ගැළවීම

ගැළවීම

කුමාර කුස්සියේ මේසේ උඩ කෑම වහලා තිබුන වට්ටිය උස්සලා බැලුවා.

“අප්පච්චී තවම කෑවෙ නැද්ද?”

“ඉස්කෝලේ රවුම දාලා එනකොට බටගොඩ නෝනා කිව්වලු ටවුමට යන්ට ඕනෑ කියලා… එනකොට වෙලා යයි කිව්වා”

කුමාර කිරිබත් කැටයක් අරගෙන කුස්සියේ දොරෙන් එලියට ගියා අම්මා පස්සෙන්.

“අම්මා අතේ රුපියල් දාහක් විතර ගන්ට තියෙයිද?”

“රුපියල් දාහක්! ඕනනම් සීයක් දෙසීයක් ඇති … උඹට මොකටද එච්චර සල්ලි?”

කුමාර කෙලින්ම උත්තර දුන්නෙ නෑ. පිළිගත හැකි උත්තරයක් දෙන්නේ කොහොමද? අම්මලාට තේරෙන්නෙ නෑ මොකද සෙල් ෆෝන් එකට එච්චර සල්ලි රීලෝඩ් කරන්නේ කියලා. ඒ අය සෙල් පාවිච්චි කරන්නේ හදිස්සියකට කතා කරන්න විතරයි - ෆේස්බුක් වගේ දේ ගැන දන්නෙම නෑ.

අම්මා ආයෙත් කතා කළේ කල්පනාවෙන්.

“ඈ පුතා… නරකද අර අප්පච්චී ඊයෙ රෑ කියාපු විදිහට වීල් එක දෙන්නා බෙදාගෙන එලවන්ට? … අප්පච්චිට දැන් ඉස්සර වගේ නෙවෙයි. දවල් වෙනකොට මහන්සියි. ආයෙ උඹට වෙන වැඩක් තියෙන එකක් යෑ?”

“මට බෑ හන්දියේ රස්තියාදු වෙන්ටයි එක එකාගෙන් බැනුම් අහන්ටයි!”

රන්මැනිකට හිතට අමාරුයි අප්පච්චිගෙ රස්සාව ගැන පුතා හිතන විදිහට. ඇගේ වචන කටින් පිටවුනේ කිසිම විවාදයකට ඉඩක් නැති සහතික ඇත්තක් ප්රකාශ කරන අයුරෙන්.

“උඹෙ හිතේ අප්පච්චී ආසාවට වීල් එක එලවනවා කියලද? අපි කන්නෙ බොන්නෙ මොකෙන්ද කියලා උඹ හිතන්නෙම නෑ නේද?”

නිතරම එළි දැක්වෙන මේ තේමාව මතක් කරත් කුමාරට තරහ යනවා. පහුගිය අවුරුදු දෙකේ සතියකට සැරයක්වත් මේ දේසනාව ඇහෙනවා - උදේ වරුවේ අම්මගෙන්; හවසට අප්පච්චිගෙන්.

සතියේ දවස් වල උදේ හයට විතර ත්රී වීල් එක එළියට ගන්න අප්පච්චී වැඩ නවත්වන්නේ ඉස්කෝල ඉවරවෙලා ළමයි ගෙවල් වලට ගිහින් දැම්මට පස්සේ. ඊට අමතරව සතියකට රෑ තුනක් මුර වැඩත් කරනවා ආන්ඩුවේ වැඩපොලක. අම්මත් සතියකට දවස් තුන හතරක් බටගොඩ පවුලේ කෑම ලෑස්තියට උදව් කරනවා. මේවා කුමාර කරන වැඩ වගේ නෙවෙයි.

“මං එදත් කිව්වේ - අදත් කියන්නේ - අර දොස්තරගෙ කාරෙක දිගටම එලෙව්ව නම් පඩියත් හොඳයි, මහන්සියත් අඩුයි. කොහෙද ඉතින්! අප්පච්චිට ඕනෑ වුනා නේ එයාගෙම වාහනයක් එලවන්ට! ඒකට මට බැනලා වැඩක් නෑ!”

