වෙල් යාය
මහනුවරින් කොළඹට කෝච්චියේ යනකොට කඩුගන්නාව පහුවුනාම වම් පැත්තේ කන්ද පහල වෙල් යායක් පෙනෙනවා. මේක මම ඉස්සරවෙලාම දැක්කේ කොළඹ වැඩ කරන කාලේ - දැනට අවුරුදු පනහකටත් වැඩිය ඉස්සර. පහුගිය අවුරුදු තිහේ මම කෝච්චියෙන් ඔය ගමන ගිහින් නෑ. නමුත් ඒ වෙල් යාය මගෙ හිතේ නොමැකෙන විදිහට ඇඳිලා තියෙනවා.
මහනුවර ජීවත්වුන මට කොළඹ රස්සාව ලැබෙනකොට වයස විසි දෙකයි. අවුරුදු දහයක් විතර කොළඹ වැඩ කරත් එහෙ දිගටම පදිංචි වෙන්න මගෙ අදහසක් තිබුනෙ නෑ. නුවර පලාතේ ඉපදිලා, එහිදිම ඉගෙනීමේ කටයුතුත් ඉවර කරගත් මම හිතුවේ මගේ රැකියා ජීවිතේ ඉවරවූ කාලෙක ආපහු විශ්රාම ජීවිතේ නුවරම ගෙවන්නයි. නමුත් එය කරගන්න මට අවස්ථාවක් ලැබුනෙ නෑ. මගෙ ජීවිතේ මා නොහිතූ විදිහට එක එක පැත්ත ඇදී ගියා. කොළඹින් පිට ලංකාවේ පලාත් කිහිපයකත් ඉන් පසු පිට රටවල් කිහිපයකත් රැකියා භාරගත් මම ස්ථිර පදිංචියක් නැති අහිකුංටික ජීවිතේකට හැඩ ගැහුනා. දැනට වයස අවුරුදු හැත්තෑවත් පසුකර ඉන්න මම ඕනෑම රටක කෙටි කොන්තරක් තවමත් භාරගන්නවා. මගේ ප්‍රවීණතාවයත් පළල් පළපුරුද්දත් වගේම දරු පවුල් බැඳීම් නැති නිසා මට මෙවෙනි කොන්තරක් සොයා යන්න අවශ්ය නෑ - මට තිබුනේ මාවෙත එන කොන්තරක් වලින් පිළිගන්නේ කොයිවාද කියන ප්රශ්නේ පමනයි. ජීවිත රටාවත් හොඳ ආදායමත් නිසා මට ආර්ථික ප්රශ්න වලින් පීඩාවක් තිබුනෙ නෑ; එකම අඩුපාඩුව මගේම කියා ගෙදරක් නැතිවීමයි. මගේ අහිකුංටික ජීවිතේ යන්තම්වත් භූගෝලීය කේන්ද්රයක් යයි කිව හැකි එකම තැන වූයේ මහනුවර අසල පිහිටි අයියගෙ ගෙදරයි. මට වැඩ නොකරන කාලයක, ලංකාවට ආවොත් නොවරදවාම මගේ මූලස්ථානය එතනයි.
ලංකාවට එන සෑම වෙලේම මට කඩුගන්නවේ වෙල්යාය මතක්වෙනවා.
මේ වෙල් යාය ලොකු එකක් නෙවෙයි. නමුත් නිල් ගොයමෙන් සැරසුනු පඩිපෙලක් වගේ කන්දේ පහලට බැස යන කුඹුරේ අමුතු සිරියාවක් මම දැක්කා. තද කොලපාට පලසක් වගේ මිශ්ර භෝග වැවුනු වට පිටාවත්, උඩ ලියද්දට යාව සැදුනු ගොවි ගෙදරත් මම දුටුවේ වෙනස් නොවී තියෙන උඩරට රාජධානි කාලේ ගමක් ලෙසයි. දුටු වහාම මේ වෙල් යායට මගේ සිත ඇදීගියේ පසුගිය ආත්මයකින් ආ මතකක් නිසාද කියලත් මට හිතුනා. මගේ හැඟීම් ඒ තරමට ප්රබලවුනා. යම් දවසක මේ පලාත ලඟින් දැක බලාගන්න මට ආශාවක් ඇතිවුනේ වැඩි කල් යන්න මත්තෙනුයි.
