වෙන්වීම

“මොකද අනූ? කලංතේ වගේද? …ඉන්න මම වතුර එකක්… ”

ඔලුව සොලවා වතුර එපා බව තම සැමියට හඟවා අනුලා හීනෙන් ඇවිදින කෙනෙක් වගේ පුටුව පැත්තට ඇදුනා. පුටුවට පාත්වුන අනුලා අතින් අල්ලගෙන ආ පොඩි එකී උකුළට ගත්තේ වෙවුලමින්.

“මොකද අනූ? අව්ව සැර වැඩිඋනාද? චුට්ටී අම්මට මොකද උනේ?”

ආනා වහාම ගේ ඇතුලෙන් වතුර වීදුරුවකුත් තෙත තුවා කෑලකුත් ගෙනාවේ පවුලටයි දුවටයි සූර්ය ක්ලාන්ත අමාරුව දැනෙනවා කියලා හිතලයි. තෙත තුවායෙන් අනුලාගෙත් දුවගෙත් මුහුන පිසදමා පොඩි එකී උස්ස ගත්තේ අනුලාට හුස්ම ගන්න ඉඩ දෙන්නයි.

“ටික්කිට මොනවත් කන්න බොන්න දීලා ඇඳේ හාන්සි කරවනවද? කෙල්ල ටිකක් මහංසි ඇරියොත් හොඳයි” අනුලගෙ කටහඬ දුර්වලයි.

“එතකොට අනූ?”

“අපි පස්සේ කතාකරමු… මම ටිකක් පුටුවේ ඇලවෙන්නම්…”

ආනට තේරෙනවා ටවුමට ගිහින් එනකොට මොනවාහරි වෙන්න ඇති බව. දුවගෙ පෙරපාසැල අනුලා නොදන්න තැනක් නෙවෙයි. අව්වේ ගියත් ඔයතරම් මහන්සිවෙන්න දුරකුත් නෙවෙයි. අනුලා ලේසියට සසලවෙන කෙනෙක් නොවෙන බව ආනා දන්නවා. මේවා ගැන පස්සේ හොයලා බලන්න පුලුවන් කියලා හිතාගෙන දුවගෙ ඕනෑ එපාකම් බලන්න ඊ ලඟ පැය බාගේ ගතකලා. පොඩි එකීට අව්වෙන් කරදරයක් වෙලා නැති බව පැහැදිලි නිසා ආනා පෙරපාසැලේ විස්තර ගැන කතා කලා කෙල්ලට නින්ද යනකම්.

ආනා එලියට එනකොට අනුලා තවම හිටිය ඉරියව්වෙන්ම පුටුවේ. නමුත් ඇස් දෙක හොඳටම ඇරිලා.

“අම්මා දැක්කා!”

“ඈ?...”

“අපෙ අම්මා අර පාක් එකේ බංකුවක වාඩිවෙලා හිටියා”

ආනට හිතාගන්න අමාරුයි මෙතෙන්දී කියයුත්තේ මොකද්ද කියලා.

“මං දැක්කම අහක බලාගත්තා!”

“හොඳටම විස්වාසද දැක්කේ අම්මා කියලා?”

“ගිය අවුරුදු කීපේ මොන මොනවා උනත් අම්මා අඳුනා ගන්න එක මට අමාරු නෑ ආනා”

ආනට පසුගිය අවුරුදු කිහිපය පෙනුනේ ලාබෙට නිපදවපු ටෙලිනාටකයක් වගේ.

…………………………….

අනුලා දැකපු පලවෙනි දවසෙම මොහමඩ් අන්සාර්ට හිතුනා “මෙයා තමා මට ඕන කෙල්ල” කියලා. ඒ මීට අවුරුදු අටකට ඉස්සර කුරුනෑගල පැවතුන සිංහල අවුරුදු ක්රීඩා උත්සවයකදීයි. මීටර සීයෙත් දෙසීයෙත් තරඟවලිනුත් දුර පැනීමේ තරඟයෙනුත් ජයගත් අනුලා සමග තමාගේ රූපවාහිනී නාලිකාව වෙනුවෙන් වූ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූයේ අන්සාරුයි.

