සිත් කන්නාඩි

අන්තර්ජාතික මනෝදෘෂ්ටි සංගමයේ ලාංකික ශාඛාව හතරවෙනි සමිති වාරය පැවැත්වූයේ කොළඹ ජනතා සම්මංත්රන ශාලාවේදීය. සම්මතයක් වශයෙන් විද්යා පර්යේශකයෝ සහ සිසුන් පමනක් සහබාගී වෙන මේ සභාවට එදින මැති ඇමති කිහිප දෙනෙක්ද එක්විය. විද්යා විශාරදයෙක් මෙන්ම නවෝත්පාදකයෙක් ලෙස ලෝව පිලිගත් මහාචාර්ය වීරසිංහගේ පැමිණීම එයට ප්රදාන හේතුව විය. විද්යා ඇමති තුමා එදින මහාචාර්ය තුමාට තිලිණයක්ද ප්රදානය කිරීමට යෙදී තිබුනි.

මාධ්ය වේදියෙක් ලෙස මට තිබූ එකම කර්තව්ය කතිකයන්ගේ වචන පටිගත කොට ඒවායෙන් මහචාර්යගේ අලුත්ම සොයාගැනීම් ගැන විශේෂාංගයක් පුවත් පතට ලිවීමය.

වේදිකාව සරසා තිබුනේ ඉතාම චාම් ලෙසය. පරිගනක යන්ත්රයක්, ප්රොජෙක්ටරයක් සහ තිරයක් හැරුනු විට මල් බඳුනකින් සැරසූ කුඩා මේසයකුත් පුටු දෙකකුත් හැර වෙන කිසි දෙයක් වේදිකාවේ නොවීය. මැති ඇමතිවරුන් ශාලාවේ පලමු පුටු පෙලේ වාඩිවී සිටියේ සංගමයේ සභාපතිත් තවත් නිලදාරීන් සහ විශ්වවිද්යාල ගුරු කැලක් සමගය. ශාලාව පිරී තිබුනත් සුලු කසුකුසුවක් මිස වැඩි කතා බහක් නොවීය. මෙය මහාචාර්ය වීරසිංහට දැක්වූ ගෞරවයක් මිස මැති ඇමතින් නිසා නොවන බව මට සිතින.

සභාපති තුමා න්යාය පත්රයේ සඳහන් අන්දමට පහයි තිහට වේදිකාවට පිවිසෙන සැනෙකින්ම ශාලාව නිහඬ විය.

“ගරු මැති ඇමති වරුනි, සම්භාවනීය අමුත්තනි, සහෝදර සහෝදරියනි. මම ඔබට මගේ ස්තූතිය ප්රකාශ කරන්න කැමතියි අද පැමිනීම ගැන”

“අද අපිට විශේශ දිනයක්. මීට පෙර පැවැත්වූ සමිතිවලදී අපි අපේ පර්යේශන හා විමර්ශන ගැන කතා කලා, විවාද කලා. අපේ හිත තිබුනේ අපේ විද්යාව ගැන මිසක් අවට ලෝකය ගැන නොවෙයි… නමුත් අවට ලෝකෙට අදාල නැතිනම් අපි කරන විද්යා බාවනාව අපිට සතුට ගෙන දුන්නට ලෝකේ අනික් අයගේ ජීවිතවලට දායක වෙන්නෙ නෑ …. මේකේ ඇත්ත අපිට පෙන්වාදීපු උගතෙක් මෙතන ඉන්නවා”

“මගේ කටහඬ අහගෙන නින්ද යනවට වැඩිය වැදගත් අපි අද විශේශ අමුත්තාට කන්දෙන එක. එනිසා මම දැන් ආරාධනා කරනවා මගේ මිත්ර මහචාර්ය ඉන්ද්රානී වීරසිංහ මැතිනියට, අපිව ඇහරවන්න කියා”

ශාලාව පුරා නොනවත්වා අත්පොලසන් පැතිර ගියා මහාචාර්ය වීරසිංහ වේදිකාවට එනතෙක්. නිල් සාරියකින් සැරසී සිටි ඈ කඩිනමින් වේදිකාවට නැග්ගේ සභාපති දෙස බලාගෙන. තමාට වෙන්කර තිබූ පුටුව දෙස බැලූ ඈ, ඒ මත ගෙනා පොත් මිටිය තබා මේසයට හේත්තුඋනා. අතේ තිබුන මල්ලෙන් ගත් ලොකු කන්නාඩි කුට්ටමක් ඇඳගෙන සභාව දෙස බැලුවා වචනයක් වත් කතා නොකර. පලවෙනි පෙලෙන් පටන්ගෙන මුලු ශාලාවම බැලුවෙන් පසු, කන්නඩි ගලවලා හිනා උනා.

