7 අනුරාධපුරේ ගමන

අපිට අනුරාදපුරේ යන්ට දවස් හතරක් ගියා. ඒ තරම් දුර නිසාම නෙවෙයි, අපේ ගමන හෙමින් උන නිසා.

මට අනුරාදපුරේ බලන්ට කොච්චර ආසාව තිබුනත් අත්තට කිසි හදිස්සියක් නෑ. මට හිතුනේ මේ ගමන අත්තා පාවිච්චි කරන්නේ මට කාරනා තේරුම් කරලා දෙන්ට. ඒ කියන්නේ අනුරාදපුරෙන් පස්සේ උන්දෑ මාව දාලා කොහෙදෝ යන්ට තමයි හිතාගෙන ඉන්නේ මට තේරෙන විදිහට.

ගමනේ පලවෙනි රෑ හිටියේ ගොවියෙක්ගෙ පැලක. අත්තා කතා කරනකොට තේරෙනවා මේ යමක් කමක් දන්න කෙනෙක් කියලා. ඒනිසාද කොහෙදො නවතින්ට තැනක් හොහාගන්ට අමාරු නෑ.

එදා රෑ නැවතුන පැල අයිතිකාරයා හම්බ උනේ අපි පාර අයිනේ පොඩි වැවකින් අතපය හෝද හෝදා ඉන්නකොට. එතෙන්දී අපි අත්තගෙ මල්ලේ ගෙනාපු කෑම ටිකකුත් කාලා පොඩ්ඩක් මහන්සි අරින්ට නැවතුනේ. එතකොට එතන අඩිපාරෙන් යන කෙනෙක් දැකලා අත්තා කොන්ද කෙලින් කරලා හිටගෙන ඒ මනුස්සයත් එක්ක කතාවට බැස්සා.

“වැහි වතුරෙන්ද අබ වවන්නේ මේහරියේ?”

“එහෙනං එහෙනං. වැවු වතුර අදින්න්ට බෑ මේ කන්දේ උඩට”

“පෙරේදට ඉස්සරදා වැස්ස හොඳ ඇති එහෙනං”

“ඒක ඇත්ත. ඔහෙලා ගමනක්?”

“ඔවු අපි රිටිගල පන්සලේ ඉඳන් ආවේ, යන්නේ අනුරාජපුරේ”

“එහෙනන් ලබුනෝරුව පැත්තෙන් ආවේ?”

“මේ මගෙ මුනුබුරා, සිරී. එයාට මේ පැත්තේ හේන් කෙටිල්ල පෙන්නන්ටත් එක්ක මෙහෙන් ආවේ. රිටිගලට ඉස්සර අපි හිටියේ සීගිරියේ. මෙහෙ වගේ හේන් එහෙ නෑ.”

“මං කොටන්නේ අර එහා කෑල්ල. ඕනැ නං එහෙ යං බලන්ට. ඊයේ මුවෝ ඇවිත් වැට කෑල්ලක් පෙරලලා - ඒකත් හදන්ට ඕනෑ. මං මේ කූඩේ ගෙදර දාලා එනනං.”

“ඕන් සිරී හේනක් බලාගන්ට පුලුවන් අද” කියලා අත්ත පාරට ආවා.

“කොහොමද අත්තා මේ මනුස්සයා අබ වගා කරපු බව දන්නේ?”

“දැක්කෙ නැද්ද් එයාගෙ කූඩේ තිබුන අබ කොල මිටිය මයියොක්කා අල උඩින්?”

“කොහොමද දන්නේ වැව් වතුර ගන්ට බැරි බව?”

“බලන්ට අර ගස් අතරෙන් පේන පොඩි කඳු ගැටේ. ඒකේ පේනවද කහපාට අබ මල්? එතෙන්ට වැවෙන් වතුර ගන්ට බෑ. මනුස්සයා ආවේ ඒ පැත්තේ ඉඳන්. මේ වෙලාවට එහෙම කූඩයක් අරගෙන යනවා නම් යන්නේ හේනේ ඉදන් ගෙදර තමයි.”

“ලොකුඅත්තා ඒකත් විජ්ජාවක් නේද?”

