14 අමුත්තෝ

දවසක් පසලොස්වක පෝයට මම පන්සල් ගියා ගොයිරාලගෙ කට්ටියත් එක්ක. එදා රෑ සෙනග පිරිලා බෝ මලුවෙයි බන මඩුවෙයි. ලොකුහාමුදුරුවෝ පොඩි දේසනාවක් කරලා ඉවර උනා විතරයි අපි එතෙන්ට යනකොට. ලඟින් දුරින් බොහෝම අය ඇවිත් හිටියා.

මම කම්මලේ ලොකු උන්නැහේට ටිකක් වෙලා කතා කරා අලුතෙන් ආපු අත්වැඩ කාරයා ගැන. විජේරත්න වෙද මහත්තයා එක්කත් සෑහෙන වෙලාවක් කතා කරා. ගොයිරාලගෙ ගෙදර අයටවත් කම්මල් කාරටත් කතා කරනවා වගේ නෙවෙයි වෙද මහත්තයත් එක්ක කතා කරන එක. හරියට සුමානෙකට ඉස්සර කරපු කතාවක් නවත්තපු තැන ඉඳං ආයෙත් පටන් ගන්නවා වගේ. මං දැකපු ගමන්ම ඇහුවේ ලොකුඅත්තා ගැන.

“තවම නෑ දුනුකාරගෙන් සද්දයක්?”

“තවම නෑ”

“මට මතක් උනා උන්නැහෙ ඊයේ අර වැව අයිනේ කොහොඹ ගහ ලඟින් එනකොට. එතෙන්දී තමයි මට හම්බුනේ අන්තිම වරට”

මේ කතාවේ හරේ දන්නෙ නැති නිසා මම කිසිවක් නොකියා හිටියා.

“එතෙන්දී තමයි මට සිරීගෙ අප්පච්චී ගැන කිව්වේ”

මම උන්දැටම කතා කරන්ට දීලා පස්සෙන් ගියා.

“දුනුකාරට හිතේ අමාරුවක් තිබුන සිරීගෙ අප්පච්චිට ඔය විජ්ජා වැඩ පිහිටලා නැති එක ගැන. එයා පොඩි කාලේ උත්සාහ කරාලු හැබැයි කලු බන්ඩෙට කිසිම ඕනෑකමක් තිබුනෙ නැතිලු. දුනුකාරගෙ හිතට වැටිලා තිබුනා එයා බලෙන් මේවා උගන්නන්ට ගිය නිසා තමයි කලු බන්ඩේ ඒවට හිතට ගත්තෙ නැත්තේ කියල”

මට අප්පච්චි කියලා තිබුනේ මේවා පිහිටලා නැති බව මිසක් ඉගෙන ගත්තෙ නෑ කියලා නෙවෙයි. එතකොට මට මතක් උනා සමහරවිට මම ගෙදර දිහා මොලෙන් බලනකොට අප්පච්චී ඇස් දෙක තදින් පිහිනවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ යන්තන් ඇහෙනවත් පෙනෙනවත් ඇති හැබැයි ඒ මොකද්ද කියලා තේරුම් ගන්ට බැරුව ඇති. මට අප්පච්චී ගැන හරියට දුක හිතුනා. අනික් අතින් බලනකොට අප්පච්චියි අම්මයි, දැන් නම් තිස්ස මලයයි හොඳ සන්තෝසෙන් ඉන්නවා.

“ඊට පස්සේ තමයිලු දුනුකාර සිරීට ටිකක් පාර පෙන්නලා අයින් වෙන්ට හිතාගත්තේ. මට ඔව්වා හරියට තේරෙන්නෙ නෑ - දරුවට ඊට හොඳින් තේරෙනවා ඇති”

මම බිම බලාගෙන මේවා ගැන හිත හිතා ඇවිද්දා කතා නොකර. වෙද මහත්තයා කතා කරලා ඉවර නෑ.

“ලඟදී ගං පැත්තේ ගියාද?”

“ගිය පෝයට මං … එහෙ බැලුවා…”

“මට හිතාගන්ට පුලුවන්” වෙද මහත්තයා පොඩ්ඩක් හිනහ උනා.

“රිටිගලට?”

