11 අනාගතේට සැලැස්මක්

ගොයිරාලගෙ කුඹුරේ පැලේ වාඩිවෙලා මම කීපසැරයක් උත්සාහ කරා ලොකුඅත්තත් එක්ක කතා කරන්ට. නමුත් මට උන්දෑ හොයාගන්ටම බැරි උනා. සමහරවිට බොහොම ඈත ගිහින් ඇති. හැබැයි අත්තා කියපු විදිහට ඒගොල්ල ඈත රටවලුත් බැලුවලු. ඒ කියන්නේ මගෙ මොලෙන් බැලීම ඒ තරම් දියුනු මදි ඇති.

මට එතකොට රිටිගල ලොකු උන්නාන්සේ මතක් උනා, මට ඉස්සරෝම මොලෙන් බලන එක පෙන්නල දුන්න කෙනා හැටියට. දවසක් කුඹුරේ පැලේ ඉන්න ගමන් මම උන්නාන්සේ ගැන හිතුවා.

“සිරී හොයන දේ හම්බ උනාද?”

ලොකු හාමුදුරුවෝ බෝ මලුවේ සක්මන් කරනවා. මං දිහා බලාගෙනවත් නෙවෙයි. නමුත් වචනේ බොහොම තැන්පත් - බෝ කොල හුලඟෙන් හෙල්ලෙනවා වගේ සද්දේ.

මම කතා කරන්ට ඉස්සර මේක ගැන ටිකක් හිතුවා.

“අපෙ හාමුදුන්නේ මං හොයන්නේ මොකද්ද කියලවත් තවම හොයාගෙන නෑ”

“ලොකුඅත්තා මොකද්ද කිව්වේ ඕක පටන් ගන්නකොටම”

“දුනුකාර පවුල ගැන හොයලා බලන්ට කියලා තමයි කිව්වේ”

“හොයලා බලලා මොකොද කරන්ට කිව්වේ”

ඒක ගැන ටිකක් හිතලා බලන්ට උනා.

“අත්තට කියන්ට කිව්වා විස්තර”

“මොනවද හොයලා බලන්ට කිව්වේ”

“අ..අ..විස්තර…පවුලේ අය ගැන වෙන්ට ඇති”

“සිරී ඊට පස්සේ මොකොද කරේ?”

මම ටිකක් මතක් කරා.

“මං දවසක් ගිහින් බලලා ගම හොයාගත්තා. හැබැයි මිනිස්සු අඳුරාගන්ට විදිහක් නෑ. පස්සේ මෙහෙ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අහලා හොයා ගත්තා දුනුකාර පවුලේ දුවයි ඒකනායකෙ උන්නැහෙයි ගැන. ඒගොල්ල ගමේ වැදගත් පවුලක් බව ඇරුනුකොට වෙන දෙයක් හොයා ගන්ට බැරිවුනා. වැඩ හින්දා එහෙ යන්ටත් වෙලාවක් තිබුනෙ නෑ.”

ලොකු හාමුදුරුවෝ තවත් කීප සැරයක් එහාට මෙහාට ඇවිද්දා. හරියට හිතේ බොහොම බර දෙයක් තියෙනවා වගේ. අන්තිමට කතා කරනකොට උන්නාන්සෙගෙ කට හඬත් වෙනස් වගේ.

“සිරී දැනටම බොහොම දේවල් හොයාගෙන තියෙනවා….නමුත් එහෙ යන්ට වෙලාවක් තිබුනෙ නෑ කියන එක ඇත්ත නෙවෙයි.”

මම සද්ද නැතුව හිටියා. උන්නාන්සෙගෙ කතාව එතනින් ඉවර නෑ කියලා මට හිතුනා.

