද ගෙදර එනකොට අපි දෙන්නා හොඳටම යාලු වෙලා, අපෙ මුල නම් පාවිච්චිකරන්න පටන්ගෙනත් ඉවරයි.

ආනන්දගෙ ජීප් එක ජයනෙත්තිගෙ ගෙදර ඉස්සරහ නැවැත්තුවේ දූවිලි වලාකුලක් අවුස්සාගෙන. කොට කලිසමයි බූට්ස් ජෝඩුවයි විතරක් ඇඳගෙන කලු කන්නාඩි දාගෙන සිටි ආනන්ද ජීප් එකෙන් බැස්සේ කන්නාඩි ගලවලා ඉස්තෝප්පුව දිහා එබිකම් කරමිනුයි.

“මීයා කීයටද ආවේ? ආරි මූට බොන්න මොනවත් දුන්නද? උඹ කාලද ඉන්නේ? මටනම් හොඳටම බඩගිනියි, තිබහයි. අරක්කු ගෙනාවද?”

මේ සේරම කියවුනේ ගෙට ගොඩවෙන්නත් ඉස්සර. මගෙ ඉස්කෝලේ ‘මීයා’ නම අනික් අය ඉස්සරහ පාවිච්චි කලේ නැත්තම් වඩා හොඳයි කියලා මට හිතුනා.

“පොඩ්ඩක් හිටපං මම මේ එළවලු ටික ගේ ඇතුලේ තියලා එනකම්….. ආරි, අනුලා තවම ආවෙ නැද්ද මුනුබුරත් එක්ක? ආහම කියන්න නිහාලුයි මමයි කෑම්ප් එකට ගියා කියලා. අර ඉල්ලපු පොත තවම ඇවිල්ල නෑ කියලත් කියන්න….නැත්තම් ආරිත් එනවද? අපි දෙන්නම ඉන්නවානම් ලේසියි නිහාල්ට ප්රොජෙක්ට් එක ගැන පැහැදිලි කරන්න….මම හත වෙනකොට ආපහු ගෙනත් දාන්නම්”

“මම අනුලට කෝල් එකක් දෙන්නම්…හැබැයි හතට නොවරදවාම ආපහු එන්න ඕනෑ”

මේ කතා මා අවට උනාට මට අගක් මුලක් තේරුනේ නෑ. ජීප් එකේ යනකමුත් ආනයි ආරියි මම එතන නැතුවා වගේ කතා කරේ බැංකු නය ගැනත් පතල් අවසර පත්‍ර ගැනත් මිසක් මගෙන් වෙන්න ඕනෑ මොනවද කියලා නෙවෙයි.

ආනන්ද කෑම්ප් එක කිව්වේ කුඹුක්කංඔය අද්දර තිබුන පොඩි ගෙදරකට. ජීප් එක මිදුලට දානකොට නාකි මනුස්සයෙක් ඉස්සරහට ආවා.

“ඔබියස් මේ මහත්තයගෙ මල්ල ගිහින් කාමරේ තියලා කෑම අරිනවද? අපි ඔයෙන් නාගෙන එනවා. අර ගෙනාපු කුම්බලා තියෙනවනම් කීපයක් බැදලා ගමුද”

“හා සර්…හවසට කඩෙන් මොකවත් ඕනැවෙයිද?”

“ඔන්න ජීප් එකේ ඇති කෑමට බීමට දේවල්”

අපි ඔයේ නාලා ඇවිත් සරම් ඇඳගෙන ඉස්තෝපුවේ තිබුන අකුලන පුටුවල වාඩි උනේ දිග හුස්මක් ඇරලයි. මට ගමනේ වෙහෙස කොපමන තිබුනත් ආනගෙ වැඩගැන ලොකු කුතුහලයකින් හිටියේ, එයාම කතාව පටන් ගන්නකම්. ආනා කොන්ඩෙයි රැවුලයි පිහ පිහ වාඩි උනේ මටත් අරක්කු වීදුරුවක් දීලා. ආරි අරක්කු බොන්න බෑ කියලා අතේ තිබුන තේ කෝප්පය ඉස්සුවා “චියර්ස්” කියලා, වැඩ ගැන කතා කරන්න සංඥාවක් දෙනවා වගේ.

“නිහාල් මට කියන්න….. එක අතකින් මැනිකුයි, අනික් අතින් තඹ, ඊයම් වගේ ලෝහයි, පොලවෙන් වෙන්කර ගන්න විදිහේ වෙනස මොකද්ද කියලා?”

“මැනික් ගරනවා, තඹ එහෙම ඒවා තියෙන ලෝපස් කුඩු කරලා වෙන්කරගන්නවා”

“ඇයි මැනික් ගරනවා වගේ ලෝහවර්ගත් ‘ගරාගන්න’ බැරි?”

“…ලොකුම හේතුව මම හිතන්නේ ලෝහ වර්ග අපිට ඕනෑ ටොන් ගානින් - මැනික් එහෙම ඕනැ නෑ…. ඉල්ලම් ලොකු මදි ටොන් ගනං ලෝහ ගන්න”

“එතකොට රසායනික හේතු?”

“…හේ…ඒක උඹෙ ඒරියා එක…රත්තරං වගේ ලෝහ ඇරුනුකොට අනික් ඒවා සාමාන්‍යයෙන් තියෙන්නේ ඔක්සයිඩ් හරි සල්ෆයිඩ් හරි හැටියට - තනි ලෝහය හැටියට නෙවෙයි….ලෝපස් කුඩුකරගත්තත් තව ක්‍රම යොදලා ලෝහය වෙන්කරගන්න වෙනවා…ආනා…මේක විභාගයක්ද…මාව ගෙන්නා ගත්තේ මේකටද? ….මගෙ වීදුරුවත් හිස්….”

ආරිට හිනා ගියා. මා අතට බෝතලේ දීලා ආනන්ද දිහා බැලුවා.

“ආනන්ද ප්‍රශ්න අහන්නේ නැතුව මෙතන කරන්න යන දේ කිව්වානම් මීට වැඩිය ලේසියි නේද?”

“…හරි….කෙටියෙන් කියනවානම්….මම ගල් කුඩු නොකර ලෝහ වෙන්කරගන්න ක්‍රමයක් සොයාගත්තා. ආරි මට උදව් උනා ඒක පරීක්ෂාකරලා බලන්න. අපි ඒකේ ප්‍රතිපල බලන්න දැන් ලෑස්තියි. උඹට එන්න කිව්වේ පරීක්ෂනයට පිට කෙනෙක් හැටියට, ස්වාදීන ප්‍රේක්ශකයෙක් හැටියට, අපේ ප්‍රතිපල හරි වැරදි සහතික කරන්න….මීට වැඩිය කෙටියෙන් කියන්න විදිහක් මම දන්නෙ නෑ ආරි….මොකොද කියන්නේ?”

“…ඒ කියපු විදිහ වැරදි නෑ….මට කියන්න තියෙන්නේ මේකයි…ආනන්දගෙ ලෝහ වෙන්කරනා ක්‍රමය හරියට වැඩ කරන බව පේනවනම් ඊලඟට අපි කරන්නේ මොකද්ද කියලත් හිතන්න ඕනෑ. මේ ක්‍රමය කාට හරි බාර දෙනවද, විකුනනවද, එහෙමත් නැත්නම් මුලු ලෝකෙටම අයිතිවෙන්න ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා දානවද කියලා නිහාල් අපිට වඩා දන්නවා……. ආනන්ද මේකෙන් පුද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා මම හරියටම දන්නෙ නෑ. වෙන එකක් තියා මම බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලාවත් මම දන්නෙ නෑ. ඒකට හේතුව මේ සොයාගැනීමේ වටිනාකම අපි තවම නොදන්න එකයි….නිහාල්ට පුලුවන් නම් මේක අපිට හොඳින් පැහැදිලි කරන්න ඒක ලොකු දෙයක්”

මේ ආරිගෙ කතාවෙන් පෙනෙන්නේ එයාගෙ හිත හොඳටම පැහැදිලියි. මට පෙනෙන විදිහට, මේ දෙන්නගෙන් ආරි තමා කකුල්දෙක පොලවේ තියාගෙන ඉන්නේ - ආනගෙ මොලේ දුවන්නේ හරියට කූරියා ගහන සරුංගලයක් වගේ නිතර ඉහල පහල පැන පැන.

