10 දුනුකාර පවුල
අත්තා මට කිව්වේ අද හම්බුවෙන්ට එන්ට ඕනෑ නෑ කියලා. හැබැයි දුනුකාර පවුල ගැන දැන හොයාගන්ට වෙන විදිහක් මට හිතාගන්ට බැරිඋනා. ඒ උනාට වැඩේ කල් දාන්ට මගෙ හිත ඉඩ දෙන්නෙත් නෑ.
උදේ ගොයිරාලයි මමයි කඩමන්ඩිය පැත්තට ගියා බඩු වගයක් ගන්ට. ඉස්සරවෙලාම ගියේ කම්මලට හොඳ උදලු කෙටියකුයි වප්පිහියකුයි බලන්ට. එයා කම්මල් කාරයත් එක්ක කතා කර කර ඉන්නකොට මම කම්මලේ වැඩ කරන හැටි බලාගෙන හිටියා. කම්මලේ කොල්ලා විතරක් මාත් එක්ක හිනහ උනා.
“ලඟදිද මෙහෙ ආවේ?”
“ඔවු දැන් දවස් කීපයක්”
“ගම කොහෙද?”
“අපි සීගිරියේ. ලොකුඅත්තයි මමයි මෙහෙ ආවා. දැන් මම පුන්චිකිරා ගොයිරාලගෙ ගෙදර ඉන්නේ වැඩ ඉගෙන ගන්ට”
“මම කැකිරාවේ. කම්මල මාමගෙ. මාත් වැඩ ඉගෙනගන්නවා දැන් තුන් පෝයක් තිස්සේ”
“හුඟක් අමාරුද යකඩ තලලා මුවාත් කරන්ට?”
“මාමා තමයි දන්නේ. මම තවම කරන්නේ ගිනි මොලවන එකයි, මයිනහම අදින එකයි, කම්මල සුද්ද කරන එකයි විතරයි. සමහරවිට ලොකු යකඩ පතුරු තලන්ටත් හම්බුවෙනවා. පටන් ගත්ත දවස්වල අත්දෙක උරිස්සෙන් ගැලවෙන්ට වගේ කැක්කුම. දැන් නං ඒතරම්ම නරක නෑ” කොල්ලා හිනහ උනා.
“මගෙ නම ජිනපාල”
“මම සිරී”
එතකොටම කම්මල් කාරයා කෑගැහුවා.
“පාල අර අතුලේ දාල තියෙන පිහි ටික ගෙනෙන් - කතා කර කර ඉන්ට පස්සේ පුලුවන්”
මමත් එලියට ආවා.
“මේ දරුවා කවුද කිරා?”
“සීගිරි පැත්තෙන්. පරන අඳුරන කෙනෙකුට උදව්වක් හැටියට මං ලඟ තියලා ගියේ කන්නක දෙකකට”
“සීගිරියෙන්?…අද උදේ පාන්දරම අර රන් නිලමේ ඇවිත් මගෙන් හැරමිටියට පට්ටං දෙකක් ගහගෙන ගියා කොහෙදෝ දිග ගමනක් යනවා කියලා. ඒ නිලමෙගෙ කවුරුවද්ද මේ?”
“මුනුබුරා. නිලමේ කොහෙද යනවා කිව්වේ?”
“කිව්වෙ නෑ. මල්ලයි ලබු කැටෙයි අරම්ම ආවේ යන ගමන්”
අත්තා මටත් නොකියා ගිහින් උන්දැගෙ නංගී හොයාගෙන!
“කවද්ද ආයෙ එන්නේ කියලා කිව්වෙ නැද්ද?” මම එහෙම අහුවේ කාගෙන් හරි උත්තරයක් ලැබෙයි කියලා. දෙන්නැන් එක්කෙනෙක්වත් උත්තර දුන්නෙ නෑ.
ජිනපාල ගෙනාපු පිහියකුයි එතනම් තිබුනු උදලු තලේකුයි මං අතට දීලා ගොයිරාල ආයෙත් පිටත් උනා.
ජිනපාල අපි පස්සෙන් දුවගෙන ආවා.
