සුනාමියට පස්සේ

සුනාමියට පස්සේ

භූවිද්යාඥයෙක් වශයෙන් මට තේරෙනවා සුනාමියක් කියන්නේ මොකක්ද කියලා. මුහුදු පතුලේ භූමි කම්පා ගැනත්, ඇතිවෙන විභේදන ගැනත් මට කිසි කෙනෙක් අලුතෙන් කියලා දෙන්න ඕනැ නෑ. ඒවා මම හදාරලා තියෙනවා. නමුත් සුනාමියකින් මගේ එකම දරුවයි, ලේලියි, මුනුබුරයි ඔක්කොම නැති උනේ ඇයි කියලා මට කියා දෙන්න කිසි කෙනෙක් නෑ.

ඒ දෙදාස් හතරේ. දැන් අවුරුදු දහයකටත් වැඩී.

පුතා නැතිවෙලා පලවෙනි මාස තුන හතරේ පවුලයි මමයි ආදර්ශ උගත් දෙමව් පියෝ වගේ හැසිරුනා. අපි වෙනදා වගේම වැඩට ගියා, නෑදෑ මගුල් මරන ගෙවල්වල ගියා, පුතාලා ගැන යමක් කියවුනොත් “ජීවිතේ ඔහොම තමයි - තව රටේ කීදෙනෙකුට මෙහෙම වෙලා තියෙනවද?” වගේ දේ තමයි අපේ කටින් පිටවුනේ. වෙන එකක් තියා අපි දෙන්නා නුවරඑලියේ ගියා සුමානෙකට නිවාඩුවක් දාලා, සුනාමි කතා වලින් ඈත්වෙලා ඉන්න දවස් කීපයක්වත්.

කල් යනකොට මගෙ කන්තෝරුවෙත් සුනාමි ගැන කතා ටිකින් ටික අඩුඋනා. සමහරවිට දවස් ගානක් යනකම් කොහෙන්වත් සුනාමිය ගැන වචනයක්වත් ඇහෙන්නෙ නෑ. මේක මං එතන හිටපු නිසා උන දෙයක් නෙවෙයි - මිනිස්සුන්ට කතා කරන්න වෙන දේ තියෙන්න ඇති. මොක උනත් ඒඅය ඒඅයගේ ජීවිත ගැන හිතන්න ඕනෑ. ඉඳල හිටලා සුනාමි විහිළුත් කියවෙන්න පටන් ගත්තා. ඒවගෙන් සමහර විහිළු හිනා වෙන්න වටින ඒවා උනත් බොහොම ඒවා සුනාමි හමක් අන්දපු පරන විහිළු. මගෙ පවුලගෙ කන්තෝරුවෙත් එහෙමයි කියලා දවසක් හෙලන් කිව්වා ගෙදර ආපු ගමන්.

“මේ අයට තේරෙන්නෙ නෑ අනික් අයගෙ දුක!”

“එහෙම තමා හෙලන්. නලින් පුතා එහෙම නැති උනා කියලා ඒ අයට ගානක් නෑ”

“නිකමටවත් හිතෙන්නෙ නැද්ද අපිත් කාමරේ ඉන්නවා කියලා”

“අපි අපේ හිත තදකරගන්න ඕනෑ ඔය එක එකා මොනවා කිව්වත්”

හෙලන් ලෙඩ වෙන්න පටංගත්තේ ඒ කාලේ.

ඉස් ඉස්සරවෙලා හෙලන් රෑට කෑම අඩු කරා. හවස අපෙ පිලියන්දල ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන මාත් එක්ක කතා කර කර ඉන්නවා වෙනුවට ඉස්තෝපුවේ කොනේ හාන්සි පුටුවේ ගුලිවෙලා පාර දිහා බලාගෙන ඉන්න පටන්ගත්තා. මම මොනවත් කිව්වත් අහන එකට යන්තම් උත්තරයක් දෙනවා මිසක් වෙන කතාවක් ඇත්තෙම නෑ.

“මොකොද හෙලන්? කන්තෝරුවේ කරදරද?”

“නෑ”

“ඇඟට අමාරුවක් එහෙම තියෙනවද?”

“නෑ”

“මොකවත් කන්නෙ නැද්ද?”

“බඩගිනි නෑ”

“ඔහොම ඉන්න බෑ කෙල්ලේ. හෙට අපි දොස්තර ගෙදර යං”

“…ඔයා ගිහින් කන්න …”

හෙලන් වැඩට නොයා නිවාඩු දාන්න පටංගත්තට පස්සේ තමයි මම මගේ යාළු දොස්තර කෙනෙක් ගෙදර එක්ක ආවේ.

“කාංසාව - ඒ කියන්නේ ඩිප්රෙශන් වගේ තමයි පෙනෙන්නේ. පුලුවන් තරම් හොඳින් හෙලන්ගෙ ඕනෑ එපාකම් බලාගත්තොත් හොඳයි. බෙහෙත් තියෙනවා - හැබැයි ලෙඩේ තියෙන්නේ හිතේ; ගතේ නෙවෙයි”

දොස්තර ආපහු යන්න මමත් එක්ක පාර දිහාට ඇවිදින වෙලාවෙ මෙහෙම කිව්වේ.