“මට ටෙක්නිකල් ඩීටේල්ස් ඕනෑ අනාගතේ ගැන හිතන්න ඉස්සර…ඒවා තේරුම් ගත්තැන් පස්සේ තමා මේකේ වටිනාකම තක්සේරු කරන්න පුලුවන් වෙන්නේ, අංතර්ජාලෙත් හොයලා බලලා…”

“මට ඒවා තේරෙන්නෙ නෑ. ආනන්ද ඒවා ගැන කතා කරන්න ඉස්සර මාව ගෙදර ගිහින් දානවද? පොඩි එකාට කියවන්න තියෙනවා නිදන්න ඉස්සර…”

ආනන්ද ආරිව ගෙදර එක්ක ගියේ තනියම - මම කාලෙකට පස්සේ ආනන්දගෙ සිගරට් එකකුත් දල්වාගෙන හිතුවා මොකද්ද මෙතන වෙන්නේ කියලා.

ආනයි ආරියි එකට වැඩකරලා යම්කිසි අලුත් ක්‍රමයක් සොයාගෙන තියෙනවා ලෝහ ලෝපස්වලින් වෙන්කරගන්න. ඉස්සරවෙලාම බලන්න ඕනෑ මේ ‘ක්‍රමය’ තාක්ශනයක් හැටියට වැඩ කරනවද කියලා. ඊලඟට බලන්න ඕනෑ ආර්ථික අතින් ක්‍රමයේ වටිනාකමක් තියෙනවද කියලා. ඊට පස්සේ තමා කරන්නේ මොකද්ද කියලා හිතන්න වෙන්නේ.

මේ ක්‍රමයට පේටන්ට් බලපත්‍ර ගැනීම වැනි දේ අවශ්‍ය නම් පේටන්ට් නීතිය ගැන හොඳින් දන්නෝ අල්ලා ගන්න ඕනෑ. එහෙම අයත්, මෙවැනි බලපත්‍ර ගැනීමේ වියදමත් ආනන්දට නෙවෙයි ලංකාවේ ලොකුම කොම්පැනියකට උනත් දරන්න අමාරුයි.

නමුත් මට තියෙන පලවෙනි වැඩේ ආනන්දගෙන් තාක්ශනේ ගැන හොයා බලන එක. අනික් දේ ඊට පස්සේ වෙන්නත් නොවෙන්නත් හැකියි. ඒවා හෙටට වැඩ. ඇඟේ මහන්සියත් එක්ක කාලා නිදාගන්න තමා දැන් තියෙන්නේ.

……….

“අපි සයිට් එකකට ගියොත් මේක පැහැදිලි කරන්න ලේසියි. දැනට මම තැන් හතලිහක ඉලෙක්ට්‍රෝඩ් හයි කරලා තියෙනවා; ඒක මගේ ලෝහ වෙන්කරගන්නා ක්‍රමයට මූලිකයි. ඒවා එකින් එකට වෙනස්වෙන්නේ අලුත් දේ ටෙස්ට් කරන්න එකතුකල කෑලි බෑලි වලින්. ඒ ඇරුනුකොට සේරම මූලික වශයෙන් එක වගේ. මීයා මේවා දැකපුවාම තේරෙයි මම මෙතන කරන්න උත්සාහ කරන දේ”

ආනා මෙහෙම කිව්වේ උදේ තේ බොන වෙලාවේ. ඊයෙ රෑ අපි මේවා ගැන කතා කලේ නෑ, මට හොඳටම මහන්සි නිසා.

අපි ගිය පලවෙනි ඉලෙක්ට්‍රෝඩ් පිහිටි තැන දැක්කම මට පුදුම හිතුනා. පාරේ වාහනේ නවත්තලා අපි හැතක්ම බාගයක් විතර කාගෙදෝ ඉඩමක් ඇතුලට ගියාම ආනා නැවතුනා. එතන තණකොල ගොල්ලෙම පොඩි කනු හතරකින් වර්ග මීටර පහේ පහේ විතර කොටුවක් ලකුනුකරලා තිබුනා. ඒ කොටුවේ මැද බිමට බස්සපු පයිප්පයක උඩ කොන යන්තම් පෙනෙන්න තිබුනා. කිට්ටු වෙලා බලනකොට අඟල් බාගයක් විතර කම්බියකින් පයිප්ප කෑල්ල කොස් ගහකට ගැටගහලා තිබුන බව පෙනුනා. වෙන මොනවත් නෑ. කිසිම විද්‍යාත්මක උපකරනයක් එතන නෑ…තියෙන පයිප්ප, කම්බි වගේ දේවල ප්‍රවේසමට වටේට සිමෙන්ති දාලා ඉබ්බෙක් හයිකරලාවත් නෑ

“මේකද උඹගෙ වැඩපොල?”

“මේ මගේ පලවෙනි ඉලෙක්ට්රෝඩ් එක; දැනට අවුරුදු දොලහකට ඉස්සර හයිකලේ. අර ගල උඩ වාඩිවෙලා අහගනින් මේක මෙතන තියෙන්නේ මොකටද කියලා….”

ආනන්දත් ගල උඩ වාඩි වෙලා කතාව පටන් ගත්තා.

“උඹට මතකද අපි ඉස්කෝලේ යන කාලේ අර මාකට් එක ලඟ හිටපු මාල වලලු එහෙම සුද්ද කරන මනුස්සයා? මිනිහා ඒකට කිව්වේ ‘ගිනිවතුරේ දානවා’ කියලා. ඒක තමා මම දැකපු පලවෙනි ඉලෙක්ට්‍රෝලිසිස් එක. අපි රසායන විද්‍යාවෙන් ඒක වෙන හැටි දැනගන්නකම් අපිට ඒක මැජික්. ඒ පංතියේ තමා අපි ඉගෙනගත්තේ කැතෝඩ, ඇනෝඩ, ඉලෙක්ට්‍රෝලයිට් වගේ වචන. පස්සේ යුනිවසිටි එකේ මම ඉගෙන ගත්තා එක එක ලෝහ වලට විතරක් වැඩකරන ඉලෙක්ට්‍රෝඩ ගැන - ‘ස්පෙසිෆික් අයොන් ඉලෙක්ට්‍රෝඬ්’. මම මේවා ගැන බොහොම පර්යේෂන කලා - අවුරුදු ගනනක්….මට පතල් කැනීමයි ලෝහ මුදවා ගැනීම වගේ දේවල් වලට හිත ගියේ පස්සේ…”

