3 තව අත්තෙක්

"ලොකු උන්නාන්සේ කිවුවා අද හෙට ලොකු උන්නැහේ එයි කියලා." සරමක් ඇඳගෙන ලේන්සුවක් කරේ දාගෙන හිටිය වයසක් මනුස්සයෙක් ලොකුඅත්තට කිවුවා. මං හිතන්නේ ඇබිත්තයා වෙන්ට ඇති.

"උන්නාන්සේ කුටියෙද?"

"ලොකු උන්නැහේලට කන්ට මොකවත් දීලා එහාට එක්ක එන්ට කිවුවා."

අපි වැඩි කතාවක් නැතුව ගෙනත් දීපු තම්බපු කොල්ලු පොලුත් එක්ක කෑවා. ඇඟට මහන්සිය දැනුනේ එතකොට. දවසම ඇවිදලා කකුලුත් රිදෙනවා. ඒ වගේම මට නිදිමතයි. මම නිදිකිරනවා දැකලා ලොකුඅත්තා මට පැදුර දාගෙන නිදන්ට තැනක් පෙන්නුවා.

"ඔය පඩිපෙලට එහා තියෙනවා වැසිකිලියයි ලිඳයි. දැන් නිදාගනින්. හෙට උදේ ලොකු හාමුදුරුවෝ හම්බු වෙන්ට පුලුවන්."

මට ඇහැරුනේ කුරුල්ලන් ගෙ කාලගෝට්ටියෙන්. කුරුල්ලෝ රංචු පිටින් කැටකාලා ගහේ. රිටිගල කන්ද පැත්තේ හරියට කුරුල්ලෝ ඉන්නවා වගේ. උන් දිහා බලාගෙන මම කල්පනා කරා අපෙ ගෙදරට වඩා ඊයෙ රෑ නිදාගත්ත මඩුව කොච්චර වෙනස් ද කියලා. මේක අපෙ ගෙදරටහ් වඩා ලොකුයි හැබැයි බිත්ති නෑ. බන මඩුව වෙන්ට ඇති.

පොල් අතු වහලෙන් ඉර එලිය මඩුව ඇතුලටහ් එනවා. මේ වෙලාව වෙනකොට අම්ම්යි අප්පච්චියි වත්තේ වැඩ ඇති. ලොකු අත්තා ගෙදර හිටියානං දැන් ජල උධ්යානෙ පැත්තේ ඇවිදින්ට යන වෙලාව.

ලොකුඅත්තා පේන්ට නෑ. ඊයෙ රෑම ලොකු හාමුදුරුවෝ හම්බුවෙන්ට ඇති. එතකොටම මට මතක් වෙනවා ඇබිත්තයා කියපුදේ. කොහොමද ලොකු හාමුදුරුවෝ දැනගෙන හිටියේ අපි එනවා කියලා. අහන්ට ඕනෑ ලොකුඅත්තගෙන්.

"හොඳටම නින්ද ගියා නේද?" ලොකුඅත්තා සාලුවෙන් මූන පිහ පිහ එනවා ලිඳ පැත්තේ ඉඳං.

"ලොකුඅත්තා එනබව කොහොමද ලොකු හාමුදුරුවෝ දැනගෙන හිටියේ?" මම පැදුරෙන් නැගිටින ගමම්ම ඇහුවා.

"යං මලයා ලඟට - එයා කියලා දෙයි"

ලොකු හාමුදුරුවෝ ඉන්න කුටිය බොහොම පොඩියි. එඋන්නාන්සෙ බිම බලාගෙන් හෙමින් අවිදිනවා. සක්මන් කරනවා කියන්නේ මේක වෙන්ට ඇති. මං එතන නවත්තලා ලොකුඅත්තා ආයෙත් පඩිපෙලෙන් පහලට බැස්සා.

ලොකු හාමුදුරුවෝට කොන්ඩෙත් නෑ රවුලත් නෑ. උස මහතෙන් ලොකුඅත්තා වගේ උනාට ඊට වැඩිය බාලයි වගේ පේන්නේ. මම ගලක් උඩ ඉඳගෙන හිටියා එඋන්නාන්සේ කතා කරනකං.