“අද පින්කමට එනවද?”
මම ගොයිරාල දිහා බැලුවා.
“හ්ම්… කැමතිනං”
මම ජිනපාල ගෙන් පින්කම කීයටද කියලා ඇහුවා.
“ගංටාරේ සද්දේ ඇහෙනකොට”
මගදී මම ආයෙත් ගොයිරාලට කතා කරා.
“ලොකු අත්තා ආවෙම නැත්තං එහෙම?”
“ඒ නිලමේ එහෙම නෑ. කිවුවොත් කිව්වා”
“අත්ත අඳුරන්නේ හුඟක් කල්ද?”
අපි සද්ද නැතුව තව ටිකක් දුර ගියා.
“ඔය නිලමේ මට යාන්තං මතකයි අපෙ තාත්තා හම්බුවෙන්ට එනවා. තාත්තත් එක්ක බොහොම ලඟින් හිටියේ සීගිරියේ යන්ට ඉස්සර. තාත්තා පුන්චි කාලේ මොකද්දෝ පන්සලේ කරදරේකට අහුවෙලා නිලමෙයි, නිලමෙගෙ මල්ලියිලු බේරා ගත්තේ. මට අම්මයි තාත්තයි දෙන්නම කියල තියෙන්නේ නිලමෙට පුලුවන් උදව්වක් කරන්ට කියලා”
ගොයිරාල කරපු දිගම කතාව මේක. ගෙදර උනත් උන්දෑ වචන එකකට දෙකකට වැඩිය කතා කරන්නේ කලාතුරකින්. මම ඒ හින්දා ආයෙ ප්රශ්න ඇහුවෙ නෑ.
ලොකුඅත්තගෙ නම රන් නිලමෙලු. ඒක ඇත්ත නමක්ද නැත්තං මේ අය හදාගත්ත එකක් ද දන්නෙ නෑ. සීගිරියේ මිනිස්සු අත්තට ලොක්කේ කියල කතා කෙරුවට ඒකත් උන්දැගෙ නම නෙවෙයි කියල තමයි හිතෙන්නෙ.
මට අද හම්බුවෙන්ට එන්ට එපා කියලා මටත් නොකියා ලොකුඅත්තා කොහෙද ගියේ? ගමනක් යන විත්තියක් කොහොමටවත් මතක් කරේ නෑ ඊයේ. මට වැඩකුත් දීලා.
මම සෝමාවතියට ගිය වෙලාවේ හිතුනා ඒ ගමන මට දීපු විබාගයක් කියලා. මේකත් එහෙමද? මොකක් හරි කරලා දුනුකාර පවුල හොයා ගන්ට ඕනෑ අත්ත ආයෙ හම්බුවෙන්ට ඉස්සර කියලා මම හිතට ගත්තා.
දුනුකාර පවුල ගැන අහන්ට කෙනෙක් ඉන්නේ කොහෙද? ඒව දන්න එකම එක්කෙනා, අපෙ ලොකුඅත්තා, දැන් හොයන්ට බෑ. සමහරවිට අත්තා ගොයිරාලට මොකොවත් කියල ගියාද දන්නෙ නෑ.
“අපෙ ලොකුඅත්තගෙ ගම ගැන එහෙම මොකුත් අහලා තියෙනවද?’
“ඉස්සර කොහෙදො මුහුදුබඩින් ආවා කියලා යන්තන් මතකයි. ඊට වැඩිය මොකොවත් මම දන්නෙ නෑ”
ඒකත් හරියන වැඩක් නෙවෙයි.
“අත්තලා පොඩිකාලේ අනුරාදපුරේ හිටියේ කොහෙද කියලා අහල තියෙනවද?”
“ලොකු පන්සලෙන් තමයි අහගන්ට පුලුවන් වෙන්නෙ. නිලමෙගෙ මල්ලී කෙනෙක් එහෙදිලු මහන උනේ”
එහෙනන් අද රෑ පින්කමට ගිහින් හාමුදුරුවොත් පුලුවන්නං හම්බුවෙන්ට ඕනෑ.
