මැරයෝ
“ආයෙත් ඉස්කෝලෙක වෙඩිතැබීමක් - ඇමෙරිකාවේ”
ඔපිසර නිලමේ අද හවස කතාවට මාතෘකාව සැපයුවේ තේ කෝප්පේ අතට ගත් වහාමයි. මම මීට ඉස්සරත් කියලා තියෙනවා වගේ අපෙ අම්මගෙ මාමා කෙනෙක් වෙන ඔපිසර නිලමේව කවුරුත් ඇමතුවේ ‘ඔපිසර නිලමේ’ කියලා මිස නෑ කමකින් නෙවෙයි; උන්දැගෙ දරුවොත් එහෙමලු! හැත්තෑ පහක්වත් වයස ඇති නමුත් උන්දෑ හැසිරුනේ විහිළුවටත් විවාදෙටත් කැමති පිස්සු කොල්ලෙක් වගේ.
ඔපිසර නිලමේ ඇවිත් අපේ ගෙදර රැයක් නැවතුනොත් හවස තේ වෙලාවේ පටන් රෑ කෑම දක්වා අම්මයි තාත්තයි මායි එක්ක යම් කිසි තේමාවක් මුල් කරගෙන සාකච්ඡා කරනවා. මට මේ සාකච්ඡා ඉතාම රසවත්.
“අනේ අහනකොටත් ඇඟ හිරිවැටෙනවා… ඔය කීවෙනි එකද මේ අවුරුද්දේ?”
අම්මට ඇත්තටම හිතට අමාරුයි වගේ.
“අමිතා… ඕන එකෙකුට තුවක්කු ගන්ට ඉඩදීපුවම ඕක තමා වෙන්නේ”
“හැබැයි ඉතින් අහිංසක දරුවන්ට වෙඩි තියන්නේ?”
අපි කතා නැතුව විනාඩියක් හිටියා. ඉස්සරවෙලාම කතා කරේ තාත්තා.
“මං හිතන්නේ වෙඩි වදින්නේ කාටද කියන එක ඒ තරමට වැදගත් නෑ… ඒ කියන්නේ ඒ අහිංසකයෝ මලාට කමක් නෑ කියලා නෙවෙයි - වෙඩි තියන මැරයට ඒක වැදගත් නෑ කියලා…”
“එහෙම කියන්නේ කොහොමද?”
“මං හිතන්නේ ඔය තුවක්කු වනන එකාගෙ ඔළුවේ තමා ලෙඩේ තියෙන්නේ උපුල්, කාට වෙඩි තිබ්බත් ඌට ප්‍රශ්නයක් නෑ”
“සෙනරත්ගෙ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා… අපි බලන්න ඕනෑ මතුපිටින් පෙනෙන්න තියෙන ‘ඇත්තට’ වඩා ගැඹුරින් තියෙන ඇත්තක්… ඒ කියන්නේ මේ වගේ මැරකම් වලට පිළියමක් සොයන්න ඕනනම්…”
‘ඔන්න අද මාතෘකාවට ආවා’ කියලා මට හිතුනා.
ඔපිසර නිලමේ පත්තරයක් පවා කියවන්නේ වචන මතුපිටින් දෙන අදහසට යටින් සැඟවී ඇති අදහසුත් උරාගන්න චේතනාවෙනුයි. මේ ගැන ඔහු වරක් කීදේ මට තාම මතකයි. “මාද්යවේදියෙක් යම් සිදුවීමක්, තැනක් හෝ පුද්ගලයෙක් විස්තර කරන්නේ තමාගෙ දැනීම, හැකියාව, පක්ෂපාතිත්වය වැනි කාරණා වලින් සපයන මග පෙන්වීම් අනුවයි. ලියවෙන විස්තරය ‘ඇත්ත’ වෙන්නේ ඒ මාද්යවේදියාට විතරයි - ඒත් මිනිහා සම්පූර්ණෙන්ම අවංකනම් විතරයි. එයාගෙ ඇත්ත අනිවාර්යෙන්ම අපේ ඇත්ත වෙන්නෙ නෑ….මම කියන්නේ කවුරුත් ලියන දෙයක් කියවලා වැඩක් නෑ කියලා නෙවෙයි. මාද්යවේදියගෙ අඩුපාඩු හා සීමා මතක තියාගෙනයි යමක් කියවන්න ඕන”
අම්මා කැමතියි පිළියම් සොයන කතාවට.
