12 අලුත් පරිච්චේදයක්

අනුරාදපුරේ ඇවිල්ල අවුරුදු තුනක් ගිහින් දැන් මගෙ ජීවිතේ හොඳටම වෙනස්. ඉස්සර වගේ ගොයිරාල්ගෙවත් කම්මලේවත් වෙද ගෙදරවත් නෙවෙයි ඉන්නේ. මටම කියලා පොඩි පැලක් තියෙනවා පොඩි ඉඩංකෑල්ලකුත් එක්ක. ඒක ගත්ත හැටි මටමත් පුදුමයි.

ගොයිරාලලත් එක්ක හිටිය අවුරුද්ද හරියට ගෙදර හිටියා වගේමයි. මහ දෙන්නා මට හොඳට සැලකුවා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මම හොඳටම මහන්සිවෙලා වැඩ කෙරුවා. හරියට හිත යොදපුහම කුඹුරු වැඩත් සෙල්ලමක් වගේ. ලොකුඅත්තා කියල දීපු හැටියට කුඹුරේ වේලි සේරම අලුතෙන් හැදුවා වතුර අඩුවක් නොවෙන්ට වැස්ස නැති කාලෙටත්. ඒවගේම ලී කෑලි හිර කරලා වතුර එක එක පැත්තට ඕනෑ විදිහට හරවන්ට ක්රමයකුත් හදා ගත්තා. ඒක කොච්චර හොඳට වැඩ කරනවද කියලා ගොයිරාලටත් පුදුමයි. වචනෙන් කිව්වෙ නැති උනාට මට එක පලෝලේ කෙනෙකුට වගේ සැලකුවා.

උපාසකම්මා තමංට පුතෙක් නැති නිසාද කොහෙද මට පුතෙකුට වගේ සැලකුවා. ලෙඩක් දුකක් උනත් එහෙ මෙහෙ දුවලා බේත් හේත් හොයන්ටත් උනේ මට. අනික් එක, ගොයිරාල කොහෙ හරි පින්කමකට එහෙම යන්ට උනත් බයක් නැතුව දුවත් එක්ක ගෙදර ඉන්ට පුලුවන් මං හින්දා. නංගිට අකුරු උගන්නන එක ගැනත් මහ දෙන්නම සන්තෝසයි. මොකොද නංගිට වෙන කොහෙන්වත් ඒවා ඉගෙනගන්ට හම්බුවෙන්නෙ නෑ - කෙල්ලෙක් නිසයි අඩුකුලේ නිසයි. නංගිත් මොනවා හරි ඕනෑ උනහම මට තමයි කියන්නෙ.

මං කම්මලේ වැඩකරපු කාලෙත් හිටියේ ගොයිරාලලෑ ගෙදර. ජිනපාල අවුරුද්දට ගෙදර ගියාට පස්සේ ආයෙ ආවෙ නෑ. මං හිතන්නේ මොකද්ද නොරොක් වීමකුත් තිබුනා ජිනපාලයි කම්මල්කාරයයි අතරේ. අන්තිමට අන්තිමට මං එක්කත් වැඩිය නෑ. මම කම්මලේ වැඩ ඉගෙනගන්ට එනවා කිව්වට පස්සේ ජිනපාල කියපු එකමදේ තමයි “ටිකක් කාල බලපන් උඹත්” කියලා.

ගොයිරාලත් එක්ක කුඹුරේ වැඩ කරනවට වඩා කම්මල් වැඩ අමාරුයි. ඇත්තටම කියනවනං අමාරු වැඩම නෙවෙයි, දවස් ගානේ කම්මල ඇතුලෙම ඉන්ට වෙන එක තමයි අමාරු. ගස් අස්සෙන් ගිහින් වේල්ල අයිනේ ගලක් උඩ ඉඳගෙන ඉන්න එකේ සැප දැනෙන්නේ ගිනි රස්නේ දාඩිය පෙරාගෙන යකඩ කෑලි තලන කොට. රස්නෙයි දුමයි දූවිල්ලයි පුරුදු වෙනව ඉක්මනටම - කුඹුරේ ඇවිදිනකොට වගේ දැනෙන හුලංපාර නැති එක තමා පුරුදුවෙන්ට අමාරු.

එක හොඳක් තමා කුඹුරේ වගේ නෙවෙයි කම්මලේ හැමදාම වැඩ නෑ. ඒකෙන් මට ගොයිරාලට උදව්වෙන්ටත් පුලුවන් උනා කම්මල් වැඩ ඉගෙන ගන්න ගමම්ම.