කොළඹ වැඩ කළ දෙවෙනි අවුරුද්දේ මට මගේ ආශාව සන්සිඳුවාගන්න ක්රමයක ඡායාමාත්‍රයක් පෙනුනා. ඒ අපේ කන්තෝරුවේ වැඩ කරන හසන් හරහායි. මා සමග සම වයසේ සිටි හසන්ගෙ ගම මාවනැල්ල. එයත් මං වගේම සති අන්තයේ ගෙදර යනවා. දවසක් දවල් කෑම වෙලාවේ මම හසන්ගෙන් මේ ගැන ඇහුවේ වටින් පිටින් - මගෙ හිතේ ආශාවක් ඇරුනුකොට මේ ගැන ප්රශ්න අහන්න මට හේතුවක් නැති නිසා.
“හසන් මාවනැල්ලේ නේද? මම නුවර”
අපි දෙන්නා කඩෙන් ගෙන්වාගත් බත් පැකට් අරින වෙලාවෙයි මම මෙහෙම කිව්වේ.
“ඔවු - මහින්ද නුවර කියලා මම දන්නවා. මතකද එදා චීෆ් ක්ලාක් අපි සේරමගෙන් අහපු දවසේ…”
“මට අමතකවුනා”
“මං දැකලා තියෙනවා මහින්ද කොටුවට යනවා සිකුරාදට - කෝච්චියෙද යන්නේ?”
හෙමින් හෙමින් කතාව කුඹුරු වලට හරවන්න මට පුළුවන්වුනා.
“හරි ලස්සන පලාත, මාවනැල්ල හරිය නේද? මම කෝච්චියේ කොළඹ එනකොට දකිනවා මාර කුඹුරු යායක්… කඩුගන්නාව පහුවුන ගමන්ම වගේ…”
“ඒ මාකෙහෙල්වල - ගනේගොඩ පැත්තේ වෙන්න ඇති… ඇයි මහින්ද කුඹුරක්වත් ගන්නද?”
“මගෙ පඩියෙන්! නෑ මට ආසයි ඒ පැත්තේ ටිකක් ඇවිදලා බලන්න”
නමුත් තව අවුරුද්දක් ගියා ඇත්තටම ඒ පැත්තේ ඇවිදලා බලන්න. ඒ ගමනේදී ගමේ ආකර්ෂණයෙන් බුක්ති විඳිනවාට අමතරව මගේ ජීවිතයට අදාල වැදගත් කාරණාවක් මට දැනගන්න ලැබුනා; දිගටම මේ වෙල් යාය මතකේ රැඳෙන්න දෙවනි හේතුව ඒකයි.
……………………………
ඒ සෙනසුරාදා උදේ මම නුවරින් මාවනැල්ලට ආවේ බස් එකේ. හසන් එක්ක ටවුමේ කඩේකින් තේ බීලා අපි රඹුක්කන පාරේ බස් එකකට නැග්ගා - හසන්ගේ මග පෙන්වීමෙන්. බස් එකේ මාකෙහෙල්වලින් බහිනකම් මම ඇස් දල්වාගෙන වටපිට බල බලා හිටියේ ‘මගෙ’ වෙල් යාය පෙනෙයිද කියලා.
මම හොඳටම දන්නවා දුරින් ලස්සනට පෙනෙන දේ කිට්ටුවෙන් බැලුවම අනිවාර්යෙන් ලස්සනට පෙනෙන්න අවශ්ය නැති බව. මේ කුඹුරුත් ඒ වගේ. ඈතට පෙනුන නිල් ගොයම වෙනුවට දැන් තැනින් තැන මඩ, මී හරකුන්ගේ ගොම, මුඩු බිම් කෑලි. මිශ්ර භෝග වගාව හිතූ තරම් ඝන නෑ - ගස් අතරෙන් ගෙවල්, පොල් අතු සහ පොල් ලෙලි ගොඩවල්, පස් කපන වලවල් බොහොමයි. අනික් අතට ඈත කෝච්චි පාර යන කන්ද ඉතා ලස්සනට පෙනෙනවා මෙතෙන්ට.