"හොඳට නින්ද ගියාද?" කටාඩත් අත්තගෙ වගේ හැබැයි රලු නෑ.

"එහෙයි"

"සිරී ට බොහොම ප්රශ්න තියෙනවා වගේ" ඒ පොඩි හිනාවක්ද මූනේ?

"අප්පච්චී එහෙම දන්නවද අපෙ හාමුදුරුවෝ මෙහෙ ඉන්නවා කියලා? සීගිරිය පැත්තේ යන්නෙ නැද්ද? මෙහෙ දැන් ගොඩක් කල්ද? අපි එන බව දන්නේ කොහොමද?”

මේ ඔක්කොම එක දිගටම මගෙ කටෙන් එලියට ආවා. "අහපුඑක වැරදිනම් සමාවෙන්ට."

එතකොට ලොකු හාමුදෘවෝ හයියෙන් හිනාවුනා. මටත් ටිකක් හිනහ ගියා.

ලොකුහාමුදුරුවෝ ඇවිල්ලා මං හිටිය ගලේම ඉඳගත්තා. මං නැගිටින්ට යනකොට අත දික්කරලා නවත්තා ගත්තා.

ටික වෙලාවක් අපි කිසිම සද්දයක් නැතුව කුරුල්ලෝ සින්දු කියනවා අහගෙන හිටියා.

"ලොකුඅත්තා කෝ?"

"මං එක්ක ඇවිත් ආපහු බනමඩුව පැත්තට ගියා"

"දැන් කොහෙද?"

"ගිහින් බලා ගෙන එන්නං"

"අර කුට්යේ බිත්ත්යේ අඳලා තියෙන පින්තූරේ දිහා බලන්ට" එතන පොඩී බුද්දරූපයක්.

"ඒක දිහාම බල්ලගෙන ඉන්ට" ලොකුහාමුදුරුවෝ මගේ ඔලුව උඩ අත තියලා ආයෙත් අහුවා "දැන් කොහෙද ලොකුඅත්තා" කියල.

මගේ ඇස්දෙක පිටිපස්සේ කකියන්ට පටන් ගත්තා. පෙනෙන්නේ බුද්දරූපේ විතරයි. ලොකුඅත්තා බනමඩුව අතුගානවා.

"ලොකුඅත්තා බනමඩුවේ" ලොකුහාමුදුරුවෝ මගෙ ඔලුවෙන් අත පැත්තකට ගත්තා.

"දැන් කොහෙද ලොකුඅත්තා"

"ලොකුඅත්තා බනමඩුවේ"

"කොහොමද දන්නේ"

"මම දැක්කා"

"පහලට ගිහින් ලොකුඅත්තත් එක්ක කොලකැඳ ටිකක් බීලා දෙන්නම එන්ට මගෙ කුටියට" ලොකුහාමුදුරුවෝ වෙන මොනවත් නොකියා නැගිටලා කුටියට වැඩියා.

මම පඩිපෙලෙන් පහලට බැස්සේ හීනෙන් වගේ. ඔලුවේ පොඩි තදවීමක් දැනෙනවා හරියට සුම්බරයක් තදෙන් බැඳපුවාම වගේ. ඒ ඇරුනුකොට වෙනනං වෙනසක් නෑ.

ඇත්තටම මම ලොකු අත්තා බනමඩුවේ ඉන්නවා දැක්කද නැත්තන් ලොකු හාමුදුරුවෝ මොකක් හරි විජ්ජාවක් කරාද. හාමුදුරුකෙනෙක් එහම කරන එකක් නෑ. ඊටත් වැඩිය එඋන්නාන්සේ ලොකුඅත්තගෙ මල්ලී, එහෙම දෙයක් වෙන්ට ඉඩදෙන එකක් නෑ. පිදුරංගල හාමුදුරුවොත් කිවුවේ මගෙ කෙස් ගහකටවත් හානියක් වෙන්ට දෙන්නෙ නෑ කියලා.

හරියට හිතලා බලනවානං ලොකුඅත්තා බනමඩුවේ හිටියද නැද්ද කියලාවත් දැනගන්ට විදිහක් නෑ උන්දැගෙන්ම අහුවොත් මිසක්.