“මම රට ගිහින් හිටපු කාලේ දවසක් මම යාලුවෙක් එක්ක ගියා මිනිහා වැඩකරන විසාල තඹ පතලක් බලන්න. මේ පාපුවා නිව් ගිනී වල බෝගන්විල් දූපතේ. ඒ පතලේ ප්‍රමානය දැක්කම මට පුදුම හිතුනා. ඒ ඕපන් කට් පතල කිලෝමීටර් පහක් ගැඹුරුයි දෙකක් පලලයි. මේ විශාල ‘වලෙන්’ තඹ ටොන් මිලියන තුනකුත් රත්තරන් ටොන් තුන්සීයකුත් රිදී ටොන් අටසීයක් විතර එලියට ගත්තා. මේවා ගත්තේ ගල් ටොන් කෝටි ගානක් වෙඩි දාලා කඩලා, කුඩු කරලා එක එක බෞතික සහ රසායනික ක්‍රම පාවිච්චි කරලා”

ආනා ඈත කන්දක් දිහා බලාගෙන හිටියා ටිකක් කතා නොකර. ඇත්තටම කියනවානම් ඒ බලාගෙන හිටිය කඳුවැටියටත් වඩා ලොකුයි මේ කියන බෝගන්විල් පතල! මුලු කන්දක්ම කුඩුකරලා ඒකෙන් තමංට ඕනෑ ලෝහ ගන්න එක පුදුම දක්ශ කාරියක් කියලා මට හිතුනේ. ආනා ඊලඟට කතා කලේ හරියට මම හිතපුදේ දැනගෙන වගේ.

“උඹට සමහරවිට හිතෙනවා ඇති මේ ලෝහ වෙන්කරගන්න එක මහා වටිනා වැඩක් කියලා. එක අතකින් ඒක ඇත්ත. නමුත් හාරපු වලෙන් සියයට අනූ නමයක් කිසි වැඩකට නැති ගල් කුඩු, එක එක රසායන ද්‍රව්‍ය වලින් කිලිටි වෙලා - කොන්ටැමිනාශන්. ඒවා ඇල දොල ගංගා වලින් පැතිරිලා ගිහින් මුලු පලාතම කිසි දේකට පාවිච්චි කරන්න බැරි විදිහට දූශණය වෙලා - අවට මුහුදේ මාලුත් නෑ, එලවලු පලතුරු වැවෙන්නෙත් නෑ….කොම්පැනියක ඕනෑ කමට මුලු සමාජයක්ම කාලා දැම්මා.

ආනට මේක හොඳටම හිතට කාවැදිලා වගේ.

“1989 බෝගන්විල් මිනිස්සු යුද්ද කරලා කොම්පැනිය එලවා ගත්තා….තව වටිනා ලෝපස් ටොන් මිලියන ගානක් පොලවේ ඉතුරු වෙලා තියෙනවා. නමුත් ඒ පතල නැවත අරින එක ගැන එක එක්කෙනා කතා කරනවා මිස තවම කිසි දෙයක් වෙලා නෑ…”

මෙතෙන්දී ආනන්දගෙ මුහුනට පොඩි හිනාවක් නැගුනා. මිනිහා මේ සැරේ කෙලින්ම මං දිහා බලාගෙන කතා කරා.

“මම මෙතන ටෙස්ට් කරන ක්‍රම හරිගියොත් ඒ ලෝහ පොලවෙන් ගන්න පුලුවන් වෙනවා - පරිසරයට කිසිම හානියක් නැතුව, පලාතේ අයට කරදරයකුත් නැතුව. ඊටත් වැඩිය, සාමාන්‍ය පතලකට යන වියදමෙන් සියයට එකකින් වැඩේ කරගන්නත් පුලුවන්!”

මගෙ මොලේට එකසැරේම මේ කතාවේ සම්පූර්න තේරුම අන්තර්ග්‍රහණය කරන්න බැරි උනා. තඹ සහ රත්තරන් ටොන් ගනන් ලාබෙට ‘ගරා ගන්න’ ක්‍රම දන්නවානම්….අපිට කරන්න බැරි දෙයක් නෑ…එහෙනම් අපි මොකොද මේ බුත්තලට වෙලා කරන්නේ? මෙතන මම නොදන්න දේ ඇති. ඒවා ආනගෙන්ම අහගන්න ඕනෑ.

“මේ ක්‍රම හරියට වැඩ කරයි කියලා උඹට හොදටම විස්වාසද?”

“සීයට අනූවක් විතර…ඒකයි උඹ මේකේ රිසල්ට්ස් බලන්න ගෙන්නා ගත්තේ”

“ලෝකේ වෙන කවුරුවත් මෙහෙම දෙයක් හොයාගෙන නැද්ද?”

“මං දන්න තරමින් නෑ…”

“ඔය කොම්පැනි වලට රටක් ගන්න සල්ලි තියෙනවා. එහෙම වෙලා ඇයි උන් මේවා ගැන රිසර්ච් නොකරන්නේ? එහෙම නොකරනවා කියන එක විස්වාස කරන්න අමාරුයි”

ආනා සද්ද නැතුව බිම බලාගෙන හිටියා හරියට හිත එකලස් කරගන්න වගේ. එයා අවුරුදු ගානක් කරපු පර්යේශන මම සුලුකරලා කතා කලාද කියලා මට හිතුනා.

“මෙතන තියෙන්නේ විද්‍යාවට වැඩිය සංස්කෘතික ප්‍රශ්නයක්…..යුද්දෙන් රටවල් අල්ලලා පුරුදු මිනිස්සු දකින්නේ හමුදා ශක්තිය තමාට අයිති වැදගත්ම දේ හැටියට. සතුරෙක් හැටියට පෙනෙන ඕනෑම කෙනෙක් කුඩුකරලා තමංට ඕනෑ දේ ලබාගන්න එහෙම අය ලෑස්තියි. වෙන එකක් තියා, පාරක් කැපුවත් මේ අය කන්දක් වටේ නොගිහින් කන්ද කපලා තමා පාර හදන්නේ….පතල් වැඩත් ඒ විදිහයි….ගල් ඇතුලේ රත්තරං තියෙනවා - ඒනිසා ගල කුඩු කරනවා රත්තරං ගන්න; ගලටයි අවට පලාතටයි වෙන දේ වෙන කාගෙවත් ප්‍රශ්න…මම හිතුවා ගල් කුඩු නොකර ලෝහ වලට හෙමින් ‘අඬ ගසන්න’ ඉලෙක්ට්‍රෝඩ් පාවිච්චි කරලා!”

“පොලවේ ඉලෙක්ට්‍රෝඩ් ගහලා, පස ඉලෙක්ට්‍රොලයිට් කරලා? කරන්ට් කොහෙන්ද?”

“උඹට තේරෙනවා වැඩේ. මට කරන්ට් එන්නේ විදුලි කෙටීම් වලින්. ඒකයි ඔය කොස් ගහ උඩට කම්බියක් ඇදලා තියෙන්නේ මැද ඉලෙක්ට්‍රෝඩ් එකෙන්. පසයි පිහිටි ගලයි ඉලෙක්ට්‍රොලයිට් වෙන්නේ පොලවේ තියෙන වතුර වලින්….”

“හැමදාම විදුලි කොටන්නෙ නෑනේ….”