“හිතුව තරම් ලස්සනද?”
හසන් ඇහුවේ විහිළුවෙන් වගේ.
“තව ටිකක් උඩට යමු”
බස් එකෙන් බැහැපු තැන හිටපු කීප දෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවා දැකලා හසන් ඒ අයට කතා කළා.
“මේ පාරෙන් රේල් පාර ලඟට යන්න පුළුවන්ද”
“පුළුවෙනි… හැබැයි කන්ද තමයි. ආයෙ ඉහලකෝට්ටේ ඉස්ටේසමේ කෝච්චියක් කීයට තියෙයිද මන්දා…”
“නෑ… නෑ… අපි කෝච්චියක් අල්ලගන්න නෙවෙයි. එතෙන්ට ගිහින් පිංන්තූර කීපයක්…”
“පත්තරේටද?”
“නෑ… මේ මහත්තයා පොතක් ලියනවා…”
ඒ මිනිස්සුන්ගෙන් ඈත්වුන වහාම මම හසන් දිහා බැලුවා.
“ඇයි එහෙම කිව්වේ, පොත් ලියන කතාවක්?”
“නිකම්ම ගම බලන්න යනවා කියන එක ඊට වැඩිය විශ්වාස කරන්න පුළුවන්ද?”
ගම් මැද්දට ඇති හැතැක්මක් විතර අපි හෙමින් හෙමින් ඇවිද්දා. බස් එකෙන් බැහැපු හන්දියේ හිටපු කීප දෙනෙක් අපි දිහා අමුතු විදිහට බැලුවට අපි ඒක ගනන් ගත්තෙ නෑ. දිග කලිසම් ඇඳගෙන සපත්තු දාලා හිටි නිසා අපි ටිකක් කැපී පෙනුනා. මගෙ කරේ එල්ලිලා තිබුන කැමරාව තැනට නොගැලපෙන බව දැනිලා මම ඒක අමාරුවෙන් කලිසම් සාකුවට දාගත්තා. ගමේ ඕනෑම කෙනෙකුට පෙනෙනවා මේ අමුත්තෝ දෙන්නෙක් කියලා. හසන් ආවේ වැඩිය ඈතකින් නොවුනත් මේ ගමට එයා අමුත්තෙක්. මම හිතුවේ මේ ගම්වල පරම්පරා තුන හතරක් මෙහෙ නොහිටපු අය ‘අමුත්තෝ’ හැටියටයි සැලකෙන්නේ.
අපි නොනැවතී ඇවිදගෙන ගියා අඩිපාර දිගේ. පාර අයිනේ ගෙයකට කිට්ටු වෙනකොට පොඩි කොල්ලෝ කෙල්ලෝ අපි දිහා බලාගෙන හිටියේ කිසිම ලජ්ජාවක් නැතුව. ඉඳ හිට වයසක් කෙනෙකුත් අපි දැක්කොත් යන්තම් හිනාවුනේ පොඩි ව්යාකූල බවක් පෙන්වලා; ‘මේ කාගෙ ගෙදරට යන කට්ටියක්ද?’ හිතනවා වගේ.
අපිට ඉස්සරවෙලාම නැවතිලා රටතොට බලන්න හිතුනේ ශ්රී සුදර්ශනාරාම විහාරේ කිට්ටුව. ඒ අවට වැඩිය ගෙවල් නෑ. ඒ නිසා බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලොත් නෑ. මම කැමරාව සාක්කුවෙන් එලියට ගත්තේ අලගල්ල පසුබිම් කරගෙන වෙල්යායේ පින්තූර කිහිපයක් ගන්න හිතාගෙන. මේක ‘මගේ’ වෙල්යාය නොවුනට පින්තූර ගන්න වටින තැනක් හැටිටයි මම දැක්කේ. හසන් මට පින්තූර ගන්න ඉඩ දීලා වෙල හරහා විහාරේ පැත්තට ගියා.