අපි ගෙදර එනකොට දවල්ට කන්ට වෙලාව. මම උපාසකම්මගෙන් ඇහුවා පින්කම ගැන.
“අද ඔය පහන් පූජාවක්. සල්පිලකුත් තියෙනවා කියන්නේ”
“අනේ අම්මා අපිත් යමූ…” නංගී උඩ පැන පැන අහනවා.
“මට බෑ බං ඕවගෙ යන්ට, වෙන වැඩ නැතුවා වගේ”
“අනේ අම්මා…” ඒ සැරේ ටිකක් අඬන්ට වගේ.
“තාත්තගෙන් අහපන්”
නංගී එහෙම්ම ඉස්සරහට දුවලා ගොයිරාලට කරදර කරා.
“කවුද උඹ එක්ක එන්නේ රෑවෙලා? මම එහෙන් එනකොට හොඳටම වෙලා යනවා, හාමුදුරුවොත් හම්බුවෙලා..”
මම ටිකක් කල්පනා කරා.
“මට පුලුවන් නංගී එක්ක එන්ට වැඩිය රෑ වෙන්ට ඉස්සර”
“අනේ තාත්තෙ…තාත්තෙ…”
ගොයිරාල උපාසකම්මා දිහා බැලුවා ඇස් බැම උස්සලා. උපාසකම්මත් මං දිහා බලාගෙන ඉඳලා ඔලුව පොඩ්ඩක් ඇල කරා ‘හා’ කියනවා වගේ.
“හොඳයි ගිහින් වරෙල්ල අයියගෙ අත අල්ලාගෙන එන්ට ඕනෑ”
නංගී වචනයක් වත් නොකියා උපාසකම්ම බදාගෙන හිනාඋනා. ඊටපස්සෙ කෙලිම්ම මං ලඟට ඇවිත් මගෙ අත අල්ලා ගත්තා.
“දැම්ම නෙවෙයි කෙල්ල… හවස් උනාම” කියල ගොයිරාලත් හිනාඋනා.
පන්සලේ ගංටාරේ ඇහෙනකොට මම හිටියේ ලිඳ ලඟ ඇඟ හෝද හෝදා. ඉක්මනටම පිහදාගෙන ගේ ලඟට එනකොට නංගී සුදු රෙද්දයි හැට්ටෙයි අඳලා යන්ට බලාගෙන ඉන්නවා. අතේ පොඩි අතුල්පතක මල් කීපයක් පූජා කරන්ට.
“අයියා ගංටාරෙත් වැදුනා - යාං…”
“කෝ තාත්තා?”
“දැන් ගිහින් හුඟාක් වෙලා”
“අම්ම?”
“හාල් ගරනවා”
“එහෙනං අම්මට කියලා එන්ට”.
මම තෙත රෙදිකෑල්ල වේලෙන්ට එල්ලලා අතින් කොන්ඩේ පීරාගත්තා.
අපි පන්සල ලඟට එනකොටම බෙර සද්දෙත් ඇහුනා. දෙන්නම ගිහින් ගොයිරාල දවුල ගහනවා බලාගෙන හිටියා. තව කවුදෝ තම්මැට්ටම ගහනවා. කොල්ලො කෙල්ලො කීපදෙනෙක් වටවෙලා බලාගෙන හිටියා. ගොයිරාල අපි දැකලා යන්තං හිනාඋනා.
ගොයිරාල හරිම දක්ශයි බෙර ගහන්ට. ඔලුව එක පැත්තකට හරවාගෙන් ඇස් දෙකත් බාගෙට වැහිලා ගැහුවේ තම්මැට්ටම සද්ද අඩු උන ගමන්. ඔලුවේ ජටාවයි, රතු පාට බඳපටියයි එක්ක හරිම හැඩයි. මටත් ඉගෙන ගන්ට ඇත්තං කියලා හිතුනා.
හේවිසි ඉවර උන ගමම්ම අපි එතනින් බුදුගේ ඇතුලට ගිහින් මල් පූජාකරලා බෝ මලුව පැත්තට ගියා. ගෙදරදී කොච්චර නට නටා හිටියත් නංගී පන්සලට ආවට පස්සේ මගෙ අත අල්ලගෙනමයි හිටියේ. වටපිට බැලුවා මිසක් කොහෙවත් යන්ට ඕනෑ කියලා කිව්වෙත් නෑ.