ලොකුඅත්තා බන්කුවක වාඩි වෙලා කැඳබොනවා. මං දිහා බලලා ඔලුවෙන් පෙන්නුවා තවත් කැඳ කෝප්පයක්. මමත් ඒක අරන් ඉඳගත්තා.

"කවුද බනමඩුව අතුගෑවේ" මම කැඳ කෝප්පේ දිහාම බලාගෙන අහුවා.

"ඇයි පිරිසිදු මදිද" ලොකුඅත්තගෙ මූනේ යන්තන් හිනහවක් පේනවා.

"නෑ... ලොකුහාමුදුරුවෝ කිවුවා අපි දෙන්නටම කුටියට එන්ට කියලා"

"හදිස්සියක් නෑ. බඩු මල්ලට දාන්ටත් ඕනැ නෑ - අපි දවස් කීපයක් මෙහෙ ඉන්නවා"

මට වෙනසක් දැනෙනවා ලොකුඅත්තගෙත්. ඉස්සර වගේ නෙවෙයි වැඩියෙන් කතා කරනවා. ඒ වගේම මූනේ හිනාවකුත් දකිනවා. පෙරුම් පුරල වන්දනාවෙ යන්ට ලැබුන එක හින්දද නැත්තන් මල්ලී හම්බු උන හින්දද කියන්ට බෑ.

"දැම්ම අනුරාධපුරේ යන්නෙ නැද්ද"

"ඊට ඉස්සර මෙහෙන් හුඟාක් දේ ඉගනගන්ට තියෙනවා...මටත් වැඩිය සිරීට"

"ලොකුඅත්තා..."

"හ්ම්ම්"

"අත්තා ලොකුහාමුදුරුවෝ විජ්ජා කරන්ට දන්නවද"

"ඒක උන්නාන්සෙගෙන්ම අහලා බලන්ට වෙයි"

අපි කුටිය පැත්තට යනකොට ලොකුහාමුදුරුවෝ සිවුරක් වේලෙන්ට වැලේ එල්ලනවා. අවුවත් හොඳට පායල මිදුලට අව්ව වැටෙනවා ගස් අතරෙන්. මම කවමදාවකවත් හිතලා නෑ හමුදුරුහුරු තමන්ගේම සිවුරු හෝදගන්නවද නැත්තන් ඇබිත්තයා හරි ගමේ මිනිස්සු හරි හෝදලා දෙනවද කියලා. අපි උන්නාන්සෙලා අනික් මිනිස්සු වගේ කියලා හිතන්නේ නෑ.

"කඳට මොකවත් වැටුනද".

අපි කැඳ බීපු නොබීපු එක ගැන අහන්නේ කියලා තේරුන ගමන් මම "එහෙයි" කිව්වා. ලොකුඅත්තා ඔලුව හෙල්ලුවා විතරයි.

"සිරීට ප්රශ්නයක් තියෙනවා කියන්නේ" ලොකු අත්තා මට කතාකරන්ට ඉඩ හදලා දුන්නා.

"ඔය වයසට ප්රශ්න නැත්තන් ආයෙ කොයි කාලෙද තියෙන්නේ... මොකද්ද දැනගන්ට ඕනෑ?"

"මම ඇත්තටම දැක්කද ලොකුඅත්තා බනමඩුව අතුගානවා"

"ඒක සිරීනෙ දන්නේ - දැක්කේ මම නෙවෙයිනේ"

"අපෙහාමුදුරුවෝ හිතන්නේ මම දැක්කා කියලද"

"සිරී කිව්වනම් දැක්කා කියලා, ඊට වැඩිය මම කොහොමද දන්නේ"

"සමහරවිට තමූන්නාන්සේ කරපු විජ්ජාවක් ද කියලා හිතුනා" මෙහෙම එව්වා කියන එක හරිද නැද්ද දන්නෙත් නෑ හැබැයි අහුවෙ නැත්තන් දැනගන්ට විදිහකුත් නෑ.

