4 අත්තාගේ කතාව
හාමුදුරුවෝ ගල්ගුහා දෙකක් කිව්වට ඒක එක ගුහාවක් මැදින් ගල් ගෙඩි පේලියක් තියලා බෙදාපු එකක්. උඩින් ගල් පොත්ත වහලක් වගේ තියෙනවා. ඉස්සරහ පැත්තේ මටනම් හිටගෙන ඉන්ට උස ඇති - ලොකු අත්තා නම් ටිකක් නැමිලා තමයි ඇතුලට ගියේ. ගුහාවේ බිමට තිබුනේ ගල් පොත්තක්. පැදුරක් එලාගන්ට බිම ඉඩ ඇති. දෙකට බෙදපු ගල් වැට හොඳුයි වාඩිවෙන්ට. අපි ගුහා දෙකම අතුගාලා පැදුරු එහෙම බිම එලලා, පොට්ටෙනි ඔලුවට තියන්ට තිබ්බා. මේ ඔක්කොම කෙරුවට පස්සේ තමයි අපි වචනයක් වත් කතා කරේ.
“සිරී මේ ලබුකට්ට පුරවාගෙන එනවද?"
විජ්ජා ගැනවත් එක එක බාසා ගැනවත් කතාවක් නෑ. මමත් ප්රශ්න වැඩි නිසා හිතුවා ලිඳට ගිහින් එන ගමනේ මොනවද ඉස්සරවෙලාම අහන්නේ කියලා හිතාගෙන එන්ට.
"ලොකුඅත්තා..."
"හ්ම්ම්"
"ලොකුඅත්තලාගෙ ගෙවල් කොහෙද?"
උන්දෑ සද්ද නැතුව ටිකක් වෙලා හිටියා කල්පනා කරකර. මමත් එහෙම්මම හිටියා.
"අපි වැවට ගිහින් නාගෙන එමු" සාලුවයි අනික් සරමයි ඇරගෙන එහෙම්ම පිටත් උනා. මමත් ඒ විදිහටම ඒපස්සේ වැටුනා.
"අපෙ දෙමවුපියෝ මේ පලාතේ අය නෙවෙයි. එඋන්දලා මෙහෙන් දවස් කීපෙකට ඈත මුහුදුබඩ හැදුන අය. සෝමාවතියට කිට්ටුයි."
"අප්පච්චීට හොඳට අතේ පයේ වැඩ පිහිටලා තිබුනා. ගල් ගඩොල් ලී ඕනැ එකකින් වැඩ කරන්ට පුලුවන්. ඒ ඇරුනුකොට උන්දෑ කාටවත් හොර බොරු කරලා නෑ. අනික් එක, අප්පච්චිට පුලුවන් දෙමල බාසාවත් හොඳට මොකොද ඒ පැත්තේ හරියට දෙමල අය පදින්චිවෙලා හිටියා.”
“අප්පච්චිගෙන් තමයි මට අතේ පයේ වැඩ ආරෙට ඇවිත් තියෙන්නෙ. මගෙ මල්ලිට එව්වා බෑ.”
“අම්මා වෙද හෙදකම් වලට දක්සයි. ගමේ වින්නඹු වැඩේ කරේ අම්මයි තව එක්කෙනෙකුයි විතරයි. මං කියන්නේ අපි ඒගමේ ටිකක් වැදගත් පවුලක්. දරුවෝ තුන්දෙනයි. මම්යි මල්ලියි අරුනුකොට අපිට නංගියකුත් ඉන්නවා.”
ආයෙත් අපි සද්ද නැතුව ටිකක් අවිද්දා.
"අප්පච්චියි අම්මයි දෙන්නම නැතිවුනේ එක දවසේ - වල් අලියෝ රංචුවකට අහුවෙලා. දෙන්නා හේනේ වැඩ කර කර ඉඳලා තියෙන්නේ. එහා හේනට අලි පැනලා මිනිස්සු ගොඩාක් එකතුවෙලා උන් එලවලා අපේ හේන පැත්තට. ඒ අය දන්නෙනෑ අම්මලා එහෙ කියලා. “
“ගමේ මිනිස්සු තමයි මට කිව්වේ මොකොද උනේ කියලා. එතකොට මම තවම පොඩි එකා - දැන් උඹෙ වයස. මලයා මට අවුරුදු දෙකක් බාලයි - නංගී තවත් අවුරුද්දක්."
