තෘප්තිය

මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට හතර හමාරවත් වෙනවා. උසස්පෙල පංතියක ඉන්න නිසා මට ඉස්කෝලේ අවසාන සීනුව වැදුනට පස්සෙත් එක එක වැඩ තියෙනවා. මේ දවස්වල අපිට අමතර පංති වගයක් දාලා තියෙනවා පංතිභාර මිස්ට තුරේරාජා, අපේ භෞතික විද්යාව දැනුම විභාගෙට ඉස්සර වැඩි දියුණු කරගන්න. අද ඒ පංතිය ඉවරවෙලා මම ගෙදර එන බස් එකට නැග්ගේ හතර පහුවෙලා. තෙරෙපි තෙරපී බස් එකේ ඇවිත් ගෙදර ලඟ බහිනකොට අපෙ ඔපිසර නිලමෙත් ඒකෙන්ම ඇවිත් මට පස්සේ බැස්සා.

“ඔපිසර නිලමේ! අපි එක බස් එකේ ඇවිත් තියෙන්නේ - මම දැක්කෙවත් නෑ!”

“කොහොමද දරුවා? මම නම් දැක්කා උපුල් ඉන්නවා ඉස්සරහ - මට අංතිම සීට් එකේ ඉඩක් හම්බවුනා”

“ඒක හොඳයි, මේ සෙනග අස්සේ. යමු ගෙදර. අද රෑ ඉන්නවා නේ?”

“කන්න නිදන්න දෙනවනම් ආයෙ මොනවද?”

අපෙ අම්මගෙ මාමා කෙනෙක් වුනත් සේරම එයාට කතාකළේ ‘ඔපිසර නිලමේ’ කියලා; එයාගෙම ඉල්ලීම අනුව. කතාවට දක්ශ නිසාත් අමුතු අදහස් තියෙන නිසාත් උන්දෑ අපෙ ගෙදර එනවට මම විතරක් නෙවෙයි අම්මයි තාත්තයිත් බොහොම කැමතියි. ඔපිසර නිලමෙගෙ කතා එලියට එන්නේ පැය දෙකක් පමන හවස තේ පානයේ පටන් රෑ කෑම දක්වා කාලයෙයි. සමහරවිට කෑමෙන් පස්සෙත් පැය බාගයක් විතර යනකමුත් කතාව දික්වෙනවා. රෑ කෑම වෙලාවේ නම් කතා මාතෘකා සියල්ලන්ටම අදාල ‘දවසේ පුවත්’ පමනයි - ඔපිසර නිලමෙට තියා අගමැතිටත් වෙනස් කරන්න බෑ, ඒක අම්මගෙ නීතියක් නිසා.

…………………..

“ඔපිසර නිලමේ පුතත් එක්ක එක බස් එකේ ඇවිත් තියෙන්නේ….”

අම්ම තාත්තට මෙහෙම කිව්වේ ඔපිසර නිලමෙට තේ කෝප්පයක් දෙන වෙලාවේ.

“ඔය වෙලාවට බස් එකේ හරියට සෙනග නේද?”

“ඔවු සෙනරත්… මට නම් පස්සා සීට් එකේ ඉඩක් ලැබුනා. මං දැක්කා උපුල් ඉස්සරහ ඉන්නවා, එයා මං දැක්කෙ නැතුවට”

“පුතා කොහෙද ඉතින්… ලෝකේ වෙන කිසි දෙයක් දකින්නෙ නෑනේ! එයාගෙම ලෝකෙක ඉන්නවා වගේ”

“එහෙම කියන්න එපා අමිතා. මං දැක්ක උපුල් වයසක මිනිහෙකුට එයාගෙ සීට් එක දීලා නැගිටිනවා. ඒ බස් එක පිරෙන්නත් ඉස්සර”

“ඔවු ඉතින් ඉස්කෝලේ ළමයි වැඩිහිටියන්ට සීට් දෙන්න එපැයි”

ඔපිසර නිලමේ ටිකක් හිතුවා.