“පලමුවෙන්ම මම ජයශ්රී නාලිකාව වෙනුවෙන් ඔබට සුබ පතන්න කැමැතියි, අද ලැබූ ජයග්රහන වලට…”

“ස්තුතියි”

“ටිකක් මයික්රෆෝනය කිට්ටුවට එන්න… ආ හොඳයි… මම මේ කතා කරන්නේ අද තරඟ වලින් අතිදක්ශලෙස දිනුම් ලැබූ අනුලා කුමාරී වැලිවේරිය සමගයි… මීටර් සීය දෙසීය මෙන්ම දුර පැනිමේ තරඟයත් පහසුවෙන්ම දිනාගත්තා නේද?”

“… ඒ තරම් පහසුවක් නෑ…”

“මට සමාවෙන්න…ඒක ඇත්ත තමයි…. බලාගෙන ඉන්න එක පහසු උනත් දුවන පනින එක ලේසි නෑ…. අනුලා කුමාරී… මං එහෙම කතා කරාට කමක් නැද්ද?”

“ඒක තමා මගෙ නම”

“අනුලා කුමාරී මල්ල ක්රීඩා පුහුනුවෙන්නේ කොහෙද?”

“අපෙ ඉස්කෝලේ”

“ඉස්කෝල ජීවිතෙන් පස්සෙත් මලල ක්රීඩා පුහුනු දිගටම ගෙනියන්නද අදහස? ලංකාවට ඔබ වගේ අය අවශ්යයි. ඉතාම අවශ්යයි. අපිට අනාගතේ ආසියානු මලල ක්රීඩා වලට ඔබ සහභාගි වෙනවා දකින්න අපිට පුලුවන් වෙයි කියලා මට හිතෙනවා”

“…. අ… ප්රශ්නේ මොකද්ද?”

“ඉස්කෝල ජීවිතෙන් පස්සේ මොනවද කරන්න අදහස?”

“… විශ්වවිද්යාලෙට යන්න කැමතියි… බැරි උනොත් ගුරු අභ්යාස විද්යාලෙකට…”

“එතකොට මලල ක්රීඩා පුහුනුව?”

“ඒක යෙදෙන හැටියට … දැන් කියන්න බෑ”

සම්මුක සාකච්චාව තව විනාඩි කිහිපයකින් අවසන් වුනත් අන්සාර්ට අනුලාගැන නිතර හිතන එක නවත්තන්න දවස් ගානක් ගියා.

අන්සාර්ට අනුලා එක්ක තනියම තේ එකක් බිබී කතා කර කර ඉන්න තව අවුරුදු තුනක් ගියා. ඒ අන්තර් විශ්වවිද්යාල මලල ක්රීඩා උත්සවයකදීයි. පසුගිය අවුරුදු දෙකේදිත් දෙන්නා ඉඳහිට ‘හදිස්සියේ’ (අන්සාර්ගෙ සැලසුමෙන්) හමුවුනත් ආ ගිය කතා මිස වැදගත් දෙයක් කතාවට එකතුවුනේ නෑ. එදා තේ තොලගාන අතරෙයි අන්සාර් අනුලගෙ ගෙදර තොරතුරු ඇහුවේ. කතාව දුවන පැත්ත අනුලට වැටහුනත් ඒ බව පෙන්නන්න කැමතිඋනේ නෑ.

“අපෙ තාත්තගෙ ගම වැලිවේරිය - ඒකෙන් තමා මගෙ නම ආවේ. අම්මා කුරුනෑගල - ඒකයි අපි එහෙ ඉන්නේ. අම්මලාගෙ ඉඩම් ගොවිතැන් කරගෙනයි අපි ජීවත් වෙන්නේ. අයියා රස්සවට ගියාට පස්සේ කරදර අඩුයි. මටයි මල්ලිටයි උගන්නන්න තුන්දෙනාම උදව් වෙනවා…. එච්චරයි… ආයෙ කියන්න දෙයක් නෑ…”

අන්සාර් ටිකක් සද්ද නැතුව හිටියා, තමා ගැන යමක් කියන්නේ කොහොමද කියලා කල්පනා කරමින්.

