5 අලුත් ජීවිත
රිටිගල පන්සලේ ජීවිතේට මම ටික ටික පුරුදු උනා. දන් අපි මෙහෙ අවිල්ලා කාලයක් - වෙසක් පෝයට ආපහු ගෙදර යන්ට හිටියට දැන් බිනර පෝයත් අවිල්ල ගියා. වැස්සත් ටිකක් අඩු උනාට තවම ඉඳලා හිටලා හවසට වහිනවා. අපිට ගල්ගුහාව හොඳට පුරුදුයි. වටේට හදපු ඉද්ද ගස්වල මලුත් පිපෙනවා. පෝයට පන්සලට ගමේ අය කීපදෙනෙක් ආවට අනික් දවස් වලට හරිම නිස්කලන්කයි.
උදේට නැගිටලා මූන කට හෝදාගෙන ඇබිත්තයා දෙන දෙයක් කනවා. නිතරම වගේ උදේට කොල කැඳ. සමහර විට කොල්ලු වගේ දෙයක් තම්බලා තියෙනවා. දවල්ට ලොකුවට එලවලුත් එක්ක බත් හරි කොස්, දෙල් වගේ දෙයක් කනවා. රෑට වැඩි කෑමක් නෑ; හවස මොනවාහරි හපලා පොල්පලා බොන එක තමයි.
උදේ වේලෙන් පස්සෙ මම ලොකුහාමුදුරුවොත් එක්ක තමයි හිටියේ. ඒ වෙලාවේ මට ඉගැන්නුවේ මම හිතපු දේවල් නෙවෙයි. මම හිතාගෙන හිටියේ පුස්කොලපොත් වලින් බනයි පිරිත් එහෙමයි කියවන්ට වෙයි කියලා. ලොකුහාමුදුරුවෝ එව්වා ගැන ඒතරං හිත යොමු කරේ නෑ. හැබැයි බොහොම වෙලාවට මගෙන් ප්රශ්න අහලා, මං දෙන උත්තරේ හැටියට එක එක දේ කියලා දුන්නා.
මම ලොකුහාමුදුරුවොත් එක්ක ඉන්න වෙලාවේ ලොකු අත්තා සමහරවිට ඇවිල්ලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා යනවා. අනික් වෙලාවට උන්දෑ එක්කෝ ඇබිත්තයත් එක්ක, නැත්තන් වැව පැත්තේ ඇවිදින්ට ගිහින්.
ලොකු අත්තයි මමයි ඇබිත්තයට හුඟක් උදව් කරා, එලවලු එහෙම හොයාගන එන එක වගේ දේ මට තමයි බාර. අත්තත් එක්ක මම ලිඳ එහෙමත් සුද්දකරලා අලුත් වැසිකිලියකුත් හැදුවා.
දවල් වරුවේ හොඳටම මහන්සි වෙනවා මොකක් හරි කරලා. මම වත්ත උදලුගාලා ඒකෙ ගල් වැටවල් එහෙම බඳින්ට උදව් කරා. ඒවගේ වැඩ වලට ලොකු අත්තා තරම් දක්ශ කෙනෙක් මම කවදාවත් දැකලා නෑ. උන්දැට බෑ නිකන් වැටවල් බඳින්ට - මුලු පලාතම දිහා බලලා, වතුර ගලන්නේ කොහෙන්ද කියලා හොයලා, පිහිටි ගලුයි ගල් කුට්ටියි පාවිච්චිකරන හැටි හොදටම හිතලා තමයි බැමි බඳින්ට පටන් ගන්නේ.
මම ඉස්සර ඉස්සර හිතුවේ මේක කාලේ නාස්ති කරන දෙයක් කියලා. පිහිටි ගල් අතරට අවටින් හොයා ගන්න ගල් කුට්ටි බඳින එක ඒ තරම්ම හිතන්ට ඕනැ දෙයක් නෙවෙයි. දවසක් මම ලොකුඅත්තගෙන් අහුවා මේක ගැන.
"සිරී, ගල්ගෙඩි ටිකක් පෙලට තියන්ට ඕනෑම කෙනෙකුට පුලුවන්. හැබැයි බැම්මක් ප්රයෝජනයක් තියෙන්ටනම් අපි හිතලා බලන්ට ඕනෑ ඇයි අපි ඒක හදන්නේ කියලා. හිතලා බලන්ට පඩි පෙලකයි එලවලු පාත්තියකයි තියෙන වෙනස්"
"එකක ඇවිදින්ට අනික එලවලු හදන්ට" හරියට ලේසි ප්රශ්නෙකට උත්තර දෙනවා වගේ මම කෙලින්ම කිව්වා.