“මම මේ බුත්තල පැත්ත තෝරාගත්තේ මෙහෙ විදුලි කෙටීම් වැඩිනිසයි, මෙහෙ ලෝහ වලින් පිරුනු අල්ට්‍රාබේසික් ඩයික් වර්ගයේ පිහිටි ගල් තියෙන නිසයි. නමුත් මේ දෙකම දැන් මට වැදගත් නෑ. අලුතෙන් දාපු සයිට් වල මම ඉර එලියෙන් කරන්ට් හදන සෝලා පැනල් හයි කරා. ඒවගේම, බෝගන්විල් වගේ ලෝහ වැඩිපුර නැතුවට ඕනෑ ගලක පසක තියෙන වැදගත් ලෝහ මේකෙන් ඇද ගන්න පුලුවන්…”

“මේ ලෝහ එකතුවෙන්නේ බොහොම හෙමින් වෙන්න ඇතිනේ”

“හරියටම හරි! උඹ අඩුගානේ මේක ගැන හිතන්න පටංගත්ත බව මට දැනෙනවා….එක ඉලෙක්ට්‍රෝඩ් සෙට් එකකින් අවුරුද්දට සමහර ලෝහ වලින් කිලෝ පහක් හයක් ගන්න පුලුවන් කියලා මම හිතනවා. ඒක හරියටම කියන්න ඩේටා තවම නෑ. තැනේ හැටියටත්, ඉලෙක්ට්‍රෝඩවල දිගේ හැටියටත්, හොයන ලෝහේ හැටියටත් මේක බොහෝම වෙනස් වෙන්න පුලුවන්…අනික් අතට බලනකොට, ඉලෙක්ට්‍රෝඩ් හයිකරාට පස්සේ ආයෙ කරන්න දෙයක් නෑ, අවුරුද්දකට දෙකකට පස්සේ ඇවිත් ලෝහ අස්වැන්න එකතුකරගෙන යනවා මිසක්”

අපි කතා නොකර හිටියා විනාඩි පහක් විතර. ආනට කතා කරලා ඇතිවෙලා වගේ. මට කියන්න අහන්න දේ වැඩී - කොහෙන් පටංගන්නද දන්නෙ නෑ. මගෙ කටින් ඉස්සරවෙලාම එලියට ආවේ ප්‍රශ්නයක් නෙවෙයි - යෝජනාවක්.

“අපි ටවුමට ගිහින් බීර බොමු”

“නියම අදහස…හැබැයි මට දැනෙන්නේ උඹට කංතෝරුවක වැඩකරලා දැන් ෆීල්ඩ් වැඩ අමාරුයි වගේ. තව සයිට් දෙක තුනක් වත් බලලා ටවුමට යං”

කොහොමටත් අපි ආපහු ටවුමට එනකොට දවල්ට කන වෙලාව. අංතිමට අපි බීර බොන එක අමතක කරලා දවල්ට කන්න පටන්ගත්තා.

මට ඊයේ රෑ ඉඳන් තිබුන ප්‍රශ්නයක් ඒවෙලාවේ එලියට ඇදගත්තා.

“මට තේරෙන විදිහට මේකේ ඔක්කම වැඩ කරලා තියෙන්නේ උඹයි, උඹගෙම සල්ලි වියදමෙන්. මෙතෙන්ට ආරි එන්නේ කොහොමද?”

“මචං ආරි නැත්තම් මම මෙතන නෑ. මම රස්සාවෙන් අස්වෙලා පිස්සු කෙල කෙලා හිටිය මිනිහෙක්. ඉඳලා හිටලා එහෙ මෙහෙ වර්ක්ශොප් එකක් දෙකක් කරාට වෙන වැඩි මොනවත් කරේ නෑ - එක එක දේ ගැන හිතුවා විතරයි. උඹ දන්නවානේ මම ඒ දවස්වලත් ප්ලෑන් දැම්මට කිසි දෙයක් ඉවරක් වෙනකම් හරියට කරේ නැති බව. මෙහෙ යුනිවසිටි එකේ දේශනේකට ඇවිත් මට ආරි මුන ගැහුනේ….ආරි විශ්‍රාමික විදුහල්පති කෙනෙක් - මිනිහා ලෝකේ දිහා බලන්නේ වෙන විදිහකට. එයා ‘හොඳ අදහසක්’ කියන්නේ වැඩකට ගන්න පුලුවන් දෙයකට විතරයි. ආරි එදා රෑ මාව ගෙදර එක්ක ගියා හෝටලේ ඉන්න නොදී මම දේශනයේ කියපු සමහර අදහස් ගැන තව ටිකක් කතා කරන්න…”

ආනා හෝටලේ ජනලෙන් එලිය බලාගෙන කතා නොකර හිටියා විනාඩියකට වැඩිය.

“එදා රෑ ආරි මගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා….’ඇයි ඩොක්ට රත්නායක ඕවා කරලා බලන්නෙ නැත්තේ?’…මම හේතු ගොඩාක් දුන්නා - වෙලාවක් නැතිකම, ඉඩම් අයිතිකාරයන්ගෙන් අවසර ගැනීමේ කරදර, එදිනෙදා වැඩකටයුතු බලාගැනීමේ අවශ්යතාවය…මේ සේරටම උත්තර ආරි ලඟ තිබුනා. අපි පාන්දර හතර වෙනකම් කතා කර කර හිටියා - අරක්කුත් නැතුව. අංතිමට මට ගැලවෙන්න බැරි උනා…වෙන විදිහකට බලනවානම් මට මගෙ කම්මැලි කමෙන් ගැලවෙන්න සිද්ද උනා……..ඊට පස්සේ තමා මගෙ ජීවිතේ සුළුවෙන් හරි වටිනාකමක් ඇති කියලා මට හිතුනේ”

ආනගෙ කතාවත් මුහුනේ තිබුන අවංක හිනහවත් නිසා මම ආයෙ මේ ගැන නොඅසා ඉන්න හිතා ගත්තා.

“මොක උනත් අපි එන සුමානේ ඇතුලත අපෙ දැනට තියෙන ඉලෙක්ට්‍රෝඩ් වල ‘අස්වැන්න’ එකතු කරගන්න ඕනෑ. එක එක ඉලෙක්ට්‍රෝඩ් වලින් ගන්න ලෝහවල පලදාවයි පාරිශුද්ධබාවය බලා ගන්නත් ඕනෑ - ඒක උඹෙ වැඩේ, පරන කොන්ටැක්ට් පාවිච්චි කරලා. එතකොත මට පුළුවන් මගෙ ඉලෙක්ට්‍රෝඩ්වල හොඳ නරක ස්ථාපිත කරගන්න…ඊට පස්සේ ඉතුරු වැඩ ගැන බලමු”

අපි බුත්තල හෝටලේක ඉඳන් මේ කතාකරගන්නේ ලෝකෙම හොල්ලන්න හැකියාවක් තියෙන තාක්ශනයක් කියලා එතකොටයි මට තේරුනේ.

…….

මම පහුවදාම ගෙදරට කතාකරලා ඇහුවා මම සුමාන කීපයක් මෙහෙ වැඩ කරාට කමක් නැද්ද කියලා.

“ඇයි ආයෙත් ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්තද?”

“ආනන්ද අලුත් වැඩක් පටන්ගෙන. මට තියෙන්නේ ඒකේ වටිනාකම මැන බලාගන්න”

“ඇඳුම් එහෙම ගෙනාවෙ නෑ නේද, සුමාන ගනන් ඉන්න?” පවුල නිතරම බලන්නේ ප්‍රායෝගික දේ ගැන.

“මෙහෙ වැඩට වැඩිය ඇදුම් ඕනැ නෑ. දිනපතා වැඩට කොටකලිසම. කොළඹ යන්න ඕනෑ වෙනකොට ඇඳගෙන ආපු කලිසම ඇති”

“කෝකටත් මේ මෝබයිල් එක නිතරම අතේ තියාගන්න. හදිස්සියක් උනොත් කතා කරන්න බැරියෑ….ආ.. ඊයේ මම පුතාට කිව්වා අප්පච්චී ගිය තැන. එයා දැක්කේ ඒක බොහොම හොඳ දෙයක් හැටියට…අනේ මංඳා … කරන එකක් පරෙස්සමෙන්”

අපිට ඉලෙක්ට්‍රෝඩ් අස්වැන්න නෙළාගන්න ලෑස්ති වෙන්න දවස් දෙක තුනක් ගියා. සාම්පල මලු, වැඩට මිනිස්සු වැනි දේ ආරි අතේ. සාම්පල එකතු කරන, වාර්තා ලියන සැලසුම් මමයි ආනයි කලා. මම කොළඹ අඳුරන රසයනාගාර දෙකකටත් කතා කරා සාම්පල අපිට අවශ්‍ය විදිහට පරීක්ෂා කරගන්න ක්‍රම ගැන. මුලු වැඩමුලුවම ආනා යටතේ තමා උනේ.

