සරණාගතයා
අපෙ ගෙදර තියෙන්නේ මහනුවර පාරට මීටර් පනහක් විතර ඈතින්. මහ පාරෙන් හැරිලා එන අපෙ ‘ගාමිනී පටුමග’ පාරේ ගෙවල් විස්සක් තිහක් තියෙනවා, අතුරු පාරවල් දෙකෙත් එක්ක. ගාමිනී පටුමග කුඹුරු යාය ලඟින් කෙළවර වන නිසා ගෙදර පහුකරගෙන යන වාහන සද්ද වලින් අපිට කරදර නෑ. මගෙ පවුලයි මමයි මේ ගෙදර පදිංචියට ආවේ නගරයට කිට්ටු වුනත් ගමක තියෙන නිසල බව මෙතන ඇති නිසාමයි.
මගෙ නම විජේසිරි, ජිනදාස විජේසිරි. මගෙ බිරිඳ ටැනියා. අපි දෙන්නා හමුවුනේ යුධ හමුදාවේ සේවය කරන දවස්වල. කසාද බැන්දට පස්සේ අපි දෙන්නම බුද්ධි අංශයේ අවුරුදු දහයකට වැඩිය සේවය කළා. අවුරුදු තිස් පහක කාලයක් රටේ බොහෝ පලාත්වල සේවය කළ අපිට නැංගුරම් හෙළන්න කාලේ හොඳයි කියලා හිතුන නිසා තමා දැනට අවුරුදු දෙකකට ඉස්සර විශ්රාම ගියේ. අපිට ඕනවුනේ කලබලයෙන් තොරව නිස්කලංකව ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්නයි. දරුවෝ නැති අපිට අනිකුන්ගේ ඕන එපාකම් ගැන හිතන්න ලොකු අවශ්යතාවයක් තිබුනෙ නෑ.
අපි දෙන්නා පමණක් ජීවත්වූ නිසාද කොහෙද අපෙ ගෙදර සම්ප්රදායික නීති තදින් පිළිපැද්දෙ නෑ. ගෙවල් ඉස්සරහ මල් හදන්නත් පිටිපස්සේ එළවලු හදන්නත් අපිට පොඩිකාලේ පටන් කියල දීල තිබුනා. නමුත් අපි ගෙදර ඉස්සරහත් පස්සෙත් වැවුවේ එළවලු විතරයි - මිරිස් මල්, බන්ඩක්කා මල් එහෙම අපිට ලස්සනයි. අපි දිනපතාම වගේ පාත්තිවල පැයක් දෙකක් වැඩ කළා.
ගිය ඉරිදා උදේ දහයට විතර මම ගෙදර ඉස්සරහ එළවලු වලට පොහොර දාන වෙලාවෙයි කෙල්ලෙක් හැති දාගෙන දුවගෙන, ගේට්ටුවත් හදිස්සියේම තල්ලුකරගෙන ආවේ.
“… අන්කල්… මාව බේර ගන්න… හැංගෙන්න… එලවනවා…”
මගෙ හමුදා පුහුනුව වහාම ඉදිරියට ආවා. කෙල්ල ඇදගෙන ගෙට යන්නයි ටැනියට උපදෙස් දෙන්නයි මට ගියේ තප්පර හතලිස් පහක් විතරයි. ටැනියත් මා වගේම හිතන, වැඩ කරන කෙනෙක් නිසා කිසිම ප්රශ්නයක් ඇහුවෙ නෑ. ප්රශ්නවලට පස්සේ වෙලා තියෙනවා.
මම උදැල්ල එක අතකින් අල්ලාගෙන වතුර බෝතලේ කටට ගත්තේ ඒ ඉරියව්වෙන් පාර දිහා බලන්න ලේසි නිසා. ගාමිනී මාවතේ වට පිට බල බලා ආවේ ආයුධ ගත්තා සහාසිකයෙක් නෙවෙයි - කැමරා මයික්රෆෝන් ගත්ත තුන් දෙනෙක් පමණයි. බැල්මෙන් කියන්න පුළුවන් මේ අය මාධ්ය වේදියෝ කියලා - මට හිතුනේ සම්භාවනීය නොවන පුවත්පතක හෝ නාලිකාවක. ඔවුන්ගේ ඇඳුමෙනුත් හික්මීමක් නැති ගමනෙනුත් පෙනුනේ පළපුරුදු මාධ්යවේදියෙකුට තියෙන උද්ධච්ච භාවය මොවුන්ට නැති බවයි. ජනෙලෙන් එළිය බලාගෙන හිටි ටැනියා ඉස්සරහට ආවේ දක්ෂ ගායිකාවක් සිංදුවක් කියන ලෙස නියම වෙලාව බලලා.