කම්මල් කාරයට මම කතා කරේ ‘ලොකු උන්නැහේ’ කියල. උන්දෑට පවුලක් නෑ, උන්දැයි අම්මයි තාත්තයි හිටියේ කම්මලේ පිටිපස්සේ අටවපු පොඩි ගෙදරක. වතුර එකක් උනුකරගන්ට, මොකොවත් තම්බාගන්ට එහෙම ලිපකුත් තිබුනට උන්දෑ කෑවේ ගෙදරින්. මම පාන්දර වැඩට එනකොට උපාසකම්ම දෙන කෑම ටිකකුත් බැඳගෙන ආවේ දවල්ට කන්ට. රෑ වෙනකොට ගෙදර ගියා.

කම්මලේ අවුරුද්දක් ඉඳලා මම වෙද ගෙදර අත් උදව්වට ගියා. ලොකුඅත්තා කියලා ගිහින් තියෙනවා වෙද රාලහාමිට මට පුලුවන් දෙයක් උගන්නන්න කියලා. වෙද රාලහාමී ඒකට කැමතිවෙලා තියෙන්නේ පරන යාලුකං නිසයි උන්දැගෙ පුතා වෙද හෙදකං ඉගෙනගන්ට කැමති නොවුන නිසයි වෙන්ට ඇති. ඒ පුතා තැන් මේ පලාතේ නෑ - කොහෙදෝ වෙලඳාමේ වැඩක්ලු. දුවල දෙන්නත් දීග ගිහින් ඉඳල හිටලලු එන්නේ. වෙද හාමිනේ නැති උනදා ඉඳන් උයන්ට ඉන්න කොල්ලා ඇරුනුකොට වෙන කෙනෙක් ගෙදර නෑ. මේවගේ දේවල් නිසා මට කාමරේක නිදා ගන්ටත් ලැබුනා.

වෙද ගෙදර ජීවිතේ ගොයිරාලගෙ ගෙදර ජීවිතේට වැඩිය හුඟක් වෙනස්. වෙද රාලහාමි කතාවට දස්සයා. විහිලු කාරයා. ඒ උනාට වෙද කමට බොහොම දක්සලු පලාතේ අය කියන හැටියට.

උදේ වරුවේ හුඟ දවස්වල උන්දැයි මමයි එක එක බෙහෙත් පැල හොයාගෙන ගියා. සියගානක් බෙහෙත් ගස්, මුල්, අල, පැලෑටි දැක්කම ඒක ගැන දිගටම කතා කරනවා. හරියට වන්දනාවේ යනවා වගේ. ඉස්සරෝම දකින දේ අඳුනා ගන්න හැටි පෙන්නල දෙනවා. ඊලඟට ඒවා පාවිච්චි වෙන හැටියි, නෙලාගන්න හැටියි කියනවා. සමහරවිට ඒවා පාවිච්චි කර ලෙඩ්ඩු ගැනත් කියනවා. මේ මුලු එකම හරියට කතාන්දරයක් වගේ ගොතල තියෙන්නේ. අහගෙන ඉන්න එකයි මතක තියාගන්න එකයි ඒතරම් අමාරු නෑ.

මේ බෙහෙත් හොයන ගමන් උනේ කැලේ විතරක් නෙවෙයි. යන ගමං ගමේ ගෙවල් කීපෙක නැවතිලා ටිකක් කතා කර කර ඉන්නවා. ටිකක් කල් යනකොට තමයි මට තේරුනේ අපි පලාතෙ හැම ගෙදරකටම වාගේ යැවෙනවා කියලා ඒ අයගේ ලෙඩ දුක එහෙමත් බලාගෙන. මට හිතුනේ වෙද රාලහාමී බෙහෙත් විතරක් නෙවෙයි ලෙඩ්ඩුත් හොයනවා කියලා.

දවල් කාලා ටිකක් ඇලවෙලා ඉඳලා, හවසට වෙද රාලහාමී වැවෙන් නාගෙන එහෙම පන්සල පැත්තෙත් ගිහින් තමයි ගෙදර එන්නේ. රෑ කෑමෙන් පස්සේ උන්දෑ මිදුලේ ලී කොටේක වාඩිවෙලා මට පරන කතා කියනවා. ඉඳලා හිටලා ඔය කතා වල අපෙ අත්තලත් ඉන්නවා.

