විචාරකයෝ

“මලයා…උඹ මට කාලයක් ඉඳන් කරපු අපරාද දැන් උඹට අමතකද? ඈ බං? පොඩිකාලේ ඉඳන් උඹෙ ඕනෑ එපාකම් බලපු මට සැලකුවේ කොහොමද කියලා දැන්වත් හිතලා බලපන්. ඔය ඉඩම් කෑල්ලට මම ඇහැ ගහගන හිටපු බව උඹ දන්නවා. ඒත් උඹ ඒක අර තම්බියට දුන්නා. ගෙදෙට්ට පාර කපන වෙලාවේ උඹ මොකද කිව්වේ? උඹෙ ඉඩමේ වටිනාකම අඩුවෙයි කියලා. අපෙ අම්ම අප්පච්චී අපිට කවදාවත් ඔහොම උගන්නලා නෑ. අනේ කඹුර!”

බිසෝ මිදුලේ ඉඳන් ගමට ඇහෙන්න කෑගැහුවේ තමාට අඩි විස්සකටත් වඩා කිට්ටුවෙන් ඉන්න රන්බංඩටයි. රන්බංඩා වැටට හේත්තුවෙලා බිම බලාගෙන හිටියේ තමා මොකක් කිව්වත් ඒකට බිසෝ අක්කගෙන් හොඳ වචනයක් නොඇහෙන බව දැනගෙනයි.

බිසෝ කඳුලු වලින් තෙත් වී තිබුන කම්මුලත් ඇස් දෙකත් ඔසරි පොටෙන් පිසදා ගත්තේ කෑකෝ ගැසීමෙන් මහන්සිවූ කෙනෙක් වගේ. බිමට නැමී ඉදල අතට ගත් බිසෝ නැවත කතාව පටන්ගත්තේ සද්ද මට්ටම සෑහෙන තරමක් අඩු කරලා. බිසෝටත් හිතෙන්න ඇති සමහර මාතෘකා රටට ඇහෙන්න කියන එක වැරදියි කියලා.

“රන් මලයා … උඹ දැන් ඇවිත් මගෙන් උඹලගෙ පිංකමට හාල් ඉල්ලනවා. මීට ඉස්සර අවුරුදුවල උඹලගෙ පිංකම් අපිට කිව්වද? අපෙ උන්දැගෙ තුන්මාසේ දානෙ ගැන උඹ මොකද කිව්වේ? මතකද? ‘රටට පේන්ට නෙවෙයි අක්කා මේවා කරන්ට තියෙන්නේ - පන්සලට හීල්දානේ දුන්නොත් මදිද?’. එදා තමා මං හිතා ගත්තේ මගෙ එක්කුසේ උපන් මලයා උනත් උඹට කවදාවත් මොකවත් දෙන්නෙ නෑ කියලා. හාල්? හාල් ඇටයක් වත් මගෙන් බලාපොරොත්තු වෙන්ට එපා. හාල් ඇටයක් තියා හාල් මල්ලේ පතුලේ තියෙන වැලි කැටයක්වත් දෙන්නෙ නෑ!”

බිසෝගෙ කට සද්දේ ටිකින් ටික ආයෙත් වැඩිවෙනවා. අහගන ඉන්න කෙනෙකුට බිසෝගෙ ගෝරනාඩුවෙන් වැඩියම හැඟුනේ ඇගේ කනගාටුව මිස තරහක්ම නෙවෙයි. මේක තේරිලාද කොහෙද බිසෝ කෙලින්ම ගේ ඇතුලට ගියේ තමංගෙ මල්ලී දිහා ආයෙත් නොබලා. රන්බංඩත් ගේ පැත්ත බලාගෙන හිටියා තව මොනවත් බිසෝ කියයිද කියලා. ආයෙ සද්දයක් නැති බව දැනුනාම රන්බංඩත් හෙමින් හෙමින් අඩිපාර දිගේ තමාගෙ ගෙදර දිහාට යන්න පිටත් උනා.

ඒ වැඩිහිටියන්ගෙ නාටකේ එතැනින් ඉවර බව දැනිලා ගේ පිටිපස්සෙ මඩුවේ සෙල්ලම් කර කර හිටි ළමයි දෙන්නා ආයෙත් ඒ අයගෙ සෙල්ලම් පටන්ගත්තා. නමුත් සෙල්ලමට අලුත් කොටස් ඇතුල් උනා අලුත් ඉගෙනීම අනුව.