“ජින්නා… තේ දැම්ම බොනවද…හ්ම්… කවුද මේ?”
ගේට්ටුව ලඟ නැවතුන තුන්දෙනා උත්තර දුන්නේ මා දිහා බලාගෙන.
“මහත්තයා… දැක්කද මේ පාරේ කවුරුත් යනවා දැන් ටිකකට ඉස්සර?”
“මේ පාර යන්නේ වෙලට - එහෙන් ආයෙ කොහෙවත් යන්න දිහාවක් නෑ”
කතාවක් තියෙනවා බොරු කියලා හැමදාම මිනිස්සු රවටන්න තරම් හොඳ මතකයක් අපිට නෑ කියලා. එක කියපු බොරුවක් අමතකවුනොත් ඒකට විරුද්ධ දෙයක් නොහිතම කියවෙන්න පුළුවන්. මේ නිසා මම බොරු කීමෙන් වැලකෙනවා, හැකි තරම්. නමුත් දෙන ‘හරි’ උත්තරේ අහපු ප්රශ්නේ ගැන නොවීම මට අසහනයක් නෙවෙයි.
“ඔබතුමාලා කවුද? කවුද ඔය මෙහෙන් ගියා කියන්නේ?”
යමක් තේරෙන කෙනෙක් හැටියට පෙනී ඉඳලා කෙලින් අහන ප්රශ්නවලට උත්තර නොදී ඉන්න හුඟක් අයට අමාරුයි.
“සර් අපි නොබැඳි මාධ්යවේදියෝ - ඕනම නාලිකාවකට අපේ වාර්තා දෙනවා…”
“විකුනනවා?”
“ඔවු සර්…”
“කාවද ඔය දැන් එලවන්නේ?”
තුන්දෙනා මුහුනෙන් මුහුන බැලුවා. නායකයා වගේ හිටිය මයික්රෆෝනය අතේ තිබුන කොල්ලා ටැනියගෙ ප්රශ්නෙට උත්තර දුන්නා.
“අපිට ආරංචියක් ආවා මැඩම්… කවුදෝ දෙන්නෙක් කවුද ගෑනු ළමයෙක් එලවාගෙන යනවා කියලා…”
“පොලිසියට කිව්වද?”
“ඔවු… අපිට කියපු මිනිහමයි පොලිසියටත් කිව්වේ…”
“කොහොමද ඔය තුන්දෙනා පොලිසියට ඉස්සර මෙහාට ආවේ?”
“අපි තුන්දෙනා මෙතන ගඟ ලඟ හිටියේ…”
ටැනියා තව ප්රශ්නයක් අහන්න ඉස්සර මම පවුල දිහා බලලා ඔළුව යන්තම් හෙලෙව්වා. ටැනියා මට කතා කරන්න ඉඩ දීලා කට වහගෙන ගේ ඇතුලට ගියා. එයා දන්නවා මොකද කෙරෙන්න ඕන කියලා.
“එහෙනම් ගිහින් අනික් ගෙවලුත් බැලුවොත් හොඳයි නේද? ඔය වෙල කිට්ටුව තව ගෙවල් අටක් තියෙනවා…”
“තැන්ක්යූ සර්…”
තුන්දෙනාම වෙල පැත්තට ගියා.
……………………………
ටැනියා කුස්සියේ ඉන්න බව දන්න නිසා මම කෙලින්ම ගියේ කුස්සියට. අපෙ සරාණගතයත් එක්ක මේසේ දෙපැත්තේ වාඩි වෙලා එයා තේ බොනවා. මටත් තේ කෝප්පයක් දුන්නේ වචනයක් වත් නොකියා. මම වාඩිවුනේ බැරෑරුම් මුහුනක් පෙන්නාගෙන.
“දරුවගෙ නම?”
“… ඒ මිනිස්සු ගියාද?...”
