8 අගනුවර ජීවිතේ
ලොකුඅත්තා රට රාජ්ය වලින් එක එක බාසා ඇරුනුකොට තවත් බොහෝම දේ ඉගෙනගන තියෙනවා. වැඩිපුරම පසෙන්, ගලෙන්, ලීයෙන් ගොඩනැගෙන ඕනෑම දෙයක් ලස්සනටත් කල් පවතින්ටත් හදන්ට හරිම දක්ශයි. ඒ වගේම ගස් කොලං සතා සර්පයා ගැනත් සෑහෙන දැනීමක් තියෙනවා. සීගිරියේදී රජ්ජුරුවන්ට උධ්යාන, ජලාස පඩි පෙලවල් කොපමන නිර්මානකරලා හදා දුන්නත් අනුරාදපුරේදී නම් රජ්ජුරුවන්ගෙ වැඩ කරන්ට ආයෙ ආසාවක් පෙන්නුවෙ නෑ. සමහරවිට මේ “වන්දනා ගමන” නිසා වෙන්ට ඇති.
“ලොකුඅත්තා රජ්ජුරුවෝ ආයෙත් සීගිරියට යයිද?”
අපි දෙන්නා දර්මසාලාවේ කොනක වාඩි වෙලා කවුදෝ වන්දනාවේ ආපු කට්ටියක් දුන්න බෙලිමල් බිබී හිටියේ. ඒ අය ඈත පලාතක කට්ටියක්. අත්තගෙන් සිද්දස්තාන තියෙන තැන් අහගෙන අපිට අග්ගලා එහෙමත් දුන්නා. දවස් තුනයි මෙහෙ ඇවිත් හැබැයි අත්තට දැනටම යාලුවෝ!
“මං දන්නවා සිරී ඔහොම අහන්නේ ඇයි කියලා. මම අනාගතේ මොලෙන් බලන්නෙ නෑ. ඒක වැරදියි. මොලෙන් නොබලා මොලේ පාවිච්චිකරලා විතරක් නං මම කියන්නේ රජ්ජුරුවෝ ආයෙ අගනුවර එහෙ ගෙනියන එකක් නෑ. සීගිරියට වැඩිය මෙහෙ දියුනුයි. පිරිවෙන්, ඉස්පිරිතාල වගේ දේ මෙහෙනෙ තියෙන්නේ. අනික් එක ආයෙ ගලක් උඩ නැගලා හැන්ගෙන්ට ඕනැකමක් නෑ. ඒක කොච්චර ලස්සනට හදලා තිබුනත්.”
මේ අන්තිම වචන ටික කියලා අත්තා හිනහ උනා. ලස්සනට හදන්ට පුලුවන් උනේ අත්තා නිසා නේ.
“ලොකුඅත්තා කොහොමද ඔය තරං මල් වතු, උද්යාන ගැන ඉගෙන ගත්තේ?”
අත්තා සෑහෙන වෙලාවක් හිටියා කතා නොකර. මෙහෙම වෙලාවට මමත් කිසිම සද්දයක් නැතුව ඉන්නවා ආයෙත් අත්තා කතා කරනකං.
“සිරීට වැඩියෙන්ම ඉගෙනගන්ට අසා මොනවද?”
“දන්නෙ නෑ ලොකුඅත්තා”
“ඒකට කමක් නෑ - ඒ දවස්වල මමත් ඔහොමයි. ටිකක් කල් යනවා හිතලා මතලා තමංට හරින්නේ මොකද්ද කියලා දැනගන්ට. අන්න ඒවගේ තැනකට එනකං මොකොද කරන්නේ කියලා දන්නවද?”
“….පුලුවන් දෙයක් ඉගෙන ගන්නවා ….”
“පුලුවන් දෙයක් විතරක් නෙවෙයි සිරී තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්ට ඕනෑ. ගොවිතැන්, ගෙවල් දොරවල් හදන්ට, ලියන්ට කියවන්ට, වෙද හෙද කම්… මේ ඔක්කොම හරියට වටිනවා. මෙහෙන් ඉගෙනගන්ට පුලුවන්දේ ඉගෙන ගත්තම තමා දැනෙන්නේ අලුතෙන් ඉගෙන ගන්ට ඕනෑ මොනවද කියලා. මෙහෙ ගඩොලෙන් ගෙවල් හදන එක ගැන හොඳින්ම ඉගෙන ගත්තැන් පස්සේ තමා හොයලා බලන්ට ඕනෑ වෙන තැනක, වෙන ‘පංතියක’, ඊට වඩා දේ ඉගෙන ගන්ට තියෙනවද කියලා. දැනට දන්න දේ උඩින් අලුත් දේ ගොඩනගන්ට ලේසියෙන් පුලුවන්, හරියට ගෙදරක් හදන්ට අත්තිවාරමක් දැම්මා වගේ”
“ඉස්සරවෙලා මෙහෙ ඉගෙන ගන්න එකේ තව වාසියක් තමයි එහෙම ඉගෙන ගන්නකොට එක එක තරා තිරමේ මිනිස්සු ගොඩක් අඳුනා ගන්ට ලැබෙනවා - අන්න ඒක හරි වැදගත්.”