“එදාම මං රිටිගල ලොකුහාමුදුරුවන්ට කතා කරා”

“උන්නන්සෙට කතා කරන එක හොඳයි. දුනුකාර වගේ වටින් පිටින් දෙයක් කියන්නෙ නෑ - ඒ දවස් වලත් කෙලින් කතාව”

මේ කතාව කොහෙ යනවද කියලා මට තේරුමක් නෑ.

“මං මේ කියන්නේ, සිරීට මොක හරි ගැටලුවක් තියෙනවනං උන්නාන්සෙට කතා කරලා බලන්ට. ආයෙ වෙන කාගෙන්වත් අහන්ට කියන්ට ඕනැ නෑ”

පොඩි හාමුදුරු නමක් අපෙ පැත්තට එනවා දැකලා වෙද මහත්තයා කිව්වා “දැන් සිරී දුනුකාර උන්නැහේ ආයෙත් හොයාගන්ට හොඳ කාලේ - මට පොඩි උන්නාන්සෙත් එක්ක කතා කරන්ට තියෙනවා”

එහෙම කියලා උන්දෑ මගෙ පිටට තට්ටු කරලා පොඩි හාමුදුරුවෝ පැත්තට ගියා. මට ඉස්සරවෙලාම හිතුනේ පිටට තට්ටු කරපු එක ගැන. ඔලුවට තට්ටු කරන්නේ හරි ඔලුව අතගාන්නේ පොඩි උන්ගෙ - පිටට තට්ටු කරන්නේ සම සම අයගෙ. මගෙ හිතට මේකෙන් ලොකු හයියක් ආවා. එතෙන්දිම හිතුනා රිටිගල හාමුදුරුවන්ට අද හෙටම කතා කරන්ට ඕනෑ කියලා.

මේ ගැන හිත හිතා බිම බලාගෙන ආයෙත් බුදුගේ පැත්තට ඇවිද්දා.

අඩි කීපයක් දුර ගිය මම ගල් පරුවතේක හැප්පුනා වගේ එක පාරටම නැවැත්තුනා, හරියට ඔලුවට හෙනයක් ගැහුවා වගේ. මගෙ ඔලුව පිපිරෙන්ට වගේ එනවා කවුදෝ යටි ගිරියෙන් කෑ ගහන සද්දෙට. සද්දේ ආව වගේම ඉක්මනටම නැවතුනා. වට පිට බලනකොට මට පේන්නේ අනික් පන්සලට ආපු අය කිසි දෙයක් උනේ නෑ වගේ කතා කර කර එහෙ මෙහෙ ඇවිදිනවා. ඒ අයට සද්දේ ඇහිලා නෑ වගේ. හරියට ඒ සද්දේ මගෙ මොලේට කෙලින්ම ආවා වගේ.

ඊලඟට ආවේ අඬන සද්දයක් - ඉකි ගහ ගහ අඬන ගෑනු කට හඬක්. දුක වාවා ගන්ට බෑ වගේ කවුදෝ අඬනවා, මගෙ ඔලුව ඇතුලේ.

මම වහාම ඇස් වහගත්තා. හිත කෙලින්ම ඔලුවෙන් ආපු සද්දෙට යොමු කරා. ටිකින් ටික මට පොඩි කැලෑ පාරකුත්, ගහකට හේත්තුවෙලා බිම වාඩි වෙලා ඉන්න මිනිහෙකුයි එතන බිම දිගාවෙලා මනුස්සයගෙ පපුව අතගාමින් ඉන්න කෙල්ලෙකුයි දැක්කා. ටිකක් ඈතින් බලනකොට පෙනුනේ මේක තලාව පැත්තෙන් එන අතුරු පාරක්, අනුරාදපුරේ ඉඳන් පැයක් විතර ඈත. වන්දනාවේ අනුරාදපුරේ එන දෙන්නෙක් වෙන්ට ඇති, මොකද්දෝ ඇබ්බැහියක් වෙලා.