කෙල්ලගෙ ඇස්වල කඳුලු පිරිලා
“දරුවගෙ නම?”
මම කටහඬේ උස් පහත වෙනස්කළේ නෑ.
කෙල්ල ටැනියා දිහා බැලුවා. ටැනියා වචනයක් නොකියා ආපහු බලාගෙන හිටියා. අංතිමට කෙල්ල බිම බලාගත්තා.
“… දර්ශනී… දර්ශනී අජන්තා…”
“දර්ශනීගෙ වයස කීයද?”
“විස්සයි... විසි එකට කිට්ටු…”
ටැනියා ප්රශ්න අහන්න පටන්ගත්තා. මම නැගිටලා ඉස්සරහ ජනෙලේ ලඟට ගියා.
“මම පොලිසියට කතාකළේ නෑ…. දැන් ටෙලිෆෝන් කරන්නද?”
“එපා! … එපා… මං ගෙදර යන්නං”
“එතකොට එලවාගෙන ආපු අය? පාරේ ඉන්න රිපෝටර්ලා?”
කෙල්ල ආයෙත් හඬන්න පටන්ගත්තා.
“අනේ… අනේ ආන්ටී… අන්කල්…”
“දර්ශනී… ඒ ඔයාගෙ ඇත්ත නම නම්… ඔයා ටෙලිවිශන් එකටද, සිනමාවටද රඟපාන්න ඉගෙනගත්තේ?”
“මම පේරාදෙනිය විශ්වවිද්යාලේ… ආට්ස් කරන්නේ…”
තවත් මොනවත් කියනතුරු අපි සද්ද නැතුව හිටියා. ටැනියටයි මටයි මේක පුරුදුයි. කතාවේ හිඩසක් තියෙනවෙලාවට සමහරු ඒක නොහිතම පුරවන්න හදනවා. විශේෂයෙන්ම තමා යම්කිසි වරදක් කරා කියලා හිතන අය.
“ටීවී ඩ්රාමා එක්ක පොඩි කෑල්ලක් තිබුනා තමා…”
“ඒක ඉවරවෙලා කොච්චර කල්ද?”
“අවුරුද්දකට කිට්ටුයි… කොහොමද දන්නේ…?”
මම කෙලින්ම කෙල්ල දිහා බලාගෙන හිටියා විනාඩියක්.
“දැන් කියනවද දර්ශනීට අපෙ ගෙදර ගැන කිව්වේ කවුද කියලා?”
………………..
අපෙ කුස්සියේ සෙනග ගොඩයි. ටැනියයි මමයි වගේම තව හතරදෙනෙක් මේසේ වටේ. එයින් එක්කෙනෙක් අපි දන්නේ දර්ශනී හැටියට. අනික් අයට අපි නම් දාගත්තා ‘මයික්’ (මයික්රෆෝනේ අල්ලගෙන හිටියකොල්ල), ‘කැමරා එක’ සහ ‘කැමරා දෙක’. පරණ බිස්කට් කීපෙකුත් එක්ක තේ හරිම රසයි. මේසේ වටෙන් ආපු හිනා සද්දේ ඊටත් වැඩිය රසයි.
“සර්ගෙ අයියගෙ පුතා මගෙ බැච් එකේ…”
“මේ!... ඔය ‘සර්’ කතා මෙතන බෑ, හොඳද? ඒ රස්සාව කරපු කාලේ. දැන් එක්කෝ ජින්නා නැත්නම් අන්කල් උනත් කමක් නෑ”
‘මයික්’ ආයෙත් පටන්ගත්තා.
“තැන්ක් යූ .ස…අ… අන්කල්. මේ ගොන්පාට් එක පටන්ගත්තේ මෙහෙමයි. අපි රහස් පරීක්ෂක කතා කියවනවා… අපි කීප දෙනෙක්ම. දවසක් අපි කතාවුනා ශර්ලොක් හෝම්ස්ලා ඔය කියන තරම් පොඩී දේකින් මහා නිගමන ගන්නේ පොත ලියපු මිනිහට පිංසිද්ධ වෙන්න මිසක් හෝම්ස්ගෙ දක්ෂතාවෙකින් නෙවෙයි කියලා… අන්කල්ගෙ අයියගෙ පුතා, විජිත ඒකට විරුද්ධවුනා - සමහර අයට එහෙම නිගමන ගන්න පුළුවන් ඇති කියලා”
‘කැමරා දෙක’ ඊලඟ කොටස කියන්න පටන්ගත්තා.