ඒක වෙන්ට ඇති ලොකුඅත්තා හම්බුවෙන ඕනෑ කෙනෙක් එක්ක කතා කරලා යාලුවෙන්නේ මේ තරං හොඳට.
“මං ඊයේ කතා කරා පන්සලේ බෙර ගහන පුන්චිකිරා එක්ක. ඒ මනුස්සයා පන්සලේ කුඹුරකුත් කොටනවා. මට කිව්වා ඕන නම් කන්නක් දෙකක් එහෙ ඉඳලා කුඹුරු වැඩයි නැටුම් එහෙමයි ඉගෙනගන්ට පුලුවන් කියලා. තව හොඳක් තමයි පුන්චිකිරාලා අඩුකුලේ කියලා අනික් මිනිස්සු කියන්නේ. ඒකෙනුත් හොඳ පාඩන් ඉගෙනගන්ට පුලුවන් මිනිස්සු ගැන. සිරී කැමතිනං හෙට උදේ එහෙ යං.”
“එතකොට ලොකුඅත්තා?”
“මම ඒ ලඟම එහාපැත්තේ අලුතෙන් හදන තාප්ප වගෙයක් බලා ගන්නවා. මං ලඟ සීගිරියේ වැඩ කරපු කෙනෙක් තමයි ඒක කරන්නේ. මම නිකං වැඩේ හරියට වෙනවද නැද්ද කියලා බලනවා මිසක් ඒවගෙ සැලසුම් ගැන බලන්නෙ නෑ.”
“අපිට හම්බුවෙන්ට පුලුවන්ද මම පුන්චිකිරාලත් එක්ක ඉන්නවනං?”
“මම එඋන්නැහේට කිව්වා සිරී එහෙ ඉන්ට කැමතිනං එයි හැබැයි හැමදාම හවසට මට සිරී හම්බුවෙන්ට ඕනෑ අපෙ පාඩම් ඉවර නැති හන්දා කියලා. එයා හා කිව්වා.”
“මම කැමතියි ලොකුඅත්තා වන්නම් එහෙමත් ඉගෙන ගන්න.”
“එහෙනං අපි හෙට ගිහිං කතාකරගමු”
“ලොකුඅත්තා එතකොට මට ඈත තැනුයි අනාගතෙයි මොලෙන් බලන්නේ කොහොමද කියල උගන්නන්නේ කවද්ද?”
“හදිස්සි වෙන්ට එපා දරුවා. ඒවගේ දේ කරන්ට ඉස්සර ලෝකේ ගැන ටිකක් දැනගෙන ඉන්ට ඕනෑ. අපි ඉස්සරවෙලා පුන්චිකිරත් එක්ක ජීවිතේ කොහොමද කියලා බලමු. එතකොට පුලුවන් අපිට ඒ පංති කරන්ට”
“අනික් එක, මට තව වැඩි කාලයක් නෑ උගන්නන්ට - මට නංගී හොයාගෙන යන්ටත් තියෙනවා”
ලොකුඅත්තගෙ නංගී ගැන මටත් ඉඳලා හිටලා හිතෙනවා. දැන් හොඳටම නාකිත් ඇති. අත්තා වගේම ටිකක් පිස්සුත් ඇති! හැබැයි මැරිලද දන්නෙත් නෑ.
“ලොකුඅත්තා අපි රිටිගල ලොකුහාමුදුරුවෝ අත්තා දන්න මෙහෙ ඉන්න හාමුදුරුවෝ හම්බු වෙන්ට යන්නෙ නැද්ද?”
“මොකොටද සිරී ඒඋන්නන්සෙලාට කරදර කරන්නේ. අපිත් මේ රටේ කට්ටියනේ - අපිට පුලුවන් වෙන්ට ඕන අපේ උත්සාහෙන්ම ජීවත්වෙන්ට”
“ලොකුඅත්තා රෑට නිදාගන්නේ කොහෙද මම පුන්චිකිරාලගෙ ගෙදර ඉන්නවනම්?”