“ඔපිසර නිලමේ කියන්නේ රටේ මිනිසුන්ගෙ මානසික ලෙඩට බෙහෙත් දෙන්ට කියලද? ඊට වැඩිය ලේසි නැද්ද තුවක්කු තහනම් කරන එක?’
ඔපිසර නිලමේ හිනාවුනේ කතාව තමාට ඕන පැත්තට හැරවුන බව පෙනිලා වගේ.
“අමිතගෙ කතාවත් හරි; සෙනරත්ගෙ කතාවත් හරි.නමුත් ඒ දෙක තියෙන්නේ මට්ටම් දෙකක. ඉස්සරවෙලා අමිතගෙ අදහස….”
“එකසත් ජනපද ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනය අනුව ඕනෑම පුරවැසියෙකුට ගිනිඅවියක් තියාගැනීමේ අයිතිය තියෙනවා… ඒක වෙනස් කරන්න අමාරුවෙන්න හේතු කීපයක් තියෙනවා. රටේ ‘දේශප්‍රේමියෝ' හුඟක් ඔය දෙවෙනි සංශෝධනයට සහය දක්වනවා. ඒ වගේම, ගිනිඅවි නිපදවන්නෝ, ගිනිඅවි සමාජ වගේ එකතුවන් රටේ හරිම බලවත්. මං කියන්නෙ නෑ ගිනිඅවි සීමා කිරීමට… මර්ධනයට… සහය දෙන අය නෑ කියලා. විශේෂයෙන්ම මේ වගේ වෙඩි තැබීමකින් පස්සේ. නමුත් ඒ මතක හෙමින් හෙමින් මැකිලා යනවා… තැනින් තැන සමහර ගිනිඅවි වර්ග… ලොකු යුද්ධ වල පාවිච්චිවෙන තුවක්කු වගේ ආයුධ සීමා වුනාට සාමාන්‍ය රයිෆල්, පිස්තෝල වගේ ආයුධ අඩුවක් නෑ කඩවල්වල…මේක නවත්තන්නම බැරි යුද්ධයක් කියලා හිතන්න පුළුවන්..”
“අනික් අතට… අපි හිතමු කොහොම හරි තුවක්කු සීමා කරන්න පුළුවන්වුනා කියලා… හිතමු අපි වගේ කෙනෙකුට කඩේකට ගිහින් තුවක්කුවක් ගන්න තහනම් කියලා… එතකොට ප්‍රශ්නේ ඉවරවෙනවද? මොන පිස්සුද අමිතා - තුවක්කු ගණන අඩුවෙයි හැබැයි මැරකම් අඩුවෙයිද? නීතිගරුක අය තුවක්කු නොගෙන ඉඳියි; තහනම් නිසා. නමුත් මැරයෝ… හොරු… සාමාන්ය ජීවිතේ නීති කඩකරන මිනිස්සු මේ තහනම නිසා සම්පූර්ණෙන්ම වෙනස්වෙලා නීතිගරුක පුරවැසියෝ වෙයිද? …වෙයි සමහරවිට මම හඳට ගිය කාලෙක!”
“සෙනරත්ගෙ ‘මොලේ අප්සෙට් කාරයොත්’ ටිකක් ඒ වගේ නේද? නීතියක් දාලා මොලේ හදන්න බෑ… ඊලඟ ක්‍රමය මනෝවිද්‍යාව මගින් පිළිතුරු සෙවීම. ඒ වැඩේ කොච්චර ලොකුද කියලා බලන්න උපුල්ට බාරදීලා අපි තේ බොමු - මං දැනටත් කතා කරා වැඩී!”