"බොහොම හරි. ඒක විජ්ජාවක්. සිරී දන්නවද විජ්ජාව කියන වචනේ එන්නේ විද්යාව කියන වචනෙන්. ඒ කියන්නේ පිලිවෙලක් ඇතුව ලෝකේගැන ඉගෙනීම. මේක කරන්නේ හොඳට පරීක්ශාවෙන් සියලුදේම හදාරලා ඕනැනම් එක එක අත්හදාබැලීම් කරලා ලෝකේ වෙනදේවල් තේරුම්ගන්ට බලනවා. ඒකයි විද්යාව. තේරුම්ගන්ට බැරිකෙනෙකුට ඒක විජ්ජාවක්ම තමයි"

මම ටිකක් ඒක ගැන හිතුවා. පින්තූරෙයක් දිහා බලාගෙන වෙන තැනක වෙනදෙය දකින එක විජ්ජාවක්ම තමයි. හාමුදුරුවෝ කියන විදිහට ඒ මට නොතේරෙන හින්දා. නොතේරෙන්නේ මොකද්ද කියලත් මට තේරෙන්නෙ නෑ.

"මට පුලුවන් සිරීට මෙව්වා උගන්නන්ට. හැබැයි කාලයක් යනවා.මොකොද කියලාදෙනවා විතරක් නෙවෙයි පුරුදු වෙන්න්ටත් ඕනෑ. සිරී කැමතිද?"

"විජ්ජා... මං කියන්නෙ විද්යාව ... උගන්නට පුලුවන් දෙයක්නං ඇයි ඔක්කොම මිනිස්සු ඉගෙනගන්නෙ නැත්තේ. අපෙ අම්මයි අප්පච්චියි මෙව්වා දන්නවද"

"සිරී දන්නවා නේද බෙරගහන සිට්ටියගෙ පුතා පුංචි කිරා?"

"එහෙයි"

"පුංචි කිරා බොහොම මහන්සි වෙලා බෙර ගහන්ට ඉගෙන ගන්නවා. හොඳට බෙරේ හුරුයි, කවදා හරි සිට්ටියටත් වැඩිය හොඳ බෙරකාරයෙක් වෙනවා. ඒ ගෙට අල්ලපු වත්තේ ජිනදාස පුංචි කිරාටත් වැඩියෙන් මහන්සි වෙනවා. හැබැයි එයා අර තරන් හොඳ බෙරකාරයෙක් වෙන්නෙ නෑ. සමහරුන්ට මේවගේ දේ උප්පත්තියෙන් පිහිටනවා."

"සිරීගෙ ලොකුඅත්තට පිහිටලා තියෙනවා විද්යාව ... සිරීටත් තියෙනවා වගේ. මහන්සිඋනොත් දිවුනුකරගන්ට පුලුවන්"

ලොකුඅත්තා මුමුනනවා "ඉස් හි ගුඩ්?",

"බෙට දෑන් ගුඩ්" ලොකුහාමුදුරුවොත් ඒ විදිහටම කියනවා.

"මොනවද ඔය මතුරන්නේ, තවත් විජ්ජාවක්ද?"

ලොකුහාමුදුරුවෝ මුමුනන්නේ නැතුව කියනවා "අපිට සමාව්න්ට - පරන පුරුද්දක්. ඉස්සර අපි පොඩිකාලේ වෙන අයට තේරුම් ගන්ට බැරිවෙන විදිහට වෙන බාසාවකින් කතා කරනවා. දැන් කතා කලේ අපි හදාපු බාසාවක් නෙවෙයි - ඒක කතාකරන අය ලෝකේ ඉන්නවා සිංහල කතාකරන අයට වැඩිය. තව බාසා ගොඩාක් තියෙනවා. ඒවගේම ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා."

මම මොකොවත් කියන්ට ඉස්සර ලොකුහාමුදුරුවෝ කිව්වා "අදට මේ ඇති. බනමඩුවට උතුරෙන් ගල්ගුහා දෙකක් තියෙනවා. එ දෙක සුද්ද කරලා ඉන්ට තැන හදාගත්තොත් හොඳයි"

එහෙම්ම නැගිටලා උන්නාන්සේ කුටිය පැත්තට ගියා.

[1025]