සිසුවෙකුට අකුරක්

වසර දොලහ විභාගේ අංතිම ප්රශ්න පත්තරේ ඉවර කරලා ගෙදර එනකොට මට හිතුනේ මගෙ ජීවිතේ එක පරිච්ඡේදයක් අදින් ඉවරයි කියලා. භෞතික සහ රසායන විද්යා ප්රායෝගික විභාග තව ඉදිරියට තියෙනබව දැනගත්තත් අද හිතට දැනුන සහනයේ කිසිම අඩුවක් නෑ. අවුරුදු ගානක් ඉස්කෝලේ ගිහින් දැන් තමා ඒ කාලේ අන්තිමක් කියලා දෙයක් පෙනෙන්නේ. ඊට පස්සේ ජීවිතේ කොයි කොයි පැත්තට යයිද කියලා හිතන්නවත් මම පෙළඹුනේ නෑ. මගෙ හිතේ තිබුනේ දිග නින්දක අවශ්යතාවය පමනයි.

මම ගෙදර එනකොට අම්මයි තාත්තයි තවම ඇවිත් නෑ. රන්මැනිකගෙන් තේ කෝප්පෙකුත් ඉල්ලගෙන බීලා මම ලඟදී ගත්ත පොතකුත් අරගෙන ඇඳේ හාන්සිවුනා. මගෙ හිතේ හිබුනේ අම්මලා ආපු වහාම ‘විභාගේ ඉවරවීමේ පාටියක්’ කියලා රෑට තෝසේ කන්න සලස්සා ගන්නයි. නමුත් මට ඇහැරුනේ හොඳටම රෑවෙලා - ගෙදර රෑ කෑම වෙලාවටත් කිට්ටුයි!

“විභාග ඉවරවුනාම ඇඟේ එකතුවෙලා තියෙන මහංසි එක සැරේම මතුවෙනවා නේද?”

තාත්තා මෙහෙම කිව්වේ කරුනාවෙන් මිස විහිළුවෙන් නෙවෙයි. මම හිනා වුනා විතරයි.

“මට මතකයි මම ෆයිනල්ස් කරලා ඇවිත් පැය දොලහක් දිගටම නිදා ගත්තා!”

“ටිකක් මහංසියි තමා… මං හිතාගෙන හිටියේ විභාගේ ඉවරයි කියලා රෑතෝසේ ඉල්ලන්න!”

තාත්තා ටිකක් හිතුවා.

“අම්මගෙන් අහනවද? ඕනනම් අපි දෙන්නා ගිහින් ගෙනෙමු”

“නෑ… නෑ… තත්තා. අපි එහෙනං හෙට තෝසේ කමු. මට ඕන මොකවත් කාලා ආයෙත් නිදාගන්න!”

“ඕ. කේ. හෙට නම් වඩාත් හොඳයි - මං හිතන්නේ ඔපිසර නිලමෙත් එනවා කියලා තියෙනවා”

……………………….

“උපුල් විභාග ඉවරයි කියන්නේ?”

අපි හවස තේ බොන වෙලාවෙයි ඔපිසර නිලමේ මෙහෙම ඇහුවේ. දවසම යාළුවොත් එක්ක ටවුමේ ඇවිදලා ගෙදර ඇවිත් ආයෙත් ටිකක් නිදගත්ත මට තේ එක අමෘතයක් වගේ දැනුනා.

“තව ප්රැක්ටිකල්ස් තියෙනවා…”

“ඒ තියරි පාස්වුනොත් නේ…”

අම්මා මෙහෙම කිව්වේ මම මොනවා කියයිද බලන්න වෙන්න ඇති. අම්මට අහන්න ඕන උත්තරේ නොදෙන්න මම වග බලාගත්තා.

“ඔවු”

අම්මා සමහරවිට බලාපොරොත්තුවුනේ “ඒක ප්රශ්නයක් වෙන්නෙ නෑ!” වගේ උත්තරයක්.

“තියරි පේපර් අමාරුවුනාද?”

“නෑ අම්මා - ප්රැක්ටිකල්ස් නම් කෝල් කරයි. ඊට පස්සේ මොක වෙයිද කියන්න බෑ”

ඔපිසර නිලමේ තාත්තා දිහා බැළුවා.