“වාඩියක් තියෙනවා වැඩ කරන අයට. මට එතන කන්ට ඉන්ට පුලුවන්”
“කොහෙන්ද ලොකුඅත්තගෙ නංගී හොයන්ට පටන් ගන්නේ?”
“ඒකට තව කල් තියෙනව. සිරී තනියම ඉන්ට පුලුවන් උන දවසක මම පිටත් වෙනවා”
“ඒකියන්නේ මගෙ පාඩන් ඉවර උනහමද?”
“නෑ නෑ. මට උගන්නන්ට දෙයක් ඉතිරි වෙලා නැති උනහම!”
මට හිතෙන හැටියට එදා තමයි අපි දෙන්නා එකට ඉන්න අන්තිම දවස. ඒ නිසාද කොහෙදො අත්තා මාව එක්ක ගියා කඩේකට රෑට කන්ට.
මං කවදාවත් දැකලා නෑ රෑවෙලා කඩ ඇරලා තියෙනවා. නගරේ මැද තිබුනා ඇරපු කඩ කීපයක්. සමහර එව්වගෙ රා වික්කත් අපි ගිය කඩේ තිබුනා බතුයි වැවු මාලුයි තව එලවලුයි. පුදුම රසක් ඒවගෙ. අපි කාල ඉවරවෙලා එලියට එනකොට අත්තා කඩේ අයිතිකාරයට කිව්වා “එහෙනං හෙට වැඩේ කරමු” කියලා. ඒ මිනිහත් ඔලුව කහලා “හොඳයි නිලමේ” කියලා කිව්වා. මට පේන විදිහට අත්තා එයත් එක්ක ගනුදෙනුවක් කතා කරලා ඇති. ඒක වෙන්ට ඇති අපි කෑවට ගෙව්වෙ නැත්තේ.
පහුවදා උදේම අපි ගියා පුන්චිකිරා හම්බුවෙන්ට.
පුන්චිකිරාලගෙ ගෙදර වරිච්චියෙන් හදාපු සෑහෙන්ට ලොකු එකක්. සීගිරියේ අපේ ගෙදරට වඩා ලොකුයි. කුඹුර අයිනෙමයි. ඉස්සැරැහින් බාග බිත්තියෙන් හදාපු මඩුවයි හොඳට අතුගාපු මිදුලයි විතරයි ඉස්සරවෙලාම පෙනුනේ. මිදුලට පිටින් තිබුන වැටේ කරවිල වැලක් සරු සාරෙට වැවෙනවා.
අපි යනකොට පුන්චිකිරාගෙ පවුල වෙල ලඟ ලිඳෙන් වතුර කලයක් අරන් එනවා. අත්තා හිනහ වෙලා කතා කරා.
“රන්සිනා කිරා ඉන්නවද?”
“ඉන්නවා නිලමේ. මං කතා කරන්නං”
එතකොටම පුන්චිකිරා ගේ පැත්තකින් ඉස්සරහට ආවා. ලොකුඅත්තට වඩා බාල හැඩි දැඩි ඇඟක් තියෙන පුන්චිකිරා සරමක් කෙටි අරලා ඇඳගෙන සාලුවක් කරේ දාගෙන හිටියා. උන්දැගෙ අතේ තිබුන පොල් කට්ටකින් මොනවදෝ බිබී ආවේ. අත්තා දැකපු ගමන් කරේ තිබුන සාලුව අතට අරන් ඔලුව නමලා “හා නිලමේ” කියලා නැවතුනා.
“අපි මේ උදෙන්ම ආවේ පුන්චිකිරා කොහෙවත් යන්ට ඉස්සර”
“නිලමේ එනවා කියපුහන්දා මම කොහෙවත් ගියෙ නෑ. මේ නිලමෙගෙ මුනුබුරාද?”
“නම සිරී. දැන් කැත්තේ උදැල්ලේ වැඩ පුරුදුවෙන්ට වයස”
“මම නිලමේ අහපු හින්දා හා කිව්වට මටනං මේක මොකද්දෝ වාගෙ. ලොකු හාමුදුරුවෝ මොනවා කියයිද දන්නෙනෑ”
“ඒ පොල්පලා සුවඳක්ද දැනෙන්නේ? හැලියේ තව තියෙයි ද?”
