බැම්ම
චංද්‍රසිරි මාරසිංහ මහතා කල්පනාවෙන් පරිගණකය දිහා බලාගෙන හිටියේ අතේ තිබුන කෝප්පයෙන් තේ උගුරක් බොන්නවත් අමතක වෙලා වගේ. ඔහුගෙ මුහුණේ ඇඳී තිබුන දුක්බර සිනාවෙන් පෙන්වුනේ සිදුවී ඇති මහා විපතක් පිළිගැනීම මිස සතුටක් නොවෙයි. මෑත කාලයේ ඔහු අන්තර්ජාලයේ ලංකා පාර්ලිමේන්තු සජීවී විකාශන බැලුවේ පරණ පව් ගෙවීමක් හැටියටයි. ඒ සෑම අවස්ථාවකම ඔහුට දැනුනේ දැඩි ශෝකයක්. ඔහුගේ සිතට ඇති එකම සතුට තම කිට්ටුවන්තයන් දැන් මේ දුකෙන් මිදී සිටීමයි. තම දුව බෑනත් ළමයි දෙන්නත් සමග රට හැර ගිහින් දැනට අවුරුදු දෙකකටත් කිට්ටුයි.
පාර්ලිමේන්තුවේ දිනපතා නැටවෙන නාඩගම් වලට මූලික වගකීම තමා සතු බව බව මාරසිංහ දැන් පිළිගන්නවා. නමුත් පිරිසිදු, සදාචාරාත්මක සිතකින් ලොවට හඳුන්වාදුන් තාක්ෂණයක් අයුතුලෙස පාවිච්චිවනවා දැකීම ඔහුට දැරිය නොහැකි දුකක්. ඒ නොමගයෑම සිද්ධවුනේ කෙසේදැයි නොදැනීම ඔහුගේ විද්‍යාඥ මනසට තවත් පීඩාවක්.
‘… මම කවදාවත් හිතුවෙ නෑ මේ යක්කුන්ට තමංගෙ පෞද්ගලික ප්‍රශ්න රටේ ප්‍රශ්න වලට වඩා ලොකුවෙයි කියලා… තමාගේම ඉල්ලීමක් නිසා දුවයි බෑනයි උපකරණයේ පාවිච්චිය පහසු කිරීමේ ප්‍රතිවිපාකද දැන් මේ සජීවී විකාශන වලින් පෙනෙන්නේ? දේශපාලකයෙකුට වුනත් භාවිතය කළහැකි තරමට උපකරණය පරිශීලක-හිතෛෂී කිරීම හරිද?...’
පුටුවේ පිටිපසට ඇදී සිවිලිම දිහා බලාගෙන ඔහු අතීතය මෙනෙහි කළා.
……………………………………..
තමාගෙ බෑනා බස් එකෙන් බැහැලා එනවා දැක්ක මාරසිංහට ලොකු සතුටක් ඇතිවුනා.
“මාලී තවම ලැබ් එකේ?”
“… තව ටිකකින් එයි. අද සෙමිනා එකක් දෙන්ට අහුවෙලා… කෑමත් අරගෙන එයි”
තනියම ජීවත්වෙන මාරසිංහ සිකුරාදා වෙනතුරු බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. තවමත් ජීවතුන් අතර ඉන්න පවුලේ අය සමග වේලක් හවුලේ භුක්ති විඳීම ඔහුගේ සතියේ උච්චස්ථානයයි. කෑමත් සතුටු සාමීචියත් වගේම ඔවුන්ගේ විද්‍යාගාරයේ වැඩ කටයුතු වල ‘ප්රගති වාර්තාවත්’ ඔහු ලබන සතුටට ඉතා වැදගත් වුනා.
මාරසිංහ විශ්‍රාම ගියේ වයස 53දී. දක්ෂ භෞතික විද්‍යාඥයෙක් මෙන්ම ජනප්‍රිය කථිකාචාර්ය වශයෙනුත් නම් දැරූ මහාචාර්ය මාරසිංහ රජයේ ඇමති කෙනෙකුට ‘වැරදි’ උපදෙස් දීමේ වරදට චෝදනා ලැබුවා. ඒ වරදට සමාව ඇයදීමට ඇමති තුමා කොතරම් අවස්ථා සලසා දුන්නත් ඔහු ඒවා බාර නොගෙන වහාම විශ්‍රාම යෑමට තීරණය කළා. සමහරු කිව්වේ ඊට වසර දෙකකට පෙර තම බිරිඳ හදිසි අනතුරකින් මිය යෑමත් විශ්‍රාම ගැනීමට එක හේතුවක් බවයි.