"ඇත්ත. තව හිතලා බලන්ට වැහි කාලෙට, එහෙම නැත්තන් ඉඩෝරෙට වෙනසක් වෙයිද කියලා. අනික් එක, හුඟක් ගස් වදල තියෙනවානම් මොකොද කරන්නේ? තව හිතලා බලන්ට ඕනැ නේද වල් ඌරෝ එහෙම එනවනම්, එහෙම නැත්තන් විසාල සෙනගක් පන්සලට එනවන්ම් කියලා. මම මේ කියන්නේ, යමක් හදනකොට ඉස්සරවෙලාම මේදේවල් ගැන හිතුවොත් හදන දේ කල් පවතිනවා විතරක් නෙවෙයි ඕනෑ වැඩේට ගැලපෙනවා."
ලොකුඅත්තා ඒ වෙලාවේ මට යමක් ඉගැන්නුවා කියලා හිතුනේ ඊට දවස් දෙකකට පස්සේ වැහැපු වැස්සෙන් මගෙ මිරිස් පාත්තිය හෝදාගෙන ගියාට පස්සේ. ලොකුඅත්තා ඒකගැන වචනයක්වත් කතාකරේ නෑ. මම දවස් කීපෙකට පස්සෙ මගෙ ගල් වැට සම්පූර්නෙන් අලුතෙන් හැදුවා.
ලොකු අත්තා මට ඉඩමක වටිනාකමයි ඒක හොඳට පාවිච්චිකරනහැටියි පෙන්නලා දුන්නා. හැබැයි 'මේක කරන්නේ මෙහෙමයි' කියලා කියන්නෙ නෑ. මම බලාගෙන ඉඳලා, උදවු කරලා තමයි වැඩේ තේරුන් ගන්නේ. මට මෙව්වා උගන්නනවා කියලා තේරෙන්නේ වැඩේ කරලා ඉවරවෙලත් කාලෙකට පස්සේ.
මම කොහිල කන්ට කැමති හින්දා මට හිතුනා කොහිල පාත්තියක් හදන්න්ට. මම මේක ලොකුඅත්තට කියපුවාම උන්දෑ ටිකක් හිතලා කිව්වා "ඉඩෝරෙට වතුර ගන්නේ කොහෙන්ද බලමු" කියලා.
"වැස්ස නැතිම කාලෙට වැවෙන් ගෙනත් දානවා" මට ඕනෑ එකකට උත්තරයක් තියෙනවා.
"කවුද වතුර අදින්නේ උදේ හවහ?"
"මට පුලුවන් ලොකු අත්තා"
අත්තා සද්ද නැතුව ටිකක් වෙලා හිටියා.
"සිරී මෙහෙ හැමදාම ඉන්න්ටද අදහස?"
පන්සලේ වත්තේ කොහිල හදන එක ඊට වැඩිය හිතලා බලලා කරන්ට ඕන දෙයක් බව මට තේරුනේ එතකොට. මම කොහිල වලට කැමතී කියලා එකසැරේම පැනලා වැඩ පටංගන්න එක මෝඩ කමක් වෙන්ටත් පුලුවන්.
"එහෙනං මෙතන මොනවද වවන්නේ?"
"ඊට ඉස්සරවෙලා හිතලා බලමු මෙතන මොනොවත් වවන්ට ඕනැද කියලා - දැනට ගිහින් බලමු ඇබිත්තරාල කොත්තමල්ලි තම්බලාද බලන්ට, මට සුවඳක් දැනුනා ටිකකට ඉස්සර."
රිටිගල ආවට පස්සේ ලොකුඅත්ත ටිකක් වෙනස්. දැන් ඉස්සරට වඩා කතා කරනවා මාත් එක්ක. ඒ වගේම, ඉන්නේ ටිකක් සන්තෝසෙන් වගේ. ගෙදරදී කජුගහ ලඟ බංකුවේ ඉඳන් කල්පනා කර කර හිටිය අත්තා දැන් මහන්සිවෙලා වත්තේ වැඩ කරනවා. ඒ මමත් එක්ක විතරක් නෙවෙයි ඇබිත්තයතෙ එක්කත් බුලත් හප හපා කතා කර කර ඉන්නවා හවසට. හැබැයි තනියම ගිහින් ලොකුහාමුදුරුවොත් එක්ක කතාකරලා හුඟාක් වෙලා ගිහින් පහලට එනකොට නම් හරි බරපතල මූනක් පෙන්නන්නේ.
