විනෝද ගමනක්

“අපි තේ එහෙම බීලා ඉවරවෙලා දහය හමාරට මෙතනින් පිටත් උනොත් දවල් කෑමට පොලොන්නරුවට යන්න පුලුවන්….”

ගමන සංවිධාන කල සනත් මෙහෙම කිව්වේ අපි තේ බොන්න පටන්ගන්නත් ඉස්සර. සනත් කැමතියි හැම දේම පිලිවෙලකට කරන්න - අංතිම මොහොතේ එහෙ මෙහෙ දුවන එක මිනිහට අල්ලන්නෙම නෑ.

“වෙලාවට පොඩ්ඩෝ එකතු කරගන්න එක තමා වැඩේ … අන්න අර සරෝජිනීලගෙ ලමයි දෙන්නා එහෙම දැනටම වත්ත පහලට දුවනවා…”

“දෙමව්පියෝ තම තමංගෙ ලමයි බලාගත්තොත් කරදරයක් වෙන එකක් නෑ”

පැය දෙකකට කිට්ටුවෙන්න බස් එකේ හිටි අපිට වැසිකිලි යන්න ඔනෑ නිසා තමා අපි වැඩි පුරම දඹුල්ලේ පරන තානායමේ තේ බොන්න නවත්තන්න හිතුවේ. ඒ ඇරුනුකොට දුම් බොන්නන්ට පෙනැහැලි තව ටිකක් කුනුකරවා ගන්නත් මේකෙන් අවස්තාව ලැබෙනවා. මීට පස්සේ ආයෙ පොලොන්නරුවේ තමා මේවා කරන්න පුලුවන් වෙන්නේ.

මේ යන විනෝද ගමනට අපෙ නුවර කන්තෝරුවේ පවුල් හතරක් එකතු උනා. අපෙ දරුවොත් එන නිසා ගමන සංවිධානේ කලේ ඉස්කෝල නිවාඩු කාලේ අල්ලලා. පොඩ්ඩන්ට මේ ගමන හොඳයි කන්තෝරුවේ අනික් අයගෙ ළමයි මුන ගැහිලා ආශ්‍රය කරන්නත් ඉතිහාසය ගැන යමක් දැන ගන්නත්. නමුත් ගමන යන වැඩිහිටියෝ නම් බැලුවේ පොලොන්නරුවේ ඓතිහාසික වටිනාකමට වැඩිය රස්සාව අමතක කරලා දවසක් දෙකක් විනෝද වෙන්න. පොලොන්නරුවේ සංචාරක බංගලාවකුත් අද රෑට වෙන්කරගෙන යන අපිට අදයි හෙටයි නියම විනෝද ගමනක් වෙයි කියලා සේරම බලාගෙන හිටියේ.

තේ බීලා ඉවර වෙලා සනත් ආයෙත් කතා කලා සේරටම ඇහෙන්න.

“දැන් දහයයි විසි පහයි….දෙමව්පියෝ තමංගෙ ලමයි එකතු කරගන්න….බැරිනම් හෙට ආපහු එනකොට තමයි දාගෙන යන්න වෙන්නේ…”

“…තාත්තී… එහෙනං මං මේ අක්කත් එක්ක මෙහෙ නවතින්නද?”

සනත්ගෙ පොඩි එකා තවම වයස හයක් උනාට දැන්මම සනත් වගේ, කිසි කුලෑටි ගතියක් නෑ. ඒ ප්‍රශ්නේ ඇහුවේ මගෙ දුවගෙ අත අල්ලාගෙන. සනත්ගෙයි මගෙයි පවුල් දෙක හොඳටම යාලු නිසා පොඩ්ඩෝ දෙන්නත් හොඳ යාලුවෝ.

“අපි යං මල්ලී ඉක්මනට හොඳ සීට් එකක් අල්ලා ගන්න” මගෙ කෙල්ල දන්නවා වැඩිහිටියයොත් පොඩ්ඩොත් එක්ක කතා කරලා දෙගොල්ලගෙන්ම ඇඟ බේරාගෙන වැඩ කරන්න.

