මුළාවූවෝ

වෑන් දෙකේ මගීන් දඹුල්ලෙන් පිටත් වුන වහාම සිංදු කියන්න පටන්ගත්තා.

ගුරුවරු ඉස්සරහ ආසන වලත් සිසුවෝ පිටිපස ආසන වලත් වාඩි වෙන්න පැහැදිලි ගුරුවර විධානයක් අවශ්යවුනේ නෑ. තම තමාගෙ සමකාලීනයොත් එක්ක ආශ්රය මිනිස් ගතියක්. මේ හයවනි ශ්රේණියෙ ළමයින්ට මේක අලුත් දෙයක් නෙවෙයි. ගුරුවර අනුමැතිය ඇති ගීත මොනවාද යන්නත් දැනගෙනයි ළමයි සිංදු පටන් ගත්තේ.

පළමු වැන් එකේ යන මිස් ජයනෙත්ති වටපිට බලලා මිස්ට වීරසේකර ඇමතුවා.

“අපෙ මිස්ට අලහකෝන් එයාගෙ දුව, මාලත් එක්ක අනික් වෑන් එකට නැගලා!”

මිස්ට වීරසේකරට මේක ලොකු ප්රවුර්තියක් නෙවන බව එයාගෙ ‘හ්ම්!’ උත්තරෙන් පෙනුනා.

දෙවෙනි බස් එකේ පස්සා සීට් එකේ ජානකී වටපිට බලලා කතාකරේ කනගාටුවෙන්.

“අපරාදේ මහින්ද අනික් වෑන් එකේ - එයාට හොඳට සිංදු කියන්න පුළුවන්”

එරන්දතී පොඩි හිනාවක් පෙන්නුවා.

“ඔවු ඉතින් මාලා ඒ වෑන් එකේ නේ!”

………………………..

කැලේ වැවෙන පතොක් ගස්වලත් මල් පිපෙන බව මාලා දැනගෙන හිටියෙ නෑ.

“අපෙ ගෙදර හදලා තියෙන එක කැක්ටස් ගහක අවුරුද්දකට සැරයක් විතර මල් හැදෙනවා… හැබැයි ඒක මං විතරවත් උස නෑ. මේ කැලේ කැක්ටස් ලොකු ගස් වගේ, මලුත් පිපිලා”

“හැබැයි කිට්ටුවට යන්ට එපා - ඒවගෙ කටු හරි සැරයි. ඉස්පිරිතාලෙත් ලගින්ට වෙයි ඇනුනොත්!”

දෙන්නා එකම පංතියේ හිටියත් මාලා අල්ලපු ගෙදර මහින්ද දැක්කේ කාරණා දන්න ‘ලොකු’ ළමයෙක් හැටියට. මාලාට වයසෙන් හා උසෙන් වැඩියි වගේම සිංදු කීමේ හැකියාවෙනුත් මහින්ද ඉදිරියෙන් හිටියා.

“හැබෑට අපිට එක මලක් කඩාගන්ට පුළුවන්ද? අම්මට ගිහින් දෙන්ට?”

“ඇයි මාලගෙ අම්මා අද ආවෙ නැත්තේ?”

“අප්පච්චිත් ආවනේ… අම්මා මීට ඉස්සර දඹුල්ලේ ඇවිත් තියෙනවා…”

අලහකෝන් නෝනට මහින්ද බොහොම කැමතියි. ඒකට එක හේතුවක් නෝනා මහින්ද ඇමතුවේ ‘අල්ලපු ගෙදර පුතා’ හැටියට - ඉස්කෝලේ මහින්දට ගණිතය ඉගැන්නුවත්. තමංගෙ ගෙදර නොදකින රසකැවිලි ඉඳ හිට අල්ලපු ගෙදරින් මහින්දට ලැබීම තවත් හේතුවක් වුනා.

“අර එහා ගල් පොත්තට නැග්ගොත් එකක් කඩාගන්ට පුළුවන් වෙයි… මාලා පොඩ්ඩක් ඉන්නවද මෙතන?”