බෝ මලුවෙදි මම දැක්ක ජිනපාල තව කොල්ලෝ කීපදෙනෙක් එක්ක බැම්මේ වාඩිවෙලා ඉන්නව. මම දැකපු ගමන් නැගිටලා ආවා.
“මං හිතුවා එන්නෙ නැතිවෙයි කියලා. මේ කවුද?”
“නංගී. පුන්චිකිරා ගොයිරාලගෙ දුව”
“මං ඒත් හිතුවා කවුද කියලා”
ජිනපාල ඒ තරම්ම කැමැත්තක් නෑ වගේ මම නංගිත් එක්ක ආවට.
“අපිනං සල්පිලට යනවා”
“මට ලොකුහාමුදුරුවෝ හම්බුවෙන්ට ඕනෑ. පුලුවන් වෙයිද දන්නෑ”
“ඒ මොකටද”
“අපෙ ලොකුඅත්තා ගැන අහගන්ට”
ගොයිරාල අපිට පස්සෙ ඉදන් කතා කරා.
“යං එහෙනං. මටත් උන්නාන්සේ දකින්ට ඕනෑ”
මම ජිනපාලට “පස්සේ හම්බුවෙමු” කියලා ගොයිරාල පස්සේ ගියා.
නංගී දැන් ගොයිරාලගෙ අතේ එල්ලිලා. මම ගොයිරාලගෙන් බෙරේ ඉල්ලගෙන කරේ එල්ලා ගත්තා.
අපි බන මඩුව පැත්තට යනකොට පොඩි පුටුවක වාඩිවෙලා හිටිය වයසක හාමුදුරු නමක් ඔලුව උස්සලා අපි දිහා බැලුවා.
“හා පුන්චිකිරෝ…”
උන්නාන්සෙගෙ කතාව හරිම හෙමින්. කට අඬ ගැඹුරුයි හැබැයි රලු නෑ.
අපි උන්නාන්සෙට වැන්දා.
“හාමුදුන්නේ අර කුඹුරේ ඉම ගැන අහගන්ට කියලා..”
“ඒකට පොඩි අයත් ඕනැද?” හාමුදුරුවෝ විහිලු කරනවා.
“නෑ හාමුදුන්නේ. මේ තමයි අපෙ සීගිරියේ නිලමෙගෙ මුනුබුරා. එයාට තමුන්නාන්සෙගෙන් අහන්ට මොනවදෝ තියෙනවලු. මේකී මගෙ පොඩි එකී - අඬල එන්ට ඕනෑ කියලා”
නංගී ගොයිරාල පිටිපස්සේ ලැජ්ජාවෙන් හැංගුනා. හාමුදුරුවෝ මං දිහා බලාගෙන හිටියා.
“ලඟදී රිටිගල පැත්තේ ගිහින් උන්නාන්සේ හම්බු උනාද?”
“එහෙයි. අනුරාදපුරේ එන්ට ඉස්සර අපි රිටිගල පන්සලේ අවුරුද්දකටත් වැඩිය හිටියා”
“උන්නාන්සේ හොඳ සනීපෙන්ද?”
“එහෙයි”
හාමුදුරුවෝ ටිකක් කල්පනා කරා. අපි සද්ද නැතුව හිටියා.
“කිරා අපිට විනාඩියක් දෙනවද මේ දරුවට මොනවද දැනගන්ට ඕනෑ කියලා බලනකන්?”
“එහෙයි හාමුදුන්නේ. මම කෙලීට සල්පිල පෙන්නලා එක්ක එන්නං”
“දරුවගෙ නම මොකද්ද?”
“සිරී හාමුදුන්නේ”
“දැන් වයස කීයද?”
“පහලොහයි හාමුදුන්නේ” [Check for chronology accuracy – change earlier ages or events if necessary]
“දෙමව්පියෝ කොහෙද?”
“සීගිරියේ”
“දුනුකාර නිලමෙත් එක්ක කොහෙද මේ ගමන?”
