සීයගෙ උදැල්ල

නිමල්ගෙ ගෙදර ඉස්තෝප්පුවේ ඉඳන් බලනකොට වත්ත පාවුල සීයගෙ ගෙදර පොල්ගස් අතරෙන් පෙනෙනවා. පිදුරු වහලේ නිසාද කොහෙද ඒක පෙනෙන්නේ නිමල්ලගෙ ගෙදරට වඩා හුඟක් පොඩියි වගේ. නිමල්ගෙ තාත්තා එහෙමත් ඉපදුන ඒ ගෙදර දැන් ඉන්නේ සීයයි වැඩට ඉන්න සුගතපාලයි බලු කුක්කෙකුයි විතරයි.

සීයා නිමල්ගෙ තාත්තගෙ තාත්තා. ආච්චිඅම්මා නැති උනාට පස්සේ සීයට ඇවිත් නිමල්ලගෙ ගෙදර ඉන්න කියලා තාත්තා කොච්චර කිව්වත් උන්දෑ කැමති නෑ ඒකට. “උඹැලෑ අම්මා ඉන්න කාලෙත් හිටපු ගෙදර අතෑරලා දැන් ආයෙ කොහෙ යන්නද?” කියලා සීයා කියන්නේ. නිමල් නම් කැමතියි සීයා එහෙ එනවනම්. තාත්තා වගේ නෙවෙයි සීයට ඕනෑ තරම් වෙලා තියෙනවා වාඩිවෙලා පරන කාලේ කතා කියන්න.

තාත්තා බොහොම මහංසියෙන් වත්තේ පිටියේ වැඩ කරනවා. ඒ වගේම ගමේ කටයුතු වලටත් නිතරම සම්බංද වෙනවා, ග්රාම නිලදාරි මහත්තයා, පංසලේ හාමුදුරුවෝ වගේ අයත් එක්ක. තාත්තගෙ මේ වැඩ ගොඩ නිසා නිමල් නිතරම සීයා ලඟටයි ගියේ මොනවත් අහගන්න ඕනෑ උනාම. නමුත් ගිය දවස් දෙක තුනේ නිමල්ට සීයට කතා කරන්න වෙලාවක් තිබුනෙම නෑ. ඒ තාත්තා පෙරේදා ගත්ත අලුත් අත් ට්රැක්ටරේ නිසා.

අත් ට්රැක්ටරේට ට්රේලර් එකත් හයි කරගෙන එලවාගෙන ආවේ අරඹේකඩේ සෙනරත්. එයා ලොරි එහෙමත් එලවලා තියෙනවලු පොලොන්නරුවේ හිටපු කාලේ. එයා තමා නිමල්ගෙ තාත්තටත් එලවන්න උගන්නන්න පොරොන්දු වෙලා හිටියේ. ට්රැක්ටරේ පාවිච්චි කරන විදිහ කියලා දෙන්න ඒක විකුනපු තැනින් මහත්තයෙකුත් එනවලු හෙට අනිද්දම.

නිමල්ගෙ ඔලුවේ ට්රැක්ටර් ගැන මිස වෙන කිසි දෙයක් හිතන්න ඉඩක් නෑ. ට්රැක්ටරේ සුවඳ, දිලිසෙන ඊයම් පාට කෑලි, සිනිදු රතු තීන්ත, ලයිට්, ලොකූ කට්ටා තියෙන රෝද, එක එක සුක්කානම් හයි කරපු හැන්ඩල් වගේ දාහක් විදි වලින් ට්රැක්ටරේ නිමල් මීට ඉස්සර දැකලා තියෙන හැම දේකටම වැඩිය ඉස්තරම් කියලා හිතුනා. වඩාම වැදගත් උනේ “ඒක අපෙ” කියන්න පුලුවන් උන එක.

ට්රැක්ටරේ අත ගගා ඉන්නකොට තමයි අම්මා නිමල්ට කතා කරේ.

“නිමල් ගිහින් සුගතපාලට කතා කරපන් සීයගෙ කෑම ගෙනියන්න, වෙලා ගියා කියලා”

හුඟක් වෙලාවට සීයා දවල් කෑමට නිමල්ලගෙ ගෙදරට එනවා. සමහරවිට සීයට උදේ වරුවේ හාන්සි පුටුවේ ඇලවෙලා නිංද යනවා. හොඳටම වෙලා ගියොත් සුගතපාලට කතාකරලා කෑම එහාට යවනවා.