ටිකක් කිට්ටුවට ගිහින් බලනකොට කැලේ ඇතුලෙන් ගෑනුකෙනෙක් අතෙන් කොල වගෙයක් පොඩි කර කර ඇවිත් ඒකත් මනුස්සයගෙ පපුවේ ගානවා. මිනිහට මොකක් හරි ලෙඩ අමාරුවක් වගේ. මේ තුන්දෙනා අම්මයි අප්පච්චියි දුවයි බව බලපු ගමන් කියන්ට පුලුවන්. මම දුව දිහා බැලුවා. එයා හෙමීන් හැරිලා මං දිහා කෙලින්ම බැලුවා. මට හොඳටම විස්වාසයි එයා මාව දැක්කා කියලා.

තවත් මොලෙන් බලන්ට පුලුවන් කෙනෙක්! මට විස්වාස කරන්ට බෑ - ගොලුවා වගේ බලාගෙන හිටියා.

“අපිට උදවුවක් දෙන්ට පුලුවන්?”

“මම පැයකින් එනවා. වෙදෙක් ඕනැද?”

“නෑ. අපිට අප්පුච්චා අනුරාදපුරේට ගේන්ට කරත්තයක් තිබුනොත්?”

“හඳ තිබුනත් පැය දෙකක් යයි කරත්තේ ගේන්ට. මං දැන් පිටත් වෙනවා”

පස්සේ මේක ගැන හිතනකොට මට පුදුමයි මේ තරම්ම ලේසියෙන් අපි කතා කරපු එක ගැන. කවුද කියලා ඇහුවෙත් නෑ, කොහෙද ඉන්නේ කියල ඇහුවෙත් නෑ. හරියට අපි දෙන්නටම තේරෙනවා වගේ වෙන්නේ මොකද, අපි කතා කරන්නේ කොහොමද කියලා.

මම ගොං කරත්ත හොයන්ට ගියෙ නෑ ගමනට කල් යන නිසා. පොල් අදින අත් කරත්තේ පන්සලෙන් ඉල්ලාගෙන, ඇබිත්තයගෙන් පන්දමකුත් ඉල්ලාගත්තට පස්සේ තමයි මට ගොයිරාලලා මතක් උනේ. මම උන්දෑ හොයාගෙන කොනකට අඬගහලා කිව්වා මම ඒ අයත් එක්ක ගෙදර එන්නෙ නැති බව. ඊ ලඟට වෙද මහත්තයට මම කෙටියෙන් කිව්වා මගෙ ගමන ගැනයි, සමහරවිට රෑට නවතින්ට ලෙඩෙක් එන්ට පුලුවන් කියලා. උන්දෑ “පරෙස්සමෙන්” කියලා විතරයි කිව්වේ.

කරත්තෙත් ඇදගෙන මම පුලුවන් ඉක්මනින් ගමන පටන් ගත්තා.

“හොඳයි අත් කරත්තේ” කියලා මට මොලේට ඇහුනට උත්තර දුන්නෙ නෑ, කතා කරන්ට ගියොත් තවත් වෙලා යයි කියලා.

මේ පාරේ කඳු පල්ලන් නැති උනාට ගල් මුල් වගේම තැනින් තැන හැදී තිබුන හිඟුරු ගස් නිසා ගමන ටිකක් අමාරු උනා. ආපදා පවුල ලඟට මම එනකොට දාඩියෙන් නෑවිලා.

මං ඒ අය ඉන්න හරියට කිට්ටු වෙනකොට මට පේනවා වයසක ජෝඩුවම ගහට හේත්තුවෙලා නිදි කිරනවා. මට කතා කරපු ගෑනු ලමයා මං එන පාර දිහා බලාගෙන ඉන්නවා ඇස්දෙක පිහ පිහා. මට එයත් එක්ක පුදුම බැඳීමක් දැනුනා, මගේ ලොකුඅත්තත් රිටිගල ලොකු හාමුදුරුවොත් ඇරුනකොට මොලෙන් බලන්ට පුලුවන් තවත් කෙනෙක් හම්බ උනේ ඉස්සරවෙලාම නිසා වෙන්ට ඇති.

මම කරත්තේ නවත්තනකොට ලොකු ජෝඩුව ඇස් ඇරලා බැලුවා.

“අනේ පුතේ මෙයා අනුරාදපුරේට ගෙනියන්ට…..”