“නෑ…මාත් එනවා… අපෙ අම්මට නේ මල්!”

ළමයි දෙන්නා පඩි පෙළෙන් එහාට ගියේ කහ පාට මල් පිපිලා තිබුන පතොක් පඳුරක් දිහාට ඇස් යොමු කරගෙන. තමාගේ පාසැල් නඩයේ අනික් අය මල් කැඩීමට නොනැවතී යන බව දෙන්නගෙ සැලකිල්ලට භාජනවුනේ නෑ.

ළමයි නැගපු ගල් පොත්තේ පාමුල පතොක් හොඳට වැවිලා තිබුනා. කටු අතුවලින් සෑදුන වැටක් වගේ පතොක් ‘කැලේ’ හරිම ලස්සනයි. මේ ඉබේ හැදුන කැලයක් නොවන බව ඔවුන්ට නිසැකයි.

“කවුද දන්නෙ නෑ මේවා පැල කරලා බලාගත්තේ”

“සමහරවිට රජ කාලේ ඉඳන් පැවතෙන එව්වා වෙන්ට පුළුවන්… මේකෙන් රිංගලා යන්ට බෑ - සමහරවිට සත්තු එන එක නවත්තන්ට හදපු වැටක් වෙන්ට ඇති…”

“තවත් සත්තු එහෙම ඉන්නවද දන්නෙ නෑ… මං කියන්නේ වලස්සු වගේ උන්!”

“අපෝ නෑ මාලා… ඉස්සර මේවා ලොකු කැලෑ… දැන් හැම තැනම මිනිස්සු කුඹුරු කොටලා, ගෙවල් හදලා, කඩ දාල.. සත්තු ඉන්නේ ගෙදර ඇති කරන එවුන් විතරයි... සර්පයෝ ඇරෙන්ට…”

“නයි එහෙම ඉන්නවද?”

“ඇති … හැබැයි සර්පයෝ පැනලා ඇවිත් හපන්නෙ නෑ කියලා අබේසිංහ සර් කිව්වා… උන්ට කරදර කරේ නැත්තං උන් අපිට කරදර කරන්නෙත් නැතිවෙයි…”

අබේසිංහ සර් කොච්චර කාරණා දන්න කෙනෙක් වුනත් සර්පයෝ කතාව මාලගෙ හිතට හරි නෑ.

“අපි මල් ටිකක් කඩාගෙන යං නේද?”

“ඔවු… අර එහා කෑල්ලේ රෝස පාට මලකුත් මම දැක්කා - අපි ඒකෙමුත් එකක් කඩාගෙන යං”

“මා ලඟ අප්පච්චී දීපු සල්ලි තියෙනවා… අපි යන ගමන් මගදී අයිස් ක්රීම් එකක් කාලා යමුද? මට තිබහයි”

ළමයින්ට නොදැනුනාට ඒ අමතර ගමන් සහ අයිස් ක්රීම් වලට පැය බාගයක් විතර ගියා. දෙන්නගෙ සතුටු හිනා නැතිවී ගියේ තමා ආ වෑන් දෙක නවතා තිබූ තැන බස් එකක් නවතා තිබෙන බව දැකලා. වෑන් දෙක පෙනෙන්ට නෑ!

මෙයට හේතුවක් මහින්ද වහාම දැක්කා.

“අව්ව හින්දා හෙවනකට ගිහින් නවත්තන්ට ඇති… අපි ගිහින් බලමු”

මාලා සනසන්ට මෙහෙම කීවත් මහින්දගෙ යටි හිතේ ඊට වඩා කරදර සහිත හේතු කීපයක් මතුවුනා. මේවායෙන් ‘පොලිසියෙන් වෙන තැනකට යැවීම’, ‘රියදුරෝ කෑමට යෑම’, ‘හෙවන සෙවීම’ වගේ හේතුවලට ඉදිරියෙන් හිටියේ ‘වෑන් අපි දාලා ගිහින්!’ යන්නයි. නමුත් ඒක මාලට කියන්ට පුළුවන් හේතුවක් නෙවෙයි.

