ගමනක්
“අප්පච්චිට ටවුමෙන් මොකවත් ඕනද?”
ප්‍රියා මෙහෙම ඇහුවේ උදේ කෑම ඉවරවෙලා පුටුවෙන් නැගිටින ගමන්. මම මගෙ තේ කෝප්පේ උඩින් දුව දිහා බැලුවේ හිනා මුහුණින්.
“…අ… අර MG TC එකක් - බ්‍රිටිශ් රේසිං ග්‍රීන්?”
මීට අවුරුදු විසි පහකට ඉස්සර සැරයකුත් මම මේක දුවගෙන් විහිළුවට ඉල්ලුවා. ඒ අපි සේරම එකට ඔස්ට්‍රේලියාවේ හිටපු කාලේ. මට මතකයි එදා මගෙ පනස්වෙනි උපන්දිනේ. පහලොස් හැවිරිදි ප්‍රියා එදා මට අඟල් හයක් විතර දිග මොඩල් MG TC ස්පෝට්ස් කාර් එකක් ගෙනත් දුන්නා - බ්‍රිටිශ් රේසිං ග්‍රීන්!
“ඇයි ගෙනත් දීපු එක කැඩිලද?”
අපි දෙන්නටම මතකයි ඒ කාරෙක. අතීතේ සොඳුරු මතක කියන්නේ මේවා තමා.
“බෑනට අරක්කු ගන්නද යන්නේ?”
ලාංකික නොවුනත් මගෙ බෑනා, ජෝ ලංකා කෑමට බීමට කැමතියි. මිනිහා එක වේලට ආප්ප දහයක් විතර කනවා කිසිම කරදරයක් නැතුව. කෑම අතින් මිනිබිරියෝ දෙන්නත් මුනුබුරත් යන්නේ ඒ ආරෙට වගේ. ලබන අවුරුද්දේ මගෙ ලොකු මිනිබිරී සරසවි ඇතුල් වෙන්න ඉස්සර ‘ලොකුඅත්තා’ එක්ක එන්නයි දුව මේ සැරේ නුවර ආවේ.
මේ දවස්වල මම පුළුවන් තරම් අපෙ නුවර ගෙදර ඉන්න උත්සාහ කරනවා. මේ සැරේ මාස දෙකකට කියලා ආවට දැන් ඇවිත් මාස පහකටත් කිට්ටුයි. බ්‍රිස්බන් නගරේ ඉන්න පවුලටයි දරු මුනුබුරන්ටයි සතියකට වරක්වත් විඩියෝ තාක්ෂණයෙන් කතා කරාට මගෙ හිත නැංගුරම් දාලා තියෙන්නෙ නුවර කියලා මට හිතෙන්නේ. ද්විත්ව පුරවැසි වීමේ එක වටිනාකමක්.
“ඇයි ගෙදරට වෙලා ඉන්නෙ නැතුව අප්පච්චිත් සනත් එක්ක ගමේ ගිහින් එන්නෙ නැත්තේ?”
“හ්ම්… දැන් මාස දෙකකට ඉස්සරත් සනත් එක්ක ගිහින් ආවා නම් තමා … හැබැයි ආයෙත් කාලෙක් යයි නේද ගමේ යන චාන්ස් එකක් ලැබෙන්න… රයිට් එහෙනං - හැබැයි තුන හතර වෙයි අපි ආපහු එනකොට”
“ගුඩ්!… මමත් මයිත්‍රි අක්කත් එක්ක ටවුමෙන් දවල්ට කාල තමා එන්නේ”
…………………………….
සනත් වාහනේ එලවන්නේ බොහෝම පරෙස්සමෙන් පාර දිහා බලාගෙන. මගෙ කකුල ටිකක් රිදෙන බවක් කිව්ව නිසා වෙන්න ඇති නොගැස්සෙන විදිහට එලවන්න උත්සාහ කරන්නේ. මට කතා කරන්න වුනත් පාරෙන් ඇස් ඉවත්කරගෙන මා දිහා බැලුවේ තත්පර කීපෙකට විතරයි.