“මං ගෙනියන්නං අම්මා”

“එහෙනං පරෙස්සමෙන්…”

නිමල් බැඳලා තිබුන කෑම මිටිය ඇතුලේ මේසේ උඩ තියලා සීයා නිදාගෙන හිටිය පුටුව ලඟ පිලේ වාඩිවෙලා උන්දැගෙ කකුල හොලවලා ඇහැරෙව්වා.

“හ්ම්ම්… ආ… මට නිංද ගීහින්ද හිටියේ?”

“ඔවු සීයා…සීයා දැක්කද අපෙ ට්රැක්ටරේ? අලූත්. කාල යමුද බලන්න? මං ඒකෙ කෑලි ඔක්කොම දන්නවා….”

“බලමු… අපෙ කාලේ ඔව්වා තිබ්බෙ නෑ…ඒත් අපි අපෙ වැඩටික කරගත්තේ යසට…”

“ට්රැක්ටරෙන් හුඟාක් ජාති කරන්න පුලුවන්. ඉක්මනට වැඩ කරන්නත් පුලුවන්. මමත් ඉගෙනගන්නවා ඒක එලවන්න…තාත්තා හා කිව්වොත්…”

“උඹෙ තාත්තා එපා කියන එකක් නෑ. හැමදාම එක එක අලුත් දේවල් හෙව්වේ ඒ දවස්වල ඉඳන්…දැන් උඹෙ වයස කීයද?”

“දොලහයි සීයා, මං ගිය සුමානෙත් කිව්වේ සීයට”

“කොල්ලෝ… වයසට යනකොට අනික් අයගෙ වයස ගැන හිතන්න වෙලාවක් නෑ…දොලහයි ඈ? ඔය වයසට අපි ලොකු අය එක්ක පෙලට ඉඳන් වැඩ කරනවා … ඒ කාලේ…හ්ම්!”

“මටත් පුලුවන් ට්රැක්ටරේ ඉගෙනගෙන තාත්තත් එක්ක පෙලට වැඩ කරන්න!”

සීයා නිමල් දිහා බැලුවේ සාමාන්ය ගනනට වඩා මෝඩ ගොනෙක් දිහා බලනවා වගේ.

“පෙලට වැඩ කරනවා කියන්නේ එක තාලෙට, එකවර කීප දෙනෙක් හරියට රබන් පදයක් ගහනවා වගේ වැඩක් කරන එක. හොඳට උදැල්ලෙන් වැඩ පුලුවන් අය එහෙම කොටනකොට බලන්ටත් ලස්සනයි…ඔය තෙල් දාන යකඩ මැසින් වලට එහෙම බෑ…”

සීයා පොඩි වචන කීපෙකින් ට්රැක්ටරේ අගේ බැස්සුවා. නිමල්ට මේක හිතට හරියන්නෙ නෑ, විශේශයෙන්ම “අපේ” කියල හිතපු ට්රැක්ටරේ ගැන.

“සීයලාගෙ කාලේ ට්රැක්ටර් තිබුනෙ නෑනේ. තිබුනානම් සීයත් එව්වා පාවිච්චි කරයි!”

“කොල්ලෝ…අපි නිතරම අලුත් දේවල් හොය හොයා ගියෙ නෑ උඹලගෙ තාත්තා වගේ. අපෙ කාලේ යමක් හැදුවේ කල් පවතින විදිහට. ඔය අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන විදිහට නෙවෙයි…ආං ඒක මතක තියා ගන්න ඕනෑ. අපි අපිට අයිති දේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමේ බාර දුන්නා”

“මටත් තාත්තා එහෙම මොකවත් දෙයිද? ට්රැක්ටරේ වගේ දෙයක්?”

“ඒක මං දන්නෙ නෑ. හැබැයි මම නම් උඹට දෙන දේ දැනටම දන්නවා”

“මොකද්ද සීයා? මොකද්ද මට දෙන්නේ?”