“උඹට මොක කිව්වත් වැඩක් නැති බව මං දන්නවා… හැබැයි වයසට යන අප්පච්චිටත් ඔය කරදර වලින් ගැළවීමක් ඕනෑ කියලා හිතා ගනින්… ”

රන්මැනිකේ මෙහෙම කිව්වේ පුතාට ඇහෙන නෑහෙන විදිහට; ආයෙ රංඩුවක් ඇදගන්ට හිතට පණ මදි, උක්කුබංඩත් ගෙදර නැති වෙලාවේ. බාල්දියත් කුණු රෙදි ටිකකුත් අරගෙන ඈ ලිඳ පැත්තට ගියේ බිම බලාගෙන.

උක්කුබංඩයි රන්මැනිකයි දරුවෝ ගැන තීරණ ගත්තේ කසාද බදින්නත් ඉස්සර. දෙන්නා කසාදෙට පස්සේ වෙනම පැලක් අටවා ගත්තේ, මාමලා නැන්දලාගෙන් කිසි ඇඟිලි ගැසීමක් නැතුව ජීවත් වෙන බලාපොරොත්තුවෙන්. ළමයි හදාවඩා ගැනීම දෙමාපියන්ට මිස අනික් අයට අයිති නැති දෙයක් හැටියටයි දෙන්නම දැක්කේ.

නීරෝගී සවිමත් කුමාරගේ උපත දෙන්නගෙ ජීවිතේ සම්පූර්ණ කළා වගේම ඔවුන්ගේ ලොකුම වගකීම බවට පත්වුනා.

කුමාර ඉපදුනාට පස්සේ තමාට ආයෙ දරුවන් ලබන්න බැරිබව දැනගත්ත රන්මැනිකා ඒ ගැන දුක් වුනේ තනියම. ඇයට තේරුණා උක්කුබංඩත් එයාගෙ කනගාටුව හංගාගෙන ඉන්න බව. අනාගතේ සියළු බලාපොරොත්තු එකම දරුවා මත රඳා පවතින නිසා හැකි ක්රමයකින් කුමාරගේ අනාගතය හැම අතින්ම සාර්ථක කරන්න දෙන්නා පොරොන්දු වුනේ වචනයක් හුවමාරු නොකරයි. අමාරුවෙන් වුනත් කුමාරගේ සියළු අවශ්යතාවයන් මුළුමනින්ම සපුරන්න දෙන්නා මහන්සිවුනා. පහේ පංතියෙන් පස්සේ කුමාර මහනුවර ඉස්කෝලෙකට ඇතුළ් කළෙත් ඒ අනුවයි.

ක්රීඩාවට දක්ෂ කුමාර විද්යාලයේ පාපන්දු කන්ඩායමේ උප නායකයා ලෙස පත්වුනේ පාසැලේ එකොලොස් වසරේදී. මේ ගැනත් ඊලඟ වසරේදී ශිෂ්ය නායකයෙක් ලෙස තෝරා පත්වීම ගැනත් උක්කුබංඩයි රන්මැනිකයි සතුටුවුනේ මේ තනතුරු වල අගය සම්පූර්ණෙන්ම වටහා ගෙන නොවෙයි. උසස් පෙල විභාගය හොදින් සමර්ථ නොවීම ගැන ඔවුන් දුක් නොවුනේ විශ්වවිද්යාල, කාර්මික විද්යාල වැනි උසස් අධ්යාපන මාර්ග ඔවුන්ගේ අපේක්ෂාවේ නොතිබුන නිසයි. ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ කුමාරට ආන්ඩුවේ හෝ විශාල කොම්පැනියක හොඳ රැකියාවක් ලැබේ යන්නයි. ඒ අතින් තවම සතුටුදායක ප්රතිඵලයක් නැතිවීම දෙන්නගෙම හිතට කරදරයක්.

කුමාරගේ ‘ටෙලිෆෝන් ඇබ්බැහිය’ මෙන්ම ස්ථාවර රකියාවක් නැති වීමත්, එවැන්නක් සොයාගැනීමට මහංසි නොවීමත් දෙමව්පියන්ගේ හිතේ අමාරු දෙගුණ තෙගුණ කළා. ගෙදර මව්පිය-දරු අසම්මතියේ මූළික හේතුව වූයේ මේ ‘අඩු පාඩුව’යි.

……………………..

ගෙදර මොන ප්රශ්න තිබුනත් කුමාර අද පාරට බැස්සේ සතුටින්. පවුල කරදර වලින් ගළවා ගැනීමට හැකි රැකියාවක් අද තමාට සතුවෙන බව කුමාර දෙමව්පියන්ට තවම කියලා නෑ; ඒ අද රෑ ගෙන එන සුභාරංචිය!