“මාලට මතකද අපෙ සුදු වෑන් දෙක?”

“…යන්තං…”

කඳුළු වැඩිය ඈත නැති බව තේරුන මහින්ද මාලගෙ අත අල්ල ගත්තා.

“මේ වාහන නවත්තන තැන වැඩිය ලොකු නෑ… අපි දෙන්නා වටේට ගිහින් හොයලා බලමු… එක්කෝ වෑන්, නැත්තං අනික් ළමයි…”

……………………………..

අලහකෝන් මහත්තයා දඹුල්ලේ පරණ තානායමෙන් එලියට එනකොට තුන හමාරට කිට්ටුයි.

වෑන් එකේ දඹුලු එනකොට මිස් ජයනෙත්තිගෙ ගොන් කතා අහගෙන ඉඳලා හොඳටම ඇතිවෙලා හිටපු නිසා අලහකෝන් මහත්තයා බස් එකක තනියම නුවර යන්න තීරණේ කළේ දඹුලු නගින්නත් ඉස්සර. අල්ලපු ගෙදර මහින්දත් ඉන්න නිසා මාලා ගැන බයවෙන්න හේතුවක් නෑ.

පරණ තානයමෙන් බීර වීදුරුවක් බොන්න හිතුනේ එතන වැඩ කරන විජේ එයාගෙ යාළුවෙක් නිසා. ‘සේරම ගානට වැඩකරා’ යයි හිතමින් තානායමෙන් එලියට බැස්සේ බොහොම සතුටෙන්.

නමුත් බස් නැවතුම් පොලට යන්න ඉස්සර වැදගත් පනිවිඩ දෙකක් යවන්න තියෙනවා. මිස් ජයනෙත්තිට ටෙක්ස්ට් පනිවිඩය එයින් පළමු තැන ගත්තා.

'මට දඹුල්ලේ නවතින්න සිද්ධවුනා පොඩි වැඩකට - මගෙ දුව මහින්ද වේරගම එක්ක ගෙදර යවනවද? තව ටිකකින් මාත් පිටත් වෙනවා'

මේකට උත්තරයක් බලාපොරොත්තුවුනේ නැතත් ‘ඕකේ’ කෙටි පිළිතුරෙන් අලහකෝන් මහත්තයා සතුටුවුනා.

දෙවෙනි ටෙක්ස්ට් පනිවිඩේ විදුහල්පතිට. ‘හදිසි වැඩක් නිසා දඹුල්ලේ නවතින්න සිද්ධවුනා. තව ගුරුවරු හිටපු නිසා ප්රශ්නයක් නෙවෙයි’’. මේ පනිවිඩේට උත්තරයක් බලාපොරොත්තු වුනත් ලැබුනෙත් නෑ.

ගෙදරට පනිවිඩ යවන එක ඊට වඩා අමාරුයි. ඒක ගෙදර ගිහිල්ලම බේරාගන්න ඕනෑ. හොඳ වෙලාවට පවුලට තේරෙනවා මිස් ජයනෙත්ති මග හැරීමේ සාධාරණය.

අලහකෝන් මහත්තයා බස් නැවතුම්පොල පැත්තට ඇවිද්දේ සිතිවිල්ලේ, බිම බලාගෙන. ඔහු බලාපොරොත්තුවුනේ ’තව පැය කිහිපයකින් ගෙදර ගිහින් දහඩිය සෝදා නාගෙන පවුලයි දුවයි එක්ක රෑ කෑමෙන් හොඳ දවසක් සම්පූර්ණයි’ කියලා.

බලාපොරොත්තු නොවුනේ මාලාගේ ‘අප්පච්චී!’ යන බෙරිහන් දීමයි.

……………………………

මේසේ උඩ තිබුන බනිස්, කෙසෙල් ගෙඩි, සිසිල් බීම සහ තේ පෝච්චිය දිහා අලහකෝන් මහත්තයා බැලුවේ හිනා මුහුණෙන්.