“ගමේ අය අපි බලාගත්තා. හැබයි එකම ගෙදරක නෙවෙයි. එක පවුලකට ලමයි තුන්දෙනෙක් බලාගන්ට අමාරුයි - අපිට තව වැඩක්වත් හරියට බෑ.”
"අපිට තිබුන ලොකුම අමාරුව තුන්දෙනාට එකට ඉන්ට බැරිඋන එක. මේක නංගීටයි මල්ලිටයි හොඳටම වැදුනා තවම පොඩිඋන් නිසා."
ආයෙත් අපි කතා නොකර අවිද්දා. එක තැනකදී අත්තා මොර අත්තක් පාතට ඇදලා මට මොර ගෙඩි කීපයක් කඩලා දුන්නා.
“මේ කාලේ තමයි අපි පටන් ගත්තේ එක එක්කනා 'මොලෙන් බලන්ට' - එහෙමයි අපි හිතුවේ. කොයි වෙලාවේ හරි වෙන කවුරුත් වටේට නැත්තන් අපි හිත් හරවනවා අනික් දෙන්නා දිහාවට. මොනොවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි නිකං තනිකමට.”
“මට හොඳට මතකයි දවසක් උදේ වරුවේ මම ඇලවේල්ල උඩ ඉඳගන හිටියා වතුර දිහා බලාගෙන. එතකොට මට දැනුනා හරියට වතුරේ පොඩි කොටහක් පමනයි පේන්නේ කියලා, වටේටම හරියට දුම පිරිලා වගේ. මට වතුර මැදින් පෙනුනා නංගී මිදුල අතුගානවා. නංගිත් එතකොටම නැවතිලා කෙලින්ම මං දිහා බැලුවා. මගෙ ඇඟ හිරිවැටිලා ගියා, ඇයි කියනවානං කතාවක් තිබුනා ඒදවස්වල කවුරුත් මැරුනොත් තමයි එහෙම පෙනෙන්නේ කියලා. ඒකම නංගිටත් හිතිල එයා අඩන්ට පටං ගත්තා”
“මට හිතුනා නංගී අඩනවනං මැරිලා වෙන්ට බෑ කියලා. මම හිතෙන් අහුවා 'උදේට කෑවද' කියලා. දැන් හිතනකොට හිනහ ගියත් මට වෙන මොකොවත් අහන්ට මතක් උනේ නෑ. නංගී එකපාරටම අඩන එක නවත්තලා, ඔලුව පොඩ්ඩක් ඇද කරලා 'බතල' කියලා කිව්වා. මට පෙනෙනවා එයාගෙ තොල් හෙල්ලෙනවා. මම මගෙ කට ඇරලා ඇඟිල්ල කට ඇතුලට දික් කරලා අත එයා පැත්තට හරෙව්වා හරියට බතල ඉල්ලනවා වගේ. අපි දෙන්නම හයියෙන් හිනාවුනා. එතකොට නංගී ඉන්න ගෙදර නැන්දා අවිල්ලා මොනවදො කිව්වා - මට සද්ද මොකොවත් අහෙන්නේ නෑ. එතකොටම නංගී අහක බැලුවා - ඊට පස්සේ මට වතුර විතරයි පෙනුනේ.”
“එදාම දවල්වෙලා මම නංගී බලන්ට ගියා. මම හිටපු ගෙදර කට්ටිය හරි කරුනාවයි. මම යන්ට ඕනෑ කියපුවම 'පරෙස්සමෙන්' කියලා විතරයි කිව්වෙ.”