“අපි බැලුවේ, අපි යම්කිසි හොර වැඩක් කරොත්… මං කියන්නේ ඇත්තම අපරාධයක් නෙවෙයි - නිකම්ම මෝඩ හොර වැඩක් කරොත්, කාටහරි ඒක අල්ලගන්න පුළුවන් වෙයිද කියලා… හැබැයි අපි දන්න ශර්ලොක් හෝම්ස් කෙනෙක් නෑ, හොරේ අල්ලගන්න. එතකොටයි විජිත කිව්වේ ‘ඇයි මගෙ බාප්පට පුළුවන්ද බලන්නෙ නැත්තේ - එයා ඕවා තමා කරේ රස්සාවට!’ කියලා”
“ආයෙ මොනවද කිව්වේ?’”
”ආන්ටියි අන්කලුයි දෙන්නම බුද්ධි අංශයේ වැඩ කරා කියලා. හැබැයි කරපු දේ ගැන අහන්න එපා කිව්වා”
“ඉතින් කොහොමද ප්ලෑන් කරේ ඔය ගොන්පාට් එක?”
දර්ශනී ඒකට උත්තර දුන්නේ.
“මාව කරදරේකින් බේර ගන්න අන්කල්ට චාන්ස් එක දීලා මොකද වෙන්නේ කියලා බලන්න… ඒක හරි ගියෙ නැත්නම් ඒකට යටින් තිබුනා නිළියක් වෙන්න ආසා කෙනෙක් ප්රසිද්ධියට කරන ප්රෝඩාවක කතාවකුත්… ඒකත් හරි ගියෙ නෑ නේද?”
ටැනියා හිනාවුනා.
“ඉතින් අන්කල් ඔයා බේරගත්තනේ?’
“වැඩේ එතනින්ම ඉවරයි! අන්කල් එක් ප්රශ්නයක්වත් ඇහුවෙ නෑ. ආන්ටිත් එහෙමයි. තප්පර තිහයි, මම කාමරේක දාලා දොරත් වහලා ඉවරයි… මගෙ මැසිවිල්ල කියන්න කිසිම වෙලාවක් දුන්නෙ නෑ! අඬන්නවත් වෙලාවක් දුන්නෙ නෑ… මම ටක් ගාලා පිළිවෙල කරලා තිබුන ‘නළු ප්රෝඩාව’ මෙසේජ් එක යැව්වා….”
‘මයික්’ කතාව ගෙනගියා.
“අපිට ආයුධ මොනවත් තිබුනෙ නෑ නමුත් කැමරා එහෙම තිබුනා. පළවෙනි කතාවෙන් යන්න වුනානම් අපි හිතුවේ කෑ ගහගෙන කොන්ඩේ අවුල් කරගෙන පිස්සෝ වගේ දුවගෙන එන්න… හොඳ වෙලාවට නළු කතාව දිනුවේ…”
‘කැමරා එක’ හිනාවුනා.
“හැබැයි ඒකත් පැරදුනා නේද?”
අපි සේරම ඒකට හිනාවුනා.
“අන්කල් කොහොමද දැනගත්තේ මෙතන පොඩි හොරයක් තියෙනවා කියලා?”
මම ටැනියා දිහා බැලුවේ ‘කොච්චර් මේ අයට කියන්නද?’ කියලා අහනවා වගේ.
“මම එළවලු පාත්තියේ වැඩ කර කර හිටියේ… හෙවනේ. නමුත් මම දාඩියෙන් තෙත් වෙලා. කොහෙදෝ ඉඳන් දුවගෙන ආපු දර්ශනීට හති දැම්මට දාඩිය දාලා නෑ. මම දන්නවා සමහර අය දාඩිය දානවා අඩුයි කියලා. නමුත් ‘මාව බේරගන්න’ කියලා දුවගෙන එන කෙනෙකුගෙ දාඩිය බිංදුවක්වත් නැති වෙයි කියලා හිතන්න අමාරුයි… ඒකයි, සපත්තු නැතුව දුවගෙන ආපු නිසයි මම හිතුවේ වැඩි දුරක් ඇවිත් නෑ කියලා…”
මම තේ උගුරක් බිව්වා.