“සිරී, අපි නිතරම වට පිට බලනවා විතරක් නෙවෙයි පේන්නේ මොනවද කියලා හිතල බලන්ට ඕනෑ. අනික් එක, මනුස්සයෝ හුඟක් වෙලාවට කැමතියි තමංගෙ දේවල් ගැන කතා කරන්ට. අපි නොදන්න දේ ඒගොල්ල කියනවා - ඒක මනුස්ස ගතියක්. මේක තේරුනහම විජ්ජාවක් නෙවෙයි”

අපි ගොවිරාල එනකන් එතන ඉන්නෙ නැතුව හේන පැත්තට හිමින් හිමින් ඇවිද්දා. හේන ලඟටම එනකොට තමයි මනුස්සයා ආවේ පොරවකුයි කැත්තකුයි ඇරගෙන. අතේ මල්ලකුත් එල්ලාගෙන ආවා.

හේනේ වැට කැඩුන තැන පෙන්නලා “මුවෝ” කියලා ගොවිරාල කිවා.

අත්තා එතෙන්ට ගිහින් ටිකක වෙලා කුර පාරවල් බලලා කිව්වා “ලොකු උන් දෙතුන් දෙනෙකුයි පැටියෙකුයි” කියලා.

“හ්ම්….”

“බන්ඩේ, මේක අපි වැට කෑලි දෙකකට හදමු; ඇතුල් පැත්තට ඇලවෙන්ට කොට එකක් එලියෙමුයි ඊට වැඩිය උසට එලියට ඇලවෙන්ට එකක් ඇතුලෙමුයි. අතක විතර පරතරයක් පොලොව මට්ටමෙන් තියලා උඩින් එකට ගෑවෙන්ට හැදුවම මැද කෑල්ලට තිඟොල් කටු පම්බරයක් දාමු.”

“ලොකු උන්නැහේ මේ වැඩ කරලා පුරුදුයි වගේ” ගොවිරාල ඔලුව පැත්තකට පොඩ්ඩක් හරවලා කිව්වා හරියට හාමුදුරුකෙනෙකුට කතා කරනවා වගේ. නම නොදැනත් ‘බන්ඩේ’ කියපු එකටත් අකැමැත්තක් නෑ වගේ.

ලොකුඅ ත්තා මට පැත්තකට කතා කරා.

“සිරී බන්ඩෙගෙන් පිහියක් ඉල්ලගෙන ගිහින් තිඟොල් වගේ කටු තියෙන වැල් ටිකක් කපාගෙන එන්ට. දලුක් උනත් කමක් නෑ. හැබැයි පරෙස්සමෙන් කටු ඇනගන්ට එපා - සර්පයෝ එහෙමත් ඇති.”

මෙහෙම කියලා අත්තා වැටට ලී කපන්ට පටන්ගත්තා.

වැට හදලා ඉවරවෙන්ට හුඟක් වෙලා ගියා. ඒ වෙලාවේ වැට ගැන මිස වෙන කිසි දෙයක් ගැන කතා කරේ නෑ. හදන විදිහයි උස පලල ඔක්කොම අත්තා තමයි කියා දුන්නේ. බන්ඩෙයි මමයි ඒ කියන විදිහට වැඩේ කරා. බන්ඩේ අත්තා වගේ නාකි නෑ. හොඳට ඇඟට පන තියෙනවා. ඒහින්දා බන්ඩේ තමයි වැඩිහරියක් කරේ.

අන්තිමට හොඳ හයියට වැඩේ උනා - බොහොම හැඩේටත් තිබුනා. බන්ඩෙට බොහොම සන්තෝසයි.

“ලොකු උන්නැහේ අද කොහෙවත් යන්ට බෑ - මෙහෙ ඉඳලා ගියොත් නරකද?”

“සිරී මොකොද කියන්නේ?”

“ඉඳලා යං අත්තා නැත්තන් කරුවල වෙයි ඉන්ට තැනක් හොයාගන්නකොට.”

“මෙච්චර මහන්සිවෙලා ආයෙ යනවට වැඩිය නරකයෑ ඉඳලා යන එක. අනික මට නිළමෙගෙන් අහගන්ට පුලුවන් මේකෙ පැලක් අටවාගන්ට හොඳ තැන කොහෙද කියලා”

ලොකුඅත්තා දැන් ‘නිළමේ’ වෙලා. ලොකුඅත්තට එච්චර වෙලා යන්නෙ නෑ හම්බුවෙන කට්ටියගෙ හිත වෙනස් කරන්ට!