“… අපි බේරුවල. අනුලට නමෙන්ම දැනෙනවා මම මුස්ලිම් කියලා. අපෙ තාත්තා මුදලාලී කෙනෙක් - ඒ වගේම හරිම ආගමට ලැදියි. මම නම් යන්නේ අම්මගෙ ආරෙට, මං හිතන්නේ. මම මුස්ලිම් නමුත් තාත්තා වගේ ආගම බදාගෙන නෑ. අක්කා බැඳලා දැන් ටිකක් කල්. පොඩ්ඩෙකුත් ඉන්නවා. මම පදිංචිය කොළඹ - මට කියලා ගෙදරක් නෑ - බෝඩිමක ඉන්නේ; මගෙ පොඩි පඩියෙන් තමයි යැපෙන්නේ….”

තව විනාඩි දහයක් විතර වැදගත්කමක් නැති එක එක විකාර ගැන කතා කරලා මේසෙන් නැගිටින වෙලාවේ අන්සාර් ඊලඟ ප්රශ්නේ ඇහුවේ.

“… මම අනුලට ඉඳලා හිටලා ලියුමක්, ඊමේල් එකක් එහෙම එව්වට කමක් නැද්ද?...”

“… ඒකට මොකද? කමක් නෑ….”

දෙන්නගෙ මිත්රකම හොදින් ලියලා ගියා, ඊලඟ අවුරුද්දේ. අනුලා අවසාන විභාගය ඉවරවූ විටයි අන්සාර් දෙන්නාගේ අනාගතය ගැන අදහස් දැක්වූවේ. පවුල් දෙකේ වෙනස්කම් පෙරමුනට ආවේ එවිටයි. පවුල් දෙකම කසාදේකට කොහෙත්ම කැමති උනේ නෑ.

…………………

තම රෙදි සාප්පුවේ පිටිපස්සේ කොනේ මේසේ ලඟ වාඩිවෙලා සිටි අන්සාර්ගෙ තාත්තා අන්සාර් දිහා බැලුවේ කන්නාඩිය ගලවලා ඇස්දෙක පිසදමමින්.

“දැන් පල්ලි යන්නෙත් නැද්ද, සිකුරාදටවත්?”

“පුලුවන් හැම සිකුරාදම යනවා … වැඩට කොහෙවත් නොයැව්වොත්”

“මං කවදාවත් හිතුවෙ නෑ මගෙ පුතෙකුට ටී වී නාලිකාවක් දෙවියන්ට ඉස්සරවෙයි කියලා”

අන්සාර්ගෙ තාත්තට හොඳටම හිතට අමාරු බව කටහඬෙන් දැනෙනවා. කවදාවත් පවුලටවත් දරුවන්ටවත් කෑකෝ නොගසන මිනිහගෙ හිතේ දුක මුහුනෙන් විහිදුනා.

“මම කවදාවත් එහෙම හිතන්නෙ නෑ. පල්ලි නොගියට මම මුහමඩ් නබිතුමාගේ නීති පිලිපදිනවා එදිනෙදා ජීවිතේ. තාත්තා මට එහෙමයි කියලා දුන්නේ”

“කසාදයක් කියන එක හුඟාක් දිගට හිතන්න ඕන දෙයක්. ඒක ඉඩමක් ගන්නවගේ සුලු කාරියක් නෙවෙයි. ඉඩම් ඔප්පු හැදෙන්නේ ලංකාවේ නීති අනුව. විවාහ ජීවිතේ නීති ආංඩුවෙන් ලියපු කඩදාසි කෑල්ලකට සීමාවෙලා නෑ. නියම නීති රීති අපිට එන්නේ දෙවියන්ගෙන්. ඒ නිසා තමයි අපිට හරියට ජීවත්වෙන්න පුලුවන්, ඉන්ශල්ලා!. දෙන්නාගේ ජීවිතේ ගෙවන විදිහ ටී වී එකෙන් නෙවෙයි ඉගෙනගන්න ඕන… අනික දරුවෝ හදා වඩා ගන්නේ මොන නීති අනුවද? ටී වී නාලිකාවෙන් අහලද?”

“තාත්තා දන්නවා මම මේ කසාදේ කරගන්නවා කියලා. ඒ වගේම මම අනුලා හරි යම් දවසක් මේ ලෝකෙට එන දරුවෙක් හරි වෙනුවෙන් මගෙ ආගම අතහැරලා බොරු ජීවිතයක් ගෙවන්න කැමති නැති බවත් තාත්තා දන්නවා….”