“නංගියි මමයි හුඟක් වෙලා කතාකරා 'මොලෙන් බලන' එක ගැන. කොච්චර බැලුවත් අපිට මල්ලී දකින්ටබැරිඋනා. එදා පටන් අපි දවසකට දෙකකට සැරයක් මොලෙන් බැලුවා. අපි දෙන්නම වෙන වෙනම මල්ලී බලන්ටත් උත්සාහ කරා. මල්ලී හිටියේ පන්සලේ. සමහරවිට හාමුදුරුවන්ට පුලුවන් ඇති මොලෙන් බලන එක නවත්තන්ට.”
“හැබැයි එකදවසක් නංගිට පුලුවන් උනාලු මල්ලී බලන්ට. කියපු විදිහට මල්ලී හාමුදුරුවෝ එක්ක කොහොදෝ ගමනක් ගිහින් එනගමන්ලු. සමහරවිට ඒක වෙන්ට ඇති අපිට ඊට ඉස්සර එයා බලන්ට බැරිඋනේ. ඊට පස්සේ අපි තුන්දෙනා නිතරම මොලෙන් බැලුවා.”
“පෝය දෙකකට තුනකට පස්සේ තමයි අපි ඇත්තටම හිතුවේ තුන්දෙනාම එකට කොහෙහරි යමු කියලා.”
අපි වැවට බැහලා නාන්ට පටන් ගත්තා.
පොලොව අව්වෙන් කරවෙලා තියෙනකොට වැවට බහින එක හරි සනීපයි. වතුරේ ගිලිලා ඔලුව විතරක් උඩින් තියාගෙන මම හුඟක් වෙලා හිටියා. ඇඟට සීතල දැනුනත් ඔලුව අව්වේ රත්වෙනවා. මම කීප සැරයක් ඔලුවත් ඔබලා ගොඩ එන්ට හිතුවා. නෙලුම් මලකුත් මම කඩාගත්තා පූජා කරන්ට හිතාගෙන. අත්තානම් නෙලුම් අල ටිකක් ගලවාගෙන ගොඩ ආවේ. තෙත නැති සරං ඇඳගෙන තෙත රෙදි කරේ දාගෙන ආපහු එන්ට පිටත් උනා.
"මල්ලී අහලා තිබුනා අනුරාධපුරේ ගැන පන්සලේ හාමුදුරුවන් ගෙන්. ඒක විසාල නගරයක්ලු අස්පයෝ එහෙමත් ඉන්න. ඊටත් වැඩිය, එහෙ තමයි සිරි මහ බෝදිය තියෙන්නේ - බුදුහාමුදුරුවෝ බුදු වෙලා නැවතිලා හිටපු බෝ ගහේ අත්තක්ලු කියලා මල්ලී කිව්වා. එයා කියපු හැටියට තව හරිම ලස්සන මාලිගා එහෙම තියෙනවලු."
"නංගී මං දිහා බලලා අහුවා 'අපිට මොලෙන් බලන්ට බැරිද' කියලා. ඒක තමයි අපි ඉස්සරවෙලාම දැකලා නැති දෙයක් හැටියට මොලෙන් බැලුවේ."
අත්තා ආයෙත් ටිකක් වෙලා සද්ද නැතුව අවිද්දා. මං හිතන්නේ කතාව කොහොම කියන්ටද කියලා හිතනවා වෙන්ට ඇති.
“ඊලඟ පෝයට අපි පන්සලේ හම්බු උනා. මල්ලී අපිට පෙන්නුවා බිත්තියක ඇඳලා තියෙන සිරි මහ බෝදියේ සිතුවමක්. අපි තුන්දෙනාම ඒක දිහා බලාගෙන හිටියා. වචනයක් වත් කතා කරේ නෑ. ටිකකින් මට පේනවා බිත්තියේ බෝගහේ කොල හෙල්ලෙනවා හරියට හුලඟක් අවිල්ලා වගේ. ගහ වටේට තියෙනදේත් පේන්ට පටං ගත්තා. ඇවිදින මිනිස්සු, ගෑනු, කොල්ලෝ කෙල්ලෝ හරියට මම එතන ඉන්නවා වගේ. මම වටපිට බල බල හිටියා.”