ඊලඟ දවස් අට අපි දිගටම වැඩ කරා. උදේ හතටත් හවස හතරටත් අතර වැඩ නැවතුනේ දවල් කෑමටත් පැය දෙකෙන් දෙකට තේ වලටත් විතරයි. මේ සේරම ලෑස්ති කලේ ආරි - කාගෙ වියදමෙන්ද කියලා මම දැනගෙන හිටියෙ නෑ. මුලු වැඩේම ඉවර වෙනතුරු ගනම් හිලව් බැලුවෙත් ආරි.

සාම්පල එකතුවීගෙන යනකොට තමා මට තේරුනේ ආනා කොයි තරම් හිතලා මතලාද මේ වැඩේ කරලා තියෙන්නේ කියලා. කිසිම ඉලෙක්ට්‍රෝඩ දෙකක් එක වගේ නෑ - හැම ඉලෙක්ට්‍රෝඩ ලක්ෂ්‍යයම අලුතෙන් යමක් සොයාබැලුවා; ඉලෙක්ට්‍රෝඩයේ දිග, පලල, හැඩය වැනි දේ ඇරුනුකොට පාශාන වර්ගය, පස් තට්ටුවේ ගැඹුර, පොලවේ ජල මට්ටම, විදුලි බලයේ සැර වැනි හැම දේම එක එක පරිමානෙන් සංයෝග කරලයි පරීක්ශනය ලෑස්ති කරලා තිබුනේ. මේ නිසාම හැම ලක්ෂ්‍යයකම ලෝහ අස්වැන්න ගැනීමට සෑහෙන කාලයක් ගත උනා.

තොග සාම්පල හරි හැටියට මලු වලට දැමීමත්, හැඳුනුම් අංක දීමත් ඇරුනුකොට හැම සාම්පලෙන්ම අඩියෙන් අඩියට පොඩි සාම්පල දෙක බැගින් ගෙන වෙන වෙනව මලුවලට දමා හැදුනුම් අංක දමා ගබඩා කිරීමත් මගේ පල්වෙනි කාර්‍යය උනා. ඒ ඉලෙක්ට්‍රෝඩ ලක්ෂ්‍යයේ අනිකුත් විද්‍යාත්මක දත්ත ආනා සටහන් කලා.

ආනන්දත් ආරිත් මේ වැඩේ සැලසුම්කර ක්‍රියාත්මක කිරීමෙන් පෙන්වූ දක්ශතාවයන් මගේ ඉමහත් ගෞරවයට ලක් උනේ කිසිම ඊර්ෂ්‍යා සහගත හැඟීමක් නැතුවයි.

දවසේ වැඩ අවසානේ අපි තුන් දෙනත් වැඩට ආ තව කීපදෙනෙකුත් කෙලින්ම ගිහින් කුඹුක්කන් ඔයෙන් නා ගත්තා. ආනා ආරිත් කම්කරුවෝ කීප දෙනෙකුත් ගෙදර ගිහින් දාලා ආපුවම තමා අපි වැඩගැන ආයෙ කතා කලේ.

“මීයා කියන්නේ මොකොද සාම්පල් ගැන?”

“මට පෙනෙන විදිහට පාටත් හොදයි, බරත් හොඳයි. අපි ගන්න සාම්පල් ඇති ලැබ් වැඩ වලට. මම හිතුවේ ලැබ් දෙකකින්ම ටෙස්ට් කරවාගන්න - එතකොට ලැබ්වල තියෙන වැරදි අයින් කරගන්න පුලුවන්. මම සමහර සාම්පල් වැරදියට ලේබල් ගහලා යවනවා, එකම උත්තර එනවද බලන්නත්…එහෙම නොකර බෑ ආනා, මේ වැඩේ වැදගත් වැඩී ඔනෑවට එපාවට ටෙස්ට් කරන්න”

“ඒක හොඳයි. උඹට පුලුවන්ද ඒ වැඩේ සෙට් කරන්න?”

“මම ලැබ් දෙකකට කතා කරා. උඹට වෙන ලැබ් ඕනැනම් කියපන් - මං උන් හුඟ දෙනෙක් අඳුරනවා”

“නෑ…උඹ තෝරගනින්. ලොරියක් ඕනැවෙයි නේද කොළඹ ගෙනියන්න?”

“මම ආරිට කිව්වා වෑන් දෙකක් ගත්තොත් හොඳයි කියලා - ලැබ් වලට වෙන වෙනම යවන්න”

ආනා තව ටිකක් හිටියා අඳුරු අහස දිහා.

“මචං අපි එහෙනං සඳුදා වෑන් කොළඹ ඇරලා පාටියක් දාමු”

“මං හිතුවේ මමත් ගිහින් බඩු බාරදීලම එන්න කියලා. මම ආපහු ආවම ඕන පාටියකට ලෑස්තියි!”

සැලසුම් කරලා තිබුන විදිහටම සෙනසුරාදා හවස්වෙනකොට සාම්පල් සේරම කෑම්ප් එකට ගේන්න පුලුවන් උනා. අපෙ වැඩට හිටි අයගෙ නායක සයිමන් ඇරුනුකොට අනික් සේරටම ආරි පඩි ගෙව්වා. සයිමන් විතරක් ඉරිදත් එන්න පොරොන්දු උනා වෑන් වලට බඩු පටවන්න. මගෙ අදහස් තිබුනේ සඳුදා පාන්දරම පිටත් වෙන්නයි.

පටන්ගත්ත වැඩේ එක අදියරක් ඉවර උනාට තව වැඩ ගොඩක් තියෙන බව අපි තුන්දෙනාටම පැහැදිලියට පෙනුනේ ඒ වෙලාවේ.

……

“අද ආරිගෙ ගෙදර පාටි”

මම කොළඹ ගිහින් හවස හය හමාරට විතර කෑම්ප් එකට ආපු ගමන්ම ආනා කිව්වේ මේකයි. අතේ අරක්කු වීදුරුවක් තියාගෙන කැන්වස් පුටුවක වාඩි වෙලා කකුල් මේසේ උඩ තියාගෙන හිටිය ආනා දැකපුවම මට මතක් උනේ කුඹුරේ අස්වැන්න ගෙදර ගෙනා දවසේ කාලෙකට පස්සේ විවේක ගන්න ගොවියෙක්.

“ඕනැනම් ගිහින් නාගෙන වරෙන්. නැත්තම් එකක් දාගනින්. අපි හතට විතර ආරිගෙ ගෙදර යන්න ඕනෑ”

“ආරිගෙ ගෙදර අරක්කු නැතුව ඇති නෙද?”