“අව්වේ ඇවිදලා මහන්සි ඇති නේ - තව මොකවත් බිව්වොත් නරකද?’

දුවගෙ කඳුළු විහිළුවකින් අඩු කරන්ට බැරි බව අප්පච්චිට තේරුනා. මාලා කතා කරේ කඳුළු අතරින්.

“අපිට කන්ට කියලා දැන් අප්පච්චී එලියට ගියේ අම්මට කතා කරන්නද? අම්මට මොනවද කිව්වේ?”

ඒ සැරේ පොඩි එවුන් දෙන්නත් එක්ක සම්පූර්ණ කතාව බෙදා හදා ගන්ට අලහකෝන් මහත්තයා තීරණය කරා.

“මෙතන අපි හිතට ගන්න කාරණා කීපයක් තියෙනවා… පලවෙනි එක - වෑන් දෙක තවම නුවරට ගිහින් නෑ. ඒ කියන්නේ ගුරුවරුයි අනික් ළමයි එහෙම අපිට මොකද වුනේ කියලා හිතන්න පටන්ගෙන නෑ. මිස් ජයනෙත්තිට මම තුන හමාරට විතර මෙසේජ් එකක් යැව්වා මට මෙහෙ නවතින්න සිද්ධවුනා කියලා... එයා ‘ඕකේ’ කිව්වා. ඒ කියන්නේ ඔය දෙන්නා වෑන් එකක නැති බව ඒ අය දන්නෙ නෑ… ඒ අතින් කරදරයක් නෑ… ඒ වගේම මිස් ජයනෙත්ති එහෙම දන්නවා මම වෑන් එකේ නෑ කියලා…”

“ඊලඟට… මම අම්මට දැන් කතා කරලා කිව්වේ මම ඔය දෙන්නත් නවත්ත ගත්තා කියලා… පතොක් මල් බලන්න. අම්මා කිව්වා මහින්දගෙ අම්මටත් ඒක කියනවා කියලා… ඒ අතින් කරදරේකුත් නෑ…”

අලහකෝන් මහත්තයා යන්තම් හිනාවුනා.

“ඒ අපි අපෙ කරදර වලින් බේරෙන හැටි… ඊලඟට බලමු අපි මේ කරදරවල පැටලුනේ කොහොමද කියලා…”

“ඉස්සරවෙලාම මම කරපු වැරැද්ද - ලොකුම වැරැද්ද… මම කාටවත් කිව්වෙ නෑ වෑන් එකේ නුවර එන්නෙ නෑ කියලා. වගකියයුතු වැඩිහිටියෙක් හැටියට මම එහෙම කට්ටි පනින එක වැරදියි. සම්පූර්ණෙන්ම වැරැදියි. සමහරවිට මගෙ මෝඩ වැඩේ ප්රතිඵල බොහොම භයානක වෙන්නත් ඉඩ තිබුනා…”

තුන් දෙනාම පෙන්නුවේ බරපතල මුහුණු. අලහකෝන් මහත්තයා ආයෙත් කතා කරන්න පටන්ගත්තා.

“දෙවෙනියට වැරැද්ද කරේ ඔය දෙන්නා… ආයෙ අඬලා වැඩක් නෑ දුව… ඔයයි මහින්දයි කාටවත් නොකියා පතොක් මල් කඩන්න ගිය එක ලොකු වැරැද්දක් - හුඟාක් අන්තරාදායක වැරැද්දක්! මාව මුනගැහුනෙ නැත්නම් මොකද ඔයගොල්ලො කරන්නේ? මල් කඩන්න ගුරුවරයෙකුගෙන් අවසර ගත්තද?... ඔය දෙන්නා දැනගන්න ඕනෑ මේ ගමනෙදි ගුරුවරු තමා ඔය දෙන්නගෙ භාරකාරයෝ… ඔය දෙන්නට වෙන ඕනම අකරතැබ්බයකට ගුරුවරු වගකියන්න ඕනෑ… ආයෙ කවදාවත් එහෙම ගමන් යන්න එපා!”