“මට ඇහෙන එකම සද්දේ අනුරාදපුරේ බෝදිය වටෙන් එන එක - කතා කරන මිනිස් කටහඩ ගාතාවක සද්දයක්, බුරන බල්ලෙක් වගේ දේවල්. ටිකකින් තවත් සද්ද අහෙන්ට පටං ගත්තා. 'අයියට පේනවද' කියලා මල්ලිගෙයි නංගිගෙයි ප්රශ්න ආවේ එකටම වගේ”
“එතකොට තමයි අපිට තේරුනේ අපි තුන්දෙනාටම බොහොම ඈත තියෙන අනුරාදපුරේ සිරි මහ බෝදියත් එකට මොලෙන් බලන්ට පුලුවන් කියලා”
අත්තගෙ කතාව එතෙන්ට එනකොට අපි පන්සල ලඟටම.
ඇබිත්තයාගෙන් හම්බුන කෑම ටිකක් කාලා අත්තා පැදුරේ හාන්සිඋනා. මම තෙත රෙදි වේලෙන්ට දාලා ගෙනාපු මල් අරන් ගියා පූජා කරන්ට. පූජාවට වැඩිය මට ඕනෑ උනේ වටේට ටිකක් ඇවිදලා බලන්ට.
බන මදුව ලඟම තිබුනේ පොඩී බුදුගෙයක්. ඒකේ දොරක් එහෙම නෑ. එක පිලිමෙකුයි මල් ආසනේකුයි පොල්තෙල් පහන් වැටියකුයි විතරයි කාමරේ ඇතුලේ. පිලිමෙට උඩින් බැඳපු වියන සෑහෙන්ට කිලුටුයි. බිත්තියේ හූනෝ එහෙ මෙහෙ දුවනවා.
මිදුලේ අනික් කොනේ තම්යි පන්සල - පන්සල කිව්වට ඒකේ හිටියේ ඇබිත්තයා විතරයි. හාමුදුරුවෝ උන්නාන්සෙගෙ කුටියෙයි ඒකෙ මිදුලෙයි තමයි හිටියේ. කුටියට යන්නේ පඩිපෙලකින් නැගලා. එතන ඉස්සරහ මට වැඩිය ටිකාක් උස බෝ පැලේකුත් හැදෙනවා. කවුදෝ පැලේ වටේ ගල්වැටකුත් අල්ලලා.
මම මල් පූජා කරන්ට බුදුගෙට නොයා බෝ පැලේ ලඟට ගියේ සමහරවිට ලොකුහාමුදුරුවෝ ඉඳීද කියලා හිතලා. පේන්ට කවුරුත් හිටියෙ නැතිනිසා මම මල් පූජා කරලා පඩිපෙලෙන් බැහැලා ගියා පන්සල පැත්තට.
ඇබිත්තයා පිලේ වාඩිවෙලා බුලත් විටක් කොටනවා බුලත් වංගෙඩියේ. මම එතෙන්ට ගිහින් පිලේ වාඩි වෙලා අහුවා "ලොකු උන්නැහේගෙ නම මොකද්ද" කියලා.
එයා මොකොවත් නොකියා හිනාඋනා. එතකොට මම හිතාගත්තා ලොකු උන්නැහේ කියලම කතා කරන්ට.
"ලොකු උන්නැහේ මෙහෙ හුඟක් කල්ද?"
"අපෙ හාමුදුරුවොත් එක්ක මම අනුරාජපුරේ ඉඳම්ම ආවේ"
"ඒ කියන්නේ අපෙ ලොකුඅත්තත් අඳුරනවද?"
"ඒ නිලමේ මෙහාට ආවේ අපෙ හාමුදුරුවන්ට ඉස්සර. මම අපෙ හාමුදුරුවෝ ඉස්සෙල්ලාම දකින්ටත් ඉස්සර."
"ඇයි අනුරාදපුරේ ඉඳන් මෙහාට ආවෙ? එහෙ හරි ලොකු නගරයකුත් තියෙද්දී."