“උඹ හිතලා බැලුවද මම කොහොමද පල්ලියට ගිහින් අපේ අයට මූන දෙන්නේ කියලා? අම්මා කොහොමද පිට කෙනෙක් ගෙදරට වැද්දගන්නේ? හ්ම්?”

…………….

අනුලගෙ ගෙදරින් ලැබුන ප්රතික්රියාව මීට වැඩිය වෙනස්වුනේ නෑ.

“කවුද ඔය තම්බියා?”

“අම්මා දැන දැනත් ඇයි ඔය ප්රශ්නේ ආයෙත් අහන්නේ? අන්සාර් ජයශ්රී නාලිකාවේ වැඩ කරන්නේ”

“උඹට අපි ඉගැන්නුවේ ඔහොම මොකවත් කරගන්නද? කෙල්ලේ උඹට තේරෙනවද ඔවුන් උන්ගෙ ගෑනුන්ට සලකන හැටි? උඹත් කැමතිද ගෝනියක් පෙරවාගෙන බස් එකේ යන්න ඈ?”

අනුලා දන්නවා අම්මට මොනවා කිව්වත් ආයෙ හිත වෙනස් කරන්න බැරිබව. මීට වැඩිය ලේසියි කොහෙහරි නැහැදිච්ච සුද්දෙක් බඳින එක - මොකද ඕනැම සුද්දෙක් තම්බියන්ට, දෙමලුන්ට වැඩිය හොඳයි අම්මගෙ හිතේ හැටියට. හොඳ වෙලාවට ඊයේ වගේ අද අම්මා හයියෙන් අඬන්න පටන්ගත්තෙ නෑ - කවුරුත් අම්මා කියන දේකට විරුද්ද වුනොත් ඒකයි ලැබෙන සාමාන්ය උත්තරය.

“අම්ම මං එයාගෙ ආගමට යන්නෙ නෑ. මම ලංකාවේ ඉන්න ඔක්කොම මුස්ලිම් මිනිස්සු නෙවෙයි බඳින්න හිතුවේ - අන්සාර් විතරයි. මිනිහා හොඳ ගතිගුන තියෙන කෙනෙක්”

“හ්ම්… ඉස්සරවෙලා අහපන් ඌට තව ගෑනු කීදෙනෙක් ඉන්නවද කියලා - දන්නවානේ උන්ගෙ නීති?”

අංතිමට ආනගෙයි අනුලගෙයි මගුලට පවුල් දෙකෙන් හිටියේ අනුලගෙ මල්ලී විතරයි. අනුරත් ආවේ ගෙදරට හොරෙන්ලු. පවුල් දෙකෙන් ලැබුන පනිවිඩ එක වගේමයි - “අපිට පුතෙක්/දුවෙක් ආයෙ නෑ”.

තම දියනියට ‘රෝසා ටිකිරි කුමාරී’ කියලා නම දැම්මේ අන්සාර්ගෙ අම්මගෙ ෆෙරෝසා කියන නමේ කෑල්ලක් ‘රෝසා’ හැටියටත් අනුලගෙ නමෙන් කුමාරී කෑල්ලත් එකතු කරලයි. වාසගමක් අනිවාර්ය නැතිබව දෙන්නම දැනගෙන හිටියා.

………………………………

පොඩිඑකීට නින්ද ගියාට පස්සේ අන්සාර් අනුලගෙ පුටුව ලඟ අනික් හාන්සි පුටුවේ දිගා වෙලයි ආයෙත් අම්මගෙ කතාව පටන්ගත්තේ,

“අනූ අංතිමට අම්මා දැකලා අවුරුදු හතරකට වැඩී නේද?”

“හයකට කිට්ටුයි”

අන්සාර් ටිකක් කල්පනා කලා, ඊලඟට කියන්නේ මොකද්ද කියලා.

“… අනූට ඉඳලා හිටලාවත් කුරුනෑගල ගිහින් එන්න හිතෙන්නේ නැද්ද?... “

“මම එලවාගත්ත ගෙදරට ආයෙ යන්න? මට ඕන නෑ. කිසිම ආසාවකුත් නෑ - ඒ ගැන හිතන්නෙත් නෑ!”