“මෙහෙ ඉඳන් පොලොන්නරුවට යනකම් පොඩි ළමයි ඉස්සරහ සීට් වල…. නාකියෝ විතරයි පිටි පස්සේ…”

මගෙ ඒ වචනෙට එකම උත්තරේ ලැබුනේ මගෙ පවුල, කමලා ගෙන් … “බෝතල පස්සා සීට් එකේ වෙන්න ඇති…අනේ හැබැයි බස් එකේ සිගරැට්නම් බොන්න එපා”

අපෙ බස් එක ජෝඩු හතරටයි ලමයි පස්දෙනාටයි ඔනෑ තරම් ඉඩ ඇති - ඕනෑවටත් වැඩිය ඇඳුම්, කෑම මලු එහෙම ගෙනත් තිබුනත්. වැඩිහිටි පිරිමි හතරදෙනා පස්සා ආසනේ. අනික් අයට එහෙම වාඩිවෙන නීති නෑ; සමහරු දරුවොත් එක්ක, සමහර ආසනවල දරුවෝ විතරයි නැත්තම් වැඩිහිටියෝ විතරයි. කවුරු එක්ක හිටියත් බස් එක පාරට ගන්නකොට සේරම කයිවාරුව පටංගෙන ඉවරයි.

දඹුල්ල නගරේ පහුවෙන ගමන්ම සනත් පස්සා සීට් එක යටින් අරක්කු බෝතලේකුයි ප්ලාස්ටික් කෝප්ප ටිකකුයි එලියට අරන් මං අතට දුන්නා. මම දුවගෙන් වතුර බෝතලේකුත් ඉල්ල ගත්තා. සනත්ගෙ පවුල අමිතා හැරිලා බලලා අපිට වඩේ දාපු ප්ලාස්ටික් බාජනයක් දුන්නේ වැඩි හිනහවක් නැතුව. කිසි දෙයක් නොකිව්වට අමිතා වැඩිය කැමති නෑ අපි බොනවට. අපි හතරදෙනා බීම ටිකක් වක්කර ගත්තයින් පස්සේ තමා ආයෙ කතා කෙරුවේ.

“හා දැන් පොඩි ළමයි සිංදු කියන්න ඕනෑ….”

“ඔවු… අර ‘රං ටිකිරි සිනා’ සිංදුව….?”

“ඒ මොකද්ද?” මේ අය බාල වැඩී ඒ සිංදු දැන ගන්න.

“අර ‘රං ටිකිරි සිනා…බස බස ගාලා…’ කියන එක” ටිකක් බීපුවම අපෙ හිතේ අපි හරිම විහිලුකාරයෝ කියලා.

“බොන අය සිංදුවක් පටංගන්න, අපිත් කියන්නම්….. හැබැයි අපිටත් වඩේ දුන්නොත්…” සරෝජිනී දන්නවා අපි කොහොමටත් සිංදු කියන බව.

හෙමින් හෙමින් සිංදු කීපයක් කිය උනා. ගැහැනු අය තාලෙටත් පිරිමි අය සද්දෙටත් තමා වැඩියම හැකියාව දැක්වූවේ. සමහර සිංදු බාගෙට කියවිලා ආයෙත් කතාව පටං ගන්නවා. තව සමහර සිංදු වල එකම පදේ කීප සැරයක්ම කිය උනා. විජේ ප්ලාස්ටික් පෙට්ටියක් අරගෙන බෙර ගහන එකෙන් සංගීතෙට බාදාවක් මිස රුකුලක් ලැබුනෙ නෑ. සිංදු කියන එක මත්පැන් බීමේ කොටසක් උනා මිස සංගීතෙට වැඩි සම්බන්දයක් පෙන්නුවෙ නෑ.