ඔපිසර නිලමෙගෙ හැටි එහෙමයි. වැඩිහිටියෙක් නොවුනත් මම කියන දේත් සැලකිලිමත්ව අහනවා, විභාග කරනවා. පංතියේ ගුරුවරු එක්ක වුනත් විවාදයට නොයන මම ඔපිසර නිලමේ සමගනම් ඕන වෙලාවක විවාදයකටත් ලෑස්තියි - හැබැයි බොහොම ප්‍රවේසමෙන්!
“තුවක්කු වලින් අහිංසකයන්ට වෙඩි තියන අය කෝටියට එකෙක්වත් නැතුව ඇති ඇමෙරිකාවේ වුනත්… හැබැයි මානසික ප්‍රශ්න තියෙන්නේ ඒ සුළු ගණනට විතරක් නෙවෙයි, මං හිතන්නේ… එහෙම ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා ටෙස්ට් කරන්න වෙනවා… මුළු ජනගහනෙම. ඒක කරන්ට බැරි වැඩක්! සේරටම කෝවිඩ් බෙහෙත් ගහන්ට බැරිතැන පිස්සුද/නැද්ද බලන ටෙස්ට්? … ඒකත් ඔපිසර නිලමේ හඳට ගිය කාලෙක!”
මට සතුටක් ඇතිවුනා මගේම තර්කානුකූල උත්තරෙයි අවසන්කළ විහිළුවයි ගැන.
තාත්තා තවත් අදහසක් එකතුකරා.
“පිස්සු කියන වචනෙට කැමති නැතිවුනාට මම ඒකම පාවිච්චි කරනවා තව පොයින්ට් එකක් මතුකරන්න… එහෙම යමක් ටෙස්ට් කරන්න ඉස්සර ටෙස්ට් කරන්නේ මොකද්ද කියලා හරියටම දැනගන ඉන්න ඕනෑ. මානසිකව අපි හැමෝම ඉන්නේ පිස්සු-පිස්සු නැති සීමා දෙක අතරේ යම් තැනක. වෙන වෙන අය සියයට බිංදුවේ ඉඳන් සියයට සීයක් වෙනතුරු පිස්සු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනගහනය එහෙම පිස්සු ඇති/නැති කියලා දෙකට බෙදන්න බෑ… මනින්නේ මොකද්ද නොදැන ටෙස්ට් කරන්නවත් පිළියම් සොයන්නවත් බෑ!”
ඔපිසර නිලමේ කතාකළේ හිනා මුහුණින්.
“ඒ කියන්නේ නීතියෙන් තුවක්කු තහනම් කරලත් බෑ, ඊට ගැඹුරට ගිහින් මානසික පිළියම් සොයලත් බෑ… ඒ කියන්නේ මේ මැරකම් නවත්තන්නම බැරිද? ඇමෙරිකාව එක එකා මරාගෙන ඉවරයක් වෙනතුරුද අපිට ඉන්න වෙන්නේ?”
අපි සේරම දන්නවා ඔපිසර නිලමෙට උත්තර වලින් හිඟයක් නැති බව. මෙහෙම ප්‍රශ්නයකින් සාකච්ඡා ඉවර වෙන්නෙ නෑ. මට මතක්වුනා එයාගෙ අවවාදය, මාද්‍යවේදීන් ගැන.
“පත්තරේ ලියවිලා තියෙන එකට වඩා පුළුල්ව, ගැඹුරෙන් හිතන්න වෙයි විසඳුමක් හොයන්ට නේද?”
“උපුල් යන පාර හරි… තව ටිකක් ගැඹුරට හිතුවොත් උත්තරේට කිට්ටුවෙයි… උපුල්ම උත්සාහ කරලා බලනවද?”
මෙහෙම කියලා ඔපිසර නිලමේ ආයෙත් තේ කෝප්පේ අතට ගත්තා.