“හෙලන් ආගමේ නේද? පූජකයා ලඟට එක්ක ගියොත් හොඳයි. සමහරවිට බෙහෙතට වැඩිය ඒක අල්ලනවා”

අපි පූජකයෝ විතරක් නෙවෙයි එක එක තැන් වලට ගියා හෙලන් සුව කරගන්න වෙද්දු, දොස්තරලා, කට්ටඬියෝ එහෙම හොයලා. එයා රස්සාවෙමුත් අස් උනා. ටිකින් ටික හෙලන්ගෙ ලෙඩ තවත් නරක අතට හැරුනා. හොඳටම කෙට්ටු වෙලා ඇවිදින්නවත් පනක් නෑ වගේ. කතාවත් හොඳටම අඩුයි.

හෙලන් නැතිවෙනකොට පුතාලා නැතිවෙලා හරියටම අවුරුද්දයි. එදා උදේ මම හෙලන්ට තේ එකක් ඇරගෙන යනකොට එයා කාලෙකට පස්සේ මාත් එක්ක පරන විදිහට හිනහ උනා.

“මට සමාවෙන්න ජයා බබා”

එහෙම කියලා ඇස් වහගත්තට පස්සේ ආයෙ ඇරියෙ නෑ.



ඊලඟ මාස දෙක තුන හීනයක් වගේ. මරනෙට නංගී රට ඉඳං ඇවිත් සති දෙකක් ඉඳලා ගියා. හෙලන්ගෙ අයියා, අනිල් කීප සැරයක්ම ආවා. අවට ගෙවල්වල කීපදෙනෙකුත් කෑම එහෙම එව්වා. කවුරු ආවත් නැතත් ගෙදර පාලු ගතිය නැති උනේම නෑ. සමහරවිට පිට අය ඉන්න එක මට කරදරයක් වගේ දැනුනේ.

නංගිගෙ ඕනෑ කමට තමා මාව සුමංගල හාමුදුරුවෝ ලඟට එක්ක ගියේ. නංගිගෙ හිතේ තියෙන්න ඇති මටත් හෙලන්ට වගේ ජීවිතේ එපාවෙයි කියලා. මට ඕනෑවෙලා තිබුනේ මේ වෙලා තියෙන දේ තේරුම් ගන්න එක මිසක් අනික් අයගෙ අනුකම්පාව ලබන එක නෙවෙයි. සුමංගල හාමුදුරුවෝ උගතෙක් වගේම හරිම තැම්පත් තරුනයෙක්. මම ආගමක් ගැන වැඩිය හිතුවෙ නැති උනාට උන්නාන්සෙත් එක්ක කතා කරන්න වරක් දෙකක් ගියා.

“අපෙ හාමුදුන්නේ මට කියන්න පුලුවන්ද ඇයි ලෝකේ මෙහෙම දේවල් වෙන්නේ කියලා?”

“මහත්තයා විද්යා අංශයේ වැඩ කරනේ. ඒ නිසා ඔය ප්රශ්නෙට උත්තරේ මට වැඩිය හොඳට මහත්තයා දන්නවා”

“මම දන්නවා පොලව යට වෙන එක එක භෞතික විපර්යාස වලින් මේවා වෙනවා කියලා. නමුත් බුද්දාගමේ තියෙනවා නේද කර්මයන් මිනිස්සුන්ගේ ජීවිත වලට බලපෑමක් තියෙනවා කියලා”

“ඔව්. ඒක බුදු බනේ තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමා බුදුහාමුදුරුවෝ වදාලා කර්මය පමනක් නෙවෙයි අපේ ජීවිතේට බලපෑම් කරන්නේ කියලා”

“ඒ කියන්නේ පෙර කල කර්ම පලදීම ඇරුනුකොට තව හේතු තියෙනවා අපිට එදිනෙදා වෙන දේ වලට?”

“අපිට වෙන සෑම දේම කර්මය නිසා සිදුවෙනවා කියන එක වැරදි හැගීමක්. හිතලා බලන්න කොළඹට වහිනකොට කී දෙනෙක් තෙමෙනවද කියලා. ඒ සියලූම දෙනා එකම කර්මයක පලදීමෙන් තෙමෙනවා කියලා හිතන්න බෑ. අපි ස්වාභාවයෙන් සිදුවන දේ මිනිසා නිසා හෝ මිනිසා වෙනුවෙන් සිදුවෙනවා කියන එකෙන් පෙන්වන්නේ මිනිසාගේ අහංකාරකම මිසක් හරි දැක්ම නොවෙයි”

“වැස්සෙන් හොඳ මිනිස්සුත් නරක මිනිස්සුත් එක ගානට තෙමෙන බව තේරුම් ගන්න පුලුවන්. නමුත් අපි මනුස්සයෝ වශයෙන් මොනවද කරන්න ඕනෑ මේවගේ දේවලින් බේරෙන්න?”

