ප්‍රවෘත්තියෝග්‍ය

“…පාසැලේ ප්රධානියා මේ නාලිකාවට දන්වා සිටියේ ඊයේ දවල් ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ සිසුවෝ හිටියේ පංති කාමර දෙකක පමණක් බවයි. ඒ කෙසේ වෙතත් සිසුවෝ විසි හතරදෙනෙකුත් ගුරුවරු දෙදෙනෙකුත් ගිලන් රථ වලින් රෝහලට ගෙන ගියා. අපිට අද ලැබී ඇති තොරතුරු අනුව එයින් ගුරුවරු දෙදෙනාත් සිසුන් දොලොස් දෙනෙකුත් රෝහලේ නවතාගත් අතර අනික් සිසුවෝ ලැබූ සුළු තුවාල වලට ප්රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් ඊයෙම පිටවී යෑමට අවසර ලැබුවා. රෝහලේ නවතාගත් අයගෙන් සිසුවෝ හතර දෙනෙකුගෙ තුවාල බරපතල බව රෝහලෙන් අපිට දන්වා තිබෙනවා…”

“… මේ විපතින් ආපදාවට ලක්වූ අයට අපේ හෘදයාංගම කනගාටුව සහ් සහයෝගය ප්රකාශ කරන අතර ඔවුන්ට අප්රමාද සුවය ලැබේවා යයි ප්රාර්තනා කරනවා. ඒ වගේම, මෙවැනි ආපදා වැලකීමේ ක්රියාමාර්ග, මෙවැනි ආපදා වලින් අනාගතය ආරක්ෂා කරගැනීමේ පියවර, වහාම ක්රියාත්මක කිරීම අත්යාවශ්ය බව අපිට පැහැදිලියි. ඒ අනුව මේ විපත සිදුවීමේ මූලික හේතු විපරම් කිරීම අපේ වගකීමක් ලෙස අපි පිළිගන්නවා… මම දිගින් දිගට විස්තර නොකරට අපි අමතක කරන්න නරකයි මේ විපතේ ප්රතිඵල මීට වඩා බොහෝම භයානක වෙන්න ඉඩ තිබුනා…”

සේනක ගුවන් විදුලිය නිමා දමා මිදුලට බැස්සේ වැලේ රෙදි වනන ඇලිස් එක්ක අලුත්ම ප්රවුර්ති බෙදා හදා ගන්නයි.

“ඊයේ වැඩෙන් හුඟක් අයට තුවාලද අනේ?”

“විසි හතරයි… හතර දෙනෙකුට අමාරුයි කියන්නේ”

ඇලිස් ටිකක් කල්පනාවෙන් සේනක දිහා බලාගෙන හිටියා.

“ඔය ගොඩනැගිල්ල කාලයක් වහලා තිබුනා නේද?”

“හ්ම්… විකුනන්ට බලාගෙන හිටියට ගණන් වැඩියි කියලා කතාවක් තිබුනා. ඔය විශ්රාම ගුරුවරු කීපදෙනෙක් එකතුවෙලා ඔය පංති පටන්ගත්තේ… මං හිතන්නේ ලාබ කුලියට හම්බවෙන්ට ඇති”

“ඔවු ඉතින්… බිල්ඩිම කඩා වැටෙනකන් සල්ලි හොයන්ට බලයි! පව් අප්පා කොල්ලො කෙල්ලෝ”

“පුදුමයි කවුරුත් මැරිච්චි නැති එක!”

“අනේ එහෙම හිතන්ටවත් එපා… අද වැඩද?”

“ඔවු… වීල් එක හෝදගත්ත ගමන් යනවා. බලන්නන්කෝ අපෙ ගමේ කාටවත් තුවාලද කියලා - හන්දියේ උන් දන්නවා ඇති… මේ… මොකවත් ඕනද කඩෙන්? දවල් ඉස්කෝලේ ළමයි ගිහින් දාපු ගමන් ඇවිත් යන්ට පුළුවන්”

………………………………

“පොල් නම් හරිම ගණන් අප්පා; ගෝවා ලාබයි. මේ මං වඩේ දෙකකුත් ගෙනාවා… ඇලිස් කාලද ඉන්නේ?”