“දැන් වෙලා ගියා. ඉක්මනට කෑවෙ නැත්තං අපෙ තොම්මා බනියි. වරෙන් උඹත් මාත් එක්ක කමු. ඊට පස්සේ පෙන්නන්නම්”

සීයා වැඩිය කන්නෙ නෑ. නිමල්ට කනවට වැඩිය ආසාව තිබුනේ සීයා දෙන්නේ මොනවද කියලා. සමහරවිට පරන පුස්කොලපොතක් වගේ දෙයක් වෙන්න පුලුවන් - සීයා ලඟ ඒවා මිටියක් තිබුනා. සමහරවිට මුවඅං මිට දාපු දුනු පිහේ වෙන්න ඇති - ඒක මාරයි. නැත්තම් අඹ පැලයක් වගේ දෙයක් වෙන්න පුලුවන්, කල් පවතින දෙයක් හැටියට.

සුගතපාල ඉතුරු කෑම කුස්සියට ඇරගෙන ගියා.

“උඹත් කාලා බාජන ගිහින් දීපන්. කියාපන් පොඩි එකා මෙහෙ කියලා”

සීයා එලියේ මඩුවට ආවා.

“කොල්ලෝ අර ගේ පිටිපස්සේ මඩුවේ තියෙන උදැල්ල ගෙනෙංකෝ”

බිමින් හාරලා ගන්න දෙයක් වෙන්න ඇති. අල ජාතියක් නෙවෙයි, කල් පවතින්නෙ නැති නිසා. මැනික් ඉල්ලමක් වත් තියෙනවද දන්නෙ නෑ මේ ඉඩමේ.

සීයා උදැල්ල අතට අරගෙන මිදුලට බැස්සා. උදැල්ලේ මිටයි තලෙයි බොහෝම හෙමින් පිරිමැද්දා. එතකොට නිමල්ට ඇලඩින්ගෙ කතාව මතක් උනා - උදැල්ලෙන් භූතයෙක් එලියට එයිද කියලත් හිතුනා.

සීයා කතා කරේ හිමින්.

“මට වයස දොලහ කාලේ, මගේ අප්පුච්චා, ඒ කියන්නේ උඹලගෙ තාත්තගෙ සීයා මට මේක දුන්නේ. මේක තමා මගෙ පලවෙනි උදැල්ල…ඒ දවස්වල උදැල්ලක් තියෙනවා කියන්නේ ගමේ ඕනෑ කුඹුරක වැඩට යන්න පුලුවන්. මේ උදැල්ලෙන් හොයලා තමයි මේ ඉඩම එහෙම ගත්තෙත්.”

කතාව ඉවර නැති නිසා නිමල් කට වහගෙන හිටියා.

“මම කැමතියි මේක උඹට දෙන්න. මේකේ වටිනාකම ආයුදයක් හැටියට විතරක් නෙවෙයි. අපෙ පවුලේ කතාව ලියවිලා තියෙන්නේ මේකෙන්”

“සීයා එහෙන මේක සෑහෙන්න පරන ඇති”

“දැන් අවුරුදු සීයකට කිට්ටුයි”

නිමල් ඉස්සරට වඩා ටිකක් පරෙස්සමෙන් උදැල්ල අතට අරගෙන බැලුවා.

“මම කැමතියි උඹ මේක පරෙස්සම් කරලා බලා ගන්න බාර ගත්තොත්. කැමතිද?”

“ඔවු අත්තා මං පරෙස්සමෙන් බලා ගන්නවා. මෙච්චර කල් පැවතෙන්න කවුද මේක හැදුවේ?”

“ඇලබොඩකන්දේ සුරඹා තමා ඒ දවස්වල කම්මලේ හිටියේ”

“සුරඹට එච්චර වයස නෑ! සුරඹගෙ පුතා අපෙ පංතියේ”

“සුරඹා කියන එක ඒ පවුලේ නමක්. උන්ගෙ අත්තලා මුත්තලා සේරම සුරඹලා. සේරම හොඳ කම්මල් කාරයෝ”

“මෙහෙම එකක් හදන්න කොච්චර කල් යනවද?”

“අප්පුච්චා කිව්වේ හොඳ යකඩ කෑලක් ලැබුනොත් මාසෙයක් වත් යන්නෙ නෑ කියලා”

නිමල් හොදට ඇස් කිට්ටු කරලා උදලු තලේ දිහා බැලුවා. ඊලඟ ප්රශ්නේ අහන්නේ කොහොමද කියලා නිමල්ට තේරුමක් නෑ.