ගිය අවුරුදු තුනේ මම කීප සැරයක් ගෙදර ගියා අවුරුද්දටයි කොලදින් කාලෙටයි. තිස්ස මල්ලී දැන් හොඳට ඇවිදිනවා. ටිකක් කතා කරන්ටත් පුලුවන්. අම්මයි අප්පච්චියි ටික ටික වයසට යනවා වගේ පේනවා. වැඩිය කතා නොකරන අප්පච්චි දවසක් මගෙන් අහුවා “උඹ මලයා බලාගන්නවා නේද?” කියලා. මම ඇයි කියලා අහනකොට තමයි කිව්වේ ඒ අය ඒගොල්ලන්ගේ ගමේ යනකොට පොඩි එකා තවම ලාබාල වයසේ ඉඳී කියලා.

මම කවදාවත් හිතල නෑ අම්මයි අප්පච්චියි මැරෙයි කියලා. ඒක මගේම මෝඩ කම. තව ආයුශ ගොඩක් තිබුනත් මට හිතුනේ ඒගොල්ලන්ගේ හිත සනසන එක හොඳයි කියලා.

“මම නිතරම මල්ලී ගැන හොයල බලන්නං කොහෙ හිටියත්”

“ඔවු. උඹට අපෙ අප්පච්චිට වගේ බලන්ට පුලුවන් නේද?”

“ඔවු අප්පච්චී. මං දැනටත් නිතරම ගෙදර දිහා බලනව ගෙදර අය හොඳින් ඉන්නවද කියලා බලන්ට”

“ඒක හොඳයි. ඉඳලා හිටලා ඇවිත් ගියත් කමක් නෑ”

එතකොට මං හිතා ගත්තා මාසෙකට සැරයක්වත් ගෙදර බලනවා කියලා.

මම රිටිගල ලොකුහාමුදුරුවෝ හම්බුවෙන්න ගියා පලවෙනි සැරේ ගෙදර ගිහින් ආපහු යන වෙලාවෙ.. ඒ මම කම්මලේ වැඩ ඉගෙන ගන්න දවස්වල.

උන්නාන්සෙගෙ නම් කිසි වෙනසක් නෑ. ඇබිත්තයා වයසට ගියා වගේ පෙනුනට උන්නාන්සේ එහෙම නෑ.

හවස් වෙලා නිසා මම කෙලින්ම කුටිය පැත්තට තමයි ගියේ.

“අප්පච්චී එහෙම සනීපෙන් ඉන්නවා?”

“එහෙයි”

අපි කැලේ කුරුල්ලන්ගෙ සද්දේ අහගෙන හිටියා ටිකක් වෙලා.

“සිරී මල්ලී බලාගන්න ඕනෑ හොඳට. සමහරවිට සිරීට වගේම එක එක බල පිහිටලා ඇති. නමුත් මේවා නැතිවෙලා යන්ට පුලුවන් තවත් ඒව පිහිටලා ඇති කෙනෙක් එක්ක සම්බන්දයක් නැත්තන්.”

ඒ කියන්නේ ලොකුඅත්තා හිටියෙ නැත්තං මටත් මොලෙන් බලන එක බැරිවෙනවා. එතකොට මං හිතා ගත්තා කොහොම හරි මගේ මොලෙන් බලන එක හොඳටම දියුනු කරන්ට ඕනෑ කියලා. ඒ කියන්නේ පුලුවන් තරං ලොකුඅත්තටයි රිටිගල අත්තටයි මොලෙන් සම්බන්ද වෙන්ට ඕනෑ.

“කොහොමද හාමුදුන්නේ මම ලොකුඅත්තට කතා කරන්නේ උන්දෑ ඉන්න තැනවත් දන්නෙ නැත්තං?”

“ඔතන කාරනා කීපයක් තියෙනවා….”

“එකක්, අයියට පුලුවන් එයාම තීරනේ කරන්ට කතා කරනවද නැද්ද කියලා. හරියට ඒ දොර වහගන්නවා වගේ - කාටවත් ඇතුල් වෙන්ට බෑ. නංගිටත් ඒක පුලුවන්. නංගී දීග ගිය ගමන් ඒ දොර වහල දැම්මා. ඒකයි අපිට හොයන්ට අමාරු. මටනං ඒක කරන්ටත් බෑ, කරන්ට ඕනෑ කමකුත් නෑ”

“තව දෙයක්, ඉන්න තැන වත් දුර වත් ඒතරම් වැදගත් නෑ. කතා කරන්ට ඕනෑ පුද්ගලයා හොඳට හිතේ ඇඳිලා තියෙනවානම් එච්චරයි.”