“සෙනරතුයි අමිතයි දෙන්නම සයන්ස් නේද කළේ?”

“ඔවු… හැබැයි කොච්චර කාලෙකට ඉස්සරද! දැන් වගේ තරඟයක් තිබුනෙ නෑ අපෙ කාලේ”

“යුනිවසිටි නොගිය මට ඔය ප්රැක්ටිකල්ස් කියලා ප්රශ්න තිබුනෙ නෑ - රස්සාවක් හොයාගන්න ප්රශ්න තමයි තිබුනේ”

“ඔපිසර නිලමේ ඉස්කෝලෙන් කෙලින්ම රස්සාවකටද ගියේ?”

“ඔවු. ඒ කාලේ දැන් වාගේ නෙවෙයි උපුල් - රස්සා තිබුනා වැඩ කරන්න කැමැති අයට… මට ඉංග්රීසිත් ටිකක් පුළුවන් වීම තවත් උදව්වක් වුනා”

“ඒ ඇයි?”

“ඒක ඉංග්රීසි කාරයන්ගෙ කොම්පැනියක්… ඒ කාලේ එංගලන්තෙන් අපි පාලනේකළේ”

මම ඔපිසර නිලමේ දිහා බැලුවේ ඉස්සර නොතිබුන කුතුහලේකින්. නිදහසටත් ඉස්සර රස්සා කරපු ඔපිසර නිලමෙට එහෙනම් වයස අසූවක් වත් ඇති! හැබැයි කතාවෙන්වත් ක්රියාවෙන්වත් ‘නාකි’ කමක් පෙනෙන්නෙ නෑ.

“ඒ කාලේ කන්තෝරුවේ වැඩ කෙරුනේ ඉංගිරිසියෙන්මද?”

“සම්පූර්නෙන්ම. වැඩ කරන අයගෙ කතාබහත් ඉංග්රීසියෙන්!”

“සුදු මිනිස්සුත් එකට වැඩ කරාද?”

“ලොකු තනතුරු වල අය හුඟක් සුද්දෝ - එංගලන්තෙන් ආ අය නැත්තම් බර්ගර්. දෙමල අයත් ගොඩක් හිටියා”

තාත්තා ප්රශ්නයක් ඇහුවේ ඒ වෙලාවේ - හැබයි ප්රශ්නයක් හැටියටම නෙවෙයි.

“ඩිවයිඩ් ඇන්ඩ් රූල්?”

ඒක මට තේරුනේ නෑ, ඔපිසර නිලමෙම පැහැදිලි කරලා දෙනතුරු.

“කෙලින්ම! ඒක ඒ අයගෙ හොඳ උපාය මාර්ගයක්. ඒ අයගෙ පාලනයට තර්ජනයක් එන්නේ බහුතර සිංහලයන්ගෙන් මිස සුළු ජාතීන්ගෙන් නෙවෙයි. එහෙම වෙනකොට, සුළු ජාතීන් තමංගෙ පැත්තට අල්ලාගෙන ආන්ඩුව වෙනුවෙන් වැඩ කරනකොට සිංහලයන්ගෙ පැත්තට කතා කරන අයට වැඩි හඬක් නෑ… මම ආන්ඩුවනම් මමත් කරන්නේ ඒකමයි!”

ඒකට අම්මගෙන් ප්රශ්නයක්.

“ඒක හරි වැඩක් නේ! කවුරුවත් සිංහල ඉගෙනගන්න උත්සාහකළේ නැද්ද? ඒ කියන්නේ ඔය සුද්දෝ?”

“පොදුවට බැළුවොත් උත්තරේ ‘නෑ’. ඒ අය බැළුවේ රස්සාව හොඳට කාර්යක්ෂමව කරන්න මිස සමාජේ දියුනුව බලන්න නෙවෙයි. අපෙ රස්සාව පිටරටින් ගෙනා බඩු මෙහෙ විකුනන එකත් තේ වගේ දේ මෙහෙන් පිටරට පටවන එකත් විතරයි… සිංහල ඉගෙන ගැනීම වැදගත් කියලා ඒ අය හිතුවෙ නෑ… ඒ අච්චුවෙන් පොඩ්ඩක් හරි පිටට ගියේ ඈන් කියලා එංගලන්තෙන් ආපු වයසක ගෑනියෙක්”

“මෙහෙ හිටපු සුද්දෙකුගෙ පවුලක කෙනෙක්ද?”