පාසැල් කාලේ තමා පොතපතේ වැඩට දක්ෂ නැති බව කුමාර පිළිගත්තා. අනික් අතට ක්රීඩාව, විශේෂයෙන්ම පාපන්දු ක්රීඩාව, තමාට උප්පත්තියෙන්ම පිහිටා ඇති හැකියාවක් ලෙසයි ඔහු දුටුවේ. ඒ අනුව තමාගේ අනාගතය ඇත්තේ කන්තෝරුවක නොව ක්රීඩා පිටියක හෝ එයට කිට්ටු සම්බන්ධයක් ඇති ආයතනයක බව පැහැදිළිවම දැනගෙන හිටියා. ත්රීවීල් එලවීම තමාගේ අනාගතයේ වැදගත් කොටසක් කරගැනීම ‘පාවාදීමක්’ ලෙසයි කුමාර සැලකුවේ.

‘බ්ලූ ස්ටාස්’ පාපන්දු ‘ඒ’ කන්ඩායමේ නායකයා වගේම ‘බී’ කන්ඩායමේ පුහුණුකරුවෙකු වීමත් රැකියාවක් කියලා අප්පච්චිලා හිතන්නෙ නෑ. පාපන්දු තරඟාවලි කාලෙට කුමාර කුලී වැඩකාරයෙක් තරමට මහන්සි වෙනවා. ඒ මාස හතර පහේ ලැබෙන වැටුපට අමතරව ක්රීඩා ආම්පන්න විකුණන ‘ඩයනාස්’ සාප්පුවේ වැඩ කිරීමෙනුත් සුළු මුදලක් ලැබෙනවා. නමුත් පාපන්දු නැති මාස වලදී මේ ආදායම හොඳටම අඩු වෙනවා. ඒ කුමාරගෙ ‘අහේනි’ කාලයයි. අතේ සල්ලි නැති අපහසුවට අමතරව අම්මයි අප්පච්චියි වැඩියම කෑගහන්නෙත් ඒ කාලේ.

ඩයනාස් සාප්පුවේ ස්ථිර රැකියාවක් ගැන කුමාර කළමණාකාර මෙල්වින් මහත්තයා එක්ක කීප සැරයක් සාකච්ඡා කරලා තිබුනා. යම් දවසක ඒ ඉල්ලීමට හොඳ ප්රතිචාරයක් ලැබෙන බව කුමාර විස්වාස කළා. ඔහු සාප්පුවේ ෆේස්බුක් පිටුවට දිගටම කතා ලිවීම කරගන ගියේ රැකියාව ලැබෙන බලාපොරොත්තුවෙන්.

ඩයනාස් සාප්පුව ක්රීඩාවට දක්ෂ හෝ ක්රීඩාවට ලැදියාවක් ඇති හැමෝම මුනගැසෙන තැනක්. ශ්රී ලංකා පාපන්දු ක්රීඩකයෝ දෙදෙනෙක් කුමාරට හමුවූයේ එතනදී. කොළඹ ප්රසිද්ධ ක්රීඩා සමාජයකට ආරාධනයක් ලැබුනෙත් ඩයනාස්හිදී. සාප්පුව තමාට වැදගත් වගේ සාප්පුවට තමාත් වැදගත් බව කුමාර දන්නවා.

අද උදේ මෙල්වින් මහත්තයා රස්සාව කුමාරට දෙන්න පොරොන්දු වුනා. නුවර ගමනේ පරමාර්තය පඩි නඩි ගැන කතා කර ගැනීමයි.

යම් දවසක අප්පච්චිලාටත් තේරුම් ගන්න වෙනවා පාපන්දුවෙන් ලබා ගතහැකි අනාගතයක් ත්රීවීල් එලවලා නොලබෙන බව.

කුමාරට ඕනවුනේ බස් එකේ නුවර යන්න පළමුව ගෙදරින් හැතක්ම බාගයක් ඇවිද ගොස්, එතන කඩෙන් රුපියල් දෙසීයක ඩයලොග් රීලෝඩ් දමාගන්නයි. අතේ සෙල් ෆෝන් එක නැතිවීම නිරුවතින් ගමනක් පිටත්වීම වගේ යයි ඔහු සිතුවා.