මම ඔපිසර නිලමේ හිතන විදිහට හිතන්න උත්සාහ කරා. ඔපිසර නිලමෙගෙ අදහස් වලට අස්වාභාවික මායිම් නෑ. ‘ගෙදර ලයිට් ගියාම හුඟක් වෙලාව විසඳුම තියෙන්නේ ගේ ඇතුලෙම නෙවෙයි’ කියලා උන්දෑ කීප සැරයක් මට කියලා තියෙනවා.
පත්තරේ ලියල තිබුනේ එක ඉස්කෝලෙක සිද්ධවුන එක මැර/ත්‍රස්ත ක්‍රියාවක්. ඒ ඉස්කෝලේ, ඒ දවසේ පොලිසිය එතන හිටියානම්, ඉස්කෝලෙට ඇතුල්වෙන සියල්ලෝම ශරීර පරීක්ෂණයකට ලක් කරානම්, නැතිනම් එයාපෝට් වගේ ලෝහ සොයාගන්න එලෙක්ට්‍රොනික මුර ගේට්ටු තිබුනනම්… මේ සිද්ධිය නවත්තන්න තිබුනා. මේ එක ඉස්කෝලේ එක සිද්ධිය.
නමුත් ඒ විසඳුම් හැමදා, හැම ඉස්කෝලේ දක්වා පතුරුවන්න බෑ. ඊට වඩා පුළුල් විසඳුමක් අවශ්‍යයි. පොලිස්කාරයෝ, මුර ගේට්ටු එහෙම නැති විසඳුමක්. එක ඉස්කෝලෙකින් නගරයටත්, නගරයෙන් ප්‍රාන්තයටත්, ප්‍රාන්තයෙන් මුළු රටටමත් ඔබින විසඳුමක් ක්‍රියාත්මක කරන්න පොලිසියෙන් සහ මුර ගේට්ටු වලින් බෑ.
ඇමෙරිකාවේ ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනය නිසා තුවක්කු අයිතිය සීමා කරන්න අමාරුයි. දේශප්‍රේමී කියන අයගේ සහය එහෙමත් නිසා ‘අමාරුයි’ වෙනුවට ‘බෑ’ කිව්වොත් වඩාම නිවැරදියි, මං හිතන්නේ.
එහෙමනම්, වෙනස් කරන්න පුළුවන් මොනවද ඉතිරි වෙලා තියෙන්නේ, තුවක්කු මැරකම් අඩු කරන්න?
මට මතක්වුනා අපෙ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියපු දෙයක්; ‘උපුල් මතක තියාගන්ට, මේ සේරටම මුල අපේ මනස කියලා’.
ඒකයි උත්තරේ! මම මගෙ අදහස සභාවට ඉදිරිපත් කරේ ලොකු බලාපොරොත්තු ඇතුව.
“ඇමෙරිකා එක්සත් ජනපදේ ජීවත්වෙන අය තුවක්කු ගැන හිතන විදිහ වෙනස් කරන්න ක්‍රමයක් තමා හොයාගන්න ඕනෑ”
ඔපිසර නිලමේ විතරක් නෙවෙයි අම්මයි තාත්තයිත් ඒකට හයියෙන් හිනාවුනා. ඉස්සරවෙලාම අම්මා කතා කරේ.
“සේරම හොඳ බෞද්ධයෝ කරන්ට?”
තාත්තා කතා කරේ හිනාව මැද.
“මට සන්තෝසයි උපුල් හරිම ලේසි විසඳුමක් සොයාගත්ත එක ගැන!”
ඔපිසර නිලමේ කතා නැතුව මා දිහා විනාඩියක් බලාගෙන හිටියා. තව තේ උගුරකුත් බීලයි කතා කරේ.
“හරියටම හරි! උපුල් හරි විදිහට හිතලා හරි උත්තරේ හොයාගත්තා… මොලේ පාවිච්චි කරපුවම ඔළුවට මාර අදහස් එනවා නේද? හුඟක් අයට ලේසියෙන් මෙතෙන්ට එන්න බෑ!”