“එහෙම අඩුවක් නෑ. මම සයිමන්ටත් එන්න කිව්වා රෑ ජීප් එක එලවන්න”

මම ආරිගෙ පවුලේ අය ඉස්සරවෙලාම මුනගැහුනේ එදා. ආරිගෙ පවුලත් ආරි වගේම නිරහංකාරී කෙනෙක් වගේ පෙනුනේ. අනුලයි ඒ දෙන්නගෙ දුවගෙ පොඩි එකයි ඇවිත් අපිත් එක්ක වාඩිවෙලා කතා කරේ මේක පවුලේ අයගෙ මුනගැහීමක් වගේ. මට පිට කෙනෙක් වගේ දැනුනෙම නෑ. ආරිලත් එක්ක නිවාඩුවක ඇවිත් ඉන්න මුනුබුරා දඟකාර බවක් පෙන්වුවත් කිසි බියක් සැකක් නැතුව මා එක්කත් කතා කරා; වැඩිපුරම අපෙ ගෙදර ඉන්න බල්ලෝ ගැන.

අනුලා පොඩි එකාට කෑම දීලා නිදියන්න ගියාට පස්සේ අපිටත් කෑමට කතා කලා. අපි වැඩ ගැන කතාකලේ කෑමෙන් පස්සේ, අනුලා ඉස්කෝලේ සටහන් වගෙයක් ලියන්න තියෙනවා කියලා ඇතුලේ කාමරේට ගියාට පස්සේ.

“ඉතින් කොහොමද කොළඹ ගමන?”

“කරදරයක් නෑ. සාම්පල් දුන්නා; සති තුනක් විතර යයි සේරම ප්‍රතිපල එන්න….මගෙ අදහස තව සතියක්වත් යයි එව්වා තේරුම් අරගෙන යම්කිසි ප්‍රතිපලයක් ගන්න….හැබැයි ඒ අතරතුරේ හිතා බලන්න වටිනවා ලඟට කරන්නේ මොකක්ද කියලා”

“කිසි අදහසක් නැද්ද මොන වගේ උත්තරයක් එයිද කියලා?”

“නෑ ආරි…තිබුනත් ඒක දැන් මම කියන එක වැරැදියි”

“ආනන්ද මොකද කියන්නේ?”

“මේ වගේ දේ බීලා ඉන්නකොට කරන්න බෑ. අපිට පුලුවන්ද හෙට අනිද්දා මේක ගැන වෙන වෙනම හිතලා බලලා ඊට පස්සේ තීරනේ කරන්න”

අංතිමට අපි ඒකට එකඟ උනා. ඒ මීටිමට පස්සේ මම සතියකට දෙකකට ගෙදර යන එකටත් ඒ අය කැමති උනා. අපි අනුලටයි ආරිටයි ස්තුති කරලා කෑම්ප් එකට එනකොට එකොලහ වෙලත් නෑ.

අපෙ මීටිම තිබුනේ බදාදා රෑ ආනගෙ කෑම්ප් එකේ. අඟහරුවාදා මුලු දවසමත් බදාදා දවල් වරුවත් අපි ගෙදර කොන් දෙකක් අල්ලාගෙන අපේ අදහස් සටහන්කරගත්තා. වෙනදා පිස්සු නටන ආනා එදා මාත් එක්ක කතාකරෙත් බොහොම ටිකයි - මිනිහා වැඩකට හිත යොමු කලාම ආයෙ ඒකෙන් අලවංගුවකින් වත් ගලවා ගන්න බෑ. ඔබියස් අපිට පැය දෙකෙන් දෙකට විතර තේ හදලා දුන්නා - එයා ආනන්ද මහත්තයා ගැන හොඳට දන්නවා.

අංතිමට මීටිම පැයකින් ඉවර උනා. වැඩිපුරම කතා කරේ ආනන්ද. අපි එකඟ උනේ කොම්පැනියක් දියත් කරන්න, ඒකේ අද්යක්ශකයෝ හැටියට අපි තුන්දෙනා පත්කරලා. කොම්පැනියේ අයිතිය සියයට 55:35:10 බැගින් ආනන්ද, ආරි සහ මම ලැබුවා, මගේ විරුද්දත්වය මැද්දේ. මම හිතුවෙ නෑ මට මේකේ අයිතියක් කොහොමටත් ඇතියි කියලා, සතයක්වත් වියදම් නොකර. නමුත් ආනයි ආරියි කිව්වේ මේක අනාගතේ ගැන මිසක් පහුගිය දේවල් ගැන නෙවෙයි කියලා. කොම්පැනියේ ලියාපදිංචියත්, අවශ්‍ය නීතීඥයන් සොයාගැනීමත් මට බාර උනා. මේ තීරනයෙන් පස්සේ අපි එකිනෙකා හඳුනාගැනීමේ කටයුතු කලා - අපේ පවුල්වල තොරතුරු, ඉගෙනීම, රැකියාවන්, ආර්තික තත්වය වගේ. කොම්පැනියේ නම දැනට “භූඅස්වැන්න” ලෙසත් ඉංගිරිසියට “Geoharvest” ලෙසත් පාවිච්චිකරන්න එකඟ උනා.

දැනට කල ඇති වියදම් ආනන්ද දරන බවත් මින් පසු අපි තුන්දෙනාම මුදල් සපයන බවටත් එකඟ උනා. බැංකු ගිනුම් සහ ණය පිලිබදව ආරි මුල්වී කටයුතු කරන්න ඉදිරිපත් උනා. ආරිට තිබුන පලමුවෙනි කාරිය මේ මීටිමේ සිදුවූදේ සටහන් කර තුන්දෙනාගෙම අත්සන් ගැනීමයි.

මීටිම ඉවර උන ගමන්ම ආනා අරක්කු බෝතලේකුත් වීදුරු තුනකුත් එලියට ගත්තා.

“භූඅස්වැන්න අද්‍යක්ශක තුමාලට….” අපි වීදුරු එකට තට්ටු කලා.

……

රසායනාගාර ප්‍රතිපල වාර්තා ලෑස්ති බව මම දැනගත්තේ සති දෙකකට පස්සේ දවසක් දවල් ආනන්දගෙ වාහනේ අපෙ ගෙදර ඉස්සරහ නැවැත්තුවාම. වෙනදට වඩා හොඳ කලිසමක් කමිසයක් ඇඳගෙන හිටිය ආනා වාහනෙන් බැහැලා ආවේ ලොකු මල්ලක් බදාගෙන.

“නිල්මිනිට ආනා මතකයි නේද? අර එක දවසක් අපෙ ගෙදර ආවේ කාලෙකට ඉස්සර?”

“මොකොද නැත්තේ? ආනන්ද එන්න ඇතුලට. නිහාල් බුත්තල ඉඳලා ආවට පස්සේ එහෙ කල වැඩ ඇරුනුකොට වෙන කිසිම දෙයක් ගැන කතා නෑ!”

“එහෙම තමයි නිල්මිනි කොම්පැනි ඩිරෙක්ටර්ලා උනාම. සමාවෙන්න නොකියම ආවට - මට මීයා…අ....නිහාල් එක්ක හුඟාක් දේ කතාකරගන්න තියෙනවා. ලැබ් රෙපෝට් ආපු ගමන්ම ඒකයි මෙහෙ ආවේ - ඒවා ඇනලයිස් කරන්න අපි දෙන්නම ඕනෑ”

“අනේ හොඳයි. නිහාල් ආනන්දට එයාගෙ කාමරේ පෙන්නලා මලු එහෙම කාමරේ තියනවද මං තේ එකක් හදනකං?”

“අනේ තේ එපා නංගී. හැබැයි ඇඟ ටිකක් හෝදගන්න තිබුනොත් හොඳයි”

“තේ එපානම් වෙනමොනවත් දෙන්න නිහාල් - මම කෑම ලැස්ති කරන්නම්” කියාගෙන පවුල ඇතුලට ගියා.