ආයෙත් සාකච්චාවේ විරාමයක්. අතේ තිබුනු තේ කෝප්පේ අනුලා කටට කිට්ටුකලේ කතාවෙන් ගැලවෙන්න වගේ.

“මල්ලිගෙන් වත් ගමේ තොරතුරු ආරංචිවෙනවද?”

“මොනරාගල කංතෝරුවේ වැඩ පටංගත්තට පස්සේ වැඩිය ගෙදර යන්නෙ නෑ වගේ. මෙහෙ ඇවිල්ලත් නෑනේ කෙල්ල ඉපදුන දවස්වල ආවට පස්සේ”

අනුලගෙ හිතට බොහොම අමාරුයි, පොඩිඑකීට වෙන නෑදෑයො නැතිඑක ගැන.

“බේරුවලින් ආරංචි?”

“කිසි දෙයක් නෑ. පොඩි එකී අපෙ ආගමේ නොවෙන එක තාත්තටයි අම්මටයි ඉවසන්න බෑ. වැඩිපුරම අනික් නෑදෑයොයි යාලුවොයි මොනවා කියයිද කියලා”

අනුලා ඕනෑකමින් අන්සාර්ගෙ මුහුන දිහා බලාගෙන හිටියා.

“ආනා ඕනනම් බේරුවල ගිහින් එන්න - ඒකට මම කිසිදාක විරුද්ද වෙන්නෙ නෑ…”

“එහෙම බෑ ලමයා… එක්කෝ අපි දෙගොල්ලම එක්ක හිත හොඳකම තියාගන්නවා නැත්නම් කවුරුත් එක්ක නෑ…”

දෙන්නම මිදුල දිහා බලාගන හිටියා, සද්ද නැතුව. අන්සාර් ටිකක් එහාට මෙහාට ඇඹරුනා, හිතේ තියෙන දෙයක් එලියට දාන්නේ කොහොමද කියලා හිතනවා වගේ. අනුලා මේක දැක්කා.

“මොකද ආනා?”

“නෑ …. ඔවු … මට එක දෙයක් කියන්න තියෙනවා …. අනූට තරහ යයි කියලා කිව්වෙ නැත්තේ…”

අනුලට සැක හිතුනා මේක හොද ප්රවුර්තියක් නෙවෙයි කියලා. ඊලඟ ප්රශ්නේ ඇහුවේ බිම බලාගෙන, බොහොම හෙමින්.

“මොන වගේ දෙයක්ද?”

“ඔයාගෙ අම්මයි තාත්තයි ගැන….”

අනුලගෙ සැකයත් බයත් තවත් වැඩි වුනා.

“ඇයි මොකද අම්මයි තාත්තයි?”

“නෑ බයවෙන්න එපා, කරදරයක් නෙවෙයි…. අම්මා මෙහෙ ඇවිත් බව මම දැනගෙන හිටියා… මට ඔයාගෙ තාත්තා ටෙලිෆෝන් කරා”

“මොනවා? මට නොකියා? කොච්චර කල්ද දැන් දැනගෙන?”

අනුලට තරහට වැඩිය දුකකුයි ඇතිවුනේ, ආනා මේවා හංගාගෙන හිටපු එක ගැන.

“මං කියනදේ අහන්න අනූ … අපෙ පොඩි එකී ඉපදුන ආරංචිය ඔයාගෙ මල්ලී ගෙදරට ඒ දවස් වලම දීලා. මං හිතන්නේ මල්ලී ටිකක් කෑ කෝ ගහලත් තියෙනවා, දෙමව්පියන්ගෙ මුරන්ඩුකම ගැන…”

“ඉතින් තාත්තා ආනට කතා කරේ?”