“බන්ඩේ දැන් මෙහෙ වැඩි කාලයක් නැතුව ඇති”

“දැනට අවුරුදු දෙකයි. අපෙ ගම උඩුදුම්බර - දීගෙන් පස්සේ ගමේම ඉන්නවට වැඩිය කොහෙවත් ගිහින් අපෙම වීරියෙන් මොකක්හරි කරගන්ට කියල තමයි මෙහෙ ආවේ”

අපි ආයුදත් එකතුකරගෙන වැවෙන් ඇඟත් හෝදාගෙන ගොවිරාලගෙ ගෙදර ගියා. ආයුදයි මලුයි ඉස්සුවේ ගොවිරාලයි මමයි විතරයි. අත්තා උන්දැගෙ මල්ලයි හැරමිටියයි විතරයි ගත්තේ.

වැවෙන් ටිකක් කැලේ අතුලට පොඩි ඇලක් අයිනේ තම්යි ඒ පොල් අතු ගෙදර. ගේ වටේට හොඳට සුද්ද කරලා ඉද්ද, හෙන්දිරික්කා වගේ පැල හදලා තිබුනා. මලුත් පිපිලා. බල්ලෙක් බුරාගෙන ඇවිත් ගොවිරාලට වලිගේ වනලා අපිට ගොරව්න්ට පටන්ගත්තා.

“හ්ම් හ්ම් පලයන්” කියන්කොට ඌ ගොරවන එක නැවැත්තුවට ආයෙ ගෙට ගියෙ නෑ.

අත්තා කිසි කතාවක් නැතුව ඇල අයිනේ බන්කුවක් වගේ තිබුන ලීකොටයක් උඩ වාඩි උනා ඇල දිහා බලාගෙන. ඉස්සර ගෙදරදී කජුගහ යට බන්කුවේ වගේමයි. මම බන්ඩෙත් එක්ක ගේ වටෙන් ගිහින් ආයුද මඩුවේ තියලා ආපහු එලියට ආවා. ගොවිරාල ගේ ඇතුලට ගියා.

එදා රෑ අපි මයියොක්කයි අබකොල සම්බලුයි එක්ක බත් කාලා එලියේ මඩුවේ නිදාගත්තා. මටනං ඉක්මනටම නින්ද ගියා. අත්තයි බන්ඩෙයි හොඳටම රෑ වෙනකන් කතා කර කර හිටියා.

උදේ පාන්දරම අපි නැගිට්ටා. මූන කට ඇලෙන් හෝදාගෙන අපි පිටත්වෙන්ට ලෑස්ති උනා. රෑ කෑමම පොදියක් බැඳලා දුන්නා උදේ අපිට ගෙනියන්ට. උදේ තමයි අපි ගම හාමිනේ දැක්කේ. ලාබාල වයසේ කෙනෙක් බන්ඩේ වගේම උස මහතයි. දෙන්නම ඇඟ නමලා අත්තට වැන්දා.

අපි ගිය ගිය තැන මේ වගේමයි. අත්තා ඕනැ කෙනෙකුට කතා කරන්ට දන්නවා. උදව් කරන්ටත් ලෑස්තියි. අත්තට කතා කරන ඕනෑ කෙනෙක් වැඩි වෙලා යන්ට ඉස්සර අත්තට ගරු අරු ඇතුවයි කතා කරන්නේ. මම ඒකගැන අත්තගෙන් ඇහුවා.

“මිනිස්සු හැසිරෙන්නේ හුඟක් වෙලාවට එකවගේ. කියන කරන හැම දේම තමමුත් තමන්ගෙ ලඟ කට්ටියත් ගැන. අපි එව්වා ගැන උනන්දුවක් පෙන්නුවොත් ඒ අය අපිගැනත් උනන්දුවක් පෙන්නනවා”

“සිරීට මතකද අපිට කෙහෙල්ගෙඩි දුන්න කත් කාරයා?”