ඇලිස් හිනාවුනා.

“නෑ… මං ටිකක් හිටියා වඩේ එකක් ගෙනෙයිද කියලා!”

“කමුද එහෙනං? මං ආයෙ තුනට යන්ට ඕනෑ පනාගොල්ලට… ආරංචිද කවුද තුවාල කාරයෝ කියලා?”

සේනක වැදගත් ප්රවුර්තියක් එක සැරේම එලියට දාලා ඒකේ වටිනාකම අඩුවෙනවට කැමති නෑ - පංගුවෙන් පංගුව තමා නිකුත් කරන්නේ.

“රේඩියෝ එකේ නම් ලැයිස්තුවක් කිව්වට මට හරියට ඇහුනෙ නෑ… අපි දන්න කවුරුවත් තුවාල වෙලා ඉන්නවද?”

“අර පාලම ලඟ ගෙදර සමරසේනගෙ කොල්ලෝ දෙන්නම එක පංතියේ. පොඩි එකා තවම ඉස්පිරිතාලේ!”

“අනේ පවු. මං ඒ කොල්ලන්ගෙ අම්මා විමලා හොඳට අඳුරනවා! ඉස්සර වීරසිංහ මහත්තයලගෙ ගෙදර වැඩ කරා… පොඩි එකාට අමාරුද?”

“මොකවත් කැඩිලා බිඳිලා නැතිලු… හැබැයි තව දවසක් දෙකක් ඉස්පිරිතාලේ. ලොකු එකාට යන්තම් තුවාල - බෙහෙත් දාගෙන තනියම ගෙදර එනකමුත් සමරසේනලා දන්නෙ නෑ!”

“පවු… පුළුවන් වුනොත් මාත් හවස විමලත් හම්බවෙලා ඉස්පිරිතාලෙත් ගිහින් එන්නං”

සේනක හිනාවුනේ හංගාගෙන හිටපු ලොකු තුරුම්පුවක් ගහන්නෙක් වගේ.

“ඒ කොල්ලන්ටත් වැඩිය - අපෙ ඉස්කෝලේ ලොකුමහත්තයගෙ දුවත් ඉස්පිරිතාලේ!”

“ගොඩවත්ත මැනිකෙලාගෙ ලානී බේබී? අනේ අප්පා හරි සිරියාවන්ත ළමයා… මොකොදෑ ඒ බේබී විමලගෙ කොල්ලගෙ පංතියේ? ඒ බේබී ලොකු ඉස්කෝලෙකට නේද යන්නේ? ගමේ ඉස්කෝලෙට නෙවෙයි නේ?”

“අනේ මං දන්නෙ නෑ ඔව්වා. සමරසේනගෙ පොඩි එකා ගණිත පංතියකට තමා යනවා කියන්නේ. එකේ ගණිත උගන්නන පෙරේරා මහත්තයා කොල්ලෝ දෙන්නටම පංතියට එන්ට දුන්නේ එකෙකුට ගෙවලා කියන්නේ!”

“හැබෑට ඔය පංති හරි ගණන්ලු - මං ඒත් හිතුවා කොහොමද විමලලා ළමයි දෙන්නෙක් පංති යැව්වේ කියලා… ලානී බේබිලට එහෙම සල්ලි ප්රශ්න නෑ! ඔය පෙරේරා මහත්තයා දක්ෂයි කියලා ලොකුමහත්තයා දැනගෙන වෙන්ට ඇති බේබිත් ඉරිදා පංතියට යැව්වේ”

“හ්ම්… මට මතකයි ලොකුමහත්තයගෙ ලොකු පුතා ලලන්ත. මගෙ වීල් එකේ යනවා ඒ දවස්වල ක්රිකට් ගහන්ට. එයා ක්රීඩාවට දස්සයි - දැන් ගහන කොළඹ ටීම් එකේ හොඳට ගැහුවොත් ලංකාවේ ටීම් එකටත් ගහයි අවුරුද්දකින් දෙකකින් - ඒ තරං හොඳයි බැට් කරන්ට!”