විනාඩි විස්සකට පස්සේ හසන් ආවා හදිස්සියෙන් වාගේ. මට කතාකරේ මීටර් විස්සක් විතර ඈත ඉඳන්.
“මහින්ද… විහාරෙට එනවද? මාර පොරක් ඉන්නවා කතා කරන්න වටින!”
“කවුද? හාමුදුරුවොත් එක්ක කයිවාරු ගහන්න මට ආසාවක් නෑ.”
“නෑ නෑ…සාදු නෙවෙයි… තාපසයෙක්ද කොහෙද?”
“කතා කරාද මිනිහට?”
“ඔවු… කෝ අනික් මහත්තයා කියලා මගෙන් ඇහුවා!”
මිනිහා ගස් අතරෙන් අපි දෙන්නා එනවා දකින්න ඇති. නමුත් ගිහින් කතාකරලා බලන්න මට හිතුනා. එයා හිටියේ පන්සල් ඉඩමේ නිසා සමහරවිට අපිට පන්සලේ ඇබිත්ත්යගෙන් කහට කෝප්පයක් වත් ඉල්ලගන්න බැරිවෙන එකක් නෑ.
“මහත්තයා වාඩිවෙන්න”
ගලක් උඩ වාඩිවෙලා හිටිය වයසක මිනිහගෙ කිසි තාපස පෙනුමක් නෑ - සාමාන්ය ගොවියෙක් වගේ සරමයි බැනියමයි ඇඳගෙන කරේ තුවායක් දාගෙන හිටියේ ඇලෙන් නාලා එන කෙනෙක් වගේ. නමුත් ඇස්දෙක තියුණුයි, හිනාවේ ‘මට සේරම පැහැදිළියි’ කියනවා වගේ අමුතු එළියක් තිබුනා.
“හසන් මහත්තයා අර පන්සලට ගියොත් කහට කෝප්පයක් ඉල්ලගන්න බැරිවෙන්නෙ නෑ”
මමත් හිතාගෙන ආවේ එහෙමයි. හසන් වචනයක්වත් නොකියා ගස් අතරෙන් පන්සල පැත්තට ගියා.
“මහත්තයලා මොකද මේ ගම් පැත්තේ?”
මට හිතුනා මෙයාට ඇත්තම කියන එක හොඳයි කියලා - හසන්ගෙ පොත් ලියන කතාව අමතක කරලා.
“මගෙ ගම නුවර, වැඩකරන්නේ කොළඹ. කෝච්චියේ යන හැම වෙලාවෙම මම මේ වෙල් යායවල් දිහා බලාගෙන යනවා, හරිම ලස්සනයි කියලා. හරිම ආසාවෙන් හිටියේ ඇවිදලා බලන්න. මගෙ යාළුවා හසන් මාවනැල්ලේ නිසා එයාත් එක්ක කතා කරගෙන තමා අද ආවේ”
“හිතපු තරම් ලස්සනද, ලඟට ඇවිත් බලපුවාම?”
මට හිනා ගියා.
“හැම දෙයක් වගේමයි - ඈතින් දැකපු ලස්සන ලඟට ආපුවම නෑ!”
“නමුත් හොඳටම ලඟට ඇවිත්, දකින දේ සම්පූර්ණෙන්ම තේරුම් ගත්තොත් ඈතින් දැක්කටත් වැඩිය ලස්සනට පෙනෙනවා!”
“එහෙම කතාවක් මං අහලා නෑ!”
“ඇයි දැන් මම ඒක කියනවා ඇහුනෙ නෑ?”
මට ආයෙත් හිනා ගියා. මෙයත් එක්ක කතා කරලා බේරෙන්න බෑ.
“ඔබ තුමාගෙ නම මොකද්ද?”
