9 ක්රම සහ විධි

මම අත්තගෙ වාඩියට යනකොට හුඟක් වැඩකාරයෝ වැඩ ඉවරවෙලා ගිහින්. නැවතිලා හිටියේ අත්තයි, පිට ගමකින් ඇවිත් මෙහෙ වැඩකරන තව දෙන්නෙකුත් විතරයි.

ඒ දෙන්නගෙන් එක්කෙනෙක් රොටී පුච්චනවා. අනික් එක්කෙනා සම්බලේකට පොල් ගානවා. ලිපෙන් වැව් කරවල පිච්චෙන සුවඳකුත් එනවා. අත්තා විතරක් ගඩොල් කෑලි කීපයක් දිහා හෝදිස්සි කරලා බලනවා.

“මේවනං පිච්චුනා මදි. දිග පලලත් ගානකට නෑ”

“ඇයි ලොකුඅත්තා මෙහෙ ගඩොල් හොඳ නැද්ද?”

“නෑ ඒතරන් නරක නෑ හැබැයි මීට වඩා කල්පනාවෙන් හදුවානං බැමි බඳින එක ඉක්මන් වෙනවා. කොහොමද පුන්චි කිරාලෑ දිහා?”

“හොඳයි. උදේ වරුව කුඹුරේ. කෑමෙන් පස්සේ බෙර දෙකක පටි තද කරලා ගහලා බැලුවා”

“ගුනේලෑ අම්මා නැතිවෙලා කියලා දන්නවා නේද?”

“ඔව්. මං අද බැලුවා අපෙ ගෙදර. අප්පච්චී ගෙදර නැති හින්දා ටිකක් හොයලා බැලුවා. ගුනේ මාමලාගෙ ගෙදර සෙනග දැකලා එහෙ යනකොට තමයි දැනගත්තේ. මං ගේ ඇතුලට ගියෙ නෑ…. මං කවදාවත් මැරිච්චි කෙනෙක් දැකලා නෑ”

“නෝනා ගැන කනගාටු වෙන්ට එපා - ලෙඩ ගානෙම හිටියේ”

අපි රැහැයියන්ගේ සින්දුව අහගෙන ටිකක් වෙලා හිටියා. කරුවල නැතත් කැලේ වගේ තියෙන කෑල්ලේ උන් ඉන්නවා.

“සිරී ගෙදර අය බලන්ට ඕනෑ කියලා හුඟක් වෙලා හිතුවද?”

“අර පුන්චිකිරාලෑ ගෙදර නංගී දැකපුවහම මට මල්ලී මතක් උනා. එහෙම හිතලා චුට්ටකින් මට ගෙදර මිදුල පෙනුනා”

“මගදී රිටිගල පැත්තේ බැලුවෙ නෑ?”

“නෑ මං කෙලින්ම ගෙදර ගියේ”

ආයෙත් රැහැයියෝ අහගෙන හිටියා, ගිය සැරේටත් වැඩි වෙලාවක්.

“මං හිතන්නේ සිරී දැන් ලෑස්තියි නොගිය තැන් බලන්ට - පින්තූර නැතුව”

මම බලාපොරොත්තු උනා කවදාහරි මටත් එක එක රට රාජ්ජ්ය බලන්ට පුලුවන් වෙයි කියලා. ඒ පාඩම පටන් ගන්ට ලොකුඅත්තා ලෑස්තියි වාගෙ. හැබැයි බලන්ට කැමති කොහෙද කියලා මම තවම හිතලා නෑ. ඕන එකක් කියලා මං හිතාගත්තා ලොකුඅත්තලාගෙ ගම බලන්ට.

“අපිට ලොකුඅත්තගෙ ගම බලන්ට පුලුවන්ද?”

“ඇයි එහෙම ඇහුවේ?”

“මං කැමතියි ලොකුඅත්තගෙ නංගී දකින්ට”

“ඒක හරියන දෙයක් නෙවෙයි කියලා සිරී දන්නවා. අපි දැන් උත්සාහ කරන්නේ නොගිය නුපුරුදු තැනක් බලන්ට. දැන් සෝමපුරේ අපි නෑ. බලනකොට පේන්නේ දැන් තියෙන දේයි දැන් ඉන්න කට්ටියයි. ඕනැනං බලමු”

“මං මොකක් ගැනද හිතන්ට ඕනෑ?”

