කසළ
මහනුවර බෞද්ධ මන්දිරයේ අද පැවැත්වෙන දේශනයට මීට වඩා සෙනගක් ලලිතා බලාපොරොත්තුවුනා.
නගර සභා නිලධාරියෙක් හැටියට අද දේශනය වැදගත්. කසළ එකතු කිරීමට සම්බන්ධ මාතෘකාව ප්රසිද්ධවී තිබුනේ ‘කුණු කරත්තේ’ නමින්. පොත් කතෘ වරයෙක් මෙන්ම පත්ර කලාවේදියෙක් හැටියට ලලිතගෙ සැමියාවූ අනුරත් මාතෘකාව ගැන උනන්දුවක් දැක්වුවා. අනුර ඕනෑම වෙලාවක අළුත් අදහසක් හෝ අපූරු සිද්ධියක් අහන/දකින බලාපොරොත්තුවෙන් ජීවත්වෙන බව ලලිතා දන්නවා. අනුර තමා සමග අද දේශනයට ඒම ගැන ලලිතා සතුටුවුනා.
ලලිතා දෙවෙනි පේලියේ ආසන හතරක් අල්ලා ගත්තේ තම මිත්ර සුදත්ටත් මාලතීටත් එක්ක. පෞද්ගලික ආයතනයක ඉහල පෙලේ නිලධාරියෝ හැටියට ඒ ජෝඩුව දේශන වලට පරක්කුවීම ගැන ලලිතා පුදුමවුනේ නෑ.
වාඩිවූ වහාම අනුර වටපිට බැලුවේ හඳුනන්නෝ කී දෙනෙක් අද මෙතන ඇතිදැයි සිතමින්.
“හලෝ අනුර මහත්තයා!”
ඒ ඉස්සරහම පේලියේ හිටපු හාමුදුරු නමක්.
“ආ… අපෙ හාමුදුන්නේ කසළ සෝදන්න වැඩියා?”
හාමුදුරුවෝ හිනාවුනා.
“අද කතා කරන එක්කෙනා කසළ එකතු කිරීමට නෙවෙයි කසළ ඇවිස්සීමටයි දක්ෂ කියලයි ආරංචිය”
“මං දන්නෙම නෑ මිනිහා කවුද කියලා… අනුරාධ ඕගනයිස් කරන නිසා හොඳ ඇති”
“හා.…දැන් ඔය එන්නේ!
පසුපස දොරෙන් අමුත්තෙකුත් සමග අනුරාධ ඇතුල්වූ වහාම බෞද්ධ මන්දිරය ඇතුලේ තිබුන කසුකුසුව කෙමෙන් අඩුවී ගියා. අමුත්තා සභාවට සිනා මුහුණක් පෙන්වා අනුරාධ සමග ඉදිරිපස මේසය වෙත ගමන් කරනවිට සභාවේ කසුකුසුව නැවතත් නැගීගොස් ඝෝෂාවක් බවට පත්වුනා. අනුරාධ අත් දෙකම ඔසවා සභාවට නිහඬ වෙන ලෙස ඇරයුම්කළේ වචනෙන් නොවෙයි. එසවූ අත් සභාව නිහඬ වනතුරු ඒ ලෙසම තිබුනා.
“ආයුබෝවන්! මේ කරදර දවස්වල මෙතරම් සෙනගක් දැකීම මට සතුටක්. ස්තුතියි!”
අනුරාධ අමුත්තා දිහා බැලුවේ සිනා මුහුණින්.
“මම ඊටත් වඩා සතුටු වෙනවා අද කථිකයා හඳුන්වා දෙන්න… මම ඊමේල් පනිවිඩයේ ‘කුණු කරත්තේ’ යන නම පාවිච්චි කළේ අපෙ අමුත්තගෙ ඕනකමට. දැන් ඔබට පෙනෙනවා මෙතන ඉන්නේ කුණු කරත්තයක් නෙවෙයි - වයසක නෝනෙක් කියලා. ‘වයසක’ කියන වචනෙට එතුමී අකමැති නැති බව කිව්වා. ඒ නිසා මම කරේ වැරැද්දක් නෙවෙයි. ඒ වගේම එතුමී දන්නවා එතුමී ගැන මට වඩා. ඒ නිසා, හැඳින්වීම එතුමිටම භාර දෙනවා”
අනුරාධ වාඩි වූ වහාම අමුත්තා පුටුවෙන් නැගිට්ටා. පොඩි අත්පොලසන් නාදයක් පටන්ගත් වහාම ඈ අත් දෙක උස්සා නිහඬතාවය ඉල්ලා සිටියා.