“වැස්සටනම් කුඩයක් ගන්න එක හොදයි…. ඒක විහිළුවට කියන දෙයක් නෙවෙයි මහත්තයා. අපිට පුලුවන් සමහර ස්වභවික අතවර වලින් ගැලවෙන්න හරි විදිහට ලකලෑස්ති උනොත්. තව දේ තියෙනවා, සුනාමි වගේ, අපිට ගැලවෙන්න බැරි දේ. නමුත් අපෙ මුලු ජීවිතේම ඒ වගේ නේද? රෝග, ජරා, මරන වගේ දේවලටත් බෙහෙත් නෑ. නමුත්, මනසක් තියෙන මිනිසුන් ලෙසින්, අපිට පුලුවන් ඒවට හරි විදිහට මුහුණදෙන්න. ඒක කරන්නයි අපි උත්ස්සාහ කරන්න ඕන. අපි අපේ හිත ඒ විදිහට එකලස් කරගත්තොත් කිසි දේකට මුහුණදෙන්න බැරි කමක් නෑ”

හාමුදුරුවෝ කියන විදිහට වැරැද්ද මගේ - මෙතෙන්දී වැදගත් වෙන්නේ මට සිද්දවූ දේ නෙවෙයි, මම ඒකට මුහුණදෙන විදිහ පමනයි. ඇත්තටම කිව්වොත් මම මේ උත්තරෙන් තෘප්තිමත් උනේ නෑ. එනිසාද කොහෙදෝ මම ගියා හෙලන් ගිය පල්ලියට රුබේරු පියතුමා හමුවෙන්න.

“හා ජයන්ත එන්න එන්න. මොකද මේ හදිස්සියේ?”

“ෆාද, මට හෙලන් වෙනුවෙන් කල දේවලට හරියට ස්තුති කරන්නවත් බැරි උනා”

“අපි මේවා ස්තුති බලාපොරොත්තුවෙන් නොවෙයි කරන්නේ. අපි දෙවියන්වහන්සෙගෙන් ඉල්ලන්නේ එකම දෙයයි - හෙලනුයි දරු මුනුබුරොයි හොද තැනකට යවන්න කියලා”

“මම ප්රශ්නයක් ඇහුවට කමක් නැද්ද?”

“ජයන්ත ඇවිත් වාඩි වෙන්න. මම දන්නවා ජයන්ත හොඳ බෞද්ධයෙක් බව - මට හෙලන් කියලා තියෙනවා. ඕනෑ ප්රශ්නයක් අහන්න, මම මට පුලුවන් තරමින් උත්තර දෙන්න බලන්නං”

“දෙවියන්වහන්සේ මැවූ ලෝකේ ඇයි සුනාමි වගේ දේ වෙන්නේ දහස් ගනන් අහිංසකයෝ මරාදාලා”

“මේකට උත්තර කීපයක් තියෙනවා - ඉන් එකක්වත් ජයන්තගෙ හිතේ තියෙන දුක නිවාගන්න ඇතිවෙයිද කයලා මට කියන්න බෑ….”

ටිකක් වෙලා බිම බලාගෙන ඉඳලා පියතුමා ආයෙත් කතාව පටන්ගත්තා.

“අපි අදහන දෙවියන්වහන්සේ මුලු විශ්වයම මැව්වා කියලා අපි විස්වාස කරනවා. ඒකේ කොටසක් වශයෙන් තමා විශවය පාලනය කරන නීති රීතිත් හැදුනේ. දැන් විද්යාවෙන් හදාරන්නේ උන්වහන්සේගෙ නීති රීති. උදාහරනයක් ගත්තොත්, ගුරුත්ව ආකර්ශනය කියන්නේ උන්වහන්සේ විශ්වයේ කොටස්, ඉර හඳ තාරකා වැනි, එකට බැඳී තියෙන්න සාදාදුන් අනම්ය නීති පදනම. මෙවැනි නීති අනුගමනවෙමින් තමා ලෝකේ වෙන සියලු දෙයම වෙන්නේ - සුනාමිත් ඇතුලුව. ජයන්ත හිතට ගන්න ඕනෑ සුනාමියක නරකක් හෝ හොඳක් නෑ. ඒක භෞතික සිදුවීමක්”

“දෙවියන්වහන්සේ ඇයි මේවාගෙන් මිනිසුන්ට හානිවෙන්න සලසන්නේ - ඒ අයගේ පාප නිසාද, එහෙම නැත්තන් එතුමාට එය කරන්න බැරි නිසාද?”