“සෝමාවතී චයිත්තිය ගැන හිතන්ට. ඒක දැකලා නැති උනත් ඒක ගැන දන්න අය ඉන්නවා. මමයි මලයයි ගැන හිතලා බලන්ට”

මගෙ හිතේ ටික ටික මැවෙනවා අත්තගෙ හිත. උන්දෑ දන්නවා සෝමාවතිය ගැන. ඒ කියන්නේ ඒ අයගෙ මොලෙන් මට පුලුවන් එහෙ පින්තූරයක් “හිතා ගන්ට”. ටිකකින් අත්තා ඔලුව කහලා ඇස්දෙක ඇඟිලි වලින් ඇතුල්ලුවා. පොඩි හිනහවකුත් පෙනුනා උන්දැගෙ මූනේ.

සොමාවතිය මම හිතපු තරං ලොකු නෑ. හොඳටම හවස් වෙලා නිසා වටේට වැඩිය පේන්නෙත් නෑ. වයසක කීපදෙනෙක් පහන් පත්තු කරනවා. කිසිම සද්දෙයක් නෑ රෑසියන්ගේ හඬ ඇරුනකොට.

“ඔය වටේට තියෙන වැට අලුතෙන් හදලා. ඒ දවස් වල තැනින් තැන කැඩිලා තිබුනේ” ලොකුඅත්තගෙ කට අඬ ඇහෙනකොට තමයි මට හිතුනේ උන්දැත් බලාගෙන ඉන්නවා කියලා.

“ලොකුඅත්තා, මට පේන්නේ ලොකුඅත්තට පේන එකමද?”

“නෑ නෑ අපි බලන්නේ වෙන වෙනවම. මට නිකමට හිතුනා සිරී දාගැබ බලනවා ඇති කියලා. සිරීට ඇහෙනවද රෑසියෝ අඬනවා?”

“හොඳට ඇහෙනවා”

“ඒක හොඳයි. සමහරවිට එක එක දේ පෙනෙනවා මිසක් ඇහෙන්නෙ නෑ අලුත් තැන් බලනකොට”

“අර එහා පාර දිගේ ටිකක් යන්ටද?”

“දැන් කරුවල වැටෙනවා. අනිත් එක ගෙදර යන්ටත් ඕන - ගොයිරාලලා බලාගනත් ඇති”

සෝමාවතිය හිමීන් දියවෙලා ගියා. අත්තා මං දිහා බලාගෙන ඉන්නවා අතේ රොටී කෑල්ලකුත් මට දික්කරගෙන. අපි මේ පාඩම පටන් ගන්නකොට මොකොවත් අත්තගෙ අතේ තිබුනෙ නෑ.

“රොටී අතට ගත්තේ කොයි වෙලාවෙද?”

“වෙරි ගුඩ්..ඒ කියන්නේ බොහොම හොඳයි. අපිට එක වෙලාවට දෙතැනක් බලන්ට බෑ. එක්කො එහෙ, නැත්තන් මෙහෙ. ඒක හොඳටම හිතට ගන්ට ඕනෑ. සෝමාවතිය බලනකොට මෙතෙන්ට කොටියෙක් පැන්නත් දැනගන්ට විදිහක් නෑ. මේක භයානක වෙන්ට පුලුවන්. කොටියන්ටත් වැඩිය සමරවිට මිනිස්සු භයානකයි. බාවනා කරනවා වගේ ඉඳගෙන තනියම කතාකරනවා දැක්කොත් මිනිස්සු හිතයි එක්කො පිස්සු නැත්තං යකෙක් වැහිලා කියලා. දෙකෙන් කෝක උනත් ඊට පස්සේ මොක වෙයිද කියලා කියන්ට බෑ. ආයෙ තමන්ංගෙ පාඩුවේ ඉන්ට නං හම්බුවෙන්නෙ නෑ.”

අත්තා මහා බැරෑරුම් කට අඬකින් මේ ටික කිව්වේ.

“රොටී කෑල්ල…උයන දරුවා ඇවිත් මේ ගල උඩ තියලා ගිහින් අපි බාවනා කරනවා කියලා හිතලා. මං ඒ අයට කිව්වේ සිරී මගෙන් බාවනා ඉගෙන ගන්ට එනවා කියල. මම සිරීට ටිකක් ඉස්සරවෙලා ආපහු ඇවිත් ඒක අතට ගත්තා. ඔවු…ඔවු… විජ්ජාවක්!”

අත්තගෙ කට අඬේ පොඩි හිනහවක් තියෙනවා වගේ.