වැරැද්දකට ලොකු මහත්තයගෙ කන්තෝරුවට යවපු පොඩි ළමයි දෙන්නෙක් වගෙ ඔවුන් අලහකෝන් මහත්තයගෙ වචනෙට එකඟවුනේ බිම බලාගෙන.

“අපෙ ගුරුවරුත් වැරදි කරා. ඒ අය පිටත් වෙන්න ඉස්සර ළමයින්ගෙ නම් ලකුණු කරගන්න ඕනෑ… නැත්තං කොහොමද දන්නේ ආපු ළමයි සේරම ආපහු යනවා කියලා? ඒක සිද්ධවුනේ නැත්තේ ඇයි කියලා මම හොයලා බලනවා සඳුදා!... ඒ ගුරුවරු විතරක් නෙවෙයි ළමයිත් වග කියන්න ඕනෑ තමාංගෙ යාළුවෝ ආවද නැද්ද කියලා සොයා බලපු නැති එකට…”

ඒ සැරේ අලහකෝන් මහත්තයා තව තේ උගුරක් බීලා කතා කරේ.

“අපි ඔක්කොම වැරදි ගොඩක් කරලා තියෙනවා… නේද? එක ගමනයි වැරදි ගොඩයි. මෙහෙම වැරදි වලින් තමා විශාල විපත් පටන් ගන්නේ…”

“අර පරණ, මෝඩ සන්නාසි කතා එහෙම ඇදගෙන මං ඔය දෙන්නා බයකරන්න හදන්නෙ නෑ. කවුරුත් කියන පලියට අපි බයවෙන්න ඕනෑ නොදන්න සන්නාසින්ට නෙවෙයි… හොල්මන් වලටත් නෙවෙයි… අපි ඇත්තටම පරෙස්සම් වෙන්න ඕනෑ අපි හොඳට දන්න, නිතරම පෙනෙන්න තියෙන දේ වලින්… වාහන… සත්තු…, කෑම බීම …”

අලහකෝන් මහත්තයා අන්තිම උවදුර නම්කළේ මුහුණේ හිනා ඡායාවක් වත් නැතුව.

“… නරක මිනිස්සු…

ආයෙත් තේ උගුරක්.

“අපිට හානි කරන්න මේ සේරටම පුළුවන්… අපි දෙපැත්ත නොබලා පාර හරහා දිව්වොත් වාහනේකට හැප්පෙන්න ඉඩ තියෙන බව අපිට තේරෙනවා… වල් සතෙකුට හිරිහැර කෙරුවොත් උන් අපිව හපයි කියලා අපිට හිතාගන්න පුළුවන්… ඇඟට අහිතකර කෑමක් බීමක් ගත්තොත් ඒකත් අපිට නරක බව අපි දන්නවා…”

ඒ සැරේ පොඩි හිනාවක්.

“මේවගෙන් අපි බේරෙන්නේ එකම හේතුවක් නිසා… අපිට මොලයක් කියලා දෙයක් තියෙන නිසා!”

“මහින්ද දුවත් එක්ක වෑන් සොයන්න බස් නැවතුම්පොල වටේ ඇවිද්දේ ඒ මොලේ පාවිච්චි කරලා… දුව මං දැකපු ගමන්ම ‘අප්පච්චී!’ කියලා කෑ ගැහුවේ ඒ මොලේ පාවිච්චි කරලා… අනික් අතට… කාටත් නොකියා පතොක් මල් කඩන්න යන්න ඉස්සර මොලේ හරියට පාවිච්චි කරේ නෑ නේද?”

ළමයි කළ වැරැද්දක් මතක් කරත් මහත්තයගෙ මුහුණේ හිනහව තවම අඩුවුනේ නෑ.