ඇමති තුමාට වීරුද්ධ කිසි ප්‍රකාශයක් නොකල මාරසිංහ වඩාම කලකිරුනේ අවශ්ය විට තමාට සහය නොදැක්වූ සගයෝ ගැනයි. එනිසා ඔහු ඉන් ඉදිරියට පරණ සගයන් සමඟ කිසිම ආශ්‍රයක් පවත්වාගෙන ගියේ නෑ. ආර්ථික අතින් පීඩාවක් නැති ඔහු තමාගෙ ඉතිරි ජීවිත කාලය එකම දරු හිමාලී දුවගේ අධ්‍යාපනයත් වෘතීය දියුණුවත් සඳහා කැප කළා.
භෞතික විද්‍යාව හදාරන්න හිමාලිට තමා දිරි නොගැන්නුවත් ඈ ඒ ක්ෂේත්‍රයට පිවිසී තමාගේ විෂයම වැලඳ ගැනීම ගැන මාරසිංහ සතුටුවුනා.
“ප්‍රියන්ත… අපි දුව එනකං තේ එකක් බොමුද?”
“මං හදන්නම් - බිස්කට් එකක්වත් තියෙනවද හපන්ට?”
මේ කතාබහ සැම සිකුරාදටම සිද්ධ වෙනවා, හිමාලී එතන හිටියත් නැතත්. ප්‍රියන්ත හිතුවේ තම ගුරුතුමාට එයාගෙ දුවත් සමග තනියම කතා කරන්න ඉඩ සලසාදීම පවුලේ එකමුතුවට වැදගත් රුකුලක් කියලා. ඒ නිසාමයි ප්‍රියන්ත ‘සිකුරාදා තේ ලෑස්ති කිරීමේ සම්ප්රදාය' නොපැකිළී බාර ගත්තේ. මාරසිංහත් ඒ කැපවීම අගය කළා.
පුටුවෙන් නැගිට කුස්සිය පැත්තට යන ප්‍රියන්ත දිහා මාරසිංහ බලාගෙන හිටියේ සිනා මුහුණින්. තමාගේ දක්ෂම ගෝලයකුවූ ප්‍රියන්ත රාමනායක හිමාලිගෙ ප්රයේෂණ මාලාවට සම්බන්ධ වෙලා දැනට අවුරුදු පහකටත් වැඩියි. දෙදෙනාගේ අනුපූරක නිපුණතා නිසා එය ඉතා වටිනා සම්බන්ධයක් බව මාරසිංහට පැහැදිලියි.
මාරසිංහ ප්‍රියන්ත මුළින්ම දුටුවේ සරසවියේ දෙවෙනි වසරේ කලබලකාරී සිසුවෙක් ලෙසයි. රසායනාගාරයක හොර අරක්කු පෙරිමක් නිසා දඬුවම් ලැබීමට නියමව සිටි ප්‍රියන්ත එයින් ගලවා ගත්තේ මාරසිංහයි. සරසවියෙන් නෙරපීම ප්‍රියන්තගේ තියුණු බුද්ධියත් භෞතික විද්‍යාවට ඇති නැඹුරුවත් අපතේ යැවීමක් බව පාලකයන්ට පෙන්වාදෙන්න මාරසිංහ සමත්වුනා. ‘රා ප්‍රියන්ත' ලෙස නම් ලැබුවත් ඔහු ඉන් පසු රසායන විද්‍යාවෙන් ඉවත්වී මහාචාර්ය මාරසිංහ යටතේ භෞතික විද්‍යාවට තම ජීවිතය සම්පූර්ණෙන් කැපකළා. ඒ කාලෙමයි ප්‍රියන්ත මහාචාර්ය මාරසිංහට ‘ප්‍රොෆ්’ යනුවෙන් අමතන්නත් පුරුදුවුනේ.