“ඒ පොඩි මහත්තයත් හරි හැඩයි. ලානී බේබී, දෙයියන්නේ පිහිටෙන්, තව අවුරුදු කීපෙකින් ටීවී එකේ දැක්කොත් මං පුදුම වෙන්නෙ නෑ. ඒ තරමට ලස්සනයි”

“ඔව්වා අපිට වැඩක් නෑ ඇලිස් - අපි හොඳින් කාලා බීලා ඉන්නවානේ. අපෙ පොඩි එකා හැඩ නැතිවුනත් පොත පතේ වැඩට දස්සයි! උසස් පෙල පාස්වුනොත් මොන මොනවා කරන්ට බැරිද?”

දෙන්නම නිහඬව කෑම කෑවේ තනි තනියෙන් අනාගතේ මෙනෙහි කරන්නෝ වගේ. අමතර පංති නොගියත් චංදන විභාග පාස්වුනා. මේ දවස්වල එහෙම පංති නැතුවම බෑ වගේ - සමරසේනලත් ළමයි පංති වලට යවන්නේ! එළවලු විකුණන සමරසේනට තරම් සල්ලි අගහිග නොතිබුනත් චංදන අමතර පංති නොයෑම දෙන්නටම සහනයක්.

“ඇලිස් මාත් එක්ක ආවොත් මට පුළුවන් පාලම ලඟ බස්සන්ට. විමලලත් එක්ක ඉස්පිරිතාලේ ගිහින් කෙලින්ම ගෙදර එන්ට පුළුවන් නේද?”

“ඔවු… අර උදේ රේඩියෝ එකේ කිව්වා නේද ඔය ගොඩනැගිල්ල කඩාවැටුනේ ඇයි කියලා හොයලා බලනවා කියලා? ඒක ගැන මොකවත් ආරංචිද?”

“බම්බුවක්වත් නෑ… ඔවුන් ඔය ඒ වෙලාවේ ඒක ගැන කෑ ගැහුවට දැන් වෙන මොකවත් හොයාගෙන ඇති කෑ ගහන්ට!”

……………………………..

“පසුගිය ඉරිදා හවස ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිද්ධවූ තුවාල ලැබූවන් ගැන අපි දිනපතා ඔබ දැනුවත් කිරීමට උත්සාහ කළා. ඔබට මතක ඇති අපි පොරොන්දුවුනා ඔබ වෙනුවෙන් මේ විපතට හේතු විපරම් කිරීමට. එයින් සමහර සොයාගැනීම් වාර්තා කරන්න අපි දැන් ලෑස්තියි…”

“… මීට දවස් පහකට ඉස්සර, ඒ කියන්නේ ගිය ඉරිදා, සිද්ධවුන විපත ගැන තොරතුරු එකතු කිරීම පටන්ගත්තේ එදාමයි - එය නිවාඩු දිනයක් බව නොතකා… පොලිසියත් රෝහල්/ගිලන් රථ සේවාවනුත් අපිට වැදගත් විස්තර සපයා දුන්නා. අපි ස්තුති කරනවා ඒ සේවාවන්වල නිරත නිලධාරීන්ට. රාජකාරියේ යෙදෙන මේ අය අපගේ ප්රශ්න වලට ඉතා සැලකිල්ලෙන් උත්තර සැපයුවා. ඒ තොරතුරු වලින් ගොඩනගාගත් විස්තරයයි මම ඔබ වෙත දැන් ඉදිරිපත් කරන්න සූදානම්…”

තත්පර විස්සක දුක්බර සංගීත වාදනයක්.