මේක විනෝදෙට නිවිහැනහිල්ලේ යන ගමනක් උනාට එක පැත්තකින් බලනකොට බස් එකේ ගමන කාර්ය බහුල දෙයක්. පොඩ්ඩෝ ටික අනික් අයට වැඩිය කාර්යක්ශමයි - සිංදු කියනවා, වඩේ කනවා, කෙසෙල්ගෙඩි කනවා, කාඩ් ගහනවා, හයියෙන් හිනා වෙනවා, පොත් කියවනවා, පින්තූර ගන්නවා එක එක්කනාගෙ කැමරා වලින් - වැඩ ගොඩයි. ජනෙලෙන් එලියේ පෙනෙන දේ කෑ ගහලා අනික් අයට පෙන්නන්නෙත් ඒ ගැන ප්රශ්න අහන්නෙත් ඒ අයයි.

“ආං…ආ…දැක්කද…අලියෙක්?...අම්මී අම්මී ලොකූ අලියෙක්…”

“මං දැක්කා. ඔවු හරී ලොකුයි…. වතුර ඕනැද?”

“අර කන්ද කොච්චර උසද?”

“ඒක...අ…මීටර් පන්සීයක් විතර…”

“අපි අද රෑ නිදාගන්නේ කොහෙද?”

“එහෙ ගෙදරක - සනත් අන්කල් තමා දන්නේ…”

වැඩිහිටි ගැහැනු අයට එහෙමත් වැඩ ගොඩයි. දරුවන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නෙත් ඒ අයටයි. තවත් දරුවොයි පුරුෂයොයි හරියට කනවද, බොනවද, හැසිරෙනවද කියලා ඇහ ගහගෙන ඉන්න ඕනෑ නිතරම. ඒ අතරතුරේ කතා කරන්නයි සිංදු කියන්නයි වෙනවා බස් එක නවත්තනකම්. පිරිමි අපිටත් වැඩ තියෙනවා - ඩ්‍රයිවර්ට පාර කියලා දෙන්නත්, පොලොන්නරුවේ ඉන්න යාලුවෝ ගැන සොයලා බලන්නත්, හවසට කෑම බීම ගැන හිතලා බලනත් වගේ.

“මින්නේරියෙ ගොවි ජන පදයේ…” විජේට හොඳට සිංදු කියන්න පුලුවන් වීදුරු දෙකටත් හතරටත් අතරේ.

“පැය බාගෙන් අපි පොලොනරුවේ…” තවත් එකෙක් විහිලු කාරයෙක් වෙන්න හදනවා තාලෙට.

“මචං චූ කරන්න ඕනෑ…”

“ඉවසපන් පොලොන්නරුවට යනකන්”

“සැල ලිහිනි කොවුල් හඬ රැව් දෙන්නා…”

බස් එකේ සේරම වගේ මේ සිංදුව දන්නවා. ඒකේ අමුතු ලස්සනක් තියෙනවා ලොකු/පොඩි ගෑනු/පිරිමි කට හඬවල් ගානකින් තාලෙට කියවෙනකොට. වෙන එකක් තියා පස්සා සීට් එකේ අයත් සද්දේ ටිකක් අඩු කලේ මේ සිංදුවට, අනික් අයගෙ කටහඬවල් ඇහෙන විදිහට. ඉස්සරවෙලා එහෙ මෙහෙ පැන පැන හිටපු පොඩි ලමයිත් වාඩි වෙලා සිංදුව කියනවා නැත්නම් සද්ද නැතුව අහගෙන ඉන්නවා. මට පුදුමයි එක පරන සිංදුවක තියෙන බලය.

ඈත යන කෝච්චියක සද්දේ ක්රමයෙන් අඩුවෙනවා වගේ සිංදුවත් ටිකින් ටික අඩුවීගන ගියා. නමුත් ඒ සිංදුවෙන් පැතිරුන මෘදු වාතාවරනය වචන කීපෙකින් කා දමන්න විජේට පුලුවන් උනා.

“අනේ මගේ එමලි පනේ….” යංතම් විජේට තව වීදුරුවක් අතට දීලා ඒ කරදරෙන් අපි ගොඩ උනේ.