“…අ..අ…සීයා….මේ උදලු තලේ ‘ලංලෝ’ කියලා ගහලා තියෙනවා…සුරඹා හැදුවා කිව්වට…”

“නෑ කොල්ලෝ. සුරඹා හැදුවේ ඉස්සෙල්ලාම එක. ඊට පස්සේ කිඹුලා මාක් තල දෙක තුනක් දැම්මා. ඔය ලංලෝ තලේ මං හිතන්නේ දැන් අවුරුදු පහ හයකට ඉස්සර දාපු එකක්”

නිමල්ට දැනෙනවා දැන් මෙතන තියෙන්නේ පරන උදැල්ලක් නෙවෙයි කියලා.

“මේකේ මිට?”

“ඉස්සර ඉස්සර කිතුල් මිටි තමා ගැහුවේ. පස්සේ පොල් මිටිත් ගහලා තියෙනවා. මට මතකයි එකසැරයක් හපු අත්තකිමුත් මිට ගැහුවා මොකද්ද හදිස්සියක් වෙලා”

නිමල්ට තේරෙනවා මේ උදැල්ල අලුත් එකක් කියලා. තාත්තා ලඟ තියෙන උදලු වලට වඩා කිසි වෙනසක් නෑ. නමුත් සීයා ඉන්නේ හරියට මේක එයාගෙ තාත්තා දීපු උදැල්ලමයි කියලා හිතාගෙන වගේ.

ආයෙත් සීයා කතා කරන්න පටන්ගත්තා.

“මං දන්නවා උඹ හිතන එක. උඹෙ හිතේ, උදැල්ලට අලුත් තලයක්, මිටක් එහෙම දැම්මොත් ඒක අලුත් වෙනවා කියලා. එහෙම නේද?”

“අ…ඔවු…”

“මගේ අප්පුච්චගෙ දාඩිය පලවෙනි උදලුමිටේ තිබුනා. උන්දෑ අතින් ගල් කෙටිලා හැදුන පලුදු උදලු තලේ තිබුනා. ඒකෙන් තමා ඒක අප්පුච්චගෙ උදැල්ල උනේ; උන්දැගෙ ජීවිතෙන් කෑලක් ඒකේ කෙටිලා තියෙනවා”

සීයා උදැල්ලේ මිට නහය ලඟට කිට්ටු කරා.

“මට උන්දැගෙ දහඩිය සුවද මේ මිටෙන් තවම දැනෙනවා. අප්පුච්චා මට දුන්නේ උදැල්ලක්, යකඩ කෑලකුයි පොල්ලකුයි නෙවෙයි. අලුත් මිටක්, තලයක් දම්මෙ නැත්තන් මේක උදැල්ලක් හැටියට තියෙන්නෙ නෑ. මම උදැල්ල දිගටම පවත්වාගෙන ආවේ මගෙ අප්පුච්චා සිහි කරලා මිසක් මිටක් තලයක් සිහිකරලා නෙවෙයි”

නිමල් උදැල්ල අතට ගත්තා. හෙමිහිට උදලු මිට නහයට ලං කරලා දිග හුස්මක් ගත්තා. නිමල්ගෙ මූනේ පොඩී හිනහවක් නැගෙන්න පටන්ගත්තා.

“දැනෙනවද දහඩිය සුවඳ?” සීයටත් පොඩි හිනහවක් දලු දාගෙන එනවා.

“ඔවු…සියා විතරක් නෙවෙයි, අනික් අයගෙත්…සීයා බය වෙන්න එපා. මම මේකට කිසි අතවරයක් වෙන්න දෙන්නෙ නෑ. අද හවසම අර ගේ පිටිපස්සේ පාත්තිය සුද්ද කරනවා මේකෙන්”

නිමල් උදැල්ල කරට ගත්තා. නිමල්ට උදැල්ලේ ඉතිහාසේ බර දැනුනද නැද්ද මම දන්නෙ නෑ නමුත් සීයගෙ ඔලුවෙන් නම් විසාල බරක් අයින් උනා කියලා මූනෙන්ම කියන්න පුලුවන්.