“නෑ - තනියම ඇවිත් තිබුනේ, රට ගැන ඉගෙනගන්න.මාත් එක්ක හොඳටම යාළුයි, මම ඈන්ට සිංහල උගන්නන්න උත්සාහ කළ නිසා… ඒකෙන් තමා මමත් සිංහල ගැන හිතන්න පටන්ගත්තේ!”

………………………

“ඔපිසර නිලමේ සිංහල උගන්නපු බව මම ඇහුවේ ඉස්සරවෙලාම”

තාත්තට හිනා.

“ඒක රස්සාවක් නෙවෙයිනේ! හැබෑට මමත් ගොඩක් දේ ඉගෙනගත්තා, අපෙ බාසාව ගැන”

“ඒ කොහොමද? උපන්දා ඉඳන් කතා කරපු බාසාවේ ආයෙ මොනවද සුද්දියෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන්”

අම්මගෙ මේ වචනෙට ඔපිසර නිලමේ හිනාවුනේ නෑ. නමුත් ඒකට උත්තර දෙන්න ඉස්සර ටිකක් කල්පනා කළා.

“අමිතා හිතලා බලන්න පිට කෙනෙක් අපෙ බාසාව දිහා බලන හැටි. මතකද අපි ඉංග්රීසි ඉගෙනගත්ත කාලේ, හැම දේම සිංහලෙන් හිතලා තමයි ඉංග්රීසියට හැරෙව්වේ. ඒ කියන්නේ, සිංහලෙන් දන්නෙ නැති දෙයක් ගැන ඉංග්රීසියෙන් කතා කරන්නත් අමාරුයි. එච්චර දුර යන්නත් ඕන නෑ - මේ නුවර පලාතේ ගමේ කොල්ලෙක් මොනවද වඩදිය - බාදිය ගැන දන්නේ? කලපු - ලුණු ලේවා ගැන දන්නේ? ඒ වගේම ලංකාවේ මගෙ වයසේ ඉන්න කීදෙනාටද හිම වැටෙන එක ගැන කතා කරන්න පුළුවන්? හිම කියන වචනේ දන්නවා - ඒ ගැන කියවලා තියෙනවා; පින්තූරත් බයිස්කෝපුත් දැකලා තියෙනවා. නමුත් අත්දැකීමක් නැතුව අමාරුයි ඒ ගැන බුද්ධිමත්ව කතා කරන්න… ඒ ටික පිලිගන්නවද?”

“ඒක ඇත්ත කියලා තමා මම හිතන්නේ. නමුත් ඔපිසර නිලමේ කියන්නේ මෙහෙ අ… අ… නාය යෑම්… සිරිපාද වන්දනා… ඒ වගේ දේ ගැන නොදැන, පලපුරුද්දක් නැතුව, බාසාව ඉගෙන ගන්න අමාරුයි කියලද?”

“සිරීපාදේ නොගිය ලංකාවේ කෙනෙකුටවත් ඒ ගමන හොඳින් විස්තර කරන්න බැරි බව අමිතා දන්නවා. පොතපත් කියවන එක කකුල් වෙවුල වෙවුලා සිරීපදේ නගින/බහින එකට ආදේශකයක් නෙවෙයි. නමුත් නාය යෑම වගේ දෙයක් ගැන කියවීම සමහරවිට සෑහෙන්න පුළුවන් - ඒක පුද්ගලික අත්දැකීමක් නොවෙන නිසා. ඒ උදාහරන දෙක නියමයි මගෙ ස්ථාවරයට. ගිරවෙක් වගේ බාසාව පාවිච්චි කරන්න උගන්නන්න පුළුවන් - අර නාය යෑම වගේ. නමුත් ලංකාවේ ගමකට ගිහින් සිංහලෙන් විතරක් කතා කරලා ජීවත් වෙන්න ඒක මදි”

“නමුත් ඔය කියපු ගෑනී ගමේ ගිහින් ජීවත්වෙන්න නෙවෙයි නේද සිංහල ඉගෙනගත්තේ? සමහරවිට කඩෙන් බඩු ගන්න, වැඩකාරයෙකුට හරි ඩ්රයිවර් කෙනෙකුට හරි කතා කරන්න එහෙම නෙවෙයිද බාසාව ඉගෙන ගත්තේ?”