“උක්කු බංඩා”
“… හා…”
“ඇයි මහත්තයා බලාපොරොත්තුවුනාද ‘ශ්රී මාර පොර’ වගේ නමක්? මේක මගෙ ගම - මේ ගමේ මාර පොරවල් නෑ කියලා මම දන්නවා”
“උක්කු බංඩා මහත්තයා මට සමාවෙන්න… මම වෙන විදිහේ නමක් බලාපොරොත්තු වුන එක ඇත්ත. මේක මහත්තයගෙ ගම නම් මේකේ ඉතිහාසය හොඳට දන්නවා ඇති නේද?”
“මහින්ද මහත්තයා… මම ගමේ ඉතිහාසේ විතරක් නෙවෙයි අනාගතෙත් දන්නවා!”
මගෙ නම දැනගත්තත් (ඒක හසන්ගෙන් අහගන්න ඇති) අනාගතේ දන්නවා කියන කතාව විහිළුවක්.
“මම මේ ගමේ ඉඩමක් ගන්නවද, අනාගතේ යම් දවසක?”
“නෑ!”
“මම මේ ගමෙන් කසාදයක් බඳිනවද?”
“නෑ!”
උත්තර ආවේ නිශ්චිතව - හිතලා බලන්න දෙයක් නෑ වගේ. මට මේක තවම විහිළුවක්.
“මම කොහෙන්ද කසාද බඳින්නේ?”
“මහත්තයා කවදාවත් කසාද බඳින්නෙ නෑ!”
දැන් මේක ටිකක් බරපතළයි. මගෙ අනාගතේ කියන්නේ දැන් දැක්කා වගේ. අනික් අතට ඕනම කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන් - ආයෙ ඇවිත් ඒවගෙ ඇත්ත නැත්ත බලන්නේ කවුද? මම උත්තරේ දන්න ප්රශ්නයක් අහන්න හිතුවා.
“මම ගෙදරක් හදන්නේ නැත්නම් ගන්නේ කොහෙන්ද, කොයි ටවුම කිට්ටුවද?”
“මහත්තයට ඕන මම ‘මහනුවර’ කියලා කියන්න. නමුත් එහෙම වෙන්නෙ නෑ…. මහත්තයා ලෝකේ කොහෙවත් ගෙදරක් හදන්නෙත් ගන්නෙත් නෑ!”
“එතකොට ඉන්නේ?”
“අපෝ… මහත්තයා ලංකාවේ ගොඩාක් තැන්වල වැඩ කරනවා… ලෝකේ රටවල් ගානක වැඩ කරනවා!”
රට යන්න ආසාව තිබුනට එහෙ කාලයක් රස්සා කරන්න මම හිතලා නෑ. මම උක්කු බංඩා ගැන හිතුවා. මිනිහා තවම ඒ ඉරියව්වෙන්ම ඉන්නවා.
“ලොකු උන්නැහේ රටේ ඉන්න හැම දෙනාගෙම අනාගතේ දන්නවද?”
“නෑ මහත්තයා… මේ ගමට සම්බන්ධ අය ගැන විතරයි මම දන්නේ”
“ඒ ඇයි”
“මම කිව්වේ මේ මගෙ ගම කියලා”
“ඉතින් මගෙ ගම නුවර - නමුත් එහෙ මිනිස්සු ගැන බොහොම පොඩ්ඩයි මම දන්නේ; අනාගතේ දන්නෙම නෑ”
“නුවර මහත්තයගෙ ගම නෙවෙයි - ඒ මහත්තයා ජීවත්වුන තැන… මම ‘මගෙ ගම’ කියනේ මහතයා ‘මගෙ කැමරාව’ කියන තේරුමෙන්”
“ඔබතුමාට මේ ගම අයිතියි? මුළු ගමම? මිනිස්සුත් එක්ක? හරි වැඩක් ඒක!”