“මේ ගොඩනැගිල්ල… මේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලා අවුරුදු දෙකක් වහලදාලා තිබුනේ. මේ අවුරුද්දේ මුලදී මෙතන පංති වගයක් පටන්ගත්තා. සිසුවෝ සියයකට වැඩි පිරිසක් මේ පංති වලට සහභාගිවුනා සාමාන්ය පෙල වගේම උසස් පෙල විභාග වලට ලෑස්ති වෙන්න. මම දන්නවා මේක අනික් ‘ටියුශන් පංති’ තරම් විශාල නැති බව. විශේෂයෙන්ම, සති අනිතයේ පැවති ගණිත පංති වලට සිසුවෝ පනහකට වැඩිය ආවෙ නෑ… හොඳ වෙලාවට! අපි පැහැදිලිවම කියන්න ඕනෑ මෙතන ගුරුවරු, පාසැල් ප්රධානියෝ, ගොඩනැගිලි හිමිකරුවෝ… මේ කිසි කෙනෙක් වෙත අපි චෝදනාවක් එල්ල කරන්නෙ නෑ - අපේ පරමාර්තය ඒක නෙවෙයි. එවැනි ස්ථාවර අයිති වෙන අයට - මාධ්ය ආයතන වලට නොවෙයි…”

“… පොලිසියත් පාසැල් පාලකයොත් මේ විස්තර අපිට ලබා දුන්නේ… ඒ වගේම තුවාල ලැබූවන් සහ ඔවුන්ගේ තත්වය ගැන තොරතුරු අපි ලබා ගත්තේ ගිලන් රථ සහ රෝහල් සේවකයන්ගෙන්. ඒ අනුව මේ වෙනකොට තවම රෝහලේ නැවතී ඇත්තේ සිසුවෝ දෙදෙනෙක් පමණයි. අපි සතුටු වෙනවා පසු ගිය දවස් හතර ඇතුලත රෝහල්ගත වී සිටි දොලොස් දෙනෙක් තම නිවෙස් බලා යෑම ගැන. අපේ සෞඛ්ය සේවාවන්ගේ අගය අපිට එයින්ම වැටහෙනවා… රෝහලේ ඉතිරි වී ඉන්න සිසුවෝ දෙදෙනාත් අද පිටවී යෑමට නියමිත බවත් අපිට දන්වා තියෙනවා - තවත් සතුටුදායක ආරංචියක්…”

“… සතුටුදායක ආරංචි සෑම පැත්තෙන්ම එයි කියලා අපි බලාපොරොත්තුවුනේ නෑ. ඒක සාමාන්ය දෙයක්. සියයට සියයක් ප්රතිඵල ලැබෙන්නේ කලාතුරකින්… මීට දවස් හතරකට ඉස්සර, ඒ කියන්නේ ගොඩනැගිල්ල කඩා වැටුන දවසට පසුවදා, සඳුදා, අපි නගර සභාවෙනුත්, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙනුත් අදාල තොරතුරු ඉල්ලා හිටියා. මේවා ගොඩනැගිල්ලේ අයිතිය වගේම එහි වාසයෝග්යතාව වැනි දේ ගැන කරුණු එකතු කිරීමට…”

“මට කනගාටුයි කියන්න…අද වෙන තෙක් අපිට ඒ දත්ත ලැබී නෑ…”

“අපේ ලිපි/දුරකතන ඇමතුම් වැනි දේ වලට වගකියයුතු නිලධාරි උත්තරයක් තවම නෑ…”

“හමුවීම් ඇයදුම් වලටත් ප්රතිචාර තවම නෑ…”

නැවතත් තත්පර විස්සක සංගීත වාදනයක්.

“නමුත් අපි පසුබට වෙන්නෙ නෑ… අපේ නාලිකාවට සවන් දෙන ඔබට නැගී එන ප්රශ්න වලට උත්තර සැපයීම අපේ වගකීම බව මම නැවතත් ප්රකාශ කරන්න කැමතියි”

“අපේ විකාශනයේ අවසාන කොටස හැටියට මම කැමතියි ඔබට විශේෂ අංගයක් ගෙන එන්න… ගොඩනැගිල්ල කඩාවැටීමෙන් තුවාල ලබා රෝහල් ගතවී සිට අද පිටවී යන ලානී ගොඩවත්ත මෙනෙවිය සමග සාකච්ඡාවක්!”