“ඩ්‍රයිවර් උන්නැහේ ඔය එකේ ඇල ලඟින් ඇතුලට දාන්න - බන්ඩ් එක දිගේ යමු”

සිංදුයි කතාවයි නවත්තලා අපි සේරම පරාක්‍රම සමූද්‍රේ දිහා බලාගෙන හිටියා, හරියට පලවෙනි සැරේට මුහුද දකින්නෝ වගේ.

සංචාරක බංගලාවේ නිදන කාමර හතරක් තිබුනා. විජෙයි සරෝජිනියි දරුවෝ දෙන්නත් එක්ක විජේලගෙ ගෙදර රෑ නවතින බවයි ඉස්සරවෙලා කියලා තිබුනේ. නමුත් දරුවන්ගේ ඕනෑ කමට ඒ අයත් අපි එක්ක රෑ නවතින්න කැමති උනා. අංතිමට අපි කාමර දෙක බෙදා ගත්තේ මලු දාන්න තැනක් හැටියට විතරයි; නිදාගන්න සැලසීම් හවස තීරනේ කරමු කියලා. ගෙදර බලාගන්න පීරිස් හදලා දීපු තේ එක බොන්න අපි සේරම එකතු උනා ඉස්සරහ ඉස්තෝපුවේ.

“දැන් මම ටවුමට යනවා ඕඩ්ර් කරලා තියෙන කෑම පැකට් ගේන්න. මොනවත් ටවුමෙන් ඕනැනම් මාත් එක්ක යමු…… මම හිතුවේ කාලා ඉවරවෙලා, ඉර රස්නේ පොඩ්ඩක් අඩු උනාම, දෙක හමාරට තුනට විතර අපි වටයක් යමු බලන්න තියෙන දේ බලන්න. අපිට පුලුවන් හය විතර වෙනකොට වැවකින් හරි ඇලකින් හරි නාලා එන්න, කලුවර වෙන්න ඉස්සර….අද රෑයි හෙට උදෙයි වල් අලි බලන්නත් පුලුවන්….”

“හෙට කීයටද මෙහෙන් පිටත් වෙන්න අදහස සනත්?”

“මට හිතෙන විදිහට ගල් විහාරේ පැත්ත හෙට උදේට බලන්න තියාගත්තොත් අපිට මෙහෙන් එකොලහට විතර පිටත් වෙලා, සීගිරිය දඹුල්ල බලාගෙන රෑ වෙනකොට ගෙදර යන්න පුලුවන්”

“ටිකක් උදෙන් ගියොත් සීගිරිය නගින්නත් වෙලා ඇති වෙයිද?”

“ඒක ටිකක් අමාරුයි අමරේ, ඉන්න කට්ටියේ හැටියට - පොඩි අයත් එක්ක. නමුත් අපිට පුලුවන් සීගිරිය ලඟ කොහෙ හරි වතුර තියෙන තැනක් බලලා දවල්ට කන්න - ගල දිහා බල බලා”

“එතකොට දඹුල්ල?”

“ඕන නම් පැය දෙකක් යයි ඒකට. එතනින් පහට පිටත් උනත් නුවරට යන්න පුලුවන්….හැබැයි මම නම් කැමතියි දෙකට විතර සීගිරියෙන් පිටත් වෙලා පහ වෙනකොට නුවරට යන්න. සේරටම රෑ වෙනකොට ගෙදර යන්න පුලුවන්”

“ඒකනම් හොඳයි තමා. අපි රෑ වෙලා තීරනයක් ගමු. දැන් කන්න බොන්න ඕනෑ”

“විනාඩි දහයෙන් කෑම එනවා - දැන් ලෑස්තිලු. මොනවත් ගන්න තියෙනවනම් යමු දැන්”

අන්තිමට පොඩි ළමයි කීප දෙනෙක් විතරයි සනතුයි මමයි එක්ක ටවුමට ආවේ.



දවල්ට කෑම කාලා ටිකක් විවේකෙන් ඉඳලා ඓතිහාසික පොලොන්නරුව බලන්න යන්න ලෑස්ති උනා. සමහරු ගමනට අදි මදි කලා.