“ස්තුතියි රන්ජිත් - මගෙ ගුරුතුමා!” (අත්පොලසන්)

“ඔබගේ සභාපති තුමාගේ කතාවට නින්ද යනවනම් දැන්මම ගෙදර යන එක හොඳයි (හිනා). මට එතුමාගේ දේශන වලදී නින්ද ගියෙ නැති නිසා තමයි මම මෙතන ඉන්නේ”

මහචාර්ය රංජිත් ප්රනාන්දු ඒ වචන වලට ඔලුව නමා ආචාර කලා.

“මීලඟ විනාඩි තිහේදී මම මගේ අලුත්ම පර්යේශනගැන කතා කරන්න බලා පොරොත්තු වෙනවා. එතැනින් පස්සේ විනාඩි පහලවක් පමන මම ප්ර්ශ්නවලට උත්තර දෙන්න ලෑස්තියි. අමාරු ප්රශ්න ඇහුවොත් ශාලාවේ පිටි පස්සට යවනවා (සිනා). මෙතන අපේ අධ්යයන ක්ශෙස්ත්රයේ නොවෙන අයත් ඉන්න නිසා (මෙහිදී ඈ මැති ඇමති දිහා බැලුවා) මම සාමාන්ය භාශාවෙන් කතා කරන්නයි අදහස” (විද්යා ඇමතිගෙන් පොඩි සිනහවක්)

“මම බොහෝ කාලයක් අපෙ මොලේ වැඩකරන ක්රමය ගැන අධ්යයන කලා, විශේශයෙන්ම අපේ ඇස් සමග එක්වී මොලය ක්රියා කරන අන්දම ගැන”

“අපි කාරනා දෙකක් ගැන වෙන වෙනම සිතා බලමු”

“එක - අපේ ඇහේ තියෙන කාචයෙන්, ඒ කියන්නේ ලෙන්ස් එකෙන්, ඉදිරිපස තියෙන වස්තූන්ගේ චායාවක් ඇස පිටිපස තියෙන රෙටිනාවේ ඇඳෙනවා. භෞතික විද්යාවෙන් අපිට පෙන්නා දෙනවා මේ චායාව ඇදෙන්නේ උඩ යට මාරුවෙලා කියලා. මිනිසෙකුගේ චායාව ඇඳෙන්නේ ඔලුව පහලටත් කකුල් උඩටත් හැටියට. නමුත් මොලේට පුලුවන් මේ චායාව හරි අතට හරවා අපිට දන්වන්න මිනිහා උඩ තියෙන පොලවක කකුල් දෙකෙන් එල්ලිලා නෙවෙයි ඉන්නේ, පොලව උඩ හිටගෙන කියලා. මේක තේරුම් ගන්න පහසුයි”

“දෙක - මොලයට පුලුවන් දත්ත ඉතා විශාල ප්රමානයක් ගබඩා කොට තියා ගන්න. මේ ගබඩාව, අපි සාමාන්යෙන් ‘මතක’ කියල කියන එක, ඉතාම වැදගත්. හිතලා බලන්න, බම්බලපිටියේ බස් නැවතුම් පොලක ඉඳන් 134 බස් එකක නැගලා අපිට පුලුවන් දෙහිවල යන්න. අපෙ මතකේ තියෙනවා 134 බස් එක යන්නේ ගල්කිස්සට කියලා පමනක් නොවෙයි, අපි දන්නවා දෙහිවල තියෙන්නේ ගල්කිස්සට ඉස්සර කියලා. අපි සමහරවිට අපේ බස් ගාස්තුවත්, ගමනට යන වෙලාවත් දන්නවා. මේ දැනීම ආවේ කොහෙන්ද - මතක ගබඩාවෙන්”

“අපි මේක ගැන තවදුරටත් හිතලා බලමු. සර්පයෙක් අප දෙසට ආවොත් අපි බය වෙන්නේ ඇයි? කිසිදාක සර්පයෙක් දශ්ට කර නැතත් අපි ‘දන්නවා’ සර්පයා භයානකයි කියලා. අපි වෙන අය අපිට කියන දේත් ගබඩාවට එකතු කරනවා, මම රන්ජිත් ප්රනාන්දු කිවූ දේ ගබඩා කරා වගේම”