හිමාලී කාරෙක ගේට්ටුවෙන් ඇතුලට ගන්නවා දැකපු වහාම මාරසිංහ පුටුවෙන් නැගිට්ටේ දුවගෙ පුරුදු වැළඳගැනීමට ලෑස්තියෙන්. පළමුව තමා ගෙනා කෑම පාර්සල් ඉස්තෝප්පුවේ පුටුවක් උඩ තියලා දුව වෙනදටත් වැඩිය තදින් අප්පච්චීව වැළඳගත්තා. ඒ වෙනස මාරසිංහට දැනුනා.
“ගුඩ් නිව්ස් වගේ…”
“අප්පච්චී පටන්ගත්ත ප්‍රොජෙක්ට් එක… අපි දාපු වේරියේශන් එක්ක… වැඩ කරයි වගේ!”
මාරසිංහ ආයෙත් දුව බදාගෙන පොලවෙන් උඩට උස්සන්න අසාර්ථක උත්සායක් දැරුවා. දෙන්නටම හිනාව, කඳුළු එක්වූ හිනාව, නවත්වාගන්න අමාරුවුනා.
“පරෙස්සමෙන් - කොන්දත් එක්ක කඩා ගන්ට එපා, මාව උස්සන්ට ගිහින්!”
මාරසිංහ ආයෙත් වාඩිවෙලා ලඟ පුටුවකට තට්ටු කරේ දුවට වාඩිවෙන්න ආරාධනයක් ලෙසයි. නමුත් හිමාලී කෑම පාර්සල් අතට ගත්තා.
“මේවා ඇතුලේ තියලා ඇවිත් ප්‍රියන්තත් එක්කම ඩීටේල්ස් කතා කරමුද? තේ එකක් බිබී? මේක අපි තුන්දෙනාගෙම ප්‍රොජෙක්ට් එකක්…”
…………………………………..
“ඉතින් අපි කරපු වැඩ සමරි එකකින් පටන්ගමුද? ප්‍රියන්ත කියනවද ඒ ටික? මම ස්නසාවේද, නියුරොලොජිකල්. කෑල්ල කියන්නම්…”
ප්‍රියන්ත තේ උගුරක් බීලා කතාව පටන්ගත්තා.
“අපි හදපු අලුත්ම උපකරණය ප්‍රොෆ් ඒ දවස්වල හදන්න ප්ලෑන් කරපු එකට වඩා වැඩි වෙනසක් නෑ. අපි එලියට එන විකිරණ තරංග ආයාමය, වේව්ලෙන්ත් එක, ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් වෙන්න හැදුවා… ඒ වගේම විකිරණ විහිදෙන දුරත් වෙනස් කරන්න ලේසි කරා… මේ වෙනස් දෙකේම දත්ත අපි එකතු කරා - මුල ඉඳන් අගට… මේ සේරම ප්‍රොෆ් දැනටමත් දන්නවා, අපෙ සිකුරාදා හමුවීම් නිසා…ඊට පස්සේ අපි උපකරණයි පුළුවන් තරම් කුඩාවට හදන්ට අවශ්‍ය දේ කරා. දැන් මේ රිමෝට් කොන්ට්රෝල්ඩ් ගැජට් එක ගිනිපෙට්ටියක සයිස්”
ප්‍රියන්ත තේ උගුරක් බීලා සාක්කුවට අත දැම්මා.
“මෙන්න අපෙ වැඩ කරන ආකෘතිය! මම බැට්රි ගලවලා තියෙන්නේ”
සාක්කුවෙන් එලියට ගත්ත පොඩි පෙට්ටියක් මාරසිංහට දීලා දිගටම කතා කරගෙන ගියා.
“මේ අලුත්ම මොඩල් එක අපිට හුඟක් උදව් වුනා ලැබ් එකෙන් පිටත කරපු ප්ර්යේෂණ වලට…. නමුත් මොඩල් එකට කරපු වෙනස්කම් වලට වඩා හුඟාක් වැදගත් අපි එකතු කරපු දත්ත… අපි මේ සතියේ කරපු වැදගත්ම දේ තමා පහුගිය සති හතරේ දත්ත විශ්ලේෂණය කිරීම… ඒ ගැන මාලී තමා දන්නේ මට වැඩිය…”
හිමාලී කතා කරන්න පටන්ගත්තේ මාරසිංහ ඇය දෙසට හිසනමා කතාවට ආරධනා කිරීමෙන් පසුවයි.