“මේකේ ඇලවෙන්ටනං ඉඩ නෑ හැබැයි මේ ගෝනි උඩ වාඩි උනොත් ගමන අමාරු වෙන එකක් නෑ”

අපි මනුස්සයා අතින් අල්ලාගෙන ඇවිත් වාඩි කෙරෙව්වා ගෝනි උඩ, කකුලුත් උඩට අරන්. අම්මයි දුවයි කරත්තෙට නගින්ට කැමති උනේ නෑ.

“අප්පුච්චා ඒකේ ගියැයි. අම්මට පුලුවන් ලඟින් ඇවිදින්ට. අපි දෙන්නා මේක තල්ලු කරමු”

මං ගෙනා පන්දමේ එලියෙන් පෙනුනා මේ ජෝඩුව අපේ අම්මයි අප්පච්චියි වගේ වයස, මං හිතපු තරම්ම නාකි නෑ. ලමයා මගේ වයස වගේ. අපි ගමන පටන්ගත්තට පස්සේ තමා ආයෙත් කතා කරේ. දෙන්නෙක් තල්ලු කරනකොට වැඩේ මං හිතපු තරම් අමාරු නෑ.

“මගෙ නම සිරී”

“මම ටිකිරි. අම්මා සීලවතී, අප්පුච්චා කිරිහාමී. අපි තඹුත්තේගම ඉඳන් එන්නේ ඉස්සරවෙලාම අනුරාදපුරේ වැඳගන්ට කියලා. අද පාන්දර තලාවෙන් පිටත්වෙලා ආවේ ඉර බහින්ට ඉස්සර අනුරාදපුරේට එන්ට පුලුවන් වෙයි කියලා. හැබැයි අප්පුච්ච්ගෙ කකුල හින්ඳා ගමන පරක්කු උනා. රෑ මෙතන නැවතිලා යන්ටයි හිතුවේ. එතකොට තමයි…..”

“මොකද උනේ? අලියෙක්වත් ආවද? මට ඇහුනා හයියෙන් කෑගහනවා”

“මේ සේරම මගෙ වැරැද්ද” සීලවතී මැනිකේ හෙමීන් කිව්වා. “මටනේ ඕනැ උනේ අනුරාදපුරේ වැඳගන්ට”

“මේක අම්මා කරපු දෙයක් නෙවෙයි. අරුන් දෙන්නා ආවෙ නැත්තං අපිට කිසි කරදරයක් වෙන්නෙ නෑ….”

“කවුද?”

“අනුරාදපුරේ පැත්තෙන් කරුවලේම ආපු මිනිස්සු දෙන්නෙක්. අපිත් පවු කියලා උන්ට වැලිතලපයි පැනිවතුර පොල් කට්ටකුයි දුන්නා. එකෙක් හිටපු ගමන් නැගිටලා මගෙ අත ඇද්දා. අප්පුච්චත් නැගිට්ටා අතේ තිබුන ලී කෑල්කුත් උලුක් කරගෙන. අනිකා හැරිච්චි ගමන් අප්පුච්චගෙ පපුවට එකක් ගැහුවා. අප්පුච්චා පපුව අල්ලාගෙන බිම වැටුනා. එතකොටයි මං කෑ ගැහුවේ”

“උන් කොහෙද ගියේ?”

“අපෙ හකුරුමුල් තිබුන මල්ලයි දඩ මස් ගෝනි බාගෙයි ඇදගෙන දිව්වා පාර දිගේ” ආයෙත් කඳුලු එන පාටක් මට හැගෙනවා.

“උන් පස්සේ අල්ලමු. දැනට අපි ලොකු උන්නැහෙ වෙදමහත්තයා ලඟට ගෙනියමු”

අපි මහන්සි නිවන්ට ටිකක් වෙලා නැවතිලා, අලුත් පංදමකුත් මොලවාගෙන ආයෙත් ගමන පටන් ගත්තා.

“මේ ලමයා අනුරාදපුරේද?”