මට ලොකු සතුටක් දැනුනා. අම්මයි තාත්තයි හිනාවුනත් කමක් නෑ, ඔපිසර නිලමේ ‘හරි’ කියනවානම්. පළවෙනි ප්‍රශ්නේ ආවේ තාත්තගෙන්.
“කොහොමද ඔය ප්‍රාතිහාර්‍ය කරන්නේ? රටක බහුතරයක හිත වෙනස් කරන්නේ?”
“සෙනරත් දන්නවා ඒක අමාරු වැඩක් කියලා… අපි ඒක ලේසි කරගමු ප්‍රශ්නේ පටු කරලා ‘ගිනිඅවි අයිතිය අවම කරන්නේ කොහොමද?’ කියලා. හොඳද?”
තාත්තා ඒකට එකඟත්වය පෙන්වුවා ඔළුව ඉහල පහල කරලා.
“අපි දන්නවා ගිනිඅවි අයිතිය ගැන රටේ තියෙන ප්‍රතිචාරය. ඒක රටේ සංකෘතියේ/සභ්‍යත්වයේ කොටසක්, රට ගොඩ නැගිලා තියෙන්නේ මිනිසුන්ට ගිනිඅවි නිදහස මත… දන්නවානේ මිනිස්සු කියන කතා… නමුත් තවත් ප්‍රසිද්ධියේ නොකියවෙන දෙයක් තියෙනවා - තුවක්කුව කියන්නේ බලය”
“තුවක්කුවක් තියෙන මිනිහා තුවක්කුවක් නැති මිනිහට වඩා බලවත්. හරි වැරදි මොක වුනත් බලවත් වෙන්නේ තුවක්කු කාරයා!”
ඔපිසර නිලමෙගෙ හිනාව මේ සැරේ කනගාටුදායක් හිනාවක්.
“ගොවිපලක් වල් සතුන්ගෙන් බේරගන්න තුවක්කු ගන්න ‘නූගත්’ ගොවියෙක් වගේම සති අන්තයේ විනෝදයට සතුන් වෙඩිතැබීමට තුවක්කු ගන්න ‘උගත්’ සරසවි ඇදුරත් හිතන්නේ එක විදිහට. තුවක්කුව තම ජීවිතේ සම්පූර්ණ කරන අවශ්‍ය අංගයක් කියලා. රටේ වැඩි කොටසක්, සෑම තරාතිරමකම අය, එහෙම හිතනවානම් ඒක වෙනස් කරන්න පුළුවන් ඊටත් වඩා ලොකු බලයකට… ආණ්ඩුවට!”
“හැබැයි මෙ සැරේ අපි බලන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලාවත්, නීති රීති හදලාවත් නෙවෙයි… ආණ්ඩුවේ හැසිරීම වෙනස් කිරීමෙන්”
‘ආණ්ඩුවේ හැසිරීම’? මට ඒක මොකද්ද කියලාවත් තේරෙන්නෙ නෑ. නමුත් අම්මයි තාත්තයි යමක් කියනතුරු කට වහගෙන ඉන්න මම තීරණය කරා. මම හිතපු ප්‍රශ්නේ අම්මා ඇහුවා.
“මොකද්ද ආණ්ඩුවේ හැසිරීම? මොන වගේ හැසිරීමක්ද ගැනද ඔය කිව්වේ?”
“ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකේ බලවත්ම රට… ආර්ථික අතින් විතරක් නෙවෙයි ආයුධ අතිනුත්. ඒකාලේ රුසියාවට, දැන් කාලේ චීනෙට එහෙම බලය පෙන්වන්නේ ඩොලර් අහසට විසිකරලා නෙවෙයි - ආයුධ පෙන්නලා. චීනෙත් එහෙමයි. අනික් හුඟක් රටවලුත් එහෙමයි. අපිට පරමාණු බෝම්බ දාහයි, යුද්ධ ජෙට් අටසීයයි… ඒ වගේ කෑගහලා, පාරම්බාලා තමා ලෝකෙට බලේ පෙන්වන්නේ… නේද? ඒක තමා ලෝකේ පිළිගත්ත ක්‍රමය - තමන්ගෙ බලය පෙන්වන්නේ ආයුධ වලින්!”