“සිරීට මගෙ අයියා කිව්වේ දුනුකාර පවුල ගැන් හොයා බලන්ට කියලා. දැනට හොයාගෙන තියෙන දේවල් හොඳටම ඇති. දැන් තියෙන්නෙ ඒක එයාට කියන එක. සිරී ඔය ‘දැන් වෙලා නෑ’ කියන්නෙ වෙන වැඩ බොහොමයක් තියෙන නිසා. ඒක ඉතාම හොඳයි. අයියගෙ දෙවනි පැතුම තමයි සිරී පුලුවන් තරම් අලුත් දේ ඉගෙනගෙන”

“අයියගෙ හිත තිබුනේ සිරිත් එක්ක ඇවිදින්න්ට යන්න. නමුත් අපි ඒකට එපා කිව්වා. දැන් අයියගෙ අදහස සිරීට පුලුවන් තරම් උගන්නන්ට කියලා. පිරිවෙන් ඉස්කෝල වගේ නෙවෙයි, කම්මලක, ගොවිපොලක වාඩියක ඉඳලා ප්රායෝගික වැඩ පුලුවන් තරම් අල්ල ගන්න කියලා”

මම හිතාගෙන හිටියේ ලොකුඅත්තත් එක්ක ගමන් පිටත් උනාම ආයෙ පිරිවෙන් ගානේ යන්ට ඕනැ නෑ කියලා. ලොකුහාමුදුරුවෝ කියන විදිහට එක පිරිවෙනක් වෙනුවට පන්ති ගානකට යන්ට වෙයි - කුඹුරෙයි කම්මලෙයි හේනෙයි හැමතැනම පන්ති!

ලොකුහාමුදුරුවෝ ආයෙත් කතා කරන්ට පටන් ගත්තා.

“සිරී හිතනවා ඇති මගෙ අයියා සිරී අමතක කරලා ගිහින් කියලා. එහෙම අදහසක් තියෙනවානම් මේවත් හිතලා බලන්ට”

“සිරී ගැන සම්පූර්න වගකීම බාරගත්තා කියන්නේ අයියා සිරීට අදාල වෙන ඕනැ දෙයක් කරන්නේ බොහොම හිතල මතල. සිරී දන්නෙ නැතිඋනාට අයියයි මමයි නිතරම මේවා ගැන කතා කරා - දන්නවානෙ කොහොමද කියලා? ඉස්සරවෙලාම පුංචිකිරාගෙ ගෙදර සිරී නවත්තන්ට හිතුවේ කුඹුරු වැඩ නිසාම නෙවෙයි. අයියා කියපු විදිහට, කිරාලා බොහොම හැදිච්චි පවුලක්. කුඹුරු වැඩේ ඇරුනුකොට තමංගෙ බෙර සාස්තරෙත් හොඳට දන්නවා. පුංචි දරුවෙකුත් ඉන්න හින්දා දඩබ්බර ගතියක් ඇත්තෙම නැතිලු. අනික් අතට ලේසියට කෙනෙකුට ඔලුව නමන්නෙත් නැතිලු මොන කුලේ උපන්නත්”

“අයියා දැනගෙන හිටියා කිරාගෙ මගින් සිරීට කම්මලේ අයත්, පන්සලේ අයත් ඔක්කොම ලේසියෙන්ම අඳුනාගන්ට ලැබෙයි කියලා. වැඩිකල් යන්ට ඉස්සර සිරීට සොල්දාදුවෝ එහෙමත් හම්බුවෙයි”

“ඔය දුනුකාර පවුලේ අය ගැන හොයන්ට කිව්වෙත් අයියටම ඒක හොයාගන්ට බැරුව නෙවෙයි. අයියට ඕනෑ වෙලා තිබුනේ සිරීට නිදහස දුන්නොත් තනියම යමක් කරගන්ට පුලුවන්ද බලන්ට. එහෙම කරේ එක්කෝ වැඩේ බැරිවුනානම් තව උදවු දෙන්ට, එහෙම නැත්තන් පුලුවන් තරම් දියුනු වෙන්ට ඉඩ දීලා අයින් වෙන්ට”

ලොකුහාමුදුරුවෝ මෙච්චර කතා කරනවා මං කවදාවත් අහලා නෑ. වෙන එකක් තියා, මගෙ අවදානේ කොච්චර අල්ල ගත්තද කියන්නේ, උන්නාන්සේ සක්මන නවත්තලා බෝපැලේ ලඟ ගලක් උඩ වාඩිවෙනවා මම දැක්කෙ නෑ.