“ඒ මනුස්සයා කොච්චරවත් කතා කරන එක නේ කරේ”

“අපිත් එක්ක ඇවිදිනකොට දිගටම කතා කරපු එක ඇත්ත. හැබයි අපි හිටියෙ නැත්තන් එයා වරුවක්ම තනියම ඇවිදින්ට එපැයි. අපි එයාට කරපු උදව්ව තමයි කතාවට හූමිටි තිබීම. ඒක අපිට කරදරේකුත් නෑ එයාගෙ ඕනෑකමත් පිරිමැහෙනවා. අන්තිමට හොඳ කෙහෙල් ඇවරිකුත් හම්බු උනා”

මෙහෙම කියලා ලොකු අත්තා ටිකක් හිනහ උනා. මං හිතන්නේ අත්තට මේ වගේ දේ මට කියලා දෙන එක විනෝදයක්.

අපි ගමනේ අන්තිම රෑ හිටියේ තිස්ස වැව ලඟ. පහුගිය දවස් ටිකේ වගේ නෙවෙයි මෙහෙදී යන යන තැන මිනිස්සු. කොච්චරවත් කතා කරනවා. එක එක විදිහට ඇඳගත්ත අය, සොල්දාදුවොයි නිලමෙලයි කරත්ත කාරයොයි කොල්ලොයි කෙල්ලොයි බල්ලොයි ඔක්කොම පාරේ.

එදා රෑ තමයි ලොකු අත්තා උන්දෑ කරන්ට හිතාගෙන ඉන්න දේ ගැන මට කිව්වේ.

වැවෙන් නාන, රෙදි හෝදන අය කරුවල වැටෙනකොට යන්ට යනවා අත්තයි මමයි විතරක් වැව් බැම්මේ ගහක් යට ඉතුරුවෙන්ට. අපි හුලඟට වතුර මතුපිට හැදෙන පොඩී දියරැලි බැම්ම පැත්තට එනවා බලාගෙන හිටියා. ඒකේ ඉවරයක් නෑ, හරියට කවුදෝ වැව මැද ඉඳන් රැලි හදලා තල්ලු කරලා එවනවා වගේ. ටිකකින් අත්තා උගුර පාදලා කවියක් කියන්ට පටන් ගත්තා.

"දේවතාවො වැඩ හිටිනව අහස් තලේ
රජ්ජුරුවෝ මාලිගාවෙ උඩ මහලේ
සත්තු කැමති ජීවත්වී ඉන්ට කැලේ
මම ඉන්නේ හැංගීගෙන මගේ මොලේ"


“මගෙ නංගිගෙ කවියක්”

ඒ කවිය කිව්වේ හිත එකඟ කරගන්ට වෙන්ට ඇති. ඒ කියන්නේ අනාගතේ ගැන කියන්ට ලෑස්ති ඇති.

“මම ඒකාලේ ඉඳන් හිතාගෙන හිටියා මගෙ නංගී ආයෙත් එක සැරයක් වත් හම්බුවෙන්ට ඕනෑ කියලා. එයා දැන් මොලෙන් බලලා හොයාගන්ට බෑ. මං හිතන්නේ කසාදයක් බැඳගත්ත දවසේ ඉඳලා ආයෙ මොලෙන් බැලුවෙ නෑ.”

“මේ සැරේ මං හිතාගෙන ඉන්නේ කොහොම හරි නංගී හොයාගන්ට. අඩු ගානේ ඉන්නවද නැද්ද කියලා හොයා ගන්ට. අන්තිමට මං නංගී එක්ක මොලෙන් බැලුවේ දැන් අවුරුදු පහලොවකට විතර ඉස්සර - උඹ ඉපදෙන්නත් ඉස්සර”

අත්තා ටිකක් වෙලා හිටියා සද්ද නැතුව.

“හෙට මම උඹ ස්වර්නමාලී චෛත්ය ලඟ දර්මසාලාවට එක්ක යනවා. එතන ඉන්නවා මලයා දන්න හාමුදුරුහුරු කීපදෙනෙක්. එතන ඕනැ නම් උඹට ඉන්ට පුලුවන්. හැබැයි මම කියන්නෙ නෑ උඹ කොහෙ ඉන්ටද කියලා”

ලොකුඅත්තා මා දිහා බලාගෙන හිටියා සෑහෙන වෙලාවක් කතා නොකර. හරියට දිග දේශනයක් දෙන්ට ලෑස්ති වෙනවා වගේ.