“දැන් අවුරුදු කීපයක් මෙහෙ තමයි අම්මේ. අපෙ ගම හැබැයි සීගිරියේ”

“මම බැලුවා….ඒ කියන්නේ මං අහලා තියෙනවා හරිම ලස්සන තැනක් කියලා”

මට තේරුනා ටිකිරි මොලෙන් එහෙ බලලා තියෙනවා කියලා. මට පොඩ්ඩක් හිනා ගියාට මොකද සීලවතී මැනිකේ තරහෙන් වගේ දුව දිහා බලලා ඔලුව පැත්තෙන් පැත්තට හෙල්ලුවා. ටිකිරිගෙ අම්මා වැඩිය කැමති නෑ වගේ මොලෙන් බලන එව්වා ගැන කතා කරන්ට. මම ආයෙත් ඒ කතාව මතුකරේ නෑ.

අපි කෙලින්ම ගියේ වෙදාගෙ ගෙදරට. වෙදා ඇහරවාගෙන කිරිහාමී ගෙට එක්ක ගිහින් මම මෙහෙ ඉන්නකොට හිටපු ඇඳේ ලෙඩා හාන්සිකරා. මේ සේරම උනේ කිසි කතාවක් නැතුව.

“සිරී මේ දෙන්නා එලියට එක්ක යන්ට මම ලෙඩා බලනකං”

අපි තුන්දෙනාටම හොඳටම මහන්සි නිසා අම්මයි දුවයි පිලේ වාඩි උනා. මම මඩුවේ කනුවක හේත්තුවෙලා හැති ඇරියා.

“මේ විජේරත්න වෙද උන්නාන්සේ බොහොම හොඳයි. මම උන්දැත් එක්ක අවුරුද්දක් හිටියා. කරත්තේ ඉල්ලාගන්ටත් ඉස්සරවෙලා මම කියලා ගියේ රෑ ලෙඩෙක් එයි කියලා. ඒකයි කිසි ප්රස්නයක් ඇහුවෙ නැත්තේ”

අම්මයි දුවයි සද්ද නෑ. අම්මා මං දිහා බලාගෙන හිටියා සෑහෙන වෙලාවක් කතා නැතුව, හරියට යමක් කියන්ටද නැද්ද කියලා හිතනවා වගේ. හිටපු ගමන් උන්දෑ ලොකු හුස්මක් අරගෙන මා දිහා බැලුවා.

“පුතා අපි පාර ලඟ ඉන්නවා දැක්කද?”

මට තේරෙනවා මේ අහපු දේ.

“මම බෝ මලුවේ ඉන්නකොට කවුදෝ හයියෙන් කෑගහනවා ඇහුනා මගෙ ඔලුව ඇතුලේ. මං ඉස්සරවෙලා හිතුවේ බෝ මලුවෙම කවුරුවත් කියලා. හැබැයි ඒක වෙන කාටවත් ඇහුනෙ නෑ. එතකොට මම…”

“බැලුවා?” ඒක ඇහුවේ දුව.

“…ඔවු. මගෙ ලොකු අත්තයි උන්දැගෙ මල්ලියි ඇරුනුකොට වෙන එහෙම බලන්ට පුලුවන් කෙනෙක් මට හම්බුවෙලා නෑ… ඒකයි මට විස්වාස කරගන්ට බැරි උනේ…”

“පුතාගෙ අප්පච්චිගෙ නම මොකද්ද?”

“කලුබන්ඩා”

“වාසගම දන්නවද?”

“මං හරියටම දන්නෙ නෑ. ලොකු අත්තට සීගිරියේ අය කිව්වේ ලොක්කා කියලා. හැබැයි අනුරාදපුරේ අය කියන්නේ දුනුකාර නිලමේ කියලා”

අම්මයි දුවයි මූනෙන් මූන බලාගෙන හිටියා ටිකක් වෙලා. මට දැනෙනවා මෙතන මොකද්දෝ රහසක් තියෙනවා කියලා. මගෙන් ප්රස්න අහන්ට පුලුවන් නම් ඇයි මටත් බැරි කියලා හිතුවා.

“ටිකිරිට මොලෙන් බලන්ට ඉගැන්නුවේ කවුද”

සීලවතී දුව දිහා බලලා ඔලුව හෙල්ලුවා.