අම්මට පොඩි කුතුහලයක් ඇතිවෙලා වගේ සුද්දී ගැන. තාත්තට මේක තේරිලා යන්තම් හිනාවුනා, කතාවට සම්බන්ධ වෙන්න ඉස්සර.

“අපි ඔය ඔපිසර නිලමෙගෙ සුද්දී අමතක කරලා දාමු දැනට. මට තේරෙනවා ගමක ජීවත්වෙන්න ඕන සිංහලත්, පොතක් කියවන්න ඕන සිංහලත් අතර වෙනස. හැබැයි ඔය දෙක අතර, සමහරවිට ඔය දෙකටම පහලින් තියෙනවා නේද වාක්ය ඛණ්ඩ කීපයක් ඉගෙන ගන්න ක්රම - ‘ආයුබෝවන්’, ‘වෙලාව කීයද?’, ‘නම මොකද්ද?’ වගේ - ටුවරිස්ට්ලට එහෙම හරියන?”

“සෙනරත්… මම ඒකට බාසාවක් ඉගෙන ගන්නවා කියලාවත් කියන්නෙ නෑ. ඒක හරියට… විදුලිය ගැන පාඨමාලාවක් හදාරනවා වෙනුවට ‘මේ බොත්තම තදකරොත් අර ලයිට් එක පත්තුවෙනවා’ කියන්න ඉගෙන ගන්නවා වගේ! ඈන් ඊට වඩා දේ ඉගෙන ගත්තා. හෝඩි පොතක් ඇරගෙන අකුරු සේරම ඉගෙනගත්තා. නිකම්ම ක ග ජ ට විතරක් නෙවෙයි, කොම්බු, ඉස්පිලි, පාපිලි, ඇදපිලි, ගැට පිලි විතරක් නෙවෙයි රකාරාන්ස, යන්ස සහ ගයනුකිත්ත එහෙමත් ඉගෙන ගත්තා. මාස තුනක් ඇතුලත ගෑනිට පුළුවන්වුනා දිනමිණ පත්තරේ දිගෑරගෙන කියවන්න!”

“ශඃ නියමයිනේ! ඔපිසර නිලමේ මාර ගුරෙක් නේ!”

“එහෙමද හිතෙන්නේ? ඈන් හොඳට පත්තරේ කියෙව්වේ අකුරු සද්ද කරන හැටි දන්න නිසා. අපෙ බාසාව අකුරු දන්න ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. එකම ප්රශ්නේ කියවන්නේ මොන බම්බුවක්ද කියලා ඈන්ට තේරුනේ නෑ!”

අපි සේරම ඒකට හිනාවුනා. මම හිතලා බැළුවා නාකි සුද්දියෙක් බස් එකේ දිනමිණ කියව කියවා ගියොත් මිනිස්සු මොනවා කියයිද කියලා. එක්කෝ සිංහලෙන් කතා කරලා බලයි. නැත්නම් ‘ඔය බොරුවට පෙන්නන්න’ කියලා විස්වාස නොකර ඉඳී. එතකොට ගෑනී සද්දෙට කියෙව්වානම්… 'යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල්ගල තැබීමෙන’…” නියමෙට තියෙයි! මට තවත් හිනා ගියා.

“ඇත්තම එයාට අමාරුවුනේ නැද්ද කියවන්න ඉගෙනගන්න?”

“ප්රශ්නේ හරි උපුල් - ඔය හිතන තරම් ලේසි නෑ!”

“ඒ ඇයි?”

“මම කාරනා දෙකක් කියන්නම්… පලවෙනි එක තමයි අපිට නැති අකුරුයි ඕනෑවට වැඩි අකුරුයි”

“මොනවද නැති අකුරු?”