”වෑන් එකේ නුවර නොයන්න තීරණේ කරාට පස්සේ මමත් මොලේ හරියට පාවිච්චි කරේ නෑ … මම මොලේ හරියට පාවිච්චි කරා නම් අනික් ගුරුවරුන්ටත් ඔය දෙන්නටත් මුලදිම ඒ තීරණේ ගැන කියනවා - එහෙම කරානම් දැන් මේ කරදර එකක්වත් නෑ… මොලේ හරියට පාවිච්චි කරොත් ඉදිරියට එන කරදර හුඟක් අඩුකරගන්න පුළුවන්! ඒක මතක තියාගන්න වටින දෙයක්…”

තවත් යමක් කියන්න ඇති බව අලහකෝන් මහත්තයගෙ මුහුණෙන් පෙනෙනවා. නමුත් ඒ දේ කටින් පිටකරන්න අමාරුයි වගේ. හිස් තේ කෝප්පෙන් තේ උගුරක් බිව්වේ ඒ නිසා වෙන්න ඇති.

“…ඔය දෙන්නා මේක හොඳට හිතට ගන්න - කොච්චර හොඳට මොලේ පාවිච්චි කරලා වුනත් බේරෙන්න බැරි අවස්ථා එහෙමත් තියෙනවා… “

“වාහන, වල් සත්තු, වස විස වගේ දේ වලට වඩා අපිට මොලේ තියෙනවා - ඒකයි අපිට ඒ ආපදා වලින් ගැලවෙන්න පුළුවන්… අනික් අතට, තමංට වඩා දියුණු මොලයක් එක්ක හැප්පුනොත් අපි පැරදෙන්න ඉඩ තියෙනවා… ඒකයි නරක මිනිස්සු අනික් ආපදා සේරටම වඩා භයානක! ... උන්ට අපිට වඩා මොලේ තියෙන්න පුළුවන්”

“මම ‘නරක මිනිස්සු’ කිව්වට ඒ අපිට වඩා අමුතු මිනිස්සු ජාතියක් නෙවෙයි - ඒ අයත් හරියට අපෙ නෑදෑයෝ, ගමේ මිනිස්සු, කඩේ මුදලාලිලා … වගේ සාමාන්ය මිනිස්සු. මුහුණ බලලා කෙනෙක්ගෙ හොඳ නරක කියන්න අපිට බෑ… හැබැයි බොරුවෙන්, ඉච්චාවෙන්, වංචාවෙන් ළමයි රවටන එක උන්ට අමාරු නෑ… උන්ට රැවටුනොත් ඊට පස්සේ මොනවා වෙයිද දන්නෙ නෑ!”

ඒ සැරේ අවවාද දෙන මුහුණ ආරූඩ කරගත්තා.

“මේ දෙන්නා… කවම දාවත්… නාඳුනන කෙනෙක් එක්ක කතාවට යන්න එපා… තමංට කතා කරන කෙනෙක් හොඳද නරකද කියලා හිතන්න එපා… ඒක අපිට දැනගන්න ඕන නෑ… අපිට ඕනෑ ඔය දෙන්නා පරෙස්සම් කරන්න විතරයි - ලෝකේ හදන්න නෙවෙයි!”

……………………………….

බස් එකේ මහින්දයි මාලයි අලහකෝන් මහත්තයට ඉස්සරහ සීට් එකේ. අලහකෝන් මහත්තයා ළමයි දෙන්නගෙ ‘වික්රමය’ ගැන ගැඹුරට හිතුවේ මඟහැරුන විපත්තියක් ගැන සටහන් ලියන මාධ්යවේදියෙක් වගේ. මහින්ද ලෝකේ දුටුවේ ඊට සරලව.

“මාලා… ඔයාගෙ අප්පච්චී අර නරක මිනිස්සු කිව්වේ හොරුන්ටද?”

“නෑ…මං හිතන්නේ දේශපාලනේ කරන මිනිස්සුන්ට කියලා - අප්පච්චී නිතරම ඒ අය ගැන කතා කරනවා!