“අදට ඒ ඇති. තව දවස් කීපෙකින් කතා කරමු. ලොකුඅත්තා ටිකකට අමතක කරලා, දැන් ඉන්න තැන අයගැන හිතන එක හොඳයි”

මම පැලේ තල අතු අතරෙන් වෙල දිහා බලාගෙන් හිටියා ටිකක් වෙලා. ඇයි උන්නාන්සේ හදිස්සියෙම කතාව නවත්තන්ට හිතුවේ මට අහන්ට ප්රස්න ගොඩාක් ත්යෙද්දී?

“අයියා…අයියා...” නංගී මට අඬගහනවා.

“මං පැලේ….ඇයි?”

“අම්මා ලිඳලඟ වැටිලා…තාත්තා ගෙදර නෑ…” නංගී ලිඳ ලඟ ඉඳම්ම කෑ ගහනවා. මමත් පුලුවන් හයියෙන් දිව්වා එතෙන්ට.

“මගෙ කකුල…ඇස්වටේ ඇමැට්ටිලා පුතේ...” උපාසකම්ම මට ඉස්සෙරෝම පුතා කියලා කතා කරේ. ඇස් දෙකේ කඳුලු පිරිලා වේදනාවට. නංගී බිම ඉඳගෙන උපාසකම්මගෙ කොන්ඩේ අතගානවා කඳුලු හල හල.

“නංගී අම්මගෙ කකුල්දෙක හෙමින් අල්ලගන්ට”

මම නැමිලා උපාසකම්මා හරහට වඩා ගත්තා එපා කියද්දී. ඒහැටි බරක් නැතිඋනාට පරෙස්සමෙන් යන්ට ඕනෑ ලිඳලඟ ලිස්සන නිසා.

“නංගී අතාරින්ට එපා - වැඩිය හයියෙන් අල්ලන්ටත් එපා”

“මේ හැරමිටියක් ගත්තොත් මට පුලුව්න් නොන්ඩියෙන් යන්ට…” ඒ කිව්වට හිටියේ බොහොම වේදනාවෙන් වගේ.

“තාත්තා කොහෙද ගියේ?”

“පන්සල පැත්තේ වෙන්ට ඇති”

“දුවල ගිහින් අම්මට හාන්සිවෙන්ට තැනක් හදලා වතුර ටිකක් ලිපේ තියන්ට පුලුවන්ද - හැබැයි පරෙස්සමෙන්”

උපාසකම්මා ගේ ඇතුලේ පැදුරක තියලා, කොත්තමල්ලි ටිකක් හදන්ට නංගිට කියලා මම පන්සල දිහාට දිව්වා.

මම පන්සලට කිට්ටු වෙනකොට දැක්ක ගොයිරාල පන්සල් වත්තෙන් කපපු පුලුක් ගොබේකුත් ඇදගෙන පන්සල පැත්තට යනවා. මම දුවගෙන එනවා දැකලා නැවතුනා.

“උපාසකම්ම…වැටිලා…කකුල ඇමැට්ටිලා…” මම හැති පිටම කිව්වා.

ගොයිරාල මගෙ මූන දිහා බලාගෙන විනෑඩියක් කල්පනා කෙරුවා. කතා කරනකොට කටහඬේ කිසි කලබලයක් දැනගන්ට නෑ.

“මේක ගිහින් ඇබිත්තයට දීල කියන්ට මම ගෙදර ගියා කියලා. පිනාට පුලුවන් ආරුකුකුව ගහන්ට. ගෙදර එනගමං වැවු කන්ඩියේ කොහොඹ ගහට පහලින් ගෙදර විජේරත්න වෙද නිලමෙට කතාව කියලා, එන්ට බැරිනම් තෙල් අල්ලකුත් ඉල්ලගන එන්ට. පුලුවන්ද?”