“අන්කල් මම ගියසැරේ වගේ ප්‍රියන්තට කිව්වා රා තිබුනොත් ටිකක් එගොඩ හේනේ ගල් තලාව ලඟට ගේන්ට කියලා… ආයෙ තව මොකවත් ඕන නම් මිනිහට කෝල් එකක් දෙන්ට පුළුවන්”
මට හිනා ගියා.
“නෑ… අපි දවල්ට කන්න මොකවත් අරගෙන යං - ප්‍රියන්තටත් එක්ක… තව වතුර බෝතලයක්…. මගදී තේ එකකුත් බීලා යමුද එදා තැනින්ම?”
අපි සද්ද නැතුව තවකිලෝ මීටර් කීපයක් ගියා. මම වටපිට බල බල ගියාට සනත් නම් බර කල්පනාවක.
“මොකද සනත්?”
“නෑ අන්කල්… මං හිතුවේ, අන්කල්ට එහෙයි මෙහෙයි කියලා වැඩි වෙනසක් නෑ නේද… ඒ කියන්නේ නිතරම යන එන නිසා?”
උත්තරයක් දෙන්න ඉස්සර ඒ ගැන ටිකක් හිතන්න ඕනවුනා.
“ඇත්තම කිව්වොත් ලංකාවයි ඔස්ට්‍රේලියාවයි හුඟාක් වෙනස්. මිනිස්සු විතරක් නෙවෙයි - රට තොට, සිරිත් විරිත්… හුඟාක් දේ… හැබැයි ඒක තේරුම් ගත්තැන් පස්සේ හැඩගැහෙන්න අමාරු නෑ... ඇයි සනත් අදම මේක ඇහුවේ - ඔය කතාව මං ඉස්සරත් කියලා තියෙනවා!”
“නෑ අන්කල් ඉතින් හෙට රෑ යනවනෙ… ආයෙ කවදා එනවදවත් නොකියා…”
“එහෙම තමා සනත් රටවල් දෙකක පය ගහගෙන ඉන්නකොට කෙලිය. මෙහෙ ඉන්නකොට එහෙ මතක් වෙනවා, එහෙ ඉන්නකොට මෙහෙ මතක් වෙනවා! ඒ දෙකම මට ඕනෑ…”
“ඔවු ඉතින් දැන් ආන්ටිත් දිගටම එහෙ ඉන්න එකේ”
“හ්ම්… හැබැයි සමහරුන්ට වගේ රටක් සම්පූර්ණෙන්ම අමතක කරන්න මට බෑ”
ආයෙ තේ කඩේ ලඟට එනකම් කතාවක් නෑ නමුත් මට තේරෙනවා ඔළු දෙකේ සිතිවිලි නම් ජයට කරනම් ගහනවා කියලා. කඩෙන් තේ බීලා, වඩේ, රෝස් පාන්, කෙසෙල් ගෙඩි එහෙමත් අරගෙන වාහනේට නැග්ග වහාම සනත් ආයෙත් ප්‍රශ්න පටන්ගත්තා.
“අන්කල් මෙහෙ කනබොන සමහර දේ එහෙ නැතුව ඇති නේද? මං කියන්නේ රෝස් පාන්, රා වගේ දේ”
“රෝස් පාන්ම නැතිවුනාට ඊට කිට්ටු දේ තියෙනවා. රා නැතිවුනාට බීර වර්ග එහෙම ගොඩක් තියෙනවා… මේකයි වැඩේ සනත්… රෝස් පාන් වලවත් රා වලවත් වටිනාකම තියෙන්නේ ඒවා කනබොන තැන… පරිසරය… වටපිටාව… කවුරු එක්කද කන්නේ බොන්නේ… මොනව ගැනද කතා කරන්නේ… මේ සේරම එකතුවෙලා තමයි ‘රස’ දැනෙන්නේ…”
විනාඩියක් සද්ද නැතුව ඉඳලා මම ආයෙත් කතාව පටන්ගත්තා.