“ඒ ප්රශ්න දෙකටම උත්තරේ ‘නෑ’ කියලා කියන්න පුලුවන්. පොඩි උදාහරනයක් ගත්තොත් - කවුරුත් පාරේ යනකොට ගලක කකුල වැදුනොත් අපි දෙවියන්ගේ වැරැද්දක් සොයනවද? නෑ, ඒක සුළු දෙයක් කියලා අමතක කරනවා. නමුත් විශාල විපත්තියක් උන වහාම අපිට දෙවියන් මතක්වෙනවා - හැබැයි හොඳ විදිහටම නොවෙයි. ඒක මිනිසුන් තමන්ට දෙවියන් දීපු ස්වකැමැත්ත පාවිච්චි කරලා කරන දෙයක්. මේකෙන් වැඩිපුරම විදහා පෙන්වන්නේ මිනිසුන්ගේ ගතිගුන මිස දෙවි ගතිගුන නොවෙයි”

“දෙවියන්වහන්සෙගෙ වැරදි හොයන එක නෙවෙයි මගෙ අරමුන. පියතුමා මට කියනවද මේ වගේ දෙයකින් ඇතිවන දුක, සමහරවිට කෝපයත් වෙන්නත් පුලුවන්, කෙනෙක් ගැලවෙන්නේ කොහොමද?”

“ජයන්ත ඒක තමා හරි ප්රශ්නේ. දෙවියන්වහන්සේගේ හිත දුවන ක්රමය මිනිස්සු වන අපිට තේරුම් ගන්න බෑ. අපි හොඳින්ම දන්න දෙයක් තමා එතුමා කරන හැම දෙයක්ම කරන්නේ අපේ සුභ සිද්දිය පතලා. අපි එතුමා වෙත අපේ ආදරය සහ භක්තිය පෙන්වලා එතුමාගෙන් ඉල්ලා හිටින්න ඕනෑ මේවා තේරුම් කර දෙන්න කියලා. හෙලන් මේක කරේ යාච්ඤාවෙන් - ජයන්තට සමරවිට හරියන්නේ භාවනාව. විස්වාස කරන්න මේ දෙක අතරේ වැඩි වෙනසක් නෑ”

ආගම් දෙකකින් එකවැනි උත්තර ලැබුනත් මට වැඩි සහනයක් ලැබුනෙ නෑ. ඒකට විකල්පයක් ලෙසින් මම මගේ මුලු කාලයම වගේ රස්සාවට යොමුකරන්න පුරුදු උනා. මම ආගමෙන් නොලැබූ තෘප්තියක් විද්යාවෙන් ලැබුවා. හෙලන් නැතිවෙලා මාස ගානක්ම මගෙ කන්තෝරුවේ යාලුවන්ගෙන් මට රෑ කෑමට, එහෙම නැත්තම් සති අන්තයට එන්න කියලා නිතරම ආරාධනා ලැබුනා. නමුත් මම එවැනි දේවලට ගියේ කලාතුරකින්.

මගේ ජීවිතේ කුනාටුවකට අහු උන ඔරුවක් වගේ අරමුනක් නැතුව එහෙ මෙහෙ ඇදී ගියා. මගෙ එදිනෙදා ජීවිතේ විද්යාව හැරුනුවිට පාවිච්චිකල අනික් හබල ආවේ බෝතලයක.

මම සාමාන්යෙන් මත් පැනට ලොල් උනේ නෑ. පාටියකදී හරි හෙලන්ලගෙ ගෙදර නත්තලට ගිය දවසක හරි එකක් දෙකක් බිව්වට මට බීලා වැඩි පුරුද්දක් නෑ. හෙලන් ලෙඩ වෙලා ඉන්න කාලේ මම ඉඳලා හිටලා කන්තෝරුවේ ඉලංදාරි එකෙක් දෙන්නෙක් එක්ක අපෙ ක්ලබ් එකෙන් අඩියක් ගහන්න පුරුදු උනා. මගේ තනතුර උසස් එකක් නිසාත් මම බීමට ගෙවපු නිසාත් මේ අය මාත් එක්ක ක්ලබ් යන්න කැමති උනා. මම එහිදී වැඩි ආස්වාදයස්ක් ලැබුවේ බීමෙන් නෙවෙයි කතාවෙනුයි. ගෙදරදී කතාවකට කෙරුනේ හෙලන් ගෙන් හැමදාම අහන පර්ශ්නයි, නොලැබෙන උත්තරයි පමනයි. ගෙදර වැඩට හිටි සුගතපාල කතා කරන්න දන්නේ කෑම ගැනයි ගෙදර වැඩ ගැනයි. පොඩිකාලේ ඉඳන් කතාවට ලැදි මට මේක අමාරුම දෙයක් උනා.

මේ දවස්වල තමා මම ඉස්සරවෙලාම ගෙදර ගෙනෙන්න අරක්කු බෝතලයක් සල්ලි දීලා ගත්තෙ. ඉන් පස්සේ මම වැඩිය ක්ලබ් ගියෙත් නෑ. රෑට සුගතපාල දීපු දෙයක් කාල, ටෙලිවිශන් බැලුවා සෑහෙන වෙලාවක්. සුගතපාලත් පුරුදු උනා මම නාලා ඉවරවෙනකොට මොකවත් හපන්ටත් හදලා තියන්න මගෙ බීමට ගැලපෙන්න. ඕනෑවට වැඩිය බොන බව දැක්කොත් මිනිහා කෙලින්ම ඇවිත් බෝතලේ අරන් යනවා “මහත්තයා කමු” කියාගෙන. ඊට පස්සේ බීමක් බෑ. එක දවසක් මගෙ බීම චූට්ටක් වැඩිවෙලා වැනෙනවා දැකලා තමා එහෙම කරන්න පටන් ගත්තෙ. එදා පටන් මම කාලා ඉවරවෙලා නිදන්න යනකමුත් සුගතපාල ඒ හරියේ කැරකෙනවා.