මම ඔලුව හොල්ලලා හා කියලා පන්සල පැත්තට හයියෙන් ඇවිදින්ට පටන්ගත්තා පුලුක් ගොබෙත් ඇදගෙන. ගොයිරාලත් බිම බලාගෙන් සරිජ්ජනෙන් ගෙදර පැත්තට ගියා.

වෙදාගෙ ගෙදර මම කවදාවත් ගිහිමුත් නෑ, වෙදා දැකලත් නෑ. හැබැයි කොහොඹ ගහ නිසා ගෙදර හොයාගන්ට අමාරු උනේ නෑ. මං යනකොට ගෙදර ලඟ වයසක කෙනෙක් බුලත් විටක් කොටනවා. සුදු පාට කොන්ඩෙයි රැවුලයි එක්ක මට හොඳටම විස්වාසයි උන්දෑ වෙද නිලමේ කියලා. මං මිදුල ලඟට යනකොට උන්දෑ ඔලුව උස්සලා බැලුවා.

“මොකද්ද කරදරේ හ්ම්?”

“පුන්චිකිරා ගොයිරාලගෙ උපාසකම්මා… වැටිලා කකුල ඇමැට්ටිලා….ගොයිරාල කිව්වා… එන්ට බැරිනම් තෙල් ටිකක් ඉල්ලගෙන එනට කියලා” මට තවම දුවලා හැති.

“මේ දරුවා කවුද” වෙදාට කිසි හදිස්සියක් නෑ.

“මම සිරී…ඒ ගෙදර ඉන්නේ. ගම සීගිරියේ”

“මේ දුනුකාර නිලමෙගෙ මුනුබුරාද?”

“ඔව්. උපාසකම්මා බොහොම වේදනාවෙන් හිටියේ…”

“පුන්චිකිරා ගෙදරද?”

“ඔව්”

“ඒ මනුස්සයා දන්නවා කරන්ට ඕනෑ මොකොද කියලා. අපි හදිස්සිඋනා කියලා වැඩක් නෑ”

“කකුලක් ඇමැට්ටුනාම වේදනාව තමයි. තෙල් ගාලා ඒක අඩුකරන්ට බෑ. සමහරුනම් මතුරලා වේදනාව අඩුකරනවා. මම ඒවා කරන්නෙ නෑ” අපි හෙමින් හෙමින් වැව්කන්ඩිය දිගේ එනගමන් වෙදා කිව්වේ.

අපි ගෙදර එනකොට කිසි සද්දයක් නෑ. ගොයිරාල එලියේ කෙවිටක් සහිනවා. අනික් අය පේන්ට නෑ. අපි දැකලා නැගිටලා ඉස්සරහට ඇවිත් වෙදාට අත් දෙක එකතුකරලා වැන්දා. සමහරවිට මමත් එහෙම කරානම් තමයි හරි එහෙ ගිය වෙලාවේ. දැන් ඉතින් කරන්ට දෙයක් නෑ.

“මං උනුවතුරෙන් තවලා කඩමාලු කෑලිවලින් එතුවා ආයිබොවන්” ගොයිරාල වෙදා මොකොවත් අහන්ටත් ඉස්සර කිව්වා.

“එච්චරයි ඕනෑ. මේ තෙල් ටික උදේ හවස ගාලා හොඳට ඔතල තිබ්බොත් දවස් එකෙන් දෙකෙන් හරියයි. හැබැයි වැඩිය බර කරනට එපා. හොඳ හැරමිටියක් හදලා දුන්නොත් වටිනවා”

ගොයිරාල සැහැපු කෙවිට පෙන්නුවා. බැලුවම ඒක කෙවිටක් නෙවෙයි හැරමිටියක්.

“මේ දරුවට පුලුවන්ද මට කැකුන ගෙඩි කීපයක් හොයලා දෙන්ට?”