“මම මෙහෙ ඉපදුනේ - ආයෙ මේකේ බලන්න දෙයක් ඉතුරුවෙලා නෑ මට!” විජේගෙ කතාවේ ඇත්තකුත් තියෙනවා.

“මටනම් යන්න ආසයි” ඒ විජේගෙ පවුල, සරෝජිනී.

“ජනනියි ජානකයි එක්ක යනවද? නැත්තම් මම ඒ දෙන්නා ගෙදර එක්ක යන්නම් අත්තලා බලන්න”

“කොහොමද යන්නේ? ටුක් ටුක් එකකද?” සරෝජිනීටත් නැන්ද මාමලා බලන්න ආසා වෙලා.

“මල්ලිට ෆෝන් කරලා කාර් එක ගෙන්නා ගන්නවා..…. ඇත්තටම අපි හතරදෙනාටම පුලුවන් අපෙ ගෙදර ගිහින් පැයකින් විතර ආපහු බස් එක තියෙන තැනකට ඇවිත් මේගොල්ල එක්ක ඉතුරු ටිකට ටුවරිස්ට් ලා වෙන්න”

“ඒක නම් හොඳ විදිහ…එහෙනම් අපි යමු - මාමට කොහොමද කියලා එහෙමත් බලාගෙන එන්න පුලුවන්”

අමරෙයි දීප්තියි නැවතුනා තව ටිකක් හාන්සි වෙන්න ඕනෑ කියලා. දීප්ති එනකොටත් ඉසේ කැක්කුම කිය කියා ආවේ. පුලුවන් උනොත් හවස් වෙලා වැව පැත්තේ ඇවිදලා එනවා කිව්වා. නමුත් ඒ අයගෙ පුතා දිමුත් බස් එකේ ආවා අනික් අයත් එක්ක පොලොන්නරුව වටේ යන්න.

අපිට වැය කරන්න තියෙන වෙලාව වැදගත් නිසා අපි හිතුවා ඉස් ඉස්සරවෙලා ඈතින් තියෙන දේ බලන්න. ඒක නිසා අපිට ටිකට් ගත්තැයින් පස්සේ බස් එකේ සෑහෙන වෙලාවක් ගත කරන්න සිදු උනා ගල් විහාරේ පැත්තට යන්න. එතැනින් රංකොත් විහාරෙත්, කිරි වෙහෙරත්, ලංකාතිලකෙත් බලාගෙන අපි ගල් විහාරේ දකිනකොට තමා හිතුනේ මේවා කරන්න දක්ශ ගල් වඩුවෝ, බාස්ලා එහෙම ඇරුනකොට කොතරම් හොඳ කළමනා කරුවෝ ඉන්න ඇතිද කියලා. සනත් කිව්වේ “දැන් අපෙ කංතෝරුවේ අය මෙහෙම දෙයක් පටන් ගත්තනම් එක්කෝ සිමෙන්තියෙන් හදයි නැතිනම් චීනෙට කොන්තරක් දෙයි” කියලා.

මම දැකපු තව එකක් තමා බස් එකේ කෑ ගහ ගහ හිටපු පොඩි තුන්දෙනා ගල්විහාරෙදි සද්ද අඩුයි. ඒක වැඩිහිටියෝ නිශ්ශබ්ද නිසාද එහෙම නැත්තම් ගල්විහාරේ නිසග ගතියක් නිසාද කියන්න අමාරුයි. අපි ආපහු පාර ලඟට ඇවිත් කඩෙන් තැඹිලි ගෙඩියක් බොන වෙලාවෙත් කිසි කෙනෙක් වැඩිය සද්දෙට කතා කලේ නෑ. මේ වෙනස හොඳටම දැනුනේ විජේලා එතෙන්ට ආවට පස්සේ - කට්ටි දෙකේ කතා ස්වර හොඳටම වෙනස්. අපෙ අයගෙත් නැවත සද්ද වැඩි උනේ දෙමළ මහා සෑයත් තිවංක පිලිමයත් බලන්න යන්න බස් එකට නැංගට පස්සෙයි.