“මම කියනදේ අහලා ඉවරවෙලා, කැමතිනම් අප්පුඩි ගැහුවට කමක් නෑ. ඒ මම කියනදේ වලට ඔබලා විරුද්ධ වෙනවානම් දැන් ගහන අප්පුඩි ආපහු ගන්න බැරි නිසා”
“මම අප්පුඩි ගැන දුන්නේ අවවාදයක් පමණයි. නමුත් දැන් මම සභාවට එක නීතියක් පනවනවා - අද මම ඔබලාගේ ප්රශ්න වලට උත්තර දෙන්නෙ නෑ. මා කියනදේ ගැන සතියක් දෙකක් හිතලා බලලා, ඊට අනතුරුව ප්රශ්න තියෙනවානම් මම නැවත ඇවිත් ඒවට පිළිතුරු සපයන්න පොරොන්දු වෙනවා”
සභාව වටපිට බැලුවට වැඩිය සද්ද්කළේ නෑ. දේශකයා කයින් හෝ ඇඳුමින් විශේෂත්වයක් නොපෙන්නුවත් ඇගේ ශක්තිමත් කටහඬින් දැක්වූයේ බලවත් ආත්ම විශ්වාසයක්. කෙට්ටු, කුඩා ශරීරය මෙන්ම ඇඳ සිටි චාම් සුදු සාරියත් ඒ බලය උත්සන්න කළා මිස දුර්වලකළේ නෑ.
“මගේ නම මෙතෙන්ට වැදගත් නෑ…. මොකද… මම නම කියපු වහාම ඔබට හිතාගන්න පුළුවන් මගෙ මවු බස, ජාතිය, , සමහරවිට ආගම, කුලය, රටේ කොයි පලාතෙන් පැවතෙන කෙනෙක්ද වගේ අදට වැදගත් නැති විස්තර... හිතාගන්න පුළුවන් විතරක් නෙවෙයි හිතා ගන්නවා! ඒ නිසා අදට මගෙ නම ‘ඇබී’ කියලා හිතා ගන්න - ඒක ඉංග්රීසි ඒ බී වලට කිට්ටුයි”
“මගෙ වයස ඔබලට හිතාගන්න පුළුවන්… හැටට අඩු නෑ… තවම මැරිලා නෑ යන මායිම් දෙක අතරේ. මගෙ රස්සා… ගුරු වරියක් කියලා හිතා ගත්තොත් ඇති”
නෝනා ශාලාව වටා බැලුවා. සභාවේ අයට වෙන වෙනම දැනුනේ ඇබී නෝනා තමා දෙසම කෙලින්ම බලා ඉන්න බවයි. ඇගේ ඇස් ඒ තරම් තියුණුයි.
“පළමුව… අද මාතෘකාව පිළිබඳ වචනයක්… ‘කසළ එකතු කිරීම’ … ‘කසළ’ කියන්නේ ගෙදර දොරේ කුණු කසළ විතරක් නෙවෙයි. ඕනෑම පරිසරයටත් අපේ ජීවිත වලටත් හානියක් සිදු කරන දේ කසළ කියලා මම කියන්නේ”
“අපේ සමාජයට අයහපතක් කරන සෑම දෙයක්ම ‘කසළ’ හැටියට මම සලකන්නේ. ඒ වචනේ ව්යවාහාරය පළල් කෙරුවා වගේම ‘කුණු කරත්තෙත්’ පළල් තේරුමක් තියෙනවා… අපි සාමාන්යෙන් නගරයක කසළ එකතු කරලා, කුණු කරත්තේ දාගෙන කොහාටදෝ අරගෙන යනවා… කී දෙනෙක් දන්නවද ඒවා යන්නේ කොහාටද කියලා? … හ්ම්…? බයවෙන්න එපා - ඒක දැනගත්තෙ නැතුවට කමක් නෑ - ඒක මගෙ ප්රධාන තේමාව නෙවෙයි”
“මිනිස්සු කුණු කරත්ත පාවිච්චි කරලා ජීවත්වෙන පරිසරයෙන් කසළ ඉවත් කරනවා … ඒවාගෙ ලොකුම කර්තව්ය අපේ කුණු කසළ ඇහැට නොපෙනෙන තරම් ඈතට ගිහින් දැමීම. අපිට පෙනෙන තෙක් මානේ කුණු කසළ නෑ කියලා අපි සතුටු වෙනවා… ‘වැඩේ ඉවරයි…. ගුඩ් නයිට් වේවා… සභාතොමෝ සතුටින් විසිර ගියාය!”