“දැන් මේ ගබඩාවේ එක කොටසක් ගැන සලකලා බලමු. අපිට පාරේ යනකොට හම්බුවෙනවා හඳුනන්නෙක්. එයාගේ හැඩයෙන් අපි දන්නවා එයගේ නම ‘ඒකනායක’ කියලා නමුත් අනික් නම මතක නෑ. එයාගෙ ගම කැබිතිගොල්ලැවේ බවත්, වැඩ කරන්නේ කොල්ලුපිටියේ බැංකුවක බවත් අපි එක සැරේම මොල ගබඩාවෙන් ඇදලා ගන්නවා. ඒ ඇරුනුකොට අපි දන්නවා එයා කවදාවත් තේ එකකටවත් සල්ලි ගෙව්න්න ඉදිරිපත් වෙන්නෙ නෑ, අනික් අය ගෙවනවට අකැමැති නොවුනට. තවත් එයා චන්දේ දෙන්නේ ‘වැරදි’ පක්ශෙට කියලත් අපි ගබඩාවෙන් ඇදලා ගන්නවා (මද සිනා)”

“ගබඩාවේ තව දේ තියෙනවා නමුත් ඒකනායක ගැන ඒ ඇති දැනට. මෙතන හිතට ගන්න ඕනෑ දේ තමා ‘ගබඩාවේ තියෙන්නේ ඇත්ත පමනක් නොවෙයි’ කියල. ඒක මම නැවතත් කියනම් - ගබඩාවේ තියෙන්නේ ඇත්ත, ඒ කියන්නේ ‘ෆැක්ට්ස්’ විතරක් නෙවෙයි”

“ඇයි අපි මේ බොරු ගබඩා කරන්නේ? ඇත්තටම ඒකනායක සල්ලි වියදම් කරන්න මැලිද? මේකට එක හේතුවක් තමා අපි දත්ත ගබඩා කරන්නේ අපේ ඕනෑකම් හා හැකියාවන් අනුව පමනයි. දැන් මට රසායන විද්යාව ගැන වැඩි දැනුමක් නෑ. මං අහලා තියෙනවා ග්ලූකෝස් සහ ෆ්රක්ටෝස් රසායනිකව බොහොම ලඟින් සමානකම් තියෙනවා කියලා. නමුත් වෙනස මොකක්ද කියන්න මම දන්නෙ නෑ. මගේ ගබඩාව අසම්පූර්නයි. මේක ගැන දුක් වෙන්න අවශ්ය නෑ - ලෝකේ කිසිම කෙනෙක් නෑ සියලු දේම දන්න හෝ මතක තියෙන”

මෙතෙන්දී මහාචාර්ය වීරසිංහ කතාව නවත්වලා වතුර උගුරක් බිව්වා. ශාලාවේ ටික ටික කසු කුසුවක් නැවතත් පටන් ගෙන. දැනට කිවූ දේ මෙතන හිටි බොහෝ අය දන්නවා.

“මට සමා වෙන්න - මගේ දේශනයේ මූලික සිද්දාන්ත කොටස දැන් ඉවරයි. දැන් තමා නියම විද්යාව පටන් ගන්නේ”

එතුමී තවත් වතුර උගුරක් බීලා කතාව පටන් ගත්තා.

“අපෙ මොලේට පුලුවන්නම් ඇසට වටෙන චායාව හරි පැත්තට හරවන්න, මොලේට බැරිද ගබඩාකර තියෙන දත්ත පාවිච්චි කරලා අපිට පෙනෙන දේ වෙනස් කරන්න. උදාහරනයක් ගත්තොත්, අපිට පුලුවන්ද හඳුනන්නෙකුගේ දේශපාලන අදහස් අපි දන්නවානම් (හරියට හෝ වැරදියට), ඒ අයට නිල් හෝ කොල පාට රැස් වළල්ලක් ඔලුව වටා පෙන්නුම් කරන්න?”

මුලු ශාලාවම මහ හඬින් හිනා උනා. මැති ඇමති වරුත් එක එකාගේ මුහුනු බැලුවා. හිනා නොවුනේ මහාචාර්ය වීරසිංහත් සභාපතිත් පමනයි. හිනාව අඩුවෙන තුරු එතුමී කතා නොකර හිටියා.

“අපිට පුලුවන්!”