“සිරී හෙට මෙහෙ එන්ට ඕනැ නෑ. දවල් වරුවෙන් හොඳ නිස්කලංක තැනක් හොයාගෙන සෝමාවතියට ගිහින් බලන්ට. අනිද්දා ආපුවම මට කියන්ට ඒ පලාතේ මං පොඩි කාලේ නැවතිලා හිටිය දුනුකාර පවුල ගැන. සිරීම විදිහක් හොයා ගන්ට ඕනෑ මේවා ආරංචි කරගන්ට. අමතක කරන්ට එපා සිරී බලන දිහාවේ අයට සිරී කියනදේ ඇහෙන්නේ නෑ. ඒ කියන්නේ ප්රශ්න අහන්ට බෑ”

මම ගොයිරාලලාගෙ ගෙවල් හරියට එනකන් හිත හිතා ආවේ කොහොම අත්තා කියපු දේ කරන්ටද කියලා.

මම උපාසකම්ම දීපු කෑම කාල නිදා ගත්තා.

පහුවදා උදේ වරුවම කුඹුරේ. දවල් කෑමෙන් පස්සෙ මම උපාසකම්මට ලිඳෙන් වතුර ඇදලා දීලා නංගිට අකුරු කියල දෙන එක පටන් ගත්තා.

ගොයිරාල නැගිට්ටට පස්සේ තවත් ටිකක් වෙලා කුඹුරේ වැඩ කරා. එදා උන්දැට පන්සලට යන්ට තියෙනවා කියලා ඉක්මනටම කුඹුරෙන් ගොඩ උනා. මට කිව්වා කමත වටේට සුද්ද කරලා ගෙදර එන්ට කියලා.

මට ඕනෑ වෙලා තිබුනේ කොහොමහරි අද මොලෙන් බලන්ට හොඳ තැනක් හොයා ගන්ට. කමත වටේ උදලුගානකොට මට හිතුනේ එතන හදල තිබුන පොඩි පැල හොඳයි නේද කියල මගෙ වැඩේට. ඒකේ වහලක් නෑ - කනු හතර විතරයි. පරන පොල් අතු කෑල්ලක් වත් ඉතුරු වෙලා නෑ.

මම උදලුගාලා ඉවර වෙලා ඇල අයිනෙන් පොඩි තල අතු කීපයක් කපලා ගෙනත් කමතේ වේලෙන්ට දැම්මා. ගොයිරාල ඇහුවොත් කියන්ට පුලුවන් පැලට වහලේ බඳින්ට කියලා. හැබැයි මගෙ හිතේ තිබුනේ ඒවා එක කනුවක බැන්දොත් පැති දෙකකට බිත්ති වගේ තියෙන්ට, එතන බිම ඉඳගත්තම කාටවත් පේන්නෙ නෑ. මොලෙන් බලන්ට හොඳම තැන. තවම ගෙදර යන්ට වෙලාව ඇවිත් නැති හින්දා මම හිතුවා සෝමාවතියට ගිහින් එන්ට ඒ වෙලාවෙම.

මම තල අතු දෙකක් කනුවක බැන්දා කොටුවක එක කොනක් වගේ වෙන්ට. බඳින්ට ලණුත් තල පිත්තකින්ම ඉරා ගත්තා. ඊට පස්සේ මම කොනේ එරමිණිය ගොතාගෙන වාඩි උනා. මම ඒකත් එකට එලියට පේන්නෙ නෑ කියලා දැනගත්ත ගමන් සෝමාවතිය ගැන හිතන්ට පටන් ගත්තා.

අත්තා ලඟ නැතුව ඊයේ තරන් ලේසි නෑ වගේ මට දැනුනා. මගෙ හිත එකලස් කරගන්ට ටිකක් අමාරුයි. මම ලොකු හුස්මක් අරගෙන කෙලින්ම ඉස්සරැහින් කනුව දිහා බලාගෙන සෝමාවතිය ගැන හිතුවා. හුස්ම ඉහලට පහලට ගමන එක ගානකට තියාගෙන මම එහෙමම හිටියා ටික වෙලාවක්.

හවස් වෙලා නැති හින්දා හොඳට අවට පෙනුනත් දාගැබ ලඟ කවුරුත් නෑ මේ වෙලාවට. අවට කට්ටිය තවම වැඩ ඇති. හවස් වෙනකොට තමයි මිනිස්සු පන්සල් යන්නේ. රෑසියෝ සද්දයක්වත් නෑ. බන මඩුවත් හිස්. මම දාගැබ බූමියෙන් එලියට තියෙන ලොකුම පාර දිගේ ගියා. මට දැනුනා මට හිතේ හැටියට හයියෙන් යන්ටත් පුලුවන්, හිමින් යන්ටත් පුලුවන්, ඈතට පනින්ටත් පුලුවන් කියලා. හැබැයි මම පිටත් උනේ බොහොම හිමින්.