නෝනා හිනාවුනා.
“නමුත් කතාව එතනින් ඉවර නෑ නේද? කුණු කරත්තේ ගියා කියලා කසළ අතුරුදහන් වෙන්නෙ නෑ. කසළ නිහරණයට අපි ලොකු වියදමක් දරනවා. අපෙ නගර සභාවෙන් දැනගන්න පුළුවන් යන සම්පූර්ණ වියදම … නමුත් මම අද කියන්නෙ නෑ ඒ වියදම කොච්චරද කියලා - ඒක ඔබතුමාලට ගෙදර වැඩ! හෝම් වර්ක්…”
නෝනා නැවතත් හිනාවුනා - නමුත් මේ සැරේ මුහුණේ විහිළුවක් කළ බවක් පෙනෙන්න නෑ.
“ඒ වගේ ගෙදර වැඩ කරලා මේවා ගැන සොයා බලන්න අකමැතිනම්… මම මෙතන කොයි තරම් කෑ ගැහුවත් වැඩක් නෑ! අද මේ දේශනේ අහලා, හොඳ දෙයක් කළා කියලා සතුටෙන් ගෙදර ගිහින් වෙනදා වගේම ජීවත්වෙන්න හිතාගෙන ඉන්නවා නම්… එහෙම කෙනෙක් දැන් මෙතන ඉන්නවා නම්… අපරාදේ කාලේ නාස්ති කරන්නේ. ඒ අය දැම්මම ගෙදර ගියොත් අපි සේරටම හොඳයි”
ශාලාවේ පොඩි කසුකුසුවක් ඇතිවුනා. සමහරු හිතුවේ ‘වැදගත්, උගත් අපිට සැර දාන මේ ගෑනී කවුද?’ කියලා. නමුත් ලලිතා හිතුවේ ‘මමත් මෙහෙමයි කන්තෝරුවේ අනික් අයටත් කියන්න තිබුනේ’ කියලා. සුදත්ලා ඒතරම් උනන්දුවක් පෙන්නුවේ නැතුවට අනුර ඇස් දල්වාගෙන හිටියේ කාලෙකට පස්සේ එලවන්න වටින දහසකට ඉව වැටුනා වගේ.
“තනියම නැගිටලා එලියට යන්න ලැජ්ජයි වගේ!”
ඒ සැරේ ඇබී නෝනා ඇත්තටම හිනාවුනා.
“මම ඒ පොඩි තර්ජනය ඉදිරිපත්කළේ මගේ කතාවේ මූළික තේමාවට එන්න ලෑස්තියෙන්. අපි අතර තියෙන කසළ හඳුනා ගැනීමත් ඒවා පරිසරෙන් තුරන් කිරීමත් අපිට තියෙන ලොකුම වගකීම. ඒකයි මගෙ කතාවේ තේමාව”
නෝනා පළමු වරට මේසේ උඩ තිබුන වීදුරුවෙන් වතුර උගුරක් බිව්වා.