“විජේ මල්ලිටත් එන්න කියන්න රෑ කෑමට”

“ඒක කරදරයක් වෙයිද?”

“නෑ පිස්සුද? අපි අඩුම ගානේ ඒකවත් කරන්න ඕනෑ විජේලා ආපහු මෙතෙන්ට ගෙනත් දැම්මට”

“…මම මල්ලිගෙන් අහන්නද හොඳ නාන තැනකුත්?”

“නියමයි…හැබැයි අපි ආපහු බංගලාවට ගිහින් තමයි යන්න වෙන්නේ”

“එතකොට අමරෙලත් අල්ල ගන්න පුලුවන්”

………

විජේගෙ මල්ලී, සෙනරත්, රෑ කෑමට ආවේ බොන නොබොන අයට කන්න ලොකු දඩමස් පිඟානකුත් තම්බපු මයියොක්කා මුට්ටියකුත් අරගෙන. එයා කාර් එකෙන් අරක්කු බෝතලේකුත් හොරෙන්ම සාලෙට ගෙනාවා. එයත් සනත් වගේම සංවිධානෙට දක්ශයි. නිතරම හිනාවෙන් කතාකල නිසාද කොහෙද මිනිහා පිට කෙනෙක් හැටියට අපිට දැනුනෙ නෑ.

හොඳටම මහංසිවෙලා හිටිය අපිට නෑමෙන් පස්සේ හොඳ සනීපයක් දැනෙනවා. අපි දහ දෙනාම සාලේ වාඩිවෙලා ගෙවුන දවස ගැන කතා කලා. අපි කීප දෙනෙක් අරක්කු පොඩ්ඩකුත් බිව්වා. සෙනරත් ගුරුවරයෙක් නිසාද කොහෙද එයාගෙ නායකත්වයෙන් පොඩි අය සමිතියක් පැවැත්වුවා.

මට හොඳටම හිතට ඇල්ලුවේ සෙනරත්ගෙ සමිති නීති රීති. එයා සභාපති නිසා එයා තමා කිව්වේ ඊ ලඟට සිංදු, කතාංදර, නාට්ය කියන්නේ කරන්නේ කවුද කියලා. සෙනරත්ගෙ දක්ශකම තමා එයා සේරටම එක විදිහට සැලකුවේ - ලොකු පොඩි බේදයක් නැතුව. මටත් උනා දුවයි පවුලයි දිමුතුයි එක්ක “දහම් පාසැලක්” පවත්තන්න.

සමහර පොඩ්ඩෝ අනික් අයට ඉස්සර රෑට කෑවට කිසි කෙනෙක් නිදා ගන්න ගියේ නෑ සේරම කාලා ඉවර වෙනකන්. අංතිමට පීරිස්ටත් කන්න ඕනෑ නිසත් සෙනරත්ට ගෙදර යන්න ඕනැ නිසත් අපි රෑ දහය හමාරට කෑමට වාඩි උනා.

……………

රෑ දොලහ පහුවෙලත් මට නිදි මතක් නෑ. අනික් අය සේරම නිදි. බංගලාව ඉස්සරහ නෙල්ලි ගහ යටට පුටුවක් දාගෙන මම වාඩිවෙලා සිගරැට් එකක් බිව්වා. අඩ හඳකින් එන එලිය අඳුර නැති කරනවා වෙනුවට ගහ කොල තවත් කලුපාට කරන බවක් මම දුටුවේ. ඉඳ හිට ඇහෙන සතෙකුගේ සද්දයක් ඇරුනුකොට මුලු පලාතම නිශ්ශබ්දයි. මේ නිසංසල අඳුරයි අද බස් එකේ තිබුනු කලබලෙයි සද්දෙයි අහස පොලව වගේ වෙනස්. නමුත් බස් එකේ හිටි අයමයි දැන් බංගලාවේ ඉන්නෙත්.

අපි සේරම ආවේ එකම බස් එකේ, නමුත් සේරම ආවේ එකම විනෝද ගමනකද?