“හැබෑට සීට් එකක් දෙන්නේ ඒක එයාගෙන් බලාපොරොත්තුවෙන නිසාද, ඉස්කෝලේ නීතියක් නිසාද නැත්නම් නිකම්ම හිතට ආපු නිසාද කියන එකත් හිතලා බලන්න වටිනවා”

මට හිතුනා අද කතාවල මාතෘකාව මේක වෙන්න ඇති කියලා. ඔපිසර නිලමේ කවදාවත් මතුවෙන අදහසක් ලේසියෙන් අතාරින්නෙ නෑ - හොඳට හාරලා නොබලා.

අම්මා මා දිහා බැළුවා.

“පුතාම කියන්න ඇයි සීට් එක දුන්නේ කියලා. එතකොට ආයෙ දුර දිග හිතලා බලන්න දෙයක් නෑනේ”

“උපුල් ඇයි සීට් එක දුන්නේ? ඒ මනුස්සයා කවුද කියලා දන්නවද?”

“මං දන්නෙ නෑ - එයාට හිටගෙන ඉන්න අමාරුයි වගේ පෙනුන නිසා දුන්නේ. මට හිටගෙන ඇවිත් පුරුදුයි!”

“සීට් එක දුන්නට පස්සේ ඒක ගැන මොනවද හිතුවේ?”

“…. අ... මට අල්ලගන්න හොඳ තැනක් ගැන හිතන්න ඇති… ඒ අරුනුකොට ආයෙ බස් එක ගැනවත් ඒකේ ඉන්න අය ගැනවත් හිතුවෙ නෑ - මට මතක හැටියට…”

“මං කිව්වේ! පුතා ඉන්නේ එයාගෙම ලෝකෙක!”

“නෑ නෑ අමිතා - එයාගෙම ලෝකෙක ඉන්න කෙනෙකුට හිටගෙන ඉන්න නාකියෝ පෙනෙන්නෙ නෑ. මතුපිටින් වෙන ලෝකෙක ඉන්නවා වගේ හිටියත් යටි හිතේ තියෙනවා ශිෂ්ට ලෙස හැසිරීමේ පුරුදු… ඒකයි නොහිතාම ආසනේ පූජාකළේ… දෙමව්පියෝ ඒවා දරුවන්ට උගන්නලා තියෙන්නේ”

“ඒ කියන්නේ මෙතන හොඳ දෙයක් කළේ අමිතයි මායි මිස උපුල් නෙවෙයි!”

“සෙනරත් විහිළුවට එහෙම කිව්වට ඔය දෙන්නත්, සමහරවිට ගුරුවරුත් සම්මාදම් උපුල්ගෙ ‘යහපත්’ ක්රියාවට… හැබැයි ඕක වැඩිය හිතට ගන්න එපා - එයා කරන ගොං වැඩවල කොටසකුත් ඔය දෙන්නට අයිතියි!”

අපි ඔක්කම ඒකට හිනාවුනා - මමයි වැඩියම හිනාවුනේ.

“දැන් මට තේරෙනවා මම විබහගේ පාස් නොවුනොත් කාගෙද වැරැද්ද කියලා!”

“එතකොට කනට පාරක් වැදුනොත් ඒකේ වැරැද්දත් බෙදා ගන්න පුළුවන්!”

ඒ සැරේ තාත්තයි හිනාවුනේ.

“මං හිතන්නේ ඕන කෙනෙක් යමක් කරන්නේ ඒකෙන් යම්කිසි තෘප්තියක් ලබන බලාපොරොත්තුව නිසා… ඒ කියන්නේ යමක් හිතා මතා කරනවානම් - පාරේ යනකොට කූඹියෙක් පෑගෙනවා වගේ එහෙම නෙවෙයි. අර බුදු බනේ තියෙන්නේ ‘චේතනාහම් භික්කවේ කම්මන් වදාමී’ කියලා. හිතලා මතලා කරන දේ වලට තමයි විපාකයක් තියෙන්නේ”

“හැබැයි මම දන්න විදිහට බුදු බනේ නෑ නේ කවුරුත් තෘප්තියක් විදින කතාවක්”

“සෙනරත්… මම මෙතන කියන්නේ බනක් නෙවෙයි. කිසිම තෘප්තියක් ලබන්නේ නැතිනම් ඇයි අපි යමක් කරන්නේ?”

