සිත ගැන සිතීම
“මචං මං හිතුවෙ නෑ ශෝ එක ඔච්චර හොඳ වෙයි කියලා - නියමයි නේද?”
“මට සිරිල් එහෙමත් කියලා තිබුනා ඒක මාරයි කියලා; බලන්න වටිනවා කියලා අපෙ අයියත් කිව්වා”
මගෙ පංතියේ අසේලයත් එක්ක මම තුනේ ශෝ එකට ගියේ අලුත්ම ‘ස්ටා වෝස්’ ෆිල්ම් එක බලලා රැවෙන්න ඉස්සර ගෙදර එන බලාපොරොත්තුවෙනුයි. අසේල ටවුමෙන් ටිකක් ඈත ඉන්න නිසා එයාට හයේ ශෝ බලලා ගෙදර යන්න අමාරුයි. මිනිහා අපෙ ගෙදර මීට ඉස්සරත් රෑ නැවතිලා තිබුනත් අද ගෙදරින් අවසර නැතුව ආ නිසා එහෙම නවතින්න කැමතිඋනේ නෑ. මම හිතුව විදිහට අද අසේල අපෙ ගෙදර නැවතුනානම් මුලු රෑම උනත් ස්ටා වෝස් චිත්රපටි හතම ගැන කතා කරකර ඉන්න තිබුනා. අද දැකපු එක ඒ තරම්ම අපේ හිතට අල්ලලා ගියා.
අසේල බස් එකට දාල පොද වැස්සේ තෙමි තෙමී ඇවිත් ගෙට ඇතුල්වෙනකොට මට දැනුනේ ගෙදර වෙනදා නැති පාලු ගතියක්. වැහි අඳුර තිබුනත් සාලේ ලයිට් නොදා තිබුන නිසා පාලුව එක්ක යම්කිසි ‘මලානික’ ගතියකුත් දැනුනා - හරියට මා කැමතිම නෑදෑයෝ කාන්ඩයක් අපෙ ගෙදර නැවතිලා ඉඳලා ආපහු ගිය දවසක වගේ. මම තවත් පුදුම උනේ අඳුරු සාලේ අම්මයි තාත්තයි එක්ක ඔපිසර නිලමෙත් කතාවක් නැතුව වාඩිවෙලා සිටීමයි. සාමාන්යෙන් ඔපිසර නිලමේ ඉන්න තැනක කතාවෙනුයි හිනාවෙනුයි කිසි අඩුවක් නෑ.
අපි ඔපිසර නිලමේ කියන තැනැත්තා අපෙ අම්මගෙ මාමා කෙනෙක්. නෑකම මොක උනත් හැමෝම උන්දෑ අමතන්නේ ඔපිසර නිලමේ කියලා - එයාගෙ දරුවොත් එහෙමලු! ආමංත්රනයේ වෙනස වාගෙමයි ඔපිසර නිලමෙගෙ කතාවත් - කවදාවත් කිසි දෙයක් කියලා බේරෙන්න බෑ. උන්දෑ තර්ක ශාස්ත්රයට බොහොම දක්ශයි. තර්කයෙන් විවාද දිනාගැනීමටත් අනිකුන්ගේ සිත් දිනාගැනීමටත් තර්ක ශාස්ත්රය ඇරුනුකොට විහිලු කතා, සිංදු කෑලි වගේ දේත් එයා නිතරම පාවිච්චි කලා. ඒ නිසාමයි අද නිහඬතාව තවත් කැපී පෙනුනේ.
“අම්මා ලයිට් එක දාන්නද? කරුවලයි නේද?”
මම මෙහෙම ඇහුවේ ඔපිසර නිලමේ දිහා නොබලා.
“…හ්ම්..? ඔව්…මේ ඔපිසර නිලමෙත් ඇවිල්ලා”
“කොහොමද උපුල්? යාලුවොත් එක්ක බයිස්කෝප් බලන්න ගියා කිව්වේ”
“ඔවු … අර අලුත් ස්ටා වෝස් ෆිල්ම් එක … අසේලත් එක්ක ගියා. ඔපිසර නිලමේ හුඟක් වෙලාද ඇවිල්ලා?”
“දවල් ඉස්පිරිතාලෙට ගිය ගමන්… අද රෑ මෙහෙ ඉඳලා හෙටත් අක්කා බලලා යන්න කියලා”
“ඇයි ආච්චිට මොකද? අමාරු ලෙඩක්ද?”
අම්මා වහාම සාකච්චාව ඩැහැ ගත්තා.
“කතා කරන්න පස්සේ පුලුවන් … ගිහින් තේ හදලා ඉවරද බලනවද?”