“අපිට ඉසෙඩ් අකුරක් නෑ. ඒක රශ්නයක් නෙවෙයි ලංකාවට ආවේනික දේ ගැන විතරක් කතා කරනකොට. නමුත් පිටින් ආපු වචන අපි හරියට පාවිච්චි කරනවා - කලිසමේ ‘සිප්’ එක, දෙහිවල ‘සූ’ එක වගේ. පස්සේ මිනිස්සුන්ගෙ නමුත් දැන් තියෙනවා - ‘සන්සිබාර්’ ඒ අයගෙ රටේ හැටියට පාවිච්ච්කලේ ඉසෙඩ් අකුර… තව නැති අකුරක්. එෆ් අකුර මට මතක විදිහට හැට ගනන්වල ආවේ. මම ඒක ඉස්සරවෙලාම දැක්කේ ‘ෆෝ ඒසස්’’කියන සිගරට් දැන්වීමක. ඊට ඉස්සර අපිට හිටියේ ‘යූසුෆ්’ වෙනුවට ‘යූසුප්’ - හරියට කටුසුප් වගේ! අපි තවත් කරනම් ගැහුවා ෆර්නැන්ඩෝ වගේ නම් ප්රනාන්දු කරලා. මේවා පිටින් ආපු කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි…”

“මොනවද අපිට ඕනෑවට වඩා තියෙන අකුරු?”

“අනේ අමිතා මට තවමවත් ‘න ණ ල ළ’ හරියට තේරෙන්නෙ නෑ - කොයි වෙලාවේ කෝක පාවිච්චි කරන්නද කියලා. නමුත් මෙතන මම කියන්නේ එංගලන්තෙන් ආපු කෙනෙක් දකින විදිහ. ‘ඥාන’ වගේ සද්ද තියෙන අකුරු ඉංග්රීසියේ නෑ. ස්පාඤ්ඤය බාසාවේ ඒවා තියෙනවා නමුත් ඉංග්රීසියේ නෑ. දන්නවානේ අර ‘කොම්පඥ්ඥ වීදියෙන් ස්පාඤ්ඤයට පිපිඤ්ඤ’ පටවන මිනිහා ගැන? ඉංග්රීසියෙන් මේවා ලියන්න බෑ; ඒ නිසා ඒවගෙ සද්ද හරියට දන්නෙ නෑ”

“හරියට ඇන්ඩි සිංඥෝ වගේ?”

“හරියටම හරි… නමුත් ඔය නැති අකුරුයි, ඕනෑවට වැඩි අකුරුයි ඇරුනුකොට තව අකුරු තියෙනවා හරියටම මමවත් නීති නොදන්න… ඒ කියන්නේ, එකම අකුර වෙන වෙන විදිහකට උච්චාරනය කිරීම - අර ෆොනෙටික් නීති වලට ටිකක් පටහැනියි වගේ මට හිතෙන්නේ”

“ඒ මොනවද?”

“මම”

“හ්ම්…?”

“නෑ… මං කියන්නේ ‘මම’ කියන වචනේ. පලවෙනි ‘ම’ විදිහට නෙවෙයි දෙවෙනි ‘ම’ සද්ද වෙන්නේ”

අපි ඒක ගැන ටිකක් කල්පනා කළා. ඒ සද්ද දෙකේ වෙනස මොකද්ද කියන්න මා ලඟ වචනත් නෑ. මට හිතෙන විදිහට පලවෙනි අකුර දෙවෙනි එකට වඩා ‘තදයි’. ඔපිසර නිලමේ ඒක දැක්කේ ටිකක් වෙන විදිහකට.

“එක්කෝ අපිට නීතියක් දාන්න පුළුවන් පලවෙනි අකුර එක විදිහකටත් අනික් අකුරු වෙන විදිහකටත් කියන්න… හිතලා බලන්න ‘කමත මත වියතක් මඩ ඇත’ වාක්ය. මේ වචන පහෙන් හතරකට ඒ නීතිය හරි - ‘කමත මත මඩ ඇත’ හතරෙම පලවෙනි අකුරේ උච්චාරනය වෙනස් අනික් අකුරු වලට වැඩිය. ‘කමත මත’ කෑල්ල ගත්තොත් අපිට පේනවා ‘ම’ දෙවිදිහටම උච්චාරනය වෙන විදිහ. නමුත් ‘වියතක්’ ගත්තොත් ‘ත’ ආයෙත් අනික් වචනවල පලවෙනි අකුර වගේ ‘බලවත්ව’ සද්ද වෙනවා… මේ සේරටම හරියන නීතියක් මම දන්නෙ නෑ!”