“බ්‍රිස්බන් පබ් එකක හොඳ යාළුවෙක් එක්ක බීර වීදුරුවක් බොන එක නියමයි. සීතල කාලේ කොහෙහරි ගිහින් වෙවුල වෙවුලා ඉර බහිනවා බලාගෙන ඉන්න එකත් මාරයි. නුවර ගෙදරදී හවස්වෙලා ගඟ දිහා බලාගෙන ‘ආශා දෑසින්’ සිංදුව අහන එකත් එහෙමයි. ගමේ ඇවිත් ගලක් උඩ ඉඳගෙන කොච්චි සම්බල් එක්ක තම්බපු මඤ්ඤොක්කා කෑමත් ඒ වගේම උඩින් තියෙන්නේ… හැබැයි මේවා සම්පූර්ණෙන්ම වෙනස් වුනා කියලා සන්තෝසේ අඩුවක් නෑ… තේරෙනවා නේද?”
සනත් ආයෙත් හිනාවුනා.
“එහෙනං හොඳ වෙලාවට මම ප්‍රියන්තට මඤ්ඤොක්කා ගැනත් කිව්වේ!”
“ආ… වෙල් ඩන් සනත්! ආයෙ කවදා හම්බවෙයිද දන්නෙත් නෑ නේ?”
…………………………..
වාහනේ නවත්තපු තැන ඉඳන් එගොඩ හේනේ ගල ලඟට සෑහෙන බැස්මක්, පොඩි පඳුරු අතරෙන්. මගෙ කකුලේ අමාරුව නිසා සනත්ගේ ඇඟට බරවෙලා මම පහලට බැස්සේ. අමාරු ගැන කතා කරන්න මම වැඩිය කැමති නැති බව දන්න සනත් ප්‍රශ්න් ඇහුවෙ නෑ. හැබැයි සනත් ඒ ගැන ප්‍රියන්තට කියලා - ගල් තලාව උඩ අකුළන පුටුවකුත් තිබුනා.
ප්‍රියන්ත වැඩිය කතාවට ලැදි කෙනෙක් නෙවෙයි. මාත් එක්ක වචනයක් දෙකක් විතරයි කතා කරේ. නමුත් සනත් එක්ක විස්තර කිව්වා ඉඩමේ වෙන වැඩ කටයුතු ගැන. ඒ සේරම සනත්ට බාර දීලා ඉන්න නිසා මම වැඩිය ගාණකට ගත්තෙ නෑ. සනත් දීපු රා වීදුරුවක් තොලගාමින් මම ගස් අතරින් වැටන ඉර එලියෙන් ගල් තලාවේ හැදෙන මෝස්තර බලාගෙන හිටියා.
ප්‍රියන්ත ‘මම ගිහින් එන්නං මහත්තයා’ කියාගෙන පිටත් වුන වෙලාවෙත් මම වීදුරුව උස්සලා හිනාවුනා විතරයි - වචනයක් ඕනවුනේ නෑ.
“සනත් රා උගුරක් බොනවද?”
“අපෝ බෑ අන්කල් - එලවන්ට තියෙනවා. කොහොමද සම්බලේ?”
“නියමයි! මේකයි සනත් ජීවිතේ කියන්නේ… හිතට කිසීම බරක් නෑ… මේ දැන් ඉන්න විදිහට අදයි මීට අවුරුදු හැටකට ඉස්සරයි අතරේ කිසි වෙනසක් මට දැනෙන්නෙ නෑ… මගෙ කකුල ඇරුනුකොට!”
අපි දෙන්නටම හිනා ගියා.
“අන්කල් ඒ දවස් වලත් මෙතනමද සෙල්ලමට ආවේ”
මගෙ හිත අවුරුදු හැටක් අතීතෙට ගියා.
“අයියයි මමයි තමා වැඩියම මෙතෙන්ට ආවේ… අපි ඒ දවස්වල් පොඩි දුනු දෙකක් හදාගෙන දඩයමේ යනවා කියලා මේකේ හැම තැනම ඇවිද්දා… ඒ පුවක් ලීයක් නවලා කොහු ලණුවකින් බැඳලා හදපු දුන්නයි උණ පතුරු ඊතලයි ඇත්තටම භයානක ආයුධ, අපි වගේ පොඩිවුන් අතේ. එතකොට මට වයස නවයක් විතර ඇති ; අයියා අවුරුදු තුනක් වැඩිමල්…”
සනත් සද්ද නෑ, මට මගෙ ගමන යන්න දීලා.