කිට්ටුව එන නුවර බස් එකට නගින්න කුමාර පාර හරහා පැන්නේ තමාගේ ක්රීඩා දස්කම් පෙන්වන්න මෙන් ඉතා වේගයෙන්. ඔහුගේ ගමනට හරස්වුනේ අනික් පැත්තෙන් ආ ලොරියක් පමණයි. පසුව බස් රියදුරා කිව්වේ එවැනි බිහිසුණු ගැටුමකින් ජීවිතය ගළවාගන්න වල් අලියෙකුටවත් නොහැකි බවයි.

……………………………

කුමාර ඇස් ඇර වටපිට බැලුවේ නින්දෙන් අවදි වෙන්නෙක් වගේ. තමා බිම වාඩිවී බෝක්කු කනුවකට හේත්තු වී ඉන්නේ ක්ලාන්තයක් හැදිලා වෙන්න ඇති යයි කුමාර හිතුවා. සිහියේ පතුලෙන් බස් එකක් සහ ලොරියක් ගැන සිතිවිලි මතුවුනත් ඒවා අදාළතාව තක්සේරු කරගන්න අමාරුයි. ඒවා ක්ලාන්තය නිසා නැගී ආ ඡායා වියහැකියි. අවට කිසිම කෙනෙක් තියා පාරේ වාහනයක් වත් නැති නිසා කුමාර නැගිටින්න හදිස්සිවුනේ නෑ.

මෙල්වින් මහත්තයා සාප්පුවට එන්න නියත වෙලාවක් දී නොතිබුන නිසා ගෙදර ගොස් දූවිලි තැවරුන කලිසමත් කමිසෙත් මාරු කරන්න කුමාර තීරණය කළා. ක්ලාන්තයක් හැදෙන්න හේතුවක් සිතාගත නොහැකි වුනත් දූවිලි ගොඩේ වාඩිවුන බවට ඕන තරම් සාධක තිබුනා. පාරේ මෙතරම් දූවිලි ඇති බවක් කුමාරට මතක නෑ. පාර මීට වඩා පළල් විය යුතු බවත් ඒත් එක්කම හිතට ආවා.

මේ තමාට පුරුදු ගමේ පාර නෙවෙයි!

උදේ ගෙදරින් පිටත්වෙලා මීටර් දෙසීයක් විතර ඇවිදපු බව කුමාරට මතකයි. ඒ කියන්නේ ඊලඟ වංගුව පහුවුනාම කඩමංඩිය. ඉන්න තැන හරියට නොදැන ගෙදරවත් නුවරවත් යන්න බැරි බව දන්න නිසා කුමාර ගෙදර යන්න ඉස්සර නුවර පැත්තට ටිකක් ඇවිදින්න තීරණය කළා.

වංගුව පහුවුන වහාම පුරුදු කඩමංඩිය තිබුනා. නමුත් කුමාරගේ ප්රශ්න එතනින් කෙළවර වුනේ නෑ - කඩමංඩිය ඊයෙ තිබුනට වඩා බොහොම පොඩියි! සමූපකාර කඩෙයි, විල්බට්ගෙ තේ කඩෙයි ඇරුනුකොට පාර අයිනේ පෙට්ටි කඩේ විතරයි! කෝ බාබර සාප්පුව? බේකරිය? ඉස්සරහ නවත්තලා තියෙන ත්රී වීල්?

කුමාර සිහිනෙන් ඇවිදින්නෙක් වගේ තේ කඩේට ගිහින් ප්ලේන්ටියක් ඉල්ලුවා.

“මහත්තයා බැහැරක්?”

ප්රශ්නේ ඇහුවේ තේ හදන මිනිහා - විල්බට් ගෙ පොඩි මල්ලී කෙනෙක් වෙන්න ඇති. උත්තරයක් සොයාගන්න කුමාරට ටිකක් වෙලා ගියා. අප්පච්චිගෙ නම කියවුනේ ඇයි කියලා කුමාරට හිතාගන්න බෑ.

“අ… එපිටවත්තේ උක්කුබංඩා…”

“…ඕන්න උක්කුබංඩයියා උදේම දොස්තර මහත්තයා නුවර එක්ක ගිහින් දාලා දැන් ටිකකට ඉස්සර ආපහු ආවා… දන්නවා නේ එයාගෙ හැටි - දැන් කාරෙක සෝදනවා ඇති! මහත්තයා නෑදෑයෙක්ද?”