“පාර හන්දියේ ඉඳන් අපෙ ගෙදරට මීටර් පනහක් විතර තියෙනවා. ඒ අතරමග ගෙවල් විස්සක් විතර තියෙනවා; සමහර ඒවගෙ ගේට්ටුත් නෑ! ඒත් ආවේ අපෙ ගෙදරට… අනික, මම ගේ ඇතුලට ඇදලා ගන්න වෙලාවේ කිසිම ප්රශ්නයක් ඇහුවෙත් නෑ, බයක් පෙන්නුවෙත් නෑ! පුදුම විදිහට නිශ්චලයි තිබුනු කරදර හැටියට. ටැනියා කාමරේට දාලා දොර වහන වෙලාවෙත් ප්රශ්නයක් ඇහුවෙ නෑ - සාක්කුවට අත දාලා ටෙලිෆෝන් එක එලියට ගන්න උත්සාහ කරනවා ඇරුනුකොට!”
“කොහොමද දර්ශනී දන්නේ මේ ගෙදරට ආ එකෙ කබලෙන් ගිනිගොඩට වැටුනෙ නෑ කියලා?”
“නමුත් අන්කල් ලොකූ අකරතැබ්බයක් වෙලා ඉන්න කෙනෙක් ඕනෑම දෙයක් කරනවානේ ඒකෙන් බේරෙන්න … වැඩිය හිතල බලන්නේ නැතුවත්?”
“ඇත්ත… හැබැයි එහෙම නම් පාරේම දෙවෙනි ගෙදරට යනවා - ඒකේ ගේට්ටුවක් නෑ, බල්ලොත් නෑ, නාකි ජෝඩුව නිතරම ඉස්තෝප්පුවේ!”
ළමයි ආයෙත් හිනාවුනා. ‘කැමරා එක’ ඊලඟ ප්රශ්නේ ඇහුවේ.
“එතකොට අපි? අමිතා … සොරි… එයාගෙ ඇත්ත නම අමිතා… අමිතා එහෙම අහුවුනාට අපි ගැන අවිස්වාසයක් ඇතිවුනේ කොයි වෙලාවෙද?”
“අමිතා දසනායක…” ‘දර්ශනී’ හෙමින් කිව්වා.
මම ළමයි කට්ටිය දිහා බැලුවේ මෙ අය මෝඩ නැති බව වටහාගෙන.
“කතාව ඇත්ත… දර්ශනී…සොරි… අමිතා… ගැන සැකයක් තිබුනට ඒක හරියටම හරි කියලා තීරණයක් ගන්න දත්ත මදි. අමිතා ඇත්තටම අපෙ ගෙදරම සොයාගෙන ආවේ කරදරේකින් ගැලවෙන්න මෙහෙ පුළුවන් බව දැනගෙන වෙන්න බැරි නෑ - එහෙම සන්නිපතිතයක් - කවදාවත් ඇවිත් නැති අපෙ ගෙදර කිට්ටුවදිම කරදරකට මුහුණ පෑම - විශ්වාස කරන්න අමාරු වුනත්. නමුත් පාරේ ආ ‘මාධ්යවේදියෝ’ ඊට වඩා ලේසියි!”
“පළවෙනියට - මාධ්යවේදියෝ හිතන්නේ ඒ අය රටේ ඉයිතිකාරයෝ කියලා. අපි දන්න සෑම දෙයක්ම ඒ අයට කියන්න ඕන කියලා හිතන ජාතියක්. මං දන්නවා; මොකද මගෙ හොඳම යාළුවෝ කීපදෙනෙක් මාධ්යවේදියෝ! … සමාවෙන්න… ඔය අය ඇවිදගෙන ආවේ පාර වැරදුන කොල්ලෝ තුන්දෙනෙක් වගේ… “
ඒ සැරේ වඩාම හිනාවුනේ අමිතයි ටැනියයි.