සභාව තුලින් නැවතත් කසු කුසුව පටන් ගත්තා - එකිනෙකා මුහුනෙන් මුහුන බලමින් ඔලු හෙල්ලුවා විශ්වාශ නොකරන ලෙසින්. සභාපති මේසෙට හෙමින් තට්ටු කරා ශබ්දය නැවතෙන තුරු.

“ඔබ තුමාලගෙ මොල ගබඩාවෙන් පෙන්නුම් කරන්නේ මේක බැරි දෙයක් කියලා. ඒක මට තේරුම් ගන්න පුලුවන්. අපෙ ආංඩුව මෙවැනි දෙයක් කිව්වොත් මමත් ඒක විශ්වාශ කරන්නේ නෑ. මම ඉස්සරවෙලා කිව්වා වගේ, අපෙ ගබඩාවේ ඇත්ත නොවෙන දේ වගේම ඇත්ත වියහැකි දේ විය නොහැකී කියලා ගබඩා වෙලා තියෙන්න පුලුවන්”

“මම මේ ගැන විශ්ලේශනය කරන මුල්ම දවස්වල බැලුවේ මනසේ දියුනුවෙන්ම මේක කරන්න පුලුවන්ද කියලා. බුදු හාමුදුරුවෝ වගේ මනස උච්ච ලෙසට දියුනු කල කෙනෙකුට මිස මා වගේ කෙනෙකුට මේක බැරිබව මට තේරුනා”

“මගේ ඊලඟ ප්රායෝගික ක්රමය ලෙස බැලුවේ මොලයට බාහිර බලපෑමක් කර අදාල දත්ත ගබඩාවෙන් එලියට ගෙන මොලයේ දෘශ්ටික කේන්ද්ර වලට යොමු කරන්න. මේක හිතූ තරම් ලේසි උනේ නෑ. පසු ගිය අවුරුදු දහය තිස්සේ මම මේ උදෙසා වැඩ කලා”

මෙතනදී මහාචාර්ය තුමිය කතාව නවතා තවත් වතුර උගුරක් බිව්වා. ශාලාව සම්පූර්නයෙන්ම නිහඬයි.

“මෙතැනින් පස්සේ මම කියන දේ තවම මුද්රනයෙන් එලි දැකලා නෑ. පලමුවෙන්ම මේ ගැන මගෙන් ඇහෙන්නේ මේ සභාවේදී (අත්පොලසන්). ඒ මට මේ කල දේ කරන්න මග පාදාදුන් අයට ගරු කිරීමක් වශයෙන්” (තවත් අත්පොලසන්)

“දෘශ්ටි තාක්ශනයත්, පරිගනක තාක්ශනයත්, මොලයේ ක්රියාවත් එක් රැස් කර අවසාන ප්රතිපලය මේ වගේ”

මෙසේ කියමින් එතුමී මේසේ උඩ තිබූ කන්නාඩි කුට්ටම ඇසට දා ගත්තා. කතාව පටන් ගන්න පෙරත් ඈ මේ කන්නාඩියෙන් ශාලාවේ හැම තැනම බැලුවා. කන්නාඩියේ ඇඳි සාමාන්ය කන්නාඩියකට වැඩිය පලලෙන් වැඩි බවත් එහි රාමුව ගනකමෙන් වැඩි බවත් මා දුටුවේ ඒ වෙලාවේ. පලමු සැරේ දකිනවිට මම හිතුවේ ඒක නව පන්නයේ කන්නාඩියක් කියලා.

කන්නාඩිය ගැලවූ මහාචාර්ය තුමිය එහි විශාල කරන ලද පින්තූරයක් තිරේට ප්රක්ෂේප කලා. එහි ඇතුල පෙන්වන පින්තූරය පෙන්වා ඈ මෙසේ කීවා.

“මේ ඇන්ඳෙන් කාර්ය දෙකක් කෙරෙනවා. පලමුවෙන්ම මොලය ඇසෙන්, ඒ කියන්නේ කන්නඩියෙන්, පෙනෙන දේ හඳුනා ගත්තේ කුමක් ලෙසද කියා ‘අහ ගන්නවා’. මොලය සමග තරංග හරහා ඇතිකල සම්බන්දයෙන් මේ ඇන්ඳට පුලුවන් මොලය ‘දුටුවේ’ කුමක්ද කියලා. අපි හිතමු අපි දැක්කේ අර ඉස්සරවෙල්ලා කියපු ඒකනායක කියලා. ඇන්ඳට එන පනිවිඩේ අපෙ ඒකනායක ගැන දන්න හැම දේම තුයෙනවා. දෙවනි කාර්ය ලෙසට ඇන්ද මොලේට පනිවිඩයක් යවනවා මේ දත්ත පෙර සම්මත න්යායකට අනුව වැඩිපුර දත්තත් දෘශ්ටියට එකතු කරන ලෙසට”