“දැනට මාස තුනකට විතර ඉස්සර දවසක් මට කෝල් එකක් ආවා අර නුවර තිබුන ඉන්ටස්කූල් ඇත්ලටික්ස් මීට් එක වෙලාවේ. ඒ අනූගෙ තාත්තා - මාව හම්බුවෙන්න ඕනෑ කියලා … අපි නුවර හෝටලේක හම්බුවෙලා තේ එකක් බිව්වා”

………………………

මීට පෙර කිසිදාක හමුවී නැති වැලිවේරිය උන්නැහේ හමුවෙන්න ආනා ගියේ හිතේ දෙගිඩියාවෙන්. එක අතකට තමංගෙ එකම දුව හිතුවක්කාර විදිහට බැඳගත්ත මිනිහෙක් එක්ක තාත්තා කෙනෙක් මොන වගේ තරහකින් ඇතිද? ඒ තරහ මොන විදිහකට පිටතට පෙන්වයිද? අනික් අතට අනුත් ටිකිරිත් රැකබලාගැනීමත් ඔවුන් වෙනුවෙන් කතාකිරීමත් තමාගෙ යුතුකමක් - ඕනෑම කෙනෙක් සමග.

“වාඩිවෙන්න - තේ එකක් බොනවද?”

ආනාගේ හිතේ ඇදී තිබුන හැඩි දැඩි ගොවියෙකුගෙ රූපයට කිසිම සමාන කමක් නැති ජාතික ඇඳුමෙන් සැරසුන කෙට්ටු මනුස්සයා ආනා දෙස බැලුවේ අනාතවූවෙක් වගේ.

“ඔබතුමා වැලිවේරිය මහත්තයා නේද? කොහොමද මාව හඳුනා ගත්තේ? අපි මීට ඉස්සර හමුවෙලා නෑ”

“වාඩිවෙන්න - තේ එකක් බොනවද?”

ආනට දැනෙනවා අනූගෙ තාත්තා මේ හමුවීම කීප සැරයක් හිතෙන් රඟපා ඇති බව.

“තේ එකක් තිබුනොත් හොඳයි”

දෙන්නා තේ බිව්වේ කියන්න යමක් නැති අය වගේ.

“කොහොමද දුවලා?” ඒ ප්රශ්නේ ආවේ බොහොම හිමින්, තේ කෝප්පේ දිහා බලාගෙන.

“අනුලයි ටිකිරියි සනීපෙන් ඉන්නවා…. “

මේකට උත්තරයක් නොලැබුන නිසා ආනා ආයෙත් කතා කරන්න පටන්ගත්තා.

“අනුලා එන අවුරුද්දේ ආයෙත් වැඩට යන්න ඉන්නේ. ටිකිරි දැන් පෙර පාසැලට යනවා… රෝසා ටිකිරි කුමාරී තමා දුවගෙ නම. …. දැන් අවුරුදු හතරකට කිට්ටුයි…“

“තමා දන්නවා නේද අපි ඔය මගුලට විරුද්දවුනා කියලා”

මේ අලුත් මාතෘකාව එලියට ආවේ කිසිම අනතුරු හැඟවීමක් නැතුවයි.

“… ඔවු… දෙපැත්තෙන්ම එහෙමයි…”

“තමංගෙ දෙමව්පියොඋත් විරුද්ද වුනාද?”

“සම්පූර්නෙන්ම. …. අපෙ තාත්තා හිතුවේ මම ආගම අතෑරලා යනවා කියලා”

“හ්ම්… අනුලගෙ අම්මා වගේමයි එහෙනම්…”

පලවෙනි සැරේට දෙන්නා මුහුනෙන් මුහුන බැලුවා, කෙලින්ම. වාතාවරනේ පොඩි වෙනසක් වුනා කියලා ආනට හිතුනා. තමංගෙ හිතේ බොහොම කාලයක් තිබුන අදහසක් වචනෙට නගන්න ඒ වෙනස ඇති කියලා ආනට හිතුනා.

“අපී මේක ගැන කතා නොකලට අනුලටයි මටයි දෙන්නටම හිතට හුඟක් අමාරුයි පොඩි එකීට සීයලා, ආච්චිලා, මාමලා, නැන්දලා එහෙම හඳුනාගන්න බැරි එක ගැන. …. නමුත් ඒක ගැන කරන්නේ මොකද්ද තියා කතා කරන්නේ කොහොමද කියලාවත් මට තේරෙන්නෙ නෑ…”

අනුලගෙ තාත්තා කතාකලේ තේ කෝප්පේ දිහා බලාගෙන.

“තමංගෙ දෙමව්පියොත් එක්ක කතා කරලා බැලුවද?”