තවත් නමක්! ලොකුඅත්තා ගැන තමයි මේ අහන්නේ.
“අපි අනුරාදපුරේ ආවේ අත්තගෙ නංගී හොයාගෙන. හැබැයි මට මේ පලාත් පෙන්නන්ටත් එක්ක තමා ආවේ”
“මේ දරුවටත් රට රටවල් පේනවද?” ඒක අහුවේ බොහෝම හිමින් බිම බලාගෙන.
ඒ කියන්නේ මේ හාමුදුරුවොත් දන්නවා ඔලුවෙන් බලන එක.
“ටිකක්…”
“බොහොම පරෙස්සන් වෙන්ට ඕනෑ ඕවා කරනකොට. කොහෙන් කෙලවර වෙයිද කියලා මට තේරුමක් නෑ”
මම ආයෙත් සද්ද නැතුව හිටියා.
“අද පාන්දර උන්නහේ මෙහෙ ඇවිත් මං හම්බු උනා. තමා මෙහෙ ආවොත් ‘බොහොම හොඳයි’ කියන්ට කිව්වා - මං දන්නෙ නෑ ඇයි කියලා”
උන්නාන්සේ මං දිහා ඇස්පිල් නොගහා බලාගෙන් හිටියා. හරියට උලක් අනිනවා වගේ උන්නාන්සෙගෙ බැල්ම.
“මොකද්ද දැනගන්ට ඕනෑ?”
“ලොකුඅත්තා මට කිව්වා සෝමාවතියේ දුනුකාර පවුල ගැන හොයලා බලන්ට කියලා. හැබැයි ඒ අය ගැන මොකවත් මට කිව්වෙ නෑ. ඉන්නවද නැද්ද කියලවත්, ගෙදර තව දරුවෝ හිටියද කියලවත් කිව්වෙ නෑ”
“හැබැයි ගිහින් බැලුවා..?”
මම “එහෙයි” කිව්වේ බිම බලාගෙන.
“දරුවා. යමක් කරන්ට පටන්ගන්ට ඉස්සර හුඟාක් දේ කරන්ට ඕනෑ. මොකද, කරන්ට බැරි දෙයක් නම් උත්සාහ කරලා වැඩක් නෑ. තේරෙනවද?”
මම ආයෙත් බිම බලාගෙනම “එහෙයි” කිව්වා.
“රිටිගල උන්නාන්සෙයි මමයි එක ආරාමෙ හිටියේ උන්නාන්සේ පැවිදි උනාට පස්සේ. දුනුකාර නිලමෙත් කීප විටක් අපි බලන්ට ආවා. අනික….සහෝදරයෝ දෙන්නා හරිම කිට්ටුයි…නිතරම වගේ ආරංචි හුවමාරු කරගත්තා….තේරෙනවද මං කියන එක?”
“දුනුකාර නිලමේ බලා ගත්ත පවුලේ තව දරුවෝ දෙන්නෙක් හිටියලු. එක්කනෙක්, පුතෙක්, පොඩිකාලෙදීම නැති උනාලු. ඒක වෙන්ට ඇති නිලමේ හදාගත්තෙත්. අනික් දරුවා, දුව, තවම ගමේ හේනක් කරාලු පුරුසයත් එක්ක. දරුවෝ එහෙමත් ඇති. ඒ අය වැදගත් පවුලක්. මං හිතන විදිහට ඒ අයගේ නම ඒකනායක.”
මට හිතුවටත් වැඩිය උත්තර මේ හාමුදුරුවන්ගෙන් හම්බු උනා. හැබයි තවත් මදි.
“ඒ අය අඳුරාගන්ට විදිහක් තියෙයිද?”
“දරුවා තේරුන් ගන්ට ඕනෑ මං මේ කියන්නේ මතකෙන්. මම තමාගෙ ලොකුඅත්තටත් වැඩිය වයසයි. ඔය ඒකනායක කට්ටියත් දැන් හැට පැනලා ඇති”
“දැනට ඒ ඇති. මට තවත් මහන්සිවෙන්ට ඉස්සර පුන්චිකිරා එව්වොත් හොඳයි”
මම වැදලා “අවසර” කියලා එලියට එනකොට ගොයිරාල එතනම් එලියේ නංගී ඔඩොක්කේ තියාගෙන.