“අන්තිම එක තමයි දොර වහගත්ත කෙනෙකුට කතා කරන ක්රමය. අපි දොර බාසාවෙන්ම කතා කරනවානම්, දොරට තට්ටු කරන විදිහවල් තියෙනවා”

මේක කියලා ලොකු හාමුදුරුවෝ හිනහ උනා. මටත් හිනහ ගියා, ලොකුඅත්තගෙ ඔලුවට තට්ටු කරන එක හිතලා.

“හැබැයි හාමුදුන්නේ එහෙනං කොහොමද මම ගෙදර ගියේ මොලෙන්? කොහොමද අත්තලා සිරි මහ බෝදිය දැක්කේ?”

“අන්න සිරී වැදගත් දෙයක් අඳුනාගත්තේ - බලන එකෙයි කතා කරන එකෙයි වෙනස. ඇත්තටම කියනවානම් අපිට ලෝකේ ඕනෑම තැනක් බලන්ට පුලුවන් හිත හරියට එකලස් කර ගත්තොත්. ඕනෑ කාලෙකුත් පුලුවන් - ඉස්සර කාලේ හරි අනාගතේ උනත් පුලුවන්. හැබැයි මේවා කරන්ට ඉතාම හොඳ පුහුනුවක් නැතුව බෑ”

“කතා කරන එක වෙනස්. දෙන්නම දොරවල් ඇරලා තියෙනවනම් ඒක කරන්ට පුලුවන්. හැබැයි දෙන්නාගෙම කැමැත්ත තියෙන්ට ඕනෑ. එක්කෙනෙක් හරි කතා කරන්ට අකමැතිනම් දෙන්නට කතා කරන්ට බෑ”

“හාමුදුන්නේ එතකොට මට පුලුවන්ද ලොකුඅත්තා බලන්ට, කතා නොකර?”

“අන්න එතෙන්දි තමයි මගෙ දැනීම ඉවර වෙන්නේ! මගෙ පලපුරුද්දේ හැටියට දොර වහපු කෙනෙක් බලන්ටත් බෑ. මං හිතන්නේ අයියට මේක තේරෙනවා ඇයි කියලා - මටනං ඒක තේරුම් ගන්ට බෑ”

මට පුදුම හිතුනා පන්සලක ලොකු හාමුදුරු කෙනෙකුට නොතේරෙන දෙයක් ලොකුඅත්තට කොහොම තේරෙනවද කියලා. උන්නාන්සේ ආයෙත් කතා කරන්ට පටන් ගත්තා.

“සිරී එන අවුරුද්දේ බලන එකයි කතා කරන එකයි ගැන හොයලා බලන්ට. ඉස්සරවෙලා අනුරාදපුරෙයි එහෙන් නගෙනහිරටයි බස්නාහිරටයි තියෙන මුහුදු වෙරල පැත්ත බලන්ට. එක එක තැන් වල ඉන්න මිනිස්සු, ඒ අයගේ බාසාව, කරන වැඩ වගේ දේවල් ගැන ඉගෙන ගන්න එක වැදගත්. කතා කරන්ට බැරි උනාට ඒ අය කියන දේ වලට ඇහුන්කන් දෙන්ට.”

“මම මගෙ අයියා වගේ හරියටම කියන්නෙ නෑ මොකොද කරන්ට ඕනෑ කියලා. නමුත් මං කැමතියි සිරී මාසෙන් මාසෙට මාත් එක්ක කතා කරනවානම්. උදේ වරුවේ නම් වඩාත් හොඳයි - මම කවදාවත් දොර වහල තියන්නේ නෑ”

“ඇයි එහෙනං ලොකුඅත්තා දොර වහගෙන ඉන්නේ? මාත් එක්ක කතා නොකර ඉන්ටද?”

“ලොකුඅත්තා සිරීට මොනවද දැනට උගන්නලා තියෙන්නෙ?”

මේක අමාරු ප්රස්නයක්. මම දැන් ඉස්සරට වඩා කුඹුරු වැඩයි බෙර ගහන්ටයි දන්නවා. දැන් කම්මලේ වැඩ ඉගෙන ගන්නවා. ඒ ඇරුනුකොට මිනිස්සුත් එක්ක හොඳින් ඉන්ට දන්නවා. මේවා හිත හිතා ඉන්නකොට ලොකු හාමුදුරුවෝ කියනවා:

“මං කියන්නේ, ලොකුඅත්තා මෙතන නැති උනාට උගන්නන එක නවත්තලා නෑ. හේනක වැටක් හැදුවත්, කුඹුරක නියරක් බැන්දත්, වෙදෙකුට බෙහෙත් හොයලා දුන්නත් මේ ඔක්කොගෙන්ම හුඟාක් ජාති ඉගෙන ගන්නවා. දුනුකාර පවුල ගැන හොයන්ට කියපු එක විබාගයක් නම් මේවා ඔක්කම විබාග. තමං කරන හැම දෙයක්ම හොඳට හිත යොදලා කරනවනම් ඉගෙන ගන්න එකෙයි වැඩ කරන එකෙයි වෙනසක් නෑ.”