“නෑ …. අපි බැන්ඳැයින් පස්සේ තවම නෑ ගනු දෙනුවක් - අපෙ අම්මට නම් මුනුබුරෙක් ඉන්නවා, මගෙ අක්කගෙ පුතා …”

අනුලගෙ තාත්තා තවම කෝප්පේ පලුදු හොයනවා වගේ.

“… අපිටත් මිනිබිරියක් ඉන්නවා කියලා හිතාගන්න මම නම් කැමතියි … අපෙ පවුලටත් එහෙමයි හැබැයි ආඩම්බරේ නිසා අනුලට කතා කරන්න කැමති නෑ”

“මං හිතන්නේ අනුලත් එහෙමයි ,,,, ඉස්සරවෙලා කතා කරන්න කොහොමත් කැමතිවෙන එකක් නෑ”

“අම්මගෙම දුව!”

පලවෙනි සැරේට දෙන්නගෙම මුහුනේ හිනාවක් යන්තම් ඇඳුනා.

“හැබැයි ඒ දෙන්නා ආඩම්බරයි කියලා පොඩි එකීට අඩු පාඩුවක් වෙනවට මම නම් කැමැති නෑ - දරුවෙකුට අම්මයි තාත්තයි ඇරුනුකොට තවත් නෑදෑයෝ ඕනෑ, මං හිතන්නේ”

……………………….

“මීට මාසෙකට විතර ඉස්සර අර මාරාගස් හංදිය හරියෙන් කාමරයක් කුලියට ගත්තා කියලා අනූගෙ තාත්තා මට ටෙලිෆෝන් කරලා කියලා දැන් සති තුනක් වෙනවා …. මේක කොහොම අනුලට කියන්නද කියලා මම හිත හිතා හිටියේ …. මම ඇහුවා අපි සේරම හම්බුවුනොත් නරකද කියලා - ඔයාගෙ තාත්තා ඒකට කොහෙත්ම කැමති උනේ නෑ. ඔයාට මම මේක කියනවටවත් කැමති උනේ නෑ….”

අනුලට හොඳටම තරහ ගියා.

“ඒක හරි වැඩක් නේ! ඔයා බැන්දේ මමද, මගෙ දෙමව්පියෝද? හ්ම්? ඔහොම රහස් තව කොච්චර තියෙනවද?.... මං හිතුවේ අපි අපෙ පවුල් වලින් ඈත්වෙලා ඉන්නකොට අඩුමගානේ අපි අපිවත් විස්වාස කරන්න පුලුවන් කියලා!”

අනුලා නැගිටලා ගේ ඇතුලට ගියේ ඇස්වල කඳුලු පුරවාගෙන. නිදන කාමරේ දොර වහන සද්දෙට පොඩි එකී ඇහැරෙයිද කියලා ආනට හිතුනා.

හිටපු හාන්සි පුටුවෙන් නොනැගිට උඩ බලාගෙන තමාම කරට පටවාගත්ත කරදර ගොඩ ගැන ආනා හිතන්න පටන්ගත්තා. තාත්තා හමුවීම ගැන මුලදිම අනුලට කිව්වානම් කිසි කරදරයක් නෑ. හංගන්න රහසකුත් නෑ, අනුලටම ප්රශ්නේ බාරගන්න වෙනවා. නමුත් ඒ දවස්වල හිතුනේ එහෙම නෙවෙයි. එකක් අනුලට තිබුන හිතේ වේදනා වලට තව එකතුකරන්න ආනා කැමති නෑ. අනික් පැත්තට, යම් විදිහකට වැලිවේරිය උන්නැහේ හමුවීමෙන් අනුලගෙ පවුල ආයෙත් සමාදාන කරන්න පුලුවන් උනොත් ප්රශ්න බොහොමයක් එතැනින්ම කෙලවර වෙනවා. තවත් එකක් - වැලිවේරියලා කාමරයක් කුලියට ඇරගෙන මෙහාට එන්න අදහසක් ඇති කියලා ආනට කිසි වෙලාවක හිතුනෙ නෑ.

මේ ප්රශ්නෙන් ගැලවෙන්න ක්රම කොයිතරම් හිතුවත් උත්තරයක් නම් හිතට ආවෙ නෑ.