මගෙ පනිවිඩේ ගොයිරාලට දීලා නංගිත් අතෙන් අල්ලගෙන, බෙරෙත් කරේ එල්ලාගෙන ගෙදර ආවා.
නිදාගන්න පැදුරේ වැටුන ගමන් මට මෙහෙම හිතුනා.
දැන් ඒකනායක කෙනෙක් කසාද බැඳපු දුනුකාර ගෑනු එක්කෙනාට අපෙ අත්තට තරං වයස ඇති. ඒ කියන්නේ, ඒ අයට ලමයි හිටියනං අපෙ අප්පච්චිගෙ අම්මගෙ පලෝලේ ඇති. සමහරවිට මුනුබුරොත් ඇති මගෙ වයසේ.
හොඳටම දන්න එකම දේ තමයි ඒකනායක ජෝඩුව අපෙ අත්තගෙ වයස, ජීවත්වෙලා හිටියොත්. අනික් අතට ඒගොල්ල වැදගත් පවුලක් කියපුඑක තවමත් එහෙමනං ගමේ ආරච්චි නිලමෙලා, කෝරලේ නිලමෙලා එහෙම වෙන්ටත් ඉඩ තියෙනවා.
මම හොයන්නේ ගම්මුලාදෑනි පවුලක්. ඒ කියන්නේ ගමේ තියෙන ලොකු ගෙවල් වලින් එකක්. සමහරවිට ගමේ මිනිස්සුත් එහාට නිතරම එනවා ඇති. අනික, ඒ අය පන්සලේ හොඳ දායකයෝ වෙලත් ඇති.
ලොකු ගෙදරයි පන්සලයි දෙකම බැලුවොත් හොයා ගන්ට බැරිවෙන එකක් නෑ.
මේ ටික හිතට වැටුනට පස්සේ මට හොඳට නින්ද ගියා.
ඊලඟ දවස් කීපය කුඹුරේ වැඩටම ගෙවුනා. ඒ වැඩ ඉවර උනාම නංගිට අකුරු උගන්නන්ටත්, ගොයිරාලගෙයි උපාසකම්මගෙයි වැඩ වලට උදව් වෙන්ටත්, ජිනපාල එක්ක එහෙ මෙහෙ යන්ටත් පුරුදු උනාට පස්සෙ මට දුනුකාර පවුල ගැන මතක් උනේ දවස් ගානකට පස්සෙ.
එදා හාමුදුරුවෝ හම්බ උන දවසේ හිතට ආ ඒකනායක පවුල හොයන ක්රම: ලොකු ගෙදර, පන්සල, ගමේ අය, නිසා මට දැනුනා මගේ හිතෙන් ලොකු බරක් උස්සා දැම්මා වගේ. ඒ හින්දද කොහෙද මට ඒ “විභාගේ” කල් දැම්මට කමක් නෑ කියලා හිතුනේ.
අනික, මගෙ ජීවිතෙත් වෙනදා නැති පිලිවෙලක් තියෙනවා කියලා හිතුනා. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ආයෙ පැදුරට වැටෙනකම්ම මොකක් හරි කරන්ට තිබුනා. මගෙ හිතට හොඳටම අල්ලලා ගියේ නංගිට උගන්නන එකයි ජිනපාලත් එක්ක අනුරාදපුරේ වටේම ඇවිදින එකයි.
මම ජිනපාලටවත් නංගිටවත් දුනුකාර පවුලේ කතාවක් කිව්වෙ නෑ. ඒක අත්තගෙයි මගෙයි අතර තියෙන දෙයක්. අනික් අයට ඒව කියන්න ගියොත් මොලෙන් බලන එක ගැනත් කියන්න වෙනවා. අනික් අතට කාටවත් කියන්න බැරි එකත් ප්රශ්නයක්. මං හිතුවා මේක අත්තගෙන් ඇහුවොත් හොඳයි නේද කියලා
[1632]