“ගිය සති කීපේ අපේ පර්යේෂණ වලට සරසවි රඟහල ලැබීම නිසා ස්වේච්ඡාවෙන් සහභාගිවෙන්නෝ සොයාගන්න අමාරුවුනේ නෑ. අපේ මුදලෙන්… ඇත්තම අප්පච්චී දීපු මුදලෙන්… හොඳ චිත්‍රපටි කීපයක් පෙන්වන්න අපිට පුළුවන් වුනා. ප්රේක්ෂකයෝ දෙසීයක් විතර හැම දර්ශනයටම ආවා… දර්ශනයට පෙරත්, මැද විරාමයෙත්, දර්ශනය අවසානයෙත් ඔවුන් ප්‍රශ්නාවලියකට උත්තර සැපයුවා. බොහොම ප්‍රවේසමෙන් සැලසුම් කළ මේ ප්‍රශ්නාවලි මනෝවිද්යා දෙපාර්තමේන්තුවෙන් වලංගු බව සනාථ කරලා තිබුනේ… ඒකයි අපිට විශ්වාස කරන්ට පුළුවන් වෙන්නේ අපිට දැනට එකතුවෙලා තියෙන දත්ත… මේවා අප්පච්චිට අලුත් නැතිවුනත් මම මේ ටික කිව්වේ අපි අලුතෙන් කරපු දේ ගැන කියන්ට ඉස්සර…”
මාරසිංහ හිනාවුනා.
“ඉතින් ඇයි ගණන් උස්සන්නෙ නැතුව කියන්නෙ නැත්තේ?”
“තව ටිකක් පසුබිම ගැන කතා කරාට කමක් නැද්ද? …රයිට්!…. අපිට චිත්‍රපටි වලින් ලැබුන දත්ත හොඳටම හොඳයි… ඒ කියන්නේ, බලාගෙන හිටපු අය චිත්‍රපටියට කොයි තරම් හිත යොමු කරලද කිව්වොත් විරාමයේ අහපු ප්රශ්න වලට ලැබුනේ සම්පූර්ණෙන්ම වෙනස් උත්තර. ප්‍රශ්නාවලියට චිත්‍රපටියට ඉස්සරයි පස්සෙයි ලැබුන උත්තර එක වගේ නමුත් විරාමයේ ලැබුන උත්තර හුඟක් වෙනස්…. මේක ප්රේක්ෂකයෝ සියයට අනූවකට වැඩි ගණනක් පෙන්වුවා. ඒ කියන්නේ මේ අහම්බෙන් සිද්ධවුන දෙයක් නෙවෙයි - උපකරණය ඇත්තටම වැඩ කරනවා අප්පච්චී බලාපොරොත්තුවුන විදිහට!”
හිමාලී තේ උගුරක් බිව්වා.
“මෙන්න අලුත් කෑල්ල… හොඳ චිත්‍රපටියකට තදින් හිත යොමු කරපුවම අවට ලෝකේ ටිකකට අමතකවීම පුදුමයක් නෙවෙයි - චිත්‍රපටි හදන අයගෙ ඉලක්කයත් ඒකයි. නමුත් බෝරිං දේශනයක්? තමාට වැදගත් නැති දෙයක් ගැන විවාදයක්? අපි මේ දෙකම අත්හදා බැලුවා මේ සතියේ… ඒවටත් ලැබුන ප්‍රතිචාරය චිත්‍රපටි වලට වගේමයි!”
ඒ සැරේ ටිකක් දිග නිහඬතාවයක්. මාරසිංහ විද්‍යාඥයෙක් හැටියට මේ ගැන හිතලා බැලුවා. මේ සොයාගැනීමේ පලවිපාක තමා හිතුවාටත් වැඩිය වැදගත්… ඒ වගේම භයානක… විය හැකියි. හිමාලී අප්පච්චී දිහා බලාගෙන හිටියේ ඉමහත් සතුටෙන් - අප්පච්චිගෙ අදහසක් ක්‍රියාකාරී කිරීමට ප්‍රියන්තත් තමාත් සමත්වීම ගැන. ප්‍රියන්ත කල්පනාකළේ තමා නිපදවූ උපකරණය තවත් දියුණු කරන්න ක්‍රම ගැනයි.
මාරසිංහගේ පළමු ප්‍රශ්නය විද්යාව ගැන නොවෙයි. ප්‍රශ්නය ඇහුවෙත් සිනා මුහුණින්.