ආනා බීර වීදුරු බාගෙකට වඩා බිව්වෙ නෑ. කෑම කෑවෙත් බොහෝම ඉක්මනට, හරියට වැඩට බහින්න හදිස්සියෙන් වගේ. කෑම මේසේ කතාබහටත් සම්බන්ද උනේ වචන එකකින් දෙකකින් විතරයි. නිල්මිනිත් මේක දැක්කා.

“ආනන්දගෙ හිතේ මොකද්දෝ ලොකූ දෙයක් තියෙනවා වගේ”

“සමාවෙන්න නංගී…ඊයේ මේ රිපෝට් ආවේ; තවම ඇරලා බැලුවෙ නෑ. ඊයේ රෑ වැඩිය නින්දගියෙත් නෑ. ඒකයි උදේම ඒවත් අරගෙන මෙහෙ ආවේ….” ආනා වටපිට බැලුවේ “කොහොම මෙතෙන්ට ආවද?” කියලා හිතන්නෙක් වගේ.

“වරෙන් අපි කංතෝරු කාමරේට ගිහින් රිපෝට් කියවලා බලමු….මේ ගැන ආරි මොකොද කියන්නේ?”

“ආරි තමා කිව්වේ මෙහෙ එන්න කියලා; එයාට මේවා නොතේරෙන නිසා”

රිපෝට් දෙක එලියට ගත්ත ආනා එකක් මට දුන්නා.

“ගිය සති දෙකේ මම ඉලෙක්ට්‍රෝඩ් තියෙන තැනුයි, ඒවාගෙ විස්තරයි, ඒ ඒ තැන ගල්, පස්, වතුර, විදුලිය ලබාදීපු විදිහයි බලයයි වගේ දේ සේරම සිතියම්ගත කරා. මම හිතුවේ එක එක ලෝහ වල රිසල්ට්ස් ඒකෙම සිතියම් ගත කරන්න. අපි එක එක ඉලෙක්ට්‍රෝඩ් ගැන බලනවා මිසක් මුලු පලාතම ගැන හොයන්නෙ නැති නිසා කොන්ටුවර් අඳින එකෙන් වැඩක් නෑ…උඹ මොකොද කියන්නේ?”

“කොන්ටුවර් කතාව හරි; අපිට ඕනෑ රිසල්ට්ස් එක එක ඉලෙක්ට්‍රෝඩ් වලට සම්බන්ද කොහොමද කියලා බලන්නයි. ඒනිසා අපි ඉස්සර වෙලාම මේ රිසල්ට්ස්වල වලංගුතාවය බලමුද ලැබ් දෙක අතරෙයි, එක එක ලැබ් එකේ සාම්පල් දෙක දෙක දාපු ඒවගෙයි? ඒකට මට පැය තුන හතරක් යනවා … ඇයි උඹ ටිකක් හාන්සි වෙන්නෙ නැත්තේ ඒක ඉවර වෙනකම්”

“මට දැන් මේවා බලනකම් නින්ද යන එකක් නෑ බං”

එහෙම කියලා ඇඳට වැටුන ආනා විනාඩි පහකින් ගොරවන්න පටන් ගත්තා.

හවස හයට විතර ආරිගෙ ටෙලිෆෝන් කෝල් එක එනකොට මගෙ වැඩේ ඉවරවෙන්න කිට්ටුයි - පෙනෙන හැටියට ලැබ් වලින් ආ ප්‍රතිපල හදාගන්න බැරි තරම් වැරැදි නෑ.

“ආ…නිහාල්….ආනන්ද මට මේ නොම්බරේ දුන්නේ - එයා ආවද?”

“හා…ආරි. මිනිහා ඇවිත් කාලා නිදි - හොඳටම ලාංතරස් ගහලා හිටියේ”

“කිව්වා ඊයේ නින්දත් නෑ කියලා. රසායන ප්‍රතිපල කොහොමද කියලා කියන්න තත්වයක් තියෙන්වද?”

“අයියෝ ආරි තව කොහෙද. ගිය පැය හතරෙම මම ලැබ් ප්‍රතිපලවල වැරදි තියෙනවද කියලා බැලුවා. තව පැය බාගෙකින් විතර ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ තමා එක එක ලෝහ ගැන බලන්නේ”

“කොහෙද මට ඕවා තේරෙනෙවායෑ?” මට හිතුනේ ආරි බලාපොරොත්තු වෙන්න ඇත්තේ වෙන උත්තරයක්.

“ආරිට ආනන්දට කතා කරන්න ඕනැද?”

“නෑ නෑ ඔහෙ නිදාගත්තැයි. යමක් දැනගත්තම මට කෝල් එකක් දෙනවද?”

“දැනගත්ත ගමම්ම මම කෝල් එකක් දෙන්නම්, රෑ දවල් නොසලකා! හැබැයි තව දවස් කීපයක් යයි…ආරිට නිවාඩු තියෙනවනම් මෙ එන්නෙ නැත්තේ ඇයි?”

“අනේ බෑ නිහාල්…ඉස්තුතියි ආරාදනේට…සමහරවිට පස්සේ දවසක්…”

මම ආනා නැගිටිනකොට මගෙ වැඩේ ඉවර කරලා නාලත් ඉවරයි.

“නින්ද ගියාද?”

“අනේ මචං මට ඇහැරෙනකොට හිතුවේ විනාඩි පහක් දහයක් ගියා කියලා - බලනකොට හයත් පහුවෙලා! කොහොමද වැඩ ටික?”

“ප්‍රතිපල වල හදාගන්න බැරි ප්‍රශ්නයක් නෑ. සමහර සයිට් වල ලෝහ මිනුම් නරක නෑ…ඇත්තටම කියනවානම් ඒවා ඉතා හොඳයි. අනික් ඒවා ඒ තරම්ම වටිනාකමක් පෙන්වන්නෙ නෑ”

“නියමායි! අපි බලමුද කොයි ඒවද වැඩ කරන්නේ කියලා?”

“බලන්න පුලුවන්. නමුත් මම කැමතියි මිනුම් සේරම ඉලෙක්ට්‍රෝඩ් වේරියබල්ස් එක්ක කොම්පුටරේට දාල පටන් ගන්න එක හොදයි. එහෙන් මෙහෙන් බලන්න ගියොත් අපි අතින් වැරදි වෙන්න ඉඩ තියෙනවා”

“හ්ම්…උඹ කියනවනම්…කොච්චර කල් යයිද?”

“අපි දෙන්නම බෙදාගෙන වැඩ කෙරුවොත් දවස් දෙක තුනකින් ඉවර කරන්න පුලුවන් වෙයි”

“කොම්පියුටර්?”

“මගේ එකේ තියෙනවා ඕන කරන සොෆ්ට්වෙයා ඔක්කම. හැබැයි අපි හෙට පටන්ගමු. මං හිතුවේ නිලිමිනිත් දාගෙන ගිහින් අපි අද රෑ ටවුමෙන් කාලා ඇවිත් හොඳට නිදාගමු”

……

දවස් දෙකක් යනකොට අපෙ වැඩ සම්පූර්නෙම්ම වගේ ඉවරයි. අංතිම සැරේට කොම්පුටරේ එන්ටර් ගැහුවා විතරයි අපි දැක්ක ඉලෙක්ට්‍රෝඩ් තිස් නමයෙන් දෙකක ප්‍රතිපල විස්වාස කරන්න බැරි තරමට හොඳයි කියලා. මම නැගිට්ටේ පුටුවත් පෙරලාගෙන “මෙන්න බඩූ….” කියලා කෑ ගහගෙන. අපි දෙන්නගෙ හිනහවයි කෑගහන සද්දෙයි ඇහිලා නිල්මිනිත් ආවා මොකොද බලන්න. ආනා උඩ පැනලා නිල්මිනිත් මාත් බදාගෙන “භූඅස්වැන්නට ජයවේවා!” කියාගෙන වටේට කැරකුනා, කස කාරයෙක් වගේ.