“මං රස්සාවට යන්නේ අපිට කාලා බීලා ඉන්න, ඔළුවට වහලක් තියාගන්න. ඒ අතින් ඔපිසර නිලමෙගෙ කතාව හරි. හැබැයි ඇයි මම කොහෙ හරි නාය යෑමකින් හරි කාගෙ හරි ප්රචන්ඩ ක්රියාවකින් වෙන හානියක් ගැන දුක් වෙන්නේ? ලංකාවේ නොවුනත් එහෙම දෙයක් ආරංචිවුනාම අපි දුක් වෙන්නේ ඇයි? ගෙදර වැඩට ඉන්න කෙනෙක්, එහෙමත් නැත්නම් වහලෙක් ඇයි හාම්පුතාලා කියන පලියට දාඩිය පෙරාගෙන වැඩ කරන්නේ?”

“හොඳම ප්රශ්නේ තියෙන්නේ ‘ඇයි’ කියන වචනේ. අපි ගමු අමාරුම කේස් එකක් - අප්රිකාවෙන් දම්වැල් දාලා බලෙන් ඇදගෙන ඇමෙරිකාවට ගෙනාපු වහලෙක් කස පාරකකා අව්වේ රේල් පාරවල් වල වැඩ කරනවා… සෙනරත්… නෑ උපුල් කියන්න ඇයි මිනිහා එහෙම වැඩ කරන්නේ කියලා?”

“… අ… කස පාර කන එක අඩු කරගන්න?... එහෙම නොකරොත් හිරේ දායි කියලා… නැතනම් තමාගේ පවුලේ අයට හරි වැඩ කරන අනික් අයට හරි දඬුවම් ලැබෙයි කියලා…”

“හරියට හරි! තමංගෙ හරි අනික් අයගෙ දුක අඩු කරගන්න එකත් එක විදිහක තෘප්තියක්. ඇත්ත තමයි වැඩ කෙරුවත් නැතත් විඳින්නේ දුකක් කියන එක; ඒකෙන් ගැලවෙන්න බෑ. නමුත් ඒ ක්රියාමාර්ග දෙක සසඳලා, කිරලා බලලා දුක අඩු, තමාට නැත්නම් අනික අයට දුක අඩු, එක තෝරාගන්නවා. ඒකයි එතන තියෙන තෘප්තිය…”

“ඒ කියන්නේ අපෙ කුස්සි අම්මා එහෙම හිතලද රෑ කෑම පිලියෙල කරන්නේ?”

“හැමදාම හවස කුස්සි අම්මා එහෙම හිතන්නෙ නෑ. අමිතා හිතනවනම් කුස්සි අම්මා කඩදාසියක කොටු ඇඳලා එයා කරන හැම වැඩෙන් වඩේටම සුබ/අසුබ සටහන් කරනවා කියලා - එහෙනම් එයාට කෑම හදන්න වෙලාවක් නෑ! නමුත් එයා දන්නවා ඒ වැඩ කරන එකෙයි නොකරන එකෙයි ආදිනව - නිතරම ඒ ගැන නොහිතුවත්”

අම්මට හිතට අමාරුයි වගේ ඒකට.

“අනේ මම කවදාවත් හිතුවෙ නෑ කුස්සි අම්මා අපිට බයේ… නැත්නම් අපි පඩි කපයි කියලා වැඩ කරන්නේ කියලා…. රන්මැනිකා දැන් අපෙ පවුලේ කෙනෙක් වගේ!”