මම ගොයිරාල දිහා බැලුවා.

“මං හෙටම එවන්නං ආයිබොවන්. දැන් ලමයා එවන්ටද ආපහු යන්ට?”

“එපා. මට පන්සලටත් යන්ට තියෙනවා” වෙදා ආයෙ කිසි දෙයක් නොකියා යන්ට පිටත් උනා.

මෙතන වචන වලින් උන කතාවට වැඩිය හුඟාක් අදහස් හුවමාරු උනා කියලා මට දැනුනා. වචන කීයද කියවුනේ.

දෙන්නම තමංගෙ තත්වෙයි කුලෙයිත් බේරගෙන ලෙඩෙකුට බෙහෙතුත් දීලා ඒකට දෙන්නටම හරියන ගෙවුමකුත් පොරොන්දු වෙලා මුලු ගනුදෙනුවම ඉවර කරේ කිසි පැකිලීමක් නැතුව. මේ දෙන්නටම තේරෙනවා හරියට හැසිරෙන හැටි. දැනට මට මෙව්වා කොහොමටත් නොතේරෙන දේ.

ගොයිරාල වෙදාට ගේ ඇතුලට කතාකරේවත් බොන්ට මොකොවත් දෙන්ට හැදුවේවත් නෑ. එතකොට වෙදාට මේවට බෑ එපා කියන්ට සිදු වෙන්නේ නෑ. ඒවගේම වෙදා ලෙඩා බලන්ට ඕනෑ කිව්වෙත් නෑ ගොයිරාල අමුත්තෝ ගේ ඇතුලට ගන්ට කැමැති නැතිබව දැනගෙන. හරියට නැට්ටුවෝ දෙන්නෙක් එක එකාගෙ අඩි තියෙන තැන් දන්නවා වගේ.

පහුවදා උදේ වෙනකොට උපාසකම්මා හැරමිටියෙන් නොන්ඩි ගහ ගහ ඇවිදිනවා. නංගී තමා උන්දැගෙ ඕනෑ එපාකම් බැලුවේ. ගොයිරාලත් පාන්දරම කුඹුරට නොයා ගේ වටේම වැඩ කරා උදේ වරුව. මම විතරක් කුඹුර පැත්තේ ඇවිදලා වක්කඩ එහෙම බලලා ගොටුකොල මිටියකුත් කඩා ගත්තා.

මල්ලකට කැකුන ගෙඩි ටිකකුත් එකතු කරගත්තා හවස වෙද ගෙදර ගිහින් දෙන්ට. වෙල පාවුල තිබුන කැකුන ගහ යට ගෙඩි කුනුවෙලා අව්වට වේලුන කැකුන ඇට ඕනැ තරම් තියෙනවා. වේලුන කැකුන වල බොහොම හයිය කට්ටක් තියෙනවා පොල්කට්ටක් වගේ. කට්ටත් එක්ක කැකුන කලුගල් කැට වගේ, කුරුල්ලන්ට මාන අරන් ගහන්ට හොඳ ගාන. කට්ට තලලා ගත්තම සුදු පාට මදේ බොහොම තෙල් තියෙනවා, පුච්චන්නත් පුලුවන්. වෙද්දු මේවගෙන් තෙලුත් හිඳිනවා.

දවල් කාලා ගොයිරාල හාන්සි උනාට පස්සේ මම කැකුන මල්ලත් අරන් වෙද ගෙදර ගියා. යන ගමන් තමයි මට හිතුනේ වෙදත් දන්නවා නේද ලොකුඅත්තා ගැන කියලා.

මම කැකුන මල්ල වෙදා වාඩිවෙලා හිටිය බංකුව ලඟ මිදුලේ තියලා අත්දෙක එකතුකරලා වැන්දා. ඊයෙත් බැරිඋන නිසා අද නං අමතක නොකරම වඳින්ට හිතාගෙන ආවේ.

“සිරී…?”