විනාඩියක ප්රබෝධවත් සංගීත වාදනයක්. කතාව පටන්ගැනෙන්නේ ගැහැනු කටහඬකින්.

“ආයුබෝවන්! … දැන් මා සමග මෙතන ඉන්නේ තුවාල ලබා රෝහල් ගතවූ පහලොස් හැවිරිදි මිස් ලානී ගොඩවත්තයි. ආයුබෝවන් ලානී!”

“ආයුබෝවන්!”

ඒ කට හඬ දුර්වලයි. ලාබාල සුරතල් හඬක්.

“ලානිට කතා කරන්න අමාරු නම් කියන්න”

“… නෑ…”

“ඉස්සරවෙලාම ලානී ගැන යමක්… ලානිගෙ තාත්තා ගුරුවරයෙක් නේද?”

“… ප්රින්සිපල්…”

“අම්මා?”

“… ටීචර්…”

“ලානිට අයියෙක් ඉන්නවා නේද?”

“ඔවු … දැන් කොළඹ…”

“මොකද එහෙ කරන්නේ?”

“…ක්රිකට් ගහනවා… “ (පොඩි හිනාවක්)

“අයියා ක්රිකට් වලට දක්ෂද?”

“… ඔවු… එහෙම තමා අයියා කියන්නේ!” (වැඩිපුර හිනා)

“හරි… ලානිට මතකද මොකද වුනේ කියලා ඉරිදා පංතියේදී?”

“… එක සැරේම… එක සැරේම මේස හෙල්ලෙනවා… මම වැටුනා…”

“අනික් ළමයි?”

“… අනික් ළමයි… මං දැක්කෙ නෑ… සේරම ටිකක් අඳුරු වෙලා ගියා…”

“කලන්තේ වගේ දැනුනද?”

“වෙන්න ඇති…”

“ඊලඟට මතක මොනවද?”

“… තාත්තා ඇඳ ලඟ… මම ඉස්පිරිතාලේ… වේදනාව…”

“වතුර ටිකක් ඕනද?’

වතුර බොන සද්දේ. වීදුරුවක් බිම තියන සද්දේ.

“තුවාල වුන අනික් අය කවුද කියලා දන්නවද?”

“... නෑ…. කවුරුත් මොකවත් කිව්වෙ නෑ… හුඟක් අයට තුවාලද?”

“ගුරුවරු දෙන්නයි ළමයි දොලහයි… හැබැයි හතර දෙනයි ඉස්පිරිතාලේ නවත්ත ගත්තේ… ලානියි සන්ජය කියල ළමයෙකුයි තමා අද අන්තිමට ගෙදර යන්නේ … සන්ජය දන්නවද?”

“…ම්… සන්ජය… සන්ජය කෙනෙක් හරියටම මතක නෑ… සොරි… මට නිදි මතයි… සොරි..”

“මමයි සොරි කියන්න ඕනෑ කරදර කරාට. අපි පස්සේ දවසක ආයෙත් කතා කරමු. ආයුබෝවන්!”

……………………………..

ඇලිස් නැගිටලා රේඩියෝ එක නිවලා සේනක දිහා බැලුවා.

“ඒකි දැනටම ටීවී ගිහින් වගේ!”

ඇලිස්ගෙ වචනේ සැරට සේනකයි චංදනයි ගැස්සිලා ගියා. චංදනa තාත්තා දිහා බැලුවහම සේනක හෙමින් ඔළුව එහාට මෙහාට කරා. සංඥාව වටහාගත් චංදන හෙමින් නැගිටලා මිදුලට බැස්සා. සේනක කතා කරේ බොහෝම හෙමින්.

“මොකද ඇලිස් ඔය හැටි තරහ?”

ඇලිස් බිම බලාගෙන විනාඩියක් ඉඳලා ආයෙත් ඇවිත් වාඩිවුනා.