අප්පච්චී අන්තිමට දොස්තරගෙ කාරෙක එලෙව්වේ අඩුම ගානේ අවුරුදු තුනකට ඉස්සර.කුමාර සාක්කුවට අත දැම්මේ සෙල් ෆෝන් එකේ දිනය බලාගන්න අදහසින්. සාක්කුව හිස්! කලිසම් සාක්කු සේරම හිස්. කමිස සාක්කුවේ අම්මා දීපු රුපියල් සීයේ කොල දෙකක් විතරයි! දිනය… අද දිනය සොයාගන්න ඕන…

“අ… අද පත්තරේ තියෙනවද?... ඊයේ එක වුනත් කමක් නෑ…”

තේ කඩේ මිනිහා කුමාර දිහා බැලුවේ අමුතු විදිහකට. හැබැයි එයා කුමාරට මොකුත් නොකියා කඩෙන් එලියට ඇවිත් සමූපකාරෙට කතා කරා.

“නෝනා අද පත්තරේ ආවද?”

“තවම නෑනෙ විල්බට්… මොකද මන්දා“

“ඊයේ එක?”

“ඔන්න රාක්කිය ලඟ…”

මේ විල්බට්! තරුණ විල්බට් කෙනෙක්. පින්තූර ප්රෙහෙලිකාවක වගේ ටිකෙන් ටික අසමාන කෑලි එකට එනවා කුමාරට දැනෙනවා. ඊයේ පත්තරේ අන්තිම කෑල්ල සපයයි.

1995 සැප්තැම්බර් 15 සිකුරාදා!

කුමාර ඉපදෙන්න මාසෙකට ඉස්සර! කුමාරට ආයෙත් ක්ලාන්තේ වගේ දැනුනා. තව තේ කෝප්පෙකුයි කළු දොදොල් කෑල්ලකුයි විල්බට්ගෙන් ඉල්ලා ගත්තේ මේ වගේ අවස්ථාවකට සීනි හොඳයි කියන පරණ කතාවක් මතක්වෙලා. වෙන කුමක් කරන්නද නොදත් කුමාර විල්බට්ගෙ බිල ගෙවා ‘ගෙදර’ පැත්තට ඇවිදින්න පටන්ගත්තා. ඒ ගමනෙදී කුමාරගෙ කකුල් දෙකට වැඩිය මොලය ක්රියාකාරී වුනා.

මේ කුමාර උපන්දා පටන් ජීවත්වුන ගම - ‘අදට’ අවුරුදු විසි පහකට ඉස්සර! අප්පච්චී දොස්තරගෙ කාරෙක එලවනවා. අම්මා… අම්මට කුමාර හම්බවෙන්න තව මාසයයි. පවුලේ පරණ කතා අනුව ගෙදර තවම කාමර දෙකයි බාග බිත්ති ඉස්තෝප්පුවයි පොල් අතු වහලෙයි. වැසිකිලිය එලියේ. ලයිට් නෑ. ඒ කියන්නේ තවම ටීවී නැතුව ඇති. කුමාරට මතකයි අම්මා කියනවා බැඳලා අවුරුදු අටක් ගියාට පස්සේ තමා ගෙදර ලොකුකළේ; ලයිට්, ටීවී එහෙම ඉස්සරවෙලාම ගත්තේ කියලා. සෙල් ෆෝන් නෑ. අම්මයි අප්පච්චියි සෙල් ෆෝන් ගත්තේ … ගන්නේ…. කුමාරටත් පස්සේ; 2016 විතර…

ඈතින් ‘තමාගේ’ ගෙදර දැකලා කුමාර ටිකකට නැවතුනා. ගෙදර ඇත්තටම පොඩියි. ඉස්සරහ කාමරේ - කුමාරගෙ කාමරේ - වෙනුවට තියෙන්නේ ජමනාරන් ගහක්! විල්බට් කිව්ව වගේ අප්පච්චී කාරෙක සෝදනවා, බාල්දියකට වතුර පුරවාගෙන. අම්මා පිලේ වාඩිවෙලා වට්ටියක වට්ටක්කා දළු සුද්ද කරනවා.