අම්මා මෙහෙම කිව්වම මට හිතුනා අද ටිකක් පරෙස්සමෙන් කතා කරන්න ඕන කියලා. එක්කෝ මොරටු ආච්චිට අමාරුයි, නැත්නම් ඔපිසර නිලමෙට වෙන කරදරයක්. මම කුස්සිය පැත්තට ගියේ තේ ලෑස්ති වෙනකම් එතන ඉඳලා බන්දේසියත් අරගෙනම ආපහු එලියට එන්න තීරණය කරගෙනයි.
………………
“උපුල්ට කිව්වට මොකද අමිතා? අක්කට බොහොම අමාරු බව හංගන්න දෙයක් නෙවෙයි - කොතනින් කෙලවරවෙයිද කියන්න බෑ කියලා අපි දන්නවා…. මගෙ හිතට අමාරුව අක්කා විඳින වේදනාවයි.…”
ඔපිසර නිලමේ තේ කෝප්පේ තොලගෑවේ බිම බලාගෙන. මම අම්මයි තාත්තයි දිහා හොරෙන් බැලුවේ ඒ දෙන්නා මොනවා කියයිද බලන්න. තාත්තා ඒක දැක්කා.
“ඔයාගෙ මොරටු ආච්චි සෑහෙන දුකක් විඳිනවා; මොන බෙහෙත් දුන්නත් වේදනාවෙන් අඩුවක් නෑ වගේ…. ඔපිසර නිලමේ කියන්නේ අඩුමගානේ උන්දැගෙ වේදනාවේ දරුණුකමවත් අපි දන්නෙ නෑ….”
“අපි හිතන්නේ අපිට පුලුවන් කියලා අනික් අයගෙ කරදර තේරුම් ගන්න…. “ ඔපිසර නිලමේ ඔලුව උස්සලා වටපිට බලලයි කතා කරන්න පටන් ගත්තේ.
“අපි පුරුදුවෙලා ඉන්නවා කාගෙවත් දුකක් කරදරයක් දැකපු ගමන් අපිත් ඒ අයත් සමඟ දුක්වෙන්න - හරියට අපිත් හැඬුවොත් හඬන වෙන කෙනෙකුගෙ දුක අඩුවෙනවා වගේ. කෙනෙක්ගෙ ජීවිතේ නැතිඋනොත් අපි කියන්නේ මොකද්ද - “ඩීපස්ට් සිම්පති” වගේ තේරුමකට නැති දෙයක්…..අපිට දැනෙන කිසි සිම්පතියක් නෑ …. ඒවා නිකමට කියන දේ. අපි කොහොමද දන්නේ අනික අයගෙ හිතේ තියෙන දේ…හ්ම්?”
මට හිතුනා ඔපිසර නිලමේ ආයෙත් එයාගෙ ‘දර්ශනයක්’ ගැන කියන්න අර අදින්නේ කියලා.
අම්මටත් මේක තේරුන බව ඊලඟ ප්රශ්නෙන් මටත් පෙනුනා. කනගාටුවෙන් බුම්මාගෙන ඉන්නවට වැඩිය කතා කරන එකෙන් ඔපිසර නිලමෙටත් හොඳක් වෙයි කියලත් අම්ම හිතන්න ඇති.
“තමංගෙ පොඩි එකෙක් ඇඳෙන් බිම වැටිලා හඬනකොට අපිට දැනෙනවා ඒයාගෙ වේදනාව…. බල්ලෙක් දොරට වලිගේ අහුවෙලා කෑගහනකොට අපි දන්නවා ඌට දැනෙන වේදනාව ගැන… මං කියන්නේ, මනුස්සයෝ හැටියට අපිට තේරෙනවා මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් වේදනාවෙන් පෙලෙන හැටි… යන්තමින්වත්!”
“සම්පූර්න ඇත්ත! අමිතා කියන එකේ කිසිම වැරැද්දක් නෑ…”
ඔපිසර නිලමෙගෙ කතාව තාත්තට පුදුමයි - ඉස්සරවෙලා කියපුදේට ප්රතිවිරුද්ධ අදහසකටයි මෙතන එකඟඋනේ.
“අමිතා කියනදේ ඇත්තනම් අපි කොහොමද කියන්නේ අනික් අයගෙ දුක අපිට දැනෙන්නේ නෑ කියලා? ඔපිසර නිලමේ කිව්වේ අපි අඬන්නෙයි ‘ඩීපස්ට් සිම්පති’ කියන්නෙයි බොරුවට කියලා….කිසි සිම්පතියක් නෑ කියලා කිව්වේ!”
ඔපිසර නිලමේ තව තේ උගුරක් බිව්වා කතා කරන්න ඉස්සර.