“මම විමලත් එක්ක එයාගෙ පොඩි එකා බලන්ට අදත් ගියා… හොඳ කොල්ලා. අපි ගිහින් සන්ජයත් එක්ක කතා කරලා පස්සේ ලානී බේබිත් බලන්ට ගියා…”

ඇලිස්ගෙ උගුර හිරවෙනවා වගේ කතා කරන්න අමාරුයි.

“ගොඩවත්ත මැනිකෙයි ලොකුමහත්තයයි තව කීප දෙනෙකුයි එතන හිටියා. මැනිකේ මාත් එක්ක ටිකක් කතා කරලා ලානී බෙබිටත් කතා කරන්ට දුන්නා. බේබිත් හොඳට කතා කරා. බොරු කියන්ට වැඩක් නෑනේ කියලා මම කිව්වා සන්ජය බලන්ට ආපු ගමන් ආවේ කියලා. මගෙන් ඇහුවා ‘සන්ජයට කොහොමද?’ කියලත්… දෙන්නා එක ලඟලු පංතියේ ඉඳගන්නේ… මම වැඩිවෙලා හිටියෙ නෑ ආපහු ගිහින් සන්ජය කොල්ලා ටිකෙට් කපනකන් ඉඳලා අපි තුන්දෙනාම ආපහු ආවා…”

කතාව ඉවර නැති බව වැටහුන සේනක සද්ද නැතුව හිටියා.

“කොල්ලගෙ ටිකෙට් කපන්ට ඉන්නකොට තමා ඔය රේඩියෝ ගෑනියි එයාගෙ ටේප් කාරයෝ එහෙම ආවේ… ඒකයි මට හොඳටම කේන්ති ගියේ - ඒ කෙල්ල සන්ජය අඳුනන්නෙ නැ කියලා රේඩියෝ ගෑනිට කියන්ට තරං ආඩම්බරයි - නොදකින්!”

සේනක කතා කරේ හෙමින්.

“ඇත්තටම අමතක වෙලාද දන්නෙ නෑනේ”

“පිස්සු! ඔය විනාඩි දහයට සේරම අමතක වෙන්ට? එහෙනං ගොං බූරුවෙක් වෙන්ට ඕනෑ! අපි තුන්දෙනා බස් එකට ඉන්නකොට උන්ගෙ කාරෙක එතනින් ගියා - ඒකී අපි දිහා බැලුවෙවත් නෑ!”

සේනක කැමති නෑ ඇලිස් මෙහෙම ගමේ අයත් එක්ක තරහ වෙනවට. අනික ලොකුමහත්තයයි නෝනයි හොඳ කට්ටිය. මෙතෙන්දී වෙන වැරදි කාරයෙක් හොයාගන්න එක හොඳම උත්තරේ කියලා සේනකට හිතුනා.

“මං කිව්වේ ඇලිස් ඔය රේඩියෝ පරයෝ ඔහොමමයි කියලා. උන් කියන්නේ උන්ගෙ ඕනෑකම් පිරිමහන්ට ඕනදේ. මුළු ගොඩනැගිලි කතාව තව දිගට ඇදගෙන යන්ට විතරයි ඔය නගර සබාවටයි ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට එහෙම ලෙඩ දාන්නේ… විස්වාස කරපන් ඊලඟට බිල්ඩිම අයිති කාරයන්ට අදියි - කතාව දික් කරගන්ට. වෙන මොකවත් කරන්ට නෙවෙයි… එහෙම එවුන්ට අමාරු නෑ පොඩි කෙල්ලක් ලව්වා ඕන දෙයක් කියවගන්ට… ප්රශ්න අහන විදිහෙන් ඕන උත්තරයක් ගන්ට උන්ට පුළුවන් ඇලිස්…”

සේනක කියන්නේ බොරුවක් වුනත් ඒකේ වටිනාකම ඇලිස්ට තේරිලා මුහුණෙ හිනාවක් මතුවුනා. චංදනත් ඒ වෙලාවේ ආවේ ඇතුලට එන්න හොඳ වෙලාව පරචිත්තඥානයෙන් දැනිලා වගේ.