“මට සන්තෝසයි මහත්තයා ඒක ‘හරි වැඩක්’ කිව්වට. මටත් පෙනෙන්නෙ නෑ ඒකේ වැරැද්දක්”
මම ‘හරි වැඩක්’ කියලා හිතපු තේරුම නෙවෙයි උක්කු බංඩා හිතුවේ. ඒ වෙනස කියාදෙන්න මට හිත නෑ - මේ ගමක්ම අයිතියි කියලා හිතන පිස්සට. සිහිණුවන ඇති ප්රශ්න අහලා වැඩක් නෑ.
“හා මං මැරෙන්නේ කවද්ද?”
“අප්පේ තව බොහොම කල් තියෙනවා - අඩුම ගානේ අවුරුදු පනහක්!”
“ඒක හොඳයි! තැන්ක් යූ තව මට ජීවත්වෙන්න ඉඩ දුන්නට! මම මැරෙන්නේ පිට රටකද?”
“නෑ මේ කිට්ටුව”
“නුවර?”
“නෑ… මෙතනින් මීටර් විස්සක් විතර එහා… මගේ ගම… ඒකයි මම දන්නේ එහෙම වෙන දේ…”
මට මෙ පිස්සගෙ කතා හොඳටම ඇතිවෙලා. හොඳින් කතා කෙරුවට මොලේ හොඳටම අවුල්. මට පවු කියලා හිතුනා. මම මිනිහගෙ පින්තූරෙකුත් අරගෙන කට පුරහ ස්තුති කරලා පන්සල පැත්තට ගියා හසන් සොයාගෙන.
හසන් එක්ක ආපහු එනකොට උක්කු බංඩා ගිහින්.
……………………………….
“මහින්ද ඇවිත් කියලා අමරේ කිව්වා… එයාගෙන් තමා නොම්බරේ ඉල්ල ගත්තේ. මේ හසන්… මවනැල්ලේ? කොහොමද තොරතුරු?”
අපි පැය බාගයක් විතර පරණ කතා ඇදගෙන කයිවාරු ගැහුවා. හසනුත් කාලයක් පිට රට වැඩකරලා දැන් විශ්රාම සුවයෙන් මාවනැල්ලෙම ඉඩමක් අරගෙන ගෙදරක් හදලා දරු මුනුබුරෝ බලාගෙන ඉන්නවා. මම අයියගෙ ගෙදර ඇති කියලා අනික් පරණ යාළුවා අමරේ කියලා තියෙන්නේ.
“මහින්දට පුළුවන්ද මේ වීකෙන්ඩ් අපෙ ගෙදර එන්න? පාටියක්. නෑ නෑ කිසිම හේතුවක් නිසා නෙවෙයි. පොන්නයියත් ඇවිල්ලා ඉන්නවලු. මං බැලුවේ, අර මොකාද එකා විය සිදුරෙන් බලනවා වගේ අපි ටික ඉන්න වෙලාවේ හම්බවෙමු කියලා. මගෙ ගෙදර හිස් - පවුල පුතාගෙ ගෙදර ගිහින්. අපි හතරදෙනයි, වාහන එලවන/ උයන මිනිහයි විතරයි ඉන්නේ. මම ඉස්සාර වෙලාම කාරෙක නුවර එවන්නම් මහින්ද පික් කරන්න. මහින්ද් මෙහෙ දාලා, වාහනේ යනවා කුරුණෑගලයි කොළඹයි අනික් දෙන්නා ගේන්න”
වාහනෙ කෙලින්ම අනික් අය ගේන්න යවන්න කියල මම බස් එකේ සිකුරාදා හවස මාවනැල්ලේ ගියේ පරන පොත් පත්, රිපෝට්, පින්තූර එහෙම මිටිය අරගෙනයි. හසන් එක්ක කතා කරගන්න අනික් දෙන්නා සම්බන්ධ නැති දේ ගොඩක් තිබුනා.
“හසන් බොන්නෙ නෑ නේද?”
“නෑ… ඕන කමක් දැනෙන්නෙ නෑ. බීර එකක් දෙන්නද?”
“නියමයි… තැන්ක් යූ!”