“ඒක රන්මැනිකගෙ පැත්තෙන් නොබලා අපිට කිසි දෙයක් තීරණේ කරන්න බෑ! එයාගෙ අදහස් උදහස්, මෙහෙ ඉන්න හේතු එහෙම දන්නේ උන්දෑ විතරයි… අපිට සමහරවිට හිතෙනවා අපි දන්නවා කියලා එයාගෙ හිතේ තියෙන දේ - නමුත් ඒ අපේ හැඟීම අනුව මිස ඇත්තටම ඇත්ත කියන්න සාදක නෑ. අද රෑ කෑමට වස දාන්නෙ නැත්තේ ඒ තරම් තරහක් නැති නිසා වෙන්න පුළුවන් - නමුත් අමිතයි එයයි දෙන්නටම තනියම හිතන්න බලය තියෙනවා…. අපි දන්නෙ නෑ රන්මැනිකා හිතන දේ - රන්මැනිකා දන්නෙ නෑ අපි හිතන දේ. දෙපැත්ත යම්කිසි සමතුලිතයකට ඇවිත් තමා එයා කුස්සි අම්මා වෙන්නේ මේ ගෙදර”

“කුස්සි අම්මගෙ කරවිල ඇඹුල නම් හදන්නේ අපිට තරහට කියලා මට හොඳටම විස්වාසයි!”

අපි හතරදෙනාම යන්තමට හිනාවෙවී තේ බිව්වා. කතාව පටන්ගත්තේ මම නාකි මනුස්සයෙකුට සීට් එක දීම නිසා මම ප්රශ්නයක් අහන්න හිතුවා.

“ඔපිසර නිලමෙට කියන්න පුළුවන්ද ඇයි මම අර කාටදෝ සීට් එක දුන්නේ කියලා - මං දන්නෙ නෑ ඇයි කියලා; ඒකයි අහන්නේ”

“උපුල් ඉස්සරවෙලා මගෙ ප්රශ්නෙකට උත්තර දෙනවද? පුතා කවදාවත් බස් එකකට ඉස්සරවෙලා නැගලා හොඳ සීට් එකක් අල්ලාගෙන තියෙනවද? එහෙම කරලා තියෙනවානම් ඇයි එහෙම කළේ කියලා කියනවද?”

“දුර ගමන් යනකොට ජනෙල් සීට් අල්ලලා තියෙනවා…. එතකොට හුලං වදිනවා වගේම වට පිට බලන්න ලේසියි…. ආයෙ යාළුවෝ කට්ටියක් ඉන්න වෙලාවක පස්සා සීට් එක අල්ලනවා, කතා කර කර යන්න… එක සැරයක් රෑ කොහෙදෝ යනකොට නිදා ගන්නත් කොනක් ඇල්ලුවා…”

“උපුල්ගෙ සැප පහසු බලලා හොඳ ආසනයක් සොයන්නේ ඒකෙන් සතුටක් ලබන්න. ඒ වගේම හොඳ ආසනයක් නොලැබුනොත් හිතට ඒ තරම් හරි නෑ… නේද? උපුල් තෘප්තියක් බලාපොරොත්තුවෙන් හොඳ සීට් හොයන්නේ… දැන් හිතලා බලන්න සීට් එකක් අල්ලගෙන ඉන්න වෙලාවේ නාකි මනුස්සයෙක්, නැත්නම් ලෙඩෙක්, ඒත් නැත්නම් ඕනෑම කෙනෙක් ලඟ හිටගෙන ඉන්නවා කියලා. ඒ පුද්ගලයා ගැන දුක හිතිලා උපුල් එයාට ආසනේ දෙනවා… ඒ කියන්නේ වෙන කෙනෙකුගෙ ඕනෑකමක් නිසා උපුල් පොඩි පහේ දුකක් විඳින්න ලෑස්තියි… ඒකෙන් හිතට සතුටක් දැනෙනවා ‘මම කළේ හොඳ දෙයක්’ කියලා. ඒ පුද්ගලයගෙන් හිනාවක්, ස්තුතියක් ලැබුනොත් සතුට තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ, උපුල් තෘප්තියක් ලබන්නේ මනසෙන් - පස්සා පැත්තේ සැප පහසුවෙන් පමනක් නෙවෙයි!”