“තියෙන ලොකුම දේ තමයි තවත් ඉගෙන ගන්න එක, මං මෙහෙ හිටියත් නැතත්. ඉගෙන ගන්නේ මොකද්ද කියන එක නෙවෙයි වැදගත් - මොනවාහරි දෙයක් ඉගෙනගන්න එකයි වැදගත්. අපි, ඒ කියන්නේ මමයි මල්ලියි නංගියි, කලෙත් ඒකයි. අපි ඒ දවස්වල තිබුන පිරිවෙන් වගේ තැන් වලට මොලෙන් යන්ට පුරුදු උනා නිතරම වාගේ. එහෙම යන්ට තැන් හොයාගන්න් එක පුරුදු වෙන්ටත් ටිකක් කල් යයි. හැබැයි පුරුදු උනාම මෙහෙ පන්සලට යනවා වාගෙයි ලේසියි”

“දැන් පිරිවෙන් තියෙනවා වගේ අනික් කාල වල ඉගෙන ගන්ට තැන් බොහෝම තියෙනවා. පොඩි අයට, ලොකු අයට, උගතුන්ට, ආගමේ අයට, වඩු/යකඩ/ගල් වැඩ කරන අයට එහෙම වෙනම ‘පිරිවෙන්’ තියෙනවා. උගන්නන්න දක්ශ ගුරුවරුත් ඉන්නවා - ඕනෑ උපකරනත් තියෙනවා. දැන් පිරිවෙනක වෙනවා වගේ නෙවෙයි එක එක මාතෘකාවලට වෙන වෙන ‘පංති’ තියෙනවා”

“අපි ඒ දවස්වල කලේ අපිට හිතට අල්ලන පංතියක් දැක්කොත් ඒකේ උගන්නන දේ ඉගෙන ගන්නවා. කාලෙයි තැනයි අපිට ප්රශ්නයක් උනේ නෑ. පංතියක කියන දේ තේරුම් ගන්ට අමාරු උනොත් අපි ඊට ඉස්සර තිබුන පංතියට ගියා. යමක් තේරෙන්ට පටං ගත්තහම ආයෙත් පංතියෙන් පංතියට යනවා මාතෘකාව හොදටම වැටහෙනකම්”

මේක කියලා ලොකුඅත්තා හිනා උනා, ඒ කාලේ වැඩ මතක් වෙලා වෙන්ට ඇති.

“අපිට තිබුන ලොකුම වාසිය තමා පංතිය තිබුන දිනෙන් අපි තුන්දෙනාට අවහිරයක් නෙවුන එක. ඒ කියන්නේ, එක පංතියක් ඉවරවෙලා ඊලඟ පංතිය තියෙන්නේ සතියකට පස්සේ උනත් අපිට ඕනැම වෙලාවක එතෙන්ට ගියහැකි උනා”

“වාසි වගේම අවාසිත් තිබුනා….අපි තුන් දෙනා මේ ලංකාවෙත් තව එක එක රටවල් වලත් පංති හොයලා බැලුවා. වැඩේ උනේ ඒ පංති වල උගන්නපු දේ විතරක් නෙවෙයි අපිට අලුතෙන් බාසා එහෙමත් ඉගෙන ගන්ට උනා….මම මලයත් එක්ක සමහරවිට එහෙම ඉගෙන ගත්ත බාසා වලින් තවමත් කතා කරනවා…සමහරු හිතන්නේ මම දොඩවනවා කියලා…”

දැන් දේශනේ ඉවරයි වගේ දැනුනා. වැව පැත්ත හොඳටම අඳුරු වෙලා. ලොකුඅත්තා දනිහට අත තියලා අමාරුවෙන් වගේ නැගිට්ටා.

“උඹටත් පුලුවන් ඕනෑම දෙයක් ඉගෙනගන්ට. මං දෙන එකම අවවාදෙ තමයි ‘අනුන්ට හිංසාවක් වෙන දෙයක් කවදාවත් කරන්ට එපා.’ මේක හිතට ගත්තොත් අනික් එව්වා නොදැනිම හරියනවා”

හෙටින් පස්සේ මගෙ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් එන ගැන හිත හිතා මට වැව් කන්ඩියේ පලු ගහ යට නින්ද ගියා.

[1259]