“මෙතන තේරුම් ගන්න අමාරු දෙයක් නෑ. ‘සිම්පතියක් නෑ’ කියපු කතාවෙයි, වෙන කාගෙවත් හැඬීමෙන් අපිට දුකක් දැනෙන එකයි විවාදයකදී වගේ එක පැත්තක් ගන්න ඕන දෙයක් නෙවෙයි. ඒ දෙකම ඇත්ත වෙන්න පුලුවන් - ඒකයි මම කියන්නේ”
ඔපිසර නිලමේ ආයෙත් අමුතු දෙයක් දැක්කා වගේ කෝප්පේ දිහා බලාගෙන හිටියා, හරියට “මොකද්ද මේ මගෙ අතේ තියෙන්නේ?” කියනවා වගේ. මං හිතන්නේ උන්දෑ ගැඹුරෙන් හිතනකොට අවට දේ අමතක වෙනවා ඇති.
“අපි අර ඇඳෙන් බිම වැටෙන පොඩි එකා ගැන හිතලා බලමු … අපි අඬන සද්දේ ඇහුන වහාම ගිහින් බලනවා මොකද උනේ කියලා… නේද?... දෙමාපියො, නෑදෑයෝ වෙන්නම ඕන නෑ …. පොඩි එකා කවුරු උනත් අපිට අපෙ මොලේ කියනවා ‘මොකද උනේ’ කියලා හොයලා බලන්න කියලා ….. අපිට පෙනෙනවා පොඩි එකා ඇඳේ නෑ - ඌ බිම…. අනික හයියෙන් හඬනවා”
තව තේ උගුරක්.
“වැඩිහිටියෙක් හඬන්නේ තමාට දැනෙන වේදනාවක් නිසා - ඇඟේ හරි හිතේ හරි. වචන වලින් කියන්න බැරි, එහෙමත් නැත්තම් වචන වලින් කියන්න අමාරු, හැඟීමක් හැඬීමෙන් ප්රකාශ කරන්න පුලුවන් නිසා. පොඩි අයට…………. ඒ අයත් කරන්නේ වචන වලින් කියන්න බැරි දේ හැඬීමෙන් ප්රකාශ කරන එක. පොඩ්ඩන්ට වචන ඇත්තෙම නැති නිසා හරි තියෙන බොහෝම සුළු වචන ගනනෙන් කාරණා තේරුම් කරලා කියන්න බැරිනිසා මොකද්ද විසඳුම? හඬනවා!”
“හැබැයි වැඩිහිටියන්ගෙයි පොඩ්ඩන්ගෙයි හැඬීමේ වැදගත් වෙනස්කම් තියෙනවා. හොඳටම පැහැදිලි එක වෙනසක් - හැඬීම පටන්ගන්න අවශ්ය වේදනා ‘මට්ටම’ වෙනස්. මං දැකලා තියෙනවා රගර් මැච් එකකදී එක්කෙනෙක්ගෙ මුහුනේ දිග කැපුමක් - ලේ ගලනවා! මොකද දන්නවද කරේ? කවුද ඇවිත් අර කොල මිටි වලට ගහන ස්ටේපල් ගැහුවා කැපුම දිගට - ඊට පස්සේ පැලැස්තරයක් ඇලෙව්වා. කොල්ලා ආයෙත් සෙල්ලම් කරා! අපිට හිතන්නවත් බෑ. අනික් අතට සමහරු යන්තම් කකුල ගලක වැදුනත් කඳුළු හලනවා…. වැඩිහිටි අය අතරේ වගේ මේ තරම් ලොකු පැතුරුමක් නෑ පොඩි අයගෙ හැඬීම් මට්ටමේ - උන් ඕන එකකට හඬනවා!”
“වයස වැඩිවෙනකොට මේ හැඬීම් මට්ටම ඉහලට යනවා - ඒ කියන්නේ වැඩි වේදනා දරාගන්න හැකිවෙනවා; දරන්න ඉගෙනගන්නවා. නමුත් ඒ කාලෙම අපි තව දෙයක් ඉගෙනගන්නවා - අපි බොරුවට හඬන්න ඉගෙනගන්නවා!”
මොරටු ආච්චී කොච්චර වේදනාවෙන් හිටියත් ඒ වේදනාවට අනික් අය මුහුණ දියහැකි ඔපිසර නිලමෙගෙ කටින්ම අහගන්න අපි සද්ද නැතුව හිටියා. ඔපිසර නිලමෙට හදිස්සියක් නෑ. තව තේ කෝප්පෙකුත් වක්කරගෙන උගුරු දෙකක්ම බීලයි ආයෙත් අපි දිහා බැලුවේ.