……………………

“තාත්තී…. තාත්තී… “

පොඩි එකී ආනගෙ අත ඇදලා හෙල්ලුවේ හදිසි පනිවිඩයක් ගෙනා කෙනෙක් වගේ.

“මොකොද ටික්ස්?”

“කෙසෙල් ගෙඩි ඕනෑ…!”

කෙල්ල නිදාගන්නයි කන්නයි තමා දක්ශ!

ආනා දුවගෙ අතට කෙසෙල් ගෙඩියක් දීලා ඉස්සරහ ඉස්තෝප්පුවට යැව්වා.

“ලෙල්ල මෙහාටම ගෙනත් දාන්න ඕනෑ! මම තේ එකක් හදාගෙන එනවා”

ආනා හාන්සි පුටුවේ වාඩිවෙලා තේ බිව්වේ පුටු ඇන්දේ වාඩිකරගත් දුවට කතාවක් කියමිනුයි.

“ඔන්න එකෝමත් එක රටක ‘කෙසා’ කියලා කෙසෙල් ගෙඩියක් හිටියා. ඒ රටේ කෙසෙල් ගෙඩිත් ඉස්කෝලේ යනවා - කෙසෙල්වත්තේ ඉස්කෝලෙට. දවසක් කෙසා ඉස්කෝලේ යනකොට තව කෙසෙල් ගෙඩි කීපයක් එයාට විහිලු කලා, කහ පාට මදි කියලා… මොකද, කෙසා ආනමාලු නිසා! ටික්ස් දන්නවානේ ආනමාලු - ඔය දැන් කන කෙසෙල්ගෙඩි ජාතිය…. ඉතින් කෙසා කිව්වා ‘අපෙ කෙසෙල් කැනම කොල පාටයි - ඔය ගොල්ලගෙ කැන් වලට වැඩිය ලොකුයි!’ එතකොට සීනි කෙහෙල් - කෙසාට හිනාවුනේ සීනි කෙහෙල් ඇවරියක් - ‘ලොකු උනාට අපි බය නෑ! අපෙ වත්තේ සීනි කෙහෙල් කැන් ගොඩාක් තියෙනවා - ආනමාලු වගේ සිය ගුනයක්!’. ආනමාලුයි සීනි කෙහෙලුයි තම තමංගෙ කැන් වලයි ගස් වලයි ලොකුකම් කියන්න පටන්ගත්තා… ඉස්කෝලේ ලඟටම කනකම් දෙගොල්ල එක එක්කෙනාට ඇනුම්පද කිය කියා ගියා. ඉස්කෝලේ ලොකු නෝනා - එයා අන්නාසි ගෙඩියක් - හරිම සැරයි… එයාට ඇහුනා…. ”

“ඇයි ඔය පොඩි එකීට ඔය තරම් බොරු උගන්නන්නේ?”

අනුලා තේ කෝප්පෙකුත් අරගෙන සාලේ දොරලඟ හිටගෙන තාත්තගෙයි දුවගෙයි කතාව අහගෙන ඉඳලා. තිබුන තරහ හොඳටම නිවිලා ගිහින් වගේ.

“බොරු නෙවෙයි නේද තාත්ති? ආනමාලු හොඳායි… “

“ඔවු … සීනි කෙසෙලුත් හොඳයි, හැබැයි රස වෙනස්”

අනුලගෙ ඇස් වලට ආයෙත් කඳුලු එන්න පටන් ගත්තා.

“කෙසෙල් කැන් මොක කිව්වත් කෙසෙල් ගෙඩි තරහවෙන්න ඕන නෑ දුව…. දැන් ඇඟ සෝදගන්න වෙලාව. තාත්තා පස්සේ ඔය කතාවේ ඉතුරුටික කියයි”

…………………..

කතාවේ ‘ඉතුරු ටික’ ආනත් අනුලත් අතරෙයි සිද්ද වුනේ. ඒකේ ප්රතිපල වුනේ ආනා හෙට අනිද්දා දවසක් දුවත් එක්ක මාරාගස් හන්දිය පැත්තේ යන්නත් ලඟ සති අංතයක තනියම බේරුවල යන්නත් ගත් තීරනයි.