“ඔවු. ගොයිරාල කිව්වා මේ කැකුන ටික ගෙනත් දෙන්ට කියලා”

“ලෙඩාට කොහොමද?”

“හැරමිටියෙන් ඇවිදිනවා, නොන්ඩි ගහ ගහ”

“ඔය ගෑනුන්ට නිකන් එකතැන ඉන්ට බෑ. ටිකක් එහෙමෙහෙ ගියාට වරදක් නෑ”

අත්තා ගැන අහන්ටත් ඕනෑ හැබැයි වෙදාට මොකක් කියලා කතා කරන්ටද.

“ම්..වෙද රාලහාමී…අපෙ ලොකුඅත්තා අඳුරනවද?”

“දුනුකාර නිලමේ?”

“ඔවු”

“අපි කොල්ලෝ කාලේ එකට මෙහෙ හාමුදුරුවන්ගෙන් අකුරු ඉගෙන ගත්තා. එයාගෙ නගත් එක්ක මං වෙද හෙද කම් ඉගෙනගත්තා ගල්කන්දේ උන්නාන්සෙගෙන්. හැබැයි ඊට පස්සේ දැක්කේ මේ ඊයෙ පෙරේදා”

මම කිසිදෙයක් නොකියා හිටියා උන්දෑ ආයෙත් කතා කරනකං.

“දරුවගෙ ලොකුඅත්තා මට කිව්වා දරුවා ගැන…”

ආයෙත් වටේට සද්ද අහගෙන මම හිටියා.

“සිරී අනික් වැඩ ඉවර උනහම මෙහෙ ඇවිල්ලා වෙදකං ගැන ටිකක් ඉගෙනගන්ට ඕනෑ. දුනුකාර කියපු හැටියට අවුරුද්දක් විතර හිටියොත් හොඳයි”

ලොකුඅත්තා මට අනික් අය අතේ පනිවිඩ එවනවා මිසක් මට කෙලිම්ම මොකොවත් කිව්වෙ නෑ.

“ඊට ඉස්සර අතන කම්මලෙත් වැඩ ඉගෙනගන්ට යවන්ට කිව්වා. සිරීගෙ අත්තා ඉස්සරත් එහෙමයි. එක එක්කෙනාට වැඩ බාර දීලා එයා එයාගෙ වැඩ කරගන්නවා. ඒ දවස්වල අපි කිව්වේ ‘පංගනාත්තුවා’ කියලා”

වෙදා පොඩ්ඩක් හිනහ උනා.

“මොක උනත් උන්නැහේ කවදාවත් කාටවත් වැරැද්දක් වෙන්ට ඉඩ තියන්නේ නෑ. හිතා මතා මිසක් කාටවත් වැඩ පංගනාත්තු කරන්නේ නෑ”

මේ කියන විදිහට මගෙ ඊලඟ අවුරුදු දෙකම අනුරාදපුරේ ඉන්ට වෙනවා. ඒකත් අත්තා මුල ඉඳම්ම හිතාගෙන හිටපු දෙයක් වෙන්ට ඇති.

“ලොකුඅත්තා මට කිව්වේ උන්දැගෙ නංගී හොයාගෙන යනවා කියලා. ආපහු එන එකක් ගැන කිව්වෙ නෑ”

“මට කිව්වා. එයාගෙ නංගී ලේසියෙන් හොයන්ට හම්බුවෙන්නෙ නෑ. දීගෙට පස්සේ කොහෙදෝ කැලෑ පලාතකට තමා ගියේ - ගල්ගමුව පැත්තේ. මට නං හොඳටම විස්වාසයි උන්නැහෙ ආයෙත් මෙහෙ එයි හැබැයි සිරීගෙ වැඩ ඉවර උනාට පස්සේ”

මම හිතාගත්තා කොහොම හරි ලොකුඅත්තා කියපු විදිහට මේ අවුරුදු දෙක ගෙවලා, ඊට පස්සේ මමත් ඒ අත්අම්මා හොයාගෙන යනව කියල. [1554]