“මග් ඩ්රයිවර් කිව්වා තව පැය බාගෙකින් අනික් දෙන්නත් එක්ක මෙහෙ කියලා. ඊට ඉස්සර නානවද?”
“නෑ… ම හිතුවේ බීර එකත් එක්ක සිගරට් එක්කුත් බොන්න කියලා… උඹ ලඟ තියෙනවද?”
“මම දන්නවානේ උඹට ඕනෑ කියලා. අද ගෙන්නා ගත්තා. හැබැයි මං හිතුවේ ඒවා නවත්තලා හුඟාක් කල් කියලා”
“ඔවු මචං - මේ එකක් බොන්නේ අවුරුදු තුනකින් විතර - පරණ කාලේ මතකට!
අපෙ කයිවාරුවේ අඩුවක් නෑ, අනික් යාළුවෝ දෙන්නා එනකල්.
හතර දෙනාම එකතුවුනාට පස්සේ කතාවයි හිනාවයි වැඩිවුනා මිස අඩුවුනේ නෑ රෑ දොලහ පහුවෙන තුරු, අපි නිදාගන්න ගියේ පහුවදා උදේට හසන් ලෑස්ති කරලා තිබුන විනෝද ගමනට හරියට නමයට පිටත්වෙන්න එකඟ වෙලා.
උදේ තේ මේසෙදි හසන් කිව්වා ගමන ගැන.
“මීට අවුරුදු පනස් පහකට ඉස්සර මහින්දයි මමයි ගියා මේ පලාතේ තියෙන හරිම ලස්සන ගමකට. ඒ දවස්වල මහින්දට ආසාව තිබුනේ ඒ ගමේ කුඹුරක් කොටාගෙන ජීවත් වෙන්න - එහෙම නොකිව්වට. මෙයාගෙ ආසාව නිසා තමා මමත් ගියේ… මතකද?”
“මතක නැතුව මොකද… මාකෙහෙල්වල නේද? ඉන්න මම ගෙනාවා පරණ පින්තූර ටිකක් එදා ගත්ත… මතකද අපිට මුනගැහුන තාපසයා?”
මම පින්තූර සහිත ඇල්බම් එක හසන්ට දීලා තාපසයා ගැන අනික් අයට කිව්වා.
“මහින්ද තාපසයගෙ පින්තූරෙයක් ගත්තා නේද? කෝ ඒක?”
මම ඇල්බම් එක අරගෙන පෙරලලා බැලුවා. වෙල්යායේ පින්තූර තිබුනා, විහාරේ පින්තූර් තිබුනා, තාපසයා වාඩිවෙලා හිටපු ගලේ පින්තූරේ තිබුනා නමුත් තාපසයා, උක්කු බංඩා නෑ. මට හොඳටම විස්වාසයි මේ ගලේ පින්තූරේ ගන්න වෙලාවේ උක්කු බංඩා ඒක උඩ වාඩිවෙලා හිටියා කියලා. මම කැමරාව ෆෝකස් කරේ උක්කු බංඩට. නමුත් දැන් මිනිහා පින්තූරේ නෑ. මම ගත්තේ එකම පින්තූරයක් බව මට සහතිකයි.
එතකොට මට මට මතක්වුනා උක්කු බංඩා කියපු තව දෙයක්. මම මැරෙන්නේ ඒ ගලට මීටර විස්සක් ඈතින්. නමුත් මට තව අවුරුදු පනහකට වැඩිය ආයුෂ තියෙනවා කියලා කිවේ… දැනට අවුරුදු පනස් පහකට ඉස්සර. මගෙ ඇඟ වෙවුලා ගියා.
මම විනෝද ගමන යන්න හසන්ගෙ වාහනේට නැග්ගේ මට අයිති දේපොල සියල්ලම අයියා නමට ලිවූ වලංගු අන්තිම කැමති පත්රයක් නීතිඥයා ලඟ තිබීම ගැන සතුටෙන් වුවත් දනිස් වෙව්ලීම අඩුකරගත්තේ බොහොම අමාරුවෙන්.