“සරා අයියා මේ තේ එක බොන්ට…හැබැයි තේ පෝච්චියේ පතුලේ තියෙන එක වැලි කැටයක්වත් දෙන්නෙ නෑ!” නව හැවිරිදි මාලී පොල් කට්ටක් දස හැවිරිදි සරත්ට දුන්නා.

“චුට්ටී මට වැලි එපා හබැයි හාල් ඇට ටිකක් දෙනවද, පිංකමට?”

“බලන්නම් පෝච්චියේ පතුලේ…අයියට මොන හාල්ද ඕනෑ?”

“අද පිනට හොඳ සම්බා”

“මේ පෝච්චියේ තියෙන්නේ රතු කැකුලු…ආයෙ බඩබත්…ආයෙ වැලිබත්”

“පිංකමට ඒවා හොඳ නෑ. හාමුදුරුවන්ගෙ බඩ රිදෙයි”

“එහෙනම් අර තම්බියට දෙන්ට පුලුවන්. එතකොට ගෙදරට පාරත් කපලා දෙයි”

“ඒක හොඳයි. අපි උදැල්ල ගෙනත් පාර කපමු”

ළමයි දෙන්න මඩුවෙන් උදැල්ලක් එලියට ඇදගෙන ඉස්සරහ මිදුලට ආවේ පාරක් කපන්නයි. බිසෝ දොරට හේත්තුවෙලා තමංගෙ මාලී දුවයි රන්මලයගෙ සරත් පුතයි සෙල්ලම් කරනවා බලාගෙන හිටියේ ඇස්වල කඳුලු පුරවාගෙනයි.

“දුව…පුතා…ඇවිත් තේ බොන්ට….අග්ගලා තියෙනවා….”

………….

ළමයි අග්ගලා කාලා තේ බිව්වේ ගේ පිටිපස්සේ මඩුවේදියි. බිසෝ කෑම බීම එතෙන්ට ගෙනාවේ දෙන්නම මඩුව තමංගේ ගෙදර හැටියට සලකන බව දන්න නිසයි.

“දෙන්නගෙ ගෙදරට තව බඩු මොනවත් තිබුනොත් හොඳයි නේද? දුව…ඕනනම් අර රේඩියෝ එක ගෙනල්ලා මෙහෙ තියාගෙන අහන්ට…” බිසෝ ළමයි දෙන්නගෙම ඔලු අතගාලා ගේ ඇතුලට ගියා. මාලිත් ඒත් එක්ක ගිහින් රේඩියෝ එක ගෙනත් බංකුව උඩ තියලා වාඩි උනා.

“මේ වෙලාවට සිංදු තියෙනවද?”

“දාලා බලමු”

සරත් වැඩිමලා හැටියට රේඩියෝව ක්රියා කරලා පරන සිංදු තියෙන වැඩසටහනක් අල්ලා ගත්තා. මාලී ලී කෑලි කීපෙකුත් පොඩි බෙලෙක්කේකුත්සොයා ගත්තා සිංදු අහන ගමන් බෙර ගහ ගහ සිංදු කියන්න.

    “අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නෙ මෙලෝකේ, වසලයා ආ අ අ ආ….

    වංසේ කුල බේදේ….


ළමයින්ගේ සිංදු කියන සද්දෙයි බෙරගැහිල්ලයි එක්ක රේඩියෝ සද්දෙට තරඟ කරන්න බෑ. නමුත් සිංදුවේ වචන දරුවන්ට කට පාඩම්. ඒ නිසා රේඩියෝ මොක කිව්වද නොඅහ දෙන්නා සිංදුව දිගටම කිව්වා.

“අයියා… වසලයා කියන්නේ කවුද?”

“….ම්…කාගෙ හරි නම වෙන්ට ඇති…අපෙ පංතියේ ඉන්නවා වාසල කියලා කොල්ලෙක්…එයාගෙ කවුරුවත් වෙන්ට ඇති”

“එහෙනම් යාලුවෝ වාසලයා කියයිනේ…ඇයි වසලයා කියන්නේ වාසලයා කියන්නෙ නැතුව?”

“සිංදු කියනකොට වචන කොට කරන්ටත් පුලුවන් දිග කරන්ටත් පුලුවන් තාලෙට හරියන්ට”

“සරා අයියා බොරූ කියනවා…”

“ඔන්න බලන්ට…’පිටිසර හෙල ගුරු ලී…ය…සෑ..ර…දේ…’ කියන්නේ ලීයක් ගැන නෙවෙයි!”

“එහෙනං?”