“ඔබට වැටහෙනවා ඇති මේ සම්මත න්යාය තමා අලුත් දත්ත පෙන්නුම් කරන විදිහ දන්නේ. උදාහරනයක් ගත්තොත්, මම ඒකනායකගෙ කුහක කම (මම දන්න විදිහට) පෙන්නුම් කරන්න තෝරාගත්තේ ඔලුවට උඩින් සතේක පින්තූරයක් වැටෙන්න කතිරයක් සමග, මෙන්න මේ වගේ”

අලුත් පින්තූරේ දැකපු ගමන් මුලු ශාලාවම හිනා වෙන්න පටන් ගත්තා.

“ඔබට තේරෙනවා ඇති මේක මට විතරක් පෙනෙන දෙයක්. ඒකේ පින්තූර ගන්න බෑ; මේක මම මට පෙනෙන විදිහට ඇඳපු එකක්. අනික, ඒකනායකගෙ මුහුන මීට වැඩිය සිරියාවයි” (හිනා)

“දැනට මම සම්මත සදලා තියෙන්නේ කුහක කමටත් ක්රීඩා දක්ශතාවය අනුවත් පමනයි. මේක පර්යේශනයක් පමනයි. මේ වර්ගයේ කන්නාඩි ලෝකයේ තියෙන්නේ දෙකයි. මේකයි, මගෙ ලෝයර් ලඟ තියෙන එකයි පමනයි”

“මම දැන් කැමතියි ඔබගේ ප්රශ්න වලට උත්තර දෙන්න මට හැකි පමනින්”

මහාචාර්ය වීරසිංහ වාඩිවූ විට සභාපති තුමා සභාවෙන් ප්රශ්න ඉල්ලා හිටියා.

“ප්රොෆ් වීරසිංහ, අපිට ඔය කන්නාඩිය ට්රයි කරන්න පුලුවන්ද?”

මේක මගේ කටින් පිටවුනේ මගේ හිත එකලස් කරගන්නත් ඉස්සර. ප්රශ්නේ ඇහුවට පස්සේ තමයි මට හිතුනේ මීට වඩා වැදගත් ප්රශ්න අහන්න අය මේ සභාවේ ඉන්නවා කියලා.

“මාධ්ය අංශයෙන් එන මේ මහතා මගෙ කතාව මීට වඩා හොඳින් අහගෙන හිටියානම් මේ ප්රශ්නේ අහන්නේ නෑ. මගේ මොලේට ගැලපෙන සම්මත හැමෝටම ගැලපෙන්නෙ නෑ. නමුත්, ඔනෑනම් මේ දේශනයෙන් පස්සේ මේක පාවිච්චි කරන දෙවැන්නා වෙන්න ඔබට හැකියි”

අත් බොහොමයක් ඉහල ගියත් ඇමති තුමා තම අසුනෙන් නැගිටින විට සභාපති ඔහුට ප්රශ්නයක් ඇසීමට ඉඩ සලසා දුන්නා.

“මහාචාර්ය වීරසිංහට මම පලමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දේශනයට. විශේශයෙන්ම, වැඩිය විද්යාව ගැන දැනීමක් නැත් දේශපාලනේ කරන මෝඩයෙක් හැටියට (සිනා), මම අහන්ට කැමතියි මෙවැනි වැදගත් සොයාගැනීමකින් සහ එහි ප්රතිපලයක් සේ සෑදූ කන්නාඩි වැනි දෙයකින් අපේ රටට, අපේ ජනතාවට හානි කිරීමේ හැකියාවක් තියෙනවද කියලා”