“තවත් සන්නිපතිතයක් - අමිතට කරදරයක් වෙන වෙලාවේ ඔය තුන්දෙනා ලඟමයි. මේක දැකපු මිනිහා - එහෙම කෙනෙක් නෑ කියලා අපි දැන්මම හිතා ගමු - ඔය තුන්දෙනාටයි පොලිසියටයි කිව්වා. කියලා මොකද කරේ? ආපහු වෙනදා වගේම ගෙදරට වෙලා බඩ කහ කහ හිටියද? කෙල්ලෙක් පස්සේ කවුදෝ එලවනවා දැක්ක ඕනම කෙනෙක් අඩුම ගානේ කෑ ගහගෙන අවට ගෙවල් වලටත් කියාගෙන මේ පැත්තට එනවා… හෙමින් නෙවෙයි, දුවගෙන, අපි සේරම කැමතියිනේ වීරයෝ වෙන්න! නමුත් මම දැක්කේ කොල්ලෝ තුන්දෙනෙක් හෙමින් හෙමින් පාර දිගේ එනවා. බලාගෙන එන්නේ ගෙවල් දිහා නෙවෙයි; ගෙවල් වල නොම්බර දිහා - ඔය තුන්දෙනාට කෙලින්ම අපෙ ගෙදර එන්න තිබුනා!”
කොල්ලෝ ලජ්ජාවෙන් බිම බලාගත්තා.
ටැනියා ප්රශ්නයක් ඇහුවා.
“මම හිතන්නේ මේ ගොන්පාට් එකේ යටින් තව මොනවත් ඇති - තවම නොකියපු… රහස් පරීක්ෂක කතාවල ඇත්ත නැත්ත බලන්නවත්, අපෙ ගෙදර පරණ බිස්කට් කන්නවත් මේ තරම් මහන්සි වෙන්න ඕන නෑ! අපිට කියනවද ඇත්තටම මොකද්ද මේ වැඩේ තේරුම කියලා?”
කොල්ලෝ තුන්දෙනා අමිතා දිහා බැලුවා. අමිතා බිම බලාගත්තා. ටැනියා සම්පූර්නෙන්ම වෙන ප්රශ්නයක් ඇහුවා, අමිතගෙන්.
“විජිතත් දැන් එයිද?”
මම කොල්ලෝ තුන්දෙනත් එක්ක ගේ පිටිපස්සට ගිහින් මඩුවේ තියෙන අරක්කු බෝතලෙයි වීදුරුවකුයි එලියට ගත්තා.
“මේ විජිතගෙ කෙල්ලද?”
කොල්ලෝ ඔවු කිවේ වචනෙන් නෙවෙයි - ඔළුවෙන් විතරයි.
“මං හිතුවෙ නෑ මගෙ අයියගෙ කොල්ලා ඔය තරම් සෙන්සිබල් කියලා. හොඳ කෙල්ල - බයක් නෑ, ලේසියෙන් සසල වෙන්නෙ නෑ… හැබැයි ඇයි අද මෙහෙ ආවේ?”
‘මයික්’ කතාකළේ හිනා මුහුණින්.
“පවුලේ අයට කෙල්ල හඳුන්නල දෙන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට අමිතා ඕක ප්රොපෝස් කරේ. විජිතගෙ තාත්තලා හම්බවෙන්න ඉස්සර බාප්පා හම්බවෙලා බලමු කියලා”
මට පුදුම සතුටක් දැනුනා. දරුවෝ නැති අපි දෙන්නා දරු මුනුබුරු ගැන වැඩිය හිතුවෙ නෑ. අපි මගෙ අයියවත් කිට්ටුවෙන් ආශ්රය කළේ නෑ. විජිතලා අපි දෙන්නා ගැන මොනවා දන්නවද, මොනවා හිතනවද කියලා මම දන්නෙ නෑ. එහෙම තිබියදිත් ඒ අය ටිකක් වත් අපි ගැන හිතන එක ගැන මට අමුතු සන්තෝසයක් දැනුනා. මට හිතුනේ අවුරුදු ගණනාවක් පිටරට ජීවත්වෙලා ඇවිත් නැවත පවුලේ අය හමුවෙන වෙලාවේ දැනෙන ප්රීතියයි මට දැනුනේ. මගෙ පපුවේ ඉස්සර නොදැනුන් සැහැල්ලු ගතියක් දැනුනා.
“අද… අපෙ ගෙදර පාටි!... පාටියට ඉස්සර කියලා පොඩි ශොට් එකක් දාගමු - ඊට පස්සේ දවල් කෑමත්, හවස පාටියත් ප්ලෑන් කරමු! චියර්ස්!”