“පිටිසර කියන්නේ ගමේ, හෙල කියන්නේ කන්ද, ගුරුලිය කියන්නේ පංතියක ගුරුවරියක් - ලිය කියන්නේ ගෑනු ටීචර් කෙනෙක්”

“හැබෑට මං හිතුවේ ඒක ලී කෑල්ලක් කියලා…ගොං නේද? හැබැයි කන්දක් තියෙනවානම් ලීයකුත් ඕනැ වෙයි, හැරමිටියට”

“නෑ ටීචර්ලා නාකි නෑ….හැබැයි සෑරදේ කියන්නෙ මොකද්ද කියලා හරියටම දන්නෙ නෑ - මොනවා හරි දෙනවා ඇති”

“ලීය කිව්වේ ලියට නම්, සෑර කියන්නේ සැරට වෙන්ටත් පුලුවන් ඇති”

“චුට්ටී…ඇත්තටම ඒක හරි ඇති…අපෙ පෙරේරා ටීචර් හරි සැරයි”

දෙන්නම මේ අලුත් දැනීම ගැන ටිකක් කල්පනා කරා.

“එතකොට වසලයා?”

“එයාගෙ නම් සේරම එතන තියෙන්නේ…‘මෙලෝ කේ. වසලයා’ නැත්තම් “එම්. කේ. වසලයා’”

“අයියගෙ පංතියේ වාසලගෙ අනික් නම් මොනවද?”

“මං හිතන්නේ අජිත්…මම මෙලෝ කියලා නමක් අහලා නෑ”

“ලස්සන නම හැබැයි. කෙල්ලෙක් වෙන්ට ඇති. මෙලෝ කුමාරී වසල…ඒක හොඳයි නේද අයියා?”

“ම්…නරක නෑ…එහෙම බැලුවොත් හැබැයි ඒ සිංදුවේ ඉන්න අනික් එක්කෙන පිරිමියෙක් කරමු”

“කවුද අනික් එක්කෙනා?”

“ඇයි ඒ. කේ. කේ. අසරණයා…අඩු කුලේ කියාලා අසරණයා?”

“මං හිතන්නේ එයාගෙ මුලනමේ ‘ඒ’ කියන්නේ නමේ කෑල්ලක් නෙවෙයි”

“එහෙනම්?”

“ ‘ඒ ’ කියන්නේ ‘අර’ එහෙම නැත්තන් ‘මේ’ කියනවා වගේ. ‘අර මිනිහා’ ‘මේ ගෙදර’ ‘ඒ ගහ’ වගේ”

“චුට්ටි කියන්නේ අසරණයා සමහරවිට ‘කපිල කුමාර අසරණයා’ වෙන්ට පුලුවන්. ‘ඒ’ කියන්නේ ‘ඒ කොල්ලා’ වගේ”

“අන්න හරි”

“හැබැයි එතකොට කොයි කපිල කුමාරද කියලා අහන්ට හිතෙනවා නේද?”

“ඒකට මොකද? මගෙ හිතට එන්නේ ඇයි කපිලකුමාර මෙලෝ කුමාරි මැඩලන්නේ කියලා…මැඩ ලන්නේ කියන්නේ මඩ ගහනවා වෙන්ට ඇති”

“ඔවු චුට්ටී…සිංදු ලියනකොට ඕන දෙයක් ලියන්ට පුලුවන්…කියන මිනිස්සු එක එක විදිහට කියන්ටත් පුලුවන්!”

“අපිටත් පුලුවන් නේද සිංදු ලියන්ට?”

“ඔවු…හැබැයි හරි කෙනෙක් අල්ල ගන්ට ඕනෑ කියන්ට”

“ඒක ඇත්ත…නැත්තම් කාටවත් තේරෙන්නෙ නැතිවෙයි මොනවා ලියලද කියලා!”

මෙතරම් වෙලා මඩුවේ එලියේ වාඩිවෙලා මේ කතාව අහගෙන හිටපු බිසෝ මඩුව ඇතුලට ආවා.

“සරත් පුතේ දැන් ගෙදර ගියොත් හොඳයි නේද කරුවල වෙන්ට ඉස්සර?”

“ඔවු නැන්දා…අප්පච්චී කියලා ගියේ රෑ වෙන්ට ඉස්සර එන්ට කියලා”

“එහෙනං අප්පච්චිට කියාපං මම පිංකමට හාල් ටික ලෑස්ති කරලා තියෙන්නේ කියලා, ඇවිත් ගෙනියන්ට කියලා”