“ඒ වාක්ය කෑලි වලට කැඩුවොත් මෙහෙම හිතා ගන්න පුළුවන්: එක - කසළ හඳුනා ගැනීම; දෙක - තුරන් කිරීම; තුන - අපේ ලොකුම වගකීම. කාගෙද වගකීම? අපේ! ඒ වගකීම ආන්ඩුවටවත්, කොම්පැනි වලටවත්, එක්සත් ජාතීන්ගේ සංගමයටවත් භාර දීලා අයින් වෙන්න අපිට බෑ. වගකීම අපේ; මේ ශාලාවේ ඉන්න අය වගකියන්න ඕනෑ ගෙදර/වැඩපොලේ/පාරේ/නගරේ/රටේ/ලෝකේ තියෙන කසළ ප්රශ්නෙට”
“නමුත් අපි ඉස්සරවෙලාම කසළ හඳුනා ගන්න ඕනෑ… අපේ සාමාන්ය හැඟීම අනුව අපිට පාවිච්චියට ගන්න බැරි නිසා විසිකරන දේ තමා කසළ. පරණ ටින්, බෝතල් මූඩි, පත්තර කෑලි, නරක්වුන් කෑම… කසළ වර්ග සීයයි! අපි මේ වගේ කසළ හඳුනනවා. ඒවා බැහැර කිරීම් ලේසියි - අපි හිතන්නේ අපි ගැන විතරක් නම් - ඇදලා වැටෙන් එහා පැත්තට, නැත්නම් පාරට දාන එක විතරයි!”
පලමුවරට සභාවේ හිනාවක් නැගී ආවා. නමුත් ඇබී නෝනා ඒකට එකතුවුනේ නෑ.
“… දැන් හිනා වුනාට මේක අපි නිතරම කරන දෙයක්… මතකද අපෙ රටේ ප්රසිද්ධියේ දුම් බීමෙ නීති වෙනස් කරන්න ඉස්සර? පාරේ ඕන තරම් සිගරට් කොට හැබැයි ගෙවල් ඇතුලේ සිගරට් කොට නෑ! ඒ වගේම කුරුම්බා කෝම්බ, බෝතල් මූඩි, කෑම ඔතපු කොල සහ මලු… මේ වගේ දේ පාරේ තියෙන්නේ ඇයි? ඒ වගේ දේ ගේ ඇතුලෙත් බිම තියෙනවද?”
“අපි… ඒ කියන්නේ අපි සේරම… කැත විදිගට ආත්මාර්තකාමී… අපේ කසළ බැහැර කරන්නේ රටේ අනික් අයට බම්බු ගහගන්න කියලා!”
ඒ සැරේ ඇබී නෝනා නිහඬ සභාව දිහා කිසිත් නොකියා බලාගෙන හිටියා විනාඩියක්.
“අපේ ආත්මාර්තකාමී බව පැහැදිලි කරලා දීලා සභාවේ හුඟක් අය තරහ කරගත්ත නිසා දැන් හොඳ වෙලාව භෞතික නොවන කසළ ගැන කතා කරන්න…. ඒවා ප්ලාස්ටික් මලු වලටත් වඩා අන්තිමයි!”