“සිරී හෙට යන්ට හිතාගෙන ඉන්න නිසා දැන් නිදා ගත්තොත් හොදයි. තව මාස තුනකින් විතර ලොකු අත්තගෙ දොරට තට්ටු කරලා බලමු!”

මම ආපහු අනුරාදපුරේට ආවේ හිතේ දෙගිඩියාවෙන්. අම්මා, අප්පච්චී, මල්ලී වගේම රිටිගල ලොකු හාමුදුරුවොත් ගොයිරාලගෙ ගෙදර අය ගැනත් දිගට හිතුවා. මට ඕනෑකම තිබුනේ මගෙ මොලෙන් බලන එක තවත් දියුනු කරලා රට තොට බලා ගන්න. නමුත් මේක කරන්න නිදහස ඕනෑ. අනුන්ගෙ ගෙදරක ඉඳලා මේක කරන්න බෑ. ආපු පලවෙනි දවස් කීපෙම මම ගොයිරාලත් එක්ක අනාගතේ ගැන සාකච්චා කරා.

මගෙ පලවෙනි අදහස තිබුනේ පන්සලේ නවතින්න. එතන හාමුදුරුහුරු කැමතියි උදව්වට කට්ටිය ඉන්න එකට. ඊටත් වැඩිය ලොකුඅත්තාගෙ නම නිසා මට කුටියකුත් ලැබෙයි. ගොයිරාල ඒකට කැමති උනේ නෑ.

“සිරීට අනුරාදපුරේ අත් ඇරලා යන්ටද ඕනෑ?”

“එහෙම දෙයක් නෑ. දවල් වරුවට මෙහෙ කුඹුරෙයි, ඕනැනං කම්මලෙයි වෙදගෙදරයි උදව් වෙන්ට පුලුවන්. හැබැයි මට හිතෙන්නේ උදේට හවසට ටිකක් නිදහසේ බාවනා කරන්ට පුලුවන් තැනක් තිබුනොත් හොඳයි කියලා”

“අර කමතේ පැලේ වගේද?” ගොයිරාලගෙ හිනාවෙන් මට දැනුනා උන්දෑ මං පැලේ ඉඳන් මොලෙන් බලනවා දැකලා තියෙනවා කියලා. මම ඔලුවෙන් ඔව් කිව්වා.

“මං ඇහුවේ, අර ඇලෙන් එගොඩ කෑල්ලනං තියෙනවා. ඒක කරපු ටිකිරා ගමේ ගියා - ආයෙ එන්නෙ නෑ කියලා ලොකුහාමුදුරුවෝ කිව්වා. පන්සල පැත්තේ ගිහින් බැලුවොත් නරකද?”

අපි දෙන්නම පහුවදාම පන්සලට ගියා. හාමුදුරුවෝ කිසි පැකිලීමක් නැතුව ඒ ඉඩමේ වැඩ මට බාරදුන්නා. හැබැයි කොන්දේසි අනුව.

“ඉඩම බලාගනේ තමාගේ නමින් නෙවෙයි, මේ පුන්චිකිරා ගේ නමින්. ඒ අනුව ඉඩමේ සහ කුඹුරේ නඩත්තුව, අස්වැන්න බෙදීම වගේ දේ පුන්චිකිරා අතේ. මේවට විරුද්ද යමක් උනොත් දෙන්නාගෙම භුක්තිය ඉවරයි. තේරුනාද?”

අපි දෙන්නම “එහෙයි හාමුදුන්නේ” කියලා නැගිට්ට.

මම පාරේ නැවතිලා ගොයිරාල දිහා බලලා අත්දෙක එකතු කරලා වැන්දා.

“ගොයිරාල මං ගැන ඔයතරම් විස්වාසේ තියෙන එක බයානක නැද්ද්?”

“දුනුකාර නිලමෙගෙ කෙනෙක් විස්වාස නොකර වෙන මොකා විස්වාස කරන්ටද”.