මගෙ බීමට මම කවදාවත් සුගතපාලගෙ වැරැද්දක් කියන්නෙ නෑ. අපෙ ගමේම ඉපදිලා, අපෙ මහගෙදරම හැදුන මිනිහා අපිට බොහොම ලැදියි. අවුරුදු තුනකට ඉස්සර අපෙ ගමෙන්ම කසාදෙකුත් බැංදට මොකොද, අපි පිලියන්දල ගෙදර ගත්තහම ආවා එතෙන්ට. දැන් ගමේ යන්නේ මාසෙකට එක සැරයයි, ළමයෙකුත් හිටියට.

මගෙ හුදකලා ජීවිතෙයි, බීමයි නිසා පවුද්ගලික කටයුතු අරමුනක් නැතුව එහෙමෙහෙ පාවුනත් මගෙ රස්සාව කිසිම අඩුවක් නැතුව කෙරුනා. මගෙ අන්තර් පුද්ගල සම්බන්ධකම් සෑහෙන්න පිරිහී ගියත් මම මගෙ සමකාලීන අයට වැඩිය වැඩ ගොන්නක් ඉටුකලා, මගේ තෘප්තියට.

මං හිතාගෙන හිටියේ මගේ විද්යාත්මක නිමැවුම උසස් තත්වයක ඇතියි කියලා. නමුත් මගෙ අන්තිම ගවේෂණ වාර්තාව මුද්රණයට නොවෙන බවට රාවයක් පැතිර ගියා. ඒක නවත්වපු අධ්යක්ශක මාත් එක්ක එකට ෆීල්ඩ් එකේ ඉඳලා වැඩ කරලා තියෙනවා කාලෙකට ඉස්සර. ඒ දවස්වල අපි බොහොම යාලුයි. මම හිතුවා මගෙ රිපෝට් එකේ තියෙන වැරදි එයාගෙන්ම අහගන්න එක හොඳයි කියලා.

“අර රිපෝට් එක කවදා රිලීස් වෙයිද?”

“ආ කොහොමද? ජයන්ත වාඩිවෙන්න. කාලෙකින් කතා කරන්නත් බැරි උනා”

“ඔහෙ ඉන්නවා ඉතින්. වෙන මොනවා කරන්නද? මට වීරසේකර කිව්වා රිපෝට් එක එලියට දාන්නෙ නෑ කියලා?”

“එයාට එහෙම කියන්න කිසිම අයිතියක් නෑ සීනියර් ඔෆිසර් කෙනෙක් ගැන. මම කතාකරන්නම්කෝ මිනිහට”

“ඌට ලෙඩ දාන්න ඕනැ නෑ. මට නිකමට දැනගන්න ඕනෑ මං ලියපු එකේ වැරදි තියෙනවද කියලා”

ලොක්කා සද්ද නැතුව හිටියා ජනේලේ දිහා බලාගෙන. පස්සේ ඔර්ලෝසුව දිහා බලලා මේසේ උඩ තිබුන බෙල් එක ගැහුවා පියන්ට කතාකරන්න.

“දෙවෙනි මහත්තයට කියන්න මම දවල් කෑමට ගියා කියලා පැයකට විතර”

ලොක්කා මාවත් කාරෙකේ දාගෙන ගියේ හෝටලේකට නෙවෙයි එයාගෙ ගෙදරට. මේ වෙලාවට ඒ ගෙදර ඉන්නේ වැඩට ඉන්න දෙන්නා විතරයි.

“යමු කන්තෝරු කාමරේට”

ලොක්කා පොඩි ෆ්රිජ් එකකින් බීර බෝතලයක් අරන් වීදුරු දෙකකට දැම්මා.

“මේ මහ දවල්?”

“කට වහගෙන බීපන්” ලොක්කා වීදුරුවෙන් බාගයක් එක හුස්මට බිව්වා.

“දැන් සද්ද නැතුව අහගෙන හිටපන්….එදත් අදත් අපෙ දෙපාර්තමේන්තුවේ ඉන්න හොඳම භූවිද්යාඥයා උඹ. මේක මම ආවට ගියාට කියන දෙයක් නෙවෙයි. උඹෙ සපත්තු මදින්නවත් ඔය වීරසේකරයලා හොඳ මදි…”

වීදුරුව හිස් කරලා ආයෙත් ඒක පුරවා ගත්තා මං දිහාවත් නොබලා.

“හැබැයි පෙත්සම් ඇවිත් තියෙනවා උඹේ හැසිරීම ගැන….ඇමතිටත් ගිහින් තියෙන්නේ….මටත් වැදිලා තියෙනවා එකක් දෙකක් උඹට විනයානුකූල දඬුවම් නොකරන එක ගැන…”

“මං මොකද කරා කියන්නේ?”