“ඔය කිව්වට මට ඒ වෙලාවේ එහෙම සතුටක් ලැබුනද කියලා මතක නෑ”

“නාකි මනුස්සයා හිටගෙන ඉන්න එකට දුකක් හිතුනානම් ආසනේ නොදෙන එක බරක්. ඒක හිතට හරි නෑ… උපුල් එතකොට හිතනවා ආසනෙන් ලැබෙන සතුටට වැඩිය ලොකුයි ආසනේ නාකියට නොදීමෙන් සිතට දැනෙන අසහනය. එතකොට දැන් මොකද උපුල්ගෙ ඇඟ කරන්නේ? ඔයාගෙ යටි හිතට නිතරම මේ වගේ තීරණ ගන්න වෙනවා. මං හිතන්නේ ශිෂ්ට සමාජයක ජීවත්වීමට අවශ්ය ගතිගුන - අනික් අය ගැනත් හිතන එක වගේ - පොඩි කාලේ පටන් උපුල්ට පුරුදු කරලයි තියෙන්නේ. ඒ නිසයි උපුල් හිතන්නෙත් නැතුව ආසනේ වෙන කෙනෙකුට දෙන්නේ”

අම්මයි තාත්තයි හිනා මුහුනින් මා දිහා බලනකොට මට පොඩි ලජ්ජාවකුත් දැනෙනවා. ඒ නිසාම වෙන්න ඇති ඔපිසර නිලමේ ආයෙත් කතාව පටන් ගත්තේ.

“මං මේ කියන්නේ බස් වල සීට් දෙන එක ගැනම නෙවෙයි… ඔය ඕන තරම් ඉන්නේ සීට් නොදී අහක බලාගෙන ජොලියේ ඉන්න අය! අපි කරන හැම දේකම වෙනසක් දැකගන්න පුළුවන් අපි සාමාන්යෙන් ‘හැදිච්චි’ කියන අයයි අනික් අයයි අතර. දෙගොල්ලම තෘප්තියක් ලබනවා තමා ඒ ඒ අවශ්තාවේ හැසිරෙන විදිහෙන් … හිතලා බලන්න අපෙ ඩ්රයිවර්ලා - සමහරු හැම වෙලාවෙම බලන්නේ අනික් වාහන පරද්දන්න. කාටවත් ඉඩ දෙන්නෙ නෑ, පාර පුරහ යනවා ඉස්සර කරන්න, හෝන් ගහනවා වාහන තදබදේ කොහොම තිබුනත්, බනිනවා අනික් අයට… මේ අය සතුටක් ලබනවා අනික් අය පරද්දලා. හොඳට නීති ගරුකව පාරේ එලවන අයත් තෘප්තියක් ලබනවා ‘මම අනික් අය වගේ නහයට අහන්නෙ නැති ඩ්රයිවරයෙක් නෙවෙයි’ කියලා… අංතිමට අපි ඔක්කම, මොක කරත්, තෘප්තියක් බලාපොරොත්තුවෙනුයි ඒ දේ කරන්නේ!”

තාත්තට ආයෙත් හිනා ගියා.

“එතකොට අපෙ ත්රීවීල් කාරයන්ට බැනලා වැඩක් නෑ!”