“මේකට තවම නමක් දුන්නෙ නැද්ද?”
තුන් දෙනාම හිනාවුනා. හිමාලී විතරයි යමක් කිව්වේ.
“ඒක අප්පච්චිට අයිතියි - අදහසේ පළමු අයිතිකාරයා හැටියට… ප්‍රියන්තත් ඒකට එකඟයි”
“බැම්ම! ඒකට මම දමන නම ‘බැම්ම’. දුවලගෙ දත්ත හැටියට මේ ගැජට් එකට පුළුවන් යම්කිසි අවකාශයක් වටා බැම්මක් බඳින්ට… බැම්ම ඇතුලේ ඉන්න වෙලාවේ හිතන්නේ එක විදිහකට, එලියේ ඉන්න වෙලාවේ වෙන විදිහකට… නියම, අදිසි බැම්මක්!”
“නියමයි ප්‍රොෆ්! මාලී මොකද කියන්නේ?”
“හරියටම ගැලපෙනවා - අද ඉඳන් අපි වැඩ කරන්නේ ‘බැම්ම’ එක්ක!”
මාරසිංහගෙන් ප්‍රියන්ත වෙත එල්ලවූ තාක්ෂණික ප්‍රශ්න මාලාවත්, හිමාලී වෙත යොමුවුන ආචාරධර්මී ප්‍රශ්නත් සමගයි තුන්දෙනා රෑ කෑමට වාඩිවුනේ.
දුවයි ප්‍රියන්තියි ගියාට පස්සේ මාරසිංහ ඇඳට ගියේ බර කල්පනාවකින්. ඇඳේ වැතිරිලා ඔහු ගැඹුරින් හිතන්න පටන්ගත්තේ තමාගේ මනසෙන් බිහිවී දැන් වැඩිවිය පැමිණ ඉන්න ‘බැම්ම’ ගැනයි.
මුල් දවස්වල සිසුන්ට තමාගේ දේශන වලට සිත් යොමුකරවන අධාරකයක් ලෙස විද්‍යුත් චුම්බක තරංග උපයෝගී කරගෙන මොලයේ නියුරෝන වල ප්‍රේරණය කරන සිග්නලයක් හරහා මිනිස් සිතේ එකඟතාවය දියුණු කිරීමට කඩදාසියක පැන්සලෙන් ඇඳුනු සැලස්මක් දැන් ‘බැම්ම’ නමින් ඉලෙක්ට්රොනික උපකරණයකට පරිණාම වෙලා ඉවරයි.
හිමාලිගෙයි ප්‍රියන්තගෙයි කැපවීමෙන් බැම්මේ භාවිතය පහසුවුනා වගේම ක්රියාකාරිත්වය ඔප්පු කළ හැකි තරමින් වැඩිදියුණුවුනා. එය දේශන ශාලාවක් වටා පමණක් නොව, පුස්ථකාලයක්, රඟහලක් වැනි තැනක් වගේම දේශපාලන රැස්වීමක් වටා වුනත් ලේසියෙන් බඳින්න පුළුවන්. බැම්ම ක්රියාකාරී කිරීමට අවශ්ය වෙන්නේ ගිනිපෙට්ටියක් තරමට කුඩා පෙට්ටියක් පරිසරයටත් ප්රේක්ෂක සංඛ්යාවටත් ඔබින තැනක තැන්පත් කිරීම පමණයි.
අනික් අතට, විද්යාවට මුල්තැන දුන්න මේ ව්යාපෘතිය එහි සමාජ බලපෑමේ වැදගත්කම ගැඹුරින් හදාරා නැති බව මාරසිංහට වැටහුනා. ඒ සමගම ඉල්ලමකින් නිල් මැනිකක් පෑදී එන්නා වගේ ඔහුගේ සිතේ බොහෝ කලක් සැඟවී තිබූ දහසක් දීප්තිමත්ව බැබලෙමින් ඉදිරියට ආවා.
‘පාර්ලිමේන්තුව වටා මේ වගේ බැම්මක් බැන්දොත් අපේ දේශපාලකයන්ට පුළුවන් වෙයි කිසිම පිටස්තර සිතුවිලි වලින් බාධාවක් නැතුව රටේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කාට හරි කතා කරලා බලන්න වටිනවා…’