ගේ පැත්තකින් පිටිපස්සට යමින් හිටපු පුන්චිකිරාගෙ පවුල එහෙම්ම නැවතුනා. පුන්චිකිරා අත්තා දිහා බලාගෙන ඉඳලා පවුල පස්සේ ගියා. මට ඇහෙනවා දෙන්නා කුසුකුසු ගාලා හිමින් කතා කරනවා, ටිකක් තරහෙන් වගේ. දෙන්නම ගේ පිටිපස්සට ගියාට පස්සෙ මම අත්ත දිහා බලලා හිමීන් “අත්තා?” කිව්වා. අත්තත් බොහොම හිමින් උත්තර දුන්නා.
“හුඟක් මිනිස්සු අඩුකුලේ අයගෙන් කන්නෙ බොන්නෙ නෑ. ඕක දැම්මම හදාගත්තෙ නැත්තන් සිරී ඉන්න එක ඒ අයට කරදරයක්. සිරී මෙහෙන් කාලා බීලා වැඩකරන්නේ ඉගෙනගන්ට - කුලේ බලන්ට නෙවෙයි”
“ඒක වෙන්ට ඇති අපිට ඉඳගන්ට කතාකරෙ නැත්තෙත්”
“හරියට හරි. ඕක මතක තියාගන්ට” කියලා අත්තා වැට ලඟ තිබුන පොල් කොටයක් උඩ වාඩිඋනා. මමත් ඒකම කරා.
ටිකකින් පොඩි ගෑනු ලමයෙක් කෙහෙල් ඇවරියක් බන්දේසියක තියල අරන් ඉස්සරහ මඩුව ලඟට ඇවිත් ලැජ්ජාවෙන් වටපිට බැලුවා.
“සිරී ගිහින් අර ලමයට උදව් කරන්ට. ගිහින් බන්දේසියන් ගන්ට”
මම ඉස්සරහට ගිහින් “දෙන්ට මං ගන්නන්” කියලා ඒක අත්තා ලඟට ගෙනාවා. ලමයා හැරිලා ගේ ඇතුලට දිව්වා.
“සිරී එයාට ‘නංගී’ කියලා කතා කරන්නේ. පුන්චිකිරාට ‘ගොයි රාල’, රන්සිනාට ‘උපාසකම්මා’’’.
අපි පොල්පලා බීලා ඉවර උනහම අත්තා නැගිට්ටා.
“සිරී අද ඉඳන් පුන්චිකිරා රාල කියන විදිහටම ඉන්ට ඕනෑ. රන්සිනා උපාසකම්මා වැඩක් කිව්වොත් කිසි ප්රස්නයක් නැතුව කරන්ට ඕනෑ. වෙලා තිබුනොත්, නංගිට හෝඩිය ඉගැන්නුවට කමක් නෑ. අද වැඩ ඉවර උනහම අර එහා පන්සලේ වත්තේ පාවුල මහ බැම්ම හදන තැනට එන්ට - අපිට තව පාඩම් තියෙනවා”
“පුන්චිකිරා කිසි කරදරයක් උනොත් මට කියන්ට. මම අදම ලොකුහාමුදුරුවෝ හම්බුවෙන්නං”
අත්තා පිටත් උන ගමම්ම මගෙ මල්ල එහෙම මඩුවේ තියලා අපි කුඹුරට ගියා. මට උදැල්ලක් දුන්න එක ඇරුනුකොට කුඹුරේ පාඋලට යනකන් ගොයිරාල වචනයක්වත් කතා කරේ නෑ.
“මේක තමා මං වැඩකරන කුඹුරේ මායිම. මේ කහ රෙදි බැඳපු කනු වලින් තමයි මායිම ලකුනුකරලා තියෙන්නේ. වටේට බලපුවාම පේනවා. කවදාවත් මායිමෙන් පිට මොකොවත් කරන්ට එපා”
දැන්මම මට එක එක දේ කියලා දෙනවා වගේ.
“ඉස්සරවෙලාම වක්කඩ බලාගන්ට ඕනෑ - වතුර එනවද, නියරවල් කැඩිලද එහෙම හොයලා බලන එක තමයි. දැන් එහෙනන් උදැල්ලත් අරන් මායිම වටේම ඇවිදලා ආවොත් හොඳයි”
“නියරවල් හදාගෙන එන්ටද කැඩිලා තිබුනොත්”
“එපා. වටෙයක් ඇවිදින්ට මායිම බලාගන්ටයි වපසරිය දැනගන්ටයි”
“එතකොට උදැල්ල”?
“උදැල්ල නැතුව කුඹුරේ යන්නෙ නෑ ගොයියෙක්”
මට සෑහෙන වෙලාවක් ගියා වටේ යන්ට. කරට ගත්ත උදැල්ලේ බරත් දැනෙනවා ටිකක් වෙලා යනකොට. ගොයං කපලා දැන් ඊලඟ කන්නට හාන්ටත් කිට්ටු ඇති - ඒ තරං වතුර. ඇඟිලි අතරෙන් මඩ මිරිකිලා එනකොට නියරවල් ටිකක් ලිස්සනවා. හැබැයි කඳු පල්ලං නැති හින්දා ගමන අමාරු නෑ. කැඩිච්චි වක්කඩ කීපයක් දැක්කට මම ඒවා හදන්ට ගියෙනෑ.
මම පුන්චිරාල ලඟට එනකොට උන්දෑ නියර දෙකක් දැත්ත ගහලා හාන කොට බැඳලා දාන්ට. ටිකක් වැඩේ බලාගෙන ඉන්නකොට උන්දෑ ඇහුවා “මෙහෙම නියරක් දැත්ත ගහන්ට පුලුවන්ද කියලා”
මමත් වැඩ පටන්ගත්තා. පුන්චිකිරා වැඩ නවත්තලා මගේ වැඩ බලාගෙන හිටියා.
“කකුල පරෙස්සන් කරගන්ට ඕනෑ. උදැල්ල වැඩිය කකුල කිට්ටුවට ගේන්ට එපා. ඒ ඇරුනුකොට වැරැද්දක් නෑ”
මට සන්තෝසයි මගෙ වැඩ නරක නැති එක ගැන.
අපි ඉර මුදුන් උනාම කුඹුර ඉස්මත්තේ ඇලෙන් ඇඟ හෝදාගෙන ගෙදර ආවා. රන්සිනා උපාසකම්මා මටත් බත් පතක් බෙදලා දුන්නා ගොයිරාලට දෙනවත් එක්කම. අපි මඩුවේ පිලේ ඉඳන් කෑවේ කිසි කතාවක් නැතුව.
“පැයකින් විතර බෙරේ තදකරන්ට ඕනෑ” කියලා මඩුවේ පදුරේ හාන්සි උනා. මම මිදුලට බැස්සා.
මම වටපිට බල බල ඉන්නකොට උපාසකම්මා ඉස්සරහට ආවා හෝදපු රෙදි වනන්න. මං දැකලා උන්දෑ කිව්වා “මේ වෙලාවට පොඩ්ඩක් ඇලවෙනවා. ආයෙ නැගිට්ටහම තමයි වැඩ”
“මං දක්ක පොල්ගෙඩි ටිකක් තියෙනවා - ලෙලි ගහන්ටද?
“පුලුවන්නං ලොකු දෙයක්”
මම ඒ වැඩේ ඉවර කරල ආයෙත් කුඹුර පැත්තට ගියා. උඩ මායිමේ කොස් ගහ යට ඉඳගෙන සීගිරිය ගැන හිතුවා.
අම්මා මල්ලී වඩාගෙන මිදුලේ ඇවිදිනවා නිදි කරවන්ටද කොහෙද. හිමීන් කියන කවියකුත් මට ඇහෙනවා. මම දොරෙන් ඇතුලට ගිහින් උයන මඩුව දිහා බැලුවා. ගෙදරත් දවල්ට බත් උයලා. හොද්දකුයි මැල්ලුමකුයි තවම වලං වල. ඒකියන්නේ අප්පච්චී තවම ගෙදර ඇවිත් නෑ.
මම කුඹුර දිහාට හිත හැරෙව්වා. එතන කිසි කෙනෙක් නෑ. ගුනේ මාමලෑ ගෙවල් පැත්තේ බලනකොට එතන සෙනග. මට හිතුනා මොකද්දෝ වෙලා තමයි කියලා. අඬන සද්දෙකුත් ඇහෙනවා. එතකොටයි මට තේරුනේ ගුනේ මාමගෙ අම්මා, ලෙඩ ගානේ හිටපු නෝනත්තම්මා නැතිවෙලා කියලා. මං එවුන්දෑ වැඩිය දන්නෙ නෑ, ගෙට වෙලාමයි හිටියේ.
මං ගේ ඇතුලටත් නොගිහින් එහෙම්ම ආපහු ආවා අනුරාදපුරේට.
එදා මට අත්තත් එක්ක කතා කරන්ට හුඟක් දේ තිබුනා.
[1400]