“ඇයි අම්මේ අපිට උදව් කරපු මේ අයියට කිව්වහම මොකද”

“දන්නවානෙ අපි මෙව්වා ගැන කතා කරන්නේ නෑ කියලා”

එතකොට මට තව එකක් මතක් උනා. මම මොලෙන් බලනකොට දැක්කා මේ අම්මා කොල වගෙයක් පොඩිකරලා කිරිහාමිගෙ පපුවේ ගානවා. වෙදෙකුත් ඕනැ නෑ කිව්වා. ලොකුඅයිත්තගෙ නංගිත් වෙදකම් ඉගෙන ගත්තේ විජේරත්න වෙදා එක්ක.

“මේ අය කියන්ට අකැමැතිනං මං කියන්නං. ටිකිරිගෙ අත් අම්මා උපන්නේ සෝමාවතිය පැත්තේ. වයස අටේදී වගේ අනුරාදපුරේට ආවා අයියලා දෙන්නත් එක්ක. මෙහෙ ඉඳලා වෙදකං ඉගෙනගත්තා - මේ විජේරත්න වෙදත් එක්ක එකට ගල්කන්ඳේ හාමුදුරුවන්ගෙන්…”

අම්මා බිම බලාගෙනම ඉන්නවා. ටිකිරිගෙ මූනේ පොඩි හිනාවක් පෙනෙනවා.

“මට ලොකුඅත්තා කිව්වා දුනුකාර පවුල ගැන. මමත් සෝමාවතිය පැත්තේ හොයල බැලුවා. ලොකුඅත්තත් එක්ක මම අනුරාදපුරේට ආවට පස්සේ උන්දෑ නංගී හොයන්ට කියලා පිටත් උනා. තවම ඊට පස්සේ ආරංචියක් නෑ”

“මං උඹට පුතා කියාපු එක හරි. මේ ලොකු මාමගෙ මුනුබුරා කියලා මට විස්වාස කරන්ටත් අමාරුයි. අපෙ අම්මා එයාගෙ බලේ පාවිච්චි කරන්ට පටන්ගත්තේ මේ ටිකිරි කෙල්ල වයස අටක් විතර කාලේ. එතකන් මම වත් දන්නෙ නෑ ඕක ගැන. මේකී එක්ක කතාවෙන් තමයි එලි උනේ. හැබැයි දැන් අවුරුදු ගානකින් එහෙම බලන එක නවත්තලා තියෙන්නේ…එහෙම නේද?” ඒ ටිකිරිගෙන් ඇහුවේ.

“දැන් බිසෝට එහෙම කොහොමද?”

අපි දන්නෙම නැතුව වෙදා එලියට ඇවිල්ලා අපි කියපු දේ අහගෙන ඉඳලා.

“…වරදක් නෑ… ලෙඩාට කොහොමද?”

“දැන් නිදි. ආයෙ දවසක් දෙකක් යනකොට පරෙස්සං උනොත් බයවෙන්ට දෙයක් නෑ….සිරීට නෑදෑයෝ හම්බුවෙලා නේද”

“ඔවු…”

“මේ අයට මෙහෙ ඉන්ට පුලුවන් - බිසෝගෙ කට්ටියට දෙන්නැත්තං ආයෙ කාටද දෙන්නේ. සිරිත් එලිවෙනකං ඉන්ට, මේ ඇත්තෝ ටිකක් ඇල වුනැයි. කොල්ලා රොටී පුච්චනවා. ටිකක් කාලා බීලා ඇලවෙන්ට. මට ආයෙ නින්ද යන්නෙ නෑ. මට සිරිත් එක්ක කතා කරගන්ට දේ තියෙනවා”

වෙදයි මමයි බංකුවේ වාඩිවෙලා කතා නොකර හිටියා අනික් අයගෙන් කිසි සද්දයක් අහෙන්නෙ නැතිවෙනකං. ඒ නිසන්සල වෙලාවේ මට අමුතු සතුටක් දැනුනා, කිසිදාක නොතිබුන. එලිය වැටෙන්ට ඉස්සර, මුලු ලෝකෙම නිදාගෙන ඉන්නකොට, මට දැනුනේ මම විතරක් ඇහැරලා ඉන්නවා වගේ. මහංසියක් දැනුනෙත් නෑ, නිදිමතක් දනුනෙත් නෑ. අර රිටිගල ලොකුහාමුදුරුවෝ කියපු සාමකාමී බව මේ වගේ වෙන්ට ඇති කියලා මට හිතුනේ.