“ඒ වගේ දේ නේද අපි බාසාව කතාකරනකොට ඉගෙන ගන්නේ?”

“හරියට හරි. අපෙ පොඩි කොල්ලො කෙල්ලොත් දන්නවා ඒවා හරියට කියන්න… නමුත් අපි හිතලා බැළුවොත් මේ ප්රශ්නේ තියෙන්නේ පිටරැටියන්ට විතරක් නෙවෙයි. ගෙදර දෙමල කතා කරන කෙනෙකුටත් මේ ප්රශ්නේ තියෙනවා”

“ඔපිසර නිලමේ කතා කරන්නේ හරියට මේකට උත්තරයක් තියෙනවා වගේ!”

තාත්තා හිනාවුනේ ඇත්තටම උත්තරේ දැන්ගන්න ආසාවෙන් වගේ.

“සෙනරත් දන්නවානේ මම යමක් ගැන හිතලා ඉවරවෙලා කතා කරන්න පටන් ගන්නේ කියලා! ඔවු - මා ලඟ මාර උත්තරයක් තියෙනවා; හැබැයි කවුරුත් කැමැති වෙන එකක් නෑ!”

“කෝකටත් අහලා බලමු”

“මම යෝජනා කරන්නේ ඉස්පිල්ල පාපිල්ල වගේ තව ‘පිල්ලක්’ එකතු කරන්න. මම හිතුවේ ඒකට ‘අඩුපිල්ල’ කියලා නමක් දාන්න - සද්ද අඩු නිසා!”

“ඒක මොකක් වගේද? ඒක ගැන හිතුවද?”

“අප්පෙ ඔවු! ඒක ඉස්පිල්ල වගේ හැබැයි අකුරට උඩින් හරහට කෙළින් ඉරි කෑල්ලක්. අකුරට සීලිමක් ගැහුවා වගේ!”

ඔපිසර නිලමේ සාක්කුවේ තිබුන දිනපොතේ ඇදලා පෙන්නුවා.

මම

“දැන් අඩුපිල්ලත් එක්ක කියවනකොට කිසි අවුලක් නෑ! හරියටම දන්නවා කොහොමද වචනේ උච්චාරනේ කරන්නේ කියලා!”

“මට තේරෙනවා මේකේ වටිනාකම… ටිකක් වෙන්න… නමුත් සෑහෙන කරදරයක් නේද කීප දෙනෙකුට සිංහල ඉගෙනගන්න ලේසි කරන්න?”

“මම දන්නවා සෙනරත් මේක දිහා බලන්නේ ලාභාලාභ බලලා කියලා. මම හැබැයි එක ප්රශ්නයක් අහනවා… නෑ…. ප්රශ්නේ උපුල්ට. මොනවද මේ ජනෙලේ ලඟ තියෙන්නේ?”

“පොඩි කනප්පුව… ජනෙලේ ලඟ … කර්ටන් එක…”

“අන්න හරි. දැන් ඔය එල්ලලා තියෙන ජනෙල් තිරේට අපි කියන්නේ කර්ටන් එක කියලා. හැබැයි ලියන්නේ ‘කර්’ ‘ටන්’ කියලා - හරියට කාර් ටොන් එකක් වගේ. කියවන කෙනා දැනගන්න ඕනෑ ඒක හරියට කියන්න… ‘අඩුපිල්ල’ පාවිච්චි කළොත් කිසිම ප්රශ්නයක් නෑ!”

ආයෙත් දිනපොත එලියට ආවා.

තිරය

“දැන් ඕන කෙනෙකුට හරියට කියවන්න පුළුවන්!”

“ඔපිසර නිලමේ කියන්නේ අඩුපිල්ලයි ඇලපිල්ලයි එකට පාවිච්චිකළොත් හරියටම උච්චාරනය කරන්න පුළුවන් කියලා!”

“අන්න සෙනරත්ට තේරෙනවා. මම මේක ගැන හිතන්න තව හේතුවක් තියෙනවා. මගෙ හොඳ යාළුවෙක් ඉන්නවා ප්රනාන්දු - ඉස්සර විදිහට කිව්වොත්. මේ ක්රමයට මට පුළුවන් මිනිහගෙ නම හරියට ලියන්නෙ - ඉස්සරවෙලාම!”

ප්‍රනාන්දු