“මං දැකලා තියෙනවා සමහර හඬන අයගෙ මුහුණේ තියෙන ඇත්තම දුක. සද්දයක් නෑ - හැබැයි කඳුළු ගලනවා. හුඟක් වෙලාවට තනියම කාමරේක ඉඳන් ඉකි ගහ ගහ කඳුළු හලනවා. ඒ අයගෙ කඳුලු පාලනය කරගන්න හිතට බෑ. අනික් අතට මං වඩාම දැකලා තියෙන්නේ හයියෙන් විලාප කියාගෙන බිම වැටි වැටී, ‘අනේ මාව දාලා යන්න එපා….’ කියන අය - ඒ අය කවදාවත් කරුවලේ හඬන්නෙත් නෑ, කවුරුත් නැති තැනක හඬන්නෙත් නෑ…. ප්රේක්ෂකයෝ නැතුව රඟපාන්න බෑ - රඟපාලා වැඩක් නෑ! හිතේ දුකත් නාට්ය කලාවත් මිශ්ර වෙලා දෙක හමුවෙන මායිම් සොයන්න බැරි තරමට”
අපි තවම සද්දයක් නෑ. වෙනදා ඔපිසර නිලමේ මෙහෙම කතාවක් කිව්වනම් අපි සේරම හිනා වෙනවා. අද එහෙම නෑ. එතකොට මට හිතුනා සමහරවිට අපිට දැනෙනවා ඇති කියලා ඔපිසර නිලමෙගෙ සිත් වේදනාව. ඔපිසර නිලමෙගෙ දුක.
“මම සමහර වෙලාවට අර ඇඳෙන් වැටුන පොඩි එකා වගේ - මට වචන නෑ අක්කගෙ වේදනාව ගැන මට දැනෙන දේ ගැන කතා කරන්න - කාටවත් කියන්න. අනික් අතට මම මුහුණේ ස්ටේපල් ගහනකම් සද්ද නැතුව් හිටි නිර්භීතයෙක්ද? අක්කගෙ වේදනාව තේරුම් අරගෙන ඒකට බය නැතුව මුහුනදෙන…. ගොනෙක්ද? එහෙමත් නැත්නම් මම මේ කරන්නේ අක්කගෙ වේදනාව ගැන මම රචනා කරපු රඟපෑමක්ද?.... මට තේරෙන්නෙම නෑ මගෙ හිතේ ඇතිවෙන හැඟීම්….”
ඔපිසර නිලමේ අමාරුවෙන් වගේ හාන්සි පුටුවෙන් නැගිටලා කාමරේ පැත්තට ගියා. මං හිතුවේ වැසිකිලියට යන්න ඇති කියලා. කෙසේ වෙතත් තාත්තයි අම්මයි මමයි පුටුවලින් හෙල්ලුනේවත් කතාකළේවත් නෑ. විනාඩි පහකට විතර පස්සේ ඔපිසර නිලමේ ආපහු එවිත් වාඩිවුනා. යනකොට වගෙ නෙවෙයි දැන් උන්දැගෙ මුහුන සෝදලා පිරිසිදුයි, ඇස් දෙක ප්රභාවත්, මුහුණේ පොඩි හිනාවක්.
“සොරි සෙනරත්, සොරි අමිතා - පුතා…. මම කතා කරනවා වැඩියි. ඒ ටොපික් එක ඉවරයි… සෙනරත් ගහමුද පොඩි අඩියක් - මගෙ මල්ලේ යාළුවෙක් ගෙනත් දීපු විස්කි වගයක් තියෙනවා!”
මට දැනුනේ මෙතෙක් ගෙදර වසා තිබුන වැහිකළුවක් හදිසියේ ඉවත්වී ගෙදර නැවතත් ඉර එලියෙන් පිරීගියා වගෙයි. ඔපිසර නිලමේ ඒ තරමට අපේ හැඟීම් පාලනය කරලා. දුක හඳුනාගෙන එයින් මිදෙන්න යමක් කරන්න පුළුවන් වෙන්නේ ඔපිසර නිලමේ වගේ කෙනෙකුට මිස ස්ටා වෝස් බයිස්කෝප් එකක් බලලා ඒක ගැන මුළු රැයක් කතා කර කර නැවතත් ඒක රසවිඳින්න තැත් කරන කෙනෙකුට නෙවෙයි කියලා මට ඒ වෙලාවේ හිතුනා.
අම්මයි මමයි හිනාවෙවී කුස්සිය පැත්තට ගියේ ‘සිටුවේශන් නෝමල්’ කියමින්. අද රෑ කෑමෙන් පස්සේ ඔපිසර නිලමෙට ස්ටා වෝස් චිත්රපටි ගැන කියන්න මම අධිෂ්ඨාන කරගත්තා.