අම්මට මේකට කැමතිවුනේ නෑ.
“ඉතින් අනික් රටවල් වලින් තර්ජන එනකොට ආරක්ෂාවට එහෙම නැතුව පුළුවන්ද?”
“එහෙම තර්ජන තියෙනවා කියලා කියන්නෙත් ඒ ආණ්ඩුවමයි නේද? කවුද එතකොට ඒකට නෑ කියන්නේ? වෙන රටක් එක්ක හැප්පෙන්න යන්නත් කැමතියි කියන ආණ්ඩුවකට, එහෙම බලවත් ආණ්ඩුවකට, විරුද්ධව කතාකරන කීපදෙනෙක් මර්ධනය කරන එක කජු කනවා වගේ වැඩක්!”
“අල්ලපු රටකින්… ඈත රටකින් වුනත්… තර්ජනයක් තියෙනවානම් ආරක්ෂාව පිනිස වඩ වඩා භයානක ආයුධ නිපදවනවා… නැතිනම් සල්ලිවලට පිට රටකින් ගන්නවා. හරියට අනික් රටවලුත් ඒකම නොකරයි කියලා හිතනවා වගේ! අන්තිමට එක එකා මරාගන්න වියදම් කරන ගණනෙන් මුළු ලෝකෙටම කෑම බෙදලා, සාගත නැති කරලා, වසංගත දුරු කරලා… තේරෙණවා නේද මං කියන දේ? මිනිස්සු ජීවත් කරන්න වැඩිය මරන්න වියදම් කරන ලෝකෙක අපි ඉන්නේ…”
ඔපිසර නිලමේ බිම බලාගත්තේ කතාව සැර වැඩියි කියලා වෙන්න ඇති. නමුත් ඒ සැර කතාව අද මාතෘකාවට සම්බන්ද කරන්න මට ඕනවුනා.
“ඒක කොහොමද ඉස්කෝලවල වෙඩි තැබීමට සම්බන්ද වෙන්නේ?”
ඔපිසර නිලමෙට විනාඩියක් ගියා උත්තරේ සපයන්න.
“ආණ්ඩුව ලෝකෙට සැර දාන්නේ එහෙමනම් අපෙ අල්විස් කඩේ මුදලාලී අල්ලපු ගෙදර අයට සැර දාන්නෙත් එහෙම තමා… අපෙ ආණ්ඩුවත් කරන්නේ එකනේ… එයත් ඒ විදිහටම හැසිරෙනවා… කොහෙදෝ පිස්සු කොල්ලෙක් තුවක්කුවක් අරගෙන ඉස්කෝලෙකට යන්නෙත් ආණ්ඩුවේ හැසිරීම අනුවම තමයි””
ආයෙත් ටිකක් නිහඬ විනාඩියක්. අම්මා වාතාවරනය සැහැල්ලු කරන්න උත්සාහ කරා.
“ඇති අප්පා ලංකාවේ එහෙම නැති එක!”
ඔපිසර නිලමේ හිටියටත් වැඩිය කණගාටුවක් මුහුණෙන් පෙන්වුවේ.
“අමිතා ඇත්තටම එහෙමද හිතන්නේ? ලංකාවේ ආණ්ඩු කරපු/කරන දේයි, සමහර මැරයෝ කරන දේයි ඇත්තටම වෙනස්ද? අපිට ඇමෙරිකාවේ තරම්ම තුවක්කු එහෙම් නැතිවුනාට වෙන ආයුධ තියෙනවා මිනිස්සු බය කරන්න… සාමාන්‍ය මිනිස්සු පොලු, පිහියා එහෙම පාවිච්චි කරනකොට ආණ්ඩුව තමංගෙ ආධාරකාරයෝ ඇරුනහම පොලිසිය, හමුදා එහෙමත් ආයුධ කරගන්නවා… නේද?”