අත්තා ලොකුහාමුදුරුවෝ හම්බුවෙන්ට එක එක වෙලාවට ගියත් මට තියෙන්නේ හැම දාම උදේ වරුවේ උන්නාන්සේ දකින්ට. උදේට නැගිටලා, පැදුර එහෙම අස්කරලා, මූන කට හෝදාගෙන තියෙන දෙයක් කාලා බීලා මම කෙලින්ම පඩිපෙල නැගලා යනවා කුටිය දිහාවට. මම යනකොට දවසක් නෑර ලොකුහාමුදුරුවෝ මිදුලේ සක්මන් කරනවා. මම බෝ පැලේ ලඟට වෙලා ඉන්නවා සක්මන ඉවර වෙනකන්.
මම මෙහෙ ඉස්සරෝම ආපු දවස්වල හාමුදුරුවෝ සක්මන නැවැත්තුවා මං පඩිපෙලෙන් උඩට නැගපු ගමන්. හැබැයි එන්ට එන්ට කාලේ ටික ටික වැඩි උනා. මම පටං ගත්තා උන්නාන්සෙගෙ අඩි ගනං කරන්ට. කාලය යනකොට තමයි මට දනුනේ අඩි ගාන දවසට තුනක් ගානෙ වැඩි උනා කියලා. දැන් මම හරියටම දන්නවා මම උඩ පඩියට ආවහම ඊට පස්සේ තව අඩි කීයක් හාමුදුරුවෝ ඇවිදිනවද කියලා. මේකත් එක පාඩමක් වෙන්ට ඇති.
අනික් එක, හාමුදුරුවෝ දිහා මම බලාගෙන ඉන්නකොට වටපිට දේ කිසිදෙයක් ගැන මම හිතන්නෙ නෑ. සමහරවිට මට වෙන කිසි දෙයක් පේන්නෙත් නෑ. සක්මන ඉවරවෙනකොට මට දැනුනේ හරියට ආයෙත් ඇහැරෙනවා වගේ.
"සිරී හිතලා බලන්ට අපි නොහිතාම කරනදේ ගැන. මනුස්සයෝ හුස්ම ගන්නවා ඒක ගැන හිතුවත් නැතත්. ඒ වගේම වටේට තියෙන සද්ද ඇහෙනවා, හිතලා අහගෙන හිටියෙ නැතත්. මෙව්වා ජීවිතේ තියන ඕනෑම සතෙකුට පුලුවන්.
අපේ සරීරවලට බොහොම දේවල් කරන්ට පුලුවන් ඒක ගැනම හිතන්නේ නැතුව. පොඩි ලමයි ඉපදුන වෙලාවේ ඉඳන් මේවා කරන්ට දන්නවා."
"ඒවගේම තව දේවල් තියෙනව අපි ඉගෙනගන්ට ඕනෑ, පුරුදු වෙන්ට ඕනෑ. ඇවිදින එක ගැන හිතලා බැලිවොත්, ඒක කරන්ට ඇඟේ කොටස් කීයක් පාවිච්චි වෙනවද. අත් කකුල් ඇරුනුකොට මොලෙත් ඕනෑ බිම නොවැටී අවිදින්ට. නමුත් අපි මේ වගේ දේවල් ගැන හිතන එක වටිනවා."
මට වැඩි තේරුමක් නෑ මේ කියන එක.
"කූඹියොත් මොලේ පාවිච්චි කරනවද ඇවිදින්ට?"
"බොහොම හොඳ ප්රශ්නේ. ටිකක් හිතලා බලන්ට කූඹියොයි මිනිස්සුයි අතර වෙනස."
මම දන්නවා හාමුදුරුවෝ මගෙන් උත්තරයක් එකසැරේම බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. මම ඒක ගැන හිතන්ට පටංගත්තා.
කූඹියෝ පොඩියි අපි ලොකුයි. උන්ට අපිට වැඩිය කකුල් තියෙනවා. උන් ඔලුව පොඩි හින්දා වැඩිය හිතන්නේ නැතුව ඇති. අනික් අතට උන්ට එලවලු වවන්ට, රෙදි හෝදන්ට, කෑම හදන්ට එහෙම් ඕනැ නෑ. සමහරවිට තියෙන මොලේ ඇති ඕන දේ කරගන්ට. කූඹියෝ ඉන්නේ ලොකු රැලවල් පිටින්, අපි වගේ පවුලක් දෙකක් එකට නෙවෙයි. උන්ට පන්සල් එහෙමත් නෑ.
"අපෙ හාමුදුරුවෝ කූඹියෝ උන්ට තියෙන මොලේ පාවිච්චිකරනවා ඇති තමන්ට ඕන දේ කරගන්ට. ඒ කියන්නේ උන් ඇවිදින්ට මොලේ පාවිච්චිකරාට අපි කරන බොහොමදේ උන්ට බෑ."
"අපෙ මොලෙන් කරන්ට පුලුවන් සේරමදේ අපි කරනවද?"