විජේලාගෙ කට්ටිය ගමන ආවේ ගමේ යනවා වගේ ගෙදර අය බලන්නත් එක්ක. විජේගෙ විනෝදේ වැඩිපුරම බස් එකේ පස්සා සීට් එකේ - සරෝජිනීගෙ විනෝදේ මට පෙනෙන විදිහට ගෙදරින් පිට කොහේ හරි යන එක; ගමන කොහෙ ගියත්, ගමනෙදි මොක උනත් එයාට ගානක් නෑ වගේ.

සනත් හරියට මැසිමක් වගේ - හැම දෙයක්ම කරන්නේ සැලැස්මක් අනුව. සනත්ට විනෝද ගමන කන්තෝරුවේ ප්‍රොජෙක්ට් එකක් වගේ; අංතිම සතේ දක්වා අය වැයත් පියවයි. ඒක එයාට සන්තෝසයක්. අමිතා එහෙම නෑ; ඕනෑ දෙයක් ඕනෑ වෙලාවක කරන්නේ අනික් අය යන පාරේ. ඒ නිසා මේ විනෝද ගමන අමිතට කෙලින්ම විනෝද ගමනක් - තමංගෙ කියලා න්‍යාය පත්‍රයක් නෑ. එහෙම උනත් දකින හරි වැරදි කෙලින්ම කියන්න පැකිලෙන්නෙ නෑ. සනත්ට එහෙම කෙනෙක් නැතුව අමාරුයි! පොඩි එකා සනත් වගේ උනාට අමිතගෙ ගතිගුනත් තියෙනවා වගේ.

අමරෙයි දීප්තියි තවම ඉන්නේ අමරෙලගෙ මහ ගෙදර. ඒ නිසාම වෙන්න ඇති දෙන්නා ගෙදරින් පිටවෙන එක විනෝද ගමනක්, කොහෙ ගියත්. වෙන නෑදෑයෝ අවට නැතුව දෙන්නා විතරක් කතාකරකර ඉන්න එකත් විනෝදයක්. මට සන්තෝස හිතුනා දිමුත් අනික් ළමයි එක්ක බස් එකේ ආ එක ගැන.

එතකොට අපෙ පවුල? අනික් අය ගැන හිතනවා වගේ ලේසි නෑ තමා ගැන හිතන එක. කමලටයි ටිකිරිටයි මේ විනෝද ගමනෙන් ඕනෑ මොනවද කියලා හිතන්නවත් අමාරුයි. මේ ගමන ගැන මගෙන් කිසි දෙයක් ඇහුවෙත් නෑ, යන්න ඕනෑ තැනක් කිව්වෙත් නෑ. සමහරවිට සනත්ගෙන් හරි අමිතගෙන් හරි විස්තර අහගන්න ඇති. ඒ කියන්නේ මම ඒ අයගෙ ඕනෑ එපාකම් බැලුවා මදිද?

මට පොඩි සද්දයක් ඇහිලා හැරිලා බැලුවා සතෙක්වත්ද කියලා. මම දැක්කේ මගෙ දුව, ටිකිරි අමාරුවෙන් පුටුවකුත් උස්සාගෙන නෙල්ලි ගහ ලඟට එනවා. මගෙ පුටුව ලඟින් එයාගෙ පුටුවත් තියලා වාඩි වෙලා තමා මගෙ මූන බැලුවේ. සමහරවිට හිතෙන්න ඇති මම නිදාගන්න යන්න කියලා සැර කරයි කියලා. මම දුව එක්ක හිනා වෙලා අතින් අල්ලාගත්තා. ටිකිරි යන්තම් හිනාවෙලා ලොකු හුස්මක් ඇරලා පුටු ඇන්දට හේත්තු උනා. අපි දෙන්නා කතා නොකර අඳුරු කැලෑව දිහා බලාගෙන, කැලේ සද්ද අහගෙන හිටියේ මුලු ලෝකෙත් සමග එක් කුස උපන්නෝ වගේ. ඊයෙත් එකයි, හෙටත් එකයි, අපිට වැදගත් වෙන්නේ මේ මොහොත පමනයි.