මට මතකයි අත්තා කිව්වා ඒගොල්ල, ඒ කියන්නේ අත්තා හිටපු දුනුකාර පවුල, හිටියේ සෝමවතියටයි කලපුවටයි අතර කියලා. ඉස්සරවෙලා හොයාගන්ට ඕනෑ මුහුද කොයි පැත්තෙද කියලා.

“ගහක් උඩට නැංගොත් හරි නේ” කියලා මට හිතුනා. ඒක තමයි මම ඉස්සරවෙලාම කරන්ට හිතුවේ. වටේට බලනකොට තිබුනා ටිකක් උස ගස් කීපයක්. මම ගස් නගින්ට ඒ තරං දක්ස නෑ.

“නගින්නේ මොකටද පනින්ට පුලුවන් එක” හිතුව විතරයි මම උස ගහක් උඩ! වටේට හේන් කීපයක් පේනවා මේතරම්ම උඩින් බලනකොට. වැඩ කරන මිනිස්සුත් ඉන්නවා. හරි පොඩියට මිනිස්සු පේන්නේ.

වැඩේ තියෙන්නේ මම උස තැන් වලට බයයි. ගෙදරදිත් ගහක් උඩ නැගලා බිම බලනකොට ඔලුව කැරකෙන්ට පටන් ගන්නවා. අනික් පැත්තෙන් බලනකොට මගෙ ඔලුව මෙතන නෑ! ඇඟත් නෑ. ඒ කියන්නේ, උඩට යන්ට ගස් ඕනැත් නෑ.

මේවා ගැන හිතනකොට දැන් නං ඇඟ හිරිවැටෙනවා. ඒ එලාවේ වැඩිය ගානක් නෑ. මම තවත් ටිකක් උඩට ගිහින් බලනකොට කලපුවත් පේනවා ඈතින්. කලපුවටත් දාගැබටත් අතරින් ගම්මානෙකුත් තියෙනවා. මේක වෙන්ට ඇති අත්තලාගෙ ගම කියලා මම කෙලින්ම එහාට ගියා.

වරිච්චියෙන් හදපු ගෙවල් දහයක් පහලොවක් පෙනෙන්ට තිබුනා. අත්තා මට කියල තිබුනෙ නෑ දුනුකාර ගෙදර හැටි වත් ලමයි එහෙම හිටියද නැද්ද කියලවත්. එතකොට තමයි මට හිතුනේ අත්ත පොඩිකාලේ කියන්නේ දැනට අවුරුදු පනස් හතරකට ඉස්සර. වයස දොලහේ ලමයෙක් හදා වඩා ගත්ත ජෝඩුවක් අඩුම ගානේ වයස හතලිහක් වත් ඇති. මං හිතන්නෙ නෑ පන්සලේ හාමුදුරුවෝ අත්තා බලාගන්ට ඊට වඩා බාල ජෝඩුවකට බාර දෙනවට කැමතිවෙයි කියලා. ඒ ඇත්තෝ තවම ජීවත්වෙලා ඉන්නවා කියල හිතන්ට අමාරුයි. මම මෙච්චර වෙලා හෙව්වේ මැරිච්චි අයද?

අපෙ අත්තා මේක මට දීපු විබාගයක් වගේ තමයි දැන් පේන්නේ. ඉතින් මොකද්ද මම වැරදියට කරේ?

ගමනක් යන්ට ඉස්සර ගමන ගැන පුලුවන් තරම් හාරලා හොයලා බලන්ට ඕනෑ. ඒකයි මගෙ වැරැද්ද.

මම ඇස් දෙක අරිනකොට නංගී මං දිහා බලාගෙන ඉන්නවා.

“නංගී හුඟක් වෙලාද ඔතන?”

“ඇවිල්ලා ටිකක් වෙලා. අයියට නින්ද ගිහින් කියලා මම කතාකරේ නෑ”

“මම නිදාගත්තෙ නෑ - බාවනා කරා”

“අම්ම කිව්වා ගෙදර එන්ට කියලා”

මම නංගිත් අතින් අල්ලාගෙන ගෙදර ගියා. ලොකුඅත්තත් එක්ක බොහොම දේ කියන්ට තියෙනවා - හෙට.

[1259]