මම හිතලා බැලුවා මම දන්න අය ගැන. අප්පච්චී හරිම හොඳයි ගොවි තැනට. අම්ම ඕනෑලෙඩකට බෙහෙත් දන්නවා, උයන්ටත් පුලුවන්. ලොකුඅත්තා වඩු, ගල්, ගඩොල් වැඩ වලට හොඳයි හැබැයි කුඹුරු වැඩට ආසාවක් නෑ. සිට්ටියා බෙර ගහන්ට දක්සයි හැබැයි බේත්හේත් ගැන දන්නෙ නැතිලු. ලොකුහාමුදුරුවෝ මොකොට දක්සද කියලා තවම හොයාගන්ට බැරි උනා. මට අමතකවෙන්ටත් ගියා අපෙ පවුලේ කීපදෙනෙකුට 'මොලෙන් බලන්ට' පුලුවන් කියලා.
"එක එක දේ ඉගෙන ගත්ත හැටියටයි පුරුදු උන හැටියටයි තමයි මොලේ පාවිච්චි වෙන්නේ"
"බොහොම හොඳයි - අද දවසේ ඉතුරු වෙලාවේ මේක ගැන හිතලා බලන්ට. මොනවද මොලේට බැරි පුලුවන් දේ ගැන". මෙහෙම කියලා උන්නාන්සේ කුටිය පැත්තට ගියා. මමත් පඩිපෙලෙන් බැහැලා පහලට ආවා.
මම රෑවෙලා ගලක් උඩ වාඩිවෙලා මොලෙන් කරන දේ ගැන හිත හිතා ඉන්නකොට ලොකුඅත්තා අවිත් එහා ගල උඩ වාඩිඋනා.
"සිරී අප්පච්චියි අම්මයි ගැන ටිකක් හොයලා බැලුවොත් නරකද?"
ඉඳලා හිටලා මට ගමට යන්ට හිතුනත් ඒතරම්ම ඕනෑකමක් දනුනෙ නෑ. ඒක වැරැදිකියලා හිතුනෙත් නෑ. හැබැයි අත්තා එහෙම කියනකොට මට හරි ආසාවක් හිතුනා ගෙදර දැකගන්ට.
"ඇයි අපි ආපහු යන්ටද?"
"මම යන කතාවක් කිව්වෙ නෑ නේ. මං හිතුවේ බලන්ට කියලා". එතකොට තමයි මට තේරුනේ මේ අත්තා කියන්නේ මොලෙන් බලන එක ගැන.
"මම දන්නෙ නෑ මට පුලුවන්ද කියලා." ඇත්තටම මම කීපසැරයක් මේක ගැන හිතුවට කරන්ට බය උනා.
"දැන් හොඳයි උත්සාහ කරොත්. නැතුව කොහොමද දැනගන්නේ බැරිද පුලුවන්ද කියලා. අනික් එක, දැන් බලන එක හොඳයි."
අත්තා නැගිටලා අවිත් මගෙ ඔලුව උඩ අත තිබ්බා. මමත් කුටිය ලඟදී කරා වගේ කෙලින්ම එකම තැනක් දිහා බලාගෙන අපෙ ගෙදර ගැන හිතුවා.
ඉස්සරවෙලාම මම දැක්කේ අම්මයි අප්පච්චියි ගෙදර පිලේ ඉන්නවා මූනෙන් මූන බලාගෙන. අප්පච්චිගෙ කරේ ලේන්සුවක් හරියට කොහෙදෝ යන්ට ලෑස්ත්යි වගේ. වාඩිවෙලා ඉන්නවනම් ඒ කියන්නේ කොහෙවත් ගිහින් ආපුගමන් මොකොද කරුවලත් වැටීගෙන එන හින්දා. දෙන්නම විහිලුවක් කරලා වගේ පොඩ්ඩක් හිනා වෙනවා. මට හැබැයි දනෙනවා ඒගොල්ලන්ට මාව පේන්නෙ නෑ කියලා. අපරාදේ.
අම්ම ඉස්සරට වැඩිය මහතයි හරියට ලමයෙක් හම්බුවෙන්ට ඉන්නවා වගේ...
ලොකු අත්තා එයාගෙ අත මගෙ ඔලුවෙන් අයින් කරලා කිව්වා "සිරී අයියා කෙනෙක් වෙන්ට යන්නේ" කියලා. මට කිසි දෙයක් කියන්ට බෑ. එක අතකින් සන්තෝසයි. ඒවගේම ටිකක් දුකයි මම ගෙදර නැති එක ගැන.
"සිරීගෙ ජීවිතේ වෙනස්වෙනවා වගේම මගෙ ජීවිතෙත් වෙනස්වෙනවා. ඒ වගේම අලුත් ජීවිත ලෝකෙට එනවා. අපි සේරටම් අලුත් ජීවිත මින් පස්සේ." [1313]