“ඒක ඇත්ත සෙනරත්. බැනලා වත්, නීති දාලාවත්, පොලිසියෙන් අල්ලලා දඩ ගහලාවත් ඒ අයගෙ හැසිරීම වෙනස් කරන්න බෑ”

“එහෙනං මොකද්ද කරන්න ඕන? හැම රටේම මෙහෙම් වාහන එලවන්නෙ නෑ නේ”

“ලේසි නෑ අමිතා. අපි වෙනස් කරන්න ඕනෑ ඒ අය තෘප්තියක් ලබන්නේ මොනවගෙන්ද කියලා. ඒ කියන්නේ මුලු සමාජයේම හිත් වෙනස් කරන්න ඕන… අපෙ පොරවල් වලට උගන්නන්න ඕන තෘප්තිය ලබන වෙන ක්රම තියෙනවා කියලා. වෙන වාහනේකට ඉඩ දෙන එකෙන් සතුටු වෙන්න ඉගෙන ගන්න වෙනවා, ඒ අය බ්ලොක් කරලා සතුටු නොවී”

“එතකොට අපිට බනින්න කෙනෙක් නැති වෙනවා!”

“ඇයි සෙනරත් ආන්ඩුව තියෙන්නේ!”

“හැබෑට ඔපිසර නිලමෙගෙ ඔය අදහස උපුල්ටයි ත්රීවීල් කාරයන්ටයි ඇරුනුකොට ආන්ඩුවටත් යොදන්න පුළුවන්ද? උන්ටත් ශිෂ්ට සමාජයක හැසිරෙන්න උගන්වන්න ඕනද? පුළුවන්ද?”

“ඕනද කියන ප්රශ්නෙට උත්තරේ ‘ඔවු’. පුළුවන්ද කියන ප්රශ්නේ විසඳන්න හැකි වෙන්නේ උන්ටමයි! උපුල් බස් එකේ සීට් එක දීලා සතුටු වෙනවා. ත්රීවීල් කාරයෝ වෙට්ටු දාලා එහෙන් මෙහෙන් රිංගලා සතුටු වෙනවා. තව සතුටුවෙන, තෘප්තිය ලබන විදි බැලුවොත් අපිට හිතාගන්න පුළුවන්කාටකාට ඒවා අදාලද කියලා”

“පගා ගැනීම!”

මට නිකම්ම කියවුනා.

“ඔවු. පගාව, පඩියට වැඩකරත් සාමාන්ය මිනිසුන්ට වඩා වරප්ප්රසාද ලැබීම, තමංගෙ බලය පෙන්නලා බඩ වඩාගැනීම, නෑකම් හැඳුනුම්කම් අනුව හෙන්චයියලා පත්කිරීම, තමංට ලාබ වෙන විදිහට අනුන්ගෙ සල්ලි වියදම් කිරීම, නිතරම රටට ‘මං සුදනා’ කියලා පෙන්නන්න ආගමික/සංස්කෘතික වැඩ වලට මුල්තැනක් ගැනීම, පට්ටපල් බොරුවෙන්ම ජීවත්වීම… මට හිතෙන හැටියට මේ සේරටම වැඩිය නරක දේ මොකද්ද දන්නවද? මහජනයා ගොන්නු කියලා තදින්ම විස්වාස කරලා උන් ඇත්තටම ගොන්නු බවට හරවන එක!”

අම්මට මේක ඇල්ලුවේ නෑ.

“ඒ කියන්නේ දැන් අපි ගොන්නුද?”

“බලන්න කොච්චර කපටියෝ උනත්, හොරු උනත්, කුඩු කාරයෝ උනත්, මිනී මරුවෝ උනත් - තවමත් ඒ අය පස්සේ ‘අපෙ වීරයට ජයවේවා!’ කිය කියා උන් පස්සේ යන්නේ ගොන්නු නෙවෙයිනම් මොක්කුද?”

මම දන්නවා මේකට උත්තරේ.

“ඒකෙන් තෘප්තියක් ලබන අය... අ…. තෘප්තියක් බලාපොරොත්තුවෙන අය… අනාගතේ… තමංට හරි තමංට කිට්ටු අයට…”

එතකොටයි අම්ම කිව්වේ “කෑම ලෑස්තියි” කියලා. හිතෙන්න ඇති මේ කතාව ඉවරයක් නැති කවයක් කියලා.