“නටන්න ඕනෑ….පාටි දාන්න ඕනෑ…ආරි….ආරිට කියන්න ඕනෑ…”

නිල්මිනිට තේරුනා මොකක් හරි හොඳ දෙයක් වෙලා කියලා.

“පාටි දාන්න ඉස්සර එහෙනං ඇයි ආරිටත් මෙහෙ එන්න කියන්නෙ නැත්තේ?”

“කමක් නැද්ද?”

“මම කවදාවත් දැකලා නෑ නිහාල් මෙහෙම නටනවා…මොකද කියලා මටත් කිව්වොත් හොඳයි නේද?”

“සොරි නංගී…නංගී මේ බලාගෙන ඉන්නේ ලෝකෙට අලුත් තාක්ශනයක් හඳුනාදෙන දක්ශයෝ දෙන්නෙක් දිහා…අපෙ වැඩ හොඳටම සාර්තකයි…අද පාටිය මං ගානේ”

නිල්මිනිටත් සන්තෝසයි නමුත් එයාගෙ ප්‍රායෝගික ගතිය ලේසියෙන් වෙනස් වෙන්නෙ නෑ.

“ආරිගෙ පවුලේ කට්ටියත් හිටියොත් හොඳයි නේද පාටි දාන්න. පොඩ්ඩෙකුත් ඉන්නවා කිව්ව් නිසා ඒ අයට පුතාගෙ කාමරේ ඉන්න පුලුවන්, ආනන්ද කන්තෝරු කාමරේ ඉන්න කැමතිනම්”

“නංගී….මට දැන් කංතෝරු කාමරේ නෙවෙයි පිලේ උනත් ඉන්න පුලුවන්…මම ආරිට කතා කරලා කොහොම හරි ගෙන්න ගන්නම්, කමක් නැත්තං”

……………….

ආරිලා පහුවදාම ආවා. කිව්ව වගේම එදා හවස අපෙ ගෙදර පොඩි පාටියකුත් තිබුනා. පුතත් ආවා හවස් වෙනකොට. සමහරවිට නිල්මිනි එයාට කියලද කොහෙද එයා ආවේ රට බීම ගොඩකුත් ලොකු කේක් ගෙඩියකුත් අරගෙන. පොඩ්ඩට සෙල්ලම් බඩුවකුත් ගෙනා එක ගැන මට ආඩම්බරයක් ඇති උනා පුතා ගැනත් නිල්මිනි ගැනත්.

ලෝකෙට සම්පූර්නෙන්ම අලුත් දෙයක් හඳුනා දෙන්න හැකිවීම හැමෝටම ලැබෙන අවස්තාවක් නොවෙයි. අපෙ පුතා ඉපදුන දවසේ දැනුන සතුට වගේ සතුටක් නැවත මට දැනුනේ එදා රෑ.

කෑමෙන් පස්සේ ආනා පොඩි කතාවක් පැවැත්තුවා, අනාගතේ ගැන.

“සබාවෙන් අවසරයි…සමාවෙන්න, නිල්මිනිගෙන් අවසරයි….මෙතන ඉන්න ඔක්කොම මේ සොයාගැනීමට දායක උනා….පුතා උඹ ඇරුනුකොට! ඇත්තටම කියනවානම් බූඅස්වැන්න සල්ලි හොයන්න කරපු දෙයක් නෙවෙයි…ඒ කාලේ, මම රස්තියාදු ගහ ගහ ඉන්න කාලේ, මේ ආරි මගෙ ඔලුවේ තිබුන පොඩි අදහස් කෑල්ලක් එලියට ඇදලා ගත්තා…. වම් අතෙන්. ඒ එක්කම දකුනු අතෙන් කෙවිටක් ගත්තා, පරන පුරුද්දට. ඒ කරපු වැඩේ ප්‍රතිපල විද්යාත්මකව ගොනුකරේ මගෙ පරන යාලු…මීයෙක්”

“ප්‍රතිපල හොඳයි…ඉතා හොඳයි. නමුත් මම ඒවා විකුනලා සල්ලි හොයන්න කැමති නෑ. මම තීරනය කලා, අනික් අද්‍යක්ශකවරු මොක කීවත්, මේ ප්‍රතිපල ලෝකෙට දකින්න නොමිලේ ප්‍රසිද්ද කරන්න. උඹලා ඒක දැනගෙන හිටියෙ නෑ නේද?”

“ප්‍රසිද්ද කරන්නේ කොම්පැනියේ නමින්. එහෙම කරලා කොම්පැනිය කොන්සල්ටින් වැඩ හම්බුනොත් කරනවා, නැත්තං මගෙ ඊලඟ අදහස දියුනු කරන්න පටන් ගන්නවා - ඒක මීටත් වඩා ලොකුයි!”

අපි සේරම එක එක්කෙනා දිහා බැලුවා. මුහුනු වල වැඩිය හිනාවක් පෙනෙන්ට නෑ. අපි වැඩි දෙයක් බලාපොරොත්තු නොවුනත් මේ තරම්ම ලොකු සොයාගැනීමකින් යම් කිසි ආදායමක්, කීර්තියක් බලාපොරොත්තු උනා.

ආනා තවම හිටගෙන වටපිට බලනවා. ටිකකින් ආරිගෙ මුහුනේ පොඩි හිනාවක් පටන් ගෙන හෙමින් හෙමින් මුහුන පුරා පැතුරුනා.

“තිමිංගලයෝ!”

ආනා ආරි දිහා බලලා ඇඟිල්ලක් දික්කරලා පිස්තෝලෙකින් වෙඩිතියනවා වගේ “බෑන්ග්” කියලා වාඩි උනා. සේරම ආරි දිහා බැලුවා. ආරි උගුර පාදලා කතා කරන්න පටන් ගත්තා ගුරුවරයෙකුගෙ කටහඬින්.

“මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ යුගාන්තය කියවලා තියෙනවද?” අපි ඒක කාලෙකට ඉස්සර කියවලා තියෙන බව පිලිගත්තා.

“සවිමන් කබලාන දුංහිඳ ගරාජය ගත්තේ ඒකේ වටිනාකමටත් වැඩි ගානක් ගෙවලා. ගත්තේ ඒක වසා දමන්න හිතාගෙන. ඒකේ පාඩුව දරන්න එයා කැමති උනා. මොකද, තමාගේ ගරාජයට විරුද්දව තිබුන එකම ගරාජය වහලා දාපුවම ඉන් පසුව මුලු ව්‍යාපාරයම එයාගෙ. මේක හරියට හාල්මැස්සෝ ඇමට දාලා බලයෝ අල්ලනවා වෙනුවට තල්මස්සු ඇමට අරගෙන ‘තිමිංගලයෝ’ අල්ලනවා වගේ කියලා සමහරු දැක්කේ. ‘තිමිංගලයෝ’ කියන්නේ ඉතා විශාල මිත්‍යා සතෙක්ලු. මට හිතෙන්නේ ‘භූඅස්වැන්න’ පරිසරයටත් ලෝක ආර්තිකයටත් ඉතා හිතවත් ඉතාම වගකියයුතු කොම්පැනියක් බව ලෝකේ වටා හොදින් ප්‍රසිද්ධ උනාට පස්සේ….”

“තිමිංගලයන්ට!” කියලා ආනා වීදුරුව උඩට ඉස්සුවා. අපිත් තිමිංගලයන්ට ජයපානය කලා, අලුත් අනාගත සිහින මවමින්.