“අපිට මඤ්ඤොක්කා තම්බලා දෙන්න කෙනෙක් හිටියෙ නෑ… කොකෝ ගෙඩියක්, එහෙම නැත්තම් පොඩි කිතූල් බොඩයක් වගේ එකක් තමා තලාගෙන කෑවේ”
මගෙ සහෝදර සහෝදරියෝ කවුරුත් දැන් ජීවතුන් අතර නෑ. ඒ වගේම ‘ගමට’ කියලා ආවට මෙහෙ අපෙ ‘මහ ගෙදරක්’ වත් පවුලේ කියන්න කෙනෙක් වත් නෑ. මේවා සනත් හොඳින් දන්නවා. මම අතීතේ සිහිකරන වෙලාවට කතා කරන්න හෝ කතා නොකර ඉන්න සනත් තීරණය කරන්නේ මේ දැනුම නිසා බව මට හොඳටම විශ්වාසයි.
අපි දෙන්නම සද්ද නැතුව කොච්චි සම්බල් එක්ක මඤ්ඤොක්කා කෑවා. මම තුන්වෙනි රා වීදුරුවත් අතට ගත්තා.
“මේ රා කෙලින්ම මගෙ කකුලට යනවා වගේ සනත් - ටිකක් කකියනවා!”
“අන්කල් උදේ බේත් බිව්වනේ? තව මේකෙන් කෑල්ලක් කාලා වතුර ටිකක් බොන්ට… ඔය පුටුව ටිකක් ඇල කරලා කකුල මේ කොටේ උඩ තියාගත්තොත් ලේසිවෙයි”
ඇත්තම සනත් කියපු දේ හරි. අවු රස්නෙයි, බීමයි නිසා ඇඟට සනීපයක් දැනුනා. මම ඇස් වහගත්තේ පරණ භාවනා පංතියකදී ඇසූ දෙයක් මතක්වෙලා කකුල අමතක කරලා සිත එකලස් කරගන්නයි.
……………………………….
මම සරම ගැට ගහගෙන නැගිට්ටේ අයියා දුන්නත් අරගෙන ගල් තලාවෙන් පහලට පනිනවා දැකලා.
“දැන් යනවද? තව කොකෝ කෑල්ලක් තියෙනවා”
“අම්මලා බලාගෙන ඇති… රෑවෙන්ට ඉස්සර යං”
මමත් ගලෙන් පහලට පැන්නේ අයියා අනුගමනය කරලා. අයියා වගේම කොකෝ ගහ අල්ලගෙන පැන්නේ දුවන්න ලෑස්තියෙන්
ඇලෙන් එහා පැත්තේ අඹ ගහ ලඟ අම්මයි අප්පච්චියි අපි දිහා බලාගෙන ඉන්නවා. අම්මා හිනාවෙලා අපිට අතින් අඬ ගහනවා.
සපත්තු සෙරෙප්පු නැති කකුල් වලට අඩි පාරේ ගල්කැට වලින් අමාරුවක් නෑ. හැමදාම මේකේ දුවන අපිට මොන සපත්තුද? පොඩී අදහසක් යාන්තම් යටි හිතෙන් නැගීගෙන එනවා… මගෙ කකුල කකියනවා කියලා. පිස්සු!
මම කෝකටත් හැරිලා බැලුවා ගල් තලාව දිහා. කිසිම සද්දයක් ඇහුනෙ නැතුවට කවුද කෙනෙක් ගල උඩ ඉඳන් බෙරිහන් දෙන බව පේනවා. එතනම කවුදෝ පුටුවක දිගාවෙලා උඩ බලාගෙන ඉන්නවා. බෙරිහන් දෙන මිනිහා අනික් මිනිහගෙ අතින් අල්ලලා හොල්ල හොලා එයා ඇහැරවන්න හදනවා.
හිටගෙන හිටපු මිනිහා අපේ පැත්ත බලනවා දැකලා මට අමුතු දෙයක් ඉබේම කියවුනා.
“මම එන්නෙ නෑ සනත්!”
මම අයියගෙ අතකුත් අල්ලාගෙන හිනා මුහුණෙන් අපි දිහා බලාගෙන ඉන්න අම්මයි අප්පච්චියි දිහාට දිව්වා. අපෙ කකුල් බිම ගෑවුන බවක් මට මතක නෑ. කිසිම බරක් නෑ.
“මේකයි ජීවිතේ කියන්නේ” කියලා මට හිතුනා.