“ස්තුතියි ඇමති තුමනි. ඒ ප්රශ්නේ එක අතකින් බොහෝම ගඹුරුයි (ඇමති තුමාට පොඩි සිනාවක්). මොකොද, අපි අපෙ මොලේ තියෙන ඇත්ත වගේම වැරදි අදසුත් පාවිච්චි කරලා යමක් වෙන කෙනෙකුට කරනවානම් ඒක භයානකයි. අපි ඒකෙන් අනිකුන්ට අසාධාරනයක් කරනවානම් වගකිය යුත්තේ අපි මයි. ඇමති තුමා හොදින්නම දන්නවාට සැකයක් නෑ අපි එක්කෙනෙකුගෙ හිතේ හැටියට වැඩ කරන්නේ නෑ. ඒකට තමා අපි එක්ස්පර්ට් ඇඩ්වයිසර්ලා උපයාගන්නේ. අනික් අතින් ප්රශ්නේ ටිකක් ලාමකයි (ඇමති හිනහව ටිකක් අඩුයි). අපිට තුවක්කු, මත්පැන් වැනි දේවලින් ඊට වැඩිය රටට සහ ජනතාවට හානි දැනටමත් වෙනවා. හානි කරන්න මේ වගේ දේ අවශ්ය නෑ - ඕනෑ තරම් ක්රම සහ විදි තියෙනවා”

“මේ කන්නාඩියෙන් අනික් අය හිතන දේ බලන්න පුලුවන්ද?” ඒ තවත් මාධ්ය වේදියෙකුගෙන්.

“තමංගෙ සිත නොදන්න කෙනෙකුට අනික් අයගෙ තියා තමංගෙ හිතවත් තේරුම් ගන්න බෑ”

“මේකෙන් ප්රායෝගික ප්රයෝජනයක් තියෙනවද?” ඒ ඇහුවේ රටේ ප්රසිද්ද ව්යාපාරිකයෙක්. එයා මෙතන මොනවා කරනවද කියලා මට හිතා ගන්න බැරි උනා.

“පලමුවෙන්ම පොලොවෙන් බොර තෙල් ගන්න පටන්ගත් කාලේ ඒකෙන් ප්රායෝගික ප්රයෝජනයක් තිබුනෙ නෑ. විද්යුතයත් එහෙමයි, පරිගනක යන්ත්ර වලටත් එහෙමයි. නමුත් මේ දේ නැතුව අපිට ජීවත්වෙන්න බෑ දැන් කාලේ. මම අන්තිම වශයෙන් කියන්න කැමති මේකයි”
මෙහිදී මහාචාර්ය වරිය කයිතාව නවතා තව වතුර උගුරක් බීවා. ඉන් පසු කන්නාඩිය නැවතත් දමා ගෙන අන්තිම ප්රශ්නේ ඇසූ කෙනා දෙස කෙලින් බලාගෙන හිටියා තප්පර දෙකක් තුනක්.

“මට සමාවෙන්න මීට ඉස්සර මම කිව්වා දැනට කුහක කම සහ ක්රීඩාවට දක්ශ තාවය පමනයි සම්මතගත කරලා තියෙන්නේ කියලා. ඒ අරුනුකොට තවත් බොහොම දේ මම සම්මත තත්වයට කිට්ටුවෙන් තියෙනවා. ඔබතුමාට තේරෙනවා මම කියන දේ - මේ කන්නාඩිය හොරකම් කරත් ඒක කොපි කරන්න බෑ”

සභාවේ සියල්ලෝ එකට කතා කරන්න පටන්ගත්තා. ඒ සද්දේ මැදම සභාපති තුමා කෙටි ස්තූති කතාවක් කලා. ඉන් පසු ඇමති තුමා එතුමාගේ කතාවත් ප්රදානයත් කලා. අනතුරුව ඇමති වාහනේම මහචාර්යවරු වීරසිංහත් ප්රනාදුත් පිටවී ගියා.

….

මේවා උනේ දැන් අවුරුදු දෙකකට ඉස්සර. මම මගේ විශේෂාන්ගයෙන් පත්තරේ සම්පූර්න පිටුවක් පිරෙව්වා. ඒක තමා මගෙ වැදගත්ම ලිවීම. තවත් මම ඒ පත්තරේම වැඩ කරනවා. ඉදලා හිටලා ඒ පරන කතා ඇදලා බලනවා. මට මතකයි ඒ මීටිමෙන් පස්සේ ව්යාපාරිකයෝ කීපදෙනෙක් අත් අඩංගුවට ගත්තා - ඉන් සමහරු තවම භංධනාගාරේ. ඒ ඇමති හදිස්සියේම රට ගියා ආපහු නොඑන්න. ඇමති දේශපාලනෙන් අයින් උන දවස් වලම තමා වීරසිංහ මැතිනී රහස් පොලිසියට බැඳුනේ. ඊට පස්සේ මහාචාර්ය ප්රනාන්දුත් ඈට එක් උනා. දැන් ඒ දෙන්නා ගැන වචනයක්වත් මාධ්ය වල නෑ.