“උඹ චීෆ් කෙමිස්ට්ට කිව්වද ‘යූ කුඩ්න්ට් අයිඩෙන්ටිෆයි අ ලයිම්ස්ටෝන් ඉෆ් අයි හිට් යු විත් ඉට්’ කියලා?”

“ඒක ඇත්තනේ. එයා ලැබ් ගෙම්බෙක් - ඌට හරි නෑනේ මගෙ ඇසිස්ටන්ට්ට සැර දාන්න”

“උඹ දවසක් රෑ මිනිස්ටර්ගෙ ඩ්රයිවර්ට කුනුහරුපෙන් බැන්නද උඹෙ කාරෙක එලියට ගන්න ඉඩ මදිවෙලා. මිනිස්ටරුත් කාරෙකේ ඉන්නකොට”

“ඒ මිනිස්ටරයටම ඕනෑ කියලා රිපෝට් එකක් ලියලා, රෑ දහයත් පහුවෙලා ගෙදර යන්න කාරෙකට එනකොට කවුද රිලවෙක් ඉස්සැරහින් පාක් කරලා. මොකා උනත් ඕන තරම් ඉඩ තිබුනානෙ එහැයින් නවත්තන්ට”

“උඹ මිනිස්ට්රි එකේ සෙක්රටරිට කිව්වද ‘ඔය බම්බු රැස්වීම්වල කතා කරන්න මට වෙලා නෑ’ කියලා?”

“මං කොහොමද බං ‘ස්වාභාවික අනතුරු වලින් වැලකීම’ ගැන කතා කරන්නේ? ඒ බූරුවා දන්නෙ නැද්ද අපිට උන දේවල්?”

“ඇයි ඌට තව මොකොවත් කිව්වෙ නැත්තේ?”

“මට මතක් උනා අර ගැරැඬියට ගහලා පව් ගන්න කතාව. එකම වැඩේ, ගැරැඬියා ඌද මමද කියලා තවම හිතාගන්න බැරි උනා”

අපි තව වීදුරුවක් දාගෙන කතා නොකර හිටියා අතීතෙයි අනාගතෙයි ගැන හිත හිතා.

“මම මේ මාසේ අන්තිමට අස් වෙලා කැනඩා යනවා. ආයෙ එන්නෙ නෑ. මං තවම කාටවත් කියලත් නෑ. යන්ට ඉස්සර මම කැමතියි උඹට පොඩි අවවාදයක් දෙන්න පරන යාළුකම් මතක් කරලා…..උඹේ බීම ගැන හුඟක් අය කතා කරනවා. මං හිතන්නේ නොබී ඉඳලා පටංගත්ත නිසා වෙන්න ඇති….පේරාදෙනියේ තියෙනවා රිසර්ච් වැඩක් උඹටම හරියන ජාතියේ. මගෙ අවවාදේ උඹ මේ මාසෙම එහෙ පලයං. කොහොමහරි මම යන්න ඉස්සර මෙහෙන් පිටත්වෙන්න බලපන්”

“මාව එලවාගන්න වගේ…”

“උන් දැනටමත් බලාගෙන ඉන්නේ උඹ බිල්ලට දීලා මිනිස්ටර්ලගෙ පොරවල්, වීරසේකර වගේ, ඉස්සරහට ගන්න. මට පස්සේ එන එකා මොනවා කරයිද දන්නෙ නෑ”

“පේරාදෙනියේ උන් කැමැති ඇතිනේ උන්ගෙම එකෙක් දාගන්න”

“පේරාදෙනියෙන් තමා ඉස්සරවෙලා මට කතා කරේ උඹ ගැන”



මම පේරාදෙනියේ වැඩ පටන්ගත්ත දවසේ උදේ හත හමාර වෙනකොට එතෙන්ට ගියා. මම හිතුවේ, දෙපාර්තමේන්තුවේ අනික් අය වැඩට එන්න ඉස්සර, නිවිහැනහිල්ලේ කැන්ටිමෙන් තේ එකක් බීලා වටපිට ටිකක් ඇවිදලා බලන්න. අවුරුදු අටකට ඉස්සර සම්මන්ත්රණයකට ආවට පස්සේ අද තමා මේ පැත්ත දකින්න ලැබුනේ. නමුත් හිතපු විදිහට ඇවිදින්නවත් තේ බොන්නවත් ඉඩ පහසුවක් මට ලැබුනෙ නෑ. ඒ වෙනකොටත් අපෙ ගොඩනැගිල්ලේ සිසුවෝ පිරිලා - කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ කතාව, හිනහව එකම කාලගෝට්ටියක්. දැනට අවුරුදු හතලිහකට ඉස්සර මමත් මේවගේ හිටිය නේද? අවුරුදු දහයකට විතර ඉස්සර නලින් පුතයි ගීතා දුවයි මේ වගේම හිනහ වෙන්න ඇතිද?

මේ අයට අනාගතේ ගැන කොයි තරම් බලාපොරොත්තු ඇතිද? අනාගතේ රට අයිති වෙන්නෙත් මේ අයට නේද? විද්යා කාන්තාරෙක හිටි මට මේක මගේ ක්ෂේම භූමියද? මම සිහින ලොවෙන් එලියට ආවේ මහාචාර්ය වරයාගෙ “වෙල්කම් වෙල්කම්” යන වචනයෙන්.

උදේ වරුවම ගත උනේ ආච්ර්ය මංඩලයත් ජේෂ්ට සිසුවනුත් හමුවී එක එක්කෙනාගේ පර්යේශන ක්ෂේත්ර ගැන සාකච්චා කිරීමයි. මම ආචාර්ය මංඩලයේ බොහෝ දෙනෙකුගෙ ක්ෂේත්ර ගැන දැනගෙන හිටියා. ඒවා ගැන බුද්ධිමත් විදිහට කතා කිරීම අමාරු උනේ නෑ. මට පුදුමයක් හැටියට දැනුනේ, එක පැත්තකින් මට වඩා බොහොම ඉගනීමෙන් සුදුසුකම් ඇති අයත්, අනික් පැත්තෙන් තුන්වෙනි අවුරුද්දේ සිසුවොත්, එක තරමට මා කී දේ වලට සාවදානව ඇහුම්කන් දීමයි. මේක මට සාමාන්යෙන් වෙන දෙයක් නොවෙයි කියලා මම සබාවට කිව්වා. සබාවේ සිනහව අතරින් මහාචාර්ය තුමා කිව්වා “මැනික් මුදලාලිලා සල්ලි හොයන්නේ අපි වගේ මැනික් ගරන්නන්ගේ දැනුමෙන්. ඒ දැනුම කොහෙන් ආවත් අපි සේරටම එක වගේ වටිනවා”. මෙයට ලැබුන අත්පොලසන් මැද සබාව අවසන් උනා.



එදා මම ගෙදර ආවේ කාලෙකට නොදැනුන සංතෝසෙකින්. පේරාදෙනියේ වැඩට කොළඹ වගේ දේශපාලනෙන් කරදර නැති බවයි පෙනෙන්නේ. අනික බාල මහලු, ගැහැනු පිරිමි කියලා වෙනසක් නැතුව සේරම විද්යාවටම කැප වෙලා. මේ වගේ තැනක වැඩ කරන්න ලැබෙනවට මමයි ගෙවන්න ඕනෑ කියලා හිතුනා. නමුත් මම ඒතරම් මෝඩ නැති බව හිතිලා මට තනියම හිනහ ගියා. විනාඩි විස්සකින් මම ගෙදර ගේටුවෙන් ඇතුලට හැරෙව්වා.

අපේ මහගෙදර සුගතපාල හොඳට සුද්ද කරලා මට ඉන්න හදලා තියෙන්නේ. ගිය සතියේ අපි දෙන්නම පිලියන්දලින් ආපු බඩු අස් කරලා, තව අවශ්ය බඩු මුට්ටු එහෙමත් ගත්තා. ගෙදර වටේට සුද්ද කරන එක මම සුගතපාලටම බාර දුන්නා.

මම ඇදුම් මාරුකරලා සුගතපාල දීපු තේ එකකුත් අරගෙන ඉස්සරහ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඇල උනා. තේ එක තොල ගාමින් වත්ත දිහා බලාගෙන හිටියා. පිලියන්දල වගේ වාහන සද්ද වෙනුවට මෙහෙ තිබුනේ හුලඟට ගස්වල කොල සෙලවෙන සද්දේ. ඒ තරම් රස්නෙකුත් දැනුනේ නෑ. මට හොඳටම විස්වාසයි හෙලන් දැන් කොහෙ හිටියත් මා ගැන සංතෝස වෙනවා ඇති කියලා. මම තේ කෝප්පේ බිම තියලා මගෙ ජීවිතේ සිදු උන් වැදගත් දේ ලැයිස්තුවක් හැදුවා හිතෙන්.

මට හෙලන් මුනගැසුනේ පෙරාදෙනියේදී. ආගමේ කෙනෙක් බඳිනවා කියලා ගෙදරින් ටිකක් කරදර තිබුනා - හෙලන්ටත් ඒ වගේම තිබුනලු එහෙන්. නමුත් අන්තිමට අපෙ නංගියි, හෙලන්ගෙ අයියයි මැදිහත් වෙලා පවුල් දෙකම කැමති කර ගත්තා. නලින් ඉපදුනාට පස්සේ පවුල් දෙක සෑහෙන්ට කුලුපග උනා. අපි දෙන්නගෙම දෙමව් පියෝ නැති උනේ නලින් විශ්වවිද්යාලයෙන් පිටවෙන්නත් ඉස්සර. ඒ නිසා ඒ පරපුරේ කිසි කෙනෙකුට ගීතා හමු උනේ නෑ. නලින්ලා පිටරට ඉන්න දවස්වල තමා පොඩි තේජා ඉපදුනේ. නලින්, ගීතා, තේජා තුන්දෙනාම සුනාමියෙන් නැතිවෙනකොට තේජට වයස හතරයි. මොක උනත් මට වඩාම මතක්වෙන්නේ නලින්.

“නලින්….” ගෑනු කටහඬක් ඇහිලා මම තිගැස්සිලා ඇහැරුනා.

ගෑනියක් පොල් අතු දෙකක් ඇදගෙන ගේ මිදුලෙන් යනවා. පොඩි කොලුවෙක් මං දිහා බලාගෙන ඉදලා ගෑනී පස්සේ දිව්වා.

“සුගතපාල….සුගතපාල….” මම හයියෙන් කෑගැහුවා.

“මහත්තයා?” සුගතපාල මිදුල පැත්තේ ඉඳන් ආවා.

“කවුද අර ගෑනියෙකුයි කොල්ලෙකුයි ගේ පිටිපස්සට ගියේ?”

“ඇයි මහත්තයා ඒ මගෙ පවුලයි පුතයි නේ. අද වත්ත සුද්ද කරන්න මං අඬගහගත්තා. එහෙම එපාද මහත්තයා?”

“පුතාගෙ නම මොකද්ද?”

මිනිහා ටිකක් ඇඹරුනා. අන්තිමට බිම බලාගෙන “නලින්” කියලා මැතුරුවා.

“මගෙ පුතාගෙ නම?”

“…පොඩි මහත්තයා මතක් වෙන්නත් එක්ක නම දැම්මේ. පවුලත් කැමති උනේ ඒකට. මහත්තයා අකමැතිනං කියන්ට - එයාට තියෙන අනික් නම පාවිච්චි කරන්න පුලුවන්…” සුගතපාලගෙ මූනේ පුදුම දුකක් පේනවා.

“කතා කරන්න පවුලටයි පුතාටයි”

මම පුටුවෙන් නැගිටලා මිදුල කොනට ගියා. සුගතපාලයි, ඊට පස්සෙන් පවුලයි පුතයි ආවා බිම බලාගෙන. සුගතපාල ඉස්සරැහින් හිටියේ හරියට ‘ගුටිකෙලියකට ආවොත් මං බලාගන්නංකෝ’ කියන්න වගේ.

“සුගතපාලගෙ පවුලගෙ නම මොකද්ද?” මගෙ කට හඬ ටිකක් ගැඹුරු වෙලා.

“….සීලා…සීලවතී…මහත්තයා”

“සීලවතී දන්නවද මටත් හිටියා නලින් කියලා පුතෙක්?”

“…ඔව් මහත්තයා…”

කිසි කෙනෙකුට කතා කරන්න පනක් නෑ වගේ. එක්කෙනෙක් වත් හිටපු තැනින් හෙල්ලුනෙත් නෑ.

“සීලවතීලා ඉන්නේ කොහෙද?”

“අර වෙල පාවුල ගෙදර”

“ඒක අපෙ අම්මලාගෙ ගෙදර මහත්තයා. මේ දෙන්නටම ඒ අයගෙ ගෙදර ඉන්න බෑ - ඉඩ මදි. අපෙ අම්මා කිව්වා එහෙ ඉන්ට කියලා”. සුගතපාල තවම කතා කරන්නේ ‘ඕන ගෝරියකට මං ලෑස්තියි’ වගේ.

“මං හිතුවේ මේ තුන්දෙනාටම අර ගේ පිටිපස්සා කෑල්ලේ ඉන්න පුලුවන් කියලා. මට කරදරයක් වෙන්නෙ නැත්තම් එච්චරයි…මට තව තේ එකක් ගේනවද?”

සුගතපාල මගෙ තේ එක ගෙනාවේ වැලිතලප කැට දෙකකුත් එක්ක.

“මේවා කොහෙන්ද?”

“සීලා ගෙනාවා උදේ වත්තේ වැඩ කරලා කන්ට… අපි මෙහෙ ඉන්න එකෙන් කරදරයක් උනොත් ඕනෑ වෙලාවක යන්ට කියන්ට මහත්තයා…අපෙ පුතාගෙ නම ගැන අහිතක් තියෙනවානම් කියන්න දැන්මම”

“සුගතපාල. උඹ අපෙ ගෙදර බොහෝම කාලෙයක් හිටියා. අපෙ පුතා පොඩිකාලේ ඉඳන් එයත් එක්ක සෙල්ලං කරා … මගෙ නාකි වයසේ මම කැමතී ආයෙත් නලින් කෙනෙක් හැදෙනවා වැඩෙනවා බලන්න බං”

මට හාන්සි පුටුවේ ආයෙත් ඇල උනා. ඉස්සරවෙලා හිතෙන් හදපු ජීවිතේ වැදගත් සිදුවීම් ලයිස්තුව යටින් ඉරක් ගැහුවා. මගෙ දෙමව්පියෝ, හෙලන්, නලින්, ගීතා, තේජා, සුනාමිය, කොළඹ කන්තෝරුව වගේ දේ සියල්ල අතීතේ - හෙට පටන් අලුත් රස්සාවක්, අලුත් නලින් කෙනෙක්, අලුත් ජීවිතයක්.