“හිතාගන්න බීපු මිනිහෙක් බස් එකේ කාට හරි කුණුහරුපෙන් බැන බැන යනවා… හරිම කැතයි - බස් එකේ පොඩි ළමයි එහෙමත් ඉන්නවා. තමාගේ පෞද්ගලික තෘප්තියට, අවට පරිසරය අපවිත්ර කරන, ඒ නිෂ්ප්රයෝජන වචන මාලාව අපේ අර්ථ දැක්වීම අනුව ‘කසළ’. ඒක පිළිගන්න අපිට අමාරු නෑ. හොඳ වෙලාවට කොන්දොස්තර මිනිහට වැඩිවෙලා කෑ ගහන්න දුන්නෙ නෑ… මිනිහා පැතිරූ වාග් කසළ කොන්දොස්තරට බැහැරකරන්න පුළුවන් වුනා…”
“නමුත් හුඟක් වෙලාවට අපිට අනික් අය විසිරවන කසළ බැහැර කරන්න බෑ. දේශපාලකයෝ දෙන බොරු පොරොන්දු… අපි නොමග යවන කොම්පැනි වෙළඳ දැන්වීම්… අපි ගෙදර අයට කියන බොරු… මේවත් කසළ නේද? අපේ පෞද්ගලික අවශ්යතාවයන් සපුරාගන්න පගා දීම/ගැනීම එහෙමත් සමාජය අපවිත්ර කරන කසළ නේද? හිතලා බලන්න වටිනවා…”
“එක වෙනසක්… බස් එකේ වගෙ මෙතන කොන්දොස්තර කෙනෙක් නෑ කසළ ඉවත් කරන්න… මට වේදිකවක් නෑ මංත්රී තුමෙකුගෙ බොරු පොරොන්දුවක වංක භාවය පෙන්වා දෙන්න, ඡන්දේ නොදීම හැර. වෙලඳ දැන්වීමවල වැරදි අපි කාටද කියන්නේ? පගා දෙන කෙනෙක් නැත්නම් පගා ගන්න කෙනෙක් ගැන අපිට මොනවද කරන්න පුළුවන්?... මේවා කරන අය බලවත්… හුඟක් බලවත්… සමාජයේ පැවැත්මට හානි කිරීමට වගේම බොහෝ විට රටේ නීතිරීති වලට පටහැනිව ක්රියා කරන්න නොපැකිලෙන මේ අයට අපි වගේ සොච්චෝ පොඩි හිසරදයක් පමණයි…. අමතක කරන්න එපා ලක්ෂ කෝටි ගණන් වලින් කතා කරණ අයගෙ හිසරදේට ගන්න පැනඩෝල් හුඟක් සැර වෙන්න පුළුවන් - අපෙ ජීවිතේ වුනත් ඒ තරම් වටිනවා කියලා එ අය හිතන්නෙ නැතිවෙයි”
“ගුටි නොකා - අනතුරක් නැතුව මේ ගැන යමක් කරන්න අපිට ඉතිරිවෙලා තියෙන්නේ එකම ක්රමයයි”
තවත් වතුර උගුරක්.
“අපිට අනික් අය හදන්න බෑ පළමුවෙන් අපි නොහැදී…. ඒ නිසා… මම, කුණු කරත්තය හැටියට ඔබෙන් ඉල්ලා සිටින්නේ … පගා දෙන්න එපා, පගා ගන්න එපා, බොරු පොරොන්දු දෙන්න එපා, ඒවට රැවටෙන්න එපා, වෙලඳ දැන්වීම් වලට රැවටෙන්න එපා… ෆේස්බුක්, ට්විටර්, රේඩියෝ, ටෙලිවිශන්, පත්තරවල එක එකා කියන පලියට ඔවුන්ගෙ කසළ බාර ගන්න එපා… කසළ බෙදන්න එපා…”
“යමක් කියන්න කරන්න ඉස්සර ඔළුවේ තියෙන මොලේ පාවිච්චි කරලා බලන්න… කියන/කරන දෙයින් අපිට වගේම අනික් අයටත් ලැබෙන විපාක… මේ ලෝකේ ඉන්නේ තමා විතරක් නෙවෙයි කියලා තරයේ හිතාගන්න”
“අවසාන වශයෙන්… අද මෙතන කියවුනු දේ ගැන හොඳින් හිතලා බලන්න… ඒ ගැන තමාගෙ දරු මුනුපුරන්ටත් උගන්වන්න… කරුණාකරලා. අපිත් ඊ ලඟ පරපුරත් හරි හැටියට ජීවත්වුනොත් මේ කසළ නැත්තටම නැති කරන්න වැඩි කල් යන්නෙ නෑ - ඔබගේ සහයෝගය ලැබුනොත්”
“ගුඩ් නයිට් වේවා - සභාතොමෝ සතුටින් විසිර ගියාය !”
……………………..
ලලිතා ඇබී නෝනගෙ කතාව ගැන අනුරත් එක්ක කාරෙකේ ගෙදර එනතුරු දිගටම සාකච්ඡා කළා. සාකච්ඡාව නැවතුනේ අනුරට අනුරාධගෙන් ආ ටෙලිෆෝන් පනිවිඩයකින් - ඇබී නෝනා ගෙදර යන අතරමගදී වෙඩි කා මියගිය බව කියා.