අප්පච්චියි අම්මයි කිට්ටුවට යන්න කුමාරගෙ හිත ඉඩ දුන්නෙ නෑ. මේ අවස්ථාව ලෝකේ කාටවත් නොලැබෙන වාසනාවක් යයි සිතන්න පුළුවන් වුනත් කුමාරගෙ හිතේ ඇතිවුනේ දෙගිඩියාවක්. එක අතකින් බාල වයසේ අම්මයි අප්පච්චියි දැක ගැනීමට ලොකු ආශාවක් ඇතිවුනා. දෙන්නා හිටියේ සතුටින්ද? දුකෙන්ද? කොයි විදිහේ අනාගතයක් බලාපොරොත්තුවෙන්ද?... අනික් අතට, තමා හමුවීමෙන් අම්මයි අප්පච්චියි සුළුවශයෙන් හෝ වෙනස් වුනොත් අනාගතය කොයි විදිහට වෙනස් වෙයිද? කුමාර සමග වචනය දෙකක් කතා කළ නිසා කරන්න බලාපොරොත්තුවූ වැදගත් කාරියක් අතපසුවෙයිද? එවැනි හේතුවකින් අප්පච්චිගෙ රස්සාව නැතිවෙයිද? අම්මා අසනීප වෙයිද? කුමාර පාපන්දු ක්රීඩාවට අදක්ෂ වෙයිද? මෙතන ‘අනාගතය’ කිව්වේ තමාගේ හැගීම අනුව ‘දැන්’ බව කුමාරට වැටහුනා.

රන්මැනිකා පිලෙන් නැගිටින්න උත්සාහ කරනවා දුටු උක්කුබංඩා වහාම බාල්දිය බිම තබා ඒ පැත්තට ගියා.

“මං කිව්වනෙ මැනිකේ හිටපු ගමන් ඔහොම නැගිටින්ට එපා කියලා…”

රන්මැනිකා හිනාවුනා.

“බංඩයියා කියන්නේ මට පැටව් ගහන්ට ඉන්න ඊරියක් වගේ හරහ වැටිලා ඉන්ට කියලද? මට ලෙඩක් නෑ අප්පා”

“මේ ඊරී බිම සීරී… කුන්ඩුමනී හිස පීරී…”

අප්පච්චී අම්මා අතින් අල්ලාගෙන ගේ ඇතුලට එක්ක යනවා බලා සිටි කුමාරගෙ ඇස් වලට කඳුළු පිරුනා. කඳුළු පිසදමමින් ඔහු ආපසු පාර දිගේ ඇවිදින්න පටන්ගත්තේ ‘ක්ලාන්තෙන් ඇහැරුන’ තැන සොයා ගන්න පරමාර්තයෙන්.

………………………….

කුමාරගෙ සිතිවිලි මාලාව පාපන්දු තරඟයක විස්තරයක් මෙන් කාලානුක්රමිකව දිගහැරුනා.

උදේ ගෙදරින් පිටත්වුනේ නුවර යන්න; නුවර ඩයනාස් සාප්පුවේ රස්සාව බාරගන්න අදහසින්. නමුත් අතරමගදී යමක් සිද්ධවුනා - සමහරවිට අනතුරක් වෙන්න පුළුවන්, බස් සහ ලොරි ගැන සුළු මතකක් තිබෙන නිසා. නැවත ඇස් ඇරුනේ 1995 (පාරේ 2020 ගමන අවසාන වුන තැන). කුමාරට වයස 25 භෞතික සිරුරක් ඇති බව 1995 විල්බට් සනාථ කරා. සෙල් ෆෝන් නැතිවුනාට සාක්කුවේ රුපියල් දෙසීයක් තිබුනා (නෝට්ටු දිනේ බලන්න අමතක වුනා - හැබැයි 1995ට ඉස්සර ඒවා වෙන්න ඇති). අම්මයි අප්පච්චියි 1995 බව සහතිකයි (කුමාර ඉපදෙන්න මාසයකට ඉස්සර).

සිතිවිලි සාගරයක යටවී ඇවිදින කුමාර නොදැනීම නුවර පාරේ 2020 ගමනේ අවසානයත් 1995 ගමනේ පටන් ගැන්මත් සලකුණු කළ ස්ථානයට සේන්දු වුනා. තමා ගමනාන්තයට පැමිණි බව කුමාරට දැනුනේ කකුල් වෙවුලන ගතියක් සමග නැගී ආ අඳුරයි. කෙමෙන් දුර්වල වන හිරු එළිය ගැන කුමාර සිතුවේ ‘ආයෙත් ක්ලාන්තේ’ කියා පමණයි. නමුත් ලෝකය සම්පූර්ණෙන්ම අඳුරු වෙන්න මොහොතකට කලින් කුමාරට තවත් කටහඬක් ඇහුනා.

“බේරෙන්ට? තමුසේ මේ මොනවා කියනවද- වල් අලියෙක් වත් ගැළවෙන්නෙ නෑ ඔය වේගෙට හැප්පිලා!”