"අපෙ හාමුදුරුවෝ ලොකු නගරවලට ඒතරන් ආසාවක් නෑ. එහෙ බොහෝම සාමනේරලා ගොඩකට ඉගැන්නුවත් බාවනාවට ඒතරම් ලේසිඋනේ නෑ. නිතරම පොඩි හාමුදුරුහුරු විතරක් නෙවෙයි මැති ඇමති වරුත් එනවා අවවාද ගන්ට.”
“ඒවගේම තරහ කාරයොත් හිටියා එක එක කතා ප්රචාර කර කර. සමහර අයට ඕනැ වෙලා තිබුනා අපි හිටපු පන්සල ඇමති කෙනෙකුගෙ මල්ලීකෙනෙකුට දෙන්ට. ඒක ආරන්චි උනගමන් අපෙ උන්නාන්සෙ කොහොමදෝ පනිවිඩයක් ඇරලා අයියට. මෙහෙ නිලමේ කිව්වලු රිටිගල හොඳ නිස්කලන්ක තැන කියලා. එතකොට තමා අපි තීරනේ කරේ මෙහාට එන්ට කියලා".
"කොහොමද පනිවිඩේ එව්වේ කියල ඇහුවෙ නැද්ද" මේකට නම් උත්තරේ මම දන්නවා ඔය ඇහුවට. මට ඕනෑ උනේ ඇබිත්තයා මොලෙන් බලන එක ගැන දන්නවද කියලා බලාගන්ට.
"අනේ මං නම් දන්නෙ නෑ. මම හිතුවේ මාලිගාවේ කෙනෙක් හරි සොල්දාදුවෙක් හරි මෙහෙ එනකොට එවන්ට ඇති කියලා. පුදුමේ කියන්නේ අනුරාජපුරෙන් යන්ට හිතලා දවස් දෙකෙන් අපි පිටත් උනා - ඔය තරන් ඉක්මමනට පනිවිඩ ඇරැලා උත්තර ගෙන්නාගන්න එක ලේසි නෑ. ගමනට අපිටත් දවස් පහක් හයක් ගියා "
“ලොකු අත්තා මෙහෙ ආවෙම නැද්ද? “
“එක සැරයක් ආවා ඔයැයිගෙ අප්පච්චිත් එක්ක අපි ආපු දවස් වලම වාගේ - දැන් අවුරුදු තිහකට විතර ඉස්සර. ඒහැටි දුරක් නැතිඋනත් ලොකු උන්නැහේගෙ මෙහෙ එන්ට වැඩි ආසාවක් නෑ වගේ. අපෙ හාමුදුරුවන්ටනම් ඒවගේ දේවල් දැනෙන්නෙත් නෑ වගේ. “
“එතකොට අපෙ අප්පච්චිට වයස් කීයක් විතර ඇද්ද?”
“ඔයැයිට වැඩිය ඒහැටි වෙනසක් නෑ - සමහරවිට වැඩිම උනොත් දොලහක් දහතුනක් ඇති”
ඒ කියන්නේ ලොකුඅත්තා අපෙ අප්පච්චිත් මෙහෙ එක්ක ඇවිල්ල තියෙන්නේ දැන් මගෙ වයස ගානටමයි. ඇත්තටම අප්පච්චිටත් කිව්වද දන්නෑ 'මොලෙන් බලන' එව්වා ගැන. අහගන්ට ඕනෑ අත්තගෙන්ම.
එදා රෑ හොඳට හඳ එලිය. ලොකුඅත්තයි මායි බනමඩුව ලඟ මිදුලේ ගලක් උඩ වාඩිවෙලා ඉගිලෙන වවුලෝ දිහා බලබල හිටියා.
"ඇත්තද ලොකුඅත්ත වවුලන්ට රෑටත් පේනවා කියන්නේ?"
"නොපෙනී බෑ නේ කරුවලෙත් කෑම හොයාගෙන යන්ට තියෙනකොට"
"එච්චර හොඳට රෑටත් පේනවානං දවල්ට ඊටත් වැඩිය පේනවා ඇතිනේ - ඇයි උන් දවල්ට කැම හොයන්නෙ නැත්තේ?"
"රෑට පේන එකේ වටිනාකම තියෙන්නේ වෙන කාටවත් පේන්නෙ නැතිවෙලාවට කෑම හොයන්ට පුලුවන් එක. එතකොට කිසි තරඟයක් නෑ - හරියට අපි සෙනග අඩු වෙලාවක් බලලා පන්සල් යනවා වගේ." මෙහෙම කියලා ලොකුඅත්තා ටිකක් හිනහ උනා.
"තව හේතු අති හැබැයි දැනට ඒ හේතුව ඇති"
ලොකුඅත්තා එහෙම් කිව්වම ආයෙ ඒක ගැන කතාකරන්ට බෑ. ඉස්සර ඉඳං තියෙන නීතියක්.
මම කතා නැතුව හිටියා ටිකක් වෙලා හඳ එලියෙන් හැදුනු හෙවනැලි දිහා බලාගෙන.
"ලොකුඅත්තා සෝමාවතියේ ඉඳං අනුරාදපුරේ එන්ට කොච්චර කල් ගියාද?"
"අපෙ ගම සෝමාවතියම නෙවෙයි, සෝමාවතියටයි කලපුවටයි අතර. හැබැයි අපි ඒ චයිත්තියට ගිහින් තියෙනවා කීප සැරයක්. ඒ දවස්වල අපි පොඩි අය, මට දොලහයි, මල්ලිට දහයයි පොඩිඑකීට නමයයි. අපි ඉස්සරවෙලාම ගමේ පන්සලේ හාමුදුරුවන්ට කිව්වා අපි තුන්දෙනා අනුරාදපුරේ යන්ට කැමතියි කියලා. එඋන්නාන්සේ එකසැරේම එපා කිව්වෙ නෑ."
"දැන් මට හිතෙනවා පුදුමයි අපිට බැනලා එලවාගත්තෙ නැති එක කියලා. අඩුම ගානේ, අපෙ ගෙවල්වලටවත් කියලා අපි නවත්තාගන්ට කියලා. මං හිතන්නේ මල්ලී සමහරවිට හාමුදුරුවන්ට කියලා ඇති අනුරාදපුරේ ගැන අපි දන්න දේ ගැන."
"මොකොද අපි ඉස්සරවෙලාම අනුරාදපුරේ මොලෙන් දැක්කට පස්සේ කීප සැරයක්ම අනුරාදපුරේ බැලුවා. ටිකින් ටික අපි බෝදියෙන් ඈතට යන්ට ඉගෙන ගත්තා. ඔය හාමුදුරුවන්ට කතා කරනකොට අපි එඋන්නාන්සෙටත් වැඩිය ඒකෙ විස්තර දන්නවා."
අන්තිමට හාමුදුරුවෝ අපේ ගෙවල්වල කට්ටියට එන්ට කියලා මේක ගැන කතා කරා. දැන් වගේ නෙවෙයි ඒ දවස්වල වයස දොලහක් කියපුවම සෑහෙන්ට වගකීම් බාරගන්ට පුලුවන් කෙනෙක්. අපි දුන්න හේතු තමයි මල්ලිට මහනවෙන්ට ඉස්සර වන්දනාවක් කරන්ට ඕනෑ එකයි, නගාටයි මටයි මල්ලී එක්ක ඒදවස්වල එකට ඉන්ට ඕනැ කමයි. අපෙ ගෙවල් වල අය මෙව්වා විස්වාසකෙරුවද මං දන්නෙ නෑ. හැබැයි වැඩිය අපි නවත්තන්ට බැලුවෙත් නෑ. අපේ හේන එහෙම ඒගොල්ලන්ටම කොටාගන්ට දීලා තමයි අපි පිටත් වෙන්ට හිටියේ.
හාමුදුරුවෝ එහෙන් යන ලුනු කරවල තවලමකට අපි එකතු කරන්ට කැමති උනා. ඒ එක්කම නංගියි මල්ලියි බලාගන්න එක මට බාරදුන්නා.
තවලමත් එක්ක ආපු ඒ මාසේ අපිට දිවිය ලෝකෙ වගේ. මොකොද, කරත්ත කාරයෝ අපිට හොඳට සැලකුවා. මං හිතන්නේ හාමුදුරුවෝ හින්දා වෙන්ට ඇති. ඊටත් වැඩිය අපිට දීපු පොඩි පොඩි වැඩ ඇරුනුකොට අනික් වෙලාවේ අපි තුන්දෙනා එකටමයි.
මට මතක විදිහට පිටත්වෙලා තුන්වෙනි දවසේ තමයි අපි ඉස්සරවෙලාම මොලෙන් බලන්ට හිතුවේ. ඒක මතක් උනෙත් නෑ එතකන්, මුලු ගමනම අලුත් දෙයක් හින්දා. පලවෙනියට අපි බැලුවා ඇවිදින ගමන් මොලෙන් අනුරාදපුරේ බලන්ට පුලුවන්ද කියලා. වැඩි වෙලාවක් ගියෙ නෑ ඒක කරන්ට. වැඩේ කියන්නේ එතකොට අපිට බලාගෙන ඉන්ට පින්තූරෙයක්වත් තිබුනෙ නෑ. එයින් අප්ස්සෙ අපිට පුලුවන් උනා අනුරාදපුරේ ඔනැ වෙලාවක බලන්ට.
දවසක් අපි තුන්දෙනා කරත්තයක් පිටිපස්සේ යනකොට මල්ලිට හිතුනා අපිට කරන්ට පුලුවන් හොඳ සෙල්ලමක්. එක එක්කෙනා මොලෙන් බලලා කියනවා පාරේ ඊලඟ වංගුවෙන් එහා තියෙන්නේ මොනවද කියලා. හරියටම හරි එක්කෙනා දිනනවා.
නංගී මේකට බොහොම දක්ශ උනා. එයාට පුලුවන් දකින ගස් ජාති එහෙම විතරක් නෙවෙයි පාරේ තියෙන වලවල් එහෙමත් ගැන කියන්ට පුලුවන් උනා.මම මල්ලිටයි නංගිටයි තවත් පින් දෙන්නේ ඒ සෙල්ලම කරේ නැත්තන් සමහරවිට අපිත් ඉවරයි.
දවසක් උදේ වරුවේ මේ සෙල්ලම කර කර යනකොට එක සැරේම නංගී කෑ ගැහුවා 'වල් අලියා' කියලා. එයාගෙ මූනෙන් පේනවා හොඳටම බය වෙලා කියලා. මං අහුවා කොච්චර දුරද කියලා. 'වංගු දෙකක්' කියලා නංගී හෙමීන් කිව්වා. මම දුවලා ගිහින් ඉස්සරහ කරත්තේ රාලට කිව්වා ඉස්සරහ අලි ඉන්නවා කියලා. එයා විස්වාස කෙරුවෙ නෑ ' මේ වෙලාවට කොහෙද අලි' කියලා. මම නං ගිට කතා කරලා ඇහුවා කී දෙනෙක්ද කියලා. 'එකයි - තනි අලියා'.
කරත්ත රාලලාට කන්නලවු කරලා කරත්ත නවත්තා ගත්තා. මමයි එක කරත්ත කාරයෙකුයි පයින් ඉස්සරහට ගියා. අපි දෙවනි වංගුවට කිට්ටු වෙනකොට අහුනා අලි සද්දේ. පලුගහක් පිටිපස්සේ ඉඳන් එබිලා බලනකොට මහා ගෝමර අලියෙක් පාර හරහා ඔලුව හොල්ල හොල්ලා ඉන්නවා.
'ගෝමර තනියා' කියලා කරත්ත කාරයා වෙවුලනවා. මම එයත් අතින් ඇදගෙන ආපහු කරත්තෙට ආවා. වෙන කරත්ත කාරයෙක් වැලි ටිකක අරන් මතුරන්ට පටං ගත්තා. අපි කිසි සද්දයක් නැතුව පාර අයිනේ හිටියා ඉර හැරෙනකන්. අපි අලියා හිට්ය හරිය පහුකරේ බොහෝම සීරුවෙන්.
එදා ඉඳන් අපි තුන්දෙනා කියන ඕනෑ දෙයක